අධිබල එල් නිනෝ දේශගුනික විපර්යාස තීව්‍ර කිරීමට ඉඩ තිබේ

[මෙය Likely Super El Niño will intensify climate change මැයෙන් 2026 ජූනි 3දා  පල වූ ලිපියේ පරිවර්තනයයි.]

දකුනු ඇමරිකාවේ බටහිර වෙරලට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ සැතපුම් සිය ගනනක් පලල අසාමාන්‍ය ලෙස  විශාල උනුසුම් ජලයේ රැල්ලක වර්ධනයක් ඇති බව මෑත චන්ද්‍රිකා දත්ත මගින් අනාවරනය වී තිබේ. අතීතයේ දී, එවැනි වර්ධනයක් එල් නිනෝ ලෙස හැඳින්වෙන කාලගුන සංසිද්ධියක මතුවීම පෙන්නුම් කරයි. එය ස්පාඤ්ඤ භාෂාවෙන් බිලිදු ජේසු යන්න හැඟවෙන  “කුඩා පිරිමි ලමයා” යන තේරුම ඇත්තකි, මන්ද එය සාමාන්‍යයෙන් උච්චත ම අවස්ථාවට පැමිනෙන්නේ දෙසැම්බර් මාසයේ දී බැවිනි.  අනතුරු ව මෙය ලා නිනා ලෙස හඳුන්වන සිසිලන චක්‍රයට මාරුවෙයි (පැසිෆික් සාගරය ස්වභාවික ව ම ප්‍රතිවිරුද්ධ දේශගුනික රටා දෙකක්- එල් නිනෝ හෙවත් උනුසුම් අදියර සහ ලා නිනෝ හෙවත් සිසිලන අදියර වසයෙන්- අතර මාරු වේ. පරිවර්තක)

සාමාන්‍යයෙන්, පැසිෆික් සාගරයේ වෙලඳ සුලං (හෙවත් සාමාන්‍යයෙන් ස්ථාවර ව හමන සුලං) සමකය ඔස්සේ බටහිරට හමා යන අතර, දකුනු ඇමරිකාවේ සිට ආසියාව දෙසට උනුසුම් ජලය රැගෙන යයි. එම උනුසුම් ජලය විස්ථාපනය කිරීම සඳහා, සීතල ජලය ගැඹුරු මුහුදෙන් නැඟී එයි - එය උද්ගමනය නමින් හැඳින්වෙන ක්‍රියාවලියකි. එල් නිනෝ සහ ලා නිනා යනු, මෙම සාමාන්‍ය තත්වයන් බිඳ දමන ප්‍රතිවිරුද්ධ දේශගුනික රටා දෙකකි. විද්‍යාඥයින් මෙම සංසිද්ධි එල් නිනෝ-දක්ෂින දෝලන (ENSO) චක්‍රය ලෙස හඳුන්වයි. එල් නිනෝ තත්වයක් ඇති වන්නේ මෙම වෙලඳ සුලං දුර්වල වූ විට ය. උනුසුම් ජලය ඇමරිකාවේ බටහිර වෙරල තීරය දෙසට නැගෙනහිරට තල්ලු කරනු ලැබේ.

උනුසුම් මුහුදු මතුපිට උෂ්නත්වය, ජෙට් වායු ධාරාව ඇතුලු වායුගෝලීය සංසරන රටාවන්ට බලපාන අතර, කුනාටු මාර්ගවල අවහිරතා ඇති කරයි (ජෙට් වායු ධාරාව (Jet Stream) යනු පෘථිවියේ ඉහල වායුගෝලයේ බටහිර සිට නැගෙනහිරට ඉතා වේගයෙන් ගලා යන පටු වායු ධාරාවකි. එය කුනාටු සහ කාලගුන පද්ධති ගමන් කරන මාර්ගය තීරනය කිරීමට වැදගත් බලපෑමක් ඇති කරයි-පරි.). එල් නිනෝ හේතුවෙන් ඕනෑ ම වසරක තීව්‍රතාවය මත පදනම් ව, ලොව පුරා බොහෝ ප්‍රදේශවල ඉහල සහ අඩු වර්ෂාපතන සහ ඉහල වායුගෝලීය උෂ්නත්වයන්හි  ආන්තික කාලගුනික තත්වයන් ඇති විය හැක. එය දකුනු සහ අග්නිදිග ආසියාව, ඊසානදිග දකුනු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ දකුනු අප්‍රිකාවේ නියඟය ඇති වීමේ හැකියාව තීව්‍ර කරයි. අනෙකුත් ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් අත්විඳිය හැකි ය. ඕනෑ ම අවස්ථාවක, සාමාන්‍ය කාලගුනික රටාවන් කඩාකප්පල් කිරීම් ද බොහෝ විට දරුනු ප්‍රතිවිපාකයන් ද ඇති වේ. 

2024 ජූලි 2දා සිම්බාබ්වේහි මුඩ්සි හි පෝෂන මධ්‍යස්ථානයක සකස් කරන ලද කැඳ අනුභව කරමින් සිටින දරුවන්. සිම්බාබ්වේහි, එල් නිනෝ නිසා ඇති වන නියඟයක් මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන අතර, ලමයින් වඩාත් අවදානමට ලක් ව ඇත. [AP Photo/Aaron Ufumeli]

සාමාන්‍යයෙන්, එල් නිනෝ සෑම වසර දෙකේ සිට හත දක්වා අක්‍රමවත් කාල පරතරයකින් වර්ධනය වේ. සමහරක් විශේෂයෙන් තීව්‍ර වේ. මේවා හැදින්වෙන්නේ සුපිරි/අධිබල එල් නිනෝ ලෙසනි. ගෝලීය උනුසුම ඉහල යාමේ ප්‍රතිපලයක් ලෙස සාගර උෂ්නත්වය ඉහල යාම හේතුවෙන්, මෙම චක්‍රය විශේෂයෙන් ශක්තිමත් වනු ඇතැයි එක්සත් ජනපද ජාතික සාගර විද්‍යා හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) දේශගුනික පුරෝකථන මධ්‍යස්ථානය  අපේක්ෂා කරයි. එය “ඉක්මනින් මතු වීමට ඉඩ ඇත (2026 මැයි-ජූලි මාසවල ඇතිවීමේ සියයට 82ක විභවතාවක් ) සහ 2026-27 උතුරු අර්ධගෝලයේ ශීත ඍතුව ඔස්සේ ගමන් කරමින් (2026 දෙසැම්බර්-2027 පෙබරවාරි මාසවල දී ඇතිවීමේ සියයට 96ක විභවතාවක්) දිගට ම පවතිනු ඇත.” 

සමහර  ආකෘති අනාවැකි පල කරන්නේ ශරත් සෘතුවත් සමඟ පැසිෆික් මුහුදු මතුපිට උෂ්නත්වය සාමාන්‍යයට වඩා ෆැරන්හයිට් අංශක 7.2 (සෙල්සියස් අංශක 4) ට වඩා ඉහල යනු ඇති බවත්, එහි තේරුම වන්නේ, මෙම එල් නිනෝව මෙතෙක් වාර්තා වූ බලගතු ම එක විය හැකි බවත්, ප්‍රතිපල වසයෙන් අතිශය බිහිසුනු ප්‍රතිවිපාක ජනනය කල හැකි බවත් ය. මෙම තත්වය තේරුම් ගැනීමට යම් සංසන්දනය කිරීමක් කරන්නේ නම්, 1877 වර්ෂයේ ඇතිවූ එල් නිනෝ සමයේ දී, පැසිෆික් මුහුදු මතුපිට උෂ්නත්වය සාමාන්‍යයට වඩා ආසන්න වශයෙන් අංශක 6.3 (සෙල්සියස් අංශක 3.5) කින් ඉහල ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ආසියාව, බ්‍රසීලය සහ අප්‍රිකාව තුල අඛන්ඩ, දරුනු නියඟ ඇති වූ අතර, එය පුලුල් ව පැතිරී ගිය ආහාර බෝග අසාර්ථකත්වයකටත් එමගින් ගෝලීය සාගතයකටත් හේතු වූ අතර, ප්‍රතිපල වසයෙන් මිලියන 50 කට අධික ජනතාවක් මිය ගියහ. ඉන්දියාව විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ මහා සාගතය,  ඉන්දියානු ජනගහනයේ අවශ්‍යතා නොතකා දැවැන්ත ලෙස ධාන්‍ය අපනයනයන්ට ප්‍රමුඛත්වය දුන්  බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් උග්‍ර කරන ලදි.  

2015-2016 කාලය තුල අප්‍රිකාවේ නියඟයක් සහ කැලිෆෝනියාවේ ගංවතුරක් ඇති කල අවසන් සුපිරි එල් නිනෝව අවසානයේ ගෝලීය ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 3.9 ක පාඩුවක් සිදු කලේ ය. 

1997-98 කාලයේ ඇති වූ ඉතා ප්‍රබල එල් නිනෝවේ ප්‍රතිඵලයක් ලෙස, අඩ සියවසකට ආසන්න කාලයක් තුල චීනය දරුනුත ම ගංවතුරට මුහුන දුන්නේය. මාස දෙකක තද වැසි හේතුවෙන් මියගිය ප්‍රමානය ආසන්න වශයෙන් 3,000 කි. 

2023 දී වර්ධනය වූ ප්‍රබල එල් නිනෝව 2024 වසර මේ දක්වා වාර්තාගත උනුසුම් ම වසර බවට පත් කිරීමට ඉවහල් විය. 2024 අප්‍රේල්-මැයි මාසවල දී, දකුනු බ්‍රසීලයේ ප්‍රාන්තයක් වන රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් හි පෙර නොවූ විරූ ගංවතුරක් හේතුවෙන් පුද්ගලයින් 600,000 ක් පමන අවතැන් වූ අතර, 180 කට වැඩි පිරිසක් මිය ගියහ.

යුරෝපය පුරා පැතිරී ඇති තාප තරංගය, වර්ධනය වන සුපිරි එල් නිනෝවක් මගින් තවත් සංකීර්න විය හැකි ය. ගෝලීය උෂ්නත්වය ඉහල යාම අතිශය ප්‍රබල එල් නිනෝ තත්ත්වයන් නිතර ඇතිවීමට හේතු විය හැකි අතර, ඒවා නැවතත් ගෝලීය උෂ්නත්වය තවදුරටත් ඉහල නංවමින් ස්වයං-ශක්තිමත් වන ධනාත්මක ප්‍රතිපෝෂන චක්‍රයක් හෙවත් යම් වෙනසක් මුල් තත්වය තවත් ශක්තිමත් කරන ක්‍රියාවලියක් නිර්මානය කල හැකි ය. එවන් තත්වයක් සිදුවිය හැකි සියලු ම සෘනාත්මක ප්‍රතිවිපාක ජනනය කල හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.  

එක්සත් ජාතීන්ගේ ආපදා අවදානම් අවම කිරීමේ කාර්යාලය පුරෝකථනය කර ඇත්තේ, වත්මන් එල් නිනෝවේ ප්‍රතිපල වසයෙන්, (එක් පැත්තකින්) වැඩි වර්ෂාපතනයක් ඇති වීමෙන් ඇමරිකාවේ සෝයා බෝංචි නිෂ්පාදනය ඉහල නැංවීමට ඉඩකඩ තිබෙන අතරේ, (අනෙක් පැත්තෙන්) නියඟ තත්ත්වයන් ආසියාව සහ ඕස්ට්‍රේලියාව පුරා ඉරිඟු, සහල් සහ තිරිඟු නිෂ්පාදනය පහත දමමින්, අසමමිතික බලපෑම් ඇති කිරීමට ඉඩ ඇති බවයි. මෙම තත්වය,  මැදපෙරදිග සහ අප්‍රිකාවේ ප්‍රධාන ගැටුම්, සීග්‍රයෙන් පැතිරෙන බහුවිධ රෝග (සරම්ප, ඉබෝලා සහ කෝවිඩ් වෛරසයේ නව විකෘති ප්‍රභේද) සහ තීව්‍ර වන ගෝලීය ධනවාදී ආර්ථික අර්බුදය සමඟ සමපාත වනු ඇත. මේ සියල්ල සංයෝගයෙන් ඇතිවිය හැකි බලපෑම් අතිශයින් විනාශකාරී විය හැකි ය. 

ඕනෑම නිශ්චිත වර්ෂයක දී ලොව පුරා කාලගුනික ලක්ෂන කෙරෙහි බොහෝ සාධක බලපෑම් කල හැකි වුවද, මානව විද්‍යාත්මක ගෝලීය උනුසුම වේගවත් වීමේ ප්‍රවනතාව පැහැදිලි ය. එහි ප්‍රතිඵලයක් ලෙස සාගර උෂ්නත්වය ඉහල යාම පිලිබඳව මැනවින් ලේඛනගත කර ඇත. එල් නිනෝ කාලගුන සංසිද්ධියට හේතු වන යාන්ත්‍රනයන් පිලිබඳ වර්තමාන අවබෝධය අනුව, ඉදිරි වසරවල දී එහි විනාශකාරී බලපෑම් තවත් වැඩි වන බව නිසැක ය. 

“එල් නිනෝ කොස්ටෙරෝ ඩි 2026” ලෙස නම් කර ඇති දේ පිලිබඳ පූර්වදර්ශනයක් පේරු හි දැනටමත් සිදුවෙමින් පවතී.  මාර්තු මාසයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ  වාර්තා කල පරිදි:

පේරු රාජ්‍යය දැඩි උනුසුම, ධාරානිපාත වර්ෂාව, නාය යෑම් සහ ගංගා ගංවතුරෙන් පීඩා විඳිමින් සිටින අතර එමඟින් දැනටමත් ජීවිත 68 ක් අහිමි වී,  මාස තුනක් ඇතුලත 200,000 කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී තිබේ. පවුල් විසින් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා මඩ සහ සුන්බුන් හාරන අතරතුර, රටේ කොංග්‍රසය අර්බුදය හැර අන් කිසිවක් ගැන විවාද නොකරයි. දූෂිත පාලක කතිපයාධිකාරය සහ එහි දේශපාලන නියෝජිතයින්, පේරු වැඩ කරන ජනතාවගේ ජීවිත සහ සුභසාධනය ආරක්ෂා කිරීමට අසමත් මෙන් ම එ ලෙස කිරීමට උනන්දුවක් නැති බව ද මෙම ව්‍යසනය නැවත වරක් හෙලිදරව් කර තිබේ.

යුද්ධය සහ කම්කරු පන්තිය මර්දනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති ධනේශ්වර පාලක පන්තීන්, ගෝලීය උනුසුම සමනය කිරීමට කිසිවක් කර නොමැතිවාක් මෙන් ම, සුපර් එල් නිනෝවක විභව ව්‍යසනයට මුහුන දීමට මොන ම පූර්ව සූදානමක් කෙරී නැත. 

Loading