යාපනය විශ්වවිද්‍යාලය අසල බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන්ට පොලිසිය හිරිහැර කරයි

අගෝස්තු 19 වැනි දා යාපනය විශ්වවිද්‍යාල පිවිසුම අසල දේශපාලන උද්ඝෝෂනයක නිරත වෙමින් සිටි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන්, පොලිසිය විසින් ප්‍රශ්න කිරීම‌ට සහ පරීක්ෂා කිරීමට ලක් කෙරුනු අතර ඔවුන්ගේ පුද්ගලික තොරතුරු බලහත්කාරයෙන් ලබා ගැනුනි. මෙය පැහැදිලි ව ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමකි.

සසප සාමාජිකයෝ, සිසුන් සහ කථිකාචාර්යවරුන් සමඟ කතා කරමින්, 'දේශද්‍රෝහීත්වය' පිලිබඳ වංචනික චෝදනා මත අගෝස්තු 10 වැනි දින වසර 15ක සිර දඬුවමකට නියම කරන ලද 27 හැවිරිදි යුක්‍රේන ට්‍රොට්ස්කිවාදියෙකු සහ බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවලෙහි ප්‍රමුඛ සාමාජිකයෙකු වන බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීමේ ජාත්‍යන්තර උද්ඝෝෂනය සඳහා ඔවුන්ගේ සහයෝගය ඉල්ලා සිටියහ.

බොග්ඩාන් සයිරොටියුක් වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලය අසල දී සිදු කෙරුනු උද්ඝෝෂනය

සසප උද්ඝේෂනය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතරින් පුලුල් සහයෝගයක් දිනා ගෙන ඇති අතර, බොහෝ දෙනෙක් බොග්ඩාන් නිදහස් කිරීමේ පෙත්සමට අත්සන් තබා ඇත. මෙම හස්තසාධිත විනිශ්චය හෙලා දකිමින් යාපනය සිසුන්ගෙන් ලැබුනු ප්‍රකාශ අගෝස්තු 22 වැනි දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලදී. සසප සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) විශ්වවිද්‍යාල ප්‍රජාව අතර නිරන්තරයෙන් දේශපාලන උද්ඝෝෂන සහ සාකච්ඡා පවත්වා ඇත.

ආසන්න වශයෙන් පස්වරු 1:00 ට පමන, සසප උද්ඝෝෂන කන්ඩායම, විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත ඔවුන් උද්ඝෝෂනයේ යෙදුනු ස්ථානයෙන් පිටවීමට සූදානම් වෙමින් සිටිය දී, පොලිස් රථයක් පැමිනියේ ය. ඉන් නිලධාරීන් තිදෙනෙක් බැස, සසප සාමාජිකයන්ගේ මාර්ගය අවහිර කර, 'ඔබ කවුද, ඔබ මෙහි සිටින්නේ ඇයි, ඔබ පැමිනියේ කොහෙන්ද?' යනුවෙන් විමසී ය.

පොලිසිය කියා සිටියේ 'යම් පිරිසක්', හඬ පටිගත කිරීමක් ලබාදෙන ලෙස ශිෂ්‍යාවකට බල කර ඇගේ ඡායාරූප සහ වීඩියෝ ලබාගත් බවට චෝදනා කරමින් යාපනය විශ්වවිද්‍යාලය තුල සිට 119 හදිසි ඇමතුම් අංකයට 'නිර්නාමික ඇමතුමක්' ලැබුනු බවයි. මෙම චෝදනාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකෙරුනු අතර, කිසිදු පැමිනිලිකරුවෙක් ඉදිරිපත් වී නැත. මෙම ව්‍යාජ 'නිර්නාමික පැමිනිල්ල' සසප සාමාජිකයන් බිය ගැන්වීමට, පක්ෂය සමඟ සබදතා පැවැත්වුවහොත් පොලිස් පරීක්ෂාවට ලක්වන බවට සිසුන්ට සංඥා කිරීමට සහ විශ්වවිද්‍යාලය තුල දේශපාලන ක්‍රියාකාරකම් වටා භීතියේ වාතාවරනයක් නිර්මානය කිරීමට යොදාගත් විනිවිද පෙනෙන කඩතුරාවක් විය.

සසප දේශපාලන මන්ඩල සභික පරමු තිරුඥානසම්පන්දර්, පක්ෂ කන්ඩායම දේශපාලන උද්ඝෝෂනයක යෙදී සිටි බව පැහැදිලි කල විට, උද්ඝෝෂනය සඳහා සසප අවසර ලබා ගත්තේ කාගෙන්දැයි පොලීසිය විමසා සිටියේය. 'වීදිවල උද්ඝෝෂන කටයුතු කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපට ඇත' යනුවෙන් සම්පන්දර් අවධාරනය කල විට ඔවුහු එය ප්‍රතික්ෂේප කලහ.

ඉන් අනතුරු ව පොලිස් නිලධාරීහු සසප දේශපාලන මන්ඩල සභික මහාලිංගම් ඩිලක්ෂන්ගේ බෑගය බලහත්කාරයෙන් පරීක්ෂා කර, පත්‍රිකා අත්තඩංගුවට ගත්හ. ඔහුගේ සටහන් පොත ද ආපසු ලබා දීමට පෙර පරීක්ෂා කලහ. ඔවුහු සසප සාමාජිකාවකගේ බෑගය පරීක්ෂා කර, ඇගේ ජංගම දුරකථනය රැගෙන එහි ගොනු සහ දත්ත පරීක්ෂා කලහ. පොලිස් නිලධාරීහු තවත් සසප සාමාජිකයෙකුගේ ත්‍රිරෝද රථයද පරීක්ෂා කර එහි හිමිකම් ලේඛන, රියදුරු බලපත්‍රය සහ වෙනත් ලිපි ලේඛන සියුම් ව පරීක්ෂා කලහ. ඔවුහු ඩිලක්ෂන්ගේ යතුරුපැදි ලියකියවිලි ද පරීක්ෂා කලහ.

ඉන් පසු පොලිස් නිලධාරීහු එහි සිටි සෑම සසප සාමාජිකයෙකුගේ ම පුද්ගලික තොරතුරු සටහන් කර ගත්හ: සම්පූර්න නම්, ජාතික හැඳුනුම්පත් අංක, ලිපින සහ දුරකථන අංක. තවත් සාමාජිකාවක් තම හැඳුනුම්පත ලඟ නොමැති බව ප්‍රකාශ කල විට, පොලිසිය ඇයට තර්ජනය කරමින් ඇයව අත්අඩංගුවට ගැනීමේ බලය තමන්ට ඇති බව ප්‍රකාශ කලහ. ඔවුන් එසේ කලේ ශ්‍රී ලංකාව තුල ගමන් බිමන් යාමේ දී හැඳුනුම්පත රැගෙන යාම නීතිමය අවශ්‍යතාවයක් නොවන තතු තුල ය.

තම විස්තර පමනක් ලබා ගන්නා ලෙස සම්පන්දර් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පොලිසිය අවධාරනය කලේ: 'මෙය අපගේ රාජකාරියයි, ඔබට අපව නැවැත්විය නොහැක' යනුවෙනි.

සසප සාමාජිකයන්, ඔවුන්ට එරෙහි ව සිදුවෙමින් පවතින පොලිස් අඩන්තේට්ටම් පිලිබඳව සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකරට දැනුම් දීමෙන් අනතුරු ව ඔහු දුරකථනයෙන් එක් නිලධාරියෙකු සමඟ සෘජු ව කතා කල ද, පොලිසිය ඉවත් වීම ප්‍රතික්ෂේප කොට සියලු සාමාජිකයන්ගේ පුද්ගලික තොරතුරු සටහන් කර ගැනීම දිගට ම කර ගෙන ගියේ ය.

“119 ට කවුරුහරි ඇමතුවොත් පරීක්ෂා කිරීමට සහ විමර්ශනය කිරීමට අපට සෑම අයිතියක් ම තිබෙනවා” යනුවෙන් නිලධාරියෙක් ප්‍රකාශ කලේ ය. පොලිස් අඩන්තේට්ටම් පැයකට ආසන්න කාලයක් පුරා පැවතුනි.

ජයසේකර විසින් යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට, යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයට සහ යාපනය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයට ලිපි යවමින්, ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගෙන සසප උද්ඝෝෂන කන්ඩායමට සිදු වූ පොලිස් හිරිහැර ප්‍රසිද්ධියේ හෙලා දකින ලෙස ඉල්ලා සිටියේ ය.

ඔහුගේ ලිපියේ මෙසේ සඳහන් විය: 'මෙම පොලිස් ක්‍රියාමාර්ගය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන් සහ සිසුන් ඇතුලු කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා භයානක සහ දුරදිග යන බලපෑම් ඇති කරයි. ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතීන් වෙනුවෙන් ඕනෑ ම විරෝධතාවකට හෝ පන්ති ක්‍රියාමාර්ගයකට එරෙහි ව පොලිසියට මැදිහත් විය හැකි ය. එබැවින්, සසප උද්ඝෝෂකයන්ට එරෙහි මෙම පොලිස් හිරිහැරය සුලු කොට නොසැලකිය යුතු අතර, සියලු කම්කරුවන්, සිසුන් සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගය කරන ඕනෑ ම අයෙකු විසින් එයට විරුද්ධ විය යුතු ය.'

මෙම සිදුවීම ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ පොලිසිය සහ ආරක්ෂක අංශ සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම් මාලාවේ නවතම සිදුවීමයි.

සසප සාමාජිකයන් ඉලක්ක කරනු ලැබුවේ ඔවුන් සමාජවාදියෙකු සහ යුද විරෝධී ක්‍රියාකාරිකයෙකු වන බොග්ඩාන්ගේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂනයක නිරත වෙමින් සිටිය දී වීම සුවිශේෂී වැදගත්කමක් දරයි. ලිඛිත ඉල්ලීම් කල ද, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත්පත් කිසිවක් බොග්ඩාන්ගේ සිරගත කිරීම පිලිබඳ ව වාර්තා නොකලේ ය. ලොව පුරා අනෙකුත් ආයතනික මාධ්‍ය ආයතන මෙන් ම, ඔවුන්ගේ නිහඬතාවය යුක්‍රේනයේ සෙලෙන්ස්කි පාලනයේ ෆැසිස්ට්වාදී ක්‍රියා කෙරෙහි දක්වන සහයෝගය පෙන්නුම් කරයි.

උතුරු ශ්‍රී ලංකාවේ සසපට එරෙහි මිලිටරි සහ පොලිස් බිය ගැන්වීම්වල දීර්ඝ ඉතිහාසයක් පවතී.

2007 මාර්තු 22 වැනි දින, සමාජවාදී සමානතා පක්ෂ සාමාජික නඩරාජා විමලේශ්වරන් සහ ඔහුගේ මිතුරු සහ සසප ආධාරකරු සිවනාදන් මදිවදනන් යාපනය ආසන්නයේ පුංගුඩුතිව් සහ කයිට්ස් යන උතුරු දූපත් අතර යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අතුරුදන් වූහ. ඔවුන් අවසන් වරට දක්නට ලැබුනේ නාවික මුරපොලක් පසු කරමිනි; ඔවුන් පැහැර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධය ප්‍රබල ලෙස සාක්ෂි මගින් පෙන්වා දෙයි. ජාත්‍යන්තර උද්ඝෝෂනයක්, මානව හිමිකම් කොමිසමට නිල පැමිනිලි සහ අධිකරන ක්‍රියාදාමයන් නොතකා, මිලිටරිය සහ අනුප්‍රාප්තික ආන්ඩු නිහඬතා පවුරක් පවත්වා ගෙන ගොස් ඇත. දශක දෙකකට ආසන්න කාලයකට පසුව ද, ඔවුන්ගේ ඉරනම පිලිබඳ කිසිදු තොරතුරක් ලබා දී නැත.

2012 වසරේ දී, ආරක්ෂක අමාත්‍යාංශය විසින් සසප ප්‍රසිද්ධ රැස්වීමක් තහනම් කිරීම, හමුදා සෙබලුන් විසින් පක්ෂ සාමාජිකයන් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීම, සහ ඉන් අනතුරුව සිදු වූ කායික ප්‍රහාරයක් පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කලේ ය.

පසුගිය මාසයේ, යාපනයේ ධීවරයන්ගේ විරෝධතාවක් ආවරනය කිරීමෙන් පසු, කයිට්ස් පොලිසිය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෙකු අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කලේ ය.

රටේ ලේ වැකි වාර්ගික යුද්ධය දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ පරාජයෙන් අවසන් වී වසර 17කට පසු ව ද, උතුරු සහ නැගෙනහිර පලාත් මිලිටරි වාඩිලෑම යටතේ පවතී. මිලිටරිය සහ පොලිසිය දේශපාලන පක්ෂ, තරුන කන්ඩායම් සහ සාමාන්‍ය දෙමල සහ මුස්ලිම් ජනතාව පිලිබඳ ඔත්තු ජාලයක් පවත්වා ගෙන යයි. මාධ්‍යවේදීන්, ලේඛකයන් සහ කලාකරුවන් මෙන් ම දේශපාලන පක්ෂ ද, ත්‍රස්තවාදයට සහය දැක්වීමේ බොරු චෝදනා ඇතුලු ව, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට නිරන්තර ප්‍රහාරවලට මුහුන දෙති.

යාපනය විශ්වවිද්‍යාලයේ ජවිපෙ/ජාජබ ආශ්‍රිත ශිෂ්‍ය නායකයෝ ද සසපට බාධා කිරීමට සහ සිසුන් අතර සමාජවාදී අදහස් සාකච්ඡා කිරීම වැලැක්වීමට ක්‍රියාකාරීව කටයුතු කරති. ආන්ඩුවේ කම්කරු විරෝධී ස්වභාවය හෙලිදරව් කරන එක ම පක්ෂය සසප වේ.

විශ්වවිද්‍යාල සිසුන් අතර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් කෙරෙහි ආන්ඩුවේ සතුරුකම 2025 ජනවාරි මාසයේ දී පැහැදිලි විය. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වැඩ බලන උප කුලපතිවරයා, දේශපාලන විද්‍යා අංශ ප්‍රධානියාගේ පූර්ව අනුමැතිය නොතකා, 'අයිඑම්එෆ් කප්පාදු වැඩසටහනට එරෙහි ව සටන් කරන්නේ කෙසේද?' යන මැයෙන් පැවැත්වීමට නියමිත ව තිබූ සසජාතශි දේශනය හදිසියේ අවලංගු කලේ ය.

'රැස්වීම ආන්ඩු ප්‍රතිපත්තිවලට අභියෝග කරන බව නොපෙනෙන ලෙස' මාතෘකාව සංශෝධනය කරන ලෙස නියෝගය ඉල්ලා සිටියේ ය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ කාර්යාලය දේශනය පිලිබඳ ව විමසා තිබූ අතර, එමගින් තහවුරු වූයේ අයිඑම්එෆ් විසින් ඉල්ලා සිටින කප්පාදු පියවර නැවත සාකච්ඡා කිරීමේ සිය මැතිවරන පොරොන්දු පාවා දී ඇති ජවිපෙ/ජාජබ පරිපාලනය, කප්පාදුවට සමාජවාදී විකල්පයක් ඉදිරිපත් කරන එකම දේශපාලන ප්‍රවනතාවය මර්දනය කිරීමට විශ්වවිද්‍යාල කලමනාකාරීත්වය සමඟ ක්‍රියාකාරී ව කුමන්ත්‍රනය කර ඇති බවයි.

අගෝස්තු 19 වැනි දින පොලිස් ක්‍රියාව මෙම ප්‍රතිපත්තියේ අඛන්ඩ පැවැත්ම සනිටුහන් කරයි. අයිඑම්එෆ් විසින් නියම කරන ලද කප්පාදු පියවරවලට වැඩෙන විරුද්ධත්වය සමඟ කටයුතු කිරීමට ආන්ඩුව වැඩි වැඩියෙන් ඒකාධිපති විධික්‍රමයන් වෙත හැරෙමින් සිටී.

සසප සියලු කම්කරුවන්, සිසුන් සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන සැමගෙන් ඉල්ලා සිටින්නේ සසපට එරෙහි පොලිස් හිරිහැරයට විරුද්ධ වන ලෙසයි.

Loading