කප්පාදු පියවර ගැඹුරු වත් ම, ශ්‍රී ලංකා ආන්ඩුව “ආර්ථික ප්‍රකෘතිය” ගැන පුරසාරම් දොඩයි

[මෙය Sri Lankan government boasts of “economic recovery” as austerity deepens යන මැයෙන් 2026 සැප්තැම්බර් 06 වැනි දින ඉංග්‍රීසි බසින් පල විය.]

ශ්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු ඉලක්ක සපුරා ගැනීම සමරමින් සිටින අතරතුර, කම්කරුවෝ සහ පීඩිත ජනතාව තව තවත් දරිද්‍රතාවයේ ගිලෙමින් සිටිති.

අගෝස්තු 26 වන දින, කොලඹ දී, රාජ්‍ය තාන්ත්‍රිකයන් අමතමින් පැවති දේශනයක දී, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කලේ, 2022 වසරේදී නය පැහැර හැරීමකට තුඩු දුන් ආර්ථික බිඳවැටීමට පූර්වයෙන් පැවති මට්ටමට ආසන්න තත්වයක් දක්වා ආර්ථිකය යලි ප්‍රකෘතිමත් වී ඇති බවයි. ශක්තිමත් රාජ්‍ය ආදායම්, ඉහල ගිය මූල්‍ය ශේෂයන් සහ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී අත් කර ගෙන ඇති ප්‍රගතිය ඔහු ඊට හේතු ලෙස පෙන්වා දුන්නේ ය.

2026 අගෝස්තු මාසයේ දී ඕස්ට්‍රේලියාවේ පැවති “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” (ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමු) වැඩසටහනේ දී අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ [Photo: X/CBSL]

මීට පෙර, අගෝස්තු 18 වන දින ඕස්ට්‍රේලියාවේ පැවති “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” (ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමු) වැඩසටහන අතරතුර බ්ලූම්බර්ග් රූපවාහිනිය සමඟ අදහස් දක්වමින්, වීරසිංහ, ශ්‍රී ලංකාව දෙස “අලුත් ඇසකින් බලන” ලෙස විදේශීය ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේ ය. ආර්ථිකය “සතුටුදායක ලෙස යථා තත්වයට පත්වෙමින්” පවතින බව සඳහන් කල ඔහු, ආයෝජනය කිරීමට “සුදුසු ම කාලය මෙය” බව පැවසී ය.

අත්පත් කර ගෙන ඇති සියයට 5ක පමන ආර්ථික වර්ධනය පිලිබඳවත්, වැඩිදියුනු වූ විදේශ සංචිත පිලිබඳවත් ඔහු පෙන්වා දුන්නේ ය. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුවේ අධීක්ෂනය යටතේ සිදුවන මෙම “ප්‍රතිසාධනය”, මිලියන ගනනක් වූ කම්කරුවන්, ගොවීන් සහ ග්‍රාමීය දුප්පතුන්ගේ වියදමින්, දිවයිනේ පොහොසත් ධනපති ප්‍රභූ පැලැන්තියට ප්‍රතිලාභ අත්කර දෙමින් තිබේ.

2022 වසරේ සිට අත්පත් කර ගනිමින් තිබෙන ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගී ඇත්තේ, ඉහල බදු, පහල ගිය මූර්ත වැටුප්, රාජ්‍ය වියදම් කප්පාදුව සහ ඉහල මිල ගනන් හරහා මෙම අර්බුදයේ බර වැඩ කරන ජනතාව මත පැටවීම මත ය.

ආන්ඩුව සිය කප්පාදු පියවරයන් ගැඹුරු කිරීමට කැප වී සිටින බවට ඉඟි කරමින්, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.සී. සේනානායක අගෝස්තු 30 වන දින ප්‍රකාශ කලේ, ජාමූඅ හි විස්තීර්න අරමුදල් පහසුකම පිලිබඳ හත්වන සමාලෝචනය සඳහා “සියලු කොන්දේසි සපුරාලමින් සිටින” බවයි. සමාලෝචනය සඳහා ජාමූඅ නිලධාරීන් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිනෙනු ඇත.

වසර හතරක් පුරා පැවති ඩොලර් බිලියන 3 ක ජාමූඅ ඇප නය අවසන් වන විට, 2027 මුල් භාගයේ දී, අටවන සහ අවසාන සමාලෝචනය පැවැත්වීමට නියමිත ය. ඉන් පසුව ක්‍රියාත්මක කිරීමට සුදුසු ජාමූඅ වැඩසටහනක් පිලිබඳ සාකච්ඡා දැනටමත් සිදුවෙමින් පවතී.

විදේශ නය ආපසු ගෙවීම් ඉහල යාමත් සමඟ පීඩනය තීව්‍ර වනු ඇත. 2028 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.9 ක පමන විදේශ නය ආපසු ගෙවීමකට මුහුන දීමට සිදුවනු ඇති බවත්, එම වසරේ සිට වාර්ෂික විදේශ නය සේවාකරන පිරිවැය (Annual External Debt Servicing) ඩොලර් බිලියන 3.2ත් 3.5ත් අතර වනු ඇතැයි ජාමූඅ ඇස්තමේන්තු කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී පැවසී ය. ආන්ඩුව ඊට ප්‍රතිචාර දක්වනු ඇත්තේ, ජාත්‍යන්තර නය හිමියන්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් වැඩ කරන ජනතාවගෙන් තව තවත් සම්පත් උදුරා ගැනීම මගිනි.

මෙය ශ්‍රී ලංකාවට පමනක් සීමා වූ සුවිශේෂී තත්වයක් නොවේ. මූල්‍ය හා සංගත ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරන අතර ම, ධනවාදී අර්බුදයේ සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ බර කම්කරුවන් මත පැටවීමට ලොව පුරා ආන්ඩු කටයුතු කරමින් සිටී.

ලෝක බැංකුවේ ඇස්තමේන්තු වලට අනුව තවමත් ජනගහනයෙන් සියයට 22කට ආසන්න ප්‍රමානයක් දරිද්‍රතා මට්ටමේ ජීවත් වන අතර, සියයට 10 ක් දරිද්‍රතා රේඛාවට යන්තම් ඉහලින් සිටිති. ලෝක ආහාර වැඩසටහන වාර්තා කරන පරිදි, පවුල්වලින් සියයට 39 කට ප්‍රමානවත් පෝෂනයක් සහිත ආහාර වේලක් නොලැබෙන අතර, වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් මන්දපෝෂනයෙන් පෙලෙති. මෙම සංඛ්‍යාලේඛන මගින් මනා ව පෙන්නුම් කෙරෙන්නේ, ආන්ඩුව සහ මහ බැංකුව විසින් සිදු කරන ප්‍රකාශත්, මිලියන ගනනක් ජනතාව මුහුන දෙන යථාර්ථයත් අතර පවතින දැවැන්ත පරතරයයි.

2022 වසරේ සිට රාජ්‍ය අංශයේ වැටුප්වල සිදු ව ඇති සියයට 33ක දැවැන්ත පහත වැටීම තුලින්, සේවකයින් මත පැට වී ඇති බර වැඩි වීම මනා ව පිලිබිඹු කෙරේ. පුද්ගලික අංශයේ තත්වය ද මීට වඩා යහපත් නොවේ; සේවක අර්ථසාධක අරමුදල් (EPF) දත්ත මගින් පෙන්නුම් කරන ආකාරයට, පුද්ගලික අංශයේ සාමාන්‍ය සේවකයින්ගෙන් සියයට 92ක් ම මසකට උපයන්නේ රුපියල් 100,000කට වඩා අඩු ආදායමක් බව, ආර්ථික විද්‍යාඥ නිශාන් ද මෙල් මෑතක දී පෙන්වා දුන්නේ ය.

අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ගනන් තව දුරටත් වේගයෙන් ඉහල යමින් පවතී; පසුගිය සතියේ දී තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 207ක් බවට පත් කරමින්, සියයට 9කින් ඉහල ගියේ ය. පසු ගිය මාසයේ දී නිල උද්ධමනය සියයට 8ක මට්ටමකට ලඟා විය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත මත පදනම් ව සිදු කරන ලද මෑතකාලීන සංසන්දනයකට අනුව, මිලදී ගැනීමේ හැකියාවට අනුකූල ව සකස් කල අවම වැටුප් මට්ටම (මසකට ඩොලර් 200කට සමාන අගයක්) සැලකිල්ලට ගැනීමේ දී, රටවල් 130ක් අතුරින්, ශ්‍රී ලංකාවට 120 වැනි ස්ථානය හිමි ව ඇත. මෙය පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාවට වඩා පහල මට්ටමකි.

පාලක ප්‍රභූවේ ම ප්‍රමුඛ සමාගම්වල ගිනුම්වලින් මෙම කොල්ලයේ පරිමානය හෙලි වේ. බැංකු, රක්ෂන, හෝටල්, වරාය, තේ, ආහාර නිෂ්පාදනය සහ සුපර් මාර්කට්වල කොටස් ඇති ශ්‍රී ලංකාවේ විශාල ත ම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි, 2026 මාර්තු දක්වා අවසන් කල මූල්‍ය වර්ෂයේ දී, කොටස් හිමියන්ට හිමි ලාභය සියයට 155කින් ඉහල ගොස්, රුපියල් බිලියන 13.24ක් ව පැවති අතර, බදු ගෙවීමට පෙර පුනරාවර්තන ලාභය සියයට 143කින් ඉහල ගොස් රුපියල් බිලියන 35.72ක් විය.

ශ්‍රී ලංකාවේ විශාල ත ම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව, 2026 වසරේ ජූනි මාසයෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 17.49ක ලාභයක් වාර්තා කල අතර, එය පෙර වසරේ අදාල කාලපරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 8කට ආසන්න වර්ධනයකි; මේ අනුව 2026 වසරේ මුල් භාගය සඳහා වූ සමස්ත ලාභය රුපියල් බිලියන 34.9ක් ලෙස සටහන් වේ; එය 2025 වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 13.56ක වර්ධනයකි.

ජාමූඅ මූල්‍ය ආධාර වැඩසටහනේ කොන්දේසිවලට අනුව, 2027 වසර වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 2.3ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගෙන යාම සහ ප්‍රාථමික වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13ක සීමාවකට යටත් ව පාලනය කිරීම ආන්ඩුවට අනිවාර්ය වේ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, ඉහල බදු ආදායම් උත්පාදනය, රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනය කිරීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීම සහ විදුලිබල, ඉන්ධන හා අනෙකුත් උපයෝගිතා සේවා සඳහා පිරිවැය පදනම් කරගත් මිලකරන ක්‍රමවේදය අඛන්ඩ ව ක්‍රියාත්මක කිරීම ඇතුලු වඩාත් දැඩි මූල්‍ය පාලන පියවර අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටී.

මෙම න්‍යාය පත්‍රය කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව අතර කෝපය අවුලුවමින් තිබෙන අතර ඔවුන් ආන්ඩුවත්, එය ආරක්ෂා කරන ධනේශ්වර ක්‍රමයත් සමඟ ගැටුමකට තල්ලු කරනු ලැබේ. අඩු වැටුප්, නරක අතට හැරෙන කොන්දේසි සහ වැඩබර වැඩි කිරීම සම්බන්ධයෙන්—ග්‍රාම (පලාත් පාලන පරිපාලන) නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ඖෂධවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු—රජයේ සේවකයින් කාර්මික ක්‍රියාමාර්ග ගෙන තිබේ. අහිමි වැටුප් වැඩිවීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් ගුරුවරුන් විරෝධතා දක්වා තිබේ.

සෙවනගල සීනි කම්හලේ සේවකයින් 1,000 කට අධික සංඛ්‍යාවක් වැටුප් ප්‍රශ්නයක් මුල් කරගනිමින් අඛන්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර උක් ගොවීන්, ගෙවීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් විරෝධතාවක නිරත වී තිබේ.

නිෂ්පාදන වියදම් ඉහල යාම සහ තම අස්වනු සඳහා ප්‍රමානවත් මිලක් නොලැබීම හේතුවෙන් ගොවීහු දැඩි පීඩනයකට ලක් ව සිටිති. පොහොර හිඟය, සහනාධාර ප්‍රමාද වීම සහ නිෂ්පාදන වියදම පවා ආවරනය නොවන රජයේ පාලන මිල ගනන්වලට එරෙහිව වී ගොවීහු විරෝධතා දැක්වූහ.

සැප්තැම්බර් 2 වන දින, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දී සිසුන්—ප්‍රධාන වශයෙන් වෛද්‍ය සිසුන්—සිය ගනනක්, වඩා හොඳ විශ්වවිද්‍යාල පහසුකම් ඉල්ලා සිටිමින් සහ පුද්ගලීකරනයට විරෝධය පල කරමින් විරෝධතාවක නිරත වූහ.

ආන්ඩුව ඊට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ, විරෝධය බලහත්කාරයෙන් මර්දනය කිරීමට සූදානම් වෙමිනි. වැඩ වර්ජන සීමා කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා පනත සහ හදිසි නීති රෙගුලාසි දැනටමත් භාවිත කර ඇත. කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දෙනු ලබන නව  ප්‍රති-ත්‍රස්ත පනත මගින් රාජ්‍යයේ මර්දනකාරී බලතල තවදුරටත් වර්ධනය වනු ඇත. පොලිස් නිලධාරීන් බඳවා ගැනීම ද මේ වන විට වැඩි කරමින් පවතී.

විරුද්ධ පක්ෂ කිසිදු විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැත. සමගි ජන බලවේගය (සජබ) අඛන්ඩ ව ජාමූඅ ශික්ෂාවන්ට සහාය දක්වන අතර දැනටමත් නව ජාමූඅ වැඩසටහනක් ඉල්ලා ඇත. කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්නය වන්නේ, කප්පාදු ක්‍රියාත්මක කරනු ඇත්තේ කුමන ධනේශ්වර පක්ෂය විසින් ද යන්න නොව, ඔවුන් සියලු දෙනා බෙදා ගන්නා න්‍යාය පත්‍රයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද යන්නයි.

ධනපති රාජ්‍යයට හෝ සේවා යෝජකයන් වෙත හුදකලා සහ නිෂ්ඵල ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පමනක් සේවකයන් සීමා කිරීමට උත්සාහ කරන නිල වෘත්තීය සමිතිවලට එරෙහි ව අරගල දියත් කිරීමට සේවකයන්ට වැඩි වැඩියෙන් බල කෙරෙමින් පවතී. කම්කරුවන්, මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ක්‍රියාත්මක කිරීම සඳහා පවතින වෘත්තීය සමිති නිලධර තන්ත්‍රයේ ග්‍රහනයෙන් මිදිය යුතු ය.

ධනපති පන්තියේ නොනවතින ප්‍රහාරයන්ට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් ගොඩනැගීම සඳහා, කම්කරුවන් විසින් තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය; ඒවා ක්‍රියාත්මක විය යුත්තේ, කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කෙරෙන සහ කිසිදු වෘත්තීය සමිති නිලධාරියෙකුට, ධනපති පක්ෂයකට හෝ ව්‍යාජ-වාම සංවිධානයකට වග නොකියන සාමාන්‍ය කම්කරුවන්ගේ සංවිධාන ලෙසට ය.

දැන් දිග හැරෙන විසිරුනු අරගලවලට පොදු වැඩපිලිවෙලක් සහ පොදු මඟ පෙන්වීමක් ලබා දිය හැක්කේ, ආර්ථිකයේ සෑම අංශයක ම වැඩබිම් තුල ගොඩනැගුනු, ගොවීන්, ශිෂ්‍යයන් සහ ග්‍රාමීය දුප්පතුන් සමඟ ඒකාබද්ධ වූ එවැනි කමිටුවලට ම පමනි.

උග්‍ර වන දරිද්‍රතාව සහ සූරා කෑමට මුහුන දෙන ශ්‍රී ලංකාවේ කම්කරුවන්, ඒ හා සමාන තත්වයන්ට ම මුහුන දෙන ඉන්දියාවේ සහ අනෙකුත් රටවල කම්කරුවන් සමඟ එක්සත් කිරීම සඳහා, මෙම කමිටු එක් කර, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගිය යුතු ය. මෙහි දී අවශ්‍ය වන්නේ, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් ව සමස්ත ධනවාදී ක්‍රමයට ම එරෙහි ව ගෙන යන ජාත්‍යන්තර අරගලයකි.

Loading