ඉහල යන පොහොර මිල සහ හිඟය ගොවීන් ව්‍යසනයකට ඇද දැමීමේ තර්ජනය මතු කරයි

[මෙය Rising fertilizer prices, shortages threaten Sri Lankan farmers with disaster මැයෙන් 2026 මැයි 12 දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය ශ්‍රී ලාංකික කම්කරුවන්ට සහ ග්‍රාමීය දුප්පතුන්ට විනාශකාරී ප්‍රහාර එල්ල කරනු ලබයි. වඩාත් ම පීඩාවට පත් වූවන් අතර වී, බඩ ඉරිඟු, එලවලු, පලතුරු සහ අනෙකුත් අත්‍යවශ්‍ය භෝග වගා කරන ලක්ෂ සංඛ්‍යාත ගොවීහු වෙති.

හෝමූස් සමුද්‍ර සන්ධිය දින නියමයක් නොමැති ව වසා දැමීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගනන්වල තියුනු වැඩි වීමක් සිදු වී  ඇති අතර ජාත්‍යන්තර සැපයුම් දාම කැලඹීමකට ඇද දමා ඇත. ලොව පුරා සිටින ඔවුන්ගේ සගයන් මෙන් ම  ශ්‍රී ලංකාවේ ගොවීන් ද ඉහල යන ඉන්ධන සහ පොහොර පිරිවැයට මුහුන දී සිටින අතර එය කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාල  කිරීමට සහ මිලියන ගනනකට බලපාන ආහාර සුරක්ෂිතතා අර්බුදය ගැඹුරු කිරීමට තර්ජනය කරයි. ශ්‍රී ලංකාව එහි පොහොර අවශ්‍යතාවයෙන් සියයට 90 කට වඩා ආනයනය කරන අතර ඉන් වැඩි ප්‍රමානයක් - විශේෂයෙන් යූරියා - ඉරානයෙන් මිල දී ගනියි.

පෙබරවාරි 28 වන දින ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට ගෝලීය ඉන්ධන මිල ඉහල යාමට ප්‍රතිචාර වශයෙන්,ජනාධිපති අනුර කුමාර දිසානායක දේශීය ඉන්ධන මිල සියයට 25 ත් 35 ත් අතර ප්‍රමානයකින් වැඩි කර තිබේ. කෙසේ වෙතත්, ගොවීන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ විරෝධතා සහ නොසන්සුන්තාව පිලිබඳ භීතිය මධ්‍යයේ, ආන්ඩුව  ලෝක වෙලෙඳපොලේ මිල ගනන් වලට අනුරූප ව පොහොර මිල වැඩි කිරීම මේ දක්වා ප්‍රමාද කර ඇත. 

යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර සම්පාදනය කිරීමට ආන්ඩුව “සහතික කරන” බවත්, පෞද්ගලික සමාගම් වලින්  කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 13,500 කට මිල දී ගෙන රුපියල් 10,200 ක සහන මිලකට ගොවීන්ට බෙදා හරින බවත් අප්‍රේල් 7 වෙනි දා පාර්ලිමේන්තුව අමතමින් දිසානායක ප්‍රකාශ කලේ ය.

කෙසේ වෙතත්, යුද්ධය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම දිගට ම පවතින බැවින් ආන්ඩුවට  මෙම මිල ගනන්  පවත්වා ගැනීමට හැකි වනු ඇති බවට සහතිකයක් නොමැත. යූරියා ටොන් එකක ලෝක වෙලඳපොලේ මිල මාර්තු මාසයේ දී ඩොලර් 726ක් සහ අප්‍රේල් මාසයේ දී ඩොලර් 857ක් දක්වා ඉහල ගිය අතර එය පසුගිය වසරේ මිල මෙන් දෙගුනයකටත් වඩා වැඩි විය. 2025ට සාපේක්ෂ ව මෙම වසරේ සමස්ත පොහොර මිල සියයට 31කින් සහ යූරියා මිල සියයට 60 කින් පමන ඉහල යා හැකි බවට ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

දිසානායක විසින් “සහතික කරන ලද” මිලට පොහොර මිලදී ගැනීමට නොහැකි බවත්, වගාව සඳහා අවශ්‍ය ප්‍රමානයට පොහොර නොලැබෙන  බවටත් ගොවීන් දැනටමත් පැමිනිලි කර ඇත. යල කන්නයේ වගාව බරපතල ලෙස කඩාකප්පල් වනු ඇතැයි බොහෝ දෙනෙක් බිය පලකරති. ආන්ඩුව  පොරොන්දු වූ සහන මිලට  පොහොර සැපයුවද, දුප්පත්කමෙන් සහ නය බරින් පෙලෙන බොහෝ ගොවීන් පවසන්නේ ඔවුන්ට තවමත් පොහොර මිල දී ගැනීමට නොහැකි බවයි.

2025 නොවැම්බර් අග දී ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 814ක කෘෂිකාර්මික අලාභයක්  සිදු කල  දිට්වා සුලිකුනාටුව නිසා ඇති වූ විනාශය රටේ ආහාර සුරක්ෂිතතා අර්බුදය තවත් උග්‍ර කල අතර, එමඟින් මහ කන්නයේ වී අස්වැන්නෙන් සියයට 20ක් පමන විනාශ විය. මහ කන්නය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වගා කන්නයයි. ගං වතුරෙන් කුඹුරු හෙක්ටයාර 530,000 ක් පමන ජලයෙන් යට වී රටේ ආහාර සුරක්ෂිතතාවයට හානි වූ අතර ගොවීන් 227,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වූහ. ආන්ඩුවෙන් ප්‍රමානවත් වන්දියක් නොලැබීම නිසා බොහෝ ගොවි පවුල් තවමත් ව්‍යසනයෙන් ගොඩ ඒමට නොහැකි ව සිටිති.

යල කන්නයේ වී වගාව සඳහා පමනක් යූරියා ටොන් 98,000 ක් අවශ්‍ය වන අතර, 2026 මුල් මාස හය තුල මෙට්‍රික් ටොන් 216,300ක් අවශ්‍ය වන බව කෘෂි විද්‍යාඥ මහාචාර්ය බුද්ධි මාරඹේ අනතුරු අඟවා ඇත. පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේට අනුව, ආන්ඩුව සහ පෞද්ගලික සමාගම් සතු ව දැනට ඇති යුරියා ප්‍රමානය මෙට්‍රික් ටොන් 151,000ක් පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ කෘෂිකාර්මික අර්බුදය සහ පොහොර මිල ඉහල යාම සහ හිඟය නිසා ඇති වන  දුෂ්කරතා පිලිබඳව පසුගිය දිනවල ගොවීන් සමඟ කතා කලහ.

අම්පාරේ ගොවියෙකු වන ඒකනායක පැවසුවේ වී වගාවේ පිරිවැය තියුනු ලෙස ඉහල ගොස් ඇති බවයි. “ඉන්ධන මිල ඉහල යාම නිසා, දැන් අක්කරයකට සී සෑමට සහ පෝරු ගෑමට රුපියල් 28,000ක් වැය වෙනවා.  කලින් රුපියල් 25,000යි. පොහොර සහනාධාරය කන්නයකට අක්කරයකට රුපියල් 10,000යි දෙන්නේ. පොහොර මිල ඉහල යාමත් සමඟ එම මුදල ප්‍රමානවත් නැහැ. පොහොර වර්ග තුන ම - යූරියා, ටීඑස්පී  සහ එම්ඕපී - සඳහා වියදම තුන් ගුනයකට වඩා වැඩි වී ඇති” බව ඔහු පැවසී ය.

ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “වියදම ඉහලයි, නමුත් ආදායම අඩුයි. පෞද්ගලික වෙලෙන්දෝ වී කිලෝග්‍රෑමයක් ගන්නේ රුපියල් 110–114ට. නමුත් අවම වශයෙන් රුපියල් 140 ක් කිලෝ එකකට අවශ්‍යයි. පසුගිය වසරේ අක්කරයක් වගා කරන්න වියදම රුපියල් 120,000 ක් වුනේ; මේ වතාවේ 140,000ට වැඩි වෙයි. ගොවීන්ගේ ගැටලු විසඳීමට ආන්ඩුවට කිසි සැලැස්මක් නැහැ.”

අම්බලන්තොට, මයුරපුර, බැල්ලගස්වැව ප්‍රදේශයේ පදිංචි අඳ ගොවියෙකු වන රුවන්, ගොඩ වාරි ක්‍රමය යටතේ අක්කර දෙකක පමන වගා කරයි. “නියඟය හේතුවෙන් වැව් හිඳිලා නිසා ගොඩ ඉඩම්වලට වතුරයි, පොහොරයි නොදෙන බව කෘෂිකර්ම නිලධාරීන් කිව්වා. මැද පෙරදිග යුද්ධයේ බලපෑම නිසා පොහොර සැපයුම සීමා කර ඇති බව අපට ආරංචියි. මඩ කුඹුරු සඳහා ඉතා සුලු ප්‍රමානයක් පමනක් දෙන” බව ඔහු පැවසී ය.

රුවන්

අක්කරයකට වී කිලෝග්‍රෑම් 750 ක් බදු කුලිය ගෙවල මඩ කුඹුරක්  වගා කරන බව ඔහු කීවේ ය. “දැන් තියෙන  තත්වේ හැටියට  මොනවා වෙයි ද හිතා ගන්න බැහැ. කෙසෙල් ටිකකුත් වගා කලා. පොහොර ගත්තේ වැඩි පොලියට සල්ලි නයට අරගෙන. ආදායමක් නැතිවුනොත්  මොකද කරන්නේ කියල බයෙන් ඉන්නේ.”

එම ප්‍රදේශයේ ම තරුන ගොවියෙකු වන දර්ශන මෙසේ පැවසී ය: “දැන් දවසකට එක්කෙනෙකුට වැඩ කුලිය රුපියල් 4,000 - 4,500 වෙනවා. ගිය අවුරුද්දේ අක්කරයක් හාන්න රුපියල් 25,000–27,000 යි. මේ සැරේ රුපියල් 35,000 විතර වෙයි. පසුගිය කන්නයේ කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 11,500යි නමුත් දැන්  රුපියල් 13,500යි. වැඩි මිලට පොහොර ගන්න  අපට සල්ලි නැහැ,” යැයි ඔහු පැවසී ය.

වතුර සහ පොහොර හිඟය නිසා මෙම කන්නයේ වගා නොකිරීමට තීරනය කල බව එම ප්‍රදේශයේ ම තවත් ගොවියෙකු වන නෙලුම් චින්තක පැවසී ය. “පසුගිය වසර කිහිපය තුල මම රුපියල් 600,000කට වඩා නය අරගෙන තියෙනවා. ඒ නය ආපසු ගෙවන  එක ලොකු ගැටලුවක් බව” ඔහු කීවේ ය.

නෙලුම් චින්තක

ස්ථාවර ආදායමක් නොමැති ව, ඔහු මෝටර් රථ ගරාජයක තාවකාලික රැකියාවක නිරත ව අතර නය ආපසු ගෙවීමට සහ ඔහුගේ පවුල නඩත්තු කිරීමට ප්‍රමානවත් මුදලක් උපයා ගැනීමට අරගල කරමින් සිටී. පොහොර අර්බුදයක් පැවතිය ද, කුඩා ගොවීන් නොසලකා හරින අතරතුර, මහා ව්‍යාපාරිකයින්ට  ප්‍රමානවත් තරම් පොහොර ලැබෙන බව ඔහු තවදුරටත් පැවසී ය.

පසුගිය මැතිවරනයේ දී  ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජනතා බලවේගයට (ජවිපෙ/ජාජබ) ඡන්දය දුන් බව චින්තක පැවසී ය. “2022 මහජන නැගිටීමේ දී මම ජනතා විමුක්ති පෙරමුන  සංවිධානය කල විරෝධතාවලට සහභාගී වුනා. රටට සහ ජනතාවට යහපතක් වෙයි කියල බලාපොරොත්තු වුනා. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ  සම්පූර්නයෙන් ම අනිත් පැත්ත” යැයි ඔහු පැවසී ය.

ජවිපෙ හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂපාතී ප්‍රතිපත්ති සහ යුද්ධයේ අන්තරායන් පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවූ බව ඔහු සිහිපත් කලේ ය. “ඒ කාලේ මම සසප අනතුරු ඇඟවීමට අවධානය යොමු කලේ නැහැ. නමුත් දැන් මට පේනවා ඒක ඇත්ත බව. ජවිපෙ අප රැවට්ටුවා. යුද්ධයේ බලපෑම අපි හැමෝටම දැනෙනවා. මෙහෙ  ගොවියො  විශාල වශයෙන් පීඩාවට පත් වෙලා. යුද්ධයට එරෙහි ව සසප ගෙන යන අරගලය ඉතා වැදගත්, මම මැයි 24 වෙනි දා මාතර රැස්වීමට සහභාගී වෙනවා,” චින්තක පැවසී ය.

ශ්‍රී ලංකාවේ දුගී ගොවීන් දශක ගනනාවක් තිස්සේ ඉඩම් හිඟය, බැංකු, මුදල් පොලියට දෙන්නන් සහ කෘෂි සමාගම් විසින් සූරාකෑම සහ අඛන්ඩ ව ඉහල යන වගා පිරිවැය හේතුවෙන් පීඩා විඳිති. විශේෂයෙන් 1977 දී එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ විවෘත වෙලෙඳපොල  ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් පසු අනුප්‍රාප්තික ආන්ඩු, පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගොවිතැන් යෙදවුම් සඳහා සහනාධාර කප්පාදු කරන අතර ම කුඩා පරිමාන කෘෂිකාර්මික නිෂ්පාදනය සංගතවලට නිරාවරනය කලේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව විසින් කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් පනවන ලද රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයන තහනම් කිරීමට එරෙහි ව 2021 සැප්තැම්බර් මාසයේ සිට ගොවීන් දස දහස් ගනනක් මාස ගනනාවක් පුරා විරෝධතා පැවැත්වූහ. ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය සහ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශ සංචිතවල තියුනු පහත වැටීමක් මධ්‍යයේ මෙම පියවර හඳුන්වා දෙන ලදී. රාජපක්ෂට රටින් පලා ගොස් ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරුනු 2022  මහජන නැගිටීමට ග්‍රාමීය දුප්පතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.

2024 මැතිවරනවල දී බලයට පත්වීම සඳහා ජවිපෙ/ජාජබ සන්ධානය මෙම පුලුල් කෝපය ගසාකමින්, කම්කරුවන් සහ ගොවීන් මුහුන දෙන සමාජ අර්බුදය විසඳීම සඳහා බොරු පොරොන්දු ලබා දුන්නේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ක්‍රියාත්මක කරන අතරතුර, ආර්ථික අර්බුදයේ සහ යුද්ධයේ බලපෑමේ සම්පූර්න බර කම්කරු පන්තිය සහ ග්‍රාමීය දුප්පතුන් මත පටවමින් සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුවට ආයාචනා කිරීමෙන් සහ බලපෑම් දැමීමෙන් කම්කරුවන් සහ දුගී ගොවීන් මුහුන දෙන ගැඹුරු වන අර්බුදය විසඳා ගත නොහැකි ය.

ගොවීන් මුහුන දෙන හදිසි ගැටලු විසඳිය හැක්කේ කෘෂි ව්‍යාපාරික  සමාගම්, අතරමැදියන් සහ බැංකු පද්ධතියේ ආධිපත්‍යයෙන් ග්‍රාමීය නිෂ්පාදකයින් නිදහස් කිරීමෙන් පමනි.  මේ සඳහා ප්‍රධාන වතු, කෘෂි ව්‍යාපාරික සමාගම් සහ බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කල යුතු ය.

එවැනි පියවරයන් සාක්ෂාත් කරගත හැකිවන්නේ ජාත්‍යන්තර සමාජවාදය  සඳහා වන පුලුල් අරගලයක කොටසක් ලෙස, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඇතුලු ධනේශ්වර පාලනය අහෝසි කිරීමේ සහ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනක් තුලින් පමනයි.

කම්කරු පන්තිය ධනවාදයට එරෙහි පොදු අරගලයක දී කම්කරුවන්, කෘෂිකාර්මික කම්කරුවන් සහ දුප්පත් ගොවීන් එක්සත් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ග්‍රාමීය ජනතාවට දේශපාලන නායකත්වය ලබා දිය යුතු ය. වැඩ කරන ජනතාවගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය  සාකච්ඡා කිරීම සඳහා මෙම කමිටු කම්කරවන්ගේ  හා ග්‍රාමීය දුගී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා සටන් කල යුතු ය.

Loading