රිවර්ස්ටන්: සාමාන්‍යකරනය වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඝාතන

ලලිත් රත්නායකගේ දෙවන වෘතාන්ත චිත්‍රපටය වන රිවර්ස්ටන්, මෑත වසරවල දී ජාත්‍යන්තර වශයෙන් වඩාත් ම සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රී ලාංකික නිර්මානයකි. එය 2025 ෂැංහයි ජාත්‍යන්තර සිනමා උලෙලේ දී හොඳම තිර රචනය සහ හොඳ ම සිනමාකරනය සඳහා සම්මාන ලබා ගත් අතර, සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උලෙලේ දී හොඳම අධ්‍යක්ෂවරයා සම්මානය ද, ප්‍රංශයේ පැවති 2026 වෙසූල් ආසියානු සිනමා ජාත්‍යන්තර උලෙලේ දී ඉහල ම සම්මානය වන ගෝල්ඩන් සයික්ලෝ (Golden Cyclo) සම්මානය ද දිනා ගත්තේ ය. සැබැවින් ම, රත්නායකගේ නිර්මානය මෙම සම්භාවනාවට යෝග්‍ය ය. එය සැලකිය යුතු කලාත්මක බුද්ධියකින් සහ සදාචාරාත්මක බැරෑරුම්භාවයකින් යුත් කෘතියකි. එහි විෂයය—ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක හමුදා විසින් නීතියෙන් බැහැර ව සිදුකරන ඝාතන—දශක ගනනාවක් පුරා දිවයින පුරා හොල්මන් කර ඇති කරුනකි.

චිත්‍රපටය සම්පූර්නයෙන් ම පාහේ දිවයිනේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන පොලිස් රථයක සීමිත අවකාශය තුල දිග හැරෙයි. එහි දී නන්දිත (රන්දික ගුනතිලක) නම් සැකකරුවෙකු පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් ප්‍රවාහනය කරනු ලබයි. ක්‍රමයෙන් හෙලි වන්නේ ඔහු කලින් සැලසුම් කරන ලද ඝාතනයක් වෙත රැගෙන යනු ලබන බවයි. එම නිලධාරීන් අතර අභිලාෂකාමී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් (ශ්‍යාම් ප්‍රනාන්දු), මෙවැනි මෙහෙයුම්වලට දිගු කලක් හුරු වූ පලපුරුදු සැරයන්වරයෙක් (මහේන්ද්‍ර පෙරේරා), සහ පවුලේ දැඩි ගැටලු සමඟ පොර බදමින් අකමැත්තෙන් මෙයට සහභාගී වන කනිෂ්ඨ කොස්තාපල්වරයෙක් (ප්‍රියන්ත සිරිකුමාර) වෙති. මෙහි සිදුවන්නේ ත්‍රාසජනක කතාවක් නොවේ. රත්නායක මෙම ගමන දිගු නාට්‍යයක් බවට පරිවර්තනය කරන අතර, එහි ගමනාන්තය වඩ වඩාත් නොවැලැක්විය හැකි දෙයක් බවට පත් වෙයි. මෙම චිත්‍රපටයේ විශිෂ්ටත ම ජයග්‍රහනය වන්නේ මෙම විෂයය වර්ධනය කිරීම සඳහා ඔහු භාවිත කරන සිනමා භාෂාවයි.

සැරයන්වරයා (මහේන්ද්‍ර පෙරේරා) සහ පොලිස් නිලධාරියා (ශ්‍යාම් ප්‍රනාන්දු)

කැමරාව නැවත නැවතත්, උක්ත චරිත පොලිස් රථය තුලට සීමා කරයි. මීදුමෙන්, වර්ෂාවෙන් සහ ඝන වනාන්තරවලින් වැසුනු, වංගු සහිත කඳුකර මාර්ගවල දිගු දර්ශන, ඔවුන් ගැලවීමක් නැති ව සිර වෙමින් සිටින බවට ප්‍රේක්ෂකයා තුල වැඩෙන හැඟීම තීව්‍ර කරයි. මාර්ගයේ සෑම වංගුවක් ම කලින් තීරනය කර ඇති අවසානය වෙත රථය තව තවත් ලං කරන බව පෙනේ. භූ දර්ශනය මනරම් දර්ශන පසුබිමක් ලෙස පමනක් ක්‍රියා නොකරයි—එය සිදු වෙමින් පවතින අපරාධයේ සක්‍රීය සහභාගිවන්නෙකු බවට පත්වෙයි. ගංගා, වනාන්තර සහ කඳු සංවිධානාත්මක රාජ්‍ය ඝාතනයකට සාක්ෂිකරුවන් බවට පත් වෙයි.

රත්නායක, ස්වභාවික ලෝකයේ සන්සුන්භාවය සැහැල්ලු ලෙස සිදුකෙරෙන නිල බලයේ කෲරත්වය සමඟ නැවත නැවතත් සංසන්දනය කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ අසාමාන්‍ය සුන්දරත්වය, එහි සිදු වෙමින් පවත්නා භීෂනය මෘදු කරනවා වෙනුවට එය තව තවත් තීව්‍ර කරයි. අධ්‍යක්ෂවරයාගේ දෘශ්‍ය සංයමය ද ඒ හා සමාන ව වැදගත්‍ ය. ප්‍රචන්ඩත්වයේ  දර්ශන හෝ අති නාටකීය ගැටුම් මත රඳා සිටිනවා වෙනුවට, ඔහු සූක්ෂ්ම ලෙස සංරචනය කල රූප රාමු, දිගු නිරීක්ෂන, සීමිත දෙබස් සහ නිශ්ශබ්දතාව හරහා ආතතිය ඉවසීමෙන් ගොඩනඟයි. ඝාතනය සිදුවීමට බොහෝ කලකට පෙර සිට ම ප්‍රේක්ෂකයා එහි නොවැලැක්විය හැකි බව අත්විඳියි. අවසානයේ දී ඝාතනයේ බලපෑම ප්‍රේක්ෂකයා තුල ජනනය කෙරෙන්නේ ප්‍රචන්ඩත්වයේ දර්ශනයෙන් නොව, දිගු වේලාවක් පුරා අපේක්ෂා කල එහි නොවැලැක්විය හැකි බවේ බරෙනි. මෙය සැලකිය යුතු පරිනතභාවයකින් යුත් සිනමා නිර්මානයකි.

සංයමයෙන් යුත් රංගනයන් ද චිත්‍රපටයේ බලපෑමට සැලකිය යුතු දායකත්වයක් සපයයි. මහේන්ද්‍ර පෙරේරා, නීති විරෝධී ඝාතනවලට වසර ගනනාවක් සහභාගී වීම පිටුපස තම වෘත්තීය නරුමවාදය සඟවා ගෙන සිටින පලපුරුදු සැරයන්වරයා ලෙස සමහර විට චිත්‍රපටයේ වඩාත් ම බලගතු රංගනය ඉදිරිපත් කරයි. ඔහුට ඝාතනය වෙනත් ඕනෑ ම වෘත්තීය කුසලතාවක් මෙන් සාමාන්‍ය වෘත්තීය කුසලතාවක් බවට පත් ව ඇත. ශ්‍යාම් ප්‍රනාන්දු වෘත්තීය උසස්වීමේ අභිලාෂයෙන් මෙහෙය වෙන නිලධාරියෙකු විශ්වසනීය ලෙස නිරූපනය කරන අතර, ප්‍රියන්ත සිරිකුමාර පෞද්ගලික හෘදය සාක්ෂිය සහ ආයතනික කීකරුකම අතර සිර වී සිටින කනිෂ්ඨ පොලිස් නිලධාරියාගේ සදාචාරාත්මක නොසන්සුන්භාවය මැනවින් ඉදිරිපත් කරයි.

අධ්‍යක්ෂවරයාගේ වඩා ත් ම වැදගත් තීරනවලින් එකක් වන්නේ පොලිස් නිලධාරීන් සරල දුෂ්ටයන් ලෙස නිරූපනය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. ගමන අතරතුර ඔවුහු රන්ඩු වෙති, උසස්වීම් ගැන සාකච්ඡා කරති, මූල්‍ය දුෂ්කරතා සහ පවුලේ අර්බුද ගැන කනස්සල්ලට පත් වෙති, ගුවන්විදුලි තරගයකින් ශීතකරනයක් දිනා ගැනීමට බලාපොරොත්තු වෙති. ජ්‍යෙෂ්ඨ නිලධාරියාට තම අනියම් පෙම්වතිය හමුවීමට අවශ්‍ය වන බැවින් මෙහෙයුම අතරතුර එය සඳහා ද ගමන නතර කරයි. මෙම බැලූ බැල්මට සාමාන්‍ය සංවාද, ආර්ථික අනාරක්ෂිතභාවය, පෞද්ගලික කලකිරීම් සහ සමාජ පරිහානිය විසින් හැඩගැස්වූ පුද්ගලයන් හෙලි කරයි. ඒ සමඟ ම, ඔවුන් සංවිධානාත්මක ඝාතනයක් සිදු කරන්නේ තවත් එක් සාමාන්‍ය පරිපාලන කාර්යයක් ඉටු කරන්නාක් මෙනි. නිසැක ව ම, මෙම පරස්පරතාව බියජනක වන්නේ එය එතරම් සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන බැවිනි.

මෙහිදී චිත්‍රපටය, දේශපාලන විශ්ලනයකින් තනිව කල නොහැකි දෙයක් සාක්ෂාත් කර ගනී. දේශපාලනික ලේඛනයකට පොලිසිය යනු පවතින සමාජ පර්යාය ආරක්ෂා කරන ධනේශ්වර රාජ්‍යයේ “සන්නද්ධ මිනිසුන්ගෙන් සැදුම්ලත් විශේෂ බලකායක්” බව ප්‍රකාශ කල හැකිය—එය නිවැරදිය. එහෙත් රිවර්ස්ටන් එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වන ආකාරය පෙන්වයි: එය සිදු කෙරෙනුයේ රාක්ෂයන් නිර්මානය කිරීම හරහා නොව, ආර්ථික කනස්සල්ල, වෘත්තීය අභිලාෂයන් සහ ආයතනික පුරුදු විසින් නිතිපතා ඝාතනය කිරීමට සූදානම් කර ඇති මිනිසුන් හරහා ය. රාජ්‍ය ඝාතනයන් සිදු කිරීමේ හැකියාව සමාජමය වශයෙන් නිෂ්පාදනය වන බව චිත්‍රපටය සංයුක්ත රූප සහ නාට්‍යමය තත්ත්වයන් හරහා පෙන්වයි.

චිත්‍රපටයේ මුල් අවස්ථාවක නන්දිත පවසන—පොලිසිය වැටුපට මිනිසුන් මරා දමන අතර අපරාධකරුවන් “කුලියට” මිනිසුන් මරා දමන බව— දෑ  අතිශයින් ම නිවැරදිය. එය පොලිස් ප්‍රචන්ඩත්වයේ ආයතනික සහ වෘත්තීයමය ස්වභාවය හඳුනා ගනී. මෙය පෞද්ගලික කෲරත්වයක් නොවේ; එය වෘත්තීය රාජකාරියකි. භීෂනය පවතින්නේ හරියට ම එම කරුන තුල ය.

නන්දිත (රන්දික ගුනතිලක)

කෙසේ නමුත්, පොලිස් නිලධාරීන් සැබෑ යථාර්ථවාදී ස්වභාවයකින් නිරූපනය කෙරුන ද, නන්දිතගේ චරිතයට එම යථාභාවය අත්කර දීමට රත්නායක අසමත් වෙයි. චිත්‍රපටයේ කලාත්මක ශක්තීන් සහ සීමාවන් වඩාත් තියුනු ලෙස මතු වන්නේ මෙහි දී ය.

නන්දිත සාම්ප්‍රදායික අපරාධකරුවෙකුගේ රූපයට වඩා සම්පූර්නයෙන් වෙනස් පුද්ගලයෙකු ලෙස පෙනී සිටියි. ඔහු උගත්, කරුනාවන්ත සහ පුදුම සහගත ලෙස සන්සුන්‍ ය. ඔහු එක් අවස්ථාවක පමනක් කඳුලු සලයි—මාතෘත්වය පිලිබඳ ගීතයක් අසන විට ය. එහි දී ඔහු හැදී වැඩී ඇත්තේ මවු සෙනෙහස නොමැති ව බව හෙලි වෙයි. කොස්තාපල්වරයාගේ බිරිඳට හෘදයාබාධයක් වැලඳී ඇති බව දැනගත් විට, නන්දිත ඔහුට ප්‍රායෝගික උපදෙස් ලබා දී, ඇගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා උපකාර කිරීමට තම බැංකු ගිනුමෙන් මුදල් මාරු කිරීම පවා සිදු කරයි. ඔහුගේ පෙම්වතිය ජීවත් වන ස්ථානය සහ ගම්වාසීන් ඔහු අමතන ආකාරය අනුව, ඔහු ගෞරවයට පාත්‍ර වූ පවුල් පසුබිමකින් පැමිනි අයෙකු බව පෙනේ. ගුවන්විදුලි ප්‍රශ්න විචාරයක අසීරුම ප්‍රශ්නයට ඔහු පිලිතුරු දෙන අතර, “රිවර්ස්ටන්” යන්නෙහි පුරාවෘත්තය විග්‍රහ කිරීමේදී තම බුද්ධිමය හැකියාව ද පෙන්වයි.

රත්නායකගේ අරමුන පැහැදිලි ය. නන්දිත උගත්, කරුනාවන්ත සහ බුද්ධිමය වශයෙන් ශක්තිමත් පුද්ගලයෙකු බවට පත් කිරීමෙන්, අධ්‍යක්ෂවරයා අපරාධකරුවන් ලෙස ලේබල් කරන ලද පුද්ගලයන් පිලිබඳ ප්‍රේක්ෂකයාගේ උපකල්පනවලට අභියෝග කරයි. චිත්‍රපටය ඒකාකෘතික රූපය ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසයි: ඔබ කවුරුන් වුව ද අවශ්‍ය වුව හොත් රාජ්‍යය ඔබ මරා දමනු ඇත. මෙය සාධාරන කලාත්මක උපායකි, එ මෙන් ම එයට සැබෑ බලයක් ඇත.

එහෙත් එය කෘතිය තුල යම් ආතතියක් ද ඇති කරයි. ඔහුගේ අධ්‍යාපනය, ත්‍යාගශීලීභාවය, මරනීය තර්ජනයක් ඉදිරියේ සන්සුන් ව සිටීම, ගෞරවයට පාත්‍ර වූ පවුල් පසුබිම සහ බුද්ධිමය විශිෂ්ටත්වය වැනි ධනාත්මක ගුනාංග පමනක් ම සමුච්ඡනය කිරීමෙන්, එය පරමාදර්ශී චරිතයක් බවට පත් කෙරේ. නන්දිත සංයුක්ත සමාජ තත්ත්වයන් විසින් හැඩගැස් වූ ජීවමාන, පරස්පරතා සහිත මිනිසෙකු ලෙස නොපෙන්වා ඔහු පරමාදර්ශයට පත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, රාජ්‍යය, යහපත් නොවන මිනිසුන් ද ඇතුලුව, අවුල් සහගත හා සම්මුතිවලින් පිරුනු ජීවිත ගත කරන, තමන් තෝරා නොගත් සමාජ බලවේග විසින් හැඩගැස්වුනු මිනිසුන් ද මරා දමන බවට වන වඩාත් දුෂ්කර සත්‍යය දෙසට යොමු වීමෙන් ප්‍රේක්ෂකයා වලකාලයි.

මෙය මාරාන්තික දෝෂයක් නොවේ. චිත්‍රපටයේ ප්‍රධාන විෂයය නන්දිතගේ සමාජමය හැඩගැසීම නොව, සාමාන්‍ය මිනිසුන් හරහා රාජ්‍ය ප්‍රචන්ඩත්වය ක්‍රියාත්මක වන ආකාරයයි. එම විෂය සම්බන්ධයෙන් චිත්‍රපටය කිසිදු පසුබැසීමක් නොකරයි. එහෙත් චිත්‍රපටයේ අසමමිතිකත්වය සැබෑවකි: ඝාතකයන්ට වින්දිතයාට වඩා සම්පූර්න යථාර්ථවාදී නිරූපනයක් ලබා දී ඇත. පොලිස් නිලධාරීන් පරස්පරතා සහිත ය; නන්දිත අනුකම්පාවට ලක්වන පරමාදර්ශී චරිතයකි. චිත්‍රපටයේ කේන්ද්‍රීය කලාත්මක සීමාසහිතභාවය පවතින්නේ මෙම අසමමිතිකත්වය තුලයි. 

සෝවියට් මාක්ස්වාදී විචාරක ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි, “ජීවිතය ඥානනය කිරීම ලෙස කලාව”  (Art as the Cognition of Life) කෘතියේ මෙසේ ලිවීය: “පන්තිවලට බෙදී ඇති සමාජයක පන්ති ඉල්ලීම් තීරනාත්මක අංගයකි. ලෝකය පිලිබඳ ඇතැම් පන්ති සංකල්ප කලාකරුවාට යථාර්ථය සම්බන්ධයෙන් සුමට කැඩපතක් ලෙස සේවය කිරීමට උපකාර කරයි. අනෙක් ඒවා, ඊට ප්‍රතිවිරුද්ධ ව, මෙම ජීවමාන කැඩපත වක්‍ර, අවතල, මීදුමෙන් වැසුනු, අසමාකාර හෝ සීරීම් සහිත එකක් බවට පත් කරයි.”

ශ්‍රී ලාංකික මාක්ස්වාදී කලා විචාරිනියක වූ පියසීලි විජේගුනසිංහ සිය සාහිත්‍ය භෞතිකවාදී අධ්‍යනයක් කෘතිය තුල (පිටුව: 39-40) කලාකරුවාගේ යථාර්ථය ඥානනය කිරීමේ ක්‍රියාවලිය පිලිබඳ ව මෙසේ සඳහන් කරන්නීය.  “කලාකරුවාගේ නිර්ව්‍යාජත්වයේ ද සූක්ෂමාත්මතාවේ ද පරිමානයට අනුව යථාර්ථයේ ගැබ් ව පවතින අන්තර් සබඳතා සහ පරස්පර විරෝධයන් කලා නිර්මානයෙන් ප්‍රකාශයට පත්වන හෙයින් එසේ ප්‍රකට කෙරෙන ඥානය ද සහෘදයාගේ ප්‍රීතියට ඉවහල් වෙය. … කලාකරුවා යථාර්ථය ජයගන්නේ ඊට පිටුපෑමෙන් නොව, මුහුන දීමෙනි; යථාර්ථය ඥානනය කිරීමෙනි.”

මෙම ප්‍රකාශයන් රිවර්ස්ටන් හි ජයග්‍රහනයන් මෙන් ම එහි සීමාවන් ද පැහැදිලි කරයි. 

රාජ්‍ය ඝාතනයන් සාමාන්‍යකරනය වීම සහ ඝාතනය කිරීමේ හැකියාව සමාජමය වශයෙන් නිෂ්පාදනය වීම පිලිබඳ ප්‍රශ්නවල දී රත්නායකගේ කැඩපත බොහෝ දුරට පැහැදිලි ය. එහෙත් ඔහුගේ මානවවාදය නිර්මානයට සීමාවන් පනවයි. වින්දිතයා ඕනෑවට වඩා ගුනවත් බවට පත් කිරීමට එය ඔහු පොලඹවයි. මෙහි දී ඔහුගේ කැඩපත මානවවාදයේ මීදුමෙන් වැසෙයි.

විප්ලවවාදී සමාජවාදී ඉදිරි දර්ශනයක් රත්නායකට වෙනස් චිත්‍රපටයක් නිර්මානය කිරීමට බල නොකරනු ඇත. එය ඔහුට එම විෂය මත ම වඩා ගැඹුරු චිත්‍රපටයක් නිර්මානය කිරීමට, එනම්, නන්දිත මුලුමනින්ම මනුෂ්‍යයෙකු, මුලුමනින්ම පරස්පරතා සහිත පුද්ගලයෙකු, මුලුමනින්ම සමාජ තත්ත්වයන්ගේ නිෂ්පාදනයක් ලෙස පෙන්වන අතර ම, තම පෞද්ගලික ගුනධර්ම කිසිවකට හෝ වලක්වා ගැනීමට නොහැකි අපරාධයක වින්දිතයෙකු බවට ඔහු පත් කෙරෙන චිත්‍රපටයක් නිර්මානය කිරීමට රත්නායකට හැකියාව ලබාදෙනු ඇත. එවිට රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ නිරපේක්ෂ ස්වභාවය වඩාත් විශද ව අනාවරනය වනු ඇත.

මෙම සීමාසහිතභාවයන් හේතුවෙන් චිත්‍රපටය සාක්ෂාත් කොට ඇති සැලකිය යුතු සාර්ථකත්වයන් කිසි විටෙකත් අහෝසි නොකෙරේ. රිවර්ස්ටන් පැමිනියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් පහ කෙරුනු 2022 මහජන නැගිටීමෙන් පසු බලයට පැමිනි රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නැංවූ සහ අනුප්‍රාප්තික ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ඉදිරියට ගෙන යන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වලට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල වැඩෙමින් පවතින පසුබිමක ය. චිත්‍රපටයේ නිරූපනය කෙරෙන නීතියෙන් බැහැර ඝාතනය සිදු කරන පොලිස් බලකාය ම, ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් විරුද්ධ මත මර්දනය කිරීමට සහ පංති අරගල මැඬීමට යොදා ගනිමින් පවතී. එබැවින් චිත්‍රපටයේ විෂය දැඩි ලෙස සමකාලීන වේ.

මෙවැනි තත්ත්වයන් යටතේ රත්නායක බැරෑරුම් චිත්‍රපටයක් නිර්මානය කර තිබීමත්, එය ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් ව තිබීමමත් වැදගත් කරුනකි. මෙය, කිසිදු ආකාරයක සත්‍යය හෙලිදරව් කිරීමට උනන්දුවක් නොදක්වන පාලක ප්‍රභූවක් සිටින රටක, මෙතෙකුදු තම හෘදය සාක්ෂිය රැකගත් කලාකරුවන් සිටින බවට සාක්ෂියකි. රිවර්ස්ටන් වත්මන් කාලපරිච්ඡේදය තුල ධනපති රාජ්‍යය කරමින් සිටින්නේ කුමක් ද යන්න පිලිබඳ ව නිර්භීත ගවේෂනයකි.

ප්‍රශ්නය වන්නේ රත්නායකට නිවැරදි දේශපාලන දැක්මක් තිබේ ද යන්න නොව, ඔහුගේ කලාත්මක භාවිතාව—ඔහුගේ දෘශ්‍ය සංයමය, සාමාන්‍ය විස්තර සමුච්චය කිරීම සහ පහසු “දුෂ්ට චරිත” නිරූපනය ප්‍රතික්ෂේප කිරීම—වෛෂයික සමාජ සත්‍යය මතු වීමට ඉඩ සලසන්නේ ද යන්නයි. සැබැවින්ම, රිවර්ස්ටන් සැලකිය යුතු ප්‍රමානයකට එය ඉටු කරයි. 

නොවැදගත් දෑ, නරුමත්වය සහ ලාභෝත්පාදනය ආධිපත්‍යය දරන ගෝලීය සිනමා පරිසරයක, මෙවන් අවංකභාවයකින් හා බැරෑරුම්භාවයකින් යුත් කෘතියක් සම්භාවනාවට පාත්‍ර විය යුතු ය, ආරක්ෂා කල යුතු ය.

Loading