[මෙය SEP condemns police intimidation of WSWS reporter in Sri Lanka යන මැයෙන් 2026 අගෝස්තු 04 දා ඉංග්‍රීසියෙන් පල කෙරුනි.]
ජූලි 29දා, යාපනයේ සිට කිලෝමීටර් 31 ක් දුරින් පිහිටි කුරිකට්ටුවාන් ජැටියේ පැවති ධීවර විරෝධතාවකට පසු ව පැවැත්වුනු මාධ්‍ය හමුවකට සහභාගී වීමෙන් පසු, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරු දිනේෂ් හේමාල් අත්අඩංගුවට ගන්නා බවට කයිට්ස් පොලිසිය තර්ජනය කලේ ය. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම තර්ජනය තරයේ හෙලා දකී.
පොලිසිය හේමාල් අත්අඩංගුවට ගැනීමේ තර්ජනය ඉවත් කර ගත්තේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කර්තෘ මන්ඩලයට ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබඳව දැනුම් දීමෙන් පසු ව පමනි. ප්‍රකාශනයේ නිදහසට සහ මාධ්‍යවේදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වූ බරපතල ප්‍රහාරයක් වන මෙම සිදුවීම, ධනේශ්වර දේශපාලනඥයින්ට සහ වෘත්තීය සමිති නිලධාරීන්ට අභියෝග කරන්නන් බිය ගැන්වීමට පොලිසිය භාවිතා කරන ක්‍රමවේදයන් හෙලිදරව් කරයි.
යාපනය අර්ධද්වීපයට ආසන්න දූපත් වල ධීවර සමුපකාර සමිති විසින් මෙම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ, මුහුදු පතුල සූරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා මගින් ප්‍රදේශයේ ධීවරයින් 200 කගේ පමන මාලු දැල් වලට හානි කොට තිබීමට එරෙහි ව ය. ඉන්දීය ධීවරයින්ට එරෙහි ව දඬුවම් කරන රාජ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස සහ අවශ්‍ය වුවහොත් වෙඩි තබන ලෙසට පවා සමිති නායකයෝ ඉල්ලා සිටියහ. නමුත් ඔවුන්, ඉන්ධන මිල ඉහල යාම, දිසානායක ආන්ඩුව විසින් පනවන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාමූඅ කප්පාදු පියවරයන්, දැල් සහ උපකරනවල මිල ඉහල යාම හෝ ගෝලීය ධනවාදී අර්බුදය මධ්‍යයේ ධීවරයින්ගේ ජීවනෝපායන් විනාශ වී යාම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කලේ නැත.
ඔවුන් තෝරාගත් ඉල්ලීම් අහම්බයක් නොවේ. එය පිලිබිඹු කරන්නේ, විරෝධතාවය සංවිධානය කල අයගේ පන්ති අවශ්‍යතාවන් ය. ධීවර සමුපකාර සමිතිවල නායකත්වය සමන්විත වන්නේ, සුලු පරිමාන දුප්පත් ධීවරයින්ගෙන් නොවේ; දෙමල ජාතිකවාදී දේශපාලනඥයන් සමඟ සමීප සබඳතා ඇති ධනවත් පුද්ගලයින්ගෙන්ගෙනි.
හේමාල් ආරම්භයේ සිට ම විරෝධතාවය ආවරනය කලේ ය. පසු ව, ඔහු යාබදව පිහිටි කඩයක තේ පානය කරමින් සිටිය දී, නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන් දෙදෙනෙක්, සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සමග ඔහු වෙත පැමින තිබේ. සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන්, විරෝධතාවය සහ මාධ්‍ය හමුව නිරීක්ෂනය කරන ආකාරය හේමාල් මීට පෙර නිරීක්ෂනය කර තිබුනි. පෙනෙන ආකාරයට, පොලිසිය ඔහුගේ යතුරුපැදිය සටහන් කර ගෙන, ඔහුට යාමට ඉඩ හැර, පසුව ඔහු හඹා ගෙන විත් තිබේ.
හේමාල්ට එරෙහි පොලිස් තර්ජනය, විරෝධතාවයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ සිදුවීමක් සමග සෘජු ව ම සම්බන්ධ ය.
මාධ්‍ය හමුව අතරතුර, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවලට එරෙහි ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට කල ඉල්ලීම සම්බන්ධයෙන් දෙමල ජාතික ජනතා පෙරමුනේ (ටීඑන්පීඑෆ්) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට හේමාල් අභියෝග කලේ ය. එවැනි ඉල්ලීමක්, උතුරු නැගෙනහිර කලාපයෙන් හමුදාව ඉවත් කර ගැනීම සහ මිලිටරිකරනය අවසන් කිරීම සඳහා වන ජනතා අභිලාෂයන්ට පටහැනි බව හේමාල් පෙන්වා දුන්නේ ය.
ලෝසවෙඅ වාර්තාකරුගේ තවත් ප්‍රශ්නයකට පිලිතුරු දෙමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) ඉල්ලා සිටි දැඩි කප්පාදු පියවර ශ්‍රී ලංකා ආන්ඩුව විසින් ක්‍රියාත්මක කිරීම ආරක්ෂා කල පොන්නම්බලම්, ඒවා ජනතාවට ප්‍රතිලාභ ලබා දී ඇති බව ව්‍යාජ ප්‍රකාශයක් කලේ ය.
හේමාල්, කයිට්ස් ධීවර සමුපකාර සමිති ෆෙඩරේෂනයේ සභාපති අන්නලිංගම් අන්නාරාසාගෙන් ද ප්‍රශ්න කිරීමට උත්සාහ කලේ ය. හේමාල්, පොන්නම්බලම්ගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් මාධ්‍යවේදියෙකු ඔහුව නැවැත්වීමට උත්සාහ කරමින්, මැදිහත් විය හැක්කේ “ආරාධිත මාධ්‍යවේදීන්ට පමනක්” බව ප්‍රකාශ කලේ ය. “වඩමාරච්චි මාධ්‍ය නිවසට” අයත් බව හඳුනා ගන්නා ලාංඡනයක් පැලඳ සිටි මෙම පුද්ගලයා, මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරන ලෙස හේමාල්ට නියෝග කලේ ය.
මෙම පුද්ගලයා, ලෝසවෙඅ මාධ්‍යවේදියා කෙරෙහි ආක්‍රමනශීලී වූ විට, හේමාල් කීවේ, ඔහුගේ හැසිරීම “පොලිසිය වෙනුවෙන් මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිස් බලය යෙදවීමකට” සමාන බවයි. එම අවස්ථාවේ දී, “ඔවුන් ආරාධනා කල මාධ්‍යවේදීන්ට” සාකච්ඡාව ගෙන යාමට ඉඩ දෙන ලෙස ධීවර සමුපකාර සමිතියේ නායකයෝ හේමාල්ට කීහ.
තමා නිහඬ කිරීමට ගත් උත්සාහය හේමල් තරයේ ප්‍රතික්ෂේප කලේ ය. තමා ලොසවෙඅ වාර්තාකරුවෙකු බවත්, තම මාධ්‍ය රාජකාරි බාධාවකින් තොරව ඉටු කිරීමට තමන්ට අයිතියක් ඇති බවත් ඔහු පැහැදිලි කලේ ය. ඔහුව එතැනින් ඉවත් කිරීමට ගත් උත්සාහය, සංවිධායකයින්ගේ ජාතිකවාදී සහ ධනේශ්වර ගැති ස්ථාවරයත්, කම්කරු පන්තියේ අවශ්‍යතා පිලිබඳ දෘෂ්ටි කෝනයෙන් මතු වූ ප්‍රශ්නවලට පිලිතුරු දීමට ඔවුන්ට ඇති නොහැකියාවත් හෙලි කරයි.
පසුව හඹා ආ පොලිස් නිලධාරීන් හේමාල් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කල අතර, එක් අයෙක් මාධ්‍ය හමුවේ දී ඔහු කල ප්‍රකාශ ගැන ද සඳහන් කලේය. නිලධාරියා අසභ්‍ය භාෂාවෙන් බැන වදිමින් මෙසේ කෑ ගැසීය: “අපි දැක්කා උඹ එතන [මාධ්‍ය හමුවේදී] ලොකු කතා කියනවා”.
මාධ්‍යවේදියෙකු ලෙස හේමාල්ගේ කාර්යයට ඇඟිලි ගැසීමට නීත්‍යානුකූල බලයක් නොතිබුන ද, නිලධාරීහු ඔහුට මාධ්‍ය හැඳුනුම්පත පෙන්වන ලෙස බල කර සිටියහ. ඔවුහු ඔහුගේ ජාතික හැඳුනුම්පතේ තොරතුරු ද සටහන් කර ගත්හ.
හේමාල් විසින් ප්‍රශ්න ඇසීම වැලැක්වීමට මාධ්‍යවේදීන් දැරූ ප්‍රකෝපකාරී උත්සාහයන් මගින් පොලිසිය දිරි ගැන්වුනු බවට කිසිදු සැකයක් නැත. මාධ්‍යවේදියෙකු දේශපාලනිකයන්ට අභියෝග කරමින්, ඔවුන්ව අපහසුතාවයට පත් කරන ප්‍රශ්න මතු කල නිසා පොලිසිය පැහැදිලිවම ඔහුව ත්‍රස්ත කිරීමට උත්සාහ කරමින් සිටියේ ය.
අපගේ සහෝදරයාට එරෙහි මෙම තර්ජනය සසප බැරෑරුම් ලෙස සලකයි. ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ මාධ්‍යවේදීන්ට පොලිස් හිරිහැර සහ බිය ගැන්වීම් අඛන්ඩව සිදුවෙමින් ද ඒවා තව තවත් තීව්‍ර වෙමින් ද පවතී.
යුද්ධයෙන් විනාශ වූ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ලේවැකි වාර්ගික යුද්ධය අවසන් වී වසර 17 කට පසුවත් හමුදාව තව තවත් තම පැවැත්ම පුලුල් කර ගනිමින් සිටියි. පොලිස් සහ හමුදා සෝදිසි කිරීම් මෙම පලාත්වල දෛනික ජීවිතයේ කොටසක් ව තිබේ.
සාමාන්‍ය ධීවරයින්, වඩ වඩාත් නරක අතට හැරෙන තම ජීවන තත්වයන් ගැන විවෘතව කතා කල කුරිකට්ටුවාන් ජැටි විරෝධතාව පොලිසියේ නිරීක්ෂනයට ලක්වීම සහ පසුව නිලධාරීන් විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෙකුට තර්ජනය කිරීම, දේශපාලන සාකච්ඡා සීමා කිරීමටත්, විරුද්ධත්වය මර්දනය කිරීමටත් ආන්ඩුව දරන පුලුල් වෑයමක කොටසකි.
තම අයිඑම්එෆ් කප්පාදු වැඩසටහනට එරෙහිව වැඩෙන සමාජ විරෝධයට මුහුන දෙන විට ආන්ඩුව එයට ප්‍රතිචාර දක්වන්නේ, කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් සෙවීම මගින් නොව; ඔත්තු බැලීම, බිය ගැන්වීම සහ මර්දන යාන්ත්‍රන ශක්තිමත් කිරීම මගිනි.
රටේ හදිසි නීතිය නැවත නැවතත් දීර්ඝ කර ඇති අතර, එමඟින් ජනාධිපතිවරයාට හමුදාව යෙදවීමට, රැස්වීම් සීමා කිරීමට සහ සාමාන්‍ය අධිකරන ක්‍රියා පටිපාටියකින් තොරව පුද්ගලයින් රඳවා තබා ගැනීමට පුලුල් බලතල ලබා දී තිබේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ අත්‍යවශ්‍ය ලක්ෂන රඳවා තබා ගන්නා සහ අංශ කිහිපයක වැඩ වර්ජන නීති විරෝධී කිරීමට අත්‍යවශ්‍ය සේවා නියෝග භාවිතා කරන නව “ප්‍රති-ත්‍රස්ත” නීතියක් ද ආන්ඩුව සකස් කරමින් සිටී.
ලෝක සමාජවාදී වෙබ් අඩවියට එරෙහි තර්ජන තේරුම් ගත යුතුවන්නේ, මෙම පුලුල් දේශපාලන සන්දර්භය තුල තබමිනි. අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ, සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට සහ සියලු ආකාරයේ ජාතිකවාදයට සහ වර්ගවාදයට එරෙහි සියලු ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතා වෙනුවෙන් සටන් කර ඇත. සිංහල සහ දෙමල භාෂා පුවත්පත් වූ කම්කරු මාවත සහ තොලිලාලර් පාදෛ හරහා සිදු කෙරුනු එම අරගලය සහ අද දින ලෝසවෙඅ හරහා සිදු කෙරෙයි.
පොලිස් තර්ජනවලට හෝ සමාජවාදී ජනමාධ්‍ය මර්දනය කිරීමේ උත්සාහයන් මගින් සසප සලිත වන්නේ නැත. ලෝසවෙඅ සහ අනෙකුත් ස්වාධීන මාධ්‍යවේදීන් නිහඬ කිරීමට ගන්නා සෑම උත්සාහයකටම විරුද්ධ වන ලෙස අපි කම්කරුවන්, තරුනයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමු.
ගෝලීය වශයෙන් ආන්ඩු වැඩි වැඩියෙන් ඒකාධිපති ක්‍රමවේදයන්ට යොමුවෙමින් සිටින අතර ජනගහනයේ පුලුල් ස්ථර දරිද්‍රතාවයට ඇද දමන ධනේශ්වර පාලන ක්‍රම ආරක්ෂා කිරීම සඳහා වාර්ගික හා ජාතිකවාදී බෙදීම් අවුලුවමින් සිටී. එබැවින්, ප්‍රකාශනයේ නිදහස සහ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා වන අරගලයෙන් වෙන් කල නොහැකි ය.
වැඩිදුර කියවන්න
- පොලිස් වෙඩි තැබීමකින් යාපනයේ දෙමල තරුනයෙක් ඝාතනය කෙරෙයි
- පොලිසිය කරෙයිනගර් ගම්වාසීන්ට කෲර ලෙස පහර දෙයි
- ශ්‍රී ලංකාව: සසප සාමාජික නඩරාජා විමලේස්වරන් අතුරුදහන් වී වසර දෙකයි
- උතුරේ ධීවරයෝ කයිට්ස්හිදී ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කරති
- ශ්‍රී ලංකාව: යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහි මිලිටරි බියවැද්දීම් දිගටම
- උතුරේ ධීවරයෙකුගේ මරනයට ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධ බවට සැකයක්
- ශී‍්‍ර ලංකාවේ මිලිටරිය යාපනයේ දෙමල ජනයාට එරෙහි මෘග ප්රහාරයක
