ජවිපෙ/ජාජබ ආන්ඩුව මහජන විරෝධය නොතකා ඉහල අධිකරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පියවර ගනී

ජවිපෙ/ජාජබ ආන්ඩුව රටේ ඉහල ම අධිකරනවල දිගු කාලීන පුරප්පාඩු පිරවීම සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අතර ම ඉහල අධිකරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට සූදානම් වෙමින් සිටී. මෙම යෝජනාව, අධිකරනය සහ එහි “ස්වාධීනත්වය” අඩපන කිරීමට බලපෑම් කිරීමේ උත්සාහයක් බව පෙන්නුම් කරමින් නීති කවයන් තුල වැඩෙන විරෝධයක් ජනිත කර තිබේ. කෙසේ වෙතත්, ආන්ඩුව මෙම උත්සුකයන් මුලුමනින් ම නොසලකා හැර ඇත.

ආන්ඩුවේ පියවර පිලිබඳ එල්ල වූ විවේචන සම්බන්ධයෙන් මාස දෙකකට ආසන්න කාලයක් නිහඬ ව සිටීමෙන් පසු, කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ජූලි 14 වන දින සතිපතා මාධ්‍ය හමුවේ දී පිලිගත්තේ, ඇත්ත වශයෙන් ම, ඉහල අධිකරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිලිබඳව කැබිනට් මන්ඩලය සාකච්ඡා කර ඇති බවයි. අවසන් තීරනයක් ගැනීමට පෙර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කැබිනට් මන්ඩලය අධිකරන අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බව ඔහු තවදුරටත් පැවසී ය. මහජන විවේචන පිලිබඳව ඔහු වචනයක්වත් කතා කලේ නැත.

මැයි 25 වන දින, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (බීඒඑස්එල්) අධිකරන අමාත්‍ය හර්ෂන නානායක්කාර වෙත ලිපියක් යවමින්, ශ්‍රේෂ්ඨාධිකරනයේ සහ අභියාචනාධිකරනයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ආන්ඩුව හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීමට සූදානම් වන බවට වාර්තා පිලිබඳ තම කනස්සල්ල පල කලේ ය.

අධිකරන අමාත්‍ය හර්ෂන නානායක්කාර [ඡායාරූප: ෆේස්බුක්/හර්ෂන නානායක්කාර] [Photo: Facebook/Harshana Nanayakkara]

ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇති ව විනිසුරුවරුන් පත් කිරීමට ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය වගකීම තිබිය දී ත්, ශ්‍රේෂ්ඨාධිකරනයේ සහ අභියාචනාධිකරනයේ පුරප්පාඩු හතරක් බැගින් පිරවීමට ආන්ඩුව අපොහොසත් වීම කෙරෙහි ද එය තම අවධානය යොමු කලේ ය.

මාසයකට පමන පසු, ජුනි 30 වන දින, නීතිඥ සංගමය නැවතත් ජනාධිපති දිසානායක වෙත ලිපියක් යවමින්, “අධිකරනයේ ස්වාධීනත්වයට සහ යුක්තිය පසිඳලීම කෙරෙහි මහජන විශ්වාසයට එවැනි පියවරක් ඇති කල හැකි අහිතකර බලපෑම්” පැහැදිලි කලේ ය.

නීතිඥ සංගමයට සහාය දක්වමින්, පොදුරාජ්‍ය මන්ඩලීය නීතිඥ සංගමය විසින් ද ඒ හා සමාන ව කනස්සල්ල පල කර ඇත. මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් නියෝජනය කරන අධිකරන සේවා සංගමය, ජූලි 11 වන දින රැස් වූ විට ආන්ඩුවේ යෝජනාව ඒකමතික ව ප්‍රතික්ෂේප කලේ ය. තම කිසිදු විමසීමකට පිලිතුරු දී නොමැති බව ආන්ඩුවට මතක් කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජූලි 16 වන දින තම කනස්සල්ල පල කරමින් තවත් ලිපියක් ලිවී ය.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ඉහල අධිකරන විනිසුරුවරුන් වයස අවුරුදු 65 දී විශ්‍රාම යා යුතු වන අතර, අභියාචනාධිකරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63කි. ආන්ඩුව විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට අදහස් කරන බව වාර්තා වේ. ආන්ඩුව මෙම පියවර ගැනීමට තීරනය කරන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කල යුතු ය.

ආන්ඩුවේ සැලසුම් සාධාරනීකරනය කිරීමට උත්සාහ කරමින් ජයතිස්ස කියා සිටියේ, කැබිනට් මන්ඩලය, වෘත්තිකයන් රට හැර යාම, රට තුල ආයු අපේක්ෂාව වැඩි වීම සහ අධිකරන කටයුතු ප්‍රමාද වීම සැලකිල්ලට ගෙන ඇති බවත්, එම යෝජනාව අධිකරනය තුලින් ම පැමින ඇති බවත්‍ ය.

ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති වුව ද, ආන්ඩුව මෙම පියවර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන සිටින බව පෙනෙන අතර, මෙම වසර අවසානයේ විශ්‍රාම යාමට නියමිත වත්මන් අගවිනිසුරුවරයා තවත් වසර දෙකක් ධුරයේ තබා ගැනීමට ආන්ඩුවට අවශ්‍ය බව ඇඟවෙයි. විවේචන නොසලකා හරිමින්, මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීම සඳහා ආන්ඩුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතරයක් භාවිතා කරනු ඇත.

කොලඹ ප්‍රමුඛ චින්තන පර්ෂදයක් වන විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය ජුනි 15 දිනැති නිවේදනයක මෙසේ ලිවී ය: “ධූරයේ සිටින නිශ්චිත පුද්ගලයින්ට හෝ ඔවුන්ගේ ප්‍රතිපත්තියට (මෙම අවස්ථාවේ දී වත්මන් ජනාධිපති සහ අගවිනිසුරු) ප්‍රතිලාභ සැලසෙන පරිදි සකස් කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ධූරයේ සිටින අගවිනිසුරුවරයෙකුගේ ධුර කාලය දීර්ඝ කරන විට, එය අනිවාර්යයෙන් ම අධිකරනය කෙරෙහි විධායකයේ බලපෑම පිලිබඳ හැඟීම සහ අවදානම ඇති කරයි...”

ඉහල අධිකරනවල පවතින පුරප්පාඩු පිලිබඳව හදිසි පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂයේ ඉල්ලීම් අවහිර කිරීමට පාලක පක්ෂය තම පාර්ලිමේන්තු බහුතරය භාවිතා කලේ ය. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල ඉල්ලීමක් ක්‍රියා පටිපාටිමය හේතූන් මත ප්‍රතික්ෂේප කරන ලදී.

පාලක පක්ෂය මෙම ගැටලුව පිලිබඳ ඕනෑ ම සාකච්ඡාවක් අවහිර කර ඇති අතර, විරුද්ධ පක්ෂ “අධිකරනයේ ස්වාධීනත්වය” සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටීමට උත්සාහ කරයි.

මෙම සෑම පක්ෂයකට ම ඇත්තේ, තමන් බලයේ සිටිය දී, අධිකරනය තම න්‍යාය පත්‍රවලට යටත් කිරීමට උත්සාහ කිරීම, අධිකරන පත්වීම් හසුරුවා ගැනීම සහ අධිකරන තීන්දු තම ආන්ඩුවේ අවශ්‍යතාවලට පටහැනි වූ සෑම අවස්ථාවක ම විනිසුරුවරුන්ට පහර දීම පිලිබඳ වාර්තාවකි.

ජනාධිපතිවරයාගේ අතේ පුලුල් බලතල සංකේන්ද්‍රනය කරමින් සහ නිදහසින් පසු ස්ථාපිත කරන ලද සීමිත ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාවන් පවා දුර්වල කරමින්, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, 1978 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කලේ ය.  

1980 දශකයේ මුල් භාගයේ දී, සාමකාමී ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දුවක් ලබා දීමෙන් පසු, ජනාධිපති ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මැරයන් විසින් තම නිවෙස්වලට පහර දීම ඇතුලු බිය ගැන්වීම්වලට මුහුන දීමට විනිසුරුවරුන්ට සිදු විය. එවකට අගවිනිසුරුට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙන ඒමට ද එය අසාර්ථක උත්සාහයක් ගත්තේ ය.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී සම්ප්‍රදාය දිගට ම පැවතුනි. 1999 දී, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් සිටිය දී, ඇගේ පරිපාලනයට දේශපාලනික ව පක්ෂපාතී යැයි සැලකෙන පුද්ගලයෙකු වන සරත් එන්. සිල්වා අගවිනිසුරු ලෙස පත්කර ගනු ලැබුවේ, ඔහුට එරෙහි ව පුලුල් ලෙස පැතිර ගිය විෂමාචාර චෝදනා නොතකමිනි. 

මහින්ද රාජපක්ෂ අධිකරන පත්වීම් හසුරුවා ගැනීමෙන් සහ 2013 දී අගවිනිසුරු ශිරානි බන්ඩාරනායකට දෝෂාභියෝගය ගෙන ඒමෙන් මෙම ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන ගියේ ශ්‍රේෂ්ඨාධිකරනය ඔහුගේ ආන්ඩුවේ ව්‍යවස්ථාදායක පියවරකට එරෙහි ව තීන්දුවක් ලබා දීමෙන් පසු ව ය.

තම පූර්වගාමීන් මෙන්, දිසානායක ද ගෝලීය ධනවාදී කැලඹිලි මගින් උත්සන්න වූ ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදයේ නව කාල පරිච්ඡේදයක දී එම මාවතේ ම ගමන් කරයි.

දිසානායක ආන්ඩුව, රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ප්‍රතිස්ථාපනය කිරීම සඳහා යැයි කියමින්, නව ත්‍රස්ත විරෝධී නීතියක් ඇතුලු නව මර්දනකාරී නීති ගෙන ඒමට උත්සාහ කරන අතර, මාධ්‍ය නිදහස අවහිර කිරීම සඳහා මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීමට උත්සාහ කරයි. එම තතු තුල, මෙම වර්ධනයන් හුදකලා නීති ප්‍රතිසංස්කරන ලෙස තේරුම් ගත නොහැක. ගැඹුරු වන ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ගනු ලබන මෙම පියවර ධනේශ්වර රාජ්‍යය ශක්තිමත් කිරීම සඳහා දිසානායක ආන්ඩුව ගෙන යන පුලුල් සූදානමේ කොටසකි.

පසුගිය පරිපාලනය කෙරෙහි පැතිර ගිය සතුරුකම උපයෝගී කර ගනිමින් බලයට පැමිනි ජවිපෙ/ජාජබ, තම මැතිවරන පොරොන්දු සියල්ල ම පාහේ අතහැර දමා, ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලේ වඩාත් ම විශ්වාසවන්ත ක්‍රියාවට දමන්නා ලෙස මතු වී සිටියි. එය පැහැර හරින ලද විදේශ නය ආපසු ගෙවීමට සහ මහා ව්‍යාපාරවල ලාභ ඉහල නැංවීම සඳහා කම්කරුවන්ගෙන් සහ දුප්පතුන්ගෙන් අයකර ගැනීම සඳහා රාජ්‍ය වියදම් කප්පාදු කරමින් සහ බදු වැඩි කරමින් කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට පහර දීම තීව්‍ර කරමින් පවතී.

ඊලඟ වසරේ දී, රාජ්‍ය ව්‍යවසායන් සඳහා සැබෑ ප්‍රතිසංස්කරන, එනම් පෞද්ගලීකරන සහ වානිජකරන වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට ආන්ඩුවට සිදු වනු ඇත.  

ලෝක බැංකුවට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22 ක් පමන දැනටමත් ජාතික දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන අතර, තවත් මිලියන ගනනක් එම තත්වයට ඇද වැටීමට ආසන්න මට්ටමේ ජීවත් වෙති. පාසල් සිසුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා මන්දපෝෂනයෙන් පෙලෙති. රජයේ රෝහල්, ඖෂධ, උපකරන සහ වෛද්‍ය නිලධාරීන්ගේ අඛන්ඩ හිඟයකට මුහුන දෙන අතර රජයේ පාසල් දීර්ඝ කාලීන ගුරු හිඟයකට සහ පිරිහෙන පහසුකම්වලට මුහුන දෙයි.

මෙම අඛන්ඩ ප්‍රහාර සාමකාමී ව සිදු කල නොහැකි බව දිසානායක ආන්ඩුව හොඳින් දනී. පසුගිය වසරේ, කම්කරුවන් සහ සිසුන් අතර විරෝධය මැඬපැවැත්වීම සඳහා ආන්ඩුව මර්දනකාරී බලතල, පොලිස් සහ හමුදා යෙදවීම් මෙන් ම වෘත්තීය සමිති නිලධරයන්ගේ පාවා දීම් ද භාවිතා කලේ ය.

අර්ථභාරී ව, ජවිපෙ/ජාජබ නායකයින්, තම “සංවර්ධන කටයුතු” සම්පූර්න කල හැකි වන පරිදි තම පාලනය දිගට ම කර ගෙන යාමට සිදු වනු ඇතැයි යන අදහස ඉදිරිපත් කර ඇත. පසු ගිය වසර දෙකකට ආසන්න කාලය තුල ආන්ඩුව ඔප්පු කර ඇති පරිදි, මෙම සංවර්ධන කටයුතු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට සේවය කිරීම සඳහා ජාමූඅ හි වැඩපිලිවෙල සමඟ ඉදිරියට යාම හැර අන් කිසිවක් නොවේ.

අධිකරනයේ ඉහල ම තලවලට ආන්ඩුව සිදු කිරීමට අදහස් කරන වෙනස්කම්, ඒකාධිපති පාලනයක් දෙසට හැරීමේ කොටසක් ලෙස, තම පාලනයට එරෙහි ඕනෑ ම නීතිමය හෝ ව්‍යවස්ථාමය අභියෝගයක් නැවැත්වීමේ උත්සාහයක් පෙන්නුම් කරයි.

මෙම වර්ධනයන් ශ්‍රී ලංකාවට අනන්‍ය නොවේ. අර්බුදයක සිටින ධනවාදයේ කේන්ද්‍රස්ථානය වන ඇමරිකා එක්සත් ජනපදය තුල මෙම තියුනු හැරීම පැහැදිලි ව පෙන්නුම් කර ඇති අතර, එය ගෝලීය යුද්ධය උත්සන්න කරමින්, රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කරයි. ෆැසිස්ට්වාදී ඒකාධිපතියෙකු විය හැකි ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක අධිකාරිය පුලුල් කරමින් ව්‍යවස්ථාමය සම්මතයන් සහ සීමා කිරීම් වලට වල කපමින් සිටියි.

පාලක පන්ති කප්පාදු පැනවීමට සහ වැඩෙන කම්කරු පන්තියේ විරුද්ධත්වය මර්දනය කිරීමට සූදානම් වන විට, හින්දු ආධිපත්‍යවාදී අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දියාවේ ද ඇතුලු ව ජාත්‍යන්තර ව සමාන ප්‍රවනතා මතු වෙමින් තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අපකීර්තිමත් විරුද්ධ පක්ෂ ඇතුලු දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කන්ඩායමකට භාර දිය නොහැක. ආන්ඩුවට කරන කිසිදු ආයාචනයක් මගින් එහි ගමන් මග වෙනස් නොකෙරෙනු ඇත.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරනය ලෙස බලතල වෙන් කිරීම ධනවාදය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ප්‍රධාන කුලුනු බව පෙන්වා දී ඇත. “සාමකාමී කාලවල දී” පවා මෙම අපක්ෂපාතීත්වය ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමට සීමා වේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ජාමූඅ හි කප්පාදුවට සහ ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැකි ය.

කම්කරුවන්, තරුනයින් සහ ග්‍රාමීය දුප්පතුන් සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම් ව, දකුනු ආසියාව පුරා සහ ජාත්‍යන්තර ව කම්කරුවන් සමඟ කම්කරු බලය ස්ථාපිත කිරීමේ සහ සමාජවාදය සඳහා වන සටනේ දී එක්සත් වෙමින් තමන්ගේ ම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගත යුතු ය. 

Loading