[මෙය දෙසැම්බර් 28 වෙනිදා “World Bank, ILO reports show depth of Cyclone Ditwah disaster in Sri Lanka” යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරු කරමින් කම්කරුවන්ගේ සහ දුගීන්ගේ ජීවන තත්වයන් තව දුරටත් විනාශයට ඇද දැමූ ඩිට්වා සුලි කුනාටුවෙන් රට තුල සිදු වූ දැවැන්ත හානිය පිලිබඳ ව පසුගිය සතියේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ) තක්සේරු වාර්තා නිකුත් කලහ.
නොවැම්බර් මාසය අග දී බෙංගාල බොක්කෙහි වර්ධනය වූ සුලි කුනාටුව නොවැම්බර් 28 වෙනිදා ශ්‍රී ලංකාවට ඇතුලු වී පසුදා පිට ව ගියේ ය. එයින් රටේ දිස්ත්‍රික්ක 25 ම ගංවතුරෙන් අලලා ගැනුනු අතර නායයෑම් සිය ගනනක් සිදු විය. නිල මරන සංඛ්‍යාව 639 ක් වන අතර, 203 දෙනෙකු අතුරුදහන් වී දහස් ගනනක් තුවාල ලදහ. සමහරුන්ගේ තත්වය බරපතල ය.
ලෝක බැංකුවේ ගෝලීය ශීඝ්‍ර පශ්චාත් ආපදා හානි ඇස්තමේන්තු ( Global Rapid Post-Disaster Damage Estimation )වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ මුලු හානියේ ප්‍රාරම්භක අගය ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක් හෙවත් දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 4 ක් පමන වේ. දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 2 ක පමන ජනතාවක් - දල වශයෙන් පවුල් 500,000 ක් - බලපෑමට ලක් වූහ.
කෙසේ වෙතත්, අයිඑල්ඕ ප්‍රාරම්භක තක්සේරුව ට අනුව ව්‍යසනය හේතුවෙන් දදේනි යෙන් සියයට 16 ක් හෙවත් ඩොලර් බිලියන 16 ක පමන හානියක් සිදු වී ඇත. පුලුල් වෙනස්කම් සහිත මෙම සංඛ්‍යාලේඛන මගින් අවධාරනය කෙරෙන්නේ රට පුරා සිදු වූ විනාශයේ දැවැන්ත පරිමාවයි.
“වෙලඳපල සහ සේවාවන් සම්බන්ධීකරනයට සහ ඒවා වෙත ප්‍රවේශ වීමට බාධා කරමින්” යටිතල පහසුකම්වලට සිදු කෙරී ඇති හානිය පමනක් ඩොලර් බිලියන 1.7 ට වඩා වැඩි බවත්, එය සමස්ත හානියෙන් සියයට 42 ක් වන බවත් ලෝක බැංකු වාර්තාව සඳහන් කරයි.
ඉන් ඩොලර් මිලියන 985 ක් නිවස්නා ගොඩනැගිලි වලට සිදු වූ හානියයි. නිවාස 6,000 කට වැඩි ප්‍රමානයක් සම්පූර්යෙනන්ම විනාශ වී ඇති අතර 100,000 කට පමන අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බව ශ්‍රී ලංකාවේ ආපදා කලමනාකරන මධ්‍යස්ථානය වාර්තා කලේ ය.
පාසල්, රෝහල්, ව්‍යාපාර සහ කර්මාන්තශාලා ඇතුලු නිවස්නා නොවන ගොඩනැගිලිවලට සිදු වූ හානිය ඩොලර් මිලියන 562 ක් ලෙස ගනන් බලා තිබේ. ප්‍රධාන රෝහල් දෙකක් මුලුමනින් ම අකර්මන්‍ය කල අතර තවමත් සම්පුර්නයෙන් යථා තත්ත්වයට පත් වී නොමැත. පන්ති නැවත ආරම්භ කිරීම සඳහා පාසල් කිහිපයක් වෙනත් ස්ථාන කරා ගෙන යාමට බල කෙරී ඇත.
කඳුකර මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කලමනාකරන, කෘෂිකර්ම සහ පශු වෛද්‍ය පීඨවලට විශාල හානියක් සිදු වූ අතර, ඒවායේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට නුදුරු දිනවල නොහැකි වනු ඇත.
සුලි කුනාටුවෙන් කුඹුරු, එලවලු වගාව, පශු සම්පත් සහ මිරිදිය ධීවර කර්මාන්තයට සිදු වූ විනාශය හේතුවෙන් ග්‍රාමීය ගොවීන්ට සහ ධීවරයින්ට ඩොලර් මිලියන 814 ක හානියක් සිදු වී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. කෘෂිකාර්මික යටිතල පහසුකම්වලට ද දැඩි ලෙස හානි විය. මෙය “දැනටමත් අවදානමට ලක්විය හැකි තත්වයක සිටින ප්‍රජාවන්හි ආහාර සුරක්ෂිතතාවයට සහ ග්‍රාමීය ජීවනෝපායන්ට බරපතල අන්තරායන්” ඇති කරන බවට ලෝක බැංකුව අනතුරු ඇඟවූයේ ය.
ඩිට්වා, කම්කරුවන් 374,000 කගේ රැකියාවලට බලපා ඇති බවත්, ඔවුන්ගේ ආදායම්වලට සිදු වී ඇති පාඩුව මසකට ඩොලර් මිලියන 48 ට ආසන්න බවත් ඇස්තමේන්තු කර ඇති අයිඑල්ඕව හදිසි මූල්‍ය ආධාර සහ යථා තත්වයට පත් කිරීමේ කඩිනම් වැඩසටහන් නිර්දේශ කර තිබේ.
මේවා පැලැස්තර පියවර මගින් විසඳිය හැකි සංඛ්‍යාවන් නොවේ. ජන ජීවිත විනාශය දැනටමත් බොහෝ දෙනෙකු දරිද්‍රතාවයට ඇද දමා ඇත. කෝවිඩ්-19 වසංගතය සහ නේටෝවේ මෙහෙයවීමෙන් කෙරෙන රුසියාවට එරෙහි යුක්‍රේන යුද්ධයේ බලපෑම 2022 දී පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් අවුලවා ලූ අතර, එවක පැවති ආන්ඩුවට විදේශ නය ගෙවීම පැහැර හැරීමට සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එයට ප්‍රතිචාර දැක්වූයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඩොලර් බිලියන 3 ක ඇපකර නයක් ලබා ගනිමින් සහ 2028 සිට එම නය ආපසු ගෙවීම සහතික කිරීම සඳහා, 2023 සිට අගය එකතු කල බද්ද (වැට්), විදුලිය සහ ජල ගාස්තු වැඩි කිරීම, රාජ්‍ය වියදම් දැවැන්ත ව කප්පාදු කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම ඇතුලු එහි දැඩි නියෝග ක්‍රියාවට දැමීමෙනි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව බලයට පත්වීමෙන් පසු, ජාමූඅ හි සියලු කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් එය ඉදිරියට ගෙන ගොස් තිබේ.
ගැඹුරු වන ආර්ථික අර්බුදය සහ ජාමූඅ විසින් පනවන ලද කප්පාදු පිලිවෙත් මධ්‍යයේ, නොවැම්බර් මාසයේ අගභාගයේ දී සුලි කුනාටුව ඇති වන විට, ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 22 ක් දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වූ අතර තවත් සියයට 10 ක් ඊට තරමක් ඉහලින් සිටියහ. මෙම මහා විපත ජනතාව මුහුන දෙන සමාජ ව්‍යසනය බෙහෙවින් තීව්‍ර කරනු ඇත.
ජනාධිපති දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය කුමක් ද?
ජාමූඅ වෙත යොමු වූ ආන්ඩුව, ශීඝ්‍ර මූල්‍යකරන මෙවලම (Rapid Financing Instrument) යටතේ අතිරේක ඩොලර් මිලියන 200 ක් ඉල්ලා සිටියේ ය. මෙම නය මුදල ලබා ගැනීම සඳහා, මුදල් අමාත්‍යවරයා ලෙස දිසානායක, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමඟ එක් ව, දෙසැම්බර් 10 වන දින ජාමූඅ කප්පාදු වැඩ පිලිවෙලට දැඩි ව කැපවන බවට ප්‍රතිඥා දුන් අභිප්‍රායේ ලිපියක් (Letter of Intent) අත්සන් කලේ ය.
ලිපිය විනාශයේ පරිමාව පිලිගත් නමුත් “අපගේ මූල්‍ය හා නය තිරසාරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා විචක්ෂනශීලී වීමේ වැදගත්කම අපි හඳුනා ගනිමු” යනුවෙන් ප්‍රකාශ කලේ ය.
ජාමූඅ විසින් නය මුදල අනුමත කෙරුනේ “ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම, යලි ගොඩනැගීම සහ නය තිරසාරභාවය සමතුලිත කිරීමේ දී මූල්‍ය විනය ඉතා වැදගත් වනු ඇත” යි අනතුරු අඟවමිනි. හදිසි වියදම් පවතින මූල්‍ය නීතිරීති තුල පැවතිය යුතු බවට ද එය අනතුරු ඇඟවී ය.
ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ හිඟය ඩොලර් මිලියන 700 දක්වා පුලුල් විය හැකි බවත්, උද්ධමනය මහ බැංකුවේ කලින් පුරෝකථනය කල සියයට 5 ඉක්මවා යා හැකි බවටත් ජාමූඅ තවදුරටත් අනතුරු ඇඟවී ය.
ලෝක බැංකුවේ ආරම්භක හානි ඇස්තමේන්තුවලින් කොටසක් වන සුලි කුනාටු ආශ්‍රිත වියදම් පියවා ගැනීම සඳහා ආන්ඩුව දෙසැම්බර් 19 වන දින පාර්ලිමේන්තුව හරහා රුපියල් බිලියන 500 ක (ඩොලර් බිලියන 1.5 ක පමන) පරිපූරක ඇස්තමේන්තුවක් කඩිනමින් ඉදිරිපත් කලේ ය.
දිසානායක ජාමූඅ වෙත දෙන පොරොන්දුවලින් අදහස් වන්නේ, සහන පිලිබඳ ඔහුගේ පූච්චානම් තිබිය දී, 2026 සඳහා සැලසුම් කර ඇති අතිරේක අයවැයක නව බදු සහ ගැඹුරු වියදම් කප්පාදු හරහා වැඩ කරන ජනතාව මත පැටවෙන බර තීව්‍ර වනු ඇති බවයි.
සුලි කුනාටුව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සංකීර්න කර ඇති අතර පාලක පන්තියේ දේශපාලන අර්බුදය තවදුරටත් තීව්‍ර කරනු ඇත.
ජාත්‍යන්තර ව සහ ශ්‍රී ලංකාව තුල අනතුරු ඇඟවීම් මතුකර තිබේ. මෙම සතිය මුලදී, මහාචාර්ය ජයති ගෝෂ් සම්බන්ධීකරනය කරන ලද එක්සත් රාජධානියේ නය සාධාරනත්වය (Debt Justice) සහ ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික ආයතනයේ ප්‍රමුඛ ගෝලීය ආර්ථික විද්‍යාඥයෝ 121 දෙනෙකු ප්‍රකාශයක් නිකුත් කරමින්, “මෙම කොන්දේසි යටතේ නය ආපසු ගෙවීමේ විධානයන් දිගටම පැනවීම, ශ්‍රී ලංකාවේ නය ගෙවීමේ හැකියාව සලකා බැලීමේ ලා අපොහොසත් වන” බවට අනතුරු ඇඟවූහ
“ජීවිත නැවත ගොඩනැගීමට, කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට, යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට සහ සමාජ ආරක්ෂාව සැපයීමට දරන උත්සාහයන් නය ගෙවීම මගින් අඩපන කෙරෙන” බව පවසමින්, ආර්ථික විද්‍යාඥයෝ “ශ්‍රී ලංකාවේ බාහිර ස්වෛරී නය ගෙවීම් වහාම අත්හිටුවීම සහ නව ප්‍රතිව්‍යුහගත කිරීමක්” ඉල්ලා සිටියහ.
එහෙත් එවැනි ආයාචනා නය හිමියන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල බිහිරි කන්වලට නො ඇසෙනු ඇත. එම වසරේ අප්‍රේල් මාසයේ සිට මාස හතරක මහජන නැගිටීමක් ඇති කල 2022 ආර්ථික බිඳවැටීම අතරතුර මෙම ආර්ථික විද්‍යාඥයෝ එවැනිම ආයාචනා ඉදිරිපත් කලහ. සමාජ නැගිටීම් පිලිබඳ ශක්‍යතාවය නැවතත් ඔවුන් තුල හොල්මන් කිරීමට පටන් ගෙන ඇත.
සුලි කුනාටුවෙන් සිදු වූ ව්‍යසනයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ දැවැන්ත වියදම් ජනතාව මත පැටවීමේ ආන්ඩුවේ සැලසුම්වලට කම්කරුවන් සහ දුගීන් විරුද්ධ විය යුතු ය. සුලිකුනාටු ව්‍යසනයට හෝ ඊට තුඩුදුන් ධනේශ්වර අර්බුදයට ඔවුන් වගකිව යුතු නැත.
ව්‍යසනය සහ මහජන දුක් වේදනා සඳහා වගකීම සෘජු ව ම පැවරෙන්නේ එවැනි සිදුවීම්වල බලපෑම අවම කිරීමට අත්‍යවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වූ අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික ආන්ඩු මත ය.
ලොව පුරා ආන්ඩු , විශේෂයෙන් ප්‍රධාන ධනපති බලයන්, ලාභය සහ ජාතික අවශ්‍යතා මූලික සමාජ අවශ්‍යතාවලට වඩා ඉහලින් තබන අතර, සුලිකුනාටු වල බරපතලකම වැඩි කර ඇති ගෝලීය උෂ්නත්වය ඉහල යාමේ අනවරත බලපෑමට වගකිව යුතු ය.
සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමල ධනේශ්වර පක්ෂ ඇතුලු සියලු ම විරුද්ධ පක්ෂ ආධාර බෙදා හැරීමේ සහ ප්‍රතිසංස්කරන ප්‍රමාදය සම්බන්ධයෙන් ආන්ඩුවට පුහු විවේචන එල්ල කරමින් සිටිති. මෙම සියලු පක්ෂවලට අතීත ව්‍යසනයන් සම්බන්ධයෙන් ඒ හා සමාන වාර්තා ඇති අතර පාලක ජවිපෙ/ජාජබට විකල්පයක් සපයන්නේ නැත.
තම පන්ති සහෝදර, සහෝදරියන් මෙන්ම සුලිකුනාටුවෙන් පීඩාවට පත් ග්‍රාමීය හා නාගරික දුප්පතුන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. සමහර ස්ථානවල ජනතාව විරෝධතා පවත්වා ඇති අතර ආන්ඩුවේ ඉතා සීමිත ආධාර කෙරෙහි කෝපය වර්ධනය වෙමින් පවතී.
මෙම අරගලය, රට පුරා සමාජ දුක්ඛිත තත්ත්වය ගැඹුරු කිරීමට වගකිව යුතු ජාමූඅ හි ම්ලේච්ඡ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහි සටන සමග අත්‍යන්තයෙන් සම්බන්ධ කල යුතු ය.
දිසානායක ආන්ඩුව රුපියල් 25,000 ක (ඩොලර් 81) සහනාධාරයක් සහ නිවාස අලුත්වැඩියාව හෝ යලි ඉදි කිරීම් සඳහා රුපියල් මිලියන 5 ක් (ඩොලර් 16,150) දක්වා වහාම ගෙවීමට පොරොන්දු වී තිබේ.
එහෙත් මෙම සොච්චම් ආධාරය පවා දැඩි අවශ්‍යතා ඇති බොහෝ දෙනෙකු ට ලැබී නැත. එයින් පෙන්නුම් කරන්නේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සේවයේ යොදවන ගොවිතැන, ධීවර කර්මාන්තය සහ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් ප්‍රතිනිර්මානය කිරීමේ සහ පුනර්ජීවනය කිරීමේ පොරොන්දුවලට කුමක් සිදුවේද යන්න පමනි .
සසප ඉල්ලීම්:
- බලපෑමට ලක් වූ සියලු දෙනාටම ක්ෂනික සහ ප්‍රමානවත් සහන සහතික කල යුතු ය; යහපත් තාවකාලික නවාතැන් සහ ආරක්ෂිත ජීවනෝපායන් යථා තත්ත්වයට පත් වන තෙක් තිරසාර මූල්‍ය ආධාර ලබා දිය යුතු ය.
- රැකියා අහිමි වූවන්ට පූර්න ආදායම් සඳහා සහාය ලබා දිය යුතු ය.
- කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර හිමියන් සඳහා අඩු පොලී නය ඇතුලුව පුලුල් ආධාර ලබා දිය යුතු ය.
- කුඩා ව්‍යාපාරිකයන් ඇතුලු ආපදාවට ගොදුරු වුවන්ගේ සියලු නය අවලංගු කල යුතු ය.
ශ්‍රී ලංකාව මූල්‍ය ආයතනවලින් ලැබෙන නය මත විශ්වාසය තැබිය යුතු බවත් ඔවුන්ගේ නියෝගවලට යටත් විය යුතු බවත් අවධාරනය කරමින් පාලක පන්තිය මුදල් නොමැති බව කියා සිටිනු ඇත. කම්කරුවන් ඔවුන්ගේ බොරු ප්‍රතික්ෂේප කල යුතු ය.
සංගත ප්‍රභූව සමුච්ඡය කරගත් අතිවිශාල ධනය අත්පත් කර ගත යුතු අතර, සියලු විදේශ නය ආපසු ගෙවීම් වහා ම ප්‍රතික්ෂේප කල යුතු ය. ජීවිත නැවත ගොඩනැගීම, සමාජ සහනාධාර පුලුල් කිරීම මෙන්ම, අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා මෙම මුදල් භාවිතා කල යුතු ය.
ජීවිත නැවත ගොඩනැගීම, යටිතල පහසුකම් සහ සම්පත් බෙදා හැරීම ජවිපෙ/ජාජබ ආන්ඩුවට හෝ ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රනයට භාර දිය නොහැකි ය.
වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව, සෑම වැඩබිමකම සහ අසල්වැසි ප්‍රදේශයක ම ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත් වූ ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සසප ඉල්ලා සිටී. ග්‍රාමීය ප්‍රදේශවල ද ඒ හා සමාන කමිටු ගොඩනැගිය යුතු ය. මෙම කමිටු ඒකාබද්ධ අරගලයක් සංවිධානය කල යුතු අතර පුද්ගලික ලාභය සඳහා නොව සමාජ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙන සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් විය යුතු ය.
ක්‍රියාකාරී කමිටු නියෝජිතයින්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කල ඉල්ලීමේ වැදගත්කම බලගතු ලෙස මතු වී තිබේ. එය වැඩකරන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට මූලෝපායක් සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට සහ කම්කරු පන්තිය සහ ගොවීන් අතර අවශ්‍ය සන්ධානය ගොඩනැගීමේ මාධ්‍යයකි.
කප්පාදු පියවරයන්ට සහ පාරිසරික ව්‍යසනයට එරෙහි සටන, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වූ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයෙන් වෙන් කල නොහැකි ය.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද?
- දිට්වා කුනාටු ව්‍යසනය කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය මැද, නිදහස් භාෂනය මැඩීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව හදිසි බලතල යොදාගයි
- ඩිත්වා කුනාටු ව්‍යසනය මධ්‍යයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ “මානුෂික මෙහෙයුම”
- දිට්වා සුලි කුනාටු ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ දැවැන්ත මානුෂීය අර්බුදයක් වැඩෙමින් පවතී
