අතුරුදන් වූවන්ගේ ඥාතීන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්වූ විරෝධතාව පොලිසිය ප්‍රචන්ඩ ලෙස විසුරුවා හරී

අගෝස්තු 25 සඳුදා, ශ්‍රී ලංකා පොලිසිය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට උත්සාහ කල උතුරු හා නැගෙනහිර පලාත්වල බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ (ඒආර්ඊඩී) නියෝජිතයන්ට හිරිහැර කරමින් ඔවුන් බලහත්කාරයෙන් ඉවත් කලේ ය. මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ ආන්ඩුව විසින් පවත්වන ලද ජාත්‍යන්තර අතුරුදන් වූවන්ගේ දිනය සැමරීමේ උත්සවයක් අතරතුර ය.

ඒආර්ඊඩී සාමාජිකයන් සිවු දෙනෙකු ඒවන විටත් ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුලු වී සිටියදී, පොලිසිය ප්‍රධාන දොරටුව අවහිර කරමින් අනෙක් පිරිසට ඇතුලුවීම වැලැක්වී ය. ඇතුලත සිටි පිරිසට පිටතට යන ලෙස පොලිස් නිලධාරියෙකු නියෝග කල විට, ඔවුහු තම විරෝධතා බැනරය දිගහැරීමට උත්සාහ කලහ. එහි සඳහන් වූයේ: “අපගේ ඥාතීන් කොහේද? අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් අපට යුක්තිය අවශ්‍යයි! ඕඑම්පී හි රැවටිලිකාර නාටකය තවදුරටත් එපා! හමුදාවට භාර දුන් අපගේ ඥාතීන්ට සිදුවූයේ කුමක් ද? වන්දි එපා!”

පොලිස් නිලධාරීහු වහා ම විරෝධතාකරුවන් වෙත කඩා පැන බැනර් උදුරා ගැනීමට උත්සාහ කලහ. ඔවුන් ඉවත් වීම ප්‍රතික්ෂේප කල විට නිලධාරීහු ඔවුන් ඉවතට තල්ලු කල අතර, එහි දී ඔවුහු බිම ඇද වැටුනාහ. ඔවුන් අත්අඩංගුවට ගන්නා බවට ද තර්ජනය කෙරිනි. අනතුරුව කාන්තා පොලිස් නිලධාරිනියෝ, කාන්තා විරෝධතාකරුවන්ගේ දෑතින් අල්ලා ගොඩනැගිල්ලෙන් පිටතට ඇදගෙන ගියහ. නැවත ඔවුන්ට ඇතුලුවීමට නොහැකි වන පරිදි පොලිසිය දොරටුව අසල රැඳී සිටියේ ය.

විරෝධතාවයේ යෙදෙන අතුරුදන් කරනු ලැබූ අයගේ ඥාතීන් විසුරුවා හරින පොලිසිය

මෙම උත්සවය දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පැවැත් වූ අතර එය සංවිධානය කර තිබුනේ අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලය (ඕඑම්පී) විසිනි. අධිකරන හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂන නානායක්කාර, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, උතුරු පලාත් ආන්ඩුකාර එන්. වේදනායගම්, ඕඑම්පී සභාපති මහේෂ් කටුලන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරේ දිස්ත්‍රික්ක පහේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අතුරුදන් වූවන්ගේ ඥාතීන් යැයි තෝරාගත් ඇතැම් පුද්ගලයෝ ඊට සහභාගී වූහ.

2016 අගෝස්තු මාසයේ දී ඕඑම්පී පිහිටුවනු ලැබුවේ, දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමත් සමඟ 2009 මැයි මාසයේ දී අවසන් වූ වසර 26ක ලේවැකි වාර්ගික යුද්ධයේ දී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුලත් ජාත්‍යන්තරවත් පැවති දැඩි විරෝධය මධ්‍යයේ ය. දශකයක අත්දැකීම පෙන්නුම් කරන්නේ, ඕඑම්පී යනු, යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවේ සහ දේශපාලන නායකයන්ගේ වගකීම පිලිබඳ කවර හෝ විමර්ශනයක් යටපත් කිරීමේ ක්‍රියාවලියේ ම කොටසක් බවයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), අතුරුදන් වූවන්ගේ පවුල්වලට පොලිසිය විසින් සිදු කල ප්‍රචන්ඩ හිරිහැර හෙලා දකී. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. ආරක්ෂක හමුදා විසින් තම ආදරනීයයන් පැහැර ගෙන ගිය මෙම පවුල්වලට, අපරාධ සම්බන්ධයෙන් වගකීම දරන රාජ්‍යයෙන් වගවීම ඉල්ලා සිටීමටත්, තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් පූර්න අයිතිය ඇත.

පොලිසියේ මෙම ප්‍රතිචාරයෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව තම න්‍යාය පත්‍රයට එරෙහි විරෝධය ඉවසන්නේ නැති බවයි.

අතුරුදන් වූවන්ගේ මව්වරුන් පොලිසිය විසින් ලේකම් කාර්යාලයෙන් ඇද ගෙන යමින් තල්ලු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගිය අතර, එය කම්කරුවන් සහ තරුනයන් අතර පුලුල් කෝපයක් ඇති කලේ ය.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිසිය විසින් සිදු කල හිරිහැර සාධාරනීකරනය කල අතර, සිද්ධිය වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට දොස් පැවරී ය.

“පිටත විරෝධතාවයේ යෙදී සිටි මේ මව්වරුන්ට අපි කිව්වා: එන්න, අපිත් එක්ක කතා කරන්න. පිටත සිට කෑ ගහන්න එපා; අපි ඔබේ වේදනාව තේරුම් ගන්නවා,” යැයි චන්ද්‍රසේකරන් පැවසී ය. ඉන් අනතුරුව ඔහු මාධ්‍යයට දොස් පවරමින් මෙසේ පැවසී ය: “පොලිසිය, විරෝධතාවයේ යෙදී සිටි මව්වරුන් ඇද ගෙන ගියා කියලා, යාපනය ලේකම් කාර්යාලය යුද පිටියක් වෙලා කියල මාධ්‍ය ලියනවා.” ඔහු මාධ්‍යවේදීන්ට අනතුරු අඟවමින්, “ජනතාව සමඟ සෙල්ලම් කරන එක නවත්වන්න… මේ පාපය ඔබ පසුපස එයි,” යැයි පැවසී ය.

ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “අනුර [කුමාර දිසානායක]ගේ ශ්‍රේෂ්ඨ ආන්ඩුව හොඳ තීරන ගනිමින් ජනතාව වෙනුවෙන් හොඳ දේවල් කරමින් සිටිය දී, ඔබ මාධ්‍යවේදීන් මේ ආකාරයෙන් ලියනවා.”

අමාත්‍ය නානායක්කාර රැස්වීම අමතමින් කල කතාවෙන් ආන්ඩුවේ “ශ්‍රේෂ්ඨ” වැඩ කටයුතු හෙලි වේ.

ඕඑම්පී විසින් අත්හිටුවා තිබූ විමර්ශන නැවත ආරම්භ කර ඇති බවත්, එහි පුරප්පාඩු 69ක් පුරවා ඇති බවත්, එය දැන් ස්වාධීන ව ක්‍රියාත්මක වන බවත් නානායක්කාර පැවසී ය. ලැබී ඇති පැමිනිලි අතරින් 16,966ක් විමර්ශනය කල හැකි ඒවා ලෙස සලකා ඇති අතර, සියලු මූලික විමර්ශන 2027 අවසානය වන විට අවසන් කිරීම ඉලක්කය බව ඔහු පැවසී ය.

මේ දක්වා නඩු 1,594ක් වැඩිදුර විමර්ශනය සඳහා යොමු කර ඇති අතර, අතුරුදන්වීමේ සහතික 2,719ක් සහ මරන සහතික 409ක් නිකුත් කර ඇත. අතුරුදන් වූ පුද්ගලයන් 31 දෙනෙකු සම්බන්ධයෙන් අවසන් තොරතුරු ලබා ගෙන ඒවා ඔවුන්ගේ පවුල්වලට පමනක් ලබා දී ඇත. 2025දී රුපියල් මිලියන 375ක් වෙන් කර ඇති අතර, එයින් රුපියල් මිලියන 57ක් චෙම්මනි සමූහ මිනීවල සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා වෙන් කර ඇත. බලපෑමට ලක් වූ පවුල් සඳහා නිවාස, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ආවරනය වන “විශේෂ ආධාර පැකේජයක්” ද ඉදිරිපත් කරමින් සිටී.

ඕඑම්පී දශකයක් පුරා ක්‍රියාත්මක වී තිබුන ද, එක් අපරාධකරුවෙකු හෝ හඳුනා ගෙන නැත; කිසිදු පුද්ගලයෙකුට එරෙහි ව නඩු පැවරීමට ද සමත් වී නැත. අතුරුදන්වීමේ සහතික සහ මරන සහතික යනු නිලධාරිවාදී ලේඛන කටයුතු පමනි; ඒවා යුක්තිය නොවේ. අපරාධයක් සිදු වී ඇති බව එමගින් තහවුරු වුව ද, ඒ සඳහා වගකිවයුත්තන්ට වගකීම පැවරීමක් සිදු නොකරයි.

“නීතිය සැමට සමානයි. කිසිවකු නීතියට ඉහලින් නැහැ… අතුරුදන්වීමේ සිද්ධිය වැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පවා සැමට යුක්තිය ඉටුවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා,” යන්න ආන්ඩුවේ වැදගත් මූලධර්මය බව ඔහු ප්‍රකාශ කලේ ය.

මෙය කුහක ප්‍රකාශයකි. ආන්ඩුව “කිසිවකු නීතියට ඉහලින් නැතැයි” ප්‍රකාශ කරන නමුත්, අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් කිසිදු අපරාධකරුවෙකු සොයා ගෙන නැත. එ මෙන් ම යුක්තිය ඉල්ලා හඬ නඟන අතුරුදන් වූවන්ගේ මව්වරුන්ට සහ අනෙකුත් පිරිසට තමන්ගේ ම පොලිසිය විසින් ශාරීරික ව හිරිහැර කර ඇත.

“විශේෂ ආධාර පැකේජය” යනු යුක්තිය සඳහා වන පියවරක් නොවේ. එය වගකිවයුත්තන් හඳුනා ගෙන නඩු පැවරීම වෙනුවට, ලිපිගොනු වසා දැමීමට සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් නිහඬ කිරීමට සැලසුම් කල මුදල් ගනුදෙනුවකි.

ඕඑම්පී විමර්ශනය, මරන සහතික සහ වන්දි ප්‍රතික්ෂේප කරන ඒආර්ඊඩී සංවිධානය, “ජාත්‍යන්තර ප්‍රජාව” මගින් ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටී. මෙම සංවිධානය දෙමල ජාතිකවාදී පක්ෂවල පාලනය යටතේ පවතී.

ඒආර්ඊඩී නායකයන්ටත් මෙම ජාතිකවාදී පක්ෂවලටත් දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නැත. ඔවුහු එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් වැනි අධිරාජ්‍යවාදී බලයන්ගෙන් යුක්තිය ඉල්ලා සිටිති. ඇත්ත වශයෙන් ම, මෙම බලයන් මෙන්ම ඉන්දියාව ද, කොලඹ අනුප්‍රාප්තික ආන්ඩුවල වාර්ගික යුද්ධයට සහාය දුන්හ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් එම යුද්ධයේ කොටසක් විය.

යුද්ධයට උපරිම සහයෝගය දැක්වූ සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ, ජාජබ ලෙස නව මුහුනුවරක් ගෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින් බලයට පැමිනියේ ය. යුද්ධයෙන් ව්‍යසනයට පත් වූ සහ දූෂිත දෙමල ධනේශ්වර පක්ෂ කෙරෙහි පිලිකුලට පත් වූ ජනතාවගේ ඡන්ද ගසා කෑම සඳහා එය විවිධ පොරොන්දු ලබා දුන්නේ ය. එහෙත් ජවිපෙ/ජාජබ බලයට පැමිනි වහා ම එම පොරොන්දු අත්හැර දැමී ය.

එය මෙම පලාත්වල හමුදා වාඩි ලා ගැනීම අඛන්ඩ ව පවත්වා ගෙන යන අතර, ජනතාව මත හමුදා සහ පොලිස් නිරීක්ෂනය ද අඛන්ඩව සිදුවෙමින් පවතී. “ත්‍රස්තවාදය” පිලිබඳ තර්ජන ව්‍යාජ ලෙස උපුටා දක්වමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කෙරෙමින් පවතී.

මෙය රට පුරා ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිපත්තිවල කොටසකි. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කුරිරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන අතර ම, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ විරෝධය මර්දනය කිරීමයි.

Loading