[මෙය Fascist Ukrainian court sentences Bogdan Syrotiuk, socialist opponent of war, to 15 years in prison මැයෙන් 2026 අගෝස්තු 10 වැනි දා ඉංග්‍රීසි බසින් පල විය.]
අගෝස්තු 10 වන දින, 27 හැවිරිදි යුක්‍රේන සමාජවාදියෙකු සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයේ විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15 ක සිර දඬුවමක් නියම කෙරුනි. නිකොලෙව් කලාපයේ දිස්ත්‍රික් අධිකරනයක් විසින් ලබා දුන් තීන්දුව, ඔහුගේ දේපල සහ ඉලෙක්ට්‍රොනික උපාංග රාජසන්තක කිරීමට සහ ඔහුගෙන් ලබාගත් සමාජවාදී පොත්, පත්‍රිකා සහ ක්‍රියාමාර්ගික ලේඛන විනාශ කිරීමට ද නියෝග කරයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම තීන්දුව හෙලා දකින අතර බොග්ඩාන් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලෙස කම්කරුවන්, තරුනයින් සහ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නන්ගෙන් ඉල්ලා සිටී.
තීන්දුවට එරෙහි ව වහා ම අභියාචනා ගොනු කෙරෙනු ඇත. යුක්‍රේන නීතිය යටතේ, අභියාචනය දින 30 ක් ඇතුලත ගොනු කල යුතු ය. මෙම නීතිමය ක්‍රියාමාර්ගවලට සහාය දෙන ලෙසත් දඬුවම අවලංගු කරන ලෙස ඉල්ලා සිටින ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වල සියලු ම ආධාරකරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.
බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල හි (වයිජීබීඑල්) ප්‍රමුඛ සාමාජිකයෙකු වූ බොග්ඩාන්, “යුද නීතිය යටතේ ... අධි රාජද්‍රෝහී” චෝදනාවකට වරදකරු කරන ලදී. නමුත් නඩුවේ වාර්තාවේ කිසිදු රාජද්‍රෝහී ක්‍රියාවක් අඩංගු නොවේ - ඔත්තු බැලීමක් නැත, කඩාකප්පල් කිරීමක් නැත, කිසිදු හමුදා බලකායක් සමඟ සහයෝගයෙන් කටයුතු කර නැත. ඔහුට එරෙහි ව ඉදිරිපත් කරන ලද එක ම සාක්ෂිය වූයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ ලේඛන සහ ඒවා ප්‍රකාශයට පත් කල කතුවරුන් සමඟ ඔහු කල සන්නිවේදනයන් ය.
රජයේ විශේෂඥයින් බොග්ඩාන්ගේ ලිපි14 ක් පරීක්ෂා කර ඉන් හතක් අධිචෝදනා පත්‍රයට ඇතුලත් කලහ. එම හතෙන් එකක් වන, අනිවාර්ය බඳවා ගැනීම් මග හරින්නන් හමුදා කොමසාරිස්වරුන් විසින් ප්‍රචන්ඩ ලෙස පැහැර ගැනීම පිලිබඳ ලිපිය තුල අපරාධයක් සොයා ගැනීමට තමන්ගේ ම වෝහාරික කොමිසම අසමත් වූ පසු එම ලිපිය අත්හැර දැමීමට අධිකරනයට බල කෙරුනි. ඉතිරි ලිපි හය සඳහා බොග්ඩාන්ට වසර 15 ක සිර දඬුවමක් නියම කර ඇත.
කඩාකප්පල්කාරී ක්‍රියා පිලිබඳ චෝදනාවේ අන්තර්ගතය කුමක් ද? අධිකරනයට අනුව, එම ලිපිවල “යුක්‍රේනයේ නීත්‍යානුකූල ව තේරී පත් වූ දේශපාලන නායකත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් හඳුනා නොගැනීම”, “ෆැසිස්ට්වාදීන් සහ නාසිවාදීන් සමඟ සැසඳීම්”, “යුක්‍රේනයේ සන්නද්ධ හමුදා පිලිබඳ සෘනාත්මක තක්සේරු කිරීම්” සහ “ජාතික වීරයන් සහ ඓතිහාසික පුද්ගලයින් නැවත අර්ථකථනය කිරීම” අඩංගු විය.
ඇත්ත වශයෙන් ම, බොග්ඩාන් විසින් ලියන ලද සෑම දෙයක් ම දේශපාලනික ව හා ඓතිහාසික ව නිවැරදි ය. “නීත්‍යානුකූල ව තේරී පත් වූ දේශපාලන නායකත්වය” යනු, 2024 මැයි මාසයේ දී ධූර කාලය අවසන් වූ ජනාධිපතිවරයෙකි. සෙලෙන්ස්කි තම නීතිමය ධූර කාලය ඉක්මවා වසර දෙකකට වැඩි කාලයක් බලයේ සිටින අතර ස්ථිර යුද නීතිමය තත්වයක් යටතේ ආඥාවන් මගින් රට පාලනය කරයි. මැතිවරන අවලංගු කර ඇති අතර මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත්හිටුවා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් නොමැති රටක “ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්” හඳුනා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බොග්ඩාන් වරදකරු වී ඇත. ඔහුගේ තීන්දුව නීති විරෝධී පාලන තන්ත්‍රයක් විසින් ලබා දෙන ලද තීන්දුවකි.
“ජාතික වීරයන් නැවත අර්ථකථනය කිරීම” සම්බන්ධයෙන් බොග්ඩාන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ගත් කල, මෙම “ජාතික වීරයන්” වනාහි, ස්ටෙපාන් බන්ඩේරා, යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ සහ වැෆෙන්-එස්එස් ගැලීෂියා අංශයේ නායකයින් ය. මොවුහු, 1941 දී හිට්ලර් විසින් සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමේ දී එයට සහාය දුන් සහ යුදෙව්වන් හා පෝලන්ත ජාතිකයන් සමූහ වශයෙන් ඝාතනය කිරීමට සම්බන්ධ වූ නාසි සහයෝගිතාකරුවෝ වෙති. “ෆැසිස්ට්වාදීන් සහ නාසීන් සමඟ සැසඳීම්” පිලිබඳ අධිකරනයේ පැමිනිල්ල පාදක වනුයේ, මෙම බලවේග නිල වශයෙන් පුනරුත්ථාපනය කිරීම සහ සැමරීම සම්බන්ධයෙන් බොග්ඩාන් කල හෙලිදරව් කිරීම මතයි.
අධිකරනය විසින් උපුටා දක්වන ලද රාජද්‍රෝහීත්වයේ “සාක්ෂි” අතර “යුක්‍රේන ජනතාවට එරෙහි ව බැන්ඩෙරාවාදීන්ගේ අපරාධ: යුක්‍රේන ට්‍රොට්ස්කිවාදියෙකුගේ සටහන්” යන බොග්ඩාන්ගේ ලිපිය සහ ඔහුගේ 2023 මැයි දින කතාව, “රුසියාවේ සහ යුක්‍රේනයේ කම්කරු පන්ති එකමුතුව සඳහා!” යන ලිපිය ද වේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඒවායේ අවම අර්ථයෙන් පවත්නා ඕනෑ ම රටක, එවන් ලිපි නිදහස් භාෂනයන් ලෙස සැලකේ. නමුත්, සෙලෙන්ස්කි යටතේ යුක්‍රේනයේ, එම ලේඛන වසර 15 ක සිර දඬුවමක් දරා සිටී.
2024 අප්‍රේල් 25 වන දින යුක්‍රේනයේ ආරක්ෂක සේවය (එස්බීයූ) විසින් බොග්ඩාන් අත්අඩංගුවට ගත් විට, ඔහු රුසියානු ආන්ඩුවේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන බව රජය කියා සිටියේ ය. එතැන් සිට වසර දෙකකට වැඩි කාලයක් තුල, එම අපහාසාත්මක චෝදනාව සනාථ කිරීමට කිසිවක් ඉදිරිපත් කර නොමැත. ඇත්ත වශයෙන් ම, වරදකරු කිරීමේ දී උපුටා දක්වා ඇති ලිපි රුසියානු ආක්‍රමනයට සහ පුටින් පාලනයට බොග්ඩාන්ගේ විරුද්ධත්වය පැහැදිලි කරයි.
තීන්දුව බොග්ඩාන්ගේ ස්ථාවරයන්හි “සමාජීය වශයෙන් භයානක ප්‍රතිවිපාක” ගැන කිහිප වතාවක් සඳහන් කරයි. බොග්ඩාන්ට එරෙහි නඩු පැවරීම රුසියාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් නිර්මානය කරන ලද කඩතුරාවක් නොවන බව මෙයින් හෙලි වේ. ඒ වෙනුවට, එය යුක්‍රේන කම්කරුවන් සහ තරුනයින් අතර යුද්ධයට සහ සෙලෙන්ස්කි තන්ත්‍රයට එරෙහි ව වැඩෙන විරෝධය ඉලක්ක කර ගෙන ඇත.
බොග්ඩාන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් කරන ලද සාක්ෂි වලට කිසි විටෙකත් පිලිතුරු නොලැබුනි. යුක්‍රේනයේ ප්‍රමුඛ අපරාධ විද්‍යාඥයෙකු වන යූරි ඉර්කින් විසින් ඉදිරිපත් කරන ලද පිටු 65 ක වාර්තාවකට අනුව, බොග්ඩාන්ගේ ලේඛනවල “රුසියානු සමූහාන්ඩුවේ සන්නද්ධ ආක්‍රමනයට සහාය දීම අරමුනු කරගත් ප්‍රචාරක සලකුනු ඇති ප්‍රකාශ, වාක්‍ය ඛන්ඩ, වාක්‍ය හෝ වචන සංයෝජන” හමු නොවීය. එයට ප්‍රතිචාර දැක්වීම වෙනුවට, අධිකරනය රාජ්‍ය වෝහාරික ආයතනයකින් නව පරීක්ෂනයක් නියම කලේ ය - එසේ වුවද, ලිපිවල රාජ්‍යය පෙරලා දැමීම, බලය අල්ලා ගැනීම, කඩාකප්පල්කාරී ක්‍රියාවන් හෝ යුක්‍රේනයේ දේශසීමා වෙනස් කිරීම සඳහා කිසිදු ඉල්ලීමක් නොමැති බව සොයා ගන්නා ලදී.
වාර්තාවේ රාජද්‍රෝහීත්වයේ අංග කිසිවක් නොමැති බවත්, බොග්ඩාන්ගේ ලේඛන මානව හිමිකම් පිලිබඳ යුරෝපීය සම්මුතියේ 10 වන වගන්තිය මගින් ආරක්ෂා කෙරුනු දේශපාලනික භාෂනයන් බවත් විත්තිය විසින් තහවුරු කෙරුනි. අධිකරනය මේ සියල්ල පසෙකට දැමීය.
තීන්දුව වනාහි, නීතිමය ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් නොව සෙලෙන්ස්කි ආඥාදායකත්වයේ දේශපාලන නියෝගයක් ක්‍රියාත්මක කිරීමකි. බොග්ඩාන්, “‘ඩේවිඩ්’ යන අන්වර්ථ නාමයෙන් යුත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නියෝජිතයෙකුගේ උපදෙස් මත” ක්‍රියා කල බව එහි සඳහන් වේ. මෙම නියෝජිතයා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ලෙස විනිශ්චය තුල ම හඳුනා ගෙන ඇත. ජාත්‍යන්තර සමාජවාදී සහ යුද විරෝධී ප්‍රකාශන අපරාධකාරී ව්‍යවසායන් ලෙස ද, ඒවා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම රාජද්‍රෝහිත්වය ලෙස ද ප්‍රකාශ කිරීමේ බලය යුක්‍රේන රාජ්‍යය විසින් තහවුරු කර ගනිමින් සිටී.
වයිජීබීඑල් වැඩපිලිවෙල, එහි කුඩා පොත්, පත්‍රිකා සහ මුද්‍රිත ලිපි ගොනු විනාශ කිරීමට ගත් තීරනය තීන්දුවේ සැබෑ අන්තර්ගතය හෙලි කරයි. මේවා ෆැසිස්ට් පාලන තන්ත්‍රයන්ගේ ක්‍රමවේදයන් ය: විරුද්ධවාදීන් සිරගත කිරීම; ඔවුනගේ ද්‍රව්‍ය රාජසන්තක කිරීම; ඔවුනගේ ලේඛන පුලුස්සා දැමීම. අධිකරනය බොග්ඩාන් වරදකරු කිරීමට භාවිතා කල වෝහාරික “විමර්ශනය” සඳහා වන වියදම පියවා ගැනීම සඳහා හරෙව්න්යා (යුක්‍රේන මුදල් ඒකකය) 178,000 කට වඩා ගෙවීමට පවා නියෝග කෙරුනි.
බොග්ඩාන්ට දඬුවම් නියම කිරීම සිදුවන්නේ වාමාංශික දේශපාලනය තහනම් කර ඇති රටක ය. 2015 “කොමියුනිස්ට්හරන” නීති වලින් පසුව යුක්‍රේනයේ කොමියුනිස්ට් පක්ෂ සහ සංකේත තහනම් කර ඇත. 2022 දී, සෙලෙන්ස්කි ආන්ඩුව පාර්ලිමේන්තුවේ විශාලත ම විරුද්ධ පක්ෂය ඇතුලු ව විරුද්ධ පක්ෂ 11 ක් තාවකාලික ව තහනම් කල අතර පසුව ඒවා සම්පූර්නයෙන් ම තහනම් කරන ලදී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය 2025 සැප්තැම්බර් මාසයේ දී නිකුත් කල වාර්තාවකට අනුව, යුක්‍රේනයේ රාජද්‍රෝහී සහ සහයෝගීතා නීති (යුද්ධයක් හෝ විදේශීය වාඩිලා ගැනීමක් අතරතුර සතුරු පාර්ශ්වයක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන පුද්ගලයින් හෝ සංවිධාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන නීති) යටතේ අපරාධ නඩු 20,000ක් පමන විවෘත කර ඇත. යුක්‍රේන රාජ්‍යය විසින් රඳවා ගෙන සිටින රැඳවියන්ට “වධහිංසා පැමිනවීම සහ අශෝභන ලෙස සැලකීම පිලිබඳ සිද්ධීන් ලේඛනගත කිරීම දිගට ම කර ගෙන යන” බව එම වාර්තාව පවසයි. සහයෝගීතා නීති “අධික ලෙස පුලුල් හා නොපැහැදිලි” බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය විස්තර කරයි; රුසියානු හමුදාවන් වාඩි ලා ගෙන සිටින භූමියේ “හදිසි සේවා, ඉදිකිරීම්, මානුෂීය සහන සහ කසල ඉවත් කිරීම” ආදී වැඩකටයුතුවල යෙදී සිටි පුද්ගලයින් පවා සහයෝගිතා නීති යටතේ නඩු පැවරුනු අය අතර සිටිති.
බොග්ඩන් අත්අඩංගුවට ගැනීමෙන් සති හයකට පසු, 2024 ජුනි 6 වන දින සිට යුක්‍රේනයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය තහනම් කර ඇත.
යුක්‍රේන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යුද්ධය දියත් කරන බව පවසන ආන්ඩුව සහ මාධ්‍ය ආයතන විසින් මේ සියල්ල වලලා දමා මහජනතාවගෙන් සඟවා ඇත.
බොග්ඩාන් ට එරෙහි බොරු නඩු පැවරීම මංමුලා සහගත පාලන තන්ත්‍රයක ක්‍රියාවකි. යුක්‍රේනය තුල ම යුද්ධයට එරෙහි විරුද්ධත්වය වැඩි වෙමින් පවතී. 2022 සිට නිවාඩු නොමැති ව හමුදා සේවයෙන් ඉවත් වීම හෝ නොපැමිනීම සම්බන්ධයෙන් සොල්දාදුවන්ට එරෙහි ව අපරාධ නඩු 300,000 කට වඩා විවෘත කර ඇති අතර, ඉන් බහුතරයක් පසුගිය වසර තුල ය. 2025 දී යුක්‍රේනියානුවන්ගෙන් සියයට 69 ක් ගැලප් (මහජන මත සමීක්ෂන ආයතනය) වෙත පැවසුවේ රට යුද්ධයට සාකච්ඡාමය අවසානයක් අපේක්ෂා කල යුතු බවත්, 2022 සිට පවත්වා ගෙන ගිය මතය සම්පූර්නයෙන්ම ආපසු හැරවිය යුතු බවත් ය. කම්කරුවන් සහ සොල්දාදුවන් අතර යුද විරෝධී හැඟීම් වර්ධනය වීම ගැන භීතියට පත් සෙලෙන්ස්කි ආන්ඩුව, නේටෝ බලවතුන් යුද්ධයට සෘජු ව ම ඇතුලු වීම සඳහා රාමුවක් නිර්මානය කිරීමට කටයුතු කරන අතර ම, රට තුල මර්දනය තීව්‍ර කරමින් සිටී.
යුක්‍රේන බන්ධනාගාරයක වසර 15ක සිර දඬුවමක් මරන දඬුවමකට සමාන වේ. යුක්‍රේනයේ සිර දඬුවම් පද්ධතියේ කොන්දේසි හොඳින් ලේඛනගත කර ඇත. 2025 අප්‍රේල් මාසයේ දී වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ යුක්‍රේන සමාලෝචනයේ දී, තදබදය, ආහාර සහ ජලය සඳහා ප්‍රමානවත් ප්‍රවේශයක් නොමැතිකම, ස්වාධීන වෛද්‍ය පරීක්ෂන නොමැතිකම සහ අත්අඩංගුවේ සිටිය දී සිදුවන මරන සංඛ්‍යාව ඉහල යාම ගැන විශේෂඥයෝ කරුනු උපුටා දැක්වූහ. යුරෝපීය කවුන්සිලයේ වධහිංසා විරෝධී කමිටුව, 2023 ඔක්තෝබර් මාසයේ යුක්‍රේනයට කල සංචාරය පිලිබඳව වාර්තා කරමින්, රිමාන්ඩ් සිරකරුවන් දිනකට පැය 23ක් දක්වා ඔවුන්ගේ සිරකුටිවලට සීමා කර ඇති පිරිහෙමින් පවතින පහසුකම් විස්තර කල අතර, එක් පූර්ව නඩු විභාග රැඳවුම් මධ්‍යස්ථානයක තත්වයන් කෙතරම් පිරිහී ඇත්ද යත් එය ඔවුහු “අමානුෂික හා පහත්” යැයි විනිශ්චය කලහ.
අත්අඩංගුවට ගන්නා විට ද දුර්වල සෞඛ්‍ය තත්වයක සිටි බොග්ඩාන්ට, බන්ධනාගාර පරිපාලනයෙන් නැවත නැවතත් පොරොන්දු වුව ද, වසරකට වැඩි කාලයක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. සිර ගෙය තුල ගෙවෙන සෑම දිනයක් ම ඔහුගේ ජීවිතයට තර්ජනයකි.
ඔහුගේ ඉරනම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් තම ෆැසිස්ට් අවඥාව පෙන්නුම් කල රාජ්‍යයක අධිකරනවලට භාර දිය නොහැක. ජාත්‍යන්තර කම්කරු පන්තිය, තරුනයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වී සිටින සියලු ම ප්‍රගතිශීලී සංවිධාන සහ පුද්ගලයින් බලමුලු ගැන්වීමෙන් බොග්ඩාන්ගේ නිදහස දිනා ගත හැකිවනු ඇත. සෑම රටක ම කම්කරුවන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය හා තරුන සංවිධාන, සිවිල් නිදහස කන්ඩායම් සහ සමාජවාදී සහ යුද විරෝධී ව්‍යාපාරවලට අපි ආයාචනා කරමු: බොග්ඩාන්ගේ නඩුව ඔබේ අතට ගන්න. ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා ඔබේ සේවා ස්ථාන, වෘත්තීය සමිති, පාසල් සහ විශ්ව විද්‍යාලවල යෝජනා සම්මත කරන්න. විරෝධතා ප්‍රකාශ නිකුත් කරන්න.
නඩු තීන්දුව අවලංගු කොට බොග්ඩාන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ප්‍රකාශ, පෙර්වොමයිස්ක් නගර දිස්ත්‍රික් අධිකරනයේ inbox@pm.mk.court.gov.ua විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. එම ප්‍රකාශ, freebogdan@wsws.org නම් වූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විද්‍යුත් ලිපිනයට පිටපත් කරන්න.
බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ සටන අධිරාජ්‍යවාදී යුද්ධයට, ඒකාධිපතිත්වයට සහ ෆැසිස්ට්වාදයට එරෙහි සටනකි. එයට සම්බන්ධ වීමට පහත පෝරමය පුරවන්න.
