ඉහල යන නිෂ්පාදන වියදම් සහ අඩු සහල් මිල ගනන් සම්බන්ධයෙන් දහස් ගනන් ගොවීහු විරෝධතා දක්වති

[මෙය Sri Lanka: Thousands of farmers protest over rising costs and low rice prices යන මැයෙන් 2026 ජූනි 23 පල වූ ලිපියේ පරිවර්තනයයි. ]

වී සඳහා සහතික මිලක් ඇතුලු ඉල්ලීම් මාලාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ගොවීන් දහස් ගනනක් පසුගිය සතිය පුරා, විරෝධතා පැවැත්වූහ. ඉරාන යුද්ධයෙන් උග්‍ර වූ ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පටවමින් සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව කෙරෙහි වැඩෙන කෝපය විරෝධතාවලින් පිලිබිඹු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කුරිරු කප්පාදු පියවරයන්ගෙන් ගොවීහු දැනටමත් පීඩාවට පත් ව සිටිති.

වී ප්‍රසම්පාදනය සහ මිල ගනන් වැඩි කරන ලෙස ඉල්ලා මඩකලපුවේ ගොවීහු විරෝධතාවක් පවත්වති. [ඡායාරූපය: Facebook/Battinews] [Photo: Facebook/Battinews]

වී කිලෝග්‍රෑමයකට රුපියල් 140ක සහතික කල අවම මිලක්, පොහොර සහ කෘෂි රසායන මිල අඩු කිරීම සහ සහනාධාර ඉන්ධන කෝටාවක් ගොවීහු ඉල්ලා සිටිති.

ජුනි 16 වන දින, උතුරු මැද පලාතේ, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ දී ගොවීන් 2,000 කට ආසන්න පිරිසක් විරෝධතා දැක්වූහ. එදින ම, ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ රාජ්‍ය පරිපාලන කාර්යාලය ඉදිරිපිට ගොවීන් 500 ක් පමන විරෝධතාවන් හි යෙදුනු අතර, ජුනි 17 වන දින, අම්පාර දිස්ත්‍රික්කයේ මහවැලි සී කලාපයේ ගොවීන් 2,000 කට වැඩි පිරිසක් දෙහිඅත්තකන්ඩිය නගරයේ විරෝධතා දැක්වූහ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම දෙනිය ඇතාවැටුන ප්‍රදේශයේ ගොවීන් 200 ක් පමන දෙනිය බෝධිය අසලට රැස්වී පොල් ගසා ආන්ඩුවට ශාප කලහ.

කිලිනොච්චියේ උතුරු දිස්ත්‍රික්කයේ, ගොවීන් සිය ගනනක් ජුනි 17 වන දින තම වී අස්වැන්න සඳහා සාධාරන මිලක් ඉල්ලා විරෝධතාවක් පැවැත්වූහ. ගොවීන්ගේ නියෝජිත පිරිසක් නිෂ්පාදන පිරිවැය ඉහල යාම සහ අඩු මිල ගනන් ඇතුලුව ඔවුන්ගේ දුක්ගැනවිලි ගෙනහැර දක්වමින් පලාත් පාලන නිලධාරීන්ට පෙත්සමක් ඉදිරිපත් කලහ.

විරෝධතාකරුවෝ මෙසේ කෑ ගැසූහ: “දැන් ගොවීන්ට තේරෙනවා - උන් ඔක්කොම එකයි!” ඔවුන්ගේ ඉල්ලීම් කඩිනමින් ඉටු නොකලහොත්, කොලඹට පැමින මහජන විරෝධතාවයක් පවත්වන බවට ඔවුහු අනතුරු ඇඟවූහ.

කෘෂිකර්ම සංවර්ධන පනත යටතේ ලියාපදිංචි කර ඇති දේශීය ගොවි සංවිධාන විසින් මෙම විරෝධතා සංවිධානය කරන ලද අතර, එම සංවිධාන විසින් ගොවි ජනයාගේ කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරනය කරයි. දේශපාලන පක්ෂවලට අනුබද්ධිත ප්‍රධාන ගොවි සමිති සහ සම්මේලනවලින් ස්වාධීන ව මෙම ක්‍රියාමාර්ග බොහෝ දුරට සංවිධානය කරන ලද අතර ඒවායින් සමහරක් ජවිපෙ/ජාජබ ආන්ඩුවට සෘජු ව හෝ වක්‍ර ව සහාය දක්වයි. ජවිපෙ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා ගොවි සම්මේලනයේ නායක නාමල් කරුනාරත්න කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ද වේ.

ජුනි 17 වන දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, විරෝධතා හෙලා දැකීමට උත්සාහ කලේ ඒවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පමනක් සීමා වී ඇති බව පවසමිනි. විරෝධතා නොතකා, යල අස්වැන්න නෙලන තෙක් (අප්‍රේල්/මැයි සිට අගෝස්තු/සැප්තැම්බර් දක්වා දිවෙන රටේ වී වගා කන්න දෙකෙන් එකක්) ආන්ඩුව වී මිලදී නොගන්නා බවට ද ඔහු තර්ජනය කලේ ය.

“කොලඹ හෝ වෙනත් තැනක [එක් විරෝධතාවක් හෝ විරෝධතා සියයක් පැවැත් වුව ද] - වී අලෙවි මන්ඩලය වී මිල දී ගන්නේ යල අස්වැන්න නෙලන කාලය තුල පමනි,” යැයි අමාත්‍යවරයා පැවසී ය.

කිලෝග්‍රෑමයකට රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන බවට මැතිවරන සමයේ ජවිපෙ/ජාජබ දුන් පොරොන්දු බලයට පත් වූ පසු කඩකොට ඇති බවට ගොවීන් කල චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ලාල්කාන්ත කියා සිටියේ, ඒ කාලයේ නිෂ්පාදන පිරිවැය වැඩි වී තිබූ බවත්, දැන් එය අඩු වී ඇති බවත් හාස්‍යජනක ලෙස යෝජනා කල බවයි.

පොහොර, කෘෂි රසායන, බීජ වී, උපකරන සහ සී සෑම සහ අස්වනු නෙලීමේ වියදම්වල මිල ඉහල යාම හේතුවෙන් පිරිවැය අතිශයින් ඉහල මට්ටමක පවතී. ගොවීන් වී කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය රුපියල් 120 කට පමන ඇස්තමේන්තු කරන අතර, පෞද්ගලික වෙලඳුන් සහ සහල් මෝල් හිමියන් එය මිල දී ගන්නේ කිලෝග්‍රෑමයකට රුපියල් 90 කට පමනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක අප්‍රේල් 7 වන දින පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ කිලෝග්‍රෑම් 50 ක පොහොර මල්ලක් රුපියල් 10,500ක සහනාධාර මිලකට ලබා දෙන බවයි. නමුත් ගොවීන් පවසන්නේ එම මිලට අවශ්‍ය තරම් පොහොර නොමැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, මල්ලකට රුපියල් 17,000 සිට 18,500 දක්වා අධික මිලකට පුද්ගලික වෙලෙන්දන්ගෙන් මිල දී ගැනීමට ඔවුන්ට බල කෙරී ඇත. ගොවීන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ අනෙකුත් වියදම් සමඟ වී අක්කරයක් වගා කිරීමේ පිරිවැය දැන් රුපියල් 130,000 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.

ගොවි පවුල් 300ක් පමන ජීවත් වන මහවැලි සී කලාපයේ මහියංගනයේ ගන්නෝරුව කොටසේ ගොවීන් සමඟ ලෝසවෙඅ වාර්තාකරුවෝ කතා කලහ.

ආර්.ඩී. ජයසුන්දර

ආර්.ඩී. ජයසුන්දර මෙසේ පැවසී ය: “මෙවර වී බුසලක් වගා කිරීමට රුපියල් 80,000 ක් වියදම් වුනා. පසුගිය වතාවේ  වියදම් වුනේ රුපියල් 50,000 ක් විතර. වියදම දෙගුන වෙලා. මෙම තත්වය දරා ගන්න අමාරුයි. තෙල් සහ කෘෂි රසායන හැම එකක ම මිල අධික ලෙස ඉහල ගිහිල්ල. ඒවා ප්‍රමිතියට නෑ, ගුනාත්මක බවෙන් අඩයි. ඒ වගේ බාල රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනකොට බීජ මැරෙනවා.

“කර කියා ගන්න දෙයක් නැති ගොවියො කොහේ හරි තියෙන තැනකින් මොකක් හරි කෘෂි රසායනිකයක් හොයා ගන්න බලනව. මේ ඔක්කොම කරන්නේ ගොවියා විනාශ කරන්න. දැන් ටීඑස්පී (TSP - ත්‍රිත්ව සුපර් පොස්පේට්] මල්ලක් රුපියල් 14,000 ක් වෙනව. එම්ඕපී (MOP - මියුරේට් ඔෆ් පොටෑෂ්) මල්ලක් රුපියල් 13,000යි. මේ වගේ වියදම් මීට පෙර කවදාවත් වෙලා නෑ.”

“අපි හැමෝම මේ ආන්ඩුව බලයට ගේන්න ඡන්දය දුන්නා. ඉස්සර වගේ තවදුරටත් ජීවත් වෙන්න බෑ. වී මිල අඩුවුන නිසා, ඒවා විකුනන්නෙ නැති ව, බැංකුවට රත්තරන් බඩු උකස් තියල අපි නයට සල්ලි ගත්ත, ඒත් වී මිල තවමත් කිලෝවකට රුපියල් 90ක් නිසා, එදිනෙදා වියදම් පියවා ගන්න, නයට ගත්ත සල්ලි අපි පාවිච්චි කරනව. මේක දිගට කරගෙන යන්න බෑ.  ඉරාන යුද්ධය, තෙල් මිලට සෘජු ව ම බලපාල තියෙන බව අපි දන්නව, ඒත් ඒ ගැන අපිට මොකවත් කරන්න බෑ.”

පාලක ජවිපෙ/ජාජබ ඇතුලු දේශපාලන පක්ෂ විවේචනය කරමින් ජයසුන්දර පැවසුවේ, “ඔය හැමෝ ම බොරුකාරයො. එක ආන්ඩුවක්වත් මේ ප්‍රශ්න සොයා බලන්නේ නෑ. විපක්ෂය අපි මුහුන දෙන ප්‍රශ්න ගැන කතා කරන්නෙ නෑ. ඔවුන් කොහොම හරි බලයට එන එක ගැන විතරක් කතා කරයි.”

ලියාපදිංචි බීජ වී සැපයීමේ ව්‍යාපාරයේ නියැලී සිටින 59 හැවිරිදි ආර්.ඩී. ජයසේන, සීඅයිසී හෝල්ඩින්ග්ස් සහ බ්‍රවුන්ස් සමූහය වැනි විශාල කෘෂි ව්‍යාපාරික සමාගම් සහ ධනවත් දේශීය සහල් මෝල් හිමියන් ඔහු නියැලී සිටින ක්ෂේත්‍රය අනුකම්පා විරහිත ව අත්පත් කරගෙන ඇති ආකාරය ගැන පැමිනිලි කලේ ය. “ආන්ඩුව, මේ සමාගම් වගේ පොහොසත් අය තවත් පොහොසත් කරන්න තමයි වැඩ කරන්නෙ. අපි වගේ දුප්පතුන් ආරක්ෂා කරන්නෙ නෑ. අපි රැවටුනා. ගේ ඇතුල බලන්න- රුපියල් මිලියනයක් විතර වටින බීජ වී බුසල් 200ක් විතර තියෙනවා. කොච්චර පාඩුවක් වෙලා තියෙනවද? දැන්, මේවා සාමාන්‍ය මිලට විකුනුවොත්, අපට බීජ වී මිලෙන් කොටසක්වත් ගන්න බැහැ,” ඔහු පැවසී ය.

එච්.එම්. සමන් හේමන්ත කුමාර

56 හැවිරිදි ගොවියෙකු වන එච්.එම්. සමන් හේමන්ත කුමාර මෙසේ පැවසී ය: “තෙල් සහ පොහොර මිල බලන්න. අපට තරමක් හරි මේක පවත්ව ගෙන යන්නනම් වී කිලෝවක් රුපියල් 150කට වඩා වැඩි විය යුතුයි.”

කුමාර ලෝසවෙඅ වාර්තාකරුවන්ට රිසිට් පතක් පෙන්වමින් වී වගාව සඳහා තමන් රත්තරන් බඩු උකස් කර රුපියල් 100,000ක් නයට ගත් බව ඔප්පු කලේ ය. මිල වැඩි වේ යැයි බලාපොරොත්තුවෙන් අස්වැන්‌න නෙලන ලද වී ගෝනි ඔහුගේ නිවස තුල ගබඩා කර තිබුනි. කලකිරුනු ගොවියා මෙසේ පැවසී ය: “වී මිල වැඩි වුනේ නැහැ. දැන් අපි පොලිය ගෙවනවා. අපි අවුල් ජාලයක ඉන්නේ. කිසිවෙකුට එයින් ගොඩ එන්න බැහැ.”

අනෙකුත් ගොවීන් මෙන් කුමාර ද, මැතිවරන ජයග්‍රහනය කිරීම සඳහා නැවත නැවතත් වංචා කිරීම සහ බලයට පත්වීමෙන් පසු ඔවුන් අතහැර දැමීම සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ හෙලා දුටුවේය. “අපි මේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන හිටියා. “ඔවුන් හැම දෙනා ම එක හා සමානයි,” ඔහු පැවසීය.

සමන්ගේ විකුනා නොගත් වී

වී ගොවීන් පමනක් නොව, එලවලු, අර්තාපල්, ලූනු, පලතුරු, බඩ ඉරිඟු සහ අනෙකුත් ආර්ථික භෝග වගා කරන අය ද සමාන ගැටලු වලට මුහුන දෙති.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ, අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු - විශේෂයෙන් ජේ.ආර්.ජයවර්ධනගේ දක්ෂිනාංශික පරිපාලනය - 1977 සිට විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල අතර, කම්කරු පන්තියට සහ ග්‍රාමීය දුප්පතුන්ට එරෙහි ව අඛන්ඩ ප්‍රහාරයක් මුදා හැරියේ ය. දුප්පත් ගොවීන් සඳහා සහනාධාර ක්‍රමානුකූල ව කප්පාදු කරන ලද අතර, කෘෂිකර්මාන්තය, කෘෂිකාර්මික යෙදවුම් සහ බෝග වෙලඳපොලවල් පෞද්ගලික ප්‍රාග්ධනයට විවෘත කරන ලදී. අද වන විට, කෘෂි ව්‍යාපාර දැවැන්තයන් සහ සහල් මෝල් හිමියන් මෙම අංශයේ ආධිපත්‍යය දරයි.

මෑත වසරවල දී, ගොවීන් තම නිෂ්පාදන සඳහා සාධාරන මිලක් සහ පොහොර, කෘෂි රසායන සහ උපකරනවල පිරිවැය අඩු කරන ලෙස ඉල්ලා අරගලවල නිරත වී ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි ව 2022 දී පැවති මහජන නැගිටීමට ගොවීන් දස දහස් ගනනක් සහභාගී වූ අතර, ඔහුට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට සිදු විය. කෙසේ වෙතත්, වෘත්තීය සමිති, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන සහ ජවිපෙ එම නැගිටීම පාවා දීම හේතුවෙන්, පාලක පන්තියට අධිරාජ්‍යවාදයේ සහ IMF නියෝජිතයෙකු වන රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම මගින් ජනාධිපති ධුරයට පත් කිරීමට හැකි විය. වික්‍රමසිංහ අනුකම්පා විරහිතව IMF කප්පාදු පියවර ක්‍රියාත්මක කල අතර, අර්බුදයේ බර කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් මත පැටවීය.

සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ කෙරෙහි කම්කරුවන් සහ ගොවීන් අතර පැතිර ගිය සතුරුකම ගසා කමින්, ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා බොරු පොරොන්දු ලබා දීමෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් විය. ජවිපෙ/ජාජබ සමග පෙල ගැසී සිටින වෘත්තීය සමිති මෙම මැතිවරන පොරොන්දු ප්‍රතිරාවය කලේ ය. දිසානායක මෙම පොරොන්දු අතහැර දමා ඇතිවා පමනක් නොව, පෙර ආන්ඩුවල කප්පාදු පියවර තීව්‍ර කර ඇත.

දැන් ගොවීන්ගේ විරෝධතා මෙහෙයවීමට උත්සාහ කරන සමහර ගොවි සංවිධාන ආන්ඩුවට පීඩනය යෙදීමෙන් හෝ ජනාධිපති දිසානායකට ආයාචනා කිරීමෙන් විසඳුම් ලබා ගත හැකි බව පවසමින් ඒ හා සමාන මිත්‍යාවන් පෝෂනය කරයි. ඇමති කේ. ඩී. ලාල්කාන්ත හා නියෝජ්‍ය ඇමති නාමල් කරුනාරත්න ඉවත් කොට වෙනත් අය පත් කරන ලෙස ඔවුන් කරන ඉල්ලීම් කිසිදු ඉදිරි මාවතක් සම්පාදනය නොකරයි.

ගොවීන් මුහුන දෙන මූලික ගැටලු විසඳිය හැක්කේ කෘෂි ව්‍යාපාර සංගතයන්ගේ, අතරමැදියන්ගේ සහ බැංකු පද්ධතියේ  ආධිපත්‍යයට එරෙහි ව ගම්බද ගොවීන් ස්වාධීන ව බලමුලු ගැන්වීමෙන් පමනි. මෙම අරගලයට ප්‍රධාන වතු, කෘෂි ව්‍යාපාර සමාගම් සහ බැංකු, කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කිරීම සඳහා වන ඉල්ලීම ඇතුලත් විය යුතු ය. මෙහි තේරුම ගොවීන් සහ ගම්බද දුගීන්, සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා සටන් කිරීමට කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගැන්විය යුතු බවයි.

Loading