වී සඳහා සාධරන මිලක් ඉල්ලා ගොවීහු දිගට ම උද්ඝෝෂනය කරති

වී කිලෝග්‍රෑමයකට රුපියල් 140ක සහතික කල අවම මිලක්, පොහොර සහ කෘෂි රසායන මිල අඩු කිරීමක් සහ සහනාධාර ඉන්ධන කෝටාවක් ඉල්ලා වී ගොවිහු ජුනි මාසයේ සිට අඛන්ඩ උද්ඝෝෂනයක නිරත ව සිටිති.

ජුනි 16 වෙනි දා ආරම්භ කෙරුන මෙම උද්ඝෝෂනවලට පොලොන්නරුව, ත්‍රිකුනාමලය, අම්පාර අනුරාධපුර, කුරුනෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි විවිධ ප්‍රදේශවල දස දහස් ගනනක් ගොවීහු සම්බන්ධ වූහ. ඔවුහු පෙලපාලි, පිකට් උද්ඝෝෂන, සත්‍යග්‍රහ සහ දේවස්ථාන වලට ගොස් පොල් ගසා ආන්ඩුවට සාප කිරීම ඇතුලු විවිධ ක්‍රියාවන්හි යෙදුනාහ. උද්ඝෝෂකයෝ ඇතැම් තැන්වල දී කෘෂිකර්ම ඇමති කේ.ඩී.ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරනාරත්න ගේ පඹයන්ට ගිනි තබා තම සාධාරන ඉල්ලීම් වලට ආන්ඩුව විසඳුම් ලබා නොදීම කෙරෙහි තම අසීමිත කෝපය ප්‍රදර්ශනය කලහ.

යල කන්නයේ අස්වනු නෙලීම දැන් ආරම්භ වී ඇති අතර ආන්ඩුව විසින් පවතින සහතික මිල වන රුපියල් 120ට හෝ නිසි ලෙස වී මිල දී ගැනීමක් නොකෙරෙන බැවින් පුද්ගලික වෙලෙන්දන් විසින් වී කිලෝවක් රුපියල් 80ට 90ට වැනි අඩු මිලකට මිල දී ගන්නා බව ගොවීහු පවසති. බිම් සැකසීමේ සිට අස්වනු නෙලීම දක්වා වියදම් සඳහා නයට මුදල් සපයන මහා පරිමාන සහල් මෝල් හිමියන් විසින් නය බරින් පීඩිත දුගී ගොවීන් මුලුමනින් ම ග්‍රහනයට ගෙන ඇත. මෙම මෝල් හිමියෝ අස්වනු නෙලන කාලයට කුඹුරට ම ගොස් නයට හිලව්වට අස්වනු ටික රැගෙන එති.

ගොවි උද්ඝෝෂන සංවිධානය කරනු ලබන්නේ පලාත්බද ව පිහිටි ගොවි ජන සංවිධාන විසිනි. කෘෂිකර්ම සංවර්ධන පනත යටතේ ලියාපදිංචි කර ඇති මෙම ගොවි සංවිධාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ගොවීන් සම්බන්ධීකරනය කරන අතර මැදි සංවිධාන ලෙස ද ක්‍රියාත්මක වේ.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුලු දේශපාලන පක්ෂවලට අනුබද්ධිත ප්‍රධාන ගොවි සමිති සහ සම්මේලන විසින් දශක ගනනාවක් පුරා ගොවීන්ගේ අරගල ධනපති ආන්ඩු වල ව්‍යාජ පොරොන්දුවලට යටත් කොට පාවා දීම නිසා එම සංවිධාන දැන් ගොවීන් අතර අපකීර්තියට පත් වී ඇත.

ජවිපෙ/ජාතික ජන බලවේගය (ජාජබ) 2024 මැතිවරන උද්ඝෝෂනය තුල දී ගම්බද දුගී ගොවීන්ගේ ඡන්දය ගසා කෑම සඳහා තමන් බලයට පත් වූ විට වී කිලෝවකට රුපියල් 150ක මිලක් ලබා දෙන බවට පොරොන්දු වූ නමුත් එම පොරොන්දුව කුනු කූඩයට දමා ඇත. පිලිවෙලින් නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා ආන්ඩුව දැනට ගෙවනු ලබන්නේ, රුපියල් 120ක්, රුපියල් 130ක් සහ රුපියල් 140ක් පමනි.

වී කිලෝවකට රුපියල් 150ක අවම මිලක් ලබා දෙන බවට මැතිවරනයේ දී පොරොන්දු වූ නමුත් දැන් නිෂ්පාදන වියදම අඩු වී ඇති බව ඇමති ලාල්කාන්ත පවසයි. කෘෂිකර්ම අමාත්‍යංශය මෑත දී නිකුත් කල වාර්තාවකට අනුව වී කිලෝවක් සඳහා නිෂ්පාදන වියදම රුපියල් 76ත්, රුපියල් 119ත් අතර පරාසයකට අඩු වී ඇතයි ඔහු පැවසී ය.

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 137ක් දක්වා ඉහල ගොස් ඇති බව ජුනි 24 වෙනි දා පාර්ලිමේන්තුවේ දී ලාල් කාන්ත ප්‍රකාශ කලේ ය. ඊට දෙසතියකට පසු කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කලා යයි කියන වාර්තාවට අනුව ඉහත සඳහන් ආකාරයට නිෂ්පාදන පිරිවැය අඩු වී ඇත්තේ කෙසේ ද? ඇමති ලාල්කාන්ත ඒ සඳහා දක්වන එකම හේතුව කුඹුරු හෙක්ටයාර් එකකට රුපියල් 30,000 ක පොහොර සහනාධාරයක් ලබා දීමයි. පොහොර සහනාධාරය 30,000 වුනේ ඊට පෙර ලබා දුන් රුපියල් 25,000ක සහනාධාරයට තව 5,000ක් වැඩි කිරීමෙනි. එහෙත් ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල් යුද්ධය නිසා පොහොර සහ තෙල් මිල ඉහල ගියේ ය. තෙල් මිල ඉහල යාමෙන් සී සෑමේ සිට අස්වනු නෙලීම දක්වා යන්ත්‍රෝපකරන සඳහා ගෙවීම් සහ ප්‍රවාහන ගාස්තු විශාල වශයෙන් වැඩි විය.

පවුලේ ශ්‍රමය හෝ යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම අනුව කුඹුරු අක්කරයක් සඳහා වැය වන මුලු මුදල රුපියල් 100,000ත් 150,000 අතර වේ. ජුලි 28 අනුරාධපුරයේ සහ 30 පොලොන්නරුවේ පැවති ගොවි රැස්වීම් දෙකක දී ලාල්කාන්ත ඉදිරිපත් කල කෘෂිකර්ම අමාත්‍යංශයේ නිෂ්පාදන පිරිවැය තක්සේරුව ප්‍රතික්ෂේප කල ගොවීහු වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 106 ක් වන බවත් නිෂ්පාදන වියදමෙන් තුනෙන් එකක් එයට එකතු කර රුපියල් 140ක අවම මිලක් ලබාදීමට ආන්ඩුව වහා ම පියවර ගත යුතු බව ඉල්ලා සිටියහ.

ගොවීන් නිරත ව සිටින අඛන්ඩ උද්ඝෝෂනයේ කොටසක් ලෙස අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කල විරෝධතා උද්ඝෝෂනයක් අගෝස්තු 10 වෙනි දා අම්බලන්තොට නගරයේ රිදියගම හන්දියේ දී පැවැත් වුනි. එම උද්ඝෝෂනය ට කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය, කිරිඳිඔය වම් ඉවුර සහ දකුනු ඉවුර ගොවි සංවිධාන ඇතුලු ගොවි සංවිධාන කිහිපයක ගොවීහු 500 ක් පමන සහභාගී වූහ.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් පිකට් උද්ඝෝෂනයක යෙදුන විරෝධතාකරුවෝ ඉක්බිති ව අම්බලන්තොට නගරය හරහා වලවේ ගඟ පාලම අසලට පෙලපාලියකින් ගමන් කර, යලි නගර මධ්‍යයේ ඔරලෝසු කනුව අසලට පැමින පැය තුනකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූහ.

උද්ඝෝෂනය අතරතුර ගොවි ජන සංවිධාන නායකයන් සහ ප්‍රදේශයේ තරුනයන් ජන මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් සිටි අවස්ථාවේ ඒ අසලට පැමිනි, තමන් ගොවියන් යයි හඳුන්වා ගත් ජවිපෙ ප්‍රකෝපකාරින් කන්ඩායමක් උද්ඝෝෂකයන්ට විරුද්ධ ව මාධ්‍යට අදහස් දැක්වීමට උත්සහ කර ඇත. ඔවුන් අතර ජවිපෙ ප්‍රාදේශීය නායකයෙකු සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයෙකු සිටි බව ද එය උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට කල් ඇති ව සුදානම් කල ප්‍රකෝපකරනයක් බව ද ගොවීහු කිහ. කෙසේ නමුත් ඔවුන්ගේ ප්‍රකෝපකරන උත්සාහය ව්‍යර්ථ කරමින් ගොවීන් විසින් ඔවුහු පලවා හරින ලදහ.

අම්බලන්තොට අවට ප්‍රදේශයේ බහුතරයක් ගොවීන්ට හිමි වගා බිම් ප්‍රමානය අක්කර දෙකකි. කුඹුරු අක්කරයක් වගා කිරීම සඳහා දල වශයෙන් රුපියල් 125,000 ක් පමන වැය වන බව ඔවුහු පැවසූහ.

මෙම උද්ඝෝෂනයට සහභාගී වූ සාගර රන්හොටි ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූවේ ගොවි ජනයා මුහුන දෙන ප්‍රශ්න සඳහා වර්තමාන ජවිපෙ/ජාජබ ආන්ඩුවෙන් කිසිදු සාධාරන ඇහුම්කන් දීමක්වත් නොලැබෙන බවයි.

සාගර රන්හොටි

“මමත් ඡන්දේ දුන්නේ මේ ආන්ඩුවට. ගොවියෝ කුඹුරු කරන්නේ නය වෙලා. පොලියටත් සල්ලි ගන්නවා. ප්‍රවාහන ගාස්තුව වැඩි වෙලා. පොහොර මිල වැඩි වෙලා. ලමයින්ගෙ ටියුෂන් පන්තිවලට යන වියදම් වැඩි වෙලා. ගොවි ජනතාව බලන්නේ තමන්ගෙ ලමයින්ටවත් හොඳ අධ්‍යාපනයක් ලබා දීලා අනාගතයක් හදල දෙන්න. ඒත් ඒ කිසි ම දෙයක් කරගන්න පුලුවන් ආදායමක් අපට ගොවිතැනින් ලැබෙන්නේ නැහැ. ආන්ඩුව පත්කර ගන්න කොට අපි හිතුව ඒ ප්‍රශ්න විසඳල දෙයි කියලා. නමුත් දැන් අපට ඇත්ත තත්ත්වය පැහැදිලියි. ජාතික ජන බලවේගය ආන්ඩුව යන්නෙත් කලින් ආන්ඩු ගියපු පාරෙමයි” රන්හොටි පැවසී ය.

වී ගොවිතැනින් ලැබෙන ආදායමෙන් ජීවිතය පවත්වා ගෙන යාම ඉදිරියේ දී කල නොහැකි බව රිදියගම ඒකාබද්ධ ගොවි ජන සංවිධානයේ භාන්ඩාගාරික ධනපාල කීවේ ය:

“ගොවියො මුහුන දෙන ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. ඒ වගේ ම ගොවි සංවිධාන ඒකාබද්ධ වෙලා මේ ප්‍රශ්න කොපමන ඉදිරිපත් කරත් විසඳ ගන්නත් බැහැ. ගොවියන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මීට කලිනුත් අපි උද්ඝෝෂනය කලා. අපි බලාගෙන හිටිය. ප්‍රශ්න විසඳෙයි කියල. විසඳුනේ නැහැ. ගොවීන් මුහුන දෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. තිබුන ආන්ඩු එකකින් වත් ඒවාට විසඳුම් ලැබුනේ නැහැ,” ධනපාල පැවසී ය.

කොතෙක් උද්ඝෝෂනය කලත් දුගී ගොවීන්ට තම දිගු කාලීන දැවෙන ප්‍රශ්නවලට අනුප්‍රාප්තික ධනපති ආන්ඩු වලින් විසඳුමක් නොලැබුන බවටත් වර්තමාන ජවිපෙ/ජාජබ ආන්ඩුවෙන් ද විසඳුමක් නොලැබෙන බවටත් ගොවීන් කරන චෝදනාව සත්‍යයකි.

පසුගිය දසක කිහිපය තුල ම ධනපති දේශපාලන පක්ෂවලට අනුබද්ධ සහ ඊනියා ස්වාධීන යයි කියා ගත් ගොවි සම්මේලන කලේ ධනපති ආන්ඩු වල බොරු පොරොන්දු වලට යටත් කර ගොවීන්ගේ අරගල පාවා දීමට සහ එක් ධනපති ආන්ඩුවකින් පසු තවෙකක් බලය ට පත් කිරීම සඳහා ධනපති පක්ෂවල අත යටට ගොවීන් තල්ලු කිරීම යි. වර්තමාන උද්ඝෝෂන වල මූලිකත්වය ගෙන සිටින ගොවි ජන සංවිධාන ද ගොවීන් කොටු කර ඇත්තේ ජනාධිපතිට ආයාචනා කිරීමෙන්, කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති කරුනාරත්න ඉවත් කිරීමෙන් සහ ඊලඟ ඡන්දයක දී ජවිපෙ/ජාජබට ඡන්දය නොදෙන බවට තර්ජනය කිරීමෙන් ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගත හැකි ය යන බරපතල මිථ්‍යාවකට ය. දෙවියන්ට පොල් ගසා ආන්ඩුවට සාප කිරීමෙන් සහ සත්‍යග්‍රහ කිරීමෙන් ගොවි ඉල්ලීම් දිනා ගත හැකිය විශ්වාස කිරීමත් එ බඳු ම මිථ්‍යාවකි.

ජවිපෙ/ජාජබ ආන්ඩුවෙන් ගම්බද ගොවීන්ට හෝ කම්කරු පන්තියට තම සමාජ හෝ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කිසිවක් ලබා ගත නොහැකි ය. එය කැප වී සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු පිලිවෙත් සහ ඉරානයට එරෙහි යුද්ධයෙන් තීව්‍ර වන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් සහ ගම්බද ගොවීන් මත පැටවීමට විනා ඔවුන්ට සහන සැලසීමට නොවේ.

ගොවීන්, ගොවි ජන සංවිධාන විසින් ප්‍රවර්ධනය කරන මිථ්‍යාවන් ප්‍රතික්ෂේප කල යුතු ය. ජනාධිපතිට ආයාචනා කිරීමෙන්, ඇමතිවරුන් ඉවත් කිරීමෙන් හෝ ඊලඟ ඡන්දයේ දී ජවිපෙ/ජාජබට ඡන්දය නොදෙන බවට තර්ජනය කිරීමෙන් ගොවි ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳිය නොහැක. දේවස්ථාන වලට ගොස් පොල් ගැසීමෙන් හෝ සත්‍යග්‍රහ කිරීමෙන් ධනපති ආන්ඩුවක් තමන්ට විරුද්ධ ව හරවා ගත හැකි ය යන විශ්වාසය ද එ බඳු ම මිථ්‍යාවකි. ගොවීන්ගේ දුක්ඛිත තත්ත්වයට හේතුව මේ හෝ ඒ ආන්ඩුව නොව ධනපති ක්‍රමය ම ය. ජවිපෙ/ජාජබ ආන්ඩුව කැප වී සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැංවීමට සහ ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල් යුද්ධයෙන් තීව්‍ර වන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් සහ ගම්බද ගොවීන් මත පැටවීමට මිස ඔවුන්ට සහන සැලසීමට නොවේ.

ගොවීන් තම ඉල්ලීම් සඳහා අරගලයේ දී හැරිය යුත්තේ කම්කරු පන්තිය වෙතට යි. ගොවීන්ගේ මූලික ප්‍රශ්න විසඳිය හැක්කේ කෘෂි ව්‍යාපාර ආයතන, මහාපරිමාන සහල් මෝල්, බැංකු සහ මුල්‍ය ආයතන විසින් කෘෂිකර්මාන්තය මත පනවා ඇති ග්‍රහනයට එරෙහි ස්වාධීන අරගලයක් මගින් පමනි. මෙම අරගලය තුල ප්‍රධාන වතු, කෘෂි ව්‍යාපාර සමාගම්, මහා පරිමාන සහල් මෝල් ඇතුලු දැවැන්ත කම්හල් සහ බැංකු, කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කල යුතු ය. ඒ සඳහා ගොවීන් සියලු ධනේශ්වර පක්ෂවලින් හා ධනපති පක්ෂ වටා පෙල ගැසී සිටින ගොවි ජන සංවිධානවලින් ස්වාධීන ව තම ඉල්ලීම් සඳහා සටන් කිරීමට තමන් ජීවත්වන ප්‍රදේශවල හා දිස්ත්‍රික්ක මට්ටමින් ගොවි ක්‍රියාකාරී කමිටු පිහිටුවා දිවයින පුරා සම්බන්ධීකරනය කල යුතු ය. මෙම කමිටු කම්කරු පන්තියේ ස්වාධීන අරගල සංවිධාන සමඟ සමීප සබඳතා ගොඩනගා ගත යුතු ය.

ගොවීන්ගේ අරගලය කම්කරු පන්තියේ අරගලයෙන් හුදකලා ව සිදු කල නොහැක. කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අරගලයේ කොටසක් ලෙස ම පමනක් ගොවීන්ගේ ඉල්ලීම් ජය ගත හැක. ධනපති ලාභ උදෙසා නොව සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ආහාර නිෂ්පාදනය ඇතුලු ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැක්කේ එවැනි ආන්ඩුවකට පමනි.

Loading