[මෙය Sri Lankan educators protest low pay and impossible working conditions යන මැයෙන් 2026 අගෝස්තු 08 ඉංග්‍රීසියෙන් පල කෙරුනි.]
උසස්වීම් සහ වැටුප් වර්ධක ලබා දීමේ ප්‍රමාදයන් අවසන් කරන ලෙසත්, පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම්වලින් මෙතෙක් ගෙවා නොමැති තුනෙන් දෙක ගෙවන ලෙසත් ඉල්ලා අගෝස්තු 4 වැනි දා රජයේ පාසල් ගුරුවරු 200කට ආසන්න පිරිසක් කොලඹ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) සිය මැතිවරන ප්‍රචාරක උද්ඝෝෂන අතරතුර මෙම ඉල්ලීම් ඉටු කරන බවට පොරොන්දු විය. එහෙත් 2024 මැතිවරන ජයග්‍රනයෙන් පසු එය එම පොරොන්දු අතහැර දමා, කම්කරුවන්ට සහ දුප්පතුන්ට එරෙහි ප්‍රහාර තව දුරටත් තීව්‍ර කරමින් සිටියි.
අඟහරුවාදා පැවති මෙම විරෝධතාව, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වීමෙන් පසු ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය (ගුවිවෘසස) විසින් සංවිධානය කල පලමු වෘත්තීය ක්‍රියාමාර්ගය විය. වැටුප් සහ සේවා කොන්දේසිවලට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධ ව සටන් කිරීමට ඔවුන් අතර වැඩි වන පීඩනයක් පවතින නමුත්, වෘත්තීය සමිති එම පීඩනයට අනුව ගුරුවරුන් සංවිධානය කර නොමැති අතර, විරෝධතාවේ සහභාගීත්වය හිතාමතා ම සීමා කිරීමට කටයුතු කලේ ය.
රාජ්‍ය අංශයේ ගුරුවරුන් සංඛ්‍යාව 240,000කට ආසන්න වුව ද, ඔවුන්ගෙන් සුලුතරයක් පමනක් වෘත්තීය සමිති සාමාජිකයන් වීම වෘත්තීය සමිති නිලධරය පිලිබඳ පුලුල් ව පවතින අවිශ්වාසය පිලිබිඹු කරයි.
පසුගිය වසර දෙක පුරා, වෘත්තීය සමිති නායකයන් කර්මික ක්‍රියා කැඳවන බවට නැවත නැවතත් හිස් තර්ජන කර ඇති අතර, පසු ව ආන්ඩුව ගුරුවරුන් මුහුන දෙන ගැටලු විසඳීමට “පොරොන්දු වී ඇති” බව පවසමින් එම ක්‍රියාමාර්ග ඉල්ලා අස්කර ගෙන ඇත. වෘත්තීය සමිති මෙ ලෙස විරෝධය මැඬ පවත්වන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ඉල්ලා සිටින කප්පාදු ක්‍රියාමාර්ග ආන්ඩුව ක්‍රියාත්මක කර තිබේ.
පැයකට ආසන්න කාලයක් පැවති විරෝධතාවයෙන් පසු, වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකු අධ්‍යාපන අමාත්‍යවරිය මෙන් ම අග්‍රාමාත්‍යවරිය ද වන හරිනි අමරසූරිය හමුවීමට උත්සාහ කරමින් අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුලු වූහ. ඇය එහි නොසිටි බැවින්, ඔවුහු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා කලහ.
සාකච්ඡාවෙන් පසු ආපසු පැමිනි ලංකා ගුරු සංගමයේ (ලගුරු) ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් විරෝධතාකරුවන් අමතා කතා කලේ ය. ආන්ඩුව වගකීමෙන් මුදා හැරීමට උත්සාහ කරමින් ඔහු කියා සිටියේ, ගුරුවරුන්ගේ ඉල්ලීම් රාජ්‍ය සේවා වැටුප් කොමිෂන් සභාව (රාසේකොස) වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශ නිලධාරීන් අසමත් වී ඇති බවයි. අගෝස්තු 11 වැනි දා පැවැත්වීමට නියමිත රාසේකොස සාකච්ඡාවට පෙර ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස තමන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ස්ටාලින් පැවසී ය.
මේ වසරේ අයවැය තුලින් ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ලගුස නායකයා ප්‍රකාශ කලේ ය.
ගුවිවෘසස නියෝජනය කරන ශ්‍රි ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් නාලක ද සිල්වා නැමැත්තෙක් “හැමදා ම ගුරුවරු රවට්ටන්න බෑ. සල්ලි නැත්නම් දෙන්න නැති එක වෙන ම කතාවක්” යයි කියා සිටියේ ය.
සමිති නායකයා වැඩිදුරටත් පැහැදිලි නොකල මෙම ප්‍රකාශය, රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට මුදල් නොමැති බවට ආන්ඩුව විසින් කරන නරුම ප්‍රකාශවලට සමාන වේ. මේ අතර, විදේශ නය ආපසු ගෙවීමට සහ මහා ව්‍යාපාරිකයන්ට සහන ලබා දීමට කටයුතු කරන ආන්ඩුව, අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල නංවා ඇති අතර වැඩ කරන ජනතාව මත බදු ද පනවා ඇත.
ලගුස සහ ජවිපෙ විසින් පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) ඇතුලු වෘත්තීය සමිති 20කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය (ගුවිවෘසස) විසින් මීට පෙර කැඳවනු ලැබූ අවසන් ප්‍රධාන කාර්මික ක්‍රියාමාර්ගය වූයේ 2024 ජුනි 26–27 දෙ දින රටපුරා පැවති ලෙඩ නිවාඩු වර්ජනයයි. එය ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීමට යන්තම් මාස තුනකට පෙර පැවැත්විනි.
ආසන්න වශයෙන් ගුරුවරු, විදුහල්පතිවරු සහ උපදේශකවරු 250,000ක් රට පුරා මෙම වර්ජනයට සහභාගී වූහ. ජූනි 26 වැනි දා කොලඹට 10,000කට ආසන්න පිරිසක් රැස් වූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව පොලිසිය යොදවා ඊට ප්‍රතිචාර දැක්වී ය. පොලිසිය ජල ප්‍රහාර, කඳුලු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් ගුරුවරුන් දුසිම් ගනනකට තුවාල සිදු කලේ ය. මෑතක දී පැවති විරෝධතාව මෙන් ම, 2024 වසරේ ප්‍රධාන ඉල්ලීම් වූයේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද කර ඇති වැටුප් වැඩි වීම ලබා දීම සහ ගුරු හා විදුහල්පති සේවාවල උසස්වීම් ලබා දීමයි. එම වැටුප් වැඩි වීමෙන් ඉතිරි තුනෙන් දෙක, 2021 දී වෘත්තීය සමිති විසින් දින 100ක වැඩවර්ජනය පාවා දීමෙන් පසු බලයේ සිටි ආන්ඩු පොරොන්දු වූ නමුත් කිසිදා ලබා නොදුන් වැටුප් වැඩිවීමේ කොටසකි.
අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීම අවසන් කිරීම, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල අවසන් කිරීම යන 2024 දී ඉදිරිපත් කල ඉල්ලීම් දෙකක් වෘත්තීය සමිති අඟහරුවාදා පැවති විරෝධතාවයේ දී සම්පූර්නයෙන් ම අතහැර දැමුවේ ය. මෙම ප්‍රහාර එල්ල කිරීමේ දී වෘත්තීය සමිති නිලධරය ජවිපෙ/ජාජබ ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.
2024 දී පැවති විරෝධතාවල දී ජවිපෙ විසින් පාලනය කරන ලගුසේස හි නායක මහින්ද ජයසිංහ, “ජනතාවාදී ආන්ඩුවක් ගොඩනැගීමෙන් මෙම ගැටලු විසඳනු ඇත” යනුවෙන් ව්‍යාජ පොරොන්දුවක් ලබා දුන්නේ ය. බලයට පත් වී වසර දෙකක් ගත වී තිබිය දී, වික්‍රමසිංහ පාලනයට එරෙහි ගුරුවරුන්ගේ කෝපය ජවිපෙ සඳහා මැතිවරන සහයෝගයක් බවට හරවා යැවීමට උපකාර කල ජයසිංහට ආන්ඩුව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ධූරය පිරිනමා තිබේ.
ස්ටාලින් ද ජවිපෙ/ජාජබ ආන්ඩුවට සම්පූර්න සහයෝගය ලබා දී ඇති අතර, ගුරුවරුන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර ආරක්ෂා කර තිබේ. 2024 දෙසැම්බර් 2 වැනි දා, ආන්ඩුව බලයට පත් වී ටික කලකට පසු, ගුරුවරුන්ට වඩා අඩු වැටුපක් ලබන නමුත් එම කාර්යයන් ම ඉටු කරන පාසල් සංවර්ධන නිලධාරීන් 1,000කට ආසන්න පිරිසක් තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරන ලෙස ඉල්ලා සාමකාමී විරෝධතාවක් පැවැත්වූහ. ආන්ඩුව පොලිසිය යොදවා එම විරෝධතාව මිලේච්ඡ ලෙස විසුරුවා හැරීමටත්, සහභාගී වූ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කලේ ය. ස්ටාලින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම්වලට ප්‍රසිද්ධියේ විරුද්ධ වූයේ ඒවා ගුරු ව්‍යාවස්ථාව උල්ලංඝනය කරන බව කියා සිටිමිනි.
ජීවන වියදම වේගයෙන් ඉහල යාම සහ සේවා කොන්දේසි අඛන්ඩ ව පිරිහීම හමුවේ, ගුරුවරුන්ගේ අරගල මර්දනය කර සීමා කිරීම වෘත්තීය සමිතිවලට වැඩි වැඩියෙන් දුෂ්කර වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලෝක බැංකුවේ දත්ත අනුව, 2022 වසරේ සිට වේගවත් වූ උද්ධමනය හේතුවෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප් (සැබෑ වැටුප්) සියයට 33කට වැඩි ප්‍රමානයකින් ඛාදනය වී ඇත.
ජාමූඅ කප්පාදු වැඩසටහන මගින්, අත්‍යවශ්‍ය භාන්ඩ දුසිම් ගනනක් සඳහා බදු වැඩි කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා වන වියදම් කපා හැරීම සහ ගුරුවරුන් ඇතුලු රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කිරීම මගින් කම්කරු පන්තියට පහර වැදී ඇත. සිසුන් 50 ට අඩු පාසල් වසා දමා ඇති අතර නාගරික පාසල්වල පන්ති කාමර අධික ලෙස පිරී ඇත. පාසල් නඩත්තු වියදම් ගුරුවරුන් සහ දෙමාපියන් මත පැටවෙමින් තිබේ.
අඟහරුවාදා පැවති ගුරු විරෝධතාවයක දී, සිසුන් 3,000කට වැඩි සංඛ්‍යාවක් සිටින කොලඹ ප්‍රමුඛ පෙලේ පාසලක සංගීත ගුරුවරයෙක් තමන් මුහුන දෙන සේවා කොන්දේසි මෙසේ පැහැදිලි කලේ ය.
“දැනට පාසලේ සිටින එක ම සංගීත ගුරුවරයා මමයි. තවත් ගුරුවරුන් තුන්දෙනෙක්ට විතර පුරප්පාඩු තිබෙනවා. මට 6 ශ්‍රේනියේ සිට 13 ශ්‍රේනිය දක්වා ඉගැන්වීමට සිදුවෙලා තිබෙනවා. සමහර අවස්ථාවල ශ්‍රේනි දෙකක සිසුන්ට එකවර ඉගැන්වීමට සිදුවෙනවා. සතියකට කාලච්ඡේද 40ක් ඉගැන්විය යුතු වුවත්, දැන් පීරියඩ් 52ක් ඉගැන්වීමට සිදු වෙලා තිබෙනවා. වාර විභාගයේ පිලිතුරු පත්‍ර 450ක් පමන පරීක්ෂා කිරීමට මට සිදු වෙනවා. වැඩ ඉවරයක් නැහැ.”
“පාසලට බස් රථයක් මිල දී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට අපි කොන්සට් එකක් කෙරුවා. සංගීත තරගවලට මහන්සි වුනා මේ ආකාරයේ තවත් විවිධ වැඩවල නිරත වීමටත් අපට සිදු වෙනවා.”
ගනිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ සෞන්දර්ය විෂයන් සඳහා පවතින ගුරු හිගය මේ වන විට දැවැන්ත ලෙස ඉහල ගොස් තිබේ. නාගරික පාසල්වල ගුරු-සිසු අනුපාතය ඇතැම් අවස්ථාවල 1:50 දක්වා ඉහල ගොස් ඇත. අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසල් සිය ගනනකට අවශ්‍ය ගුරුවරුන් සහ සම්පත් ලබා දීමට ආන්ඩුව අසමත් වීම හේතුවෙන් ඒවා වසා දැමීමට අත හැර දමා තිබේ. පසුගිය වසර දෙක තුල මෙවැනි පාසල් රැසක පලමු ශ්‍රේනිය සඳහා එකදු ශිෂ්‍යයෙක් හෝ ඇතුලත් වී නොමැත.
සියලු ම වෘත්තීය සමිති දැනුවත් ව කටයුතු කරන්නේ කම්කරුවන්ගේ විරෝධය සීමා කිරීමට, මැඬ පැවැත්වීමට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට ජාමූඅ කප්පාදු පියවර බාධාවකින් තොර ව ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසීමටයි.
ජවිපෙට සම්බන්ධ ගුරු වෘත්තීය සමිතිය වන ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) අඟහරුවාදා පැවති විරෝධතාවට සහභාගී වූයේ නැත. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) සම්බන්ධ, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන එකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ද එම විරෝධතාවට සහභාගී නොවී ය. ඒගුසේස විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක එම විරෝධතාව “හොඳ දෙයක්, නමුත් ආන්ඩුව සමග හුරතල් වෙන එක නවත්වලා ඇත්තට පාරට එමු” යනුවෙන් සඳහන් කර තිබුනි. කෙසේ වෙතත්, මෙම සටන්කාමී වාග් ප්‍රහාරය පිටුපස කිසිදු සැබෑ ක්‍රියාමාර්ගයක් නොමැත. ඒගුසේස විසින් කිසිදු වැඩ වර්ජනයක් හෝ වෙනත් කාර්මික ක්‍රියාවක් ප්‍රකාශයට පත් කර නැත.
ගුරුවරුන් මුහුන දෙන අඩු වැටුප් සහ දැඩි සේවා කොන්දේසි, සමස්ත නිදහස් අධ්‍යාපන පද්ධතියට එල්ල කෙරෙන පුලුල් ප්‍රහාරයේ කොටසකි. එබැවින් මෙම ප්‍රහාරයන්ට ගුරුවරුන්ට සාර්ථක ව ප්‍රතිරෝධය දැක්විය හැක්කේ ධනේශ්වර ක්‍රමයට එරෙහි ව සහ සමාජය සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමනි. සැබෑ අරගලයක් ගෙන යාම සඳහා ගුරුවරුන්, ධනේශ්වර රාජ්‍යය සමග දහසකුත් හුයපටවලින් බැඳී සිටින වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයෙන් සහ ව්‍යාජ-වාම පක්ෂවලින් ස්වාධීන ව තමන්ගේම සටන් සංවිධාන—ක්‍රියාකාරී කමිටු—ගොඩනගා ගත යුතු ය.
වැඩිදුර කියවන්න
- ක්‍රියාකාරී කමිටුව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ගුරුවරුන්ට එරෙහි තර්ජන හෙලා දකී
- විරෝධතා දැක්වූ දහස් සංඛ්‍යාත ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේ පොලිසිය ම්ලේච්ඡ ලෙස පහර දෙයි
- වැඩි වැටුප් හා නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා රටපුරා පාසල් ගුරුවරු විරෝධතාවයේ යෙදෙති
- ජනාධිපති දිසානායක, පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීම ප්‍රතික්ෂේප කරයි
