“ලෝක යුද්ධය, අධිරාජ්‍යවාදය සහ බහුධ්‍රැවීය ලෝකයක් පිලිබඳ මිථ්‍යාව” යන මැයෙන්, අද (ජූලි 8) සවස 7:00 ට පැවැත්වීමට නියමිත ප්‍රසිද්ධ සූම් රැස්වීමට සහභාගිවන ලෙස, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), තරුනයන්, ශිෂ්‍යයන් සහ කම්කරුවන් ඇතුලු සියලු යුද-විරෝධී මහජනතාවගෙන් ඉල්ලා සිටී. රැස්වීමට සහභාගීවීම සඳහා මෙතනින් ලියාපදිංචි වන්න.
අධිරාජ්‍යවාදය විසින්, මානව වර්ගයා සිය ඉතිහාසයේ විශාලත ම ව්‍යසනය කරා ඇද ගෙන යමින් සිටින මෙම තීරනාත්මක මොහොතේ දී සසජාතශි විසින් පවත්වනු ලබන මෙම වැදගත් රැස්වීමේ දී, විවිධ පශ්චාත්-නූතනවාදී විද්වත්තු සහ ව්‍යාජ වාම කන්ඩායම්, අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන තර්ජනය වසන් කරමින් කම්කරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයන් නොමඟ යැවීමේ දේශපාලන ව්‍යාපාරයක නිරත ව සිටින අයුරු පැහැදිලි කෙරෙනු ඇත.
රුසියාව, චීනය සහ BRICS කන්ඩායම වැනි නව “බල කේන්ද්‍ර” නැගී ඒමෙන්, “බහු-ධ්‍රැවීය ලෝකයක්” නිර්මානය වී ඇති බැවින් ලෝක යුද්ධයක තර්ජනය පහ ව ගොස් ඇති බවට මෙම පශ්චාත්-නූතනවාදී විද්වත්තු සහ ව්‍යාජ වාම කන්ඩායම්,තර්ක කරති.
ඊට විපරීත ව, ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය සහ ගෝලීයකරනය වූ ආර්ථිකය අතර පවතින නොසන්සිඳෙන පරස්පර විරෝධය යුද්ධය නොවැලැක්විය හැකි කරයි. ධනවාදයට සාමකාමී හෝ ප්‍රජාතන්ත්‍රවාදී බහුධ්‍රැවීය පර්යායක් කරා පරිනාමය විය නොහැක.
සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ, පසුගිය දෙසතිය පුරා, කොලඹ, යාපනය සහ පේරාදෙනිය ඇතුලු විශ්වවිද්‍යාල ගනනාවක ශිෂ්‍යයන්, ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවකයන් සමග සාකච්ඡා කරමින්, සසජාතශි රැස්වීමට සහභාගි වීමේ වැදගත්කම පැහැදිලි කිරීමේ උද්ඝෝෂනයක නිරත වූහ.
මෙම උද්ඝෝෂනයේ දී, ලෝක යුද්ධයේ වැඩෙන තර්ජනය, එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිකරගත් බිඳෙනසුලු සටන් විරාමය, යුක්‍රේනයේ යලි ඇවිලි යන යුද්ධය සහ ලෝක යුද්ධය නතර කිරීමට අවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ගය සම්බන්ධ ව දීර්ඝ සාකච්ඡාවන් වර්ධනය විය.
සසජාතශි/සසප උද්ඝෝෂකයින් සමඟ කතා කල සියලු දෙනා ම පාහේ ඉරානයට සහ පලස්තීනයේ ජනතාවට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදය මෙහෙයවන යුද්ධවලට තම විරෝධය පලකල අතර ඉරානයේ සහ ගාසා තීරයේ ජනයා සමඟ තම සහයෝගීතාවය ප්‍රකාශ කලහ.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ශිෂ්‍යයෙකු වන කලන මධූෂ, උද්ඝෝෂකයින්ට මෙසේ පැවසී ය: “මම ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දුයි. ඒ නිසා මම සෑම විට ම යුද තත්ත්වය පරීක්ෂා කරනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව කරන යුද්ධය සහ නේටෝව විසින් මෙහෙයවනු ලබන යුක්‍රේනයේ රුසියාවට එරෙහි ව ඇමරිකාව කරන යුද්ධය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය විය හැකියි. එවැනි ලෝක යුද්ධයක් අප සියල්ලන් ම විනාශ කරන න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. නමුත් මෙම යුද්ධය නතර කරන්නේ කෙසේද යන්න පිලිබඳව මට ප්‍රශ්නයක් තිබුනා.”
යුද ධාවනය සඳහා මූලික වගකීම දරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු එක්සත් ජනපද නායකයින් විනාශයේ පරිමානය හඳුනා ගෙන යුද්ධය නතර කරනු ඇතැයි තමන් අපේක්ෂා කල නමුත් එය සිදු වන බවක් නොපෙනෙන බව ඔහු පැවසී ය.
ඇමරිකානු ධනවාදය මුහුන දෙන ගැඹුරු ආර්ථික අර්බුදය එහි පාලක පන්තිය යුද්ධයට තල්ලු කරන ගාමක බලවේගය බවත්, ට්‍රම්ප් මෙම යුද්ධ සිදු කරන්නේ ඔහු ද අයත් වන ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා සඳහා බවත් සසජාතශි සාමාජිකයින් ඔහුට පැහැදිලි කලේ ය. කලන ප්‍රතිචාර දැක්වූයේ තමා මීට පෙර කිසි දිනෙක එවැනි පැහැදිලි කිරීමක් අත්විඳ නැති බවත් එය “බලගතු විශ්ලේශනයක්” බව ප්‍රකාශ කරමිනි.
රැස්වීමේ මාතෘකාවෙහි සඳහන් කර ඇති “බහු ධ්‍රැවීය ලෝකය” යන්නෙහි අර්ථය පිලිබඳව පැහැදිලි කිරීමක් ඔහු ඉල්ලා සිටියේ ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය ධ්‍රැව දෙකක් තුල සංකේන්ද්‍රන වී ඇති බවත්, සෝවියට් සංගමය තවදුරටත් නොපවතින නමුත්, රුසියාව, චීනය සහ බ්‍රික්ස් රටවල් ඇතුලු රටවල් ගනනාවක් අතර බලය බෙදී ඇති බවත්, එමඟින් ලෝක යුද්ධයේ තර්ජනය තුරන් කර ඇති බවත් ව්‍යාජ වාම සංවිධාන, පශ්චාත් නූතනවාදී ශාස්ත්‍රඥයින් සහ ඊනියා බුද්ධිමතුන් විසින් ප්‍රවර්ධනය කරන ව්‍යාජ සංකල්පයක් බව පැහැදිලි කිරීමෙන් පසු ව කලන මෙසේ ප්‍රතිචාර දැක්විය.
“බලවතුන් කිහිපයක් ඉන්න නිසා, යුද්ධයෙන් ඇති වන විනාශය ගැන සංවේදී වෙලා ඔවුන් යුද්ධයට ගමන් නොකරයි යන, මෙම සංකල්පය මහජනතාව නොමඟ යවනවා. ඇත්ත වශයෙන් ම, ඔබ පැහැදිලි කල පරිදි, ඇමරිකාව මුහුන දෙන ආර්ථික අර්බුදය නිසානෙ යුද්ධයට තල්ලු වෙමින් පවතින්නේ. පලමු හා දෙවන ලෝක යුද්ධත් මේ ආකාරයෙන් නවත්වා ගන්න ධනවාදයට ඇයි බැරි වුනේ කියන ප්‍රශ්නය මතු වෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට මම රැස්වීමට සහභාගී වෙනවා.”
කොලඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයන් හදාරන දෙවන වසර ශිෂ්‍යාවක් මෙසේ ප්‍රකාශ කලා ය: “ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු පාලකයන් ගැන මට කිසිදු විශ්වාසයක් නෑ. දැන් තියෙන සටන් විරාමයත් එහෙමයි. යුද්ධය යලි පටන් ගන්න පුලුවන්. මොකද යුද්ධය යන්නේ ආර්ථික ගැටලු නිසා. ඛනිජ තෙල් ඇතුලු ස්වභාවික සම්පත් අල්ල ගන්න යන්නේ. ඒ අවශ්‍යතාවය නතර වෙලා නෑ. යුක්‍රේන යුද්ධයත් ආයේ ආයේ පටන් ගන්නවා. බිහිසුනු ලෝක යුද්ධයක් ඇති වෙන්න පුලුවන්”.
ඉරාන යුද්ධය අතරතුර හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැමීම මගින් ගෝලීය ව සැපයුම් දාම අවහිර වූ තත්වය හා යුද්ධයේ බර මහජනයා මත පැටවීම සම්බන්ධ ව ඇය මෙසේ ප්‍රකාශ කලා ය: “මේ සතියේ බස් ගාස්තු වැඩි කරලා. මට බොරලැස්ගමුවේ තියෙන හොස්ටල් එකට යන්න රුපියල් 100 ක් යනවා. දවසකට 200 ක් බස් ගාස්තු විතරක්. කැන්ටිමේ බත් එක රුපියල් 100 යි. ඒ බිත්තර, මාලු, මස් නැතුව. බිත්තරයක් ගත්තොත් රුපියල් 150 ක් වෙනවා, මාලු ගත්තොත් තවත් ගනන්”.
ජවිපෙ/ජාජබ ආන්ඩුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් විසින් සිදු කරන පලස්තීන ජනසංහාරය හෝ ඉරානයට පහර දීම ජවිපෙ/ජාජබ ආන්ඩුව හෙලා දැකීමක් හෝ කර නැත. දිසානායක ආන්ඩුව චීනයට එරෙහි ව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගෙන යන යුද මූලෝපායික වැඩකටයුතු සමග පෙලගැසී සිටින බව සසජාතශි/සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.
“ජවිපෙ ඉස්සර බොරු අධිරාජ්‍ය විරෝධයක් මවා පෑවා. දැන් කරලා තියෙන්නේ යුද්ධයේ බර අපි මත පැටවීම විතරයි” ඇය කියා සිටියා ය. “ජාත්‍යන්තර සමාජවාදය මත ගෝලීය කම්කරු පන්තිය එක්සත් කලහොත් යුද්ධය නතර කරන්න පුලුවන් බව මට සාකච්ඡාවෙන් වැටහුනා” යයි ඇය ප්‍රකාශ කලා ය.
පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් ඇයගේ පුහුනු කාලය සඳහා කොලඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ගිනුම් අංශයේ සේවය කරයි. “මට රුපියල් 20000 ක දීමනාවක් කොලඹ කැම්පස් එකෙන් ගෙවනවා. ඒක ගමන් වියදමට විතරයි ප්‍රමානවත් වෙන්නේ. මගේ තාත්තා ලඟ දී නැති වුනා. අයියා තමයි මට වියදම් දරන්නේ. අම්මා රැකියාවක් කරන්නේ නෑ. ජීවත් වෙන්නේ අමාරුවෙන්.”
මාතර රුහුනු විශ්වවිද්‍යාලයේ පැවති උද්ඝෝෂනය අතරතුර, එහි විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයෙකු වන තක්ෂිල මෙසේ පැවසී ය: “ඔබේ පැහැදිලි කිරීමෙන් යුද්ධය නැවැත්විය යුතු බවත් එය කල හැකි බවත් මට වැටහුනා. ඒ වගේ ම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි සංවිධාන සහ ශාස්ත්‍රාලිකයන් විසින් බහු-ධ්‍රැවීය ධනේශ්වර පද්ධතියක් පිලිබඳ ව ඇති කරනු ලබන දේශපාලන ව්‍යාකූලත්වය ඉතා බරපතලයි. ඒ කතාවල විෂ සහිත බව මම දැනගත්තේ අදයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔබේ සහෝදරවරුන් නායකත්වය දෙන අරගලයට මම මගේ සහයෝගය ප්‍රකාශ කරනවා. රැස්වීමට ද මම සම්බන්ධ වෙනවා.”
තක්ෂිල විශ්වවිද්‍යාල පද්ධතිය තුල පිරිහෙමින් පවතින තත්වයන් විස්තර කලේ ය. “විශ්වවිද්‍යාලය තුල බොහෝ අඩුපාඩු තියනවා. ගුරුවරුන්ගේ හිඟය අතිමහත්. නේවාසික පහසුකම් හරියට නෑ, ඉහල යන වියදම් වැනි ගැටලු සිසුන්ගේ අධ්‍යාපනයට නරක ලෙස බලපාලා තියෙනවා.”
යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ එස්.සින්තුජන්: “මම මේ ඇමරිකා-ඉරාන සටන් විරාම ගිවිසුම විශ්වාස කරන්නේ නැහැ. ඇමරිකාව ඉරානයේ සම්පත් කොල්ලකෑමට යුද්ධය ආරම්භ කල නිසා, එය කෙසේ හෝ ඇමරිකාව විසින් බිඳ දමනවා. සරන් විරාමය තුල ඇමරිකාව නැවත යුද්ධයට සන්නද්ධ වෙනවා කියලා මම හිතන්නේ. ඇමරිකාව දියත් කරන මෙම යුද්ධය නිසා, මුලු ලෝකය ම විශාල ආර්ථික අර්බුදයකට ඇද දමලා. ඉන්ධන මිල ඉහල ජීවන වියදම වැඩි කරලා. මේ ගැටලු අපේ අධ්‍යාපනයට ඍජු ව බලපානවා. මම මන්නාරම දිස්ත්‍රික්කයේ. දැන් නේවාසික ව අධ්‍යාපනය ලබනවා. දැන් ආහාර වියදම මාසයකට රුපියල් 22,000ක් ඉක්මවලා යනවා.”
තව මාසයකින්, ඔහු ඇතුලු සිසුන් දෙවන වසරට ඇතුලත් වන අතර දෙවන වසරේ දී විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර අහිමි වන බව ඔහු පෙන්වා දුන්නේ ය. “කලින් රුපියල් 3000 පමන වූ කාමරයක් දැන් රුපියල් 6000-7000 දක්වා වැඩි වෙලා. අපේ දෙමාපියන්ට ඒ වියදම් දරන්න බෑ. මේවට ආන්ඩුවෙන් අපිට විසඳුමක් සොයා දෙයි කියලා මට විශ්වාස නැහැ,” ඔහු පැවසී ය. හෙට පැවැත්වෙන රැස්වීමට අනිවාර්යයෙන් ම සහභාගී වන බව ඔහු පැවසී ය.
එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ටී. මයුරි කියා සිටියේ යුද්ධයෙන් ඇමරිකාවට බලගතු පරාජයක් අත් බැවින් සටන් විරාමය තුල දී ඊලග ප්‍රහාරය සඳහා සූදානම් වෙමින් ඇති බවයි.
“බහු-ධ්‍රැවීය ලෝකයක් නිර්මානය වෙලා තියෙන නිසා යුද්ධයක අන්තරායක් නැතැයි කියන තර්කය මම පිලි ගන්නේ නෑ. මොකද චීනයේ ආර්ථික නැගීම, ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීම සඳහා ධාවනය යුද්ධයකට ගමන් කරනවා.”
මෙම උද්ඝෝෂනයේ දී කෙරුනු සාකච්ඡාව වඩාත් ගැඹුරු කරමින්, යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප සහ සසජාතශිට නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කරන ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය රැස්වීමේ දී කථිකයින් විසින් පැහැදිලි කරනු ඇත.
අද, ජූලි 8 වන බදාදා සවස 7:00ට සූම් හරහා පැවැත්වෙන රැස්වීමට සහභාගීවීම සඳහා මෙතනින් ලියාපදිංචි වන්න.
වැඩිදුර කියවන්න
- ශාස්ත්රාලික සුමිත් චාමින්ද “බහු ධ්‍රැවීය ලෝකයක්” පිලිබඳ මිත්‍යාවන් වගා දිගා කරයි
- නිර්මාල් රන්ජිත් දේවසිරි ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවය වසන් කිරීමට ඉතිහාසය අඹරයි
- යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රඥයෙක් ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය “ඊලම් දෙමල ජනතාවට හොඳ අවස්ථාවක් නිර්මානය කර ඇති බව” කියා සිටි
