ඉරාන යුද්ධයෙන් ඇති වන ආර්ථික ප්‍රතිවිපාක පුලුල්වත් ම  ඉන්දියාවේ කම්කරුවන්ගෙන් සහ පීඩිතයින්ගෙන් “කැප කිරීම්” කරන ලෙස මෝදි ඉල්ලා සිටී

[මෙය Modi demands India’s workers and toilers make “sacrifices” as economic fallout from Iran war expands මැයි 20දා මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 2024 අප්‍රේල් 9 වන අඟහරුවාදා ඉන්දියාවේ චෙන්නායි හි ජාතික මැතිවරන සඳහා ප්‍රචාරක කටයුතු කරන අතරතුර මාර්ග සංදර්ශනයකදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) ලකුන වන නෙලුම් මල ප්‍රදර්ශනය කරමින් [AP Photo/AP Photo]

ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයෙන් ඇති වූ ආර්ථික බිඳවැටීමට ප්‍රතිචාර වශයෙන් බලශක්තිය හා පොහොර පරිභෝජනය අඩු කරන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඊට  දින කිහිපයකට පසු, අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල නංවා තිබේ.

මැයි 11දා ගුජරාටයේ වඩෝදර හිදී කතා කරමින් මෝදි, යුද්ධයේ බලපෑම කෝවිඩ්-19 වසංගතයට සංසන්දනය කල අතර, 1947 න් පසු ඉන්දියාවේ යුද්ධවල දී කලාක් මෙන් “එක්සත් වී” “කැපකිරීම්” කරන ලෙස ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

“ඉන්දියාව යුද්ධයකට හෝ ඕනෑ ම ප්‍රධාන අර්බුදයකට මුහුන දුන් සෑම අවස්ථාවක ම, පුරවැසියන් රජයේ ඉල්ලීම මත තම වගකීම ඉටු කලහ.  දැනුදු අපි එයම කල යුතුයි,” මෝඩි ප්‍රකාශ කලේ ය.

“රටේ සම්පත් මත දැරෙන බර අඩු කිරීම සඳහා අප සියලු දෙනා ම එකට එකතු වී අපගේ වගකීම ඉටු කිරීමේ අවශ්‍යතාවයක් පවතී,” ඔහු තවදුරටත් පැවසී ය. විශේෂයෙන්, “ආනයනික භාන්ඩවල මිල ගනන් ඉහල යමින් පවතින අතර ගෝලීය සැපයුම් දාමයන් ද දැඩි ලෙස කඩාකප්පල් වී ඇති”  තත්වයන් යටතේ,   විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා ආනයන වියදම් අඩු කරන ලෙස ඔහු ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. “සෑම බිංදුවක්ම බඳුනක් පුරවනවා සේ ම, සෑම සුලු හා විශාල උත්සාහයක් ම වැදගත් වේ.”

මෝඩිගේ කතාවට  අරමුනු දෙකක් තිබුනි: ඉරානයට එරෙහි සාපරාධී යුද්ධයෙන් අවුලුවන ලද ආර්ථික අර්බුදයේ බර ඉන්දියාවේ කම්කරුවන් සහ ග්‍රාමීය වැඩ කරන ජනතාව මත පැටවීම අරමුනු කරගත් මිල වැඩිවීම් සහ කප්පාදු පියවරවල නව රැල්ලකට දේශපාලන අඩිතාලම දමා ගැනීම, පලමුවැන්නයි. දෙවැන්න, මෙම පන්ති යුද ප්‍රහාරයට එරෙහි මහජන විරෝධය “දේශ ද්‍රෝහී” ලෙස හෝ මුලුමනින් ම රාජද්‍රෝහී ලෙස පින්තාරු කිරීමෙන් එය නීති විරෝධී ලෙස හංවඩු ගැසීම. 

පෙට්‍රල් සහ ඩීසල් භාවිතය අඩු කරන ලෙසත්, පොදු ප්‍රවාහනය මත වැඩි වශයෙන් රඳා පවතින ලෙසත්, තනි වාහනයක ගමන් කරන මගීන් සංඛ්‍යාව වැඩි කරන ලෙසත්, “අනවශ්‍ය” ගමන් අඩු කරන ලෙසත්, මෝදි මහජනයාගෙන් ඉල්ලා සිටියේ ය. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් නිවසේ සිට වැඩ කිරීමට සහ මාර්ගගත රැස්වීම් පැවැත්වීමට දිරිමත් කරන ලද අතර, ඉන්ධන පරිභෝජනය සහ ගමනාගමන වියදම් අඩු කිරීම සඳහා තාවකාලික මාර්ගගත පන්ති පැවැත්වීම ගැන සලකා බලන ලෙස පාසල්වලින් ඉල්ලා සිටියේය.

ඉන්දියාව සිය තෙල් අවශ්‍යතාවයෙන් සියයට 80කට වඩා ආනයනය කරයි. යුද්ධයට පෙර අඩකට වඩා වැඩි ප්‍රමානයක් ලබා ගත්තේ,  සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලු ගල්ෆ් රාජ්‍යයන්ගෙනි. 

ආහාරයට ගත හැකි තෙල් සහ රත්‍රන් මිලදී ගැනීම් අඩු කරන ලෙස මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. සූරියකාන්ත, සෝයා බෝංචි සහ පාම් තෙල් ඇතුලු ඉවුම් පිහුම් තෙල් විශාලත ම ආනයනකරුවන්ගෙන් අයෙකි, ඉන්දියාව. රත්තරන්, රටේ දෙවන විශාලත ම ආනයන අයිතමය යි. ප්‍රධාන අපනයන අංශයක් වන රටේ ආභරන කර්මාන්තයේ යොදා ගන්නා රන්, සාමාන්‍ය ඉන්දියානුවන් විසින් සම්ප්‍රදායට අනුකූල ව තම ධනය සංරක්ෂනය කර තබාගන්නා ක්‍රමයක් ලෙස ද යොදා ගනියි.

“ස්වාභාවික ගොවිතැන” පුලුල් කිරීමේ නාමයෙන්, ගොවීන්ට රසායනික පොහොර භාවිතය අඩකින් අඩු කර ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන වාරිමාර්ග පොම්ප සූර්ය විකල්ප සමඟ ප්‍රතිස්ථාපනය කරන ලෙස මෝදි කල ඉල්ලීම සුවිශේෂ ය. ඉන්දියානුවන්ගෙන් සියයට 40 කට වැඩි පිරිසකගේ ජීවනෝපායන් රඳා පවතින ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය, නයිට්‍රජන් පොහොර සඳහා ප්‍රධාන යෙදවුම් වන යූරියා සහ ඇමෝනියා සඳහා වැඩිමනක් ම රඳා පවතින්නේ, ගල්ෆ් රාජ්‍යයන්ගෙන් ආනයනයන් මත ය.

ගොවීන්ට ඉක්මනින් හා බොහෝ දුරට කරදරයක් නැතිව ම ස්වභාවික පොහොර වෙත මාරු විය හැකි බවට කරන මෝදිගේ යෝජනාව විකාරයකි. දැවැන්ත රාජ්‍ය මූල්‍ය හා තාක්ෂනික සහාය නොමැති විට, ප්‍රතිඵලය වනුයේ අස්වැන්න තියුනු ලෙස පහත වැටීමයි, එය ගොවීන්ගේ ආදායම කප්පාදු කර විශාල ආහාර මිල ඉහල යාමට හේතු වනු ඇත.

යුද්ධය නිසා ඇතිවන රසායනික පොහොර හිඟය සහ මිල ඉහල යාම, විශේෂයෙන් මුදල් නයට දෙන්නන්ගේ අනුකම්පාව මත සිටින සහ අඩු ආදායම්ලාභී  ගොවීන්ට, නයිට්‍රජන් පොහොර භාවිතය කපා හැරීමට නිරන්තරයෙන් බල කරනු ඇති අතර, ඒ හා සමාන සමාජීය වශයෙන් ගිනි අවුලුවන බලපෑම් ඇති කරයි.  මෙය සිදුවෙමින් ඇත්තේ, මිලියන සිය ගනනක් දැනටමත් ආහාර අනාරක්ෂිතභාවයට සහ කුසගින්නෙන් පෙලෙන රටක ය.

යුද්ධය දැන් තුන්වන මාසයට එලඹ ඇති තත්වයේ දී, රසායනික පොහොර හිඟය දැන් වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී. යුද්ධය පුපුරා යාමට පෙර සිටම, 2025 ඉන්දියානු පාර්ලිමේන්තු වාර්තාවක ලේඛනගත කර ඇති පරිදි, තොග සගවා තබා ගැනීම සහ අයුතු ලෙස මිල ඉහල නැංවීම මගින් මෙහෙයවනු ලබන දැවැන්ත නීති විරෝධී කලු වෙලඳපොලක පැවැත්ම පිලිබඳ ඕනෑ තරම් සාක්ෂි තිබේ.

භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව මේ දක්වා සහනාධාර ලබන රසායනික පොහොර මිල ඉහල දැමීමෙන් වැලකී සිටී. නමුත් රසායනික පොහොර භාවිතය නාටකාකාර ලෙස අඩු කිරීම සඳහා මෝදිගේ ඉල්ලීම පැහැදිලි ව ම පෙන්නුම් කරන්නේ, ඉදිරි සති සහ මාසවලදී ඒමට නියමිත මිල ඉහලයාම්වලට වේදිකාව සකසමින් තිබෙන ආාකරයයි. 

ඉන්දියාවේ කම්කරුවන්ගෙන් සහ වැඩ කරන ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින “කැපකිරීම්”,  “සුලු දේවල්” ලෙස මෝදි විසින් කරන ලද විස්තරය, වැඩ කරන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි ඔහුගේ ආන්ඩුවේ නිර්දය නොතැකීම අවධාරනය කරයි. “කැපකිරීම්” සඳහා වූ ඔහුගේ ඉල්ලීම්වලට ජනතාවාදී ආවරනයක් ලබා දීමේ කාලකන්නි වෑයමකින්,  ඉන්දියාවේ අගමැති විදේශ නිවාඩු සහ ගුවන් ගමන් සීමා කරන ලෙස ධනවත් පුද්ගලයින්ට ආයාචනා කලේ ය.

යථාර්ථය නම් ඔහුගේ ආන්ඩුව මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සම්පූර්නයෙන් ම කැප වී සිටින බවයි. පරිභෝජනය කප්පාදු කරන ලෙස වැඩ කරන ජනතාවට කරන ඉල්ලීම අවධාරනය කරන පරිදි,  වැඩෙන ව්‍යාපාර හා මූල්‍ය අර්බුදය පියවා ගැනීමට එය සම්පූර්නයෙන් ම විරුද්ධ ය.

ඒ වෙනුවට, යුද්ධය දිගටම ඇදී යමින් අර්බුදය ගැඹුරු වන විට, භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව වැඩ කරන ජනතාව මත සම්පූර්න බර පැටවීමට වඩ වඩාත් ආක්‍රමනශීලී ලෙස පියවර ගනු ඇත.

මෝඩිගේ වඩෝදර කතාවෙන් දින හතරකට පසු සහ ලෝක බලශක්ති මිල ඉහල යාමෙන් ජනගහනය මත දැරෙන පීඩනයෙන් ඔවුන්  ආරක්ෂා කිරීම ඔහුගේ ආන්ඩුව විසින් නැවැත්විය යුතු යැයි, ඉන්දියන් එක්ස්ප්‍රස් සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වැනි සංගත මාධ්‍ය ආයතනවල විශේෂ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, මෝදී ඒ කරා යන පලමු පියවරයන් ගත්තේ ය. වසර හතරකට වැඩි කාලයකට පසු පලමු වැඩි වීම සනිටුහන් කරමින් පෙට්‍රල් සහ ඩීසල් මිල ලීටරයකට රුපියල් තුනකින් වැඩි කල අතර,  ඉන්දියාවේ ප්‍රවාහන ඉන්ධනයක් ලෙස බහුලව භාවිතා වන CNG (සම්පීඩිත ස්වාභාවික ගෑස්) මිල කිලෝග්‍රෑමයකට රුපියල් දෙකකින් වැඩි කිරීමට නියෝග කලේ ය.

මෙම වැඩිවීම් නිසැකවම ආරම්භක පියවර පමනි. ලෝක තෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවීමෙන් ඇතිවන ආර්ථික බලපෑම ඉහිල් කිරීම සඳහා සඳහා අවශ්‍ය වන දෙයට වඩා බොහෝ සෙයින්ම අප්‍රමානවත් බව විශ්ලේෂකයෝ ලහිලහියේ පැනගත්හ. මීට පෙර, තෙල් කර්මාන්ත පාඩු පාලනය කිරීමේ උත්සාහයක් ලෙස,සමස්ත ඉන්ධන මිල ගනන් ඉහල යාම් අත්හිටුවන අතරේ, භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව විසින් ඉන්ධන තීරුබදු දරා ගැනුනි.  නමුත් ප්‍රතිපත්තියෙන් පාඩු පියැවීමක් සිදු වී නැත. ඒ වෙනුවට කෙරී ඇත්තේ,  රාජ්‍ය සතු තෙල් පිරිපහදු සහ ඉන්ධන සිල්ලර වෙලෙන්දන්ගේ ශේෂ පත්‍රවලින් පාඩු වලින් කොටසක් පමනක් රජයට මාරුකර ගැනීම පමනි.

නිවසේ සිට වැඩ කරන (වර්ක් ෆ්‍රොම් හෝම්) ලෙස මෝදි කල යෝජනාව සම්බන්ධයෙන් ගත් කල,  ඉදිකිරීම් සහ කර්මාන්තශාලා සේවකයින්ගේ සිට වීදි වෙලෙන්දන්, විකුනුම්කරුවන් සහ සෞඛ්‍ය සේවකයින් දක්වා අතිමහත් බහුතරයකට මෙය සිදු කල නොහැක. ඔවුන්ට, දැන් පනවා ඇති ඉන්ධන මිල ඉහල දැමීම් මෙන් ම අනාගතයේ පනවනු ඇති වැඩි කිරිම් දරා ගැනීමට බල කෙරෙනු ඇත. යුද්ධයට අදාල ව එල්පීජී (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) හිඟය හේතුවෙන් අවන්හල් සහ ආහාර වෙලඳසැල් විවෘත ව තබන පැය ගනන අඩු කිරීමට හෝ මුලුමනින් ම වසා දැමීමට සිදු ව ඇති තත්වයක් යටතේ, ඉන්දියාව පුරා ආහාර බෙදා හැරීමේ සේවකයින් දැනටමත්  සමූහ දොට්ට දැමීම්වලටත්,  ඔවුන්ගේ ආදායම තුනෙන් දෙකකින් කපා හැර දමා තිබීමත් අත්දකිමින් සිටී.

ගෙවුම් ශේෂ අර්බුදයක බිය සැකය ව්‍යංගයෙන් මතු කල මෝදිගේ වඩෝදර කතාව, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයේ --මෙය, හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව සහ ඉන්දියානු පාලක පන්තිය හවුල් වන යුද්ධයකි--   ප්‍රතිලයක් ලෙස ඉන්දියාව පීඩාවට පත් කර ඇති අර්බුදයේ ගැඹුර පෙන්නුම් කරයි.    

තමන්ගේ සගයෙකු යැයි කියන ඉරානය, අධිරාජ්‍යවාදී ආක්‍රමනවලට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්, නැවත නැවතත් නවදිල්ලියේ හෙලා දැකීම්වලට බදුන්වී ඇත. ඒ අතරම, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද සියලු යුද අපරාධ සම්බන්ධයෙන් - අඛන්ඛ සාකච්ඡාවල මුවාව යටතේ, අනවසර යුද්ධයක් දියත් කිරීම සහ එහි දේශපාලන නායකයින්ට සහ විද්‍යාඥයින්ට එරෙහිව එල්ල කරන ලද “හිස ගසා දැමීමේ” ප්‍රහාරවල සිට ඉරාන ශිෂ්ටාචාරය අවසන් කිරීමේ ට්‍රම්ප්ගේ ජන සංහාරක තර්ජන දක්වා - ඉන්දියාව දැඩි ලෙස මුනිවත රකී.

යුද්ධය ඉන්දියාවේ ආර්ථිකය ඒ සා පරිමානයකින් අස්ථාවර කර තිබියදීම, නව දිල්ලිය වොෂින්ටනය සමඟ ඇති චීන විරෝධී ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයට හෝ යුද්ධය දියත් කිරීමට පෙර මෝදි සංචාරය කල ඊශ්‍රායලය සමඟ ඇති සබඳතාවලට හානිසිදුවිය හැකි කිසිවක් නොකරන බවට අදිටන් කොට සිටී.

සැලකිය යුතු කරුනක් නම්, මෝඩි සිය කතාවේදී ඉරානය ගැන සෘජුවම සඳහන් නොකල අතර, යුද්ධයේ ගොදුර කවුද යන්න සහ ඉන්දියාව ආක්‍රමනිකයන් සමඟ ඇති සබඳතා සහ සහයෝගය සැඟවීමට ඉරානයට එරෙහි යුද්ධය “බටහිර ආසියාවේ යුද්ධය” ලෙස හැඳින්වීම යි.

ඉන්දියාවේ ආර්ථිකය වැඩෙන පීඩනයකට නතුවී තිබේ . පෙබරවාරි 28දා යුද්ධය ආරම්භයේදී ඉන්දියානු රුපියල,  ඇමරිකානු ඩොලරයට සාපේක්ෂකව රුපියල් 91 සිට -මෙයමත් සර්වකාලීන අවම අගයකි -ඉන්දීය ෆෙඩරල් බැංකුවේ දැවැන්ත මැදිහත්වීම නොතකාම,  රුපියල් 96.5 දක්වා අවප්‍රමානවී  ඇත. රුපියල ඉක්මනින් ඩොලරයකට රුපියල් 100 සීමාවට වඩා පහත වැටෙනු ඇතැයි පුලුල් සමපේක්ෂනයක් පවතී. බලශක්ති මිල ඉහල යාම සහ පොහොර හිඟය හේතුවෙන් මිරිකී ඇති ඉන්දියානු ආර්ථිකයක අපේක්ෂාවන් මත ගෝලීය ප්‍රාග්ධනය බර පටවන බැවින්, විදේශ ආයෝජන වලින් ඩොලර් බිලියන 23 ක් පමන ඉවත් කර ගැනීම මෙම පහත වැටීමට ප්‍රධාන සාධකයක් වී තිබේ.

'මෝඩිගේ ප්‍රකාශවලින් ඇඟවෙන්නේ, රජයේ මූල්‍ය මූල්‍ය මත පීඩනය තීරනාත්මක ස්ථානයකට ලඟා වෙමින් පවතින බවත්, රුපියල තවදුරටත් අවප්‍රමානය කිරීමට රැචිකත්වයක් නැති බවත්, ආර්ථික පීඩනයේ බර පාරිභෝගිකයින් මත ක්‍රමයෙක් පැටවිය හැකි බවත්” යැයි ජපන් මූල්‍ය සේවා සමාගමක් වන නොමුරා හි ආර්ථික විද්‍යාඥයින් අදහස් දැක්වීය.

අප්‍රේල්-මැයි ප්‍රාන්ත මැතිවරනයට පෙර සහ පසු ඉන්දීය ආර්ථිකයේ තත්ත්වය පිලිබඳව මෝදි කල ප්‍රකාශවල වෙනස විපක්ෂ දේශපාලනඥයින් විසින් මතු කර තිබේ. 

වත්මන් අර්බුදය COVID වසංගතය සමඟ සංසන්දනය කිරීමේදී සහ “අපි එක්ව වසංගතය ජය ගත්තාක් මෙන්', “අපි මෙම අර්බුදය ජය ගන්නෙමු” යනුවෙන් ප්‍රකාශ කිරීමේදී, ඉන්දියාවේ අනාගත හින්දු බලවතා නිසැකවම ඔහු ප්‍රකාශයට පත් කලාට වඩා වැඩි යමක් අදහස් කලේ ය. වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුව ක්‍රියාකල වැරැදි ආකාරය සහ මිනීමරු “ජීවිතවලට වඩා ලාභ” යන ආන්ඩුවේ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉන්දියාව වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මරන සංඛ්‍යාව  දසලක්ෂ පහකට අධික ය.

සමාජ වෙඩි බෙහෙත් ගබඩාවක් මත තමන් අවිනිශ්චිත ලෙස සිටගෙන සිටින බව භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව හොඳින් දනී. වර්ධනය වන සමාජ අතෘප්තියට එහි ප්‍රතිචාරය වන්නේ, රාජ්‍ය මර්දනය සහ වාර්ගික උසිගැන්වීමයි. “ජාතික සමගිය” සහ යුද කාලීන “කැපකිරීම්” පිලිබඳ මෝඩිගේ වාචාලකම කම්කරු පන්තියේ විරුද්ධත්වය සාපරාධීකරනය කිරීම සඳහා දෘෂ්ටිවාදාත්මක ආවරනයක් සැපයීම අරමුනු කරගත් පූර්ව භංග ප්‍රහාරයකි.

ඉන්දියාවේ ජාතික අගනුවර සහ විශාලතම නාගරික සමූහකරනය වන දිල්ලිය වටා ඇති කාර්මික කලාපවල පුපුරා ගිය වැඩ වර්ජන සහ විරෝධතා රැල්ලකට එරෙහිව මෝඩි තන්ත්‍රය, දිල්ලි, හර්යානා සහ උත්තර් ප්‍රදේශ් හි භාරතීය ජනතා පක්ෂ ප්‍රාන්ත සහ කලාපීය ආන්ඩු ඔස්සේ ක්‍රියාත්මක වෙමින් දැවැන්ත මර්දන ව්‍යාපාරයක් දියත් කර තිබේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මීට පෙර වාර්තා කර ඇති පරිදි, විරෝධතාවලට සහභාගී වීම සම්බන්ධයෙන් කම්කරුවන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුහු ප්‍රචන්ඩත්වය පිලිබඳ බොරු චෝදනාවලට මුහුන දී සිටිති. බලධාරීන් ඔවුන් “නැක්සලයිට්” ත්‍රස්තවාදීන් සහ පකිස්ථානයේ නියෝජිතයන් ලෙස මඩ ගසමින්, කම්කරු ක්‍රියාකාරීන් දුසිම් ගනනක් ද ඉලක්ක කර ගෙන ඇත.

Loading