මැයි දිනය 2026

ට්‍රම්ප් තන්ත්‍රය, කතිපයාධිකාරය සහ සමාජවාදය උදෙසා සටන

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් 2026 ජාත්‍යන්තර මැයි දින රැලියට The Trump regime, oligarchy and the fight for socialism යන මැයෙන් ඉදිරිපත් කල කතාව.

ජෝසෆ් කිෂෝර් 2026 ජාත්‍යන්තර මැයි දින රැලියට ඉදිරිපත් කල කතාව.

අපි මෙම මැයි දිනයේ දී හමුවන්නේ ඇමරිකානු ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්වයන් යටතෙයි. එක්සත් ජනපදය මෙහෙයවනු ලබන්නේ බලයේ සිටින දේශපාලන පාතාලයේ අපරාධකරුවන් කන්ඩායමක් විසිනි. . ඉරානයට එරෙහි ට්‍රම්ප් තන්ත්‍රයේ යුද්ධය සාපරාධී ව්‍යාපාරයකි. 1945 සහ 1946 නියුරම්බර්ග් නඩු විභාගවලදී ස්ථාපිත කරන ලද ප්‍රමිතීන්ට අනුව, එය සාමයට එරෙහි අපරාධයකි. එය ඉහලම යුද අපරාධ ප්‍රවර්ගය වන අතර නාසි ජර්මනියේ නායකයින්ට එරෙහිව නඩු පවරන ලද්දේ මේ අනුවයි.

මෙම ආන්ඩුවම ඇමරිකානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව සාපරාධී කුමන්ත්‍රනයක නිරතව සිටී.

විධායකය කිසිදු අධිකරන සීමාවකින් බැඳී නැත යන මූලධර්මය අවධාරනය කරමින් එය අධිකරන නියෝග නොසලකා හැර තිබේ. එය ඇමරිකානු නගරවලට එරෙහිව හමුදාව සහ ICE පැරාමිලිටරි භටයන් යොදවා ඇති අතර, . ෆෙඩරල් නියෝජිතයන් විසින් රෙනී නිකොල් ගුඩ් සහ ඇලෙක්ස් ප්‍රෙට්ටි අමු අමුවේ ඝාතනය කරන ලද මිනියාපොලිස් හි එය වඩාත් කුරිරු ලෙස සිදුවිය. එය 2026 මධ්‍යවාර මැතිවරනය වටා යුද නීතිය පැනවීමේ තර්ජනයක් එල්ල කර තිබේ. එය ඇතුලත සතුරා හෙලා දැක ඇති අතර දේශපාලන විරුද්ධත්වය අපරාධයක් ලෙස සැලකීමට උත්සාහ කරන සංදේශ නිකුත් කර ඇත. ජනාධිපති වශයෙන් ට්‍රම්ප්ට තමාට අවශ්‍ය ඕනෑම දෙයක් කල හැකි බව ප්‍රකාශ කර තිබේ.

ICE ගෙස්ටාපෝ නියෝජිතයන් විසින් සිදු කරන ලද මහා පරිමාන වැටලීම් වලදී දස දහස් ගනනක් අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරු තුල සිර කර සිටිති. දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර ඇත. ට්‍රම්ප් පාලනය, අපරාධ වාර්තාවක් නොමැති බොහෝ දෙනෙකු ඇතුලු සංක්‍රමනිකයන් එල් සැල්වදෝරයේ සිකොට් (CECOT) වධකාගාර වෙත පිටුවහල් කර ඇත. ස්වභාවිකකරනය වූ ඇමරිකානුවන්ගේ පුරවැසිභාවය අවලංගු කිරීමට පරිපාලනය පියවර ගෙන ඇති අතර විධායක නියෝගයක් මගින් ජන්ම පුරවැසිභාවයම අහෝසි කල හැකි බව පෙන්වා දී තිබේ.

එක්සත් ජනපදයේ සිට එල් සැල්වදෝරයේ සීකොට් කඳවුරට පිටුවහල් කිරීමට ඇද ගෙන යන අයුරු [Photo: El Salvador Presidential Press Office]


ඉරානයට බෝම්බ හෙලන අතරතුර, මෙම ආන්ඩුව ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව යුද්ධයක් දියත් කරමින් සිටී. ඇමරිකානු ඉතිහාසයේ ඉහලම මිලිටරි අයවැයට ට්‍රම්ප් පෙන්ටගනයෙන් ඩොලර් ට්‍රිලියන 1.5 ක් ඉල්ලා තිබේ. පසුගිය ශතවර්ෂය පුරා ඇමරිකානු කම්කරු පන්තිය විසින් දිනාගත් මෙඩිකෙයාර් (Medicare), මෙඩිකේඩ්ඩ්(Medicaid) සෞඛ්‍ය සහනාධාර, අධ්‍යාපනය, නිවාස, සෑම අවම සමාජ ප්‍රතිලාභයක්ම ඒ සඳහා ගෙවීමට කැප කල යුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.

සමාජීය ස්වරූපය අතින් ගත් කල, ට්‍රම්ප් ආන්ඩුව යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම සමඟ නොගැලපෙන පෙර නොවූ විරූ මට්ටමේ සමාජ අසමානතාවයක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ කතිපයාධිකාරීන්ගේ ආන්ඩුවකි.

මෙම න්‍යාය පත්‍රයට එරෙහි ව දැවැන්ත මහජන විරෝධයක් පවතී. පසුගිය මාස කිහිපය තුල, එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම විරෝධතා අපි දුටුවෙමු. නගරයෙන් නගරයට, සුලු නගර සහ ග්‍රාමීය ප්‍රදේශවල ද මිලියන ගනනක් වීදි බැස ඇත. අධ්‍යාපනඥයින්, සෞඛ්‍ය සේවකයින්, මස් ඇසුරුම් සේවකයින් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සම්බන්ධ කර ගත් වැඩවර්ජන ව්‍යාපාරයක් වර්ධනය වෙමින් තිබේ. සටන් කිරීමට ඇති ආශාව වැඩෙමින් පවතී.

මෙම විරුද්ධත්වයේ පරිමානය තිබියදීත්, ධවල මන්දිරයේ හිට්ලර්ට ආදරය කරන කල්ලිය බලයේ රැඳී සිටින්නේ ඊනියා “විපක්ෂය” බංකොලොත්කම සහ සහයෝගය නිසාවෙනි.

ඩිමොක්‍රටිකයන් කල හෝ නො කල දේ සලකා බලන්න. 2021 ජනවාරි 6 කුමන්ත්‍රන උත්සාහයෙන් පසු, ඔවුහු ඒ පිටුපස සිටි සමාජ හා දේශපාලන බලවේග වසන් කල අතර, රුසියාවට එරෙහි යුද්ධයේ හවුල්කරුවෙකු ලෙස රිපබ්ලිකන් පක්ෂය පුනරුත්ථාපනය කිරීමට කටයුතු කලහ. අපට ශක්තිමත් රිපබ්ලිකන් පක්ෂයක් අවශ්‍ය බව බයිඩන් ප්‍රකාශ කල අතර පසුව ඔහුගේ වසර හතරක ධූර කාලය යුද්ධයට කැප කලේය. පලමුව රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය, පසුව ගාසා තීරයේ ජන සංහාරය ආරම්භ කිරීම.

ට්‍රම්ප් නැවත බලයට පත්වීමෙන් පසු, ඩිමොක්‍රටික් පක්ෂය “සහයෝගයෙන්” කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්නේ ය. ඔවුන් ආන්ඩුවට අරමුදල් සැපයූ අතර කලේ සියලු අර්ථවත් නීතිමය සීමාවන්ට පිටින් පරිපාලනය ක්‍රියාත්මක වුවත් දෝෂාභියෝගය ප්‍රතික්ෂේප කලේ ය.

'රජුන් එපා” යන මහා පෙලපාලිවලදී ඔවුන්ගේ භූමිකාව හෙලිදරව් විය. මෙම විරෝධතා ඒකාධිපතිත්වයට ගැඹුරු සතුරුකමක් ප්‍රකාශ කල නමුත්, ඒවා හිතාමතාම සංවිධානය කරන ලද්දේ ප්‍රධාන ගැටලුව වන යුද්ධය අවතක්සේරු කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය සහ එහි අනුබද්ධිතයන් විසිනි.

බොහෝ දෙනෙක් තමන්ට පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීමට ඉදිරිපත් වී සිටිති. ඉරානයට බෝම්බ හෙලීමට දින දෙකකට පෙර, නිව්‍යෝර්ක් නගරාධිපති සහ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සාමාජික සොරාන් මම්දානි ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමුවී ඔහුගේ ඊනියා “දැරිය හැකි න්‍යාය පත්‍රයේ', ෆැසිස්ට් ජනාධිපතිවරයා මිත්‍රයෙකු ලෙස තහවුරු කලේය, මොනතරම් වංචාවක්ද? බර්නි සැන්ඩර්ස්, ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සහ සමාගම, රාජ්‍ය ආයතන සහ ඩිමොක්‍රටික් පක්ෂය හරහා ට්‍රම්ප්ට සහ ෆැසිස්ට්වාදයට විරුද්ධ විය හැකි බවට බොරුව ප්‍රවර්ධනය කරති.

2026 පෙබරවාරි 26 වැනි දින සොහ්‍රාන් මම්දානි ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ධවල මන්දිරයේ දී [Photo: Zohran Mamdani]


වෘත්තීය සමිති උපකරනය සම්බන්ධයෙන් ගත් කල, එය ක්‍රියාත්මක වන්නේ අරගලයේ මෙවලමක් ලෙස නොව, එය සිමා කිරීමේ යාන්ත්‍රනයක් ලෙස ය. මිනියාපොලිස් හි දී, එය පහලින් මතු වූ මහා වැඩ වර්ජනයක් සඳහා වූ කැඳවීම මර්දනය කලේය.

ජාතික වශයෙන්, AFL-CIO සහ ප්‍රධාන වෘත්තීය සමිති ඉරානයේ බෝම්බ වැටෙන විට නිහඬතාවය පවත්වා ගෙන ගොස් ඇති අතර පසුව තම හුරුපුරුදු වාක්‍ය ඛන්ඩයට නැවත පැමින ඇත: “නොවැම්බරයේ ඡන්දය දෙන්න!” ඔවුන් කම්කරුවන්ගේ සෑම වැඩ වර්ජනයක්ම නතර කිරීමට, හුදකලා කිරීමට හෝ මර්දනය කිරීමට ක්‍රමානුකූලව කටයුතු කර ඇත. ඊනියා ප්‍රතිසංස්කරනවාදියෙකු වන ෂෝන් ෆයින් යටතේ UAW කම්කරු නිලධරය, “පලමුව ඇමරිකාව” නමැති ගොඩවෙදකම ප්‍රවර්ධනය කර ඇති අතර යුද්ධයෙන් වෙන් කල නොහැකි ජාතිකවාදී රාමුවට අනුගත වී ඇත.

ට්‍රම්ප්ගේ අපරාධ ඔහුගේ පමනක් නොවේ. ඒවා ඔහුට මුදල් සැපයූ කතිපයාධිකාරීන් කල අපරාධ ය. ඒවා ඔහුව නීත්‍යානුකූල කර ඇති ආයතනික මාධ්‍යවල අපරාධ වේ. ඒවා ඔහුට බලය ලබා දුන් ආයතන, කොංග්‍රසය, උසාවි, ඩිමොක්‍රටික් පක්ෂයේ අපරාධ ය. ට්‍රම්ප්ගේ අපරාධ පාලක පන්තියේ අපරාධ වේ. ඒවා ධනවාදයේ අපරාධ යෝ ය.

ඒකාධිපතිත්වයට එරෙහි අරගලය ධනවාදයට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැකි වන්නේ මේ නිසාය.

මෙම වසර, එම අමරනීය ලේඛනය වන නිදහස් ප්‍රකාශනයේ 250 වන සංවත්සරය සනිටුහන් කරයි. ජෝර්ජ් රජුට එරෙහිව ලැයිස්තුගත කර ඇති දුක්ගැනවිලි අද එක්සත් ජනපද ජනාධිපතිවරයාට එල්ල කරන ලද චෝදනා පත්‍රයක් මෙන් ය. නියෝග පැනවීම්, ස්ථාවර හමුදා, අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම, නිදහස් භාෂනයට පහරදීම, ජනතාවගේ කැමැත්ත පාගා දැමීම යනාදියෙන් පාලනය සිදු කෙරේ.

“ස්වාධීනතා ප්‍රකාශයේ”, කෙටුම්පත් කමිටුව ඔවුන්ගේ වැඩ කොන්ටිනෙන්ටල් කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ආකාරය නිරූපනය කරන ජෝන් ට්‍රම්බුල්ගේ චිත්‍රය. ජෙෆර්සන් මැද, ෆ්‍රෑන්ක්ලින් ඔහුගේ වම් පසින් සහ ඇඩම්ස් ඔහුගේ දකුනු පසින් සිටිති.


නමුත් එම විප්ලවීය සම්ප්‍රදායෙන් ඉගෙන ගත හැකි පාඩම නම්, දූෂිත පාලක ප්‍රභූවකින් සංයමය ඉල්ලා අයැදීම නොවේ. එනම් පීඩනය ප්‍රතිරෝධය ඇති කරන අතර මූලික දේශපාලන ප්‍රශ්න අරගලය තුලින් විසඳනු ලබන බවයි. ආන්ඩු ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කරන විට, “එය වෙනස් කිරීමට හෝ අහෝසි කිරීමට ජනතාවට අයිතියක් ඇත'. එසේ පවසන්නේ නිදහස් ප්‍රකාශනයේ ය.

කෙසේ වෙතත්, අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම සමඟ නොගැලපේ. සමාජවාදී සමානතා පක්ෂය, යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහිව, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ස්වාධීනව සහ වෘත්තීය සමිති යාන්ත්‍රනයට එරෙහිව කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි. මෙයින් අදහස් කරන්නේ ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ කොටසක් ලෙස, රැකියා ස්ථානවල සහ අසල්වැසි ප්‍රදේශවල සාමාන්‍ය සේවකයින්ගේ කමිටු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන හා අරගලයේ ආයතන, කර්මාන්ත හරහා සහ ජාතික දේශසීමා හරහා කම්කරුවන් සම්බන්ධ කරමින් දොට්ට දැමීම්, මර්දනය සහ යුද්ධයට එරෙහිව ක්‍රියාමාර්ග සම්බන්ධීකරනය කිරීම ය.

කම්කරු පන්තිය දැවැන්ත ගෝලීය සමාජ බලවේගයකි. එය නිෂ්පාදන ක්‍රියාවලිය මගින්ම ජාත්‍යන්තරව සම්බන්ධ වේ. ඉතිහාසය විසින් මතු කරන ලද ප්‍රශ්නය නම්, මෙම වෛෂයික තත්වයන්, මෙම වෛෂයික ශක්තිය, අතිමහත් බහුතරයකගේ අවශ්‍යතා සඳහා සමාජය ප්‍රතිසංවිධානය කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවට සවිඥානිකව පරිවර්තනය වේද යන්නයි. ඒ සඳහා දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. එයට පක්ෂයක් අවශ්‍යයි. ඒ සඳහා හතරවන ජාත්‍යන්තරයේ වැඩපිලිවෙල වන මාක්ස්වාදයේ සහ ට්‍රොට්ස්කිවාදයේ පදනම් සහ උරුමය මත සමාජවාදී විඥානයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

සමාජවාදී සමානතා පක්ෂය සටන් කරන්නේ මේ සඳහායි. අනතුර අතිමහත් ය, නමුත් කම්කරු පන්තියේ බලය ද එසේමය. කර්තව්‍යය වන්නේ විරුද්ධත්වය, එක්සත් ජනපදය තුල සහ ලොව පුරා විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ම්ලේච්ඡත්වයට එරෙහිව, ෆැසිස්ට්වාදයට සහ ආඥාදායකත්වයට එරෙහිව, කතිපයාධිකාරයට එරෙහිව, ප්‍රාග්ධනයට එරෙහිව සවිඥානික අරගලයක් බවට පරිවර්තනය කිරීමයි.

මෙම මැයි දිනයේදී, මෙම රැලියට සවන් දෙන සෑම කම්කරුවෙකු ට ම, සෑම තරුනයෙකු ට ම, සෑම ශිෂ්‍යයෙකු ට ම අවශ්‍ය නිගමනයට එලඹෙන ලෙස මම ඉල්ලා සිටිමි. අප හා එක්වන්න, සමාජවාදී සමානතා පක්ෂය ගොඩනඟන්න.

Loading