2022 මහජන නැගිටීමේ පාඩම් පිලිබඳ සසප/සසජාතශි උද්ඝෝෂනය

කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගේන්න පුලුවන් වුනා නම් අපේ අරමුනු ඉටුකර ගන්න තිබුන: ඒකල කම්කරුවෙක්

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), “කම්කරුවන්ට සහ තරුනයන්ට 2022 මහජන නැගිටීමේ පාඩම්” යන මැයෙන්, ජූලි 26 ඉරිදා පස්වරු 7.00 ට පවත්වන ප්‍රසිද්ධ සූම් රැස්වීම ගැන කම්කරුවන් සහ තරුනයන් දැනුවත් කිරීමේ කොටසක් ලෙස,  සසප/සසජාතශි සාමාජිකයෝ පසුගිය දිනවල, ජාඇල, ඒකල කම්කරු නිවහන්වල සහ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමටගොඩ නිවාස සංකීර්නයේ උද්ඝෝෂනයක යෙදී ගත්හ.  

ඒකල විශාකාවත්තේ පදිංචි අය සමග සාකච්ඡා කරන වාර්තාකරුවෝ

මෙම උද්ඝෝෂනයේ දී, “2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමෙන් සිවු වසරක්: දේශපාලන පාඩම්” යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපිය කම්කරුවන් අතර බෙදා හල සසප/සසජාතශි සාමාජිකයෝ, වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව වර්ධනය වන කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ අරගල සඳහා 2022 මහජන නැගිටීමේ දේශපාලන පාඩම් උකහා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ.  

නැගිටීමෙන් සිවු වසරකට පසු ආපසු හැරී බලන විට, තමා බලාපොරොත්තු වූ කිසිවක් සාක්ෂාත් වී නොමැති බවත්, වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ තම ජීවිත වඩාත් දුෂ්කර තත්වයකට ඇද වැටී ඇති බවත්, ඔවුන් අතරින් බහුතරයක් දෙනා ප්‍රකාශ කලහ. 

ඒකල, රවි බුරුසු නිෂ්පාදන කම්හලේ සේවයේ නිරත එක්දරු කම්කරු කාන්තාවක් සාකච්ඡාවට සහභාගි වෙමින්, මහජන නැගිටීමේ ප්‍රධාන උද්ඝෝෂන මධ්‍යස්ථානය වූ කොලඹ ගෝල්ෆේස් පිටියේ දී ඇය ලද අත්දැකීම් පැහැදිලි කලා ය: “ගෝල්ෆේස් එකේ දී අපි සටන්පාඨ කිව්වෙ ගෝඨාභය (රාජපක්ෂ) විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවෙ 225 ම එපා කියලා. ඒත් අවසානෙදි හැදුනෙ ඒ 225න් ම කොටසක් අඩංගු ආන්ඩුවක්. ඊට පස්සෙ දැන් ජවිපෙ ආන්ඩුවක්. බඩු මිල, විදුලි සහ ජල ගාස්තු දිගටම වැඩි වෙනව. අපිට කිසි ම සහනයක් නෑ.”

කම්කරු පන්තියේ සහ අනෙකුත් පීඩිත කොටස්වල අප්‍රසාදය වැඩෙමින් පවතින ආකාරය ඇය මෙසේ පැහැදිලි කලා ය: “මහජනතාව එලියට බහින්න බලාගෙන ඉන්නෙ. සමහර විට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් ඔය පුටුවෙන් යන්න වෙයි. අපේ වැඩපොලේ බොහෝ දෙනෙකුගෙ අදහස ඒක තමයි.”

ගොවි ජනතාව මුහුන දී ඇති ප්‍රශ්න පිලිබඳව කතා කරමින් ඇය මෙසේ කීවා ය: “ගොවියො හඬා වැටෙන හැටි කොච්චර යනවද ටීවී එකේ. සමහරු ගෙවල් උකස් කරලා ඉඩකඩම් උකස් කරලා. නමුත් ඒ මිනිස්සුන්ට ඒවා බේරගන්නවත් මුදල් ලැබෙන්නේ නැහැ. ගොවි ජනතාව මුහුන දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මේ ආන්ඩුව හැසිරෙන විදිය කලින් තිබුනු ආන්ඩු වලට වඩා වෙනස් නෑ.”   

මහජන නැගිටීමේ දී කම්කරු පීඩිත මහජනතාව අපේක්ෂා කල දෑ සාක්ෂාත් නොවුනේ කුමක් නිසා ද යන්න මෙම සාකච්ඡාවේ දී මෙන්ම අනෙකුත් සාකච්ඡාවන් හි කේන්ද්‍රයේ පැවතුනි. 

නැගිටීම තුල එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග දෙකක් ඉදිරිපත් විය: සමගි ජන බලවේගය සහ ජවිපෙ/ජාජබ ප්‍රමුඛ ධනපති පක්ෂ ඉදිරිපත් කල, පාර්ලිමේන්තුවේ එවකට සිටි මන්ත්‍රීවරුන්ගෙන් ම සමන්විත අන්තර්වාර ආන්ඩුවක් බලයට ගෙන ඒම ඉන් එකකි. කම්කරු පංතිය, ධනපති දේශපාලන පක්ෂ වලින්, ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන වෘත්තීය සමිති නිලධරයෙන් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ-වාම කොටස් වලින් ස්වාධීන ව සංවිධානය වෙමින් සහ ගම්බද දුගීන් ඒ වටා රැලිකර ගනිමින්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒ‌මේ සසප ක්‍රියාමාර්ගය අනෙකයි. 

කෙසේ නමුත්, ව්‍යාජ-වාම පක්ෂ සහ සමිති නිලධරය එක් ව ධනපති අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙලට මහජන නැගිටීම හරවා යැවීමේ ප්‍රතිඵලය ලෙස, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාර ක්‍රියාවට නැංවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ද, අනතුරුව එම රුදුරු ප්‍රහාර අඛන්ඩ ව ඉදිරියට ගෙන යන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ද බලයට පැමිනි ආකාරය සසප/සසජාතශි සාමාජිකයෝ පෙන්වා දුන්හ.

“ඇත්තට ම ඔබ කියන ආකාරයට කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගේන්න පුලුවන් වුනානම් අපේ අරමුනු ඉටුකර ගන්න තිබුන කියල මට හිතෙනව” යැයි ඉහත කම්කරු කාන්තාව පැවසුවා ය.

දෙමටගොඩ දුම්රිය නිවාස සංකීර්නයේ දී, කොලඹ සහ අනෙකුත් දුම්රිය ස්ථානවල සහ වැඩපොලවල සේවයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු ද, දුම්රිය රියදුරෝ ද, කාර්මික ශිල්පීහු ද මුනගැසුනාහ. 

ඇතැම් සේවකයින් 2022 මහජන නැගිටීමට ස්වේච්ඡාවෙන් සහභාගි වූ අය වූ අතර, තමන්ගේ වෘත්තීය සමිති දින දෙකක වැඩ වර්ජන සඳහා කැඳවුම් කල ද ඒවාට සමගාමී ව කිසිදු විරෝධතාවක් සංවිධානය නොකල බව ද ඔවුහු සඳහන් කලහ. ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා ඡන්දය ලබා දුන් බව පැවසූ එක් කම්කරුවකු සඳහන් කලේ, තමන් එසේ කලේ මෙම ආන්ඩුව “කම්කරු ආන්ඩුවක්” වනු ඇතැයි  සිතා ගෙන බවයි. 

ඔහු ඇතුලු බහුතරයක් පැවසුවේ ජවිපෙ/ජාජබ මැතිවරනවල දී දුන් කිසි ම පොරොන්දුවක් මේ වන තෙක් ඉටු කර නොමැති බවයි. ඉරානයට එරෙහි ව ඇමරිකානු සහ ඊශ්‍රායල මිලිටර ප්‍රහාරයන් ද වැඩෙන ලෝක යුද තත්ත්වය ද හේතුවෙන්, ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරුවන බැවින් කිසිදු ආන්ඩුවක් යටතේ තමන්ගේ ප්‍රශ්නවලට අනාගතයේ දී හෝ විසඳුම් නොලැබෙනු ඇති බව ඔවුන්ගේ අදහස විය.

තවත් කම්කරුවෙක් සඳහන් කලේ, දුම්රිය සේවය පවත්වා ගෙන යාමට 20,000 ක් පමන සේවකයන් අවශ්‍ය වුව ද දැනට සේවයේ නිරත ව සිටින්නේ 13,000ක් පමනක් බවයි. “අධික සේවක හිඟය නිසා හෙම්බත් වී වැඩ කිරීමට සිදු වෙනවා” යැයි ඔහු පැවසී ය. ජවිපෙ/ජාජබ පොරොන්තු වූ පරිදි ආපදා නය වැඩි නොකල බවත්, අතිකාල දීමනා කපා හරින බවත්, අමතර කොටස් නොමැතිකම නිසා නඩත්තු කටයුතු නිසියාකාරයකින් කල නොහැකි බවත් ඔවූහු තවදුරටත් පැහැදිලි කලහ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් යටතේ ආන්ඩුව ක්‍රියාවට නංවන කප්පාදු වැඩපිලිවෙල හේතුවෙන් රත්මලාන ප්‍රධාන වැඩපොලේ ඇතැම් කාර්යයන්, දුම්රිය සේවකයින්ගෙන් ඉවත් කොට පෞද්ගලික සමාගම්වලට පවරනු ලැබ ඇති බවද කම්කරුවෝ කියා සිටියහ. ලංකා විදුලි බල මන්ඩලය කොටස් හයකට බෙදා සමාගම්වලට පැවරූ ආකාරය ගැන දැන සිටි ඔවුහු තමන්ගේ ආයතනය ද එවැනි තත්ත්වයට මුහුන දෙනු ඇතැයි ද ප්‍රකාශ කලහ. වෘත්තීය සමිති ගැන පිලිකුලෙන් කතා කලේ, ලංකාවේ වැඩි ම වෘත්තීය සමිති පවතින එකම ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව බව ද සඳහන් කරමිනි. 

දුම්රිය ස්ථානාධිපතිවරයකු 2022 මහජන නැගිටීමට තුඩු දුන් ප්‍රශ්න පිලිබඳව පැහැදිලි කරමින් පැවසුවේ “ඒවා එකක්වත් තව ම විසඳිලා නැහැ. මහජනයා ආවේ මේ සූරා කන පාලනයේ වෙනසක් කරන්න ඕන කියල. ඒක ඉෂ්ඨ උනේ නැහැ” යැයි පැවසූ ඔහු දින දෙකක් ස්වේච්ඡාවෙන් ගාලු මුවදොර විරෝධතාවන්වලට සම්බන්ධ වූ බව ද පැවසුවේ ය. උද්ඝෝෂන සඳහා “අපි ස්වාධීන ව ගියා. වෘත්තීය සමිති වලින් කැඳෙව්වේ නැහැ” යනුවෙන් පැවසූ ඔහු තමන් අනුබද්ධිත දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් කැඳවුනු “ස්ට්‍රයික් එකක් තිබුනා. ඒකට සහභාගි වුනා” යනුවෙන් ද පැවසුවේ ය.

සියලු ම පක්ෂ සහ දේශපාලන සංස්ථාපිතය කෙරෙහි මහජනයා තුල පැවතුනු විරෝධය අවධාරනය කරමින් ඔහු පැවසුවේ, “225 එපා, සිස්ටම් චේන්ජ් එකක් ඕනා“ යනුවෙන් කල එම උද්ඝෝෂන තුල ජවිපෙ/ජාජබ ට එරෙහි විරෝධය ද ගැබ් ව තිබූ බව යි.  

ජවිපෙ සහ පෙසප යන පක්ෂ දෙක ම “අන්තර්වාර ආන්ඩුවක්” සඳහා උද්ඝෝෂනය කල බව කියා සිටි ඔහු, “අපි ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එකක් ඒකෙ තිබුනේ නැති බව දැන් හොඳට ම තේරෙනවා“ යැයි පැවසී ය. අනතුරු ව ජනාධිපති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ ජාමූඅ හි වැඩපිලිවෙලට තමා ඇතුලු කම්කරුවන් “ගැට ගැසූ” බවත්, මේ ආන්ඩුව “ඒක දිගට ම කරගෙන යන“ බවත් ඔහු කීවේ ය. 

සැබෑ “සිස්ටම් චේන්ජ් එකක්” නැතහොත් පද්ධතිමය වෙනසක් සිදු වන්නේ, ධනවාදය යටතේ පුද්ගලික හිමිකාරිත්වයේ පවතින නිශ්පාදන මාධ්‍යයන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජන සතු කොට, ධනපති ලාභය වෙනුවට, මානව අවශ්‍යතා සාක්ෂාත් වන පරිදි ආර්ථිකය ජාත්‍යන්තර පරිමාන ව ප්‍රතිසංවිධානය කිරීමෙන් බව උද්ඝෝෂකයෝ ඔහුට පැහැදිලි කලහ. 

මෙම වැඩපිලිවෙලට පරම සතුරු වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරි කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාව ගැන අවධාරනය කෙරිනි. ධනවාදී ක්‍රමයේ යල් පිනූ ස්වභාවය පිලිගත් ඔහු සමාජවාදී ක්‍රමයක අවශ්‍යතාව පිලිගනිමින් පක්ෂ අරමුදලට ආධාර කලේ ය.

2022 අරගලවලට සම්බන්ධ වූ කාර්මික ශිල්පියෙකු සඳහන් කලේ එම නැගිටීමට මහජනයාගේ අභිලාෂයන් ඉටු කිරීමට නොහැකි වූයේ “හරි නායකත්වයක් සහ හරි වැඩපිලිවෙලක් නැතිකම” නිසා බවයි. “අරගලයේ මුදුනට පැනගත් විවිධ නායකයො රාජපක්ෂ රෙජීමය අයින් කරලා ජනතාවාදී ආන්ඩුවක් ගේන්න ඕන කියල ගෙනාපු ආන්ඩු තමයි අපිට මේ පහර එල්ල කරන්නෙ” යැයි ඔහු පැවසී ය.  

“ඔබ කියන පරිදි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෘත්තීය සමිති ඇතුලු කොටස්, දේශපාලනය එපා කියල අරගලය පිලි පැන්නුවා” යැයි ඔහු කීවේ ය. 

කම්කරු පන්තික දේශපාලනය වැලැක්වීම අරමුනු කරගත් මෙම ඊනියා නිර්පාක්ෂික සහ නිර්දේශපාලනික තර්ක විතර්ක වලට එරෙහි ව, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ වැඩපිලිවෙල ඉදිරිපත් කරමින්, 2022 මහජන නැගිටීම තුල සසප/සසජාතශි කරන ලද අරගලය ගැන පැහැදිලි කිරීමෙන් අනතුරුව පක්ෂ සංවර්ධන අරමුදලට ඔහු ආධාරයක් ද කලේ ය. 

දුම්රිය දෙපාර්තමේන්තුව ද ඇතුලු ව රාජ්‍ය ආයතන 400කට වැඩි ප්‍රමානයක් වානිජකරනය සහ පෞද්ගලීකරනය සඳහා ආන්ඩුව සූදානම් වන බව පැහැදිලිකල විට කම්කරුවෙකු පැවසුවේ, “මේ ආන්ඩුවත් ඒ විදියටම ගියොතින් 2022 වගේ තත්ත්වයක් එන්න පුලුවන්“ බව යි. 

ජාමූඅ හි පිලිවෙත් සමඟ සෘජු ව ම පෙල ගැසී සිටින සියලු ම වෘත්තීය සමිති, කම්කරුවන්ගේ කැරලිකාරිත්වය යටපත් කිරීමේ භූමිකාවේ නිරත ව සිටින අතර, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධිත වෘත්තීය සමිති ආන්ඩුවේ ප්‍රතිව්‍යූගතකරන වැඩපිලිවෙලට එරෙහි ව අරගල සංවිධානය කිරීමෙන් මුලුමනින් ම වැලකී සිටී. මේ තතු තුල, කම්කරුවන්, සෑම වැඩපොලක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් අරගලය තම අතට ගත යුතු බව සසප/සසජාතශි උද්ඝෝෂකයෝ අවධාරනය කලහ. කම්කරුවන් කීප දෙනෙක් ම රැස්වීමට සහභාගි වන බවට පොරොන්දු වූහ.

රැස්වීමට මෙතනින් ලියා පදිංචි වන්න.

Loading