ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙල කෙරෙහි වැඩෙන කම්කරු විරෝධය මධ්‍යයේ

දුම්රිය වැඩවර්ජනයට එක්වනු! අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් ගොඩනඟනු! සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරනු!

දුම්රිය ස්ථානාධිපතිවරයා සංඥා වර්තිකාව (signalling tablet) දුම්රිය එන්ජින් රියදුරුට ලබා දෙමින්

ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය (ඒදුවෘසස) සැප්තැම්බර් 17 සහ 18 යන දිනවල පැය 48ක සංකේත වැඩ වර්ජනයක් කැඳවා තිබේ. දුම්රිය වෘත්තීය සමිති 27ක් මෙම ක්‍රියාමාර්ගයට සහභාගී වන බව නිවේදනය කර තිබේ. එහි ප්‍රධාන ඉල්ලීම් දෙකකි: ඒවා නම් දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඉවත් කිරීම සහ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් මෙන් ම ඒදුවෘසසහි සම කැඳවුම්කරු වන කසුන් චාමර ජයසේකරගෙන් නිදහසට කරුනු විමසමින් නිකුත් කල ලිපිය ඉල්ලා අස්කර යි. 

දුම්රිය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික) සැප්තැම්බර් 17–18 වැඩවර්ජනයට සහාය දෙන අතර, සියලු දුම්රිය කම්කරුවන්ගෙන් එයට සක්‍රීය ව සහභාගී වන ලෙස ඉල්ලා සිටී. එහෙත් දුම්රිය සේවකයන් වන අප මෙම අරගලය වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ අතින් උදුරා අප අතට ගත යුතු ය.

මෙම පැය 48ක ක්‍රියාමාර්ගය තවත් හුදු සංකේත විරෝධතාවක් බවට පත් කර, ඉන් අනතුරු ව කම්කරුවන්ට හො සාකච්ඡා පැවැත්වීමට ඉඩ නොදිය යුතු ය. එ මෙන් ම, ආන්ඩුවේ ඇමැතිවරුන්ගේ පොරොන්දු මත අවසන් මොහොතේ වැඩවර්ජනය අත්හිටුවීමට ගන්නා කිසිදු උත්සාහයක් අප විසින් පිලි නොගත යුතු ය.

මෙම අරගලය ජයසේකරට එරෙහි පලිගැනීමේ ක්‍රියාමාර්ගයට පමනක් සීමා නොකර, රැකියා, වැටුප්, සේවා කොන්දේසි, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ දුම්රිය පොදු සේවාවක් ලෙස ආරක්ෂා කිරීම දක්වා පුලුල් කල යුතු ය.

දුම්රිය කම්කරුවන් වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයෙන් ස්වාධීන ව සෑම සේවා ස්ථානයක ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතු ය. මෙම කමිටු සාමාන්‍ය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ක්‍රියා කල යුතු අතර, ජාතික හා වෘත්තීය සමිති බෙදීම් ඉක්මවා දුම්රිය කම්කරුවන් එක්සත් කිරීමට සටන් කල යුතු ය.

වහා ම අනෙකුත් කම්කරු කොටස් වෙත ආයාචනා කර මෙම අරගලයට එක්වන ලෙස ඉල්ලා සිටිය යුතු ය. ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව කම්කරු පන්තියේ සැබෑ බලය ඉදිරියට ගෙන ආ හැකි වන්නේ එවැනි ව්‍යාපාරයක් මගින් පමනි.

ජයසේකර දුම්රිය සේවය මුහුන දෙන බරපතල ගැටලු—දුම්රිය එන්ජින් බිඳවැටීම්, දුම්රිය ගමන් අවලංගු කිරීම් සහ දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව දැඩි ලෙස අඩුවීම ඇතුලු ගැටලු—ප්‍රසිද්ධියේ මතු කිරීමෙන් පසු ව ඔහුට එරෙහි දඩයම ඇරඹිනි.

අගෝස්තු 26දා පත්මප්‍රිය චක්‍රලේඛයක් නිකුත් කරමින් “රාජකාරි වේලාවන්” තුල දුම්රිය මෙහෙයුම්, අභ්‍යන්තර තීරන, නිල ලේඛන සහ ආයතනික වශයෙන් සංවේදී යැයි සැලකෙන වෙනත් තොරතුරු ඇතුලු ව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීමට දුම්රිය කම්කරුවන්ට තහනම් කලේ ය. මෙම චක්‍රලේඛය මගින් කම්කරුවන්ගේ සන්නිවේදනය පාලනය කිරීමට පරිපාලනයට පුලුල් බලතල ලබා දෙයි.

මෙය හුදෙක් එක් දුම්රිය නිලධාරියෙකු සමඟ ඇති වූ ආරවුලක් නොවේ. දුම්රිය සේවයේ පිරිහෙමින් පවතින තත්ත්වය හෙලි කරන කම්කරුවන් නිහඬ කිරීමට ගන්නා උත්සහය, ආන්ඩුව කප්පාදුව, ප්‍රතිව්‍යුහගතකරනය සහ පොදු සේවාවන් වානිජ අවශ්‍යතාවලට යටත් කිරීමේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන තත්ත්වය තුල, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන පුලුල් ප්‍රහාරයක කොටසකි.

මෑත මාධ්‍ය වාර්තාවල උපුටා දක්වා ඇති දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවකට අනුව, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ එන්ජින් 98කින් දැනට ක්‍රියාත්මක වන්නේ 50ක් පමනි. සාමාන්‍ය සේවාව පවත්වා ගෙන යාම සඳහා එන්ජින් 74ක් අවශ්‍ය වේ. ඩීසල් බහු ඒකක දුම්රිය (Diesel Multiple Units) 242කින් ක්‍රියාත්මක වන්නේ 118ක් පමනක් වන අතර, අවශ්‍ය සංඛ්‍යාව 193කි.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ එන්ජින් සහ බල ඒකක හිඟය හේතුවෙන් දුම්රිය සේවය මිලියන ගනනක් වූ මගීන්ගේ අවශ්‍යතා සපුරාලීමට දිනෙන් දින අසමත් වීමයි. දුම්රිය ගමන් අවලංගු කිරීම්, ප්‍රමාදයන් සහ තාක්ෂනික දෝෂ මෙහි ප්‍රතිඵල ලෙස මතු ව තිබේ.

දෛනික දුම්රිය ධාවන කටයුතු බිඳවැටීම තුලින් ද මෙම පිරිහීම පැහැදිලි වේ. කොවිඩ්-19 වසංගතයට පෙර දිනකට පැවති දුම්රිය ගමන් වාර 410ක් පමන වූ අතර, එය මේ වන විට 184 දක්වා පහත වැටී තිබේ.

මෙම සංඛ්‍යාලේඛන මගින් කම්කරුවන්ගේ විවේචන මැඬ පැවැත්වීමට ආන්ඩුව ගන්නා උත්සාහය පිටුපස ඇති සැබෑ ප්‍රශ්නය හෙලිදරව් කරයි. මෙම අර්බුදය තම රාජකාරි ඉටු කිරීමට තනි තනි කම්කරුවන් අසමත් වීමේ ප්‍රතිඵලයක් නොවන බව දුම්රිය කම්කරුවන් වන අපි, අපගේ දෛනික අත්දැකීම් තුලින් දනිමු. එය දශක ගනනාවක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් සිදු කල ප්‍රමානවත් නොවන අරමුදල් සැපයීමේ සහ නොසලකා හැරීමේ ප්‍රතිඵලයකි.

ඩිට්වා සුලි කුනාටුවෙන් සිදු වූ විනාශය මෙම අර්බුදය තවදුරටත් හෙලිදරව් කර තිබේ. උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රධාන කොටස් දැඩි ලෙස හානි වූ අතර, එහි ප්‍රතිසංස්කරන කටයුතු මාස ගනනාවක් තිස්සේ සිදු වෙමින් පවතී.

කම්කරුවන්, සිසුන් සහ අනෙකුත් මගීන් ලක්ෂ ගනනකට අක්‍රමවත් හා අධික තදබදයකින් යුත් දුම්රිය සේවාවල දුෂ්කරතාවලට මුහුන දීමට හෝ වඩාත් මිල අධික ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට බල කෙරී තිබේ.

ඒදුවෘසස විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක, ප්‍රවාහන අමාත්‍යවරයා සහ නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයා වෙත මැදිහත් වන ලෙස නැවත නැවතත් ඉල්ලා තිබේ. සඳුදා ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ පැවැති සාකච්ඡාවලින් එකඟතාවකට පැමිනීමට නොහැකි වී තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, “මෙම ක්‍රියාමාර්ග සාධාරන සහ යුක්තිසහගත ද යන්න පිලිබඳව මහජනතාව සමීප අවධානය යොමු කර සලකා බැලිය යුතු” බවත්, “මෙම වෘත්තීය සමිතිවලින් ඇතැම් ඒවාට යම් දේශපාලන සම්බන්ධතා ද තිබෙන” බවත් ප්‍රකාශ කර ඇත. රත්නායකගේ මෙම ප්‍රකාශය දුම්රිය කම්කරුවන්ට එරෙහි ව මහජනතාව උසිගැන්වීමේ උත්සහයකි.

වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය කම්කරුවන්ගේ කෝපය යොමු කිරීමට උත්සාහ කරන්නේ, පුලුල් කප්පාදු හා ප්‍රතිව්‍යුහගතකරන රාමුව පනවන ආන්ඩුවට ම කරන ආයාචනාවලට ය. පත්මප්‍රිය ඉවත් කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලබන්නේ එක් නිලධාරියෙකු වෙනස් කිරීමෙන් දුම්රිය කම්කරුවන් සහ මගීන් මුහුන දෙන අර්බුදය විසඳිය හැකි ආකාරයට ය.

ඔහු ඉවත් කිරීමෙන් දුම්රිය සේවය මුහුන දෙන ක්‍රමානුකූල ව සිදු වූ ප්‍රමානවත් නොවන අරමුදල් සැපයීම, කාර්ය මන්ඩල හිඟය, උපකරන පිරිහීම, පෞද්ගලීකරනය සහ සේවා කොන්දේසිවලට එල්ල වන ප්‍රහාර විසඳිය නොහැක.

දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම තමන්ගේ මූලික ප්‍රශ්නයක් ලෙස ආන්ඩුව ම පෙන්වා දී තිබේ. එ බැවින් කම්කරුවන් ඉදිරියේ ඇති ප්‍රශ්නය හුදෙක් සාමාන්‍යාධිකාරී තනතුර දරන්නේ කවුරුන් ද යන්න නොව, දුම්රිය සේවය පාලනය කරන්නේ කවුරුන් ද සහ එය ක්‍රියාත්මක කරන්නේ කාගේ අවශ්‍යතා වෙනුවෙන් ද යන්නයි.

දුම්රිය අර්බුදය පුලුල් අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලින් වෙන් කල නොහැක.

වියදම් කප්පාදු කිරීම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, පොදු සේවාවන් වානිජකරනය පුලුල් කිරීම සහ රැකියා, වැටුප් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ප්‍රහාර එල්ල කිරීම හරහා ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් සහ දුප්පතුන් මත පැටවීමට ආන්ඩුව උත්සාහ කරමින් සිටී.

වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය මෙම වැඩපිලිවෙලට එරෙහි ව දේශපාලන අරගලයක් ගෙන ගොස් නැත. ඒ වෙනුවට, ආන්ඩුව වෙත නැවත නැවතත් කරන එහි ආයාචනා මගින් කම්කරුවන්ගේ විරෝධය බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡා රාමුව තුල සීමා කිරීමට උත්සාහ කරයි.

පොදු දුම්රිය සේවය ආරක්ෂා කිරීම සඳහා කප්පාදු, පෞද්ගලීකරනය සහ පොදු සේවාවන් විනාශ කිරීමට එරෙහි ව සමස්ත කම්කරු පන්තිය ම බලමුලුගැන්වීම අවශ්‍ය වේ. ඒ සඳහා දුම්රිය කම්කරුවන්ගේ අරගලය සෑම ක්ෂේත්‍රයක ම කම්කරුවන්ගේ අරගල සමඟ සම්බන්ධ කල යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ද මෙම සටනින් වෙන් කල නොහැක. බිඳ වැටෙමින් පවතින දුම්රිය සේවය පිලිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් දුම්රිය කම්කරුවන් වන අප වැලැක්වීමට දරන උත්සාහයට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ කම්කරුවන්ට සංවිධානය වීමට හා සන්නිවේදනය කිරීමට ඇති අයිතිය පුලුල් ලෙස ආරක්ෂා කිරීමේ අරගලයේ කොටසක් ලෙස අපි විරුද්ධ විය යුතු වෙමු.

ශ්‍රී ලංකාවේ දුම්රිය කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාරය, පොදු සේවාවන්ට, කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ව ජාත්‍යන්තර ව ක්‍රියාත්මක වන ප්‍රහාරයක කොටසකි.

ලොව පුරා ආන්ඩු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඒ සමඟම දැවැන්ත සම්පත් ප්‍රමානයක් යුද්ධය, නය ගෙවීම් සහ මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා සඳහා යොමු කරමින් සිටී. පොදු ප්‍රවාහනය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අරමුදල් අහිමි කරමින් සිටින අතර, යහපත් වැටුප් සහ ආරක්ෂිත, විශ්වාසදායක සේවාවන් සඳහා මුදල් නොමැති බව කම්කරුවන්ට පවසනු ලැබේ.

එ බැවින්, අපි, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) හරහා ජාත්‍යන්තර දුම්රිය හා ප්‍රවාහන කම්කරුවන් සමඟ අප අරගලය සම්බන්ධ කර ගැනීමට කටයුතු කල යුතු වෙමු.

ජාතික දේශසීමා ඉක්මවා අරගල සම්බන්ධීකරනය කල හැකි සහ කම්කරුවන් හුදෙකලා කිරීමට වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍ර දරන උත්සාහයන්ට විරුද්ධ විය හැකි, සාමාන්‍ය පෙලේ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර ජාලයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කාර්යයකි.

දුම්රිය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව පහත ඉල්ලීම් ඉදිරිපත් කරයි:

  • කසුන් චාමර ජයසේකරට එරෙහි දඩයම නතර කරනු!
  • කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබනු!
  • කම්කරුවන් සමාජ මාධ්‍ය භාවිතා කිරීමට එරෙහි ව පනවා ඇති තහංචි ඉවත් කරනු!
  • දුම්රිය සේවය පෞද්ගලීකරනය කිරීම සහ වානිජකරනය කිරීම නතර කරනු!
  • දුම්රිය රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කරනු!
  • ආරක්ෂිත සහ විශ්වාසදායක පොදු දුම්රිය සේවාවන් යලි ස්ථාපිත කිරීමට සහ පුලුල් කිරීමට අවශ්‍ය සම්පත් සපයනු!
  • විදේශ නය බර සහ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරනු!
  • පොදු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් යලි ගොඩනැගීමට සහ පුලුල් කිරීමට අවශ්‍ය රුපියල් බිලියන ගනනක සම්පත් බලමුලුගන්වනු!

මෙම ඉල්ලීම් තනි තනි ඇමැතිවරුන් වෙත කරන ආයාචනා හරහා හෝ ධනවාදය යටතේ දිනාගත නොහැක.

සැප්තැම්බර් 17–18 වැඩවර්ජනය දුම්රිය කම්කරුවන්ගේ සහ සමස්ත කම්කරු පන්තියේ පුලුල් බලමුලු ගැන්වීමක ආරම්භය බවට පත් කල යුතු ය. දුම්රිය සේවය පොදු සේවාවක් ලෙස ආරක්ෂා කිරීමටත්, කම්කරුවන්ගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමටත්, කම්කරුවන් තමන්ගේ ම අරගල සංවිධාන පිහිටුවාගෙන, ක්ෂේත්‍ර අතරත් ජාතික දේශසීමා හරහාත් එක්සත් විය යුතු ය.

අවසානයේ දී, මෙම අරගලය මතු කරන්නේ සමාජය සහ එහි සම්පත් පාලනය කරන්නේ කුමන පන්තිය ද යන ප්‍රශ්නයයි. සැබෑ පොදු දුම්රිය සේවයක්, යහපත් ජීවන තත්ත්වයන් සහ වැඩවර්ජනයට ඇති අයිතිය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කල හැක්කේ, පෞද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතා සපුරාලීම අරමුනු කරගත්, ආර්ථික ජීවිතය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. එයින් අදහස් කරන්නේ, ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයක් ගොඩනැගීමයි.

Loading