2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමෙන් සිවු වසරක්: දේශපාලන පාඩම්

වසර හතරකට පෙර, ශ්‍රී ලංකාවේ මිලියන සංඛ්‍යාත කම්කරුවෝ, තරුනයෝ සහ ගම්බද දුගීහු එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි ව මහජන අරගලයකින් නැගී සිටියෝ ය. එම අරගලය කොලඹ පාලක ප්‍රභූව පමනක් නොව ලොව පුරා පාලක පංතීන් කම්පනයට පත් කලේ ය.

මෙම මහජන නැගිටීම පුපුරා ආවේ, ගෝලීය අර්බුදයෙන් ඔද්දල් වූ ලංකාවේ ආර්ථික අර්බුදයේ බර පැටවීම නිසා දරාගත නොහැකි ජීවන කොන්දේසි වලට එරෙහි ව අප්‍රේල් මස මුල දී ස්වයංසිද්ධ ව්‍යාපාරයක් ලෙසයි.

ගාලු මුවදොර පිටියෙහි විරෝධතා පැවැත්වෙන ස්ථානයේ දී , ගෝඨා ගෙදර යනු, 2022 අප්‍රේල් 9 (ලෝසවෙඅ මාධ්‍ය)

මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහභාගි වූ ජාතික පරිමාන නැගිටීමක් බවට අරගලය වේගයෙන් පරිවර්තනය විය. මාස හතරක් පුරා පැවති එය අවසන් වුයේ, ජනාධිපති රාජපක්ෂ 2022 ජූලි 9 වන දා රටින් පලා ගොස් ඉන් දින හතරකට පසු ඉල්ලා අස්වීමත් ඒ හේතුවෙන් ඔහුගේ ආන්ඩුව බිඳ වැටීමත් සමඟයි.

මෙම නැගිටීම ශ්‍රී ලංකාවේ පන්ති අරගලයේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේ ය. කම්කරු පන්තියේ අතිමහත් විප්ලවීය විභවය සහ විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක වැදගත්කම ඉන් අවධාරනය විය. 

වසර හතරකට පසු ව ද බලන විට අරගලයේ මතු කෙරුනු එකදු ගැටලුවක්වත් විසඳී නොමැත. ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය සහ ශ්‍රී ලංකාව ඇතුලු සෑම රටකට ම බලපාන බලශක්ති ඇතුලු සැපයුම්වලට අවහිරයත් සමඟ ගෝලීය භූ-දේශපාලනික ආතතීන් තීව්‍ර වී ඇත.

යුද්ධයෙන් ගැඹුරු වූ අර්බුදයේ බර පැටවීමත් සමඟ ජාත්‍යන්තර කම්කරු පන්තිය තම කොන්දේසි මත එල්ල වන ප්‍රහාරවලට එරෙහි ව අරගලවලට එලඹෙමින් සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවර සහ බලශක්ති මිල වැඩිවීම් ක්‍රියාත්මක කිරීමට බල කෙරුනු තතු තුල ශ්‍රී ලංකාවේ ආන්ඩුව සහ ධනපති පන්තිය ඉදිරියේ නැවතත් 2022 මහජන නැගිටීම හොල්මන් කරයි.

ඉදිරි අරගල වලට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය 2022 මහජන නැගිටීමේ වැදගත් පාඩම් උකහා ගත යුතුය.

2022 නැගිටීම පුපුරා යාම

කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධය හේතුවෙන් තීව්‍ර වූ ගෝලීය ආර්ථික පසුබෑමේ බලපෑම නිසා 2022 දී ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දුන්නේ ය. රාජපක්ෂ ආන්ඩුවට විදේශ නය ආපසු ගෙවීම් තාවකාලික ව නතර කිරීම ප්‍රකාශයට පත් කල අතර සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩි කිරීම සහ පැතිර ගිය දැඩි හිඟය මධ්‍යයේ පැය ගනන් දිගු විදුලිය කප්පාදුව සමග අර්බුදයේ බර මහජනතාව මත පැටවීම හේතුවෙන් අරගලය පැන නැගුනි.

මහජන අරගලයේ පෙර නිමිති දක්වමින්, රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනය සඳහා රජය විසින් පැන වූ තහනමට එරෙහි ව 2021 දී ගොවීන්ගෙන් පුලුල් විරෝධයක් මතු විය. එම තහනම ඔවුන්ගේ අඛන්ඩ නයගැතිභාවය සහ දරිද්‍රතාවය තවත් ගැඹුරු කරන ප්‍රහාරයක් විය. 2021 ජූලි මාසයේ සිට, ගුරුවරුන් 250,000 ක් පමන වැඩි වැටුප් ඉල්ලා දින 100 ක වැඩ වර්ජනයක් දියත් කලහ.

2022 අප්‍රේල් මාසයේ දී රට පුරා මහජන උද්ඝෝෂන පැතිර යත්ම, විරෝධතාකරුවන් දහස් ගනනක් කොලඹ ගාලු මුවදොර පිටිය අත්පත් කරගත් අතර එය අරගලයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. කම්කරුවන්ගේ වැඩෙන කෝපය හමුවේ, වෘත්තීය සමිති නිලධරයන්ට අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල මහා වැඩවර්ජන කැඳවීමට බල කෙරුනි, එහෙත් කම්කරු අරගලය තම පාලනයෙන් ගිලිහී යනු ඇතැයි යන බියෙන් ඔවුහු එම වැඩවර්ජන එක්දින ක්‍රියාමාර්ගවලට සීමා කලහ.

2022 අප්‍රේල් 28 වැනි දින කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන් විරෝධතාවයේ [ඡායාරූප: WSWS මාධ්‍ය]

අනුප්‍රාප්තික ආන්ඩු සහ පාලක පන්තියේ කොටස් විසින් අඛන්ඩ ව අවුස්සන ලද සිංහල, දෙමල සහ මුස්ලිම් වාර්ගික බෙදීම් කපා ගෙන දිවයින පුරා කම්කරුවෝ මෙම වැඩවර්ජනවලට සම්බන්ධ වීම සමස්ත පාලක සංස්ථාපිතය ම සොලවා දැමුවේ ය.

මෙම දැවැන්ත බලමුලු ගැන්වීම් රාජපක්ෂ පරිපාලනය කෙරෙහි කෝපය පමනක් නොව, සමස්ත ධනේශ්වර සංස්ථාපිතය හා පාර්ලිමේන්තු රාමුව කෙරෙහි මහජනයා තුල වැඩී තිබුනු ගැඹුරු විරුද්ධත්වය හෙලි කලේ ය. සියලු ම පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ හෙලා දුටු “225 දෙනා ම එපා” යන ජනප්‍රිය සටන් පාඨයෙන් සහ මර්දනකාරී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් දේශීය ධනපති පන්තියට බලය භාර දුන් 1948 සිට පැවත එන පාලනය  “75 වසරක ශාපය” ලෙස හැඳින්වීමෙන් මෙය ප්‍රකාශයට පත් විය.

මහා වැඩවර්ජන දෙක මහජන නැගිටීමේ විප්ලවීය ස්වභාවය පෙන්නුම් කලේය. කම්කරු පන්තියේ බලය සඳහා වෛෂයික කොන්දේසි පැවති අතර ධනේශ්වර පාලනයට අභියෝග කිරීම සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව සන්නද්ධ කිරීමේ අවශ්‍යතාවය ඉන් පෙන්නුම් කලේ ය.

විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පෙසපයේ භූමිකාව

ඉදිරියට යමින් පැවති අරගලය තුල ඉදිරිදර්ශන දෙකක් ක්‍රියාත්මක විය: එකක් විපක්ෂ ධනේශ්වර පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම සංවිධාන විසින් ප්‍රවර්ධනය කරන ලද අතර, එය ධනේශ්වර පාර්ලිමේන්තු රාමුව තුල ව්‍යාපාරය සීමා කිරීමට ක්‍රමානුකූල ව කටයුතු කලේ ය.

ඊට එරෙහි වූ, අනෙක් ඉදිරිදර්ශනය ඉදිරිපත් කලේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසිනි.  එම ඉදිරිදර්ශනයෙන්, ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට, ගම්බද දුගීන් සහ තරුනයින් රැලිකර ගනිමින් කම්කරු පන්තිය ස්වාධීන ව දේශපාලනික ව බලමුලු ගැන්වීමේ වැඩපිලිවෙල ඉදිරිපත් කෙරුනි. 

“සර්ව-පාක්ෂික අන්තර්කාලීන ආන්ඩුවක්” පිහිටුවන ලෙස ඉල්ලා සිටිමින් පලමු වැඩපිලිවෙල ඉදිරිපත් කලේ විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේය (ජවිපෙ/ජාජබ) විසිනි. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ඊට සපුරා සහයෝගය දුන්නේය. 

ජවිපෙ/ජාජබ නායක සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක අප්‍රේල් 7 වන දින පාර්ලිමේන්තුව අමතමින්, වර්ධනය වන මහජන විරෝධයෙන් පැන නගින “අරාජිකත්වය” සම්බන්ධයෙන් පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) සහ විරුද්ධ පක්ෂ වලට අනතුරු ඇඟවීය. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වුව හොත්, ධනේශ්වර පාලනය ස්ථාවර කිරීම සඳහා “අන්තර්කාලීන ආන්ඩුවකට” සහභාගී වීමට තම පක්ෂය සූදානම් බව ඔහු ඔවුන්ට සහතික කලේ ය.

මහජන ව්‍යාපාරය පීලි පැන්නවීම සඳහා පෙසප දුෂ්ටත ම කාර්යභාරයක යෙදුනේ ය. මෙම ව්‍යාජ-වාම සංවිධානය පිහිටුවන ලද්දේ 2011 දී ජවිපෙන් බිඳී ගිය කන්ඩායමක් විසිනි. පෙසප, රැඩිකල් පූච්චානම් වලට මුවා වෙමින්, ජවිපෙ හි වාර්ගික සහ ධනේශ්වර ගැති දේශපාලනය දිගට ම කරගෙන යයි. එය පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්කාලීන පරිපාලනයක යහපත් කම ගැන විපක්ෂයේ සජබ සහ දෙමල පක්ෂ වල නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වූයේ ය.  

අඛන්ඩ මහා වැඩවර්ජන කැඳවීමට විරුද්ධ ව සිටි පෙසප, කම්කරු අරගල එක්දින විරෝධතාවලට සීමා කිරීමට වෘත්තීය සමිති නිලධරයන්ට උදව් කරමින් ඔවුන් සමග එක් ව කම්කරු පන්තිය මහජන අරගලය තුලට ස්වාධීන බලවේගයක් ලෙස මැදිහත් වීම වලක්වන ලදී.

විරෝධතා භූමියේ සාමාජිකයින් 60 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් 2022 ජූලි 5 වන දින නිකුත් කරන ලද “ගාලු මුවදොර ප්‍රකාශනය” ප්‍රධාන වශයෙන් පෙසප විසින් සකස් කරන ලදී. එය යෝජනා කලේ, “ජනතා අරගලයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අරමුනු සහ අභිප්‍රායන් සමඟ එකඟ ව” ක්‍රියා කරන, විපක්ෂ පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් පිහිටුවීමට ය. දින හයකට පසු, මහජන ව්‍යාපාරය එහි උච්චත ම අවස්ථාවට පැමිනි විට, විපක්ෂයේ පක්ෂ සහ වෘත්තීය සමිති වෙත මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පෙසප කොලඹ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීය.

මෙම පක්ෂය විරෝධතා භූමියේ දී සමහර මධ්‍යම පාන්තික කන්ඩායම් විසින් නිකුත් කරන ලද ප්‍රතිගාමී “දේශපාලනය එපා” යන නියෝගයට ද සහාය දැක්වී ය. මෙම ස්ථාවරය සාධාරනීකරනය කරමින් 2023 දී ප්‍රකාශයට පත් කරන ලද “මන්දිර කැලඹූ අරගලය” නම් පෙසප පොත කියා සිටියේ දේශපාලනය තහනම් කිරීමෙන්, “සියලු පක්ෂ සමඟ අනුබද්ධිත පුලුල් කොටස්වලට අරගලයට සම්බන්ධ වීමට ඇති බාධක ඉවත් කල” බවයි.

අරගලය තුලට දේශපාලනය එපා කීම මගින්, “පුලුල් කොටස්වලට අරගලයට සම්බන්ධ වීමට ඇති බාධක ඉවත් කෙරුනු” බවට කෙරන මෙම ප්‍රකාශය සම්පුර්න අසත්‍යයකි. ධනේශ්වර පාලනය විසින් පනවන ලද කුරිරු කොන්දේසිවලට විරුද්ධ වීමේ අරගලයට කම්කරුවන්, ග්‍රාමීය දුප්පතුන් සහ තරුනයින් සාමූහික ව සහභාගී වූහ. පෙසප සහ අනෙකුත් රැඩිකල් කන්ඩායම් දැඩි ලෙස විරුද්ධ වුයේ අරගලයට සමාජවාදී ඉදිරිදර්ශනයක් සහ වැඩපිලිවෙලක් හඳුන්වා දීම සම්බන්ධයෙන් පමනකි.

ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පාලනයේ නින්දිත ඇදවැටීමෙන් පසු, විරුද්ධ පක්ෂ අන්තර්කාලීන පරිපාලනයක් සඳහා තම උද්ඝෝෂනය තීව්‍ර කලහ. විරුද්ධ පක්ෂ සහ ව්‍යාජ වාම කන්ඩායම් විසින් සිදු කරන ලද මෙම දුෂ්ට උපාමාරු නිසා, එක්සත් ජනපද ගැති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂපාතී එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමට, අපකීර්තියට පත් පාර්ලිමේන්තුවට ඉඩ සැලසුනී.

රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 21 බ්‍රහස්පතින්දා කොලඹ දී ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් (ඒපී හරහා ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්යාලය) (ඒපී ඡායාරූප/ ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය) [AP Photo/Sri Lankan President's Office]

මහජන නැගිටීමේ දී සසප දේශපාලන මැදිහත්වීම

මෙම සියලු කූටෝපායන්ට එරෙහි ව, සසප පමනක් ආරම්භයේ සිට ම මහජන නැගිටීම සඳහා විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේය.

මහජන නැගිටීම ආසන්නයේ, වර්ධනය වන මහජන විරෝධය මහජන ව්‍යාපාරයක් බවට වර්ධනය වීම පුර්වාපේක්ෂා කරමින්, 2022 මාර්තු 30 වන දින සසප “ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ කුරිරු කප්පාදු පියවර පරාජය කරනු! සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කරනු” යන මාතෘකාව යටතේ ප්‍රකාශයක් නිකුත් කලේය. “මෙම කප්පාදු පියවරයන්ට එරෙහි ව සටන් කිරීමට මූලිකත්වය ගන්නා ලෙස” සහ “සමාජවාදී ප්‍රතිපත්ති” වලින් සන්නද්ධව “කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන ලෙස” එය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ගාලු මුවදොර වාඩිලෑමට දින දෙකකට පෙර, 2022 අප්‍රේල් 7 වන දින, සසප “ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු!…” යන හිසින් ප්‍රකාශයක් නිකුත් කලේ ය. “ගෝඨා ගෙදර යනු!” යන විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට සහාය පල කරමින්, “නමුත් ඔහු වෙනුවට ආදේශ කල යුත්තේ කුමක්ද?” යන ප්‍රශ්නය  සසප කෙලින්ම මතු කලේ ය. විප්ලවවාදී සමාජවාදී විකල්පය ලෙස කම්කරු පන්තිය සඳහා සසප පැහැදිලි දේශපාලන වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ ය.

පෙසපයේ සහාය ඇති ව ගාලු මුවදොර විරෝධතා භූමියේ සමහර කන්ඩායම් විසින් නිකුත් කරන ලද “දේශපාලනය එපා” යන ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝගයට, සසප සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) අභියෝග කලහ. ඔවුන්ගේ විකල්ප සමාජවාදී වැඩපිලිවෙල මහජන අවධානයට ලක් වූ බැවින් මෙම කන්ඩායම්වලින් සමහරක් සසප සහ සසජාතශි සාමාජිකයින්ට එම ස්ථානයේ දේශපාලනිකව මැදිහත් වීම කායික ව තහනම් කලහ.

සසජාතශි සාමාජිකයන් සටන්පාඨ පුවරු සහිතව සාකච්ඡාවල යෙදෙමින් [ලෝසවෙඅ]

ජවිපෙ/ජාජබ, සජබ සහ පෙසප “අන්තර්කාලීන ආන්ඩුවක්” සඳහා කල ඉල්ලීම සසප තරයේ ප්‍රතික්ෂේප කලේ ය. දේශපාලන අර්බුදය විසඳීම සඳහා “සර්ව පාක්ෂික ගිවිසුමකට” එලඹීමේ සාකච්ඡාවලට එක්වන ලෙස ආරාධනා කරමින් සජබ 2022 ජූලි 5 වන දින සසපට ලිවී ය. සසප ප්‍රධාන ලේකම්වරයා ලෙස මෙම ලිපියේ ලේඛකයා ආරාධනය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කලේ, “සජබ විසින් යෝජනා කරන ලද ‘සර්ව පාක්ෂික ආන්ඩුවක්’ මගින් හෝ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් යෝජනා කරන ලද ‘එක්සත් ආන්ඩුවක්’ මගින් මෙම ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයට නව මුහුනුවරක් සවි කිරීමෙන්” අර්බුදය විසඳිය නොහැකි බවයි.

2022 ජූලි 20 වන දින ප්‍රධාන ප්‍රකාශයක් නිකුත් කරමින් සසප, කම්කරුවන්ගේ සහ ගැමි ජනයාගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවලින් තේරී පත් වූ නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා ඓතිහාසික ව්‍යාපාරයක් දියත් කලේ ය.

ප්‍රකාශය මෙසේ පැහැදිලි කලේ ය:

“අන්තර්කාලීන ආන්ඩුවක් සඳහා වන සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමේ දී, දේශපාලන සංස්ථාපිතයේ සහ ධනේශ්වර රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රනවලින් සම්පූර්නයෙන්ම ස්වාධීන ව කම්කරු පන්තිය තමන්ගේම දේශපාලන බල මධ්‍යස්ථානයක් ස්ථාපිත කල යුතු බව සසප අවබෝධ කර ගත්තේ ය.”

මෙම සම්මේලනය සූරා කෑමට ලක් වූ ජනතාවට අව්‍යාජ හඬක් සපයන විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස දැක ගත් සසප පුලුල් වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ ය: සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම; ජාමූඅ කප්පාදු ප්‍රතික්ෂේප කිරීම; ධනපතියන්ගේ ධනය අත්පත් කර ගැනීම; බැංකු සහ ප්‍රධාන සංගත කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම; ගොවීන්ගේ නය අවලංගු කිරීම සහ පොහොර සහනාධාර නැවත ස්ථාපිත කිරීම; සහ ජීවන වියදමට සරිලන වැටුප් සහිත ව සැමට රැකියා සහතික කිරීම. මෙම පියවර ක්‍රියාත්මක කිරීම සඳහා සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැප වූ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් අවශ්‍ය වේ.

සෝවියට් සභාවල සමකාලීන සාම්‍යය ලෙස ක්‍රියාකාරී කමිටු වර්ධනය වී අරගලයේ දී එහි ශක්‍යතාව තහවුරු කරමින්, ස්වාධීන කම්කරු පන්තික දේශපාලන බලයේ අවයව බවට පත්වන බව, 1917 රුසියානු විප්ලවයේ පාඩම් විදහා දක්වමින්, සසප පැහැදිලි කලේය. 

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ සගයන් වන්නේ විපක්ෂයේ ධනේශ්වර පක්ෂ නොව ජාත්‍යන්තර ව ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් බව පක්ෂය අවධාරනය කල අතර, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය කරන ලෙස ඉල්ලා සිටියේය.

ප්‍රකාශය තවදුරටත් මෙසේ පැවසීය:

“වසර හැටකට පෙර පැවතියාට වඩා අද දින ලංකාවේ හා ගෝලීය ව ධනවාදයේ අර්බුදය ගැඹුරු ය. පසුගිය මාස තුනෙහි මහජන නැගිටීම ධනේශ්වර පාලනය අරටුවට ම සොලවා දමා ඇත. එහෙත් ලියොන් ට්‍රොට්ස්කි වරක් පැහැදිලි කල පරිදි, ධනේශ්වරයෙහි ශක්තිය වන්නේ එය එහි දුර්වලත්වය අවබෝධ කරගැනීමයි. දේශපාලන බලය ධනේශ්වරයේ හස්තයෙහි තැබුව හොත්, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය පනවමින් හා ඕනෑ ම මහජන විරුද්ධත්වයක් තලා දමමින්, එය තම අවශ්‍යතා නිර්දය ව ආරක්ෂා කරනු ඇත.”

“කම්කරු පන්තියේ දුර්වලත්වය වන්නේ, එය තම ශක්තිය අවබෝධ කර නො ගැනීම බව ද ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ය. මහා මහජන විරෝධතාවන්, දැවැන්ත සටන්කාමීත්වයක්, අධිෂ්ටානයක් හා ධෛර්යය සම්පන්න බවක් ප්‍රදර්ශනය කර ඇත. එහෙත් වැඩකරන ජනයා දේශපාලන සංස්ථාපිතයට ගැට ගැසී, ධනපති අන්තර්-කාලීන ආන්ඩුවක් කෙරෙහි විශ්වාසය තැබුවහොත්, අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ විනාශයකි.”

කම්කරු පන්තිය ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් බිඳී සසප ඉදිරිදර්ශනය ක්‍රියාත්මක කිරීම පිලිගැනීමට අපොහොසත් වීම විනාශකාරී ප්‍රතිවිපාකවලට හේතු විය. මහජන නැගිටීම තුල සසප ප්‍රතිපත්තිමය දේශපාලන මැදිහත්වීමේ වැදගත්කම නිශේධනය නොවූ අතර, කම්කරු පන්තිය විසින් සසප ඉදිරිපත්කල දේශපාලන වැඩපිලිවෙල මත මෙම අරගලය ඉදිරියට ගැනීමේ හදිසි අවශ්‍යතාවය එමගින් අවධාරනය කෙරුනි.

වික්‍රමසිංහ පෙර නොවූ විරූ මර්දනයක් මුදා හරිමින්, හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත් කලේ ය, විරෝධතාකරුවන්ට එරෙහි ව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කලේ ය, සහ ගාලු මුවදොර කඳවුර ප්‍රචන්ඩ ලෙස විසුරුවා හැරීම සඳහා සන්නද්ධ පොලිස් සහ හමුදා නිලධාරීන් 1,000 ක් යැවී ය. ප්‍රධාන අංශවල වැඩ වර්ජන තහනම් කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා පනත ද ඔහු ක්‍රියාත්මක කල අතර ජාමූඅ හි ම්ලේච්ඡ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේ ය.

දේශපාලන සංස්ථාපිතයේ සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ කෙරෙහි වැඩුනු මහජන කෝපය ගසාකමින් බලයට පත් වූ ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ, අද දින වැඩ කරන ජනතාව ඔවුන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි දැඩි ප්‍රහාරවලට මුහුන දී සිටිති.

කම්කරු පන්තිය සසප ඉදිරිපත් කල විප්ලවවාදී ඉදිරිදර්ශනය පිලිගැනීමට අපොහොසත් වීම එහි නිසග දුර්වලත්වයක් නොවේ; එය බෙහෙවින් ම, ස්ටැලින්වාදී සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන් සහ පැබ්ලෝවාදය වැනි විවිධ සංශෝධනවාදී ධාරා විසින් දශක ගනනාවක් තිස්සේ සිදු කරන ලද සාපරාධී පාවා දීම් හරහා කම්කරු පන්තිය තුල සමාජවාදී සහ මාක්ස්වාදී සංස්කෘතිය සහ විඥානය විනාශ කිරීමේ ඛේදජනක ප්‍රතිවිපාකයන් හි ප්‍රතිඵලයකි. ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සමාජවාදී සහ මාක්ස්වාදී සංස්කෘතිය නැවත ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කමිටුව ගත් මුලිකත්වයන්ගේ දැවැන්ත වැදගත්කම මෙයින් අවධාරනය කෙරේ.

2022 නැගිටීමේ සිට ජවිපෙ/ජාජබ ආන්ඩුව දක්වා වැඩ කරන ජනතාව අත්විඳ ඇති සියලු අත්දැකීම්, රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට මඟ පෙන්වූ, ට්‍රොට්ස්කි විසින් විස්තාරනය කරන ලද නොනවතින විප්ලව න්‍යායේ වලංගුභාවය සනාථ කර ඇත. අධිරාජ්‍යවාදයේ සහ ලෝක සමාජවාදී විප්ලවයේ යුගයේ දී, ශ්‍රී ලංකාව වැනි ප්‍රමාද වූ ධනේශ්වර වර්ධනයන් ඇති රටවල කිසිදු ධනේශ්වර හෝ සුලු ධනේශ්වර පක්ෂයකට ප්‍රගතිශීලී භූමිකාවක් ඉටු කල නොහැකි බව එහි සඳහන් විය. ඔවුන් ඓන්ද්‍රීය ව අධිරාජ්‍යවාදයට බැඳී සිටින අතර කම්කරු පන්තියේ විප්ලවවාදී බලයට බිය වෙති.

ලෙනින් (1920 මැයි මාසයේ දී) ජනකායක් අමතමින්, වේදිකාවේ ඊලඟට ට්‍රොට්ස්කි සිටගෙන සිටී

ජවිපෙ, එහි අතීත අධිරාජ්‍ය විරෝධී වාචාලකම ඉවත දමමින්, එක්සත් ජනපද නායකත්වයෙන් යුත් චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට කොලඹ සමීප ව ඒකාග්‍ර කෙරුනු වික්‍රමසිංහ ආන්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ම ඉදිරියට ගෙන යයි. ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ නොවීමෙන් සහ හෙලා නොදැකීමෙන් එයට දුස්සහාය ලබා දෙයි. 

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හරහා, අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය විනාශකාරී තුන්වන ලෝක යුද්ධයකට ඇද දමමින් සිටී. ජවිපෙ/ජාජබ ආන්ඩුව, ජාමූඅ විසින් නියම කරන ලද දැඩි කප්පාදු පියවරයන්ට අමතර ව, ලොව පුරා අනෙකුත් ආන්ඩු මෙන්ම, වැඩ කරන ජනතාව මත යුද්ධයේ දැවැන්ත ආර්ථික බර පටවමින් සිටී. මෙම වර්ධනයන් ජාත්‍යන්තර ව සිදු වෙමින් පවතින පරිදි, ශ්‍රී ලංකාවේ කම්කරු පන්ති අරගලවල නැගීමකට තුඩු දෙයි.

ඉදිරියේදී ඇති දැවැන්ත පන්ති සටන් සඳහා සූදානම්වනු වස් කම්කරුවන් සහ තරුනයින් විසින්, 2022 තීරනාත්මක පාඩම් දැන් දැනුවත් ව උකහා ගත යුතු ය.

ඉගෙන ගත යුතු පාඩම් 

  1. පලමුව, ධනේශ්වර පන්තියේ කිසිදු කන්ඩායමකට හෝ එහි දේශපාලන නියෝජිතයින්ට වැඩ කරන ජනතාව මුහුන දෙන අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් ලබා දිය නොහැක.
  2. දෙවනු ව, කම්කරු පන්තිය, ධනේශ්වර පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම සංවිධානවලින් ස්වාධීන වූ සහ ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය වන ක්‍රියාකාරී කමිටු, වැඩබිම්, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශවල ගොඩනැගිය යුතු ය. මෙම ක්‍රියාකාරී කමිටු මත පාදක ව, ගම්බද ජනතාව පෙලගස්වා ගනිමින්, දේශපාලන බලය සඳහා සටන් වදින කම්කරුවන්ගේ දේශපාලන බල මධ්‍යස්ථානයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනය ගොඩනගා ගත යුතු ය. 
  3. තෙවනු ව, කප්පාදුව, ආඥාදායකත්වය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය ජාතික පදනමක් මත දියත් කල නොහැක. ඒ සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ වර්ධනය හරහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ගොඩ නැගීම සහ ලෝක සමාජවාදය සඳහා සටන අවශ්‍ය වේ.
  4. හතරවනු ව, නැගිටීමේ අත්දැකීම් මගින් තහවුරු වූයේ සමාජවාදී විඥානය මහජන අරගලවලින් ස්වයංසිද්ධ ව මතු නොවන බවයි. තීරනාත්මක කාරනය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික හා මූලෝපායික පාඩම් වලින් සන්නද්ධ විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

ලොව පුරා විප්ලවවාදී අරගලය සඳහා වෛෂයික කොන්දේසි වේගයෙන් පරිනත වෙමින් පවතී. අධිරාජ්‍යවාදී යුද්ධය, ධනේශ්වර බිඳ වැටීම සහ වැඩිවන සමාජ අසමානතාවය මිලියන සංඛ්‍යාත කම්කරුවන් ජාත්‍යන්තර ව අරගලයට තල්ලු කරමින් සිටී.

අවසාන වශයෙන්, 2022 නැගිටීමේ වැදගත්ම පාඩම වන්නේ කම්කරු පන්තියේ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී නායකත්වය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමේ අවශ්‍යතාවයයි. එනම්, සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමට එක්වීමයි.

වැඩිදුර කියවන්න

Loading