ශ්‍රී ලංකාව වසර 75ක් තුල ඇති විය හැකි බලවත්ම එල් නීනෝ සංසිද්ධියට මුහුන දෙමින් සිටී. මධ්‍යම පැසිෆික් සාගරයේ උෂ්නත්වය දැනටමත් සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 2.2කින් ඉහල ගොස් ඇති අතර, නොවැම්බර් වන විට එය සෙල්සියස් අංශක 3.6 දක්වා ඉහල යා හැකිය. ගෝලීය පරිමානයෙන් “ඉතා ප්‍රබල එල් නීනෝ තත්ත්වයක්” ඇති වීමේ සම්භාවිතාව සියයට 82ක් බව එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය පුරෝකථනය කරයි. ශ්‍රී ලංකාවේ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු වලට අනුව එම සම්භාවිතාව සියයට 90කට වැඩි වේ. 1950 සිට වාර්තා වූ සියලුම එල් නීනෝ සිදුවීම් අභිබවා යාමේ සම්භාවිතාව සියයට 70කට ආසන්න බවටද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එහි ප්‍රතිවිපාක දැනටමත් දැනෙමින් තිබේ. උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පලාත්වල මෙන්ම හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල 81000 ට වැඩි පිරිසක් නියඟයෙන් සෘජුවම බලපෑමට ලක්ව සිටිති. පොලොන්නරුවේ ගොවියෙකු මාස හතරකින් වැසි නොලැබුනු බවත්, “සියලු වැව් වියලී ගොස් ඇති” බවත් පැවසීය. පුත්තලමේ පොල් අස්වැන්න අඩකින් අඩු වී තිබේ. අනුරාධපුරයේ කාන්තාවක් පැවසුවේ, “මේ කන්නයේ වගා කල සියලුම බෝග විනාශ වී තිබෙනවා” යනුවෙනි. එම පුරෝකථනවලට අනුව, ඉන්පසුව මෙම නියඟය එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයට — ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයකට — හැරී යනු ඇති අතර, එය දෙසැම්බර් සහ ජනවාරි දක්වාද පැවතිය හැකිය. එමගින් මේ වන විට දැඩි හිරු රශ්මියට යටත්ව තිබෙන ප්‍රදේශවලටම ගංවතුර පැමිනීමට ඉඩ තිබේ.
එල් නීනෝ පිලිබඳ පැහැදිලි අවබෝධයක් අත්‍යවශ්‍යය. මන්ද, මේ සම්බන්ධයෙන් ඇතිවන ව්‍යාකූලත්වයට දේශපාලන ප්‍රතිවිපාක ඇති බැවිනි.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ පැසිෆික් සාගරයේ වෙලෙඳ සුලං, සමකය ඔස්සේ බටහිර දෙසට හමා යමින්, සාගර මතුපිට ඇති උනුසුම් ජලය දකුනු ඇමරිකාවේ සිට ආසියාව දෙසට තල්ලු කරයි. මෙම වෙලෙඳ සුලං දුර්වල වූ විට හෝ දිශාව වෙනස් වූ විට ආසියාව ආසන්නයේ එක්රැස් වන උනුසුම් ජලය නැගෙනහිර දෙසට, ඇමරිකානු මහාද්වීප දෙසට ආපසු ගලා යමින් මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරය පුරා පැතිරෙයි. මෙය එල් නිනෝ තත්වයක් ලෙස හැඳින්වෙන අතර එහි ප්‍රතිඵලය වන්නේ අසාමාන්‍ය ලෙස උනුසුම් සාගර ජලයෙන් සමන්විත විශාල ප්‍රදේශයක් ඇති වීම සහ එමගින් සමස්ත ලෝකයේම වායුගෝලීය සංසරන රටාවන් කඩාකප්පල් වීමයි.
එහි බලපෑම් කැපී පෙනෙනසුලු මෙන්ම පුලුල් ය. සාමාන්‍යයෙන් වැසි ලබන දකුනු සහ අග්නිදිග ආසියාව, ඕස්ට්‍රේලියාව සහ දකුනු අප්‍රිකාව වැනි ප්‍රදේශවලට බොහෝ විට දැඩි නියඟයන්ට මුහුන දීමට සිදුවේ. ඊට හේතුව, සාමාන්‍යයෙන් එම ප්‍රදේශ කරා ගමන් කරන තෙතමනයෙන් පිරුනු වාතය, වෙනත් ප්‍රදේශවලට හමා යාමයි. ඒ හේතුවෙන්, අනෙක් ප්‍රදේශවලට, විශේෂයෙන් ඇමරිකානු මහාද්වීපයේ බටහිර වෙරල තීරයට, ගංවතුර ඇති වෙයි.
ශ්‍රී ලංකාවේදී මෙම ක්‍රියාවලිය ආකාර දෙකකින් සිදුවේ. එක් අතකින්, උනුසුම් සාගර ජලය ඉන්දියානු සාගරයේ සිට පැසිෆික් සාගරය දෙසට මාරු වීමෙන් දිවයින අවට මුහුදු මතුපිට උෂ්නත්වය පහල ගොස් වර්ෂාපතනය අඩුවී නියඟය ඇති වේ. අනෙක් අතට, ඉන්දියානු සාගර ද්වි-ධ්‍රැවය (Indian Ocean Dipole) නම්න් හඳුන්වන, ඉන්දියානු සාගරයේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ අතර සාගර උෂ්නත්වයේ සිදුවන දෝලනය හේතුවෙන් ඉන්දියානු සාගරය අවට රටවල වර්ෂාපතන සහ කාලගුනික රටා වෙනස්වී, සාමාන්‍ය වැසි සමයන්හි වැඩි කාලයක් නියඟය පැවතී, වැසි සමය අවසාන භාගයේ හිටිවනම අධික වර්ෂාපතනයන් ඇති වේ. එහි ප්‍රතිඵලය වන්නේ දැන් පුරෝකථනය කර ඇති රුදුරු තත්වයන් ය: දැඩි නියඟයෙන් පසු දැඩි ගංවතුර
එල් නීනෝ අලුත් සංසිද්ධියක් නොවේ. සහස්ර ගනනාවක් පුරා එය වසර දෙකත් හතත් අතර කාල පරාසයකදී අක්‍රමවත් ලෙස ඇති වී තිබේ. තීරනාත්මක ප්රශ්නය වන්නේ ගෝලීය උනුසුම හේතුවෙන් එල් නීනෝ සංසිද්ධිය නිරන්තරව, වඩාත් තීව්ර සහ වඩාත් විනාශකාරී වෙමින් පවතින්නේද යන්නයි.
මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි පැහැදිලිය. නේචර් (Nature) සඟරාවේ 2014 දී පල වූ අධ්‍යයනයකින් පෙන්වා දුන්නේ අතිශය ප්‍රබල එල් නීනෝ සිදුවීම් වැඩි වශයෙන් ඇති වීම, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුනික විපර්යාස මගින් මෙහෙයවනු ලබන, පැසිෆික් සාගරයේ මතුපිට ජලය වේගයෙන් උනුසුම් වීම සමඟ සම්බන්ධ වන බවයි. 2015–2016 සුපිරි එල් නීනෝ තත්ත්වය ගෝලීය ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.9ක පිරිවැයක් ඇති කලේය. 2023 එල් නීනෝ තත්ත්වය 2024 වාර්තාගත උනුසුම්ම වසර බවට පත්වීමට දායක විය. වර්තමාන එල් නීනෝ සිදුවීම වර්ධනය වෙමින් පවතින්නේ දශක ගනනාවක් පුරා හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් දැනටමත් උනුසුම් වී ඇති සාගර තුලය.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මෑතකදී අවධාරනය කලේ “දේශගුනික විපර්යාස සහ එල් නීනෝ අතර සම්බන්ධයක් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති” බවයි. මෙය නොමඟ යවන සුලු ප්‍රකාශයකි. එහි මූලික දෝලන ක්‍රියාවලිය ස්වාභාවික එකක් වුවද, එහි බලපෑම් තීව්ර වීම ස්වාභාවික ක්‍රියාවලියක් නොවේ.
මහාචාර්ය මාරඹේගේම දත්ත ඔහුගේ ප්‍රකාශයට එරෙහිව පිහිටා සිටී: එල් නීනෝ මීට පෙර සෑම වසර හතරත් හතත් අතර කාලයකදී ඇති වූ නමුත් දැන් සෑම වසර දෙකත් හතත් අතර කාලයකදී ඇති වන බව ඔහු සඳහන් කරයි. එය ඇතිවීමේ සංඛ්‍යාතයේ වැඩිවීමකි. එය අහඹු සිදුවීමක් නොවේ. ජුනි මාසයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වාර්තා කල පරිදි, ගෝලීය උනුසුම සුපිරි එල් නීනෝ සංසිද්ධියේ සම්භාවිතාව සෘජුවම ඉහල නංවයි.
එල් නීනෝ, දේශගුනික විපර්යාසයෙන් වෙන් කර දැක්වීම නිශ්චිත දේශපාලන කාර්ය භාරයක් ඉටු කරයි: එය සාකච්ඡාවේ සීමාව ජාතික මට්ටමේ අනුගතවීමේ ක්‍රියාමාර්ගවලට පටු කරමින් ධනේශ්වර පද්ධතිය එහි වගකීමෙන් නිදහස් කරයි.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ ප්‍රතිචාරය මගින් හෙලි කෙරෙන්නේ කප්පාදු මගින් පක්ෂාඝාත කරන ලද රාජ්‍ය යන්ත්රනයකි. පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලද ආපදා කලමනාකරන අරමුදල තවමත් සම්පූර්නයෙන් ක්‍රියාත්මක කර නොමැත. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ යන්තම් ක්‍රියාකාරී රේඩාර් ජාලයක්, ප්‍රමානවත් නොවන රේඩියෝසොන්ඩ් පද්ධති සහ පුරෝකථන ආකෘති සඳහා අවශ්‍ය ඉහල කාර්යසාධන පරිගනක පහසුකම් නොමැතිවය.
ජවිපෙ/ජාජබ ආන්ඩුවේ වැඩපිලිවෙල සමන්විත වන්නේ මහ කන්නයේ වගා කටයුතු සති දෙකකින් කලින් ආරම්භ කිරීම සහ මහජනයාගෙන් “ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන” ලෙස ඉල්ලා සිටීමෙනි.
2025 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුලි කුනාටුවෙන් පුද්ගලයන් 627 දෙනෙකු මිය ගිය අතර නිවාස 4,500කට වැඩි සංඛ්‍යාවක් විනාශ විය. එම ව්‍යසනය ස්වාභාවික ක්‍රියාවක ප්‍රතිඵලයක් පමනක් නොවීය — එය ධනවාදය මගින් තීව්ර කරන ලද දේශගුනික විපර්යාසයේ ප්‍රතිඵලයක් වූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද අයවැය යටතේ ආපදා වැලැක්වීමේ යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීමෙන් තත්ත්වය තවදුරටත් නරක අතට හැරුනි.
මේ අතර, එල්-නිනෝ දේශගුනික බලපෑමට මුහුනදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මන්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 21 දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනු බවත්, “බලපෑමට ලක් විය හැකි කාලසීමාව තුල ජනතාවට අත්‍යවශ්‍ය භාන්ඩ සහ සේවා අඛන්ඩව පවත්වාගෙන යාම මෙන්ම, ආපදාවෙන් පීඩාවට පත් වන ජනතාවගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් ඔවුන් රැකබලා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව” එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය වාර්තාකර තිබුනි. “ආපදා කලමනාකරන අංශය සමග ඒකාබද්ධව එම කටයුතු සැලසුම් කරන ලෙස” ඔහු නිලධාරීන්ට උපදෙස් දුන් බවද වාර්තාවේ සඳහන් වේ.
පැමිනෙමින් පවතින අර්බුදය පුරෝකථනය කිරීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ආයතන සඳහා වෙන් කල වියදම් පවා කපා දැමූ තන්ත්රයක් මෙහෙයවන්නා ලෙස දිසානායක දෙන මෙම උපදෙස් ව්‍යාජ ය.
දිසානායක ප්රමුඛ ජවිපෙ/ජාජබ ආන්ඩුව, රාජ්‍ය නිලධාරීන් සහ ශාස්ත්‍රඥයන් ඉදිරිපත් කරන යෝජනා — නියඟය පැමිනීමට කලින් වගා කිරීම, ජලය සංරක්ෂනය කිරීම, වාරිමාර්ග සම්බන්ධීකරනය කිරීම — පවත්නා පද්ධතිය තුල එල් නීනෝව ජාතික සීමාව තුල කලමනාකරනය කල හැකි බාහිර කම්පනයක් ලෙස සලකනු ලබයි. මෙය මුලුමනින්ම වංචනිකය.
එල් නීනෝව මෙහෙයවන බලවේග දේශසීමා නොතකයි. පැසිෆික් සාගරය උනුසුම් වෙමින් පවතින්නේ ප්‍රධාන වශයෙන් මහ ධනපති බලවතුන් විසින් ෆොසිල ඉන්ධන දහනය කරමින් උත්පාදනය කරන හරිතාගාර වායු විමෝචන හේතුවෙනි. මෙම තතු තුල ශ්‍රී ලංකාවට ජාතික පියවර මගින් ගෝලීය අර්බුදයක් විසඳිය නොහැක.
සැබෑ ප්‍රතිචාරයක් සඳහා ගෝලීය සම්පත් තාර්කිකව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ: ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කල සැලසුම්කරනයක් මගින් ෆොසිල ඉන්ධන මත යැපීම අවසන් කිරීම; දැනට යුද්ධ සහ නය සේවා සඳහා වැය කරන ට්‍රිලියන ගනනක මුදල් දේශගුනික අනුවර්තනය සහ ඔරොත්තු දෙන යටිතල පහසුකම් සඳහා යොමු කිරීම; විද්‍යාත්මක පර්යේෂන සහ තාක්ෂනය දේශසීමා හරහා නිදහසේ බෙදා ගැනීම; සහ නිෂ්පාදනය කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී පාලනයට යටත් කිරීම, එවිට ආර්ථික තීරන පෞද්ගලික ලාභය වෙනුවට මානව අවශ්‍යතා ඉටු කිරීමට සේවය කරනු ඇත.
මේ කිසිවක් ධනවාදය තුල සාක්ෂාත් කල නොහැක. සැබැවින්ම තාක්ෂනය සහ දැනුම පවතී. අඩුව පවතින්නේ ඒවා ක්‍රියාවට නැංවිය හැකි සමාජ පද්ධතියකි.
ධනපති පාලක පංතීන් විසින් ආවෘත අන්තයක් වෙත ඇදගෙන යනු ලබන මනුෂ්‍ය වර්ගයා ඉන් මුදවාගත හැකි එකම සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ජාතික රාජ්‍ය පද්ධතිය තුල හෝ සියලු ජීවිත ලාභයට යටත් කරන නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික හිමිකාරිත්වය තුල කම්කරුවන්ට කිසිදු අවශ්‍යතාවක් සාක්ෂාත් කල නොහැක. ඒවා සාක්ෂාත් කල හැකි වන්නේ, ධනපති ලාභය වෙනුවට මානව අවශ්‍යතා සපුරාලන පරිදි, කම්කරු පංතියේ ප්රජාතන්ත්රවාදී පාලනයක් යටතේ ගෝලීය නිෂ්පාදන බලවේග ප්‍රතිසංවිධානය කිරීමෙනි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටන් කරයි. එම වැඩපිලිවෙලට ෆොසිල ඉන්ධන භාවිතය අහෝසි කිරීම, දේශගුනික අනුවර්තනය, නවීන පුරෝකථන යටිතල පහසුකම් සම්පාදනය සහ ආපදා-ප්‍රතිරෝධී නිවාස සමාජ අයිතියක් ලෙස තහවුරු කිරීම සඳහා සමාජ ධනය නැවත යොමු කිරීම; කුඩා ගොවීන්ට අඩු පොලී නය, ජලය සහ සහතික කල මිල ගනන් සම්පාදනය සඳහා කෘෂි ව්‍යාපාර සහ බැංකු ජනසතු කිරීම; සහ කම්කරුවන්, ගොවීන් සහ තරුනයන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනඟා, කප්පාදුවට එරෙහි පොදු අරගලයක් ගෙන යාම ඇතුලත් වේ. මෙය කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ සමාජවාදී සහ ප්රජාතන්ත්රවාදී සම්මේලනයක් සඳහා වන උද්ඝෝෂනයේ කොටසකි.
ශ්‍රී ලංකාව දෙසට පැමිනෙමින් පවතින එල් නීනෝව ස්වාභාවික ආපදාවක් නොවේ. එය ධනේශ්වර සමාජ පද්ධතිය විසින් නිර්මානය කරන ලද සමාජ ව්‍යසනයකි. එයට ජාතිකවාදී පරිපාලනමය විසඳුම් යෝජනා කරන විද්‍යාඥයෝ සහ නිලධාරීහු, එම යෝජනාමත් නිශ්ඵල බවට පත් කරන ධනේශ්වර පද්ධතිය තුල මහජනතාව සිරකර තබති.
මානව ශිෂ්ටාචාරයට අවශ්‍ය දේශගුනික සහ සමාජ තත්ත්වයන් විනාශ කරමින් සිටින ධනේශ්වර පද්ධතියකට තවදුරටත් යටත්ව නොසිට, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීම හදිසි කර්තව්‍යය බවට පත්කෙරී ඇත— මානව වර්ගයාට අනාගතයක් සුරක්ෂිත කල හැකි එකම දෘෂ්ටි ආස්ථානය එයයි.
