[මෙය US war on Iran drives up cost of living in Sri Lanka as government prepares new taxes යන මැයෙන් 2026 මැයි 08 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද යුද්ධය, දැනටමත් දුෂ්කරතාවයට පමුනුවා ඇති, ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ සහ ග්‍රාමීය හා නාගරික දුප්පතුන්ගේ ජීවන තත්වයන් වේගයෙන් නරක අතට හරවමින් තිබේ. ගෝලීය බලශක්ති මිල ගනන් ඉහල යාම සහ සැපයුම් බාධාවන්, දේශීය උද්ධමනය සෘජු ව ම පෝෂනය කරමින් අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවල පිරිවැය ඉහල නංවයි.
ඒ සමඟම, රාජ්‍ය ආදායම ඉහල නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉල්ලීම්වලට අනුකූල ව නව බදු පියවර පැනවීමෙන් ආන්ඩුව ජනතාවට එල්ල කරන ප්‍රහාරය තීව්‍ර කරමින් සිටී. ඉදිරි සතිවල දී, එකතු කල අගය මත බදු (VAT) පනත් කෙටුම්පත සඳහා නව සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත; එමඟින් ආර්ථික අර්බුදයේ බර වැඩ කරන ජනතාව මතට තවදුරටත් හරවා යැවේ.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, කොලඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වෙනස මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය, පෙබරවාරි මාසයේ පැවති සියයට 1.6 සහ මාර්තු මාසයේ පැවති සියයට 2.2 සිට, අප්‍රේල් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහල ගොස් තිබේ. මෙය 2025 අගභාගයේ දී වාර්තා වූ, සාපේක්ෂ ව අඩු සහ ස්ථාවර උද්ධමනයෙන් සැලකිය යුතු බිඳීමක් සනිටුහන් කරයි.
ආහාර මිල ගනන් නැවතත් ඉහල යාමට පටන් ගෙන ඇති අතර, ආහාර උද්ධමනය මාර්තු මාසයේ පැවති සියයට 0.7ට සාපේක්ෂ ව අප්‍රේල් මාසයේ දී සියයට 2.8 දක්වා ලඟා විය. එම කාලය තුල ආහාර නොවන භාන්ඩවල උද්ධමනය සියයට 2.9 සිට සියයට 6.8 දක්වා ඉහල ගියේය. අප්‍රේල් මාසයේ ජීවන වියදම් දර්ශකය, බොහෝ දුරට මෙහෙයවනු ලැබ තිබුනේ, ඉන්ධන මිල ඉහල යාම හේතු කොට ගෙන ඉහල ගිය ප්‍රවාහන වියදම්වලිනි.
මෙම වර්ධනයන්, “මැදපෙරදිග යුද්ධයේ” “වෙනස්වීම්” සමග සහ ඒවායේ ගෝලීය ප්‍රතිවිපාක සමඟ බැඳී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CB) ඒත්තුගෙන තිබේ. තවත් මාස කිහිපයකට උද්ධමනය සියයට 5 ඉලක්කය වටා පවතිනු ඇතැයි ප්‍රකාශ කරන අතර ම, මෙම ඉදිරි දැක්ම “ඉහල අවිනිශ්චිතතාවයකට” යටත් බව මහ බැංකුව පිලිගෙන තිබේ.
අප්‍රේල් 22 වන දින, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) වාර්තාවක්, ශ්‍රී ලංකාව මුහුන දෙන වර්ධනය වන අවදානම් සහගත තත්වය පිලිබඳව අනතුරු ඇඟවීය. එහි සඳහන් වූයේ රට සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 63 ක් ආනයනය කරන අතර රටේ බලශක්ති සැපයුමෙන් සියයට 40 කට ආසන්න ප්‍රමානයක් තෙල් මත යැපෙන බවයි. ගෝලීය තෙල් මිල, පසුගිය වසර හතර තුල එහි ඉහල ම අගයට ලඟා වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා විදුලි ගාස්තු ඉහල යමින් පවතී.
ශ්‍රී ලංකාව ආනයනික ඉන්ධන මත දැඩි ලෙස රඳා පවතින රටක් බැවින්, එවැනි බාහිර කම්පනවලට එය බෙහෙවින් නිරාවරනය වේ. ඉන්ධන මිල මැයි 3 දින නැවතත් සියයට 5කින් ඉහල ගිය අතර, එය පෙර, මාර්තු 26 දින ඉහල ගිය, සියයට 36 ක වැඩිවීමට එකතු විය; එය ආර්ථිකය පුරා ප්‍රවාහන හා භාන්ඩ පිරිවැය තවදුරටත් ඉහල නැංවීය.
මාර්තු මාසයේ සියයට 26.3 ක පහත වැටීමකින් පසුව, අප්‍රේල් මාසයේ දී, සංචාරක පැමිනීම්, පෙර වසරට සාපේක්ෂ ව සියයට 22.32 කින් පහත වැනු අතර සංචාරක ව්‍යාපාරය වැනි ප්‍රධාන අංශ පුලුල් ආර්ථික බලපෑමකට ලක්විය. මෙම පහත වැටීමෙන් පිලිබිඹු වන්නේ, ගුවන් සේවා මාර්ග බාධාකරනයන්ට ලක්වීම සහ පිරිවැය වැඩිවීම මධ්‍යයේ, ගෝලීය සංචාරවල සාමාන්‍ය පහත වැටීමකි. ශ්‍රී ලංකාව මැද පෙරදිග ප්‍රවාහන මධ්‍යස්ථාන මත රඳා පැවතීම, එය විශේෂයෙන් අවදානමට ලක් කරයි.
කොලඹ ආන්ඩුව රඳා පවතින්නේ සංක්‍රමනික කම්කරුවන්ගේ ප්‍රේෂන මත ය; ඒවායින් බොහෝමයක් මැද පෙරදිගින් ලැබෙන ප්‍රේෂන වේ. මෙතෙක් ප්‍රේෂනවලට දැඩි බලපෑමක් එල්ල වී නොමැති වුව ද, ආන්ඩුවට සම්බන්ධ චින්තන පර්ෂදයක් වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, ඉරාන යුද්ධය උත්සන්න වුවහොත් සිදුවිය හැකි රැකියා කප්පාදු සහ ප්‍රධාන බාධාවන් පිලිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සිය පොහොර අවශ්‍යතාවයෙන් සියයට 90කට වඩා ආනයනය කරන බව ලෝක ආහාර වැඩසටහන ද සඳහන් කර සිටී. සමස්ත ගෝලීය පොහොර වෙලඳාම්වලින් සියයට 30ක් පමන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බැවින්, මෙය සැලකිය යුතු අභියෝගයක් මුනගස්වයි. හිඟය සහ ඉහල යන පොහොර මිල ගනන්, ඒවායේ භාවිතය අඩුවීමටත්, එමගින් බෝග අස්වැන්න අඩුවීමටත් හේතු විය හැක.
“ගෝලීය ආහාර මිල ගනන් තියුනු ලෙස ඉහල ගොස් ඇති අතර, විශේෂයෙන් තිරිඟු, ඉරිඟු, සහල් සහ එලවලු තෙල් වැනි ප්‍රධාන ද්‍රව්‍ය සඳහා මිල ගනන් ඉහල ගොස් තිබේ. 2025 දී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක පමන ආහාර ආනයනය කල ශ්‍රී ලංකාව, එවැනි වැඩිවීම්වලට ඉතා සංවේදී වේ,” යනුවෙන් වාර්තාව සඳහන් කලේ ය.
මෙම නරක අතට හැරෙන තත්වය මධ්‍යයේ, ආන්ඩුව ජාමූඅ විසින් නියම කරන ලද ප්‍රතිගාමී බදු පියවරයන් ඉදිරියට ගෙන යමින් සිටී. නව වැට් බදු පනත මඟින්, ලියාපදිංචි කිරීමේ සීමාව, වාර්ෂිකව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කර ඇති අතර, එය කුඩා ව්‍යාපාර දහස් ගනනක් ආන්ඩුවේ පුලුල් වන බදු දැලට ඇද දමනු ලබයි.
මෙම නීති සම්පාදනය මගින්, විදේශීය සමාගම් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පනවන අතර, මූල්‍ය සේවා සඳහා වැට් බද්ද සියයට 18 සිට සියයට 20.5 දක්වා වැඩි කරයි; එය ඉහල දඩ මුදල් සහ සිර දඬුවම් අවදානම ඇතුලු දැඩි බලාත්මක කිරීමේ පියවර හඳුන්වා දෙමින් සිටී.
මෙම පියවරයන්, දැනටමත් දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනතාවගෙන් වැඩි ආදායමක් සූරා ගැනීම අරමුනු කර ඇත. 2019 දී රුපියල් 6,966 ක් වූ නිල දරිද්‍රතා රේඛාව, 2026 දී රුපියල් 16,730 දක්වා, දෙගුනයකටත් වඩා වැඩි ප්‍රමානයකින් ඉහල ගොස් ඇති අතර, එය ජීවන තත්වයන්හි තියුනු ඛාදනය අවධාරනය කරයි. දරිද්‍රතා රේඛාව යනු ආහාර, නිවාස සහ සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය අවම මාසික ආදායමයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට මුලුමනින් කැපවී සිටී. අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් කාර්ය මන්ඩල මට්ටමේ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු, නව වැට් බදු පනත වැනි බදු වැඩි කිරීම් සහ තවදුරටත් පුද්ගලීකරන පියවර ඇතුලු ව, ජීවන තත්වයන්ට තවදුරටත් පුලුල් ප්‍රහාර එල්ල කිරීම මෙයට ඇතුලත් වේ.
පසුගිය වසරේ සහ මෙම වසරේ මුල් මාසවල, රැකියා, වැටුප් සහ කොන්දේසි සම්බන්ධයෙන් පැන නැඟුනු අරගල කම්කරු පන්තියේ වැඩෙන විරෝධය පෙන්නුම් කර ඇති අතර, වෘත්තීය සමිති නිලධරයන් ආන්ඩුවේ අනවරත ප්‍රහාරවලට නිහඬ සහාය පල කරමින් සිටියි.
කම්කරු පන්තියට, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ජාමූඅ කප්පාදු පියවරයන්ට සහ වැඩිවන යුද බරට එරෙහි ව තම සටන ඵලදායී ලෙස වර්ධනය කල හැක්කේ, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ව සහ සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් ව, සෑම වැඩපොලක ම සහ සෑම ආයතනයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් පමනි. රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ ග්‍රාමීය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හැකියාව ඇති එකම සංවිධාන මේවා පමනි. එවැනි අරගලයක් වර්ධනය කල හැකි වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්සත්ව, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීම හරහා පමනි.
