ඉදිරිදර්ශන

ඇමරිකානු-චීන සමුලුව ගෝලීය යුද්ධයට ඉසිඹුවක් නොවේ

[මෙය US-China summit brings no respite in global war යන මැයෙන් 2026 මැයි 16 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2026 මැයි 15 වන සිකුරාදා බීජිංහි දී චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ ෂොංනාන්හයි උද්‍යානය හරහා සුහද පා ගමනකට සහභාගී වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. [AP Photo/Evan Vucci]

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා දින දෙකක චීන සංචාරය නිම කරමින් නැවතත් වොෂින්ටනයට පැමිනියේ ය. දශකයකට ආසන්න කාලයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු කල පලමු චීන සංචාරය මෙය විය. එය කිසි සේත්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය පුපුරා යාමට විරාමයක් ලබා දුන්නේ නැත. මෙම සංචාරය තුල, ඉරානයට එරෙහි එක්සත් ජනපද අවහිරය ලිහිල් කිරීමක්, ඇමරිකාව විසින් තායිවානය සන්නද්ධ කිරීමේ නැවැතීමක්, ට්‍රම්ප්ගේ චීන විරෝධී තීරුබදු අඩු කිරීමක් හෝ වෙනත් කිසිදු නිල නිවේදන නිකුත් කිරීමක් සිදු වූයේ නැත.

මෙම රැස්වීම පැවැත්වුනේ, මීට මාස තුනකටත් අඩු කාලයකට පෙර ආරම්භ වූ, ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයේ සෙවනැල්ල යටතේ ය. එක්සත් ජනපද ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය තිබියදී ම, ඉරාන ආන්ඩුව පෙරලා දැමීම, එහි හමුදාව විනාශ කිරීම හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීම යන අරමුනු සාක්ෂාත් කර ගැනීමට ට්‍රම්ප් පරිපාලනය අසමත් වී ඇත.

ට්‍රම්ප් බලාපොරොත්තු වූයේ, ඉරානයේ ජයග්‍රාහකයා ලෙස බීජිං වෙත පැමිනීමටත්, චීනයට කොන්දේසි නියම කිරීමට සූදානම් ව, එහි බලශක්ති සැපයුම් මත දැඩි ග්‍රහනයක් තබා ගැනීමටත් ය. ඒ වෙනුවට, භූ දේශපාලනික ව්‍යසනයකට මුහුන දෙමින් සිටි  ඔහුට, යුද්ධය විසින් නිර්මානය කරන ලද අර්බුදය විසඳීම සඳහා ෂීගේ සහාය පැතීමට සිදු විය.

ෂී උත්සාහ කලේ, ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ විනාශකාරී යුද්ධය නිසා ඇති වූ අර්බුදය, චීනයේ තැරැව්කාර ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනීමට ය. ට්‍රම්ප් එයාර් ෆෝස් වන් නෞකාවෙන් බැස එන විට, ඔහුගේ (ෂී ගේ) පිලිකුල් සහගත යටත්පහත්කම ප්‍රදර්ශනය කරමින්, කලින් සූදානම් කර පුහුනු කරන ලද පිරිසක්, ඇමරිකානු සහ චීන ධජ ලෙලවමින් ට්‍රම්ප් පිලිගනු ලැබූහ. රාජ්‍ය භෝජන සංග්‍රහයේ දී, “චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීමේත්, ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේත් ගමන අත්වැල් බැඳගෙන යා හැකි වීම” සම්බන්ධයෙන් ෂී සවුදිය පිරූ අතර, දෙදෙනා “ප්‍රතිවාදීන් නොව, හවුල්කරුවන්” විය යුතු බව ට්‍රම්ප්ට පැවසී ය.

මෙම රතු පලස් ගෞරවය ලබා දී තිබුනේ, ස්වෛරී රාජ්‍යයන්ගේ නායකයින් ඝාතනය කරන, පැහැරගෙන යන, මුලු සමාජය ම සමූල ඝාතනය කරන බවට නිරන්තරයෙන් තර්ජනය කරන සහ සිවිල් ජනතාවට එරෙහි ව න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට ඉඟි කරන මිනීමරුවෙකු සහ අපරාධකරුවෙකුට ය.

නමුත් මේ සියලු සංදර්ශන තිබිය දී ම, සමුලුව කිසිදු පොදු එකඟතාවක් අත්කර ගෙන නොතිබුනි; ඉරාන අර්බුදය විසඳීමේ දී ඔහුගේ සහයෝගීතාවය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන්, ට්‍රම්ප්, ෂීට දුන් සියලු පුද්ගලික පොරොන්දු මුලුමනින්ම නිෂ්ඵල විය.

ට්‍රම්ප් පාලනය, ගැඹුරු වන දේශපාලන, සමාජීය සහ ආර්ථික අර්බුදයකට මුහුන දී සිටී. ශ්‍රේනිගත කිරීම් අනුව ට්‍රම්ප් අනුමත කරන්නන් සියයට 34 දක්වා පහත වැටී ඇති අතර එය ඔහුගේ ජනාධිපති ධුර කලය තුල අඩු ම අගයයි. ප්‍රධාන ශ්‍රේනිගත කිරීමේ ආයතන විසින්, වෙන වෙන ම සිදු කල නය-හිමි ශ්‍රේනිගත කිරීම් තුනකින් වසරකට පසු, එක්සත් ජනපද ජාතික නය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 දක්වා ලඟා වී තිබේ. ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයේ තත්ත්වය පිලිබඳ සැකයන් මෙම සංචාරය පුරා හොල්මන් කරයි.

මෙම පසුබිම යටතේ—ට්‍රම්ප්ගේ පලමු පරිපාලන කාලය තුල තීව්‍ර ලෙස ආරම්භ වූ—චීනය ආර්ථික වශයෙන් ගෙල සිර කිරීමේ එක්සත් ජනපද උත්සාහය අසාර්ථක වී ඇති බව සමුලුවෙන් පැහැදිලි වුනි. 2018 ඔක්තෝබර් මාසයේ දී උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කලේ, “විසි එක්වන සියවසේ ආර්ථිකයේ ප්‍රධාන අන දෙන්නාගේ ස්ථානය” උදුරා ගැනීම එක්සත් ජනපදයේ අභිප්‍රාය බව යි. තීරුබදු සහ අපනයන පාලනයන් හරහා දියත් කරන ආර්ථික යුද ව්‍යාපාරය, බයිඩන් පරිපාලනය හරහා, දෙවන ට්‍රම්ප් පරිපාලනය දක්වා ම අඛන්ඩ ව පැවතුනි. රොබෝ තාක්ෂනය, ස්වයංක්‍රීය-යන්ත්‍ර තාක්ෂනය සහ කෘතිම බුද්ධිය යන අංශවල ප්‍රධාන දියුනුවක් ලබා ඇති චීනයේ තාක්ෂන අංශය, මෙම උත්සාහයන් විනාශ කර නැත.

මෙම දියුනුව තිබිය දී ම, නැතහොත් ඒ නිසා ම, ආර්ථික හා මිලිටරි යුද්ධයක් හරහා චීනයේ ගෙල සිර කර යටත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන සිටින එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ලෝක පර්යායකට චීනය මුහුන දී සිටී. ග්‍රීන්ලන්තය සහ පැනමා ඇල අත්පත් කර ගැනීමට එක්සත් ජනපදයේ උත්සාහයන්ට සමගාමී ව, ලතින් ඇමරිකාවේ සහ පර්සියානු ගල්ෆ් කලාපය තුල එහි ප්‍රචන්ඩත්වය, චීනය සමඟ සෘජු මිලිටරි ගැටුමකට සූදානම් වීම සඳහා ලෝකයේ උපායමාර්ගික මුහුදු තීරු (strategic choke points) අල්ලා ගැනීමේ තල්ලුවක කොටසකි.

සමස්ත පැරනි යටත් විජිත ලෝකය සමඟ චීනය යටත් කර ගැනීම අරමුනු කරගත් මෙම ප්‍රහාරය හමුවේ, චීන මූලාසනධාරී ෂී ජින් පිං, සමුලුවේ දී එක්සත් ජනපදය සහ චීනය අතර සාමකාමී සහයෝගීතාවයකට ආයාචනා කලේ ය.

ෂී සමුලුව ආරම්භ කලේ, රටවල් දෙකට “ඊනියා තසිඩයිඩස් උගුල (Thucydides Trap - තසිඩයිඩ්ස් උගුල යන දේශපාලන න්‍යායෙන් පැවසෙන්නේ, නැගී එන බලයක්, ස්ථාපිත, ආධිපත්‍යය දරන බලයක් විස්ථාපනය කිරීමට තර්ජනය කරන විට, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන ව්‍යුහාත්මක ආතතිය ඔවුන් අතර යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාව බෙහෙවින් වැඩි කරන, නැතහොත් නොවැලැක්විය හැකි බවට පත්කරන බවයි) ඉක්මවා ගොස් ප්‍රධාන බලවතුන් අතර සබඳතා සඳහා නව ආකෘතියක් සකස් කල හැකිද” යනුවෙන් විමසමිනි. “චීනය සහ එක්සත් ජනපදය අතර පොදු අවශ්‍යතා අපගේ වෙනස්කම් ඉක්මවා යයි” යනුවෙන් ඔහු තවදුරටත් පැවසී ය.

ඊට පටහැනි ව, ට්‍රම්ප් පරිපාලනය, බීජිං සමඟ සබඳතාවල ඇති විය හැකි ඕනෑ ම වර්ධනයක්, එක්සත් ජනපදය නැවත සන්නද්ධ කිරීම වේගවත් කිරීමට සහ යුද්ධය සඳහා රට වඩා හොඳින් ස්ථානගත කිරීමට අවස්ථාවක් ලෙස දකී.

මෙම ගනනය කිරීම් ප්‍රකාශ කරන ලද්දේ, පලමු ට්‍රම්ප් පරිපාලනයේ සහකාර රාජ්‍ය ලේකම් සහ වත්මන් පරිපාලනයේ ප්‍රමුඛ උපායමාර්ගිකයින්ගේ සමීප සගයෙකු වන වෙස් මිචෙල් විසිනි. ෆොරීන් අෆෙයාර්ස් සඟරාවේ ලියමින්, මිචෙල්, පරිපාලනය “ශක්තිමත් අනාගත ස්ථාවරයක් වෙනුවෙන්... කාලය ගෙන, තත්වයට සූදානම් වීමට” උත්සාහ කරන බව පැහැදිලි කලේ ය. එවැනි තත්වයක් තුල, එක්සත් ජනපදයට “ජීවිතාරක්ෂක ඖෂධ සංවර්ධනය කිරීම, එක්සත් ජනපද ආර්ථිකය සවිබල ගැන්වීම හෝ යුද්ධ කිරීමට අවශ්‍ය උපකරන ලබා ගැනීමේ දී තම ප්‍රධාන ප්‍රතිවාදියා මත රඳා පැවතීම හැකි තරම් අඩු කිරීමේ හා යලි පන ගන්වන ලද ඇමරිකානු කර්මාන්තයේ සහාය ඇතිව, දියුනු ආයුධ ගබඩාවක් ලැබෙනු ඇත.”

ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ චීනය අතර සාමකාමී සහජීවනයක් පැවතිය නොහැක. අර්බුදවලින් පිරුනු, නය ගැති ඇමරිකානු ධනවාදයට චීනයේ අඛන්ඩ ආර්ථික වර්ධනය ඉවසිය නොහැක. චීනයේ ආර්ථික නැගීම පිලිගැනීම යනු, එක්සත් ජනපද බල පද්ධතිය ම රඳා පවතින ඩොලරයේ අධිකාරය මත පවතින ලෝක පර්යායේ බිඳ වැටීමයි.

අවසාන වශයෙන්, චීනය යටත් කර ගැනීමේ ඇමරිකානු තල්ලුව පැන නගින්නේ, ධනේශ්වර ලෝක පර්යායේ ව්‍යුහයෙනි—ගෝලීය වශයෙන් ඒකාබද්ධ ආර්ථිකයක් සහ තරඟකාරී ජාතික රාජ්‍ය පද්ධතියක් අතර ඇති අශමනීය ප්‍රතිවිරෝධතාවයෙනි; ඒ සෑම ජාතික රාජ්‍යයක් ම ආරක්ෂා කරන්නේ, තමන්ගේ ම පාලක පන්තියේ අවශ්‍යතා ය.

1949 විප්ලවය නොමැති ව කල නොහැකි වූ දැවැන්ත ආර්ථික වර්ධනය තිබියදීත්, චීනය කම්කරු රාජ්‍යයක්, සමාජවාදී රාජ්‍යයක් හෝ “සමාජවාදී වෙලඳපොල ආර්ථිකයක්” නොවේ. එය මෙහෙයවනු ලැබූයේ, 1970 දශකයේ අගභාගයේ, ඩෙන්ග් ෂියාඕපින්ගේ “ප්‍රතිසංස්කරනය සහ ආරම්භය (opening up)” සමඟ ඇරඹුනු, දශක ගනනාවක් පුරා පැවති, ධනේශ්වර ප්‍රතිසංස්කරන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වූ පාලන තන්ත්‍රයක් විසිනි—මෙම ක්‍රියාවලිය, සෑම පියවරක දී ම, මාඕවාදයේ ප්‍රභේදයක් වන ස්ටැලින්වාදී ජාතිකවාදය තුල මුල් බැසගත් පාවාදීමක් ලෙස හජාජාක විශ්ලේෂනය කරයි. එම ප්‍රතිසංස්කරනය මිලියන සිය ගනනක දැවැන්ත කම්කරු පන්තියක් නිර්මානය කල අතර, චීනය ලෝක ප්‍රාග්ධනයේ පරිපථවලට ඒකාබද්ධ කරමින්, ගෝලීය වෙලඳපොලවල්, ජාත්‍යන්තර සැපයුම් දාමයන් සහ වොෂින්ටනය ආයුධයක් ලෙස භාවිතා කරන, ඩොලරය ආධිපත්‍ය දරන මූල්‍ය පද්ධතියට බැඳී ඇති බිලියනපතියන්ගේ ස්ථරයක් බිහි කලේ ය.

ෂී යෝජනා කරන සාමකාමී සහජීවනය මනඃකල්පිතයකි. චීන සහ ඇමරිකානු ආර්ථිකයන් බැඳ තබන දැවැන්ත ආර්ථික සබඳතා තිබිය දී ත්, ප්‍රමුඛ ප්‍රවනතාවය වන්නේ මිලිටරි උත්සන්නියයි. 2023 මැයි දින රැලිය අමතමින් ලෝසවෙඅ කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් සඳහන් කල පරිදි:

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ඒකධ්‍රැවීය” ආධිපත්‍යය පරයා යනු ඇතැයි උපකල්පනය කරනු ලබන “බහු-ධ්‍රැවීය” ලෝකයක ආගමනය පිලිබඳ ව, වර්තමානයේ බොහෝ කතා පවතී. “බහු-ධ්‍රැවීයත්වයේ” ශාස්ත්‍රාලික හා ව්‍යාජ-වාම න්‍යායචාර්යවරුන්ට අනුව, වොෂින්ටනයේ පාලනය, ගෝලීය සම්පත් වඩා සාමකාමී බෙදීමක් මත සාමූහික ව හා සුසංවාදී ලෙස පාලනය මෙහෙයවන ධනපති රාජ්‍යයන්ගේ සන්ධානයක් විසින් විස්ථාපනය කරනු ලැබේ.

සාමකාමී “අති-අධිරාජ්‍යවාදයක” මෙම නව අනුවාදය, එය දැනට ශතවර්ෂයකට පෙර, ජර්මානු ප්‍රතිසංස්කරනවාදී කාල් කෞට්ස්කි පලමු වරට යෝජනා කොට, ලෙනින් විසින් විස්තීර්න ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබූ අවස්ථාවට වඩා න්‍යායික ව සමාග්‍රාහී හෝ දේශපාලනික ව ශක්‍ය නො වේ. ධනපති හා අධිරාජ්‍යවාදී රාජ්‍යයන් අතර ගෝලීය සම්පත් සාමකාමීව බෙදාගැනීම හා වෙන් කරගැනීම කල නො හැක්කකි. ගෝලීය ආර්ථිකය හා ධනපති ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පරස්පර-විරෝධය යුද්ධයට තුඩු දෙයි.

කොයි හැටි වෙතත්, “බහු-ධ්‍රැවීය” ලෝකයක් යථාවත් කරගැනීම -එහි සදොස් න්‍යායික පදනම් පසකෙ තැබුවත් - අද දින ආධිපත්‍යධාරී අධිරාජ්‍යවාදී බලය වන එක්සත් ජනපදය විසින් සාමකාමී ව පිලිගැනීම අවශ්‍ය කරයි. මෙය යථාර්ථවාදී බලාපොරොත‍්තුවක් නොවේ. “ඒක-ධ්‍රැවීය” ආධිපත්‍යයක් සඳහා එක්සත් ජනපදය යෙදී සිටින ධාවනයට බාධා කිරීමට ගන්නා උත්සාහයන්ට, එක්සත් ජනපදය එය සතු සියලු උපක්‍රම යොදා ගනිමින් විරුද්ධ වනු ඇත. ඒ අනුව, “බහු-ධ්‍රැවීය” ලෝකයකින් “ඒක-ධ්‍රැවීය” ලෝකය විස්ථාපනය කිරීමට ගන්නා මනෝරාජික ප්‍රෝත්සාහය, එහි ම ඇඹුරුනු තර්කය විසින්, තුන්වන ලෝක යුද්ධයටත් ග්‍රහලෝකය විනාශ කිරීමටත් තුඩු දෙයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය පිපිරීමට කම්කරු පන්තිය තමන්ගේ ම ප්‍රතිචාරය සකස් කර ගත යුතු ය. ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් දියත් කරනු ලබන ගෝලීය යුද්ධය, රට තුල කම්කරු පන්තියට එරෙහි යුද්ධයක් වනු ඇති බව ට්‍රම්ප් දැනටමත් පැහැදිලි කර තිබේ. අප්‍රේල් 1 වන දින ධවල මන්දිරයේ පාස්කු දිවා භෝජන සංග්‍රහයක දී ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “අපට දිවා සුරැකුම්, මෙඩිකේඩ්, මෙඩිකෙයාර්, මේ සියලු දේවල් බලා ගැනීමට අපහසුයි. අපි එක දෙයක් ගැන සැලකිලිමත් විය යුතුයි: හමුදා ආරක්ෂාව.” මන්ද, “අපි ඉන්නෙ යුද්ධ කරමින්,” ඔහු පැවසී ය.

තම කර්මාන්තය විනාශ කල සංගතවල ලාභ ආරක්ෂා කර ගැනීම සඳහා කරනු ලබන තීරුබදු යුද්ධයකින් ඇමරිකානු කම්කරුවාට කිසිවක් ලැබෙන්නේ නැත. අර්බුදයට ජාතික විසඳුමක් නොමැති බව චීන කම්කරුවන් තේරුම් ගත යුතු ය. චීනයේ තාක්ෂනික ප්‍රගතිය කෙතරම් සැලකිය යුතු වුවත්, එය තලා දැමීමට උත්සාහ කරන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ වඩා හොඳ දේවදූතයන්ට ආයාචනා කිරීමෙන් රටේ සංවර්ධනය සුරක්ෂිත කල නොහැක.

ලෝක යුද්ධය නැවැත්විය හැක්කේ, ධනේශ්වර පන්තියේ සියලු කොටස්වලින් ස්වාධීන ව සංවිධානය වී, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය මත සටන් කරන ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය එම වැඩපිලිවල සඳහා සටන් වදී.

Loading