බොරැල්ල, සහස්පුර මහල් නිවාස සංකීර්නයේ පදිංචිකරුවෝ, දිගු කලක් පුරා ක්‍රියා විරහිත ව ඇති විදුලි සෝපාන වහා අලුත්වැඩියා කරන ලෙස ඉල්ලා, ජූනි 3 වන දා පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. නිවාස සංකීර්නයට යාබද විවෘත භූමියට රැස් වූ ඔවුහු, “සියලුම සහස්පුර ජනතාවගේ ඉල්ලීම් ඉටු කර දෙනු!”, “ලිෆ්ට් වහා සාදා දෙනු!”, “නිලධාරීන් නිදි ද?” සහ “සෝපාන අක්‍රියවීම නිසා මිනිසුන් දුකින්” ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කලහ.
සංකීර්නයේ මුලින් සෝපාන හයක් තිබුන ද, දැන් ක්‍රියාත්මක වන්නේ එකක් පමනි. පෙර ආන්ඩු මෙන් ම, වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ නොතකා හැරීම හේතුවෙන්, වැඩිහිටියන්ට සහ රෝගීන්ට මෙන් ම පාසල් දරුවන්ට මහල් ගනනාවක්, සමහරවිට මහල් 14 ම, දෙපයින් තරනය කිරීමට බල කෙරී ඇත.
නිවැසියෝ වසරකට වැඩි කාලයක් තිස්සේ අලුත්වැඩියාවන් ඉල්ලා සිටිති. බලධාරීන්ට නැවත නැවතත් කරන ලද අභියාචනා නොසලකා හැරීමෙන් පසු ව, ඔවුහු වීදි බටහ.
විරෝධතාව පැවැත් වූ ස්ථානයට පැමිනි නිවාස සංවර්ධන අධිකාරියේ (යූඩීඒ) නිලධාරීන් විරෝධතාවය නවත්වන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේ, අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය සියලු අරමුදල් දැනටමත් අනුමත කර ඇති බවට සහතික කරමිනි. එවැනි සහතික කිරීම් වලට දිගු කලක් තිස්සේ හුරු වී සිටි නිවැසියෝ ඔවුනට අවනත නොවූහ.
බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ බාධා කිරීමේ උත්සාහයන් නොසලකා හරිමින්, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම මාවත ඔස්සේ බේස්ලයින් පාර දක්වා පා ගමනේ ගිය විරෝධතාකරුවෝ, එම මංසන්ධියේ වාඩි වී සටන්පාඨ හඬ නැගූහ.
සහස්පුර සංකීර්නයේ වසර 25 කට ආසන්න කාලයක් ජීවත් වූ ගෘහනියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ සෝපාන ගැටලුව වසර ගනනාවක් තිස්සේ පවතින පුලුල් නඩත්තු අර්බුදයක එක් මානයක් පමනක් බවයි.
“සෝපාන ගැටලුව වසර ගනනාවක් තිස්සේ පවතිනවා. මේ ආන්ඩුව ආපු දවසෙ ඉඳල අපි කිවුව මේ ගැටලුව විසඳල දෙන්න කියල. ඒත් ඒක උනේ නෑ. අපට මෙම මහල් නිවාස අපිට නඩත්තු කරන්න බෑ. ඒවා නිසි ලෙස නඩත්තු කරල සෝපාන අලුත්වැඩියා කලා නම්, කිසි ගැටලුවක් ඇති වෙන්නෙ නෑ” යැයි ඇය පැවසුවා ය.
සමහර නිවැසියන් තමන්ගේ කොටස්වල තීන්ත ආලේප කර ගන්නා නමුත්, වියදම ඉතා අධික බැවින් බහුතරයකට එය කල නොහැකි බව ඇය පැවසුවා ය. “පයිප්ප කැඩිල නිසා නාන කාමර සහ කුස්සි වලින් වතුර හරියට බැහැල යන්නේ නෑ. කලින් කුනු කසල කුටියක් තිබුනා, දැන් ඒක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. දැන් අපි අපේ කුනු බෑග්වල තබා ගන්නව. පෞද්ගලික සමාගමක් ඒවා එකතු කරනවා. අපි ඔවුන්ට මසකට රුපියල් 300 ක් ගෙවිය යුතුයි.”
සංකීර්නය පුරා පෙනෙන්නට ඇති තත්වයන් මගින් ඇගේ වාර්තාව සනාථ වෙයි. අපිරිසිදු තත්වයන් නිර්මානය කරමින් පඩිපෙල අසල කසල ගොඩගැසී තිබුනි. වසර ගනනාවක් තිස්සේ බිත්ති තීන්ත ආලේප කර නොතිබුනි. ඉහල මහලෙන් ගලා යන අපජල නල පද්ධතියේ කොටස් සම්පූර්නයෙන්ම කැඩී ගොස් තිබුනි; සමහර ස්ථානවල, පදිංචිකරුවන් පොලිතින් නලවලින් හානියට පත් කොටස් ආවරනය කර තිබූ අතර අවට ප්‍රදේශ අපද්‍රව්‍ය වලින් ස්ථිර ව ම තෙත් වී පවතී. ආන්ඩුව විසින් නිතිපතා, ප්‍රමානවත් ලෙස අරමුදල් සපයන අතරේ නඩත්තු කටයුතු සහ සංකීර්නය නිසි ලෙස අධීක්ෂනය කල යුතු බව පදිංචිකරුවෝ අවධාරනය කරති.
සහස්පුර මහල් නිවාස යනු, “පැල්පත්වාසීන්ට යහපත් නිවාස ලබා දීමේ” කඩතුරාව යටතේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව විසින් දියත් කරන ලද පලමු ප්‍රධාන නිවාස ව්‍යාපෘතියයි. එකල ලෝසවෙඅ පැහැදිලි කල පරිදි, යථාර්ථයේ දී “ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුන නිවාස අර්බුදය විසඳීම නොව කාර්මික හා ව්‍යාපාර සංවර්ධනය සඳහා, පැල්පත්වාසීන් විසින් අල්ලාගෙන සිටි ප්‍රධාන ඉඩම් නිදහස් කර ගැනීමයි.”
2001-2002 දී, ලෝක බැංකුවේ අනුග්‍රහය ලත් “තිරසර පුරවර” වැඩසටහන යටතේ ඉදිකරන ලද සහස්පුර, රීල් (REEL-Real Estate Exchange Ltd) යන කෙටි නමින් හැඳින්වූ දේපල හුවමාරු සමාගම විසින් කලමනාකරනය කෙරුනි. සමාගමේ ලේඛන එහි සැබෑ අරමුන මෙසේ පැහැදිලි කලේ ය:
“විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා, විශේෂයෙන් කොලඹ නගරය තුල ලාභ ශ්‍රමය සහ සුදුසු ඉඩම් සහ යටිතල පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය වේ.”
2001 නොවැම්බර් 28 වන දින විවෘත කරන ලද සහස්පුර මහල් නිවාස සංකීර්නය නිවාස ඒකක 671 කින් සමන්විත වන අතර, එම නිවාස සැලසුම් කර ඇත්තේ, යහපත් වාසස්ථානයක් ලබා දීමේ අරමුනෙන් නොවන බව ඒවායේ ඉඩකඩ වලින් ම ප්‍රකාශයට පත් වේ. වපසරිය වර්ග අඩි 335 සිට 600 දක්වා වූ ප්‍රමාන හතරකින් මෙම ඒකක සමන්විත වේ. ඔවුන්ගේ පෙර වාසස්ථානවල බිම් ප්‍රමානය අනුව පිරිනමා ඇති මෙම නිවාසවල නාන කාමරය මීටරයක දිගෙන් සහ පලලෙන් යුක්ත වන අතර, මුලුතැන්ගෙයක් නැත. ඒ වෙනුවට ඇත්තේ, ගෑස් උදුනක් සහ අනෙකුත් උපකරන තබා ගැනීම සඳහා කොන්ක්‍රීට් තට්ටුවක් පමනි. සැබැවින්ම මෙම පැල්පත්වාසීන්, ඔවුන් කලින් සිටි “තිරස් මුඩුක්කු” වලින් ඉවත්කොට මහල් ගනන් දෙපයින් තරනය කලයුතු “සිරස් මුඩුක්කූ” තුල සිර කොට ඇත.
අනුප්‍රාප්තික මහින්ද රාජපක්ෂ ආන්ඩුව, “ප්‍රධාන දකුනු ආසියානු වානිජ මධ්‍යස්ථානයක් බවට කොලඹ නගරය පරිවර්තනය කිරීම” යටතේ ලෝක බැංකුව අනුග්‍රහයෙන් ඉදිරියට ගෙන ගිය මෙම වැඩසටහන පසු ව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව “මෙගාපොලිස්” ව්‍යාපෘතිය හරහා පුලුල් කරන ලදී. මෙ ලෙස, සෑම ආන්ඩුවක් විසින් ම, “සංවර්ධනය” මුවාවෙන් දුගී නිවැසියන් ඔවුන් පදිංචි ව සිටි ඉඩම්වලින් බලහත්කාරයෙන් ඉවත් කොට මෙවන් “සිරස් මුඩුක්කු” තුල සිර කෙරුනි.
වාර්තාවකට අනුව, කොලඹ පැල්පත්වාසීන් කලින් අත්පත් කරගෙන සිටි හෙක්ටයාර 280 න්, ඒවායේ පදිංචිකරුවන් සඳහා නැවත නිවාස ඉදි කරන ලද්දේ හෙක්ටයාර 120 ක පමනි; ඉතිරි 160 වානිජ සංවර්ධනය සඳහා විකුනා දමා ඇත.
දුගීන් “සිරස් මුඩුක්කු” තුල සිර කෙරෙද්දී, ඔවුන් ඉවත් කොට මුදාගත් ඉඩම්වල, දැවැන්ත සංචාරක හෝටල් සහ අහස සිඹින සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්න සිය ගනනක් ඉදි වී ඇත. ලෝසවෙඅ පෙන්වා දුන් පරිදි “ලංකා ප්‍රොපර්ටි වෙබ් (LankaPropertyWeb) මෑත දී ප්‍රකාශය ට පත් කල ‘2026 ශ්‍රී ලංකා දේපල වෙලඳාම් වෙලඳපොල ඉදිරි දැක්ම’ වාර්තාවට අනුව කොලඹ නගරයේ කම්කරුවෙකුගේ සාමාන්‍ය මාසික ශුද්ධ වැටුප රුපියල් 70,452 වන අතර, නගර මධ්‍යයේ ඇති සුඛෝපභෝගී මහල් නිවාස වර්ග අඩියක විකිනුම් මිල රුපියල් 108,442 කි. මෙහි තේරුම කම්කරුවෙකුගේ සම්පුර්න වාර්ෂික වැටුපෙන් කොලඹ සුඛෝපභෝගී මහල් නිවසකින් වර්ග අඩියක් වත් මිල දී ගත නොහැකි බවයි.”
ජාත්‍යන්තර දේපොල මිල දර්ශකයක් වන නම්බියෝ (NUMBEO) හි නවතම ශ්‍රේනිගත කිරීම් වලට අනුව, නිවසක් මිල දී ගැනීමේ දී ලෝකයේ වඩාත් ම දැරිය නොහැකි මිල සහිත නගරය ලෙස කොලඹ නගරය ශ්‍රේනිගත කර ඇත.
මෙම පිලිවෙත් ඉදිරියට ගෙන යන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුවේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුනසේකර ජූනි 04 දා මාධ්‍ය හමුවක් කැඳවා, සහස්පුර ඇති ව පවත්නා තත්වය සම්බන්ධයෙන් පෙර ආන්ඩුවලට දොස් පැවරී ය. මෙම මහල් නිවාස සංකීර්න “මිනිසුන්ට නොව, සතුන්ට ජීවත්වීමට” ඉදිකර ඇති බවත් ඒවා “අපායන්” බවට පත් ව ඇති බවත් ඔහු ප්‍රකාශ කලේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු අකුරට ම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුව කෙරෙහි වැඩී ඇති මහජන විරෝධයට සහස්පුර වැසියන්ගේ විරෝධය ද එක්වීම වලකා එය වෙනතකට යොමු කිරීම ගුනසේකරගේ ප්‍රකාශයේ අරමුනයි.
ගුනසේකර ඇතුලු ජවිපෙ/ජාජබ ආන්ඩුව වසර දෙකකට ආසන්න කාලයක් බලයේ සිට ඇති නමුත්, එම කාලය තුල මෙම “අපායන්” ගැන කල පැමිනිලි කිසිවක් තඹ දොයිතුවකට සලකා නැත. දුගීන්ගේ ප්‍රශ්න ගැන ආන්ඩුවේ තැකීම කෙසේද යන්න, දිට්වා සුලි කුනාටුවෙන් විපතට පත් දසදහස් සංඛ්‍යාත ජනතාවට එය සලකා ඇති ආකාරයෙන් ප්‍රකාශයට පත් වේ.
මාස හයකට වැඩි කාලයක් ගත වී ඇති නමුදු මෙතෙකුදු පවුල් දහස් ගනනක් ජීවත්වන්නේ තාවකාලික වාසස්ථානවල ය.
මාර්තු 1 දා, ද මෝර්නින්ග් හි පල වූ වාර්තාවකට අනුව, 2026 පෙබරවාරි 28 වන විට, ඩිට්වා සුලි කුනාටුවෙන් පසු පවුල් 1,075 කට අයත් පුද්ගලයින් 3,146 දෙනෙකු නිල ‘ආරක්ෂිත මධ්‍යස්ථාන’ 32 ක රැඳී සිට ඇත. අවතැන් වූවන්ගෙන් අතිමහත් බහුතරය, එනම් 150,000 කට ආසන්න පිරිසක්, ඥාතීන්, මිතුරන් සමඟ හෝ විධිමත් කඳවුරුවලින් පිටත විකල්ප ස්ථානවල රැඳී සිටින බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානය පවසා තිබුනි. මේ වන විට ද මෙම තත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු ව නැත.
විශේෂයෙන් ම, විනාශ වූ ලයින් කාමරවල “හිමිකාරිත්වය” වතු කම්කරුවන්ට නොමැති බැවින්, අදාල වන්දි ලබා දීම ආන්ඩුව මුලුමනින් ම ප්‍රතික්ෂේප කර ඇති අතර, වතු කම්කරුවන් නොවන, හිමිකාරිත්වය ඇති පවුල් දහස් ගනනකට ද මෙතෙක් වන්දි මුදල් ලබා දී නොමැත.
ජාමූඅ හි විධානයන් මත මහජන සෞඛ්‍යය සහ මහජන අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් රුදුරු ලෙස කප්පාදු කරන ජවිපෙ/ජාජබ ආන්ඩුව, නිවාස අයිතිය සම්බන්ධයෙන් අනුගමනය කරන පිලිවෙත ඉන් වෙනස් නොවේ. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයෙන් ගැඹුරුවන ආර්ථික අර්බුදය හමුවේ මෙම කප්පාදු වඩාත් තීව්‍ර වනු ඇත.
අනෙකුත් සියලු සමාජ ප්‍රශ්න මෙන් ම නිවාස ප්‍රශ්නය ද, ධනපති ආන්ඩු වලට කන්නලවු කිරීමෙන් විසඳාගත නොහැකි බව කම්කරු-පීඩිත මහජනතාවගේ අඛන්ඩ අත්දැකීමයි. දුගී ජනයා කම්කරු පන්තියේ නායකත්වය යටතේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගනිමින්, තම අයිතීන් සුරක්ෂිත කර ගැනීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කල යුතු ය.
වැඩිදුර කියවන්න
- ධනපති ක්‍රමය සහ නිවාස ගැටලුව විසඳීමේ ආන්ඩුවේ පම්පෝරිය
- වැඩකරන ජනයාට අත පෙවිය නොහැකි මට්ටමට කොලඹ නගරයේ ඉඩම් සහ නිවාස මිල ඉහල යයි
- ග්‍රෙන්ෆෙල් මහල් නිවාස ගින්නේ දේශපාලන ඇඟවීම්
- කොලඹ මහල් නිවාස සංකීර්නයක බදාම තට්ටුවක් හිස මත වැටී හත් හැවිරිදි දරුවෙක් මිය යයි
- මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවෝ සුලි කුනාටුවෙන් පසු යහපත් නිවාස ඉල්ලා විරෝධතා දක්වති
- “සිරිසර උයන” මහල් නිවාස ගින්න: දුගීන් පිලිබඳ ධනපති පාලකයන්ගේ නරුම නොතැකීම යලි ඉස්මත්තට පැමිනි අවස්ථාවක්
