සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ජූලි 8 වන දින “ලෝක යුද්ධය, අධිරාජ්‍යවාදය සහ බහු-ධ්‍රැවීය ලෝකයක් පිලිබඳ මිථ්‍යාව” යන මාතෘකාව යටතේ සාර්ථක ඔන්ලයින් රැස්වීමක් පැවැත්වී ය. මෙම රැස්වීමට, කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන් 70 ක් පමන සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ සසජාතශි හි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු රැස්වීමේ මුලසුන දැරූ අතර, ඔහු රැස්වීමේ දේශපාලන වැදගත්කම පැහැදිලි කරමින් සාකච්ඡාව ආරම්භ කලේ ය. වර්ධනය වන අධිරාජ්‍යවාදී යුද්ධයේ සැබෑ හේතු වසන් කරමින් කම්කරුවන් සහ තරුනයින් දේශපාලනික ව නිරායුධ කිරීමට ව්‍යාජ වාම සංවිධාන සහ ශාස්ත්‍රාලිකයන් දරන උත්සාහයන් ඔහු පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ විවිධ පශ්චාත් නූතනවාදී සහ පැබ්ලෝවාදී ශාස්ත්‍රාලිකයන්, එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයේ පරිහානිය හමුවේ, චීනය, රුසියාව වැනි බලවතුන්ගේ මතුවීම සහ බ්‍රික්ස් (BRICS) වැනි සංවිධාන බිහිවීම හේතුවෙන්, වඩාත් සමතුලිත හා සාමකාමී ලෝක පර්යායක් සඳහා කොන්දේසි නිර්මානය කෙරී ඇතැයි යන දුස්-සංකල්පය ප්‍රවර්ධනය කරන බව ප්‍රනාන්දු පැහැදිලි කලේ ය. ගැඹුරු වන ආර්ථික අර්බුදය මානව වර්ගයා යුද්ධයට සහ සමාජ ව්‍යසනයකට තල්ලු කරන අවස්ථාවක ධනවාදය පිලිබඳ මිත්‍යාවන් පෝෂනය කිරීම මෙම ප්‍රකාශවල අරමුන බව ඔහු අවධාරනය කලේ ය.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය සාමය කරා යන පියවරක් ලෙස නොව, තවදුරටත් මිලිටරි ආක්‍රමන සඳහා සූදානම් වීමේ තාවකාලික විරාමයක් ලෙස අර්ථකථනය කල යුතු බව ඔහු පැවසී ය. ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය, යුක්‍රේනයේ රුසියාවට එරෙහි ව නේටෝවේ සහාය ලබන යුද්ධය සහ චීනය සමඟ උත්සන්න වන ගැටුම, හුදකලා ගැටුම් නොව වේගයෙන් වර්ධනය වන ගෝලීය යුද්ධයක අන්තර් සම්බන්ධිත පෙරමුනු වේ.
ම්ලේච්ඡත්වයට ඇද වැටීම වැලැක්විය හැකි එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව ප්‍රනාන්දු අවධාරනය කලේ ය. යුද්ධයට, සමාජ අසමානතාවයට සහ ඒකාධිපතිත්වයට එරෙහි අරගලය, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක කිරීම අවශ්‍ය වේ.
සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර විසින් ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරන ලදී. රුසියාවට එරෙහි නේටෝ සහාය ලත් යුද්ධයට ද එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මැද පෙරදිග ගෙන යන යුද්ධයට ද අවධානය යොමු කරමින් ඔහු තම වාර්තාව ආරම්භ කලේ ය.
ගාසාවේ ජන සංහාරය ගැන සඳහන් කරමින් ජයසේකර කියා සිටියේ, එය විසිඑක්වන සියවසේ විශාල ත ම කුරිරුකම්වලින් එකක් බවයි. ගාසා තීරය, එක්සත් ජනපදය වඩාත් පුලුල් පරිමානයෙන් භාවිතා කිරීමට සූදානම් වන රුදුරු යුද උපක්‍රම සඳහා පරීක්ෂන භූමියක් බවට පත් ව ඇති බව ඔහු සඳහන් කලේ ය. ජනගහනයෙන් සියයට 90 කට වඩා අවතැන් වී ඇති අතර, සිදු කරන ලද විනාශය, නූතන යුද්ධ බොහොමයක් නිසා ඇති වූ විනාශය ඉක්මවා යයි.
මැද පෙරදිග අධිරාජ්‍යවාදී ආක්‍රමනයේ නව ත ම ඉලක්කය බවට ඉරානය පත් ව ඇති බව ජයසේකර පැහැදිලි කලේ ය. එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ සැබෑ අරමුන න්‍යෂ්ටික ව්‍යාප්තිය වැලැක්වීම නොව, බලශක්ති සම්පත් මත මූලෝපායික පාලනයක් තහවුරු කර ගැනීම සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය තම ප්‍රධාන ගෝලීය ප්‍රතිවාදියා ලෙස සලකන චීනය සමඟ ගැටුම සඳහා වන සූදානම ශක්තිමත් කිරීමයි.
ක්වාඩ් (Quad) සහ ඕකස් (AUKUS) වැනි මිලිටරි සන්ධාන චීනය වටලෑමේ ඇමරිකානු මූලෝපායේ තීරනාත්මක සංරචක බව කථිකයා පෙන්වා දුන්නේ ය. ඉන්දු-පැසිෆික් කලාපය තුල චීනයට එරෙහි ව්‍යසනකාරී ගැටුමක් සඳහා වොෂින්ටනයේ සූදානමට මෙම සන්ධාන අත්‍යවශ්‍ය බව ඔහු පැහැදිලි කලේ ය.
ජයසේකර, ශ්‍රී ලංකාව දෙසට හැරෙමින්, මෙම අධිරාජ්‍යවාදී යුද ධාවනය තුල ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ භූමිකාව විමර්ශනය කලේය. නව විදේශ ප්‍රතිපත්ති දිශානතියක් පොරොන්දු වෙමින් බලයට පැමිනි ජවිපෙ/ජාජබ ආන්ඩුව, එක්සත් ජනපද සහ ඉන්දියානු මූලෝපායික අවශ්‍යතා සමඟ වඩ වඩාත් පෙල ගැසෙමින් සිටී.
ගාසා හි ඊශ්‍රායලයේ ජන සංහාරය හෝ පුලුල් එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් පිලිබඳ කවර හෝ විවේචනයකින් ආන්ඩුව වැලකී සිටින බව ඔහු පෙන්වා දුන්නේ ය. මැද පෙරදිග වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිකුත් කල ප්‍රකාශ තුල ප්‍රධාන ආක්‍රමනිකයන් නම් කිරීමෙන් පවා හිතාමතා ම වැලකී ඇත. මධ්‍යස්ථභාවය හෝ නොබැඳි පිලිවෙත ලෙස ආන්ඩුව කියාපානා දෙය, යථාර්ථයේ දී රාජ්‍ය තාන්ත්‍රික භාෂාව තුල සැඟ වී ඇති අධිරාජ්‍යවාදී ගැති දිශානතියකි.
මේ අතර, ආන්ඩුව, යුද්ධයේ සහ ගෝලීය ධනේශ්වර අර්බුදයේ ආර්ථික බර වැඩ කරන ජනතාව මත පටවනු ලැබේ. ඉන්ධන මිල, ප්‍රවාහන වියදම් සහ බලශක්ති ගාස්තු ඉහල යාම දැනටමත් දරුනු සමාජ දුෂ්කරතා තීව්‍ර කර ඇත. මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ යුද්ධය සහ කප්පාදුව ඇති කරන ධනේශ්වර ක්‍රමයට විරුද්ධ නොවී කම්කරුවන්ට තම ජීවන තත්වයන් ආරක්ෂා කර ගත නොහැකි බවයි.
“බහු-ධ්‍රැවීයතාව” පිලිබඳ න්‍යාය හෙලිදරව් කිරීමට ජයසේකරගේ වාර්තාවේ කේන්ද්‍රීය අවධානයක් යොමු විය. ව්‍යාජ වාම ප්‍රවනතා, ශාස්ත්‍රාලික කොටස් සහ විවිධ ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන් විසින් ප්‍රවර්ධනය කරන ලද මෙම සංකල්පය, චීනය, රුසියාව, ඉන්දියාව සහ බ්‍රසීලය වැනි බලවතුන්ගේ මතුවීම වඩාත් සමතුලිත හා සාමකාමී ලෝක පර්යායක් නිර්මානය කරනු ඇතැයි තර්ක කරයි.
ජයසේකර මෙම ඉදිරිදර්ශනය දේශපාලනික හා ඓතිහාසික වංචාවක් ලෙස ප්‍රතික්ෂේප කලේ ය. අධිරාජ්‍යවාදය පිලිබඳ ලෙනින්ගේ විශ්ලේෂනය මත පදනම් ව, අධිරාජ්‍යවාදය යනු හුදෙක් නිශ්චිත ආන්ඩු විසින් අනුගමනය කරන ප්‍රතිපත්තියක් නොව, මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය, ඒකාධිකාරයන්, ප්‍රාග්ධන අපනයනය සහ ලෝකය නැවත බෙදා ගැනීම සඳහා අරගලය ආදියෙන් සංලක්ෂිත ධනවාදයේ සංවර්ධනයේ නිශ්චිත අවධියක් බව ඔහු පැහැදිලි කලේ ය.
යුද්ධය කරා යන ගමන පැන නගින්නේ තනි නායකයින්ගේ තීරනවලින් නොව, ධනේශ්වර ක්‍රමයේ ම විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතාවලිනි. එබැවින්, ධනේශ්වර රාජ්‍යයන් අතර බල තුලනයේ මාරු වීමක් මගින් යුද්ධයේ හේතු ඉවත් කල නොහැක. සාමයට මඟ පාදනවා වෙනුවට, තරඟකාරී බලවතුන් අතර තීව්‍ර වන එදිරිවාදිකම්, නව ගැටුම් සහ මිලිටරි ගැටුම් ඇති කරයි.
බහු-ධ්‍රැවීයතාවයේ න්‍යාය නිශ්චිත දේශපාලන අරමුනක් ඉටු කරන බව ජයසේකර පැහැදිලි කලේ ය. එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය, ප්‍රතිවාදී ධනේශ්වර බලවතුන්ට සහ ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ට සහාය දීමේ මං පෙත් ඔස්සේ හරවා යවයි. සතුරා හුදෙක් “ඇමරිකානු ආධිපත්‍යය” බවත්, ගැලවීම ඇත්තේ මොස්කව්, බීජිං, ටෙහෙරාන් හෝ වෙනත් ධනේශ්වර ආන්ඩුවලට සහාය දීමෙන් බවත් කම්කරුවන්ට කියනු ලැබේ. මෙම ඉදිරිදර්ශනය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන භූමිකාව අකා මකා දමා, ගෝලීය ධනේශ්වර පර්යායේ තරඟකාරී කොටස්වලට කම්කරු පංතිය යටත් කරයි.
ශ්‍රී ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ දකුනු ආසියාව පුරා විවිධ ස්ටැලින්වාදී සංවිධාන මෙම ප්‍රතිගාමී දෘෂ්ටියේ ප්‍රධාන උපදේශකයින් බව ඔහු පෙන්වා දුන්නේ ය.
ජාත්‍යන්තර කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ස්වාධීන ව බලමුලු ගැන්වීම හැර ලෝක අර්බුදයට වෙනත් විසඳුමක් නොමැති බව පැහැදිලි කල ජයසේකර, පුනර්ජීවනය වන ගෝලීය පන්ති අරගලයට ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් ලබා දෙමින්, මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ සම්ප්‍රදාය නියෝජනය කරන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීම අත්‍යවශ්‍ය කාර්යය වන බව සඳහන් කරමින්, සසප/සසජාතශි හා එක් වන ලෙස අසන්නන්ට ආරාධනා කර සිටියේ ය.
ඉන්පසු පැවති සාකච්ඡා කාල පරිච්ඡේදය තුල වැදගත් දේශපාලන ප්‍රශ්න මතු කෙරුනි.
වැඩ කරන ජනතාවගේ එදිනෙදා ඉල්ලීම් සහ සසප විසින් ඉදිරිපත් කරන ලද පුලුල් න්‍යායික ඉදිරිදර්ශනය අතර පරතරය ජය ගන්නේ කෙසේදැයි ප්‍රසාද් මාධව විමසී ය.
සසප, කම්කරුවන්ගේ ක්ෂනික අවශ්‍යතා - ඉහල යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීම්, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ආරක්ෂා කිරීම, රැකියා විනාශයට එරෙහි වීම සහ විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම- සඳහා සටන් කරන බව පැහැදිලි කලේ ය. කෙසේ වෙතත්, මෙම ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය ඉල්ලීම් ධනවාදයේ රාමුව තුල සාක්ෂාත් කල නොහැක. ඒවා සාක්ෂාත් කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය තුලින් පමනි. මේ කටයුත්ත සඳහා මහජනතාවගේ විඥාන මට්ටම වර්ධනය කිරීම සඳහා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සංක්‍රමන ක්‍රියාමාර්ගයක් විස්තාරනය කරයි.
එය ශ්‍රී ලංකාව තුල ගන්නා රූපය කුමක් දැයි ජයසේකර 2022 මහජන නැගිටීමේ දේශපාලන අත්දැකීම් ඇසුරින් පෙන්වා දුන්නේ ය. නරක අතට හැරෙන ආර්ථික තත්වයන්ට පමනක් නොව, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට ම එරෙහි ව මිලියන ගනනක් අරගලයට අවතීර්න වූ හ. කෙසේ වෙතත්, අන්තර්කාලීන ධනේශ්වර පාලනයක් සහ පාර්ලිමේන්තු විසඳුම් සඳහා වන ඉල්ලීම් පිටුපස එම ව්‍යාපාරය හරවා යැවූ ව්‍යාජ-වාම සංවිධාන සහ වෘත්තීය සමිති නිලධරය, එමඟින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මතු වීම වැලැක්වී ය.
අත්‍යවශ්‍ය කාර්යය වන්නේ ව්‍යාජ-වමට එරෙහි ව තිරසාර න්‍යායික සහ දේශපාලන අරගලයක් හරහා වෛෂයික තත්වයන්ට අවශ්‍ය මට්ටමට දේශපාලන විඥානය ඉහල නැංවීම බව ඔහු පැහැදිලි කලේ ය. ජූලි 8 රැස්වීම ම එම අරගලයේ කොටසක් විය.
තවත් ශ්‍රාවකයෙකු වන සුගත් හෙට්ටිආරච්චි, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අරමුනු සහ එම අරමුනු හඹා යන මූලෝපාය ගැන විමසී ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන හඬ ලෙස ක්‍රියා කරන බවත්, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරුවන්ට සහ තරුනයින්ට දේශපාලනික ව අධ්‍යාපනය ලබා දීමට උත්සාහ කරන බවත් ජයසේකර පැහැදිලි කලේ ය. ට්‍රොට්ස්කිවාදී දෘෂ්ටිකෝනයකින් ලෝක සිදුවීම් පිලිබඳව කෙරෙන දෛනික විශ්ලේෂනය හරහා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මානව වර්ගයා මුහුන දෙන අර්බුදයේ ගෝලීය ස්වභාවය සහ ජාත්‍යන්තර සමාජවාදී මුලෝපායක අවශ්‍යතාවය අවබෝධ කර ගැනීමට කම්කරුවන්ට සහාය වේ. දේශපාලන අධ්‍යාපනය පුලුල් කිරීමට සහ ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික හා න්‍යායික උරුමය ලොව පුරා කම්කරුවන්ට සහ තරුනයින්ට වඩාත් ප්‍රවේශ විය හැකි කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස socialism AI මෑතකදී හඳුන්වාදීම ගැන ද ඔහු සඳහන් කලේ ය.
