[මෙය As the global warming catastrophe escalates Nepal suffers devastating flooding මැයෙන් 2026 අගෝස්තු 27 වන දින ඉංග්‍රීසී බසින් පල විය.]
පසුගිය බදාදා උතුරු නේපාලයට සහ චීනයේ ටිබෙට් කලාපයට බල පෑ විනාශකාරී ක්ෂනික ගංවතුර විශාල මානව ව්‍යසනයක් නිර්මානය කර ඇත. නේපාලයේ අවම වශයෙන් පුද්ගලයින් 270 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, තවත් සිය ගනනක් අතුරුදහන් වී ඇති බැවින් මෙම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහල යා හැකි ය. සංචාරකයින් ද ඇතුලු ව 900 කට වැඩි පිරිසක් නේපාලයේ අතුරුදහන් වී ඇත. චීනය මරන තුනක් සහ අතුරුදහන් වූවන් 558 ක් වාර්තා කලේ ය.
මෙම ව්‍යසනයට හේතු වූයේ දැවැන්ත ග්ලැසියර කඩා වැටීමකි. මුහුදු මට්ටමේ සිට මීටර් 5,200ක් (අඩි 17,060ක්) පමන උසින් පිහිටි ග්ලැසියරයක පහල කොටසෙන් සැලකිය යුතු කොටසක් කැඩී වෙන් වී, මීටර් 1,200ක් (අඩි 3,937ක්) පහලින් පිහිටි නිම්නයට පතිත වී ඇත. එම අවස්ථාවේ දී එය සමඟ ගල් හා සුන්බුන් ද විශාල ප්‍රමානයක් ගලාගෙන විත් තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස නිර්මානය වූ මඩ පහර තත්පරයට මීටර් 50 ක (අඩි 164) පමන වේගයකින් ගමන් කර ඇත. කඩා වැටුනු පස් සහ හිම තට්ටුව ‘ලෙන්ඩේ කෝලා’ (Lhende Khola) නදියට ගලා ගොස්, එය ‘බෝටේ කෝෂි’ (Bhote Koshi) සහ 'ත්‍රිශූලි' (Trishuli River) නදියට එක්වෙමින් නේපාල-ටිබෙට් දේශ සීමා හරහා පහල ප්‍රදේශයට දැවැන්ත විනාශකාරී ජල පහරක් මුදා හැරියේ ය.
මෙම හිම පතනය නිසා රික්ටර් මාපක 4.4ක භූ කම්පනයක් වාර්තා වූ අතර, එහි ශක්තිය රික්ටර් මාපක 5.2ක කම්පනයකට සමාන වූ බව චන්ද්‍රිකා ඡායාරූප සහ භූ කම්පන තරංග විශ්ලේෂනය කරමින්, එක්සත් ජනපද භූ විද්‍යාත්මක සමීක්ෂන ආයතනය (යූඑස්ජීඑස්) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කලේ ය.
නේපාලයේ උතුරු දේශසීමාවට ආසන්න ව පිහිටි රසුවා දිස්ත්‍රික්කය, තිමුරේ සහ ස්යාබෲබේසි අවට පදිංචි 50,000ක පමන ජනගහනයක් සහිත ප්‍රදේශ මෙන් ම පහල පිහිටි නුවාකොට් ප්‍රදේශය ද මෙ මගින් දැඩි ලෙස පීඩාවට පත් විය. ගම්මාන හරහා ගලා ගිය ජල ධාරා සහ සුන්බුන් වලින් ගොඩනැගිලි යට වන සහ වාහන ගසා ගෙන යන ආකාරය වීඩියෝ දර්ශනවල දිස් විය.
“ගම්මාන සහ වෙලඳබිම් මුලුමනින්ම විනාශ වී ඇති” බව රතු කුරුස සහ රතු අඩසඳ සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයේ (අයිඑෆ්ආර්සී) නේපාල ප්‍රධානී ඩේවිඩ් ෆිෂර් පැවසී ය. ප්‍රදේශවාසීහු දැඩි සේ කම්පනයට පත් ව සිටිති. 56 හැවිරිදි රාජු භාඩේ බදාදා ඒපීඑෆ් ප්රවෘත්ති සේවයට මෙසේ පැවසී ය: “අද උදෑසන මට (මගේ මස්සිනාගෙන්) දුරකථන ඇමතුමක් ලැබුනා. ඔවුන් වැලපෙමින් කියා සිටියේ ඔවුන්ගේ මුලු නිවස ම ගංවතුරට හසු ව ගසා ගෙන ගොස් ඇති බවයි. පවුලේ සාමාජිකයන් තිදෙනෙකු බේරාගෙන තිබෙනවා. නමුත් ඔහුගේ සහෝදරයා තවමත් අතුරුහදන්.”
නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයේ කල්පනා මල්ලා බීබීසීය වෙත පැවසුවේ තම “පවුලේ සාමාජිකයන් ඇගේ ඇස් පනාපිට ම ගංවතුරට ගසා ගෙන ගිය” බවයි. ඇගේ පියා, මව, සොහොයුරිය සහ ඔවුන්ගේ දරුවන් සියලු දෙනා ගසා ගෙන ගියහ. ගඟ දිගේ ගංවතුර ගලා යාමත් සමඟ පහල ප්‍රදේශවල විනාශය තව දුරටත් ඉහල යනු ඇත.
ඇගේ මී හරකුන් සහ අනෙකුත් සියලු ම ගවයන් අහිමි වූ බව ගෝමා පන්ඩිට් බීබීසීය වෙත පැවසුවා ය: “මගේ වගාබිමුත් සේදිලා ගියා. අබ මලු දහයක්, බඩඉරිඟු සහ වී ටොන් ගනනක් නැති වුනා. කිසිවක් ඉතිරි වී නැහැ.” පවුල් 10,000 කට පමන හදිසි ආහාර, ආරක්ෂිත නවාතැන්, පානීය ජලය, සනීපාරක්ෂාව සහ ඖෂධ ඇතුලු හදිසි සහන වහා ම අවශ්‍ය වී තිබේ.
නිවාස 720කට වැඩි ප්‍රමානයක් සම්පූර්නයෙන් ම විනාශ වී ඇති අතර 2,153කට අර්ධ හානි සිදු ව තිබේ. වෙලඳාම සහ සංචාරක ව්‍යාපාර සඳහා උතුරු නේපාලය කෙලින් ම චීනයට සම්බන්ධ කරන ප්‍රධාන ගොඩබිම් දේශසීමා දෙකෙන් එකක් වන රසුවාගඩි මිත්‍රත්ව පාලම සහ තවත් පාලම් 19 ක් කිලෝමීටර් 40 ක මාර්ග පද්ධතියක් සමඟ ගසා ගෙන ගොස් ඇත. මහා මාර්ග කිහිපයක් වසා දැමුනි. ගංවතුර හේතුවෙන් ප්‍රධාන දේශසීමා වෙලඳපොලවල් ජලයෙන් යට වූ අතර ද්විපාර්ශවික වෙලඳාම නතර විය. ගංවතුර හේතුවෙන් සූර්ය බලශක්ති සහ ජල විදුලි බලාගාර ඇතුලු ව, විදුලිය නිපදවීමේ ධාරිතාව මෙගාවොට් 430කට පමන හානි සිදු වී ඇත.
හින්දු, බෞද්ධ සහ ජෛන භක්තිකයන්ගේ පූජනීය ස්ථානයන් වන ගෝසායිකුන්ඩ සහ ටිබෙටයේ මන්සරොවා විල් දෙක පිහිටි කලාපයට මෙම ගංවතුර බල පාන ලදි. මෙය සංචාරකයන් බහුල ව පැමිනෙන කාලය බැවින්, ආධ්‍යාත්මික චාරිකා සඳහා සහ පූජනීය ස්ථානවල දිය නෑම සඳහා ඉන්දියාවෙන් දහස් ගනනක් සංචාරකයෝ සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයට පැමිනෙති. එම නිසා බොහෝ සංචාරකයෝ ද මෙම ආපදාවෙන් පීඩාවට පත් වූහ.
මෙම ඛේදවාචකයේ පරිමානයෙන් පෙන්නුම් කරන්නේ, කල් තියා සිදු කරන ලද ගලවා ගැනීමේ සූදානම් කිරීම් හෝ විශේෂිත පූර්ව අනතුරු ඇඟවීම් තිබුනේ නම්, ඒවා ඉතා අවම මට්ටමක පැවති බවයි. එ මෙන් ම, දෙ වන ගංවතුරක් ඇති විය හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් වී තිබේ.
ජුනි සිට සැප්තැම්බර් දක්වා පවතින මෝසම් වර්ෂාව හේතුවෙන් දකුනු ආසියාව පුරා නිරන්තරයෙන් මාරාන්තික ගංවතුර සහ නාය යෑම් ඇති වේ. එහෙත් “නව පාලනයක්” පිලිබඳ පොරොන්දු ලබා දී තිබිය දී ත්, නේපාලයේ නව රාෂ්ට්‍රිය ස්වාතන්ත්ර පක්ෂ (ආර්එස්පී) ආන්ඩුව මෙම තත්ත්වය සම්පූර්යෙනන් ම නොසලකා හැරියේ ය. ආන්ඩුව ආරක්ෂක හමුදා යොදවා ඇති බවත්, ආහාර, පිරිසිදු ජලය, ඖෂධ සහ තාවකාලික නවාතැන් ලබා දීමට පොරොන්දු වන බව ප්‍රකාශ කල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා “රාජ්‍යය සතු සියලු ම මාධ්‍යයන් සහ සම්පත් සහිත ව ඔබ සමඟ සිටින” බව ද පැවසී ය.
නමුත් ප්‍රදේශවාසීන් මුහුන දුන්නේ අවම සහනයක් සහිත හදිසි අර්බුදයකටයි. ග්‍රාමීය වැසියෙකු වන පෙමා දොර්ජේ ගාලේ බුධදා onlinekhabar.com වෙත පැවසුවේ, තිමුරේ හි බොහෝ වැසියන් උස් ස්ථානවලට පලා ගිය අතර, ඇතැම් පවුල් මුදා ගැනීමේ කන්ඩායම් එනතුරු ආහාර නොමැති ව ගංගා ජලයෙන් ජීවත් වන බවයි. මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ආරම්භයේ දී යොදවා තිබුනේ නේපාල හමුදාවේ හෙලිකොප්ටර් 15න් දෙකක් පමනි.
නේපාලය බෙහෙවින් ස්වාභාවික ආපදාවලට ගොදුරු වන රටකි. එය ඉන්දියානු සහ යුරේසියානු භූ තල ගැටෙන ස්ථානයේ පිහිටා ඇති අතර, බෑවුම් සහිත සහ අස්ථාවර පර්වත, අධික මෝසම් වර්ෂාපතනය සහ ගෝලීය උනුසුම හමුවේ වේගයෙන් දියවන ග්ලැසියරවලින් සමන්විත වේ. නමුත් මෙම ඛේදවාචකයේ විශාලත්වය පැහැදිලි කිරීමට භූ විද්‍යාව පමනක් ප්‍රමානවත් නොවේ.
සෑම වසරක ම ගංවතුර සහ නාය යෑම් මෙම කලාපය විනාශ කරයි. 2015 සහ 2024 අතර කාලය තුල නේපාලයේ මෝසම් ආශ්රිත ආපදා සිදුවීම් 8,418 ක් වාර්තා වී ඇති අතර, පවුල් 56,000 කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ අතර නිවාස 36,479 කට හානි සිදු වී පාලම් 195ක් විනාශ විය. 2024 දී පමනක් මෝසම් ආපදාවලින් පුද්ගලයෝ 495 දෙනෙකු මිය ගියහ. දශකය පුරා වාර්තා වූ මෝසම් මරන 2,317න් 1,296ක් ම නාය යෑම් නිසා සිදු වූ ඒවා වේ. මෙය හුදකලා ඛේදවාචකයක් නොව නිත්‍ය රටාවක් බව පෙන්නුම් කරයි.
පෙර පැවති ආපදාවලින් දිවි ගලවා ගත් බොහෝ පවුල්වලට කිසි දිනෙක ප්‍රමානවත් වන්දි හෝ ස්ථිර නිවාස නොලැබුනි. ගං ඉවුරු අනාරක්ෂිත ය. දිලිඳු ජනතාවට ජීවත් වීමට වෙනත් ස්ථානයන් නොමැති බැවින් අවදානම් සහිත ප්‍රදේශවල නැවත නැවතත් පදිංචි වෙති. 2015 භූමි කම්පාවෙන් වසර දහයකට පසුවත්, දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් අනාගත භූමිකම්පා, නාය යෑම් සහ ගංවතුරට ගොදුරු විය හැකි අනාරක්ෂිත නිවාසවල තවමත් ජීවත් වෙති.
මරන සහ විනාශයේ ප්‍රමානය භූ විද්‍යාවෙන් හෝ කාලගුනයෙන් පමනක් පැහැදිලි කල නොහැක. එය දේශගුනික විපර්යාස, දශක ගනනාවක රාජ්‍ය නොසලකා හැරීම සහ ලාභය හා ධනවාදයේ අයවැය අවශ්‍යතාවලට මහජන ආරක්ෂාව යටපත් කිරීමේ ප්රතිඵලයකි.
ධනපති ක්‍රමය විසින් නිර්මානය කරන ලද ජාතික-රාජ්‍ය පද්ධතිය කෙරෙහි සොබාදහම සැලකීමක් දක්වන්නේ නැත. චීනය පැත්තෙන් ආරම්භ වී නේපාලයේ පහල කොටස විනාශ කල මෙම ඛේදවාචකය මගින් ජාතික-රාජ්‍ය පද්ධතියේ අතාර්තික බව පෙන්නුම් කරන අතර, මෙවැනි ඛේදවාචකයන්ගෙන් ආරක්ෂා වීමට නම් එම පද්ධතිය අහෝසි කල යුතු ය.
බෝටේ කෝෂි ව්‍යසනය යනු දරුනු කාලගුනික තත්ත්වයන් ගෝලීය වශයෙන් තීව්ර වීමේ කොටසකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජිනියා සහ ටෙක්සාස් හි විනාශකාරී ගංවතුර ඇති වූ අතර, බංග්ලාදේශයේ ගංවතුරෙන් 50 කට වැඩි පිරිසක් මියගොස් මිලියනයකට වැඩි පිරිසක් පීඩාවට පත් වූහ. චිලී හි ඇති වූ කුනාටු වලින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 99,000කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය සේවා අහිමි විය. යුරෝපය වාර්තාගත උනුසුමකට සහ ලැව්ගිනිවලට මුහුන දුන් අතර, ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා 375,000 කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට සිදු වූ අතර ජූනි මාසයේ තාප රැල්ලක දී (heatwave) දහස් ගනනක් මියගියහ .
“දේශගුනික විපර්යාස මගින් ඉහල කඳු වල ගල් සහ හිම අස්ථාවර කල හැකි තත්ත්වයන් නිර්මානය කරමින් පවතින” බව නවසීලන්තයේ භූ විද්‍යා ආයතනයේ ‘කඳු සිට මුහුද’ වැඩසටහනේ ප්‍රධාන විද්‍යාඥ සයිමන් කොක්ස් පැවසී ය.
දශක ගනනාවක ෆොසිල ඉන්ධන විමෝචනය, පරිසර පද්ධති විනාශය සහ ධනපති ආන්ඩුවල අකර්මන්‍යතාවය හේතුවෙන් ගෝලීය දේශගුනික විපත් තීව්ර වෙමින් පවතී. විද්‍යාත්මක ව, වායුගෝලය රත්වීම අධික වර්ෂාපතනයේ දැඩි බව වැඩි කරන අතර ම වාෂ්පීකරනය වේගවත් කරයි. මෙයින් පස සහ වෘක්ෂලතාදිය වියලී යන අතර, එකවිට ගංවතුර, දැඩි නියඟ, දැඩි උනුසුම් රැලි සහ විනාශකාරී ලැව්ගිනි ඇති වේ.
පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් තිබිය දී ත්, ගෝලීය උනුසුම ඉහල යාමේ ගැටලුවට ධනපති ආන්ඩු වලට කිසිදු ස්ථිරසාර විසඳුමක් නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 ජනවාරි මාසයේ දී එක්සත් ජනපදය, පැරිස් දේශගුනික ගිවිසුමෙන් ඉවත් කර ගත් අතර, දේශගුනික අර්බුදය “ප්‍රෝඩාවක්” ලෙස හඳුන්වමින් ෆොසිල ඉන්ධන නිස්සාරනයට සහ ඊට හරස්වන නීති ලිහිල් කිරීමට ප්‍රමුඛතාවය දුන්නේ ය.
ආයුධ, සන්නද්ධ හමුදා කඳවුරු සහ අධිරාජ්‍යවාදී යුද්ධ සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් තිබුන ද, නේපාලය වැනි දිලිඳු සහ දියුනු තාක්ෂනය නොමැති රටවලට ස්ථාවර පාලම්, සුරක්ෂිත සන්නිවේදනය, ක්‍රියාකාරී අනතුරු ඇඟවීමේ පද්ධති සහ ආපදා කලමනාකරන යටිතල පහසුකම් නොමැත. නේපාලයේ ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ට වහා ම, කොන්දේසි විරහිත සහන අවශ්‍ය වේ. අතුරුදහන් වූ සියලු දෙනා සෙවිය යුතු ය; දිවි ගලවා ගත් අයට ආහාර, ජලය, නවාතැන් සහ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු ය; අවතැන් වූ පවුල්වලට ස්ථිර, ආරක්ෂිත නිවාස සහ වන්දි ලබා දීමට සහතික විය යුතු ය.
යලි යලිත් සිදුවන ජල ගැලීම් වැඩ කරන ජනතාවගේ වඩා ත් ම මූලික අවශ්‍යතාවයන් පවා ඉටු කිරීමට පාලක පන්තියට ඇති නොහැකියාවට තවත් එක් උදාහරනයකි. මෙය සෑම තැනක ම සිටින කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. දේශගුනික විපත් වඩාත් නිරන්තර ව සිදු වන අතර විනාශකාරී වෙමින් පවතී; මරන සංඛ්‍යාව තීරනය වන්නේ සමාජ ප්‍රමුඛතා මගිනි. ධනපති ක්‍රමය යටතේ ධනවතුන් ආරක්ෂා වන අතර දිලිඳු ජනතාව අනතුරට ලක් වෙති. විකල්පය වන්නේ, මානව අවශ්‍යතා සහ විද්‍යාත්මක සැලසුම්කරනය මත පදනම් ව සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සමාජවාදී අරගලයකට කම්කරු පන්තිය ජාත්‍යන්තර වශයෙන් එක්සත් කිරීමයි.
