[මෙය Is the world on the brink of nuclear war? මැයෙන් 2026 ඔක්තෝබර් 1දා ඉංග්‍රීසි බසින් පල විය.]
ලෝකය සිටින්නේ න්‍යෂ්ටික යුද්ධය අද්දර ද? යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ඇමරිකා-නැටෝ යුද්ධය, න්‍යෂ්ටික අවි සතු බලවතුන් අතර විවෘත ගැටුමක් දක්වා උත්සන්න වෙමින් පවත්නා පසුගිය දින කිහිපයේ සිදුවීම්වලින් මෙම ප්‍රශ්නය ඉස්මතු කෙරේ.
පෝලන්තය සහ ලිතුවේනියාව අතර බෝල්ටික් මුහුදේ පිහිටි රුසියානු භූමිය වන කලිනින්ග්‍රෑඩ් අවහිර කිරීමට නැටෝව පියවර ගතහොත්, න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සූදානම් බව, රුසියාව මෙම සතියේ ප්‍රකාශ කලේ ය. මෙම අනතුරු ඇඟවීම සැප්තැම්බර් 28 සහ 29 දිනවල බෙල්ජියම, බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තයේ පිහිටි රුසියානු තානාපති කාර්යාල හරහා ද, නැටෝවට යැවූ රාජ්‍යතාන්ත්‍රික ලිපියක් මගින් ද නිකුත් කෙරිනි.
කලිනින්ග්‍රෑඩ් වෙත “ගුවන් සහ නාවික අවහිරයක්” සූදානම් කරමින් සිටින බවට නැටෝවට චෝදනා කරමින්, අයර්ලන්තයේ රුසියානු තානාපති කාර්යාලය මෙසේ සඳහන් කලේ ය: “කිසිදු සැකයක් තිබිය යුතු නැත. කලිනින්ග්‍රෑඩ් කලාපය රටේ සෙසු ප්‍රදේශවලින් වෙන් කිරීමට නැටෝ රටවල් උත්සාහ කලහොත්, එම භූමිය ආරක්ෂා කිරීමට රුසියාව න්‍යෂ්ටික අවි ඇතුලු සියලු අවි භාවිතා කිරීමට සූදානමින් සිටී.”
නැටෝ ප්‍රකාශිකා ඇලිසන් හාර්ට් අඟහරුවාදා ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ කීවා ය: “නැටෝව ආරක්ෂක සන්ධානයක්, අපගේ කිසිදු ක්‍රියාකාරකමක් හෝ අභ්‍යාසයක් රුසියාවේ කිසිදු ප්‍රදේශයකට අවදානමක් ඇති කරන්නේ නැහැ.” “වගකීම් විරහිත න්‍යෂ්ටික ප්‍රකාශ ඇතුලු ව බලය යොදන බවට කරන තර්ජන,” ඇය හෙලා දුටුවා ය.
නැටෝ සන්ධානය, රුසියාව ඇතුලත පිහිටි ඉලක්ක වෙත යුක්‍රේනියානු ප්‍රහාර එල්ල කිරීමට අවි සපයමින් හා මග පෙන්වමින් සිටින අතරතුර කල මෙම ප්‍රකාශය, මුලුමනින් ම අසත්‍යයකි. ට්‍රම්ප් පරිපාලනය රුසියාව තුල පිහිටි “තෙල් හා ගෑස් මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට” උපකාර වන බුද්ධි තොරතුරු කීව් පාලන තන්ත්‍රයට ලබා දෙනු ඇති බව, එන්බීසී නිව්ස් සේවය 2025 ඔක්තෝබර් මාසයේ වාර්තා කලේ ය. ජූලි 30 වැනිදා යුරෝපා කොමිසම කීව් පාලන තන්ත්‍රයට යුරෝ බිලියන 3.47ක් ගෙවූ අතර, එම අරමුදල්වලට “ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන දිගු දුර ඩ්‍රෝන” සඳහා වූ මුදල් ද ඇතුලත් විය. සැප්තැම්බර් 19–20 රාත්‍රියේ යුක්‍රේනය මොස්කව් සහ අවට ප්‍රදේශයට, යුද්ධයේ විශාල ත ම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කලේ ය. අගෝස්තු 28 වැනි දා, යුක්‍රේනියානු හමුදා රුසියාවේ න්‍යෂ්ටික බලකායට අයත් ටීයූ-95 නම් වූ මූලෝපායික බෝම්බ හෙලන යානයකට එංගල්ස් ගුවන් කඳවුරේ දී පහර දුන්නේ ය.
තව ද, නැටෝවේ “ක්‍රියාකාරකම් හා අභ්‍යාස” කලිනින්ග්‍රෑඩ් ම ඉලක්ක කරයි. රොයිටර් පුවත් සේවය විසින් උපුටා දක්වන ලද බටහිර මිලිටරි මූලාශ්‍රයකට අනුව, අගෝස්තු මැද දී නේටෝ ගුවන් යානා දුසිම් ගනනක්, එම භූමි ප්‍රදේශය වටා කලින් නිවේදනය නො කල මෙහෙයුමක් සිදු කල හ. එම මෙහෙයුමෙන් පෙන්නුම් කලේ, එහි ගුවන් විදුලි සහ රේඩාර් සබඳතා මෙන් ම ගුවන් ආරක්ෂක පද්ධති ද අක්‍රිය කල හැකි බවයි. ජනවාරි මාසයේ සිට, රුසියාවට සම්බන්ධ නෞකා, ඒවායේ ධජ වෙනස් කල විට හෝ ප්‍රතිචාර සම්ප්‍රේෂක අක්‍රිය කල විට, ගොඩවීමට අවසර ඇති “රාජ්‍යයක් රහිත නෞකා” ලෙස සලකා යුරෝපීය රටවල් 14ක් ක්‍රියා කර ඇත. මාර්තු මාසයේ දී ස්වීඩනය එවැනි එක් නෞකාවක් අත්අඩංගුවට ගත්තේ ය.
සැප්තැම්බර් 11 වැනි දා, පෝලන්ත විදේශ අමාත්‍ය රදොස්ලාව් සිකෝර්ස්කි කලිනින්ග්‍රෑඩ් ගැන මෙසේ කීවේ ය: “එහි හමුදා භටයන් සිටින්නේ ඉතා කුඩා සංඛ්‍යාවක්.” “[පුටින්] අප කරන දේ ගැන අවිනිශ්චිත වන තරමට, අපේ පැත්තෙන් ඉතා දැඩි අභ්‍යාස පැවැත්වීමට” නැටෝව පියවර ගත යුතු බව ඔහු යෝජනා කලේ ය. “රුසියාව සමඟ අපගේ ගැටුම යුක්රේනයට පමනක් සීමා වූවක් ලෙස අප නො සිතිය යුතුයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ය.
යුරෝපීය බලවතුන් ක්‍රියා කරන්නේ, මොස්කෝව ව්‍යාජ තර්ජන කරන බව උපකල්පනය කරමිනි. බදාදා බ්‍රසල්ස්හි පැවති යුරෝනිවුස් ආරක්ෂක හා අභ්‍යවකාශ සමුලුවේ දී, නැටෝ මහලේකම් මාර්ක් රුට් මෙසේ ප්‍රකාශ කලේ ය: “මම මේක බැරෑරුම් ව සලකන්නේ නැහැ. ... [පුටින්ට] නැටෝවට එරෙහි ව කිසිදා ජය ගත නො හැකි බව සෑම කෙනෙක් ම දන්නවා.”
මෙහි තර්කය යුද්ධය ඉව බව නැති ව උත්සන්න කිරීමකි. යුරෝපීය බලවතුන් තම පිලිවෙත යුක්‍රේන පාර්ශවයේ ජයග්‍රහනයකට ගැට ගසා ඇත. “යුද්ධය රුසියාව තුලට ම පැමිනෙන බව පුටින්ට දැනෙන්න ඕනෑ” යි, යුරෝපා සංගමයේ ආරක්ෂක කොමසාරිස් ඇන්ඩ්‍රියස් කුබිලියස් බදාදා ප්‍රකාශ කලේ ය.
මේ අතර, යුක්‍රේනයේ මිලිටරිමය තත්ත්වය පිරිහෙමින් පවතී. ජූලි මාසයේ දී එය සමත් වූයේ, රුසියාව එල්ල කල බැලස්ටික් මිසයිල 195න් 29ක් පමනක් වලක්වා ගැනීමට ය. මෙම තතු තුල යුක්‍රේනය ශීත ඍතුවට පිවිසෙන්නේ විදුලිබල පද්ධතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය ගුවන් ආරක්ෂාව නොමැති ව ය. ඉදිරියේ දී සිදු වන සෑම පසුබෑමකට ම ප්‍රතිචාර දක්වනු ඇත්තේ, ගොඩබිම් හමුදා යැවීම ආරම්භ කිරීම හෝ කලිනින්ග්‍රෑඩ් ඇතුලු නව යුද පෙරමුනු විවෘත කරමින් යුද්ධය තවත් උත්සන්න කරමිනි.
මොස්කෝවට පවතින අවදානම පවතින්නේ එහි ඉහල ම මට්ටමේ ය. බෝල්ටික් මුහුදු කලාපය සම්බන්ධයෙන් කලිනින්ග්‍රෑඩ් දරන ස්ථානය, කලු මුහුදට ක්‍රිමියාව දරන ස්ථානයට සමාන ය. එය බෝල්ටික් නාවික බලකායේ මූලස්ථානය වන අතර, න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි රුසියාවේ ඉස්කන්දර් මිසයිලවල කඳවුර ද වේ. ෆින්ලන්තය සහ ස්වීඩනය නැටෝවට එක් වූ පසු, ගොඩබිමෙන් මෙන් ම මුහුදෙන් ද රුසියාව නැටෝ සන්ධානයෙන් වට වී පවතී.
එක් අතකින්, මෙම වෙන් ව පිහිටි රුසියානු භූමි ප්‍රදේශය ක්‍රිමියාවටත් වඩා සංවේදී ය. 1945 පොට්ස්ඩෑම් සමුලුවේ දී එය සෝවියට් සංගමයට පවරා දුන් පසු, එම හිමිකාරිත්වය ජාත්‍යන්තර ව නිල වශයෙන් පිලිගෙන තිබේ. කලිනින්ග්‍රෑඩ්ට එරෙහි ක්‍රියාවක් යනු, රුසියානු භූමියක් බව කිසිදු ආන්ඩුවක් ප්‍රතික්ෂේප නොකරන ප්‍රදේශයකට එල්ල කරන ප්‍රහාරයකි. රුසියාවේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය අනුව, රටේ භෞමික අඛන්ඩතාවට “තීරනාත්මක තර්ජනයක්” ඇති කරන සාමාන්‍ය අවි ප්‍රහාරයකට, න්‍යෂ්ටික ප්‍රතිචාරයක් දැක්විය හැකි ය.
රුසියාවේ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු හා වියානාහි පදනම් වන න්‍යෂ්ටික විශ්ලේෂකයෙකු වන නිකොලායි සොකොව්, බදාදා පල වූ සම්මුඛ සාකච්ඡාවක දී, රොයිටර් පුවත් සේවය වෙත මෙසේ කීවේ ය: “බෝල්ටික් මුහුද අවහිර කිරීම ඇතුලු තවත් යුදමය ක්‍රියාමාර්ග සිදුවනු ඇතැයි ඔවුන් (රුසියාව) අපේක්ෂා කරනවා. යුරෝපීය ගනන් බැලීම් අනුව එය යුද්ධ මට්ටමට මඳක් පහලින් පවතින දෙයක්. නමුත් ඔවුන්ට (රුසියාවට) අනුව එය විවෘත යුද්ධයක්. දෙපාර්ශ්වය ම තත්ත්වය වැරදි ලෙස තක්සේරු කිරීමේ අවදානමක් මට පෙනෙනවා.”
රුසියාව අවහිර කිරීම “යුරෝපීය ගනන් බැලීම් අනුව යුද්ධ මට්ටමට මඳක් පහලින්” පැවතිය හැකි නමුත්, ජාත්‍යන්තර නීතිය අනුව එය යුද ක්‍රියාවකි. 1974 දී එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය සම්මත කල ආක්‍රමනය පිලිබඳ නිර්වචනයට, “එක් රාජ්‍යයක සන්නද්ධ හමුදා විසින් තවත් රාජ්‍යයක වරාය හෝ වෙරල තීරය අවහිර කිරීම” ද ඇතුලත් වේ.
මෙවැනි අවදානම් තිබිය දී ත්, සාකච්ඡා පැවැත්විය යුතු බවට හෝ එකඟතාවකට පැමිනිය යුතු බවට හඬක් වත් නොනැගීම ඇඟ කිලිපොලායනසුලු ය. යුරෝපීය අගනුවරවල පවතින එක ම විවාදය වන්නේ, යුද තත්ත්වය උත්සන්න කිරීම කෙතරම් දුරට හා කෙතරම් වේගයෙන් කල යුතු ද යන්නයි.
ගැඹුරු වෙමින් පවතින සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයකින් වෙලී සිටින අධිරාජ්‍යවාදී බලවත්තු, යුද්ධය එය ගෙන යන්නේ කොතැනකටදැයි නො සලකා ඉදිරියට තල්ලු කරමින් සිටිති. ධනේශ්වර කතිපයාධිකාරය වෙනුවෙන් කතා කරන, ජාත්‍යන්තර කම්කරු පන්තියට අව්‍යාජ ආයාචනයක් කිරීමට අසමත් පුටින් පාලන තන්ත්‍රය ඊට පිලිතුරු දෙන්නේ න්‍යෂ්ටික තර්ජනවලිනි.
1962 සිදුවීම් සමඟ මෙම තත්වයේ පවතින වෙනස කැපී පෙනේ. කියුබාවේ රඳවා තිබුනු සෝවියට් මිසයිල සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය යුද්ධයක අද්දරට පැමිනි විට, එම අවදානම විවෘත ව පිලිගැනුනි. ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඔක්තෝබර් 22 වැනි දා ජාතික රූපවාහිනිය ඔස්සේ අර්බුදය නිවේදනය කල අතර, ඊලඟ සතිය පුරා ලෝකය එහි සෑම වර්ධනයක් ම සමීප ව අනුගමනය කලේ ය. කෙනඩි සහ සෝවියට් නායක නිකිතා කෘෂෙව් ලිපි හුවමාරු කරගත් හ. ප්‍රතිවිපාක ගැන බිය වූ දෙරටේ ආන්ඩු රහස්‍ය මාර්ග ඔස්සේ සාකච්ඡා කර, පියවරක් පසුපසට ගැනීමට ක්‍රමයක් සොයාගත් හ. අද අවදානම පිලිගැනීමක් වත්, සාකච්ඡාවක් වත් නැත.
අවදානමේ පරිමානය සහ ඒ පිලිබඳ මහජන අවබෝධය අතර විශාල පරතරයක් පවතී. යම් දෙයක් බරපතල ලෙස වැරදී ඇති බව මිලියන සංඛ්‍යාත ජනතාවට හැඟුන ද තම ආන්ඩු න්‍යෂ්ටික යුද්ධයක් සමඟ සූදු කෙලිනු ඇතැයි ඔවුන්ට විශ්වාස කල නොහැක. මාධ්‍ය තුල මෙම අන්තරාය ඉදිරිපත් කරන අවස්ථාවල දී පවා, එය පෙනෙන්නේ පැහැදිලි කල නො හැකි රුසියානු තර්ජනයක්, පුටින්ගේ “න්‍යෂ්ටික පූච්චානමක්” හා “දෙමුහුන් යුද්ධයක්” (සාම්ප්‍රදායික යුද ක්‍රමවේදයන් සමග සයිබර් ප්‍රහාර, ව්‍යාජ පුවත් සහ ආර්ථික පීඩනය වැනි යුදමය නොවන උපක්‍රම මුසු කෙරෙන හමුදාමය සහ දේශපාලනික මූලෝපායකි - පරිවර්තක) ලෙස ය. නැටෝ බලවතුන් කරමින් සිටින දේට ප්‍රතිචාරයක් ලෙස එය කිසිවිටෙක ඉදිරිපත් නොකෙරේ.
බදාදා සවස වන විටත්, නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රය හා සීඑන්එන් පුවත් සේවය මොස්කෝවේ අනතුරු ඇඟවීම වාර්තා කර තිබුනේ නැත. ඒ ගැන අදහස් දක්වන මාධ්‍යවේදීහු තවදුරටත් යුද්ධය උත්සන්න කිරීමට බල කරමින් සිටිති. වොෂින්ටන් පෝස්ට් පත්‍රය සඳුදා මෙසේ ලීවේ ය: “රුසියාව පසුබසින්නේ නැත්නම්, යුක්‍රේනයට තවත් දේ කිරීමට එක්සත් ජනපදය ඉඩ දෙන බව ට්‍රම්ප් පැවසීම වඩා හොඳ පනිවිඩයක් වනු ඇත.”
රුසියාවට එරෙහි ව ප්‍රමානවත් තරම් ආක්‍රමනශීලී නො වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයෝ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පහර දී ඇත. සැප්තැම්බර් 24 වැනි දා ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයෝ 21 දෙනෙක්, චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ පැවති සමුලුවේ දී, “යුද්ධය උත්සන්න කිරීම අඩු කරන ලෙස” ට්‍රම්ප් කල ඉල්ලීම් මගින්, “ව්ලැදිමීර් පුටින්ගේ යුද යන්ත්‍රය රඳා පවත්නා චීන ද්විත්ව-භාවිත භාන්ඩ (සිවිල් සහ මිලිටරි කටයුතු වලට භාවිතා කෙරෙන භාන්ඩ - පරිවර්තක) රුසියාවට ගලා යාම නතර කිරීමේ ලා කිසිවක් නො කෙරෙන” බව ප්‍රකාශ කල හ. එම ප්‍රකාශයට අත්සන් කල අය අතර ඩිමොක්‍රටික් නායක චක් ෂූමර්, එලිසබෙත් වොරන් සහ ඇඩම් ෂිෆ් ද වූ හ.
රුසියාවේ දේශ සීමා දක්වා නැටෝව දශක තුනක් පුරා ව්‍යාප්ත වීමෙන් අවුලුවන ලද යුක්‍රේන යුද්ධය, සෑම මහාද්වීපයක් මත ම සිදු කරන ගෝලීය ආධිපත්‍යය සඳහා වන අරගලයක කොටසකි. යුද්ධය ආරම්භ වී වසර හතරකට වැඩි කාලයක් ගත වී ඇති අවස්ථාවේ, මහජනයාට නො දන්වා එහි නව හා විනාශකාරී අදියරක් සූදානම් කෙරෙමින් පවතී. එහි වියදම ගෙවන්නේ කම්කරු පන්තිය බැවින් එය දැනුවත් කල යුතු ය. නැවත සන්නද්ධ වීමට මුදල් සොයා රැකියා සහ සමාජ වැඩසටහන් කප්පාදු කරන ආන්ඩු ම, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා හැරවිය හැකි යුද්ධයකට රටවල් ගෙන යමින් සිටිති.
යුද්ධයට එරෙහි සටන, දැනට ම ත් වර්ධනය වෙමින් පවතින පන්ති අරගලය සමඟ, සම්බන්ධ කල යුතු ය. පාලක පන්තිය යුද්ධය කරා තල්ලු කරන අර්බුදය ම, රැකියා කප්පාදුවලටත්, සමාජ වැඩසටහන් විනාශ කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරවලටත් එරෙහි ව සටන් කිරීමට කම්කරුවන් ධාවනය කරමින් පවතී.
එය නතර කල හැකි එක ම සමාජ බලවේගය කම්කරු පන්තිය වන අතර, එය කල හැක්කේ සූදානම් කෙරෙමින් පවතින්නේ කුමක්දැයි වටහා ගෙන, යුද්ධයටත් එය බිහි කරන ධනපති ක්‍රමයටත් එරෙහි ව සවිඥානික ව සටන් කරන්නේ නම් පමනි. පලමු කර්තව්‍යය වන්නේ මෙම අන්තරාය පිලිබඳ නිහඬතාව බිඳ දැමීමයි. මෙම ප්‍රකාශය හැකි තරම් පුලුල් ලෙස බෙදාහරින ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.
