මේ කොටස් දෙකකින් පලවන ලිපියක දෙ වැනි කොටසයි. පලමු කොටස 24 වැනි දා පල කෙරුනි.
***
සුමිත් චාමින්දගේ හෙජමොනික උපාය
“හෙජමොනික උපාය මාර්ගයක්,” එනම් “ඇත්ත වශයෙන් ම මිනිසුන් සංවිධානය කරන්නේ කෙසේ ද” යන චාමින්දගේ පශ්චාත්-මාක්ස්වාදී ආයාචනය, අර්නස්ටෝ ලක්ලාව් සහ ෂන්තාල් මූෆ් විසින් 1985 දී ලියන ලද Hegemony and Socialist Strategy (හෙජමොනිය සහ සමාජවාදී මුලෝපාය) කෘතියෙන් කෙලින් ම බාගත්තකි. ලක්ලාව් සහ මූෆ් ඇන්ටෝනියෝ ග්‍රාම්ෂිගේ හෙජමොනි පිලිබඳ සංකල්පය—යම් අපැහැදිලිතා තිබුන ද එය මූලික වශයෙන් පන්ති සංකල්පයක් විය—එහි පන්ති අන්තර්ගතයෙන් වෙන් කර,[1] (පාද සටහන බලන්න) ඕනෑ ම සහ සියලු සමාජ කන්ඩායම් සම්බන්ධීකරනය කිරීමේ පොදු සංකල්පයක් බවට පරිවර්තනය කලහ.
මෙම ක්‍රියාවලිය හරහා පශ්චාත්-මාක්ස්වාදී කන්ඩායම් සහ ව්‍යාජ-වාම පක්ෂ සෑම රටක ම අවසානයේ පැමින සිටින්නේ ධනේශ්වර පක්ෂවලට මහජනයා යටත් කිරීම, අනන්‍යතා දේශපාලනයට සහ ධනේශ්වර පාලනයන්ට සහභාගී වීම සඳහා න්‍යායික සාධාරනීකරනයක් සැපයීම කරා ය.
තම විශ්ලේෂනය තුලින් ලක්ලාව් සහ මූෆ් මෙසේ නිගමනය කලහ:
“දැන් අර්බුදයට ලක් ව ඇත්තේ, කම්කරු පන්තියේ සත්භාවයෙහි කෙන්ද්‍රියතාව මතත්, එක් වර්ගයක සමාජයක සිට තවත් සමාජ වර්ගයකට මාරුවීමේ ආරම්භක මොහොත ලෙස —මහප්‍රාන 'වි' අකුරින් සටහන් කෙරුනු— ‘විප්ලවය’යන භූමිකාව මතත් රඳා සිටින්නාවූ ද දේශපාලනයේ නිමේෂය අර්ථ විරහිත කර දමන සුලු පරිපුර්න ව ම ඒකීය හා සමජාතීය සාමුහිකත්වයක මායාවී ප්‍රාර්ථනා මත රඳා පවතින්නා වූ ද සමාජවාදය පිලිබඳ සමස්ත සංකල්පයකි…” Hegemony and Socialist Strategy, දෙවන සංස්කරනය, Introduction, පි. 2, Verso)
මෙම ප්‍රවනතා මතු වූ වෛෂයික තත්ත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතන්තර කර්තෘ මන්ඩලයේ සභාපති සහ සසප (එක්සත් ජනපදය) සභාපති ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කලේ මෙසේ ය:
“දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදය තුල, සුලු-ධනේශ්වර බුද්ධිමතුන්ගේ විවිධ කොටස් අතර, වැඩි වැඩියෙන් ස්වයං-දැනුවත් වූ භෞතිකවාදයට එරෙහි, මාක්ස්වාදයට එරෙහි, ට්‍රොට්ස්කිවාදයට එරෙහි, සමාජවාදයට එරෙහි සහ කම්කරු පන්තියට එරෙහි දෘෂ්ටියක් වර්ධනය විය. විශේෂයෙන් ම එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ ධනේශ්වර පාලනය නැවත ස්ථාවර වූ අතර සෝවියට් නිලධාරිවාදය සිය ස්ථාවරය තහවුරු කරගත් විට, පශ්චාත්-යුද නිරාකරනය තුල තමන්ගේ ම අවශ්‍යතා ආරක්ෂා කිරීමට වඩාත් සුදුසු බුද්ධිමය සංකල්ප සහ දේශපාලන වැඩපිලිවෙල වර්ධනය කිරීමට සුලු-ධනේශ්වරය උත්සාහ කලේ ය. 1949 සහ 1953 අතර පැබ්ලෝවාදයේ මතු වීම, හතර වන ජාත්‍යන්තරය තුල, මෙම සමාජ, දේශපාලනික සහ බුද්ධිමය ක්‍රියාවලියේ ප්‍රකාශනයක් විය.” (The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left, පි. 211) [“Theoretical and Historical Origins of Pseudo Lefts” හි සිංහල පරිවර්තනයේ 16 වන පිටුව]
නෝර්ත් පැහැදිලි කල පරිදි, පශ්චාත්-මාක්ස්වාදීහු කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය, කම්කරු පන්තියේ සත්භාවිය අතුරුදන් වීමක් බවට පරිවර්තනය කරති. මෙය 1970 සහ 1980 ගනන්වල පරාජයන් සහ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු සුලු-ධනේශ්වරයේ අධෛර්යමත් වීමේ න්‍යායික ප්‍රකාශනයයි. ඉහත කෘතියේ නෝර්ත්ගේ විවේචනයේ මධ්‍යම තේමාව ද මෙයයි. එය සාරය වෙනුවට දෘෂ්‍යමානය ආදේශ කිරීම සහ පන්ති අරගලය වෙනුවට කතිකාව ආදේශ කිරීම සොයා බලයි.
1970 සහ 1980 ගනන්වල කම්කරු පන්තියේ පරාජයන් සහ සෝවියට් සංගමය විසුරුවා හැරීම කම්කරු ව්‍යාපාරය මුහුන දුන් දේශපාලනික හා ඓතිහාසික ගැටලු අනුව පැහැදිලි කිරීම වෙනුවට, මෙම ප්‍රවනතා කම්කරු පන්තියට තව දුරටත් සමාජවාදී දේශපාලනය තුල කේන්ද්‍රීය ස්ථානයක් හිමිවිය නොහැකි බවට නිගමනය කල බව නෝර්ත් පෙන්වා දුන්නේ ය.
චාමින්ද මාක්ස්වාදයට එරෙහි තම තර්කවලට යම් සාධාරනියත්වයක් ලබා දීමට උත්සාහ කරමින්, “සමාජවාදය පිලිබඳ පරමාදර්ශය අත හැර දැමීමක්” තමන් යෝජනා නොකරන බව පැවසී ය [ඇත්ත වශයෙන් ම ඔවුන් සහ ඔවුන්ගේ ගුරුවරුන් වන ලක්ලාව් සහ මූෆ් ප්‍රකාශ කලේ මෙයයි]. එහෙත් ඔහු තැත් කලේ “සමාජවාදය පිලිබඳ පරමාදර්ශය” කරා ගමන් කිරීමට “නව උපායමාර්ගික ප්‍රවේශයක් අවශ්‍ය” බව තම ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගැන්වීමටයි. සරල ව ගතහොත්, එම උපාය මාර්ගය නම්, “වාම ජනතාවාදී” වහන්තරාවන් පොරවමින් ධනපති පක්ෂ හා සන්ධාන සමග එක්වීමයි.
ඔහුට අනුව “සමාජවාදය” නමින් “පරමාදර්ශයක්” තිබේ. එම පරමාදර්ශය කරා ලඟා වීමට නව ප්‍රවේශයක් අවශ්‍ය ය. මෙ ලෙස ඔහු සමාජවාදය සඳහා අරගලය “පරමාදර්ශයක්” හෝ මනෝරාජික සදාචාරාත්මක ආයාචනයක් බවට පහත හෙලන්නේ “නව උපාය මාර්ගය” තුල කොටුවීම සාධාරනියකරනය කිරීමටයි.
ඊට පටහැනි ව, මාක්ස්වාදීන්ට සමාජවාදය පරමාදර්ශයක් නොව ඓතිහාසික අවශ්‍යතාවකි. ධනවාදයේ අති මුලික පරස්පර විරෝධයන්-එනම් නිෂ්පාදන බලවේගවල සාමාජීයකරනය සහ පුද්ගලික දේපොල අයිතිය සහ ගෝලීයකරනය වූ ආර්ථිකය සහ ජාතික රාජ්‍ය සීමා බන්ධනයත් අතර පරස්පර විරෝධයන්-හේතු කොට ගෙන පෙරමුනු ගනනාවක යුද්ධ එකිනෙක පෑස්සෙමින් තුන් වන ලෝක යුද්ධයක් තුලට පිලිකාවක් මෙන් දිගහැරෙමින් පවතී. ලෝක සමාජවාදය සඳහා අරගලය ධනපති ක්‍රමය විසින් නිර්මානය කෙරෙන ම්ලේච්චත්වයට එක ම පිලිතුර ලෙස මතු වී පවතී.
ආන්ඩුව ආරක්ෂා කිරීම සඳහා චාමින්දගේ “ප්‍රායෝගික උපායමාර්ගය”
ශාස්ත්‍රාලිකයා තම “හෙජමොනික උපායමාර්ගය” ඔහුගේ තවත් යුටියුබ් සාකච්ඡාවක දී ශ්‍රී ලංකාවට අදාල කර ඇත. එම සාකච්ඡාවේ දී චාමින්ද මෙසේ පැවසී ය: “ශ්‍රී ලංකාවේ අන්ත දක්ෂිනාංශික ආධිපත්‍යය පරාජය කිරීම සඳහා ප්‍රායෝගික උපායමාර්ගික වැඩපිලිවෙලක් තිබිය යුතුයි.”
ඔහු මෙසේ සිය කනස්සල්ල පල කලේ ය: “වාම-ජනතාවාදී පරිවර්තනයකින් පසු ගොඩනැගිය යුත්තේ කුමක් ද යන්න පිලිබඳ ප්‍රමානවත් සාකච්ඡාවක් හෝ සාහිත්‍යයක් නැහැ. අපි ශ්‍රී ලංකාවේ මේ ගැටලුවට මුහුන දී සිටිනවා.” මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් “සාකච්ඡාවක් සහ විවාදයක්” වර්ධනය කල යුතු බව ඔහු තර්ක කලේ ය.
සරල ව කියන්නේ නම්, ඔහු සඳහන් කරන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනීමෙන් ලංකාව තුල “වාම-ජනතාවාදී පරිවර්තනයක්” ඇති වී තිබෙන බැවින් අන්ත දක්ෂිනාංශය පරාජය කර බලයේ සිටින ආන්ඩුව ආරක්ෂා කිරීමට උපායමාර්ගික වැඩපිලිවෙලක් තිබිය යුතු ය යන්නයි. මෙම කාරනය සම්බන්ධයෙන් ප්‍රමානවත් සාකච්ඡාවක් නොමැති වීම ගැන ඔහු විස්සෝප වෙයි.
ඔහු අන්ත දක්ෂිනාංශය නම් කර නැත. ඒ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒවාට සම්බන්ධ දේශපාලන කන්ඩායම් විය යුතු ය. 2024 පැවති ජනාධිපතිවරනයේ සහ මහ මැතිවරනයේ දී, මහජනතාව අතර පිලිකුලට ලක් ව තිබූ දූෂිත සම්ප්‍රදායික ධනපති පක්ෂ වන එජාපය, ශ්‍රීලං පොපෙ සහ ශ්‍රීලනිපය නින්දිත ලෙස පරාජයට පත් විය.
ආන්ඩුවට එරෙහි ව සිටින මෙම “දක්ෂිනාංශය” පරාජය කරන්නේ කෙසේ ද යන්න පිලිබඳව හෝඩුවාවක් චාමින්ද ලබා ගෙන ඇත්තේ කුප්‍රකට ව්‍යාජ-වාම චරිතයක් වන යානිස් වරූෆාකිස්ගෙන් ය. වරූෆාකිස්, 2015 ජනවාරි සිට අගෝස්තු දක්වා ග්‍රීසියේ සිරිසා ආන්ඩුවේ මුදල් ඇමතිවරයා වූ අතර, එම ආන්ඩුවට යුරෝපා සංගමය සහ ජාමූඅ ඉදිරිපත් කල කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සහ රට තුල ෆැසිස්ට් කන්ඩායම් මතු වීමට මාවත සකස් කලේ ය. 2017 ප්‍රංශ ජනාධිපතිවරනයේ දෙවන වටයේ දී නව-ෆැසිස්ට් මරීන් ල පෙන් පරාජය කිරීම සඳහා යයි පවසමින් වරූෆාකිස්, බැංකු කාරයන්ගේ ජනාධිපති ලෙස ක්‍රියාකරමින් සිටි එමානුවෙල් මැක්‍රොන්ගේ අපේක්ෂකත්වයට සහාය දැක්වී ය.
එ වැනි ස්ථාවරයක් ගැනීමෙන් “සියලු දේ සඳහා විසඳුම් ලබා නොදෙන නමුත්, අන්ත දක්ෂිනාංශික දේශපාලනයට මුහුන දීම සඳහා උපායමාර්ගික දැක්මක් ලබා දෙන” බව ඔහු පැවසී ය.
මැක්‍රොන් යලිත් බලයට පැමින කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට තව දුරටත් ප්‍රහාර තියුනු කල අතර, රුසියාවට එරෙහි යුක්‍රේනය තුල නේටෝ යුද්ධයේ දී මූලිකත්වය ගත්තේ ය. මැක්‍රොන්ට සහ ප්‍රංශ අධිරාජ්‍යවාදයේ ෆැසිස්ට් බලවේගවලට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමට විරුද්ධ වීම මගින් මෙම ව්‍යාජ-වාමයෝ ආන්ඩුවට සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ප්‍රහාර වේගවත් කිරීමට ඉඩ ලබා දුන් අතර, ෆැසිස්ට්වාදීන් තවත් ශක්තිමත් කලහ.
චාමින්ද, වරූෆාකිස්ගේ උපදෙස් අකුරට ම අනුගමනය කර ඇත. යූටියුබ් සාකච්ඡාවේ දී ඔහු කියා සිටියේ ජවිපෙ/ජාජබ ආන්ඩුවකින් “ආර්ථික පරිවර්තනයක්” ඔවුන් අපේක්ෂා නොකල නමුත් “දේශපාලන පරිවර්තනයක්” අපේක්ෂා කල බවයි. ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල දිගට ම ගෙන යන බව තමන් කලින් ම දැන සිටි බව ද ඔහු පැවසී ය. මෙම ස්ථරයන්ගේ දේශපාලන නරුමත්වය එවැනි ය. කම්කරුවන්ට, දුප්පතුන්ට සහ තරුනයන්ට ආන්ඩුවෙන් එල්ලවන ප්‍රහාර ගැන ඔවුන්ට කිසි කනස්සල්ලක් නැත.
කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් සම්බන්ධයෙන් මෙම මධ්‍යම පන්තික කන්ඩායම් දරන්නේ එවැනි පිලිකුල් සහගත ආකල්පයකි. ඔවුන්ගේ එක ම සැලකිල්ල වූයේ මධ්‍යම පන්තියට වැඩි වරප්‍රසාද ලබා ගත හැකි තත්වයන් නිර්මානය කර ගැනීම හා කම්කරු පන්තියේ අරගල වලට ඇබ ගැසීමයි. චාමින්ද-කන්නන්ගර කන්ඩායම සහ ඔවුන් සමඟ එක වල්ලේ සිටින මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි වැන්නන් ජනතාවගේ ජීවන හා සමාජ තත්ත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට ආන්ඩුව වේගවත් කර ඇති කුරිරු ප්‍රහාර සම්බන්ධයෙන් සම්පූර්නයෙන් ම නිහඬ ව සහයෝගය දෙති.
ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහාය දැක්වීමේ තම ස්ථාවරය සාධාරනීකරනය කරමින් චාමින්ද පැවසුවේ, “වාම ව්‍යාපාරයේ ඉතිහාසයේ සමහර කන්ඩායම් එවැනි ස්ථාවරයක් ගෙන තිබෙනවා” යනුවෙනි. එවැනි ස්ථාවරයක් ගන්නා ලෙස උපදෙස් දෙමින් ඔහු මෙසේ පැවසී ය: “ඔබ ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටිය යුතුයි.”
ඇත්ත වශයෙන් ම, අවස්ථාවාදී වාම කන්ඩායම් “දක්ෂිනාංශය පරාජය කිරීමේ” නාමයෙන් මෙ වැනි ස්ථාවරයන් ප්‍රචාරය කරමින් ධනපති පක්ෂවලට කෙලින් ම හෝ වක්‍ර ව හවුල් වී ඇත. එමගින් ඔවුහු කම්කරු පන්තියේ දේශපාලනික ව ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමට වල කපමින්, මහ ජනතාව කොටු කර, ධනේශ්වර ක්‍රමය රැකීමට හවුල් වෙති. චාමින්ද සහ සමාගම වැනි “වාම” අවස්ථාවාදීන්ගේ දේශපාලන කාර්යභාරය එයයි.
ජනාධිපති දිසානායකගේ ආන්ඩුව බලයට පැමින වසර දෙකක් ගත වීමෙන් පසුව ද ඔහු මෙම ස්ථාවරය ම අවධාරනය කරයි. මෙම වසර දෙක තුල තහවුරු වී ඇත්තේ ජවිපෙ නායකත්වය දරන ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ රටේ මහා ව්‍යාපාරික ප්‍රභූවේ අවශ්‍යතා වෙනුවෙන් සමාජ ප්‍රතිවිප්ලවයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. එය ජාමූඅ නියෝග ක්‍රියාත්මක කරමින්, එක්සත් ජනපද ගැති ප්‍රතිපත්ති අනුගමනය කරන අතර ම කම්කරුවන්ගේ, දුප්පතුන්ගේ සහ තරුනයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතිවාසිකම් මර්දනය කරයි.
ඇත්ත වශයෙන් ම, ආන්ඩුව, ඊට දරදිය අදින පශ්චාත් මාක්ස්වාදීන් සහ ව්‍යාජ වාම පෙසප වැනි අවස්ථාවාදීන් භීතියට පත් ව සිටින්නේ මහජනයා අතර අපකීර්තියට පත් ව සිටින පැරනි ප්‍රභූ පක්ෂ ගැන නොව කම්කරුවන්, අවශේෂ දුගීන් හා තරුනයන් අතර ක්‍රමයෙන් වැඩී එන පෙරලිකාරිත්වය ගැනයි. දකුනන්ට විරුද්ධ වීම, බලයේ සිටින ධනපති ආන්ඩු හා අවස්ථාවාදීන් මෙම විරුද්ධත්වය තලා දැමීමට “දකුනට එරෙහි සටන” යන බොරුව හැම විට ම තොරම්බල් කර තිබේ. ප්‍රති-මාක්ස්වාදීන්ට එය මාක්ස්වාදීන්ට එරෙහි අරගලයක් වී තිබේ.
සිය ප්‍රකාශවල අවසානයේ දී, සසප සහ එහි දේශපාලන අරගලය කෙරෙහි තම සතුරුකම ප්‍රකාශ කරමින්, චාමින්ද සසප “දේශපාලන කන්‍යාභාවය ආරක්ෂා කිරීමක” යෙදී සිටින්නේ යයි කී අතර, “එයට [සසපට] දේශපාලන අනාගතයක් නැත” යැයි ප්‍රකාශ කලේ ය.
ඔහු පාච්චල් කරන්නේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය සංවිධානය කිරීමේ සසප අරගලයයි. මෙම වැඩපිලිවෙල මත සසප ධනේශ්වර පද්ධතිය පෙරලා දමා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා කැඳවුම් කර ඇත. එම අරගලයේ කේන්ද්‍රීය කාර්යය වන්නේ, ධනපති පන්තියේ සෑම කන්ඩායමකින් ම, ධනේශ්වර ගැති ව්‍යාජ-වාම ඒජන්තයන්ගෙන් සහ වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයන්ගෙන් බිඳ, අවශේෂ දුගී ජනයා රැලිකර ගනිමින් රාජ්‍ය බලය ගැනීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි.
සමාජවාදය සඳහා වන අරගලයට අනාගතයක් නැතැයි ප්‍රකාශ කිරීම, සමාජවාදයට එරෙහි කුතර්කයකි; එය පවත්නා සමාජ පර්යාය සදාකාලික යයි පිලිගත්තෙකු ඊට එරෙහි ව සටන් කරන්නන් හෙලා දකින ආකාරයයි. මාක්ස්වාදය අනාගතය පිලිබඳ සිය නිගමන උකහා ගන්නේ ශාස්ත්‍රාලීයයන්ගේ අභිලාෂයන්ගෙන් හෝ ධනවාදයේ දෘශ්‍යමාන ස්ථාවරත්වයකින් නොවේ. එය සිය විශ්ලේෂනය පදනම් කරගන්නේ ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ ප්‍රතිවිරෝධතා සහ එම ප්‍රතිවිරෝධතා විසින් ජනනය කරනු ලබන පන්ති අරගලය මත ය.
ධනවාදය ආරක්ෂා කරමින් එය තුල වරප්‍රසාද හා සාමය සොයන එම මධ්‍යම පන්තික කොටස්වලට ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීමට සමත් එක ම විප්ලවීය පන්තිය වන කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වන සැබෑ අරගලය තුල නිසැක ව ම කිසිදු “දේශපාලන අනාගතයක්” නැත.
පශ්චාත්-මාක්ස්වාදී කල්ලියේ දේශපාලන පැටිකිරිය
චාමින්ද, කන්නන්ගර සමඟ 1990 ගනන්වල මැද භාගයේ පමන දේශපාලන වේදිකාවට පැමින, දීප්ති ගුනරත්න සහ දේවසිරි ආදීන් සමග එක් ව පශ්චාත්-නූතනවාදය මත පදනම් වූ X-කන්ඩායම ගොඩනැගීමට එක් වූහ. මෙම කන්ඩායමේ කැපී පෙනෙන ලක්ෂනය වූයේ ධනේශ්වර පද්ධතිය තුල ඇති එක ම විප්ලවීය බලවේගය ලෙස කම්කරු පන්තිය දරන වෛෂයික කේන්ද්‍රීය ක්‍රියා කලාපය ප්‍රතික්ෂේප කිරීමයි. පසු ව ඔවුහු මෙම කන්ඩායමෙන් “බිඳී” පශ්චාත්-X කන්ඩායම ගොඩනගා, තමන් පශ්චාත්-මාක්ස්වාදීන් බව ප්‍රකාශ කර ගත්හ. ඔවුන් එය හඳුන්වා ගත්තේ, “සාම්ප්‍රදායික” ස්ථාපිත ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂවලට විකල්පයක් සොයන සංවිධානයක් ලෙස ය. ඔවුහු සිය “විකල්පය” සොයා ගැනීමට ජවිපෙට ඉව අල්ලමින් සිටියහ. එහෙත් එවක ඔවුන්ට පැවති එක ම ගැටලුව වූයේ දෙමල ජනතාවට එරෙහි වාර්ගික යුද්ධයට ජවිපෙ සෘජු ව ම සහාය දීමයි.
2024 නොවැම්බර් 13 දා චාමින්ද සහ කන්නන්ගර විසින් “දවස හෙට...එක්තරා යුගයක නිසැක නිමාව සහ විමුක්ති දේශපාලනයේ නව ඇරඹුම...” යන ප්‍රකාශයක් නිකුත් කලහ. එය, 2024 සැප්තැම්බර් මාසයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති තරඟයෙන් දිනීම නිසා උන්මාදයට පත් ව, නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත ව තිබූ ජාතික මැතිවරනයේ දී ජාජබයට ඡන්දය දෙන ලෙස කල අජූත ආයාචනයකි.
1994 දී ජවිපෙ “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට” පිවිසෙන විට, “ජාත්‍යන්තර හා ජාතික නවලිබරල් සම්මුති දේශපාලනයේ සන්දර්භය තුල,” ශ්‍රී ලංකා වාමාංශයේ “උරුමයක්” වූ “වාම ජාතිකවාදය” සමඟ එය අනන්‍ය වූ බව එම ප්‍රකාශය කියයි. කෙසේ වෙතත්, “දක්ෂිනාංශික සම්මුතියක” පසුබිමේ ජවිපෙ “සටන්කාමී ජාතිකවාදීන්” බවට පත් වී රාජපක්ෂ බල ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීම පුදුමයට කරුනක් නොවූ” බව ද එය පවසයි. චාමින්ද සහ ඔහුගේ කන්ඩායමට අනුව, පසුගිය දශක තුනේ ප්‍රධාන දේශපාලන වර්ධනයන් හා විවිධ දේශපාලන බලවේග තුල අනුක්‍රමික ව ඇති වූ ව්‍යාපෘති, ප්‍රවනතා සහ මතවාදී වෙනස්කම්වල අහිංසක ගොදුරක් බවට ජවිපෙ පත් වී ඇත.
මෙම විස්තරය, දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන මතුපිට තලයේ දිස්වන ප්‍රපංච පශ්චාත්-මාක්ස්වාදී පාරිභාෂික සූත්‍ර තුලට රුවා ඉතිහාසය කනපිට පෙරලමින් ගෙතු ප්‍රලාපයන් ය. “ජාත්‍යන්තර හා ජාතික නවලිබරල් සම්මුති දේශපාලනය, වාම ජාතිකවාදය, සටන්කාමි ජාතිකවාදය, දක්ෂිනාංශික සම්මුතිය, වාම සම්මුතිය” ආදී සුත්‍ර වලින් වෛෂයික වර්ධනයන්ගේ මතුපිට තලය අත ගාන ඔවුහු දෘෂ්ටිවාදී හා දේශපාලන හැරීම් වලට තුඩු දෙන පන්ති අරගලයේ වර්ධනය, ලෝක ආර්ථිකයේ සිදු වන වෙනස්කම්, ජාතික රාජ්‍යයන් ගේ අර්බුදය සම්පුර්නයෙන් ම නොතකා හරිති.
1988-1989 කාලයේ ජවිපෙ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව ස්වෝත්තමවාදී උද්ඝෝෂනය අරඹා, දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති නායකයන් හා කම්කරුවන් ඇතුලු දහස් ගනනක් මරා දමමින් ෆැසිස්ට් ප්‍රහාර ගෙන ගිය බව ඔවුහු වසන් කරති. ජවිපෙ නායකයන් සමග රහස් සාකච්ඡාවල යෙදෙමින්, ගම්බද පෙරලිකාරිත්වය මැඬීමට එය යොදා ගැනීමේ සම්මුතියකට ඒමට තමන් දැරූ තැත අසාර්ථක වූ තැන ජනාධිපති රනසිංහ ප්‍රේමදාස මිලිටරිය හා පැරා-මිලිටරි මැර බලකායන් යොදා ජවිපෙ ද ගම්බද තරුනයන් ද දස දහස් ගනනක් මරා දැමූ බව ඉතිහාසය කියයි. ඉතිරි වූ කොටස් එකතු කර ගෙන ජවිපෙ දේශපාලන වේදිකාවට ආවේ, පොදු පෙරමුනේ නායිකා චන්ද්‍රිකා කුමාරතුංග හා ජනාධිපති ඩී.බී. විජේතුංග ගේ ද අත්වාරුව ඇති ව ය. පාලක කවයන්ගේ අවශ්‍යතාවය වූයේ ලෙයින් මඬින ලද ජවිපෙ තම පාලනයට වුවමනා අවස්ථාවල ආරක්ෂක කපාටයක් ලෙස පාවිච්චි කිරීමයි. ඊලඟ දශක තුල මෙම සුලුධනපති සංවිධානය සිය කාර්ය භාරය ඉටු කලේ ය.
ජවිපෙ කුමාරතුංග ආන්ඩුවට හවුල් වී, 2004 ඇමතිකම් ලබාගත් ජවිපෙ නායකයන්, 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට සහයෝගය දුන්නේ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය යලිත් ඇවිලවීමේ කොන්දේසිය යටතේ ය.
එහි ලියා ඇති කරුනු අනුව, ඔවුහු, 2008 අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවෙන් ජවිපෙ ඈත් වීමත් සමග ම, එය “ජාතිකවාදී ආධිපත්‍ය බලවේග” වලින් බිඳී “වාම-ජනතාවාදී” ව්‍යාපාරයක් දෙසට ගමන් කරමින් සිටින බව නිවේදනය කිරීමට අවස්ථාවක් කර ගත්තේ ය. චාමින්ද පැවසූ පරිදි, ඔවුන් ජවිපෙ වාම ජනතාවාදී ව්‍යාපාරයක් කරගැනීමේ “කතිකාව” ආරම්භ කලේ එවකට එම පක්ෂය පලකල ලංකා පුවත්පතට ලිපි ලිවීමෙනි.
2011 අගෝස්තු මාසයේ දී “ජන අරගල ව්‍යාපාරය” ලෙස හැඳින් වූ කොටසක් ජවිපෙන් බිඳී, ඊලඟ වසරේ පෙසප පිහිට වූ විට, ශ්‍රී ලංකාව තුල පශ්චාත්-මාක්ස්වාදී “වාම ජනතාවාද” ව්‍යාපෘතියක් සඳහා වර්ධනය වෙමින් පැවති අපේක්ෂාවන් ගැන චාමින්ද සහ ඔහුගේ සම-චින්තකයෝ ප්‍රමෝදයට පත් වූහ. පශ්චාත්-මාක්ස්වාදී දෙපොලට අනුව, මෙම බිඳීම සිදු වූයේ ජවිපෙ තුල කන්ඩායම් දෙකක් අතර “මතවාදී පීඩනය” නිසා ය.
ඉන්පසු කෙටි කාලයක් සඳහා චාමින්ද පෙසප න්‍යායික උපදේශකයාගේ භූමිකාව භාර ගත්තේ ය. කෙසේ වෙතත්, සමහර “බුද්ධිමතුන්” නැවත ජවිපෙ වෙත පැමිනීමට පටන් ගත් විට සහ එය වෘත්තීය සමිති සංවිධානය කරමින් කම්කරුවන් අතර පැවති අතෘප්තිය ගසා කමින්, පක්ෂය පුලුල් කර ගන්නා විට චාමින්ද කල්ලිය සිය පක්ෂපාතිත්වය ජවිපෙ දෙසට මාරු කිරීමට පටන් ගත්තේ ය.
චාමින්ද සහ කන්නන්ගර ජවිපෙ තුලට 2009 දී මැදිහත් වූයේ තමන් “වාම-ලිබරල් ප්‍රවනතාවක්” ලෙස ගුනාංගීකරනය කර ගනිමිනි. මෙම ඊනියා වාම-ලිබරල් ප්‍රවනතාව නියෝජනය කලේ, ස්ථාපිත ධනේශ්වර පක්ෂ සහ රාජපක්ෂ පාලනය වටා රොද බැඳ ගත්, දූෂිත ක්‍රියා මගින් ධනය කොල්ලකමින් සිටි වරප්‍රසාද ලත් කවයන්ගේ ආධිපත්‍යය පිලිබඳව අතෘප්තිමත් වී සිටි ඉහල මධ්‍යම පන්තික සමාජ ස්ථරයන් ය. ඒවා ධනපති පද්ධතිය තුල දේශපාලන හා ආර්ථික අවකාශයක් සොයමින් සිටියේ ය. චාමින්දලා ගේ විකල්පයක් සෙවීමේ උත්සාහය, මෙම මධ්‍යම පන්තික අභිලාෂයන් ප්‍රකාශ කල හැකි දේශපාලන වාහනයක් සොයා ගැනීමේ ස්වරූපයක් ගත්තේ ය. ඔවුන් ජවිපෙ දෙසට හැරුනේ මෙම දෘෂ්ටිකෝනයෙනි. “සිංහල ජාතිකවාදය ඇතුලු ආධිපත්‍ය දේශපාලන කතිකාවට” ජවිපෙ වැඩි වැඩියෙන් අනුගත වෙමින් සිටින බව ඔවුන් සැලකුව ද, එහි සාමාජිකයන් අතර “සමාජ විමුක්තිය පිලිබඳ යම් සංකල්පයක් තවමත් ශේෂ වී පවතින බව” ඔවුහු කියා සිටියහ. එමගින් ජවිපෙ තුලට මතවාදී බලපෑමක් එල්ල කර “නව වාම දේශපාලන ව්‍යාපෘතියක්” සඳහා වාහනයක් බවට එය පරිවර්තනය කර ගත හැකි බවට ඔවුහු නිගමනය කලහ.
මෙම සූත්‍ර ඔවුන්ගේ දේශපාලනයට ගැලපෙන පරිදි ගෙතූ ඒවා ය. ජවිපෙ කොලඹ ආන්ඩු ඇවිල වූ දෙමල විරෝධි වර්ගවාදී යුද්ධයේ ප්‍රධාන කස කරුවෙකු ලෙස මතු වීම අහම්බයකින් සිදු වූවා නොවේ. චාමින්දලාට අනුව එය දේශපාලන කතිකාවට අනුගත වීමකි! මෙම පක්ෂය ආරම්භයේ පටන් පදනම් වී සිටි සිංහල දේශප්‍රේමවාදය, පාලක පන්තියේ වුවමනාවන් මත වර්ගවාදී යුද්ධය ඇවිල වූ තැන් පටන් අත්කරගත් විසකුරු හැරීමයි. ධනපති පන්තියේ වුවමනාවන්ට අනුගත වන අතර, අධිරාජ්‍යවාදයට එරෙහි ව සහ සමාජවාදය ගැන ජවිපෙ නායකයන් දෙඩ වූ සටන් පාඨ, ඔවුන් පින්තාරු කර ඇත්තේ “සමාජ විමුක්තිය පිලිබඳ ශේෂයක්” යන සන්නාමයකිනි. එහෙත්, කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට ධනවාදය පෙරලා දමා සමාජවාදී වැඩපිලිවෙල මත ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමෙන් මෙහා “සමාජ විමුක්තියක්” ගැන කතා කල නොහැක.
මෙම පුද්ගලයන් “වාම ජනතාවාදය” ලෙස හඳුන්වන දෙයහි සැබෑ අර්ථය, ශ්‍රී ලංකාව තුල වත්මන් ආන්ඩුව ක්‍රියාත්මක වන ආකාරය කම්කරුවන්ට, දුප්පතුන්ට සහ තරුනයන්ට පැහැදිලි ව දැකගත හැකි ය.
මීට පෙර, රුදුරු අත්දැකීමක් වූයේ, අගමැති ඇලෙක්සිස් සිප්‍රාස්ගේ නායකත්වයෙන් ග්‍රීසියේ බලයට පැමිනි සිරිසා ආන්ඩුවයි. පශ්චාත් මාකස්වාදීන් සිරිසා හැඳින්වූයේ වාම ජනතාවාදී ව්‍යාපාරයක් බලයට ඒම ලෙස ය. 2015 මුල එය බලයට ආවේ ජාමූඅ-යුරෝපා සංගමය විසින් ග්‍රීසියට නියම කරන ලද කප්පාදු වැඩපිලිවෙල අහෝසි කරන බවට පොරොන්දු දෙමින් වුවත්, එම වැඩපිලිවෙල ම ක්‍රියාත්මක කර, දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බලයට පැමිනීමට සහ කප්පාදු ප්‍රහාර තීව්‍ර කිරීමට මාවත සකස් කලේ ය.
ස්පාඤ්ඤයේ ව්‍යාජ-වාම පොඩෙමොස් (“අපට පුලුවන්”) 2014 දී ප්‍රංශයේ පැබ්ලෝවාදීන්ගේ නව ධනේශ්වර විරෝධී පක්ෂය (එන්පීඒ) දේශපාලනික ව සම්බන්ධ වූ සංවිධානයක් වන ස්පාඤ්ඤයේ ධනේශ්වර-විරෝධී වාම සංවිධානයෙහි සෘජු මැදිහත්වීමෙන් පිහිටුවන ලදී. පශ්චාත්-මාක්ස්වාදීහු එය වාම-ජනතාවාදී ව්‍යාපාරයක තවත් උදාහරනයක් ලෙස වර්නනා කලහ.
එය 2020 දී, ධනේශ්වරයේ ඍජු උපකරනයක් ලෙස ක්‍රියා කරන ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂ ආන්ඩුවට එක් විය. පොඩෙමෝස් නායකයා උප ජනාධිපතියකු බවට පත් වූ අතර, පක්ෂය ධනපති ගැති කම්කරු ප්‍රතිසංස්කරනවලට සහාය දුන් අතර රුසියාවට එරෙහි යුක්‍රේනයේ නේටෝ යුද්ධයට සහාය දෙමින්, ආන්ඩුවේ පන්ති අරගල මර්දනයට එක් විය.
ග්‍රීසියේ සහ ස්පාඤ්ඤයේ දී පශ්චාත්-මාක්ස්වාදීහු වාම-ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස සිරිසා සහ පොඩෙමොස් ඔජවඩන ලද්දේ කම්කරු පන්තිය කොටු කර මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවලට එය යටත් කිරීමට බව පෙන්නුම් කලහ. ශ්‍රී ලංකාවේ දී ඔවුන් කලේ සහ කරන්නේ දක්ෂිනාංශික, ජාතිකවාදී සහ වර්ගවාදී ව්‍යාපාරයක් වාම-ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස වර්නනා කරමින් මහජනයා ඊට යටත් කිරීමයි.
ජවිපෙ මතු වූයේ 1960 ගනන්වල මැද භාගයේ දී ය. එය අධිරාජ්‍යවාදයට එරෙහි වාචාල කතා භාවිතා කල අතර, මාඕවාදය, කැස්ත්‍රෝවාදී ගරිල්ලා සටන්වාදය සහ සිංහල දේශප්‍රේමය යන මතවාදයන්ගේ මිශ්‍රනයක් මත ග්‍රාමීය පීඩිත තරුනයන් අතර පදනම් විය. එය වතු කම්කරුවන් නව දිල්ලියේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන ඒජන්තයන් කන්ඩායමක් ලෙසත්, කම්කරුවන්ගේ අරගල “කැඳ කෝප්ප සටන්” ලෙසත් හංවඩු ගැසුවේ ය.
එම සංවිධානයේ ආරම්භයේ දී ම, සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස), ආරම්භක ප්‍රධාන ලේකම් වූ අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නම් වූ කෘතියේ ජවිපෙහි මූලාරම්භය සහ එහි දෘෂ්ටිවාදයේ හා පන්ති ස්වභාවයේ තාර්කික ප්‍රතිඵලයක් ලෙස එහි අනාගත ගමන් මඟ පිලිබඳව ගැඹුරින් විශ්ලේෂනය කලේ ය. මෙම දීප්තිමත් මාක්ස්වාදී කෘතිය කියවන ලෙස අපි පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. දශක ගනනාවක් පුරා එහි දක්ෂිනාංශික හැරීම් අවසානයේ ජවිපෙ අධිරාජ්‍යවාදී හා මහා ව්‍යාපාරික අවශ්‍යතාවලට සේවය කරන ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත.
චාමින්ද පවසන්නේ දක්ෂිනාංශික “ලුම්පන්” ප්‍රභූවකින් ආන්ඩුව ආරක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බවයි. ඔහුට අනුව බෙදුම් රේඛාව වැටී ඇත්තේ ලුම්පන් ප්‍රභූ කොටස එනම්, රාජපක්ෂ සහ වික්‍රමසිංහ නියෝජනය කරන ධනපති කල්ලි සහ “පිරිසිදු” ජවිපෙ/ජාජබ අතර ය. එහෙත් මෙම “පිරිසිදු” කන්ඩායම ලුම්පන් කන්ඩායම සමඟ එකට ආන්ඩුවලට ඍජු ව සහයෝගය දෙමින් ක්‍රියා කලේ නිකම්ම අනුගත වීමක් ලෙස බව ඔහු කියා සිටී. එම හවුල්කෑම් තුලින් කම්කරුවන්ට දුගීන්ට අත් කර දුන් මාරක ප්‍රතිවිපාක ගැන ඔහු කිසිවක් නොකියයි.
කම්කරුවන්ට, දුප්පතුන්ට සහ තරුනයන්ට “ලුම්පන්” හෝ පිරිසිදු ධනේශ්වර පක්ෂ අතර තෝරා ගැනීමට කිසිවක් නැත. ඒ සියල්ලන් ම කරන්නේ වැඩ කරන ජනතාව පාගා ගෙන ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කිරීමයි.
චාමින්ද-කන්නංගර කන්ඩායම, මාක්ස්වාදී වචන හරඹ කිරීම නතර කොට සැබෑ “වාම-ජනතාවාදී ව්‍යාපාරයක්” ලෙස ක්‍රියා කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයට උපදෙස් දෙයි. 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම තුල මෙම ව්‍යාජ-වාම පක්ෂය ඉටු කල භූමිකාවට ඔවුහු ප්‍රශංසා කලහ. එහි දී පෙසප නිර්ධන පන්තියේ නායකත්ව භූමිකාව පිලිබඳ කිසිදු සඳහනක් නොකරමින් ජනතාව සංවිධානය කිරීම ගැන පමනක් කතා කල බව ඔවුහු සඳහන් කලහ.
මහජන නැගිටීම තුල කම්කරු පන්තියේ ස්වාධීන වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට සසප දැරූ උත්සාහයට පෙසප විරුද්ධ වූ බව සැබෑවකි. එම පක්ෂය සියලු ධනේශ්වර පාර්ලිමේන්තු පක්ෂවලින් සමන්විත අන්තර්වාර ආන්ඩුවක් සඳහා ප්‍රචාරක ව්‍යාපාරයක් තීව්‍ර කල අතර, එවැනි ආන්ඩුවකට “පිටතින්” සිටින කන්ඩායමක් ලෙස සම්බන්ධ වීමට පවා සුදානම් ව සිටියේ ය. චාමින්ද ඇතුලු කන්ඩායම සහාය දෙමින් සිටි ජවිපෙ/එන්පීපීය සහ සජබ ඉදිරිපත් කල යෝජනාව ද එය ම විය.
2022 නැගිටීම පුපුරා ගියේ සෑම රටක් ම අලලා ගෙන ඇති ගෝලීය අර්බුදයේ බලපෑම හේතු කොට ගෙන ය. සාම්ප්‍රදායික ප්‍රභූ පක්ෂ පමනක් නොව, ධනේශ්වර ජවිපෙ/එන්පීපී, වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍ර, ව්‍යාජ-වාම පෙසප සහ පශ්චාත්-මාක්ස්වාදීන් ඇතුලු සුලු ධනපති කන්ඩායම් ද මිලියන ගනනක් කම්කරුවන් සම්බන්ධ වූ මෙම මහා නැගිටීමේ විප්ලවවාදී විභවය හමුවේ භීතියෙන් සැලෙමින් සිටියහ. ඔවුන් සියලු දෙනා ම ධනවාදය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වූ එක ම යාන්ත්‍රනයක දැතිරෝද වූ අතර, අරගලය පීලි පැන්න වීම, පාවා දීම සහ මර්දනය කිරීම සඳහා තම තමන්ගේ පැත්තෙන් ක්‍රියා කලහ. අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන ලංකාවේ වර්ධනයන් දෙස කනස්සල්ලෙන් බලා සිටිමින් සිය කාර්යය ඉටු කිරීම සඳහා ඔවුන්ට පිටුබලය දුන්නේ ය.
මහජන අරගලයේ දී මතු කෙරුනු කිසිදු දේශපාලනික හෝ සමාජ ප්‍රශ්නයක් විසඳී නොමැත, අඛන්ඩ ව ක්‍රියාවට දමන ජාමූඅ කප්පාදු ප්‍රතිපත්ති සහ ගැඹුරු වෙමින් පවතින ගෝලීය අර්බුදය හමුවේ ඒවා තව දුරටත් උග්‍ර වී තිබේ. ශ්‍රී ලංකාවේ පාලක පන්තිය මෙන් ම එහි ජවිපෙ මෙහෙයවන ආන්ඩුව ද 2022 අරගලයේ අවතාරය හොල්මන් කරනු දකියි. ව්‍යාජ-වාම කන්ඩායම් සහ පශ්චාත්-මාක්ස්වාදීන්, පශ්චාත්-නූතනවාදීන් හා අනෙකුත් කන්ඩායම් ද එ සේ ම ය. චාමින්ද-කන්නංගර කල්ලිය පශ්චාත්-මාක්ස්වාදීන්ගේ කන්ඩායම්, ජවිපෙ නායකත්වය දරන පාලන තන්ත්‍රය ආරක්ෂා කිරීම සඳහා මාක්ස්වාදයට සහ සසප ක්‍රියාමාර්ගයට එරෙහි ප්‍රචාර තීව්‍ර කරමින් සිටින්නේ මේ සන්දර්භය තුලයි.
සමාජවාදී සමානතා පක්ෂය ධනපති පන්තියේ සෑම කන්ඩායමකින් ම සහ එහි ව්‍යාජ-වාම ක්ෂමාලාපකයන්ගෙන් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සටන් කරයි. වාර්ගික, ආගමික සහ ජාතික බෙදීම් හරහා කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එක්සත්කම සඳහාත්, දේශපාලන බලය සඳහා වන අරගලය සඳහා එය බලමුලු ගැන්වීම සඳහාත් සසප සටන් කරයි. මෙම අරගලය ලෝක සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමේ අරගලය සමග බැඳී ඇත.
අන්තෝනියෝ ග්‍රාම්ෂි (1891–1937), ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායකයෙකු වූ අතර, මුසොලිනිගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය යටතේ සිරගත ව සිටිය දී සිය සිරගෙයි සටහන් පොත් (Prison Notebooks) රචනා කලේ ය. ග්‍රාම්ෂිගේ “හෙජමොනිය” පිලිබඳ සංකල්පය—එනම්, ධනේශ්වර පාලනය ප්‍රධාන වශයෙන් බලහත්කාරය මත නොව, “සිවිල් සමාජය” හරහා ක්‍රියාත්මක කෙරෙන මතවාදී හා සංස්කෘතික නායකත්වය මත රඳා පවතින බවට වූ අදහස—ශාස්ත්‍රීය සහ ව්‍යාජ-වම කවයන් තුල පුලුල් ලෙස ප්‍රශංසාවට ලක් ව ඇත.
මෙම අදහස්, පශ්චාත්-යුද සමයේ දී ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වීමට සහ එහි “සමාජවාදයට ඉතාලි මාර්ගය” සඳහා න්‍යායික පදනම දමා ගැනීමට යොදා ගැනිනි.
ග්‍රාම්ෂි තුල ම, හෙජමොනිය පිලිබඳ සංකල්පය ලෙනින්ගේ පක්ෂය සහ නිර්ධන පංති ආඥාදායකත්වය පිලිබඳ න්‍යායෙන් ඉවතට ගෙන, එය මූලික වශයෙන් මතවාදී අරගලයක් දෙසට මාරු කිරීමේ නැඹුරුවක් පැවතිනි. 1985 දී ප්‍රකාශයට පත් කල Hegemony and Socialist Strategy කෘතිය තුල අර්නස්ටෝ ලක්ලාව් සහ ෂැන්ටල් මූෆ් එම නැඹුරුව සම්පූර්න කලහ. හෙජමොනිය එහි පංති අන්තර්ගතයෙන් මුලුමනින් ම වෙන් කල ඔවුහු, කම්කරු පංතිය විවිධ “අනන්‍යතා” අතරින් එකක් බවට දිය කර හැර, තමන් “පශ්චාත්-මාක්ස්වාදී භූමියක” සිටින බව ප්‍රකාශ කලහ.
