ඊශ්‍රායලයේ සහ සිංගප්පූරුවේ සේවය කරන ශ්‍රී ලාංකික කම්කරුවන් දෙදෙනෙකු සමග සාකච්ඡා කරමින්, ඉරානයට එරෙහි ව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන සාපරාධී යුද්ධය පිලිබඳව ඔවුනගේ සජීවී අත්දැකීම් විමසා බැලීමට, පසුගිය දා ලෝක සමාජවාදී වෙබ් අඩවියට අවස්ථාව ලැබුනි.
ඊශ්‍රායලයේ සේවය කරන දමින්ද තම පවුලේ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමින සිටියේ ය. 2024 වසරේ සිට ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවෙකු ලෙස සේවය කරන ඔහු, ජීවත් වීමට ප්‍රමානවත් ආදායමක් නොලැබුනු බැවින් ඊශ්‍රායලයට සංක්‍රමනය වී ඇත. ශ්‍රී ලාංකිකයන් 25,000ක් පමන එහි සේවය කරන බවත්, තවත් 12,000ක් පමන එහි යැවීමට වත්මන් ආන්ඩුව කටයුතු කරන බවත් ඔහු පැවසීය.
ඉරානයට එරෙහි ව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධය ගැන කතා කරමින් ඔහු මෙසේ පැවසුවේ ය: “මම මේ යුද්ධයට විරුද්ධයි. තෙල් වලට තිබෙන කෑදර කම නිසා අහිංසක ලමයි, ගැහැනු, වැඩිහිටියෝ කොච්චර නිරපරාදේ මැරෙනවද? ලෙබනනයේ පලස්තීනයේ ඉරානයේ සාමාන්‍ය ජනතාව ජිවත් වන ගොඩනැගිලි බෝම්බ දමා එක මොහොතින් කුඩු කර දමනවා. කොයි රටෙත් මිනිස්සු නිවාස සම්පාදනයට කොපමන මහන්සි වෙනව ද මේක හරිම අපරාධයක්. මම මැද පෙරදිග රැකියාවට ගියේත් ගෙයක් හදාගන්න. එනිසා එහි තිබෙන දුෂ්කරතාව මට හොඳින් දැනෙනවා.”
ඊශ්‍රායලයේ නෙතන්යාහු තන්ත්‍රය පලස්තීනය තුල ගෙන යන ජනසංහාරයට ප්‍රතිරෝධී ලෙස ඊශ්‍රායලයට එල්ල වන ප්‍රහාර නිසා ඔවුන් නිරන්තර අනතුරක ජීවත් වන බවත් යුද සයිරන් හඬ ඇසෙන විට වහාම ආරක්ෂක කාමර වෙත දිව යා යුතු බවත් දමින්ද පැවසී ය. ප්‍රහාරයක් එල්ල වන විට මුලින්ම ජංගම දුරකථනයට පනිවිඩයක් ලැබෙන අතර පසුව සයිරන් හඬ නිකුත් වන බවත් ඔහු වැඩිදුරටත් කීවේ ය.
“ඊශ්‍රායලයේ සෑම නිවසක ම සහ ගොඩනැගිල්ලක ම භූගත ආරක්ෂක කාමර අනිවාර්යයි. සමහර ඒවා පොලොව මට්ටමේ සිට තට්ටු තුනක් පමන පහලින් පිහිටල තියෙන්නෙ. මේ නිසා බොහෝ දිනවල අපට රාත්‍රී නින්දක් පවා නෑ. ඇමරිකාව දීර්ඝ කාලයක සිට මෙම යුද්ධය සඳහා සූදානම් වී ඇති බවත්, ඉදිරියට තවත් දරුනු යුද්ධයක් සිදුවනු ඇති බවත් පැහැදිලියි.”
ඊශ්‍රායලයේ බඩු මිල කෙබඳුදැයි අප ඇසූ ප්‍රශ්නයට ඔහු කියා සිටියේ එහි භාන්ඩ සහ සේවා මිල ඉතා ඉහල මට්ටමක පවතින බවයි. “හාල් කිලෝවක් ලංකාවෙ රුපියල් වලින් 1300ක් පමන වෙනව. පාන් ගෙඩියක් රුපියල් 1000ක් විතර. කොන්ඩය කපන්න රුපියල් 15,000ක් විතර යනව. යුද්ධය නිසා ෂෙකෙල් (ඊශ්‍රායල මුදල් ඒකකය) අගය ඩොලරයට සාපේක්ෂ ව පහත වැටී ඇති නිසා ඉදිරියේදී මේ තත්වය තවත් දරුනු විය හැකි යි.”
සංක්‍රමනික පලස්තීන කම්කරුවන්ගේ තත්වය ගැන කතා කරමින් ඔහු මෙසේ පැවසී ය: “මීට පෙර මෙම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බහුල ව සේවය කලේ පලස්තීන කම්කරුවන්. යුද්ධය ආරම්භ වීමත් සමඟ ඔවුන් පලවා හැරිය. දැනට ඉතිරි ව ඉන්න පලස්තීන කම්කරුවො දැඩි බයකින් ජීවත් වෙන්නෙ. ඔවුන් වැඩබිම්වලින් පිටතට යාමට පවා බයයි. ඔවුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනැවිත් දෙන්නේ වෙනත් රටවලින් ආව අපි වගේ කම්කරුවො. ඊශ්‍රායලය දැන් හදන්නේ පලස්තීන කම්කරුවන් ඉවත් කිරීම නිසා ඇති වූ ශ්‍රම හිඟය පුරවන්න ඉන්දියාව, තායිලන්තය සහ ලංකාව වැනි රටවලින් කම්කරුවන් ගෙන්වා ගන්න.”
ඊශ්‍රායල වැසියන් අතරින් විශාල පිරිසක් යුද්ධයට එරෙහි ව උද්ඝෝෂනය කරන අයුරු ඔහු ටෙල් අවිව් නගරයට ගිය අවස්ථාවක සියැසින් දුටු බවත් එහෙත් එම උද්ඝෝෂන යුද්ධය නතර කිරීමට ප්‍රමානවත් වී නොමැති බවත් ඔහු පැවසී ය. මෙහි යුද්ධයට හේතුව ලෙස හමාස් සහ හිස්බුල්ලා සංවිධානවලට ඉරානය උදව් කිරීම පෙන්වා දුන්න ද, ඇත්ත වශයෙන් ම මෙම සංවිධාන බොහොමයක් නිර්මානය වීමට එක්සත් ජනපදයේ දේශපාලන මැදිහත්වීම් බලපා ඇති බවත්, ඇමරිකාවේ අරමුන මැදපෙරදිග කලාපයේ තම බලය තහවුරු කර ගැනීම බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
“මෙහි වැඩ මුරය උදේ 7 ට පටන් ගන්නෙ. දවසකට පැය 10ක් වැඩ කරන්න ඕන. ඒක දැඩි වෙහෙසකර වැඩක්. කෑම ගන්න ලැබෙන්නේ පැය භාගයක විවේකයක් විතරයි. මම මෙහේ ආවෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මිනිස් බල සපයන ආයතනයක් හරහා. මෙහි දී අපි මුහුන දෙන ලොකු ම ගැටලුව තමයි, මිනිස් බල සමාගම් විසින් සිදු කරන සූරා කෑම. උපයන වැටුපෙන් රුපියල් ලක්ෂ හතරක විතර දැවැන්ත මුදලක් මාසික ව ඔවුන්ගේ ගාස්තු ලෙස කපා ගැනීම අපට විශාල මානසික පීඩනයක්.”
අනතුරු ව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සිංගප්පුරුවේ කාර්මික ඉංජිනේරුවෙකු ලෙස සේවය තරන නිලංග සමග කතාබහ කලේ ය.
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය හෙලා දකිමින් කතාබහ ආරම්භ කල ඔහු මෙසේ පැවසී ය:
“විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ මේ රටට ඇවිල්ලා දැනට අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනවා. යුද්ධය ජීවිතය තවත් දුෂ්කර කරනවා. බඩු මිල ඉහල ගියා. ආහාර ද්‍රව්‍යවලට ලැබුනු ඩිස්කවුන්ට් දැන් ලැබෙන්නේ නැහැ. එනිසා කිරි හාල් වල මිල ඉහලයි. හාල් වලට ලැබුනු සීයට විස්සක විතර ඩිස්කවුන්ට් එක නැති නිසා දැන් හාල් කිලෝ එකක් සිංගප්පූරු ඩොලර් හතරක් විතර වෙනවා.”
යුද්ධය ඉදිරියට ඇදී ගෙන යන බවත් තමන් අපේක්ෂා කල අයුරු ඉක්මනින් අවසන් වීමක් දක්නට නැති බවත්, බොහෝ රටවලට එය බලපාන බවත් ඔහු පැවසුවේ කනස්සල්ලෙනි. සිංගප්පූරුව තෙල් විකිනීමේ මධ්‍යස්ථානයක් බැවින් තෙල් මිල ඉහල යන විට සිංගප්පුරුවේ කම්කරුවන්ට හැම අතින් ම ඒක බලපාන බවත් ඔහු ප්‍රකාශ කලේ ය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් සංක්‍රමනිකයන්ට එරෙහි ව ගෙන යන කුරිරු ප්‍රහාරය ගැන කතා කරමින් ඔහු මෙසේ කීවේ ය:
“ඇමරිකාවේ සංක්‍රමනික කම්කරුවන් එලව දමනවා. මේ ගැන ඇමෙරිකානු මහජනතාව අතර ට්‍රම්ප්ගෙ ආන්ඩුවට එරෙහි ව විරුද්ධත්වයක් ගොඩනැගී තිබෙනවා.”
“මම කලින් හිතා ගෙන හිටියේ ඉරානයට එරෙහි යුද්ධය ඊශ්‍රායලයේ උවමනාවට කරනවා කියලා. මම ඒක ගැන ඔබ සමග වාද කලා. ලඟදි සිංගප්පූරු ප්‍රවෘත්තිවලට මම දැක ගත්තා ඇමෙරිකාව මලක්කා සමූද්‍ර සන්ධිය අවහිර කිරීමට සුදානම් වන බව. එය තිබෙන්නේ සිංගප්පුරුව සහ මැලේසියාව අතර. එය පාලනය කරන්න හදනවා කියන්නේ චීනයේ සිට බඩු ගෙන ඒමත් චීනයට බදු ගෙනයාමත් පාලනය කරනවා කියන එක. යුද්ධය ඇමරිකාව විසින් අවුලුවන බව මෙයින් පැහැදිලියි” ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කලේය.
