කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපය තුල පිහිටි එයිට්කන් ස්පෙන්ස් ගාර්මන්ට් කම්හල් දෙක ස්ටාර් ගාර්මන්ට් කර්මාන්ත ශාලා ජාලය හිමි ඇඟලුම් සමාගමට විකිනීම නිසා දෙ දහසකට අධික කම්කරුවන්ගේ රැකියා අනාරක්ෂිත තත්වයකට පත් වී ඇත. එම ඇඟලුම් කම්හල් දෙකේ පාලනය අගෝස්තු මාසයේ සිට ස්ටාර් ගාර්මන්ට් සමාගම යටතේ සිදු කිරීමට නියමිත ය. නමුත් තම රැකියා සුරක්ෂිතභාවය පිලිබඳව සහතිකයක් නැති බවත්, දැනට භුක්ති විඳින සුලු පහසුකම් පවා කප්පාදු කිරීමේ අන්තරාය පවතින බවත් එයිට්කන් ස්පෙන්ස් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.
පවතින “අයහපත් මූල්‍ය වාතාවරනය” සහ “අයහපත් කොන්දේසි” මත මෙම කර්මාන්තශාලා ස්ටාර් ගාර්මන්ට් සමාගමට විකුනා දැමීමට තීරනය කල නමුත් “රැකියා සහ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන” බවත් එයිට්කන් ස්පෙන්ස් සහ ස්ටාර් ගාර්මන්ට් ඉහල කලමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් ජුලි 4 වෙනි සෙනසුරාදා පැවති රැස්වීමක දී කම්කරුවන්ට පවසා ඇත.
එහෙත් රැස්වීම අවසන් වී යලි කම්හල තුලට පැමිනීමෙන් පසු ස්ටාර් ගාර්මන්ට් සමාගම යටතේ සේවයට අනුයුක්ත කිරීමේ දී එයිට්කන් ස්පෙන්ස් හි දිගු සේවාකාලයක් සහිත කම්කරුවන්ගේ සේවා කාලය ඛන්ඩනය කර නවක කම්කරුවන් ලෙස අනුයුක්ත කිරීමට එකඟ වන බවට ලිපියකට කම්කරුවන්ගෙන් අත්සන් ගැනීමට එයිට්කන් ස්පෙන්ස් පාලකයන් උත්සාහ කිරීමත් සමග කම්කරුවන් අතර නොසන්සුන්තාවයක් හට ගෙන ඇත.
ඉක්බිති ව, එයිට්කන් ස්පෙන්ස් කලමනාකාරීත්වයේ උප්පරවැට්ටියට විරෝධය පාමින් 1, 400 ක් පමන කම්කරුවන් ක්ෂනික වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ඉරුදින නිවාඩුවෙන් පසු සඳුදා එනම් 6 වෙනි දා නැවත සේවයට පැමිනීමෙන් පසු වර්ජනය අඛන්ඩ ව ඉදිරියට ගෙන යාමට කම්කරුවන් උත්සාහ කල නමුත් කලමනාකාරීත්වය කම්හල් පරිශ්‍රය තුලට පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ආයෝජන මන්ඩලයේ නිලධාරින් කැඳවා ඇති අතර වර්ජනය නතර කොට සේවයට වාර්තා කරන ලෙස කම්කරුවන්ට තර්ජනය කර තිබේ.
එහෙත් සේවයට වාර්තා කිරීම කම්කරුවන් ප්‍රතික්ෂේප කර ඇත. සේවයට වාර්තා නොකරන්නේ නම් කම්කරු කාර්යාලයට ගොස් විසඳුමක් ලබා ගන්නැයි කලමනාකාරිත්වය පැවසීමෙන් පසු වර්ජිත කම්කරුවන්ගෙන් කන්ඩායමක් ගාල්ල කම්කරු කාර්යාලයට පැමිනිලි කොට ඇති අතර ජූලි මස 20 වෙනි දා පරීක්ෂනයක් පවත් වන බව කම්කරු කාර්යාලයේ නිලධාරින් පැවසූ බව ද කම්කරුවෝ කීහ.
වසර කිහිපයක සිට ඇනවුම් අඩුවීම එයිට්කන් ස්පෙන්ස් ඇඟලුම් කම්හල් විකිනීමට හේතු වූ බව කම්කරුවෙක් පැවසී ය: “ෆැක්ටරිය පහුගිය කාලෙ දිව්වේ ප්‍රධාන වශයෙන්ම ගැප් (GAP) කම්පැනියේ ඕඩර්ස් වලින්. අවුරුදු දෙක තුනක ඉඳල ඕඩර්ස් අඩු වෙන්න පටන් ගත්ත. ඕඩර්ස් අඩු වෙන්න කලින් ඉඳන් ම දරා ගන්න බැරි මට්ටමට ෆැක්ටරියේ වැඩ වේගවත් කලා. මුල දී කෑලි හැටත් හැත්තෑවක් විතර තිබුන ටාගට් එක දෙසීයක් දක්වා වැඩි කලා.”
නවක කම්කරුවන්ට මෙම තත්වය කිසිසේත් දරා ගත නොහැකි වූ බවත් පැරනි අයට ඉස්පාසුවක් නැති ව වැඩ කරන්න සිදු වූ බවත් එම කම්කරුවා කීවේ ය.
“ටාගට් එක වැඩි වෙන කොට කොලිටි ෆේල් වෙන්න ගත්තා. ඊට පස්සේ නිෂ්පාදනය අඩු වුනා. වැඩ කිරීම අපහසු නිසා අලුත් ලමයි අස් වුනා. ඊට පස්සේ ෆැක්ටරි එකේ නිෂ්පාදනය පවත්වගෙන යන්න ජම්පර්ස්ල දැම්මා. ඒත් ඒක හරියට කරගෙන යන්න බැරි වුනා. ඊට පස්සේ මේ ඔක්කොම පාඩු අපේ උඩට දැම්මා. ගැප් එකේ ඕඩර්ස් නැති වුනා. ඒ නිසා ෆැක්ටරිය සම්පූර්නයෙන් ම දිව්වේ එහෙන් මෙහෙන් ඇහිඳ ගත්ත ඕඩර්ස් වලින්. දැනටත් ෆැක්ටරිය වැඩ කරන්නේ කලිසං, ජැකට් සහ නයිට් කිට් වගේ ලැබෙන තාවකාලික ඕඩර්ස් වලින්” බව ඔහු වැඩි දුරටත් පැවසී ය.
මෙම තත්වය තුල කලින් තිබුන සුලු පහසුකම් පවා කප්පාදු කල බව තවත් කම්කරුවෙක් සඳහන් කලේ ය. “ප්‍රවාහන සේවයට ෆැක්ටරිය නයයි. අපේ ඊපිඑෆ්, ඊටීඑෆ් තැන්පත් කරලත් නැහැ කියලා ආරංචියි. ඒ ප්‍රශ්න හින්දා ෆැක්ටරි එක ස්ටාර් ගාර්මන්ට් එකට විකිනුවෙ.ඒ බර කම්කරුවන්ගේ පැත්තට දාන්න දැන් උත්සාහ කරනව. ස්ටාර් ගාර්මන්ට් එකට ගන්න යන්නේ දීර්ඝ කාලයක් සේවය කරපු කම්කරුවන්ගේ සේවය කඩල. ඒක කම්කරුවන්ට කරන ලොකු අසාධාරනයක්.”
එයිට්කන් ඇඟලුම් කම්කරුවන් කිසිදු වෘත්තීය සමිතියක් තුල සංවිධානය වී නැත. එහෙත් කම්හල් විකිනීම තුලින් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාව සහ සේවා කොන්දේසි වලට එල්ල කරෙන ප්‍රහාරයට එරෙහි ව කම්කරුවන් අතර විරෝධයක් සහ අරගලයක් පැන නැගීම දැනගත් වහා ම නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේස) වෘත්තීය සමිතියක් ඇටවීම සඳහා එහි නායක ඇන්ටන් මාක්ස් මැදිහත් වී ඇත. නිවෙකපොසේස නායකයන් ගෙන් ප්‍රවේශම් විය යුතු යයි අපි එයිට්කන් ස්පෙන්ස් කම්කරුවන්ට අනතුරු අඟවමු. නිදහස් වෙලඳ කලාප ඇඟලුම් කම්කරුවන්ගේ අරගල පාවා දීමේ සහ හාම්පුතුන්ගේ කොන්දේසි වලට කම්කරුවන් යටත් කිරීමේ කුප්‍රකට වාර්තාවක් නිවෙකපොසේස සහ මාකස්ට ඇත.
2022 මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුල එස්කුවෙල් සමාගමට හිමි ව තිබු කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කම්හල් දෙකක් සහ යක්කල, ජාඇල ඒකල සහ කෑගල්ලේ ඇඟලුම් කම්හල් තුනක් වසා දමා සොච්චම් වන්දියකට යටත් කොට කම්කරුවන් 6000 ගේ පමන රැකියා අහෝසි කිරීමේ දී කම්හල් පාලකයන්ගේ කොන්දේසිවලට කම්කරුවන් යටත් කිරීම සඳහා මාකස් මූලික ක්‍රියා කලාපයක් ඉටු කලේ ය. 2025 මැයි මාසයේ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නෙක්ස්ට් ඇඟලුම් කම්හල වසා දැමීම සහ කම්කරුවන් 1,500 රැකියා විනාශ කිරීමේ දී නෙක්ස්ට් පාලනාධිකාරයේ අත් ශක්තිමත් කිරීම සඳහා මාකස් ඉටු කල ද්‍රෝහී භූමිකාව තවත් උදාහරනයකි.
එයිට්කන් ස්පෙන්සේ කම්කරුවන් එවන් උගුලකට අසු නොවිය යුතු ය. එයිට්කන් ස්පෙන්ස් කම්කරුවන් කල යුත්තේ තම ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා නියෝජිතයන්ගෙන් යුත්ක කම්කරු ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කර ගනිමින් රැකියා සුරක්ෂිත කර ගැනීමේ අරගලයක් සංවිධානය කර ගැනීමට පෙරට ඒමයි.
එමෙන් ම එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කම්කරුවන් රැකියා හා සේවා තත්වයන් ආරක්ෂා කර ගැනීමට ගෙන යන අරගලයට සහයෝගය දීමට ඉදිරිපත් වන ලෙස කොග්ගල හා අනෙකුත් වෙලඳ කලාපවල කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු. මෙම සමාගමේ කම්කරුවන් අද මුහුන දෙන තත්වය පසුගිය කාලයේ දී තවත් කම්හල වල ද මතු වූ අතර, ගෝලීය වසයෙන් වැඩෙන අර්බුදයේ බලපෑමෙන් එය තවත් පැතිරී යාමට නියමිත ය. තම කම්හල්වල ද කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කම්කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම අවශ්‍ය ය.
කොග්ගල එයිට්කන් ස්පෙන්ස් ඇඟලුම් කම්හල් විකිනීම හුදකලා සිද්ධියක් නොවේ. 2026 ගත වූ මාස කිහිපය තුල පමනක් ඇඟලුම් කම්හල් ගනනාවක් මේ ආකාරයට විකිනීම හෝ වසා දැමීම සිදු වූ අතර දහස් ගනනක් කම්කරුවන්ගේ රැකියා විනාශ කෙරිනි. කම්කරුවන් සහ දුගීන් මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පියවර පටවන ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව මහා ව්‍යාපාරිකයන්ගේ හා ආයෝජකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීමට කැප වී සිටියි.
මෙම කම්හල් වසා දැමීම සහ රැකියා විනාශය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මුහුන දී ඇති බරපතල අර්බුදයේ ප්‍රතිපලයකි. 2026 වසරේ ජනවාරි-මැයි කාල සීමාව තුල ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිලි අපනයන අගය පසුගිය වසරේ අදාල කාලසීමාවට සාපේක්ෂ ව සියයට 4.68 න් පහත වැටුනි. නිෂ්පාදන පිරිවැය ඉහල යාමත්, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර යුරෝපය ඇතුලු ප්‍රධාන ඇඟලුම් ආනයන වෙලඳපොල වල ඇඳුම් සිල්ලර අලෙවිය 2026 වසරේ දී එක තැන පල් වීමට හෝ පහත වැටීමට පවා ඉඩ ඇති බව ත් ග්ලෝබල් ඇපරල් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ට්‍රේඩ් ඇන්ඩ් සොර්සින්ග් හි 2026 ඇපරල් කර්මාන්තයේ ඉදිරිය පිලිබඳ වාර්තාවක සඳහන් වේ.
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයේ බලපෑම යටතේ ඉන්ධන සහ අමුද්‍රව්‍ය මිල සහ ප්‍රවාහන ගාස්තු ඉහල යාම ශ්‍රී ලංකාව ඇතුලු ව දකුනු ආසියාවේ ඇඟලුම් සහ රෙදිපිලි නිෂ්පාදන පිරිවැය සියයට 10-20 අතර ප්‍රතිශතයකින් ඉහ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිලි නිෂ්පාදන කර්මාන්තයේ අර්බුදය ඇඟලුම් සහ රෙදිපිලි කර්මාන්තයේ මෙම ගෝලීය අර්බුදයේ කොටසකි.
ලංකාවේ මෙන් ම දැවැන්ත ලෝක සංගතවලට ඇඟලුම් නිෂ්පාදනය කරන බංගලාදේශය, ඉන්දියාව, පකිස්තානය ඇතුලු සෙසු රටවල ඇඟලුම් කම්කරුවන් ද මේ හා සමාන ප්‍රහාරවලට මුහුන දී සිටිති. එහෙයින් ජාත්‍යන්තර ව රැකියා වැටුප් හා සේවා තත්වයන් රැකගැනීමට මේ සෑම රටක ම මෙන් ම ආනයන සිදු කරන ඇමරිකාවේ හා යුරෝපයේ මහා සංගතවල කම්කරුවන් ගේ ඒකාබද්ධ සටනක් අවශ්‍ය වී තිබේ. ඒ සඳහා, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීම සඳහා අරගලයට ඒකාබද්ධ වීම අවශ්‍ය වේ.
නිවෙකපොසේස, පාලක ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය සහ ලංකා වෙලඳ, කර්මාන්ත හා පොදු සේවක සංගමය ඇතුලු සියලු වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ ධනපති හාම්පුතුන්ගේ සහ ධනපති ආන්ඩුවේ අවශ්‍යතාවයන් ආරක්ෂා කරන සහ කම්කරු පන්තියේ අයිතීන් සහ අරගල පාවා දෙන සංවිධාන ලෙසයි.
ඇඟලුම් සහ රෙදිපිලි නිෂ්පාදන කම්කරුවන් මුහුන දෙන රැකියා විනාශයට වැඩ වේගවත් කිරීම ඇතුලු කිසිදු ගැටලුවකට ධනාවදය තුල විසඳුමක් නැත.
ඇඟලුම් සහ රෙදිපිලි කම්කරුවන් මෙන් ම අනෙකුත් සියලු ම අංශවල කම්කරුවන් ද වෘත්තීය සමිතිවලින් සහ ධනපති පක්ෂවලින් ස්වාධීන වූ තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගෙන තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කල යුතු බව 'සමාජවාදී සමානතා පක්ෂය' (සසප) සහ 'ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව' (ඇකක්‍රික) අවධාරනය කරයි.
සසප සහ ඇකක්‍රික ඒ සඳහා පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරයි:
- රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුවට එරෙහි වනු!
- කම්හල් වසා දැමීම්වලට විරුද්ධ වනු; කර්මාන්තශාලා වාඩි ලා ගැනීම් ඇතුලු කාර්මික ක්‍රියාවන සංවිධානය කරනූ!
- කොම්පැනි හිමියන් සහ වෘත්තීය සමිති නිලධරයන් විසින් තීරනය කරනු ලබන සොච්චම් වන්දි මුදල් ප්‍රතික්ෂේප කරනු! නව රැකියා ලැබෙන තුරු සම්පූර්න වැටුප් සහිත වන්දි ඉල්ලා සිටිනු!
- සියලු ඇඟලුම් කම්කරුවන්ට සම්පූර්න වැටුප් සහිත වෛද්‍ය නිවාඩු; යහපත් නිවාස සහ සෞඛ්‍ය පහසුකම් සම්පාදනය කරනු!
- සංවිධානය වීමේ, රැස්වීමේ සහ භාෂනයේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට අත නොතබනු!
මෙම අරගලය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය හා ඇඟලුම් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව එයිට්කෙන් ස්පෙන්ස් සහ අවශේෂ කම්කරුවන්ට සහා දීමට සුදානම්ව සිටියි. අප අමතන්න.
කම්කරු පන්තියට තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනා ගත හැක්කේ ධනපති ක්‍රමයට සහ ආයෝජකයන් ගේ සහ මහ ව්‍යාපාරිකයන් ගේ ලාභ උත්පාදක අවශ්‍යතාවයන් ආරක්ෂා කරන ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බල වේගය ආන්ඩුවට එරෙහි ව සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සහ කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා අරගලයකින් පමනි.
