[මෙය 250 years since the Declaration of Independence යන මැයෙන් 2026 ජූලි 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
“සියලු මිනිසුන් සමාන ව නිර්මානය කර ඇති” බවත්, ආන්ඩු තම බලතල හිමිකර ගන්නේ තර්කයෙන් සහ “පාලනය වනු ලබන අයගේ කැමැත්තෙන්” බවත්, “ජීවිතය, නිදහස සහ සතුට ලුහුබැඳ යාම සඳහා” ඔවුන්ගේ “අහිමි කල නොහැකි” අයිතිවාසිකම්වලට බාධා කරන ඕනෑ ම ආන්ඩුවක් “වෙනස් කිරීමට හෝ අහෝසි කිරීමට” ජනතාවට අයිතියක් සහ වගකීමක් ඇති බවත් ප්‍රකාශ කල නිදහස් ප්රකාශනය සම්මත කර අදට වසර 250 ක් සපිරේ.
1789 ප්‍රංශ විප්ලවයත්, 1791 හයිටි විප්ලවයත්, 1848 විප්ලවයන් සහ යුරෝපය සහ ඇමරිකාව පුරා පැතිර ගිය ජාතික එක්සත් කිරීම සහ ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා වූ අරගල තුලත් විශ්වීය මානව සමානාත්මතාවය පිලිබඳ රැඩිකල් ප්රකාශනය ප්රතිරාවය විය. ඇමරිකානු නිදහස් යුද්ධය, 18 වන සහ 19 වන සියවස්වල යුරෝපීය ධනේශ්වර විප්ලවවල “උදාවේ සීනුව නාද කල” බව මාක්ස් ප්රාග්ධනය කෘතියේ පෙරවදනෙහි ලිව්වේ මේ අර්ථයෙනි.
මාක්ස්වාදී ව්‍යාපාරය සෑම විට ම ඇමරිකානු විප්ලවය දැක ඇත්තේ, ඉන් පසු ව සිදු වූ ප්‍රංශ විප්ලවය දකින ආකාරයට ම, එහි ඓතිහාසික සන්දර්භය තුල ය. ධනේශ්වර ප්රජාතන්ත්රවාදී විප්ලව ලෙස, ඉතා සීමිත අර්ථයකින් හැරුනු කොට, තමා ප්‍රකාශ කල මූලධර්ම ඒවාට සාක්ෂාත් කර ගැනීමට නොහැකි විය. වඩාත් සෘජු ව ම කිව හොත්, එක්සත් ජනපදය බවට පත්වීමට නියමිත රටේ නිදහස් ප්රකාශනය, වහල්භාවයේ අඛන්ඩ පැවැත්ම ගැටලුවක් ලෙස මතු කල මුත්, එය විසඳීමට අසමත් විය. නමුත්, දෙවන ඇමරිකානු විප්ලවය වන සිවිල් යුද්ධය (1861-65) තුල වහල්භාවය අහෝසි කිරීමෙන් කූඨ ප්‍රාප්තියට පත් වුනු එම ක්‍රියාවලිය ආරම්භ කලේ එයයි.
ඇමරිකානු විප්ලව දෙක, 1776 දී ප්‍රකාශයට පත් කරන ලද ප්රජාතන්ත්රවාදී මූලධර්මවල ආරෝහනයක් සනිටුහන් කලේ නම්, 250 වන සංවත්සරය සනිටුහන් වන්නේ, ඒවායේ දැවැන්ත අර්බුදයේ සහ දිරාපත් වීමේ තත්වයන් යටතේ ය. වත්මන් ආන්ඩුව සහ එය මුලසුන දරන සමාජ පර්යාය සෑම අර්ථයකින් ම ඇමරිකානු විප්ලවය සහ නිදහස් ප්රකාශනය තුල වඩාත් ගැඹුරු ප්රකාශනයක් සොයා ගත් මූලධර්ම ප්‍රතික්ෂේප කිරීමකි.
සියලු ශ්‍රේෂ්ඨ විප්ලවවාදී ලේඛනවල මෙන්, නිදහස් ප්රකාශනයේ වදන් ද සමාජ අරගල කාල පරිච්ඡේදවල දී හදිසියේ ම පන ලබයි. “සෑම ක්‍රියාවකින් ම ඒකාධිපතියෙකු නිර්වචනය කල හැකි සලකුනු සහිත, නිදහස් ජනතාවකගේ පාලකයා වීමට කිසිසේත් නුසුදුසු... ” පාලකයෙකු වූ III වන ජෝර්ජ් හෙලා දැකීම, අද ට්‍රම්ප් පරිපාලනය හෙලා දැකීමක් ලෙස කියවිය හැකි ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ජුනි 25 වන දින පවත්වන ලද වෙබ්නාර් රැස්වීමේ දී ඉතිහාසඥ ඇඩම් හොස්චයිල්ඩ් නිරීක්ෂනය කල පරිදි, ප්රකාශනයේ රජුට එරෙහි අධිචෝදනා කියවන විට “අද උදෑසන ලියා ඇති” සෙයක් දැනේ.
ප්රකාශනයේ භාෂාවෙන් ම කිව හොත්, ඇමරිකානු නගරවලට හමුදා යෙදවීම හරහා හමුදාව සිවිල් බලයට වඩා උසස් බලයක්” බවට පත් කර තිබේ. සංක්රමනිකයින් චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොර ව ම, එල් සැල්වදෝරයේ ගාල් කඳවුරකට “මුහුදෙන් ඔබ්බට ප්‍රවාහනය කරනු ලැබේ.” රෙනී ගුඩ්ට වෙඩි තැබූ ICE නියෝජිතයා සහ මිනියාපොලිස් හි ඇලෙක්ස් ප්රෙට්ටිට වෙඩි තැබූ CBP නියෝජිතයින්ගේ සිද්ධීන් මෙන්, “ඔවුන්ට කිරීමට සිදුවන ඕනෑ ම මිනීමැරුමක දී” ෆෙඩරල් නියෝජිතයන් “දඬුවම් වලින්” ආරක්ෂා කර ඇත.
“සියලු මිනිසුන් සමාන ව නිර්මානය කර ඇත” යන ප්රකාශනයේ සඳහන, එහි පලමු ට්‍රිලියනපතියා වන ඊලොන් මස්ක් නිර්මානය කල සමාජයකට එරෙහි ව චෝදනාවක් ලෙස පවතී. බිලියනපතියන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් ඩොලර් ට්‍රිලියන 8.4 ක් පාලනය කරන අතර, ඉහල ම සියයට 1 ක් ජනගහනයෙන් පහල ම සියයට 90 ක ධනයට සමාන ධනයක් හිමි කර ගනී. ඇමරිකානු සමාජය දූෂනයේ හා අපරාධකාරීත්වයේ ගිලී ඇති විට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයේ පලමු වසර තුල ක්‍රිප්ටො මුදල් (cryptocurrency) වංචාවකින් ඩොලර් බිලියන 1.43 ක් උපයා ඇත.
“නිදහසේ හුස්ම ගැනීමට ආශාවෙන් සිටින වෙහෙසට පත්, දුප්පත්, තෙරපි තෙරපී සිටින ඔබේ ජනතාව මට දෙන්න” යනුවෙන් වරක් ප්‍රකාශ කල රට, එහි උපතේ 250 වන සංවත්සරය සැමරුවේ සංක්රමනික වැටලීම් රැල්ලක් සමඟ ය. ද ඉන්ඩිපෙන්ඩන්ට් හි නව වාර්තාවකට අනුව, ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපද ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ ජන්ම අයිති පුරවැසිභාවය සහතික කිරීමට එරෙහි ව විවෘත ව උද්ඝෝෂනය කල විට, දින පහක් ඇතුලත පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදහ. ඇමරිකානු විප්ලවය ආගම සහ ආන්ඩුව අතර “වෙන් කිරීමේ පවුරක්” නිවේදනය කල අතර, ට්‍රම්ප් පරිපාලනය මෑතක දී පිටු 224ක වාර්තාවක් නිකුත් කරමින් නිවේදනය කලේ එම “පවුර” “පාලමකින්” ප්‍රතිස්ථාපනය කරන බවයි.
පාලක පන්තියේ සහ අපරාධකාරීත්වයේ කුනු ගොඩක ගිලී යාම ට්‍රම්ප්ට පමනක් ආරෝපනය කල නොහැකි ය. ඔහු දිගු ක්‍රියාවලියක පුද්ගලාරෝපනය, ප්රකාශනය සහ ප්රතිඵලයයි. ගෝලීය වශයෙන් ඒකාබද්ධ ආර්ථිකයක්, ධනේශ්වර පාලනය රඳා පවතින ජාතික රාජ්‍ය පද්ධතියට වල කපයි. බොහෝ කලකට පෙර ම ඒකාධිකාරයන්, ඊනියා “නිදහස්” වෙලඳපොලවල් ප්‍රතිස්ථාපනය කල අතර නිෂ්පාදනය මූල්‍ය සමපේක්ෂනයටත්, කල්පිත ප්රාග්ධනය සමුච්චය වීමටත් යටත් කර ඇත. ඇමරිකානු ධනවාදය, තම ප්‍රතිවාදීන්ට සාපේක්ෂ ව දිග්ගැස්සුනු පරිහානියක සිටින අතර, මිලිටරි ප්රචන්ඩත්වය හරහා එහි ආර්ථික පරිහානිය පියවා ගැනීමේ උත්සාහයක් ලෙස 1991 සිට අඛන්ඩ ව අධිරාජ්‍යවාදී යුද්ධ දියත් කර ඇත.
මෙම දිරාපත්වීම, සියලු නීත්යානුකූලභාවයන් බිඳ දමන්නා වූ මූල්‍ය කතිපයාධිකාරීත්වයක් පැන නංවා ඇත—එක්සත් ජනපදය තුල එහි මෙහෙයුම් වල දී, එය ආන්ඩුක්රම ව්‍යවස්ථාව, උසාවි සහ නීතිය පසෙකට දැමිය යුතු බාධක ලෙස සලකන අතර, ලොව පුරා, ජාත්‍යන්තර නීතිය පාගා දමමින්, ආක්රමනශීලී යුද්ධ දියත් කරමින් සහ ජන සංහාරය ප්‍රවර්ධනය කරමින් සිටී.
ඇමරිකානු විප්ලවයේ ප්රජාතන්ත්රවාදී උරුමය ප්‍රතික්ෂේප කිරීම අද එකිනෙකට අනුපූරක දෘෂ්ටිවාදාත්මක ආකාර දෙකක් ගනී. ට්‍රම්ප් සහ අන්ත දක්ෂිනාංශය පිලිබඳ මිථ්‍යා කථා ගොතන්නෝ එකා වන් ව, ඇමරිකානු විප්ලවවාදී නායකයින්ගේ නම් කැඳවමින් ඔවුන් ස්ථාපිත කල සියල්ල වනසා දමමින් සිටිති. ට්‍රම්ප් පරිපාලනයේ පැත්තෙන්, සංවත්සරයේ නිල සැමරුම්වලට, අතලොස්සක් දෙනා සහභාගී වූ උත්සව, ට්‍රම්ප්ගේ උපන්දිනයේ දී ධවල මන්දිර තන පිටියේ ග්ලැඩියේටරයානු කූඩු සටනක් සහ “නිදහස් ට්‍රක් රථ” ගමන් කරන සැනකෙලියක් ඇතුලත් වී තිබුනි.
ඩිමොක්රටික් පක්ෂය සහ එහි අනුගාමිකයෝ ජාතියේ සහ අනන්‍යතාවයේ ප්රතිගාමී දේශපාලනයට සේවය කිරීම සඳහා විප්ලවයේ විප්ලවීය ස්වභාවය ප්‍රතික්ෂේප කරති. 2019 දී, ඩිමොක්රටික් පක්ෂයේ ප්රමුඛ කොටස් සඳහා හොරනෑවක් වන නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, තම “1619 ව්‍යාපෘතිය” තුල, ඇමරිකානු විප්ලවය වහල්භාවය ආරක්ෂා කිරීම සඳහා දියත් කරන ලද ප්‍රති-විප්ලවයක් බව නිවේදනය කලේ ය. එම අභ්‍යුපගමනය (premise) සැලකිල්ලට ගත් විට, ප්රකාශනයේ 250 වන සංවත්සරයේ දී සැමරීමට වටිනා කිසිවක් නොමැත.
අතීතයේ ධනේශ්වර-ප්රජාතන්ත්රවාදී විප්ලව කෙරෙහි කම්කරු ව්‍යාපාරයේ ආකල්පය ලියොන් ට්‍රොට්ස්කි විසින් තම ප්‍රතිඵල සහ ශක්‍යතා (1906) කෘතියෙහි සාරාංශගත කරන ලදී. “ධනේශ්වරය එහි ඓතිහාසික යෞවනයේ සියලු සම්ප්‍රදායන් ලැජ්ජා සහගත ලෙස පාවා දී ඇති අතර, එහි වර්තමාන ආවතේවකරුවන් එහි මුතුන් මිත්තන්ගේ සොහොන්වලට අගෞරව කරමින් ඔවුන්ගේ පරමාදර්ශවල භස්මාවශේෂවලට සමච්චල් කරති,” ට්‍රොට්ස්කි ලිවීය. “නිර්ධන පන්තිය ධනේශ්වරයේ විප්ලවවාදී අතීතයේ ගෞරවය තම ආරක්ෂාව යටතට ගෙන ඇත.”
1850 පලා යන වහලුන් පිලිබඳ පනත සහ 1857 ඩ්‍රෙඩ් ස්කොට් තීන්දුව සම්මත කර ගැනීමෙන් පසු ව, ප්රකාශනයේ මූලධර්ම ආරක්ෂා කර ගත හැකි වූයේ වහල්භාවයට එරෙහි විප්ලවවාදී අරගලයකින් පමනි. එබැවින් දැන්, ධනවාදයේ අර්බුදය කෙතරම් මට්ටමකට පැමින ඇත්ද යත්, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉදිරියට ගෙන යා හැක්කේ ධනේශ්වර ක්‍රමයට ම එරෙහි විප්ලවවාදී අරගලයකින් පමනි.
“ජීවිතය, නිදහස සහ සතුට ලුහුබැඳ යාම” සඳහා ඇති අයිතිය සමාජ සමානාත්මතාවය සඳහා වන අරගලය සමඟ සම්පූර්නයෙන් ම බැඳී පවතී. මූල්‍ය කතිපයාධිකාරීත්වයේ සමාජය ආධිපත්‍යයට නොගැලපෙන අයිතිවාසිකම් වන සුරක්ෂිත හා යහපත් වැටුප් සහිත රැකියාවක්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, නිවාස සහ සංස්කෘතිය, යුද්ධයෙන් හා මර්දනයෙන් තොර ජීවිතයක් සඳහා අයිතිය යන මේවා නොමැති කල ඒවා නිකම් ම හිස් වදන් වේ.
එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරුවන් සහ තරුනයින්ගේ පුලුල් කොටස්වල සමාජීය හා දේශපාලනික රැඩිකලීකරනයේ පැහැදිලි සලකුනු තිබේ. “නෝ කිංග්ස් (රජවරු එපා)” විරෝධතා පෙලපාලි සහ ICE ඝාතනවලට එරෙහි මහජන විරෝධතාවල දී මිලියන ගනනක් වීදි බැස ඇත. පන්ති අරගලය ජාත්‍යන්තර ව තීව්ර වෙමින් පවතී. තීරනාත්මක කාර්යය වන්නේ මෙම වර්ධනය වන ව්‍යාපාරය ඓතිහාසික ඉදිරිදර්ශනයකින් සහ සමාජවාදී වැඩපිලවලකින් සන්නද්ධ කිරීමයි.
1776 දී විප්ලවවාදීන් පවතින ක්‍රමයට එරෙහි ව පෙත්සමක් ඉදිරිපත් කලේ නැත, ඔවුන් එය පෙරලා දැමූහ. තුන්වන ඇමරිකානු විප්ලවය ධනවාදයට එරෙහි ලෝක විප්ලවයේ කොටසක් ලෙස කම්කරු පන්තිය විසින් සිදු කරන සමාජවාදී විප්ලවයක් වනු ඇත. වසර 250 කට පෙර, අද වැනි දිනක ලෝකයට ප්‍රකාශ කරන ලද ප්රකාශනයේ සංවත්සරයේ සහ ජීවමාන උරුමයේ අර්ථය එයයි.
