පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ “කම්කරු අරගල මධ්‍යස්ථානය” ඉතිහාසය කනපිට පෙරලයි

“කම්කරු පන්තිය මහා පාවාදීමක් මැද” යන මැයෙන් කම්කරු අරගල මධ්‍යස්ථානය (කඅම) විසින් කැඳවන ලද සම්මන්ත්‍රනයක් අප්‍රේල් 23 වනදා කොලඹ ගුරු මැදුර ශාලාවේදී පැවැත්විනි. මෙම සංවිධානය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයින් සම්මන්ත්‍රනය කැඳවා තිබුනේ, පක්ෂයේ මැයි දිනයට ප්‍රචාරය ලබාදීම සඳහායි.

රැස්වීමේ මුලසුනේ සිටි අර්ධ රාජ්‍ය සේවක මධ්‍යස්ථානයේ ලේකම් රොෂේන් සමීරගේ පටන් පෙසප නායකයෙකුවන දුමින්ද නාගමුව දක්වා කතිකයන් සියලු දෙනා ප්‍රකාශ කර සිටියේ ජනතා විමුක්ති පෙරමුන ආන්ඩුව බලය ලබාගෙන “කම්කරු පන්තිය මහා පවාදීමක ට” ලක්කර ඇතිබවයි. තවත් එහාට ගිය නාගමුව, නිෂ්ක්‍රියත්වය ගැන සහ පහල විඥාන මට්ටම ගැන කම්කරු පන්තියට අවලාද නැගුවේ, තමා, තම පක්ෂය හා එහි සංවිධාන කම්කරුවන් ගලවා ගැනීමට පැමිනි විමුක්ති දායකයන් ලෙස පෙනී සිටිමිනි.

සම්මන්ත්‍රනය අමතන දුමින්ද නාගමුව

මුලසුනේ සිටි රොෂේන් සමීර, ජවිපෙ පින්තාරු කලේ එයට “වැඩ කරන පංති වෙනුවෙන් සටන් කරලා වැඩ කරන පංති වෙනුවෙන් දිවි පුදපු” “කීර්තිමත් ඉතිහාසයක්” පැවැති බවත් එහි “නාමය පාවිච්චි කරලා ආන්ඩු බලය අරගෙන ... ඒ සටන් කරපු ඉතිහාසය පාවිච්චි කරමින් වැඩ කරන පංතියේ අයිතිවාසිකම් පාවා දෙමින්” සිටින බවත් පවසමිනි.

ඊලඟට කතාකල පෞද්ගලික සේවක මධ්‍යස්ථානයේ ලේකම් දේවින්ද කෝදාගොඩ පැවසුවේ ජවිපෙ හි සටන්කාමී ඉතිහාසය විනාශ කර ගත්තේ එය ජාතික ජන බලවේගය ලෙස වෙනස් වූ නිසා බවයි. “අලුත් හැවක් පොරෝගෙන” ලංකාවේ පාර්ලිමේන්තු බලය දිනාගෙන කම්කරුවන් නිර්දය ලෙස සූරාකන මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකරන බවට ඔහු ආන්ඩුවට චෝදනා කලේය.

නාගමුව බැරෑරුම් කමක් ආරුඨ කරගෙන තමන් “බරපතල මාතෘකාවක්” ලෙස “කම්කරු පන්තිය මහපාවාදිමක් මැද” යන්න තෝරාගත්බව පවසා, කලින් කතාකල සගයන් අනුමත කරමින්, බහු ජාතික සංගතයක් වන මිචෙලින් සමාගමේ හිමිකරුවන් සමග ජවිපෙ සමිතිය කුමන්ත්‍රනය කල අකාරය ගැන විස්තර කලේය.

කථිකයන් සියලු දෙනා, ජවිපෙ හි සැබෑ ඉතිහාසය විකෘත කරමින් එහි මහා පාවාදීමක් ගැන කතා කලේ, තමන් ගැලවුම් කාරයන් ලෙස පෙනී සිටිමින්, කලකිරී සිටින ජවිපෙ වෘත්තිය සමිති සාමාජීකයන් හා සටන්කාමි කම්කරුවන් තම වෘත්තීය සමිති තුලට කඩා ගෙන, තම පක්ෂයේ ධනපති ගැති වැඩ පිලිවෙලට යටත් කර ගැනීමටයි. තව ද විවිධ බොරු පොරොන්දු දී බලයට පත් වූ ජවිපෙ/ජාජබ ඒවා බිඳ මුල්‍ය අරමුදලේ ප්‍රහාර එල්ල කිරීම නිසා කලකිරී ඇති ජවිපෙ ඇතැම් සාමාජික කොටස් දිනා ගැනීමට ද පෙසප වලිකයි.

ජවිපෙ ට කම්කරු අරගල වලට නායකත්වය දීමේ “කීර්තිමත් ඉතිහාසයක්” පැවතියේ යයි පැවසීම අමු පචයකි. මේ ප්‍රකාශ දුන් අය, ජවිපෙ ආරම්භයේ දී එහි “පන්ති පහේ” එකකින් ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන් ලංකාවේ විප්ලවයට එරෙහිව ඉන්දියාවේ පාලක පන්තියේ “පස්වන කොලමක්” යයි නම් කිරීම, “කීර්තිමත් ඉතිහාසයේ” උරුමයක් ලෙස පවත්වා ගෙන යති. තව ද කම්කරු පන්තියේ පඩි සටන් “කැඳ කෝප්ප සටන්” ලෙස හෙලා දැකීමේ කම්කරු විරෝධී ඉතිහාසයක් ද ජවිපෙ ට ඇත.

1977 බලයට පත් වූ ජයවර්ධන ආන්ඩුව, නව-ලිබරල් ආර්ථික වැඩපිලිවෙලට හැරෙන විට එහි ප්‍රහාර වලින් රැකියා, වැටුප්, සේවා කොන්දේසි රැක ගැනීමට රාජය අංශයේ සේවකයන් 1980 දී මහ වැඩවර්ජනයකට පැමිනි විට, එය යුඇන්පී ආන්ඩුවේ මර්දනයට පාරකපන බව පැවසූ ජවිපෙ තම වෘත්තීය සමිති වර්ජනයට සහභාගිවීම වැලැක්වූ බව එහි කුප්‍රකට වාර්තා වට එකතුවී තිබේ.

කොලඹ ආන්ඩු, 1983 දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය ඇරඹු තැන් පටන්, මෙම පක්ෂය තහනම් කර තිබිය දී ම, එහි වෘත්තිය සමිති නිලධරය තම සංවිධාන පාවිච්චි කලේ, කම්කරුවන්ගේ අරගල යටපත් කර ආන්ඩුවල යුද අවශතා වලට සහයෝගය දීමටයි; යුද්ධයට එරෙහි ව සහ කම්කරු අයිතීන් සඳහා ඉදිරියට ආ සටන්කාමීන් ට “සුදු කොටි” නමින් පහර දෙමින් ඔවුනට එරෙහිව මිලිටරියට සහ පොලිසියට ඔත්තු දීමටයි.

යුද්ධයෙන් පසු ගතවූ දශක එක හමාරකට අධික කාලය තුල, කම්කරුවන් අතර පෙරලිකාරිත්වය මතුවන විට වැඩ වර්ජන හා උද්ඝෝෂන කැඳවීමට බලකෙරුනු තතු තුල, ජවිපෙ ක්‍රියා කලේ ඒවාට ඇබ ගසා පාවාදීමටයි. 2024 ජුලි මාසයේ, ජවිපෙ වෘත්තීය සමිති ලොක්කා වූ, වත්මන් ඇමති කේ. ඩී. ලාල් කාන්ත, කම්කරුවන්ගේ අරගල, තම ජනාධිපති හා මහා මැතිවරන ව්‍යාපාරයට එරෙහිව යන බව පවසමින්. ඒවා නතර කිරීමට අන කල අතර දැන් ආන්ඩුවේ හා හා මහා ව්‍යාපාරිකයන්ගේ අත්ගෙඩි ලෙස ජවිපෙ සමිති නිලධරය ක්‍රියා කරති.

පෙසප වත්මන් නායකයන්ගෙන් කිහිප දෙනෙක්, එවකට ජවිපෙ සාමාජිකයන් ලෙස, 1980 ගනන් අග සිට ම මෙම කම්කරු විරෝධී ක්‍රියාවලට සහයෝගය දුන් අතර, නායකත්වයේ වැඩිදෙනෙක්, ජවිපෙ,1994 දී, ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් ලෙස දේශපාලන වේදිකාවට ආතැන් පටන් ඊට සම්මාදන් වුහ. කම්කරුවන් හා තරුනයන් අතර ජවිපෙ අපකීර්තියට පත්වන තත්වය තුල, 2011 පක්ෂයෙන් එලියට පැමින පෙසප පිහිටුවූ පුද්ගලයන් මේ දක්වා ඉටුකල ක්‍රියාකලාපයේ, රැඩිකල් පුච්චානම් හැරුනු කොට, කිසිදු වෙනසක් නැත.

2022 මහජන අරගලය පන නැගුනු විට, කුමාර් ගුනරත්නම්, පුබුදු ජයගොඩ සහ නාගමුව ඇතුලු මෙම පක්ෂයේ නායකයන්, ධනපති පක්ෂ සමග සාකච්චා අරඹමින් සිය කුඩා සමිති කිහිපය ද මෙහෙයවාගෙන, උද්ඝෝෂනය කලේ, පාර්ලිමේන්තු පක්ෂවල මන්ත්‍රීන් සහභාගී කරගත් “අන්තර්වාර ආන්ඩුවක්” හැදීමටයි. එමගින් මහජන ව්‍යාපාරය පාවා දීමට ජවිපෙ, සජබ, දෙමල ධනපති පක්ෂ හා වෘත්තීය සමිති නිලධරය සමග ක්‍රියා කල පෙසප, ප්‍රතිගාමී වික්‍රමසිංහ ආන්ඩුව ට සහ ඉන්පසු ජවිපෙ ආන්ඩුවට පාර කැපුවේය.

කෙටියෙන් සඳහන් කලහොත්, කම්කරු පන්තිය මැඬලීම සඳහා ජවිපෙ දැන් ඉටුකරන ක්‍රියාකලාපය එය ආරම්භයේ දී පදනම් වූ දේශපාලනයේ තර්කානු කුල අන්තයයි. මේ අන්තයට හැර වෙනත් අන්තයකට ජවිපෙ දේශපාලනයට යා නොහැකිය. “මහා පාවාදීම” ලෙස පෙසප මෙම විකෘතිකරනය කරනුයේ තම පක්ෂයට ඓතිහාසික යුක්තියුක්තභාවයක් ලබා ගැනීමටයි.

මාවෝවාදය, කස්ත්‍රෝවාදය සහ සිංහල දේශප්‍රේමය එකට කලතා විසකැවූ දෘෂ්ටියක් මත 1965 දී ජවිපෙ බිහිවූයේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කම්කරු පන්තික පක්ෂයක් ව පැවති ලංකා සම සමාජ පක්ෂය (ලසසප) එහි මුලධර්ම වලින් පසු බසිමින් සිට, 1964 ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට බැඳී කම්කරු පන්තිය මහා පාවාදීමට ලක්කිරීමේ ප්‍රති විපාකයක් ලෙසයි. සුලු ධනපති පන්තිය පාදක කරගත්, මාක්ස්වාදය පතික්ෂේප කල සංවිධානයක් ලෙස බිහිවූ ජවිපෙ, කම්කරු පන්තිය විප්ලවවාදී පන්තියය යන්න ප්‍රතික්ෂේප කලේය.

සිය සම්මන්ත්‍රනයේ දී පෙසප නායකයන්, ජවිපෙ කම්කරු පත්තිය වෙනුවෙන් දිවි පිදු පක්ෂයක් ලෙස ද නම් කලේය. මෙය ද ව්‍යාජයකි. 1971 ජවිපෙ කැරැල්ල, මාඕවාදී හා කැස්ත්‍රෝවාදී ගරිල්ලා න්‍යායන් මත පදනම් වූ සහ කම්කරු පන්තියෙන් මුලුමනින් ම වියෝවූ සංවිධානයක කැරැල්ලකි. සභාග ආන්ඩුව 15,000ක් පමන තරුනයන් ලේ විලක ගිල්වා එය මැඩලන ලදී. මෙම කැරැල්ලේ ව්‍යාජ දේශපාලනයේ වගකීමෙන් අත් සෝදා ගැනීමට, සිරගෙයින් නිදහස් ව පැමිනි ජවිපෙ නායක රෝහන විජේවීර ස්වයං-විවේචනයක යෙදෙමින් ප්‍රකාශ කලේ, තමන් එවක මාක්ස්වාද විරෝධී මෙන්ශේවික් දේශපාලනයකින් නොමග ගොස් සිටි බවයි.

1987-1990 ජවිපෙ ප්‍රතිගාමී වර්ගෝත්තම වාදය මත දියත් කල ෆැසිස්ට් කැරැල්ල ද මහජනතාව වෙනුවෙන් දිවිපිදීමක් බව පෙසප කියා සිටී. ඔවුන් එම ප්‍රතිගාමී කැරැල්ල හඳුන්වන්නේ සමාජවාදී විප්ලවයක් ලෙසයි! ලංකාවේ හා ඉන්දියාවේ ආන්ඩු 1987 ප්‍රතිගාමී ඉන්දු-ලංකා ගිවිසුම ගැසුවේ, දෙමල ප්‍රභුවට යම් සහන ලබාදී එල්ටීටීඊ ය නිරායුද කිරීම මගින් යුද්ධයෙන් අර්බුදයට ගොස් සිටි කොලඹ ආන්ඩුව රැක ගැනීමට සඳහාය. මෙය මාතෘ භුමිය මහා පාවාදීමකට ලක් කිරීමක් ලෙස විසකුරු උද්ඝෝෂනයක් ඇරඹු ජවිපෙ, දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති නායකයන් හා කම්කරුවන් දහස් ගනනක් ඝාතනයට ලක්කල අතර, යුඇන්පී ආන්ඩුව එය මැඩීමේ නමින් දස දහස් ගනන් තරුනයන් මරාදැමූ රුදුරු භීෂනය දියත් කලේය.

ජවිපෙ මෙම ප්‍රතිගාමී කැරැල්ලට ප්‍රගතිශීලී වෙස් ගැන්වීම මගින් පෙසප පෙන්වා දෙන්නේ සිය දේශපාලනයේ ප්‍රතිගාමී මුලයන් ය.

නාගමුව සිය දේශනයේ දී අතීතයේ, විශේෂයෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වයෙන් දියත්වූ 1946 සහ1947 වැඩ වර්ජන ගැන සඳහන් කරමින්, වත්මනේ කම්කරුවන් “සැලකිය යුතු බහුතරය මේ මොනවවත් දන්නේ නැහැ. තමන්ගේ අයිතිවාසිකම් මොනවද, මේවා හමුවුනේ කොහොමද, මේවාට ස්ට්‍රයික් කරේ කවුද. මේවට කන්දසාමි සහෝදරයගේ ඉඳල මැරුනේ කවුද, වැඩ වර්ජනය කරලා රස්සාව නැතිවුනේ කාගෙද, කී දාහක් ගෙදර හිටියද, 80 වැඩ වර්ජනයේදී කී දෙනෙක් රස්සාව අහිමිකරගත්තා ද [1980 වර්ජනය ගැන හිමින් නුලෙන් ඔහු එලෙස සඳහන් කලේ ජවිපෙ පාවාදීම ගැන කිසිවක් නොකියාමය], මේ මොනවවත් කම්කරුවන් දන්නේ නෑ” යැයි පෙසප කථිකයා ආඩපාලි කිවේය.

“ඒගොල්ලො (කම්කරුවො) හිතන් ඉන්නවා මේ ඔක්කොම උඩින් පහල උනා කියල” යයි කි ඔහු කම්කරු පන්තියට “පන්ති විඥානය,” හා “වෘත්තීය සමිති විඥානය” තබා තමන්ගේ අයිතිවාසිකම් ගැනවත් දන්නේ නැතැයි සිය ගැරහීම දිගටම කලේය. එනිසා කම්කරුවන්ට “පන්ති විඥානය“ හා “වෘත්තීය සමිති විඥානය“ ලබා දෙන්නට අවශ්‍ය යයි ඔහු කිවේය.

කම්කරුවන්ට මේ කිසිවක් නැති නිසා නාගමුව සහ පෙසප කම්කරු පන්තියට “අකාරාදියෙන්” ම කියා දීම පටන් ගන්නට යයි! එහෙත් “පන්ති විඥානය,” හා “වෘත්තීය සමිති විඥානය” යනු, ලෙනින් පෙන්නුම් කල පරිදි එතිනෙකට පටහැනි දෙකක් බව හෝ නොතකන අඥානභාවය ද මෙහිදී රජයන බව පෙනේ.

පසුගිය දශක පහක පමන කාලය තුල, කම්කරු පන්තිය, පන්ති විඥානයේ හා දේශපාලන ඉදිරි දර්ශනයේ අර්බුදයක ට මුහුන දී සිටියි. මෙම අර්බුදයට තුඩු දී ඇත්තේ, ස්ටැලින්වාදී ඇතුලු සම්ප්‍රදායික පක්ෂවල පාවා දීම, පශ්චාත් දෙවන ලෝක යුද තාවකාලික ස්ථාවරත්වය සමග පැන නැගුනු පැබ්ලෝවාදය, පශ්චාත් නුතනවාදය, පශ්චාත් මාක්ස්වාදය ඇතුලු ප්‍රතිගාමි ප්‍රවතතාවන් සහ නිෂ්පාදනයේ ගෝලීයකරනය හමුවේ ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම සමග උත්සන්න කෙරුනු සමාජවාදයේ අසාර්ථකත්වය පිලිබඳ ප්‍රචාරය ඇතුලු ප්‍රතිගාමි වර්ධනයන් ය.

මේ වර්ධනයන් සමග කැලතුනු, ලංකාව තුල ඉහත දැක්වූ ලසසප පාවාදීම, එහි ප්‍රතිවිපාක ලෙස ජවිපෙ බඳු සංවිධාන පැන නැගීම හා සිංහල ස්වොත්තමවාදය සහ වර්ගවාදය ඇවිස්සීමට ධනපති පන්තියට ඉන් ලැබුන අවසරය කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමට බලපෑවේය.

මේ සියල්ල කරපින්නා ගත් පෙසප ව්‍යාජ වාම සංවිධානයක් ලෙස කම්කරු පන්තියේ දේශපාලන පන්ති විඥානය මොට කිරීමට කෙලින් ම දායක වී සිටි. කම්කරු පන්තියේ පන්ති විඥානයේ අර්බුදය එහි නිසග වැරැද්දක් නොවේ. ධනපති නිෂ්පාදන ක්‍රමය පෙරලා දමා සමාජවාදී පරිවර්තනයට නායකත්වය දිය හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. කම්කරු පන්තියට එම ක්‍රියා කලාපය ඉෂ්ට කල හැක්කේ, ධනපති පන්තියේ සෑම කොටසකින් ම දේශපාලනික ව බිඳී ස්වාධීන ව ජාත්‍යන්තරව සංවිධානය වීමෙන් පමනකි.

මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂයේ කාර්යභාරය එයයි. පෙසප බඳු ව්‍යාජ-වාම සංවිධානවල ධනේශ්වර ගැති දේශපාලනය හෙලිදරවු කර පරාජය කිරීම කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව සංවීධානය කිරීමේ අරගලයේ කොටසකි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එහි සමාජවාදී සමානතා පක්ෂ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම අරගලයේ දී සිටි.

අපගේ ජාත්‍යන්තර මැයි දින රැලියට සහභාගී වන්න.

Loading