සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවෙකු වන සිවරාසා අනෝජන්ට එ රට අධිකරනයක් මගින් මරන දඬුවම නියම කිරීමට එරෙහි ව මහජන විරුද්ධත්වය වැඩෙමින් පවතී. මෙම ම්ලේච්ඡ දන්ඩනය කොන්දේසි විරහිත ව අහෝසි කොට ඔහු නිදහස් කල යුතු ය.
දෙමල, මුස්ලිම් සහ සිංහල ප්‍රජාවන්ගෙන් සමන්විත මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරල තීරයේ පිහිටි, කල්මුනේ නාර්පිට්ටිමුනේ පදිංචිකරුවෙකු වන විසි හත් හැවිරිදි සිවරාසා සවුදි අරාබියේ රැකියාව සඳහා ගොස් මරන දඬුවම නියම වන විට ගත වී ඇත්තේ වසරකටත් අඩු කාලයකි. ඔක්තෝබර් 18 දා මරන දඬුවම ලබා දී ඇත්තේ, තම ෆේස්බුක් ගිනුමේ පල කල පෝස්ටුවක් මගින් මුස්ලිම් ආගමේ වක්තෘ මොහොමඩ් නබිතුමාට අපහාසයක් සිදු කල බවට එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු කරමිනි. පෝස්ටුව පල කිරීමෙන් සුලු වේලාවකට පසු එය මකා දමා කනගාටුව පල කල බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසා තිබේ.
සිවරාසාට එරෙහි මරන දඬුවම මගින් යලිත් වරක් එලිමහනට ගෙනවිත් ඇත්තේ, සෞදි අරාබියේ අධිරාජ්‍ය-ගැති රාජාන්ඩු පාලනයේ ම්ලේච්ඡ ප්‍රතිගාමී ස්වභාවයයි. එම දඬුවම පාදක වී ඇති ශාරියා නීතිය මිලියන සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි ව ඔවුන් ත්‍රස්ත කොට රුදුරු සූරා කෑමට යටත් කිරීමට යොදා ගන්නා පන්ති ප්‍රචන්ඩත්වයේ උපකරනයකි. එහි එල්ලය එ රට හාම්පුතුන් විසින් පවත්වා ගෙන යන ම්ලේච්ඡ සූරා කෑමේ කොන්දේසිවලට එරෙහි ව මතු වන මොන යම් හෝ විරුද්ධත්වයක් පාගා දමා කම්කරුවන් යටත් කර ගැනීමයි.
ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවාට එරෙහි දන්ඩන ක්‍රියාවලිය ආරම්භ වූයේ, ඉහත පොස්ටුව පල කිරීමේ වරදට ජූලි 15දා අල්-අහ්සා අපරාධ අධිකරනය විසින් සෞදි අරාබියේ සයිබර් අපරාධ විරෝධී නීතියේ 6 වන වගන්තියේ පලමු ඡේදය යටතේ සිවරසාට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක (රුපියල් මිලියන 264ක) දඩයක් නියම කිරීමෙනි. මෙය, සිවරාසාගේ පවුල වැනි දරිද්‍රතාවයේ ගිලී සිටින පවුලකට සිතා ගැනීමටත් බැරි තරම් දැවැන්ත මුදලකි.
ඉන්පසු එම දඬුවමට එරෙහි ව ඉදිරිපත් වූ අභියාචනා ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස, සෞදි අරාබියේ අභියාචනාධිකරනය විසින් පසු ගිය දා ඔහුගේ දඬුවම මරන දඬුවම දක්වා වැඩි කර ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය. සිවරාසා ගේ දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර සවුදි ආන්ඩුවේ මහජන අභිචෝදක කාර්යාලය ඔහුගේ දඬුවම මරන දඬුවම ලෙස ඉහල දමන ලෙස ඉල්ලා වෙන ම අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ බවත්, සෞදී අභිචෝදක කාර්යාලය ඉදිරිපත් කල අභියාචනය පිලිගෙන මෙම දඬුවම ඉහල දමා ඇති බවත් හේරත් වැඩි දුරටත් කියා සිටියේ ය.
සෞදි තන්ත්‍රයේ මෙම ප්‍රතිගාමී මර්නදනකාරි නීති යටතේ මරන දන්ඩනයට යටත් කරන අයගෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් එරට සේවය කරන ශ්‍රී ලංකාව වැනි රටවලින් පැමිනි සංක්‍රමනික කම්කරුවන් ය. නැගෙනහිර පලාතේ මුතූර් නගරයේ පදිංචිකාරියක වූ වයස අවුරුදු 17 ක ශ්‍රී ලංකික ගෘහ සේවිකාවක වන රිසානා නෆීක්ට 2007 ජුනි 16දා මරන දඬුවම නියම කරන ලදි. 2013 ජනවාරි 9දා එය ක්‍රියාත්මක කරන ලදී. මෙම කම්කරුවන් දෙ දෙනා ම ලංකාවේ සියවස් කාලක් පමන පැවති වර්ගවාදී යුද්ධයට මුහුන දුන් ලංකාවේ නැගෙනහිර පලාතේ ජීවත් වූ පීඩිත තරුන කම්කරුවෝ වෙති.
ඇගේ රැකවරනයේ සිටි මාස හතරක් වයසැති දරුවාට කිරි පොවමින් සිටිය දී හුස්ම හිර වීමෙන් මියගිය එම දරුවාගේ මරනය සම්බන්ධයෙන් රිසානාට චෝදනා එල්ල වූ අතර, බලහත්කාරයෙන් ලබාගත් මිනීමැරුම් පාපොච්චාරනයක් මත ඇය වැරදිකාරිය බවට පත් කරන ලදී. විදේශ කම්කරුවන්ගෙන් ලැබෙන විදේශ විනිමය මත දැඩි ලෙස රඳා පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව, සෞදි ශ්‍රේෂ්ඨාධිකරනය නෆීක්ට මරන දන්ඩනය පැනවීමට ගත් තීන්දුව මුනිවත රකිමින් පිලිගත්තේ ය.
සෞදී රජය රුදුරු මරනීය දන්ඩනය පැනවීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. 2025 දෙසැම්බර් 21දා , යුරෝපීය සෞදි මානව හිමිකම් සංවිධානය (ඊඑස්ඔ්එච්ආර්) වාර්තා කලේ, 2024 දී මරන දඬුවම් 345 ක් ද 2025 දී මරන දඬුවම් 347 ක් ක්‍රියාත්මක කල බවයි. එය නව ඉහල ම අගයක් සනිටුහන් කරන බවත් 2025 දී මරන දඬුවම් වලින් බහුතරයක් (සියයට 79) ජාත්‍යන්තර නීතිමය සීමාව සපුරාලීමට අපොහොසත් වූ අපරාධ සඳහා බවත් වාර්තාව වැඩි දුරටත් සදහන් කරයි.
මරන දඬුවමට ලක් වූවන්ගෙන් බහුතරය විදේශිකයන් වූ අතර, ඔවුන් 2025 දී මරන දඬුවමට ලක් වූ සියලු දෙනාගෙන් සියයට 57 ක් විය - එය 2024 දී සියයට 31 ක් විය. 2025 දී සෞදි අරාබියේ මරන දඬුවමට ලක් වූ 202 ක් වූ විදේශිකයන්ගෙන් සියයට 94 ක් මාරාන්තික නොවන මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් වරදකරුවෝ වූහ. ඊඑස්ඕඑච්ආර් ට අනුව, ඔවුන්ගේ නඩු විභාගවල බොහෝ විට නිසි ක්‍රියාදාමය උල්ලංඝනය කිරීම් දක්නට ලැබුනි.
සෞදි අරාබියේ පවතින්නේ පරම රාජාන්ඩුවකි. රජු සතු ව ඇත්තේ, පාර්ලිමේන්තුවක් හෝ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් මගින් සීමා නොවන, අසීමිත දේශපාලන බලයකි. ඔහු රාජ්‍යයේ මෙන්ම ආන්ඩුවේ ද ප්‍රධානියා වේ.
සවුදියේ වත්මන් තථ්‍ය පාලකයා ලෙස සැලකෙන ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් යනු 2018 ඔක්තෝබර් 2 දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සවුදි කොන්සල් කාර්යාලයේ දී සවුදි ජාතියකු වන වොෂිංටන් පෝස්ට් මාධ්‍යවේදී ජමාල් ඛෂොගි ම්ලේච්ඡ ලෙස ඝාතනය කොට ඔහුගේ සිරුර කැබලිවලට කපා දමා සිදු කල සාපරාධී ක්‍රියාවට අන දුන් තැනැත්තා ය. මේ ඝාතනය සම්බන්ධයෙන් සල්මාන්ගේ සෘජු වගකීම එක්සත් ජනපදයේ ම නිල බුද්ධි වාර්තා මගින් තහවුරු වීම නොතකා, රිපබ්ලිකන් ජනාධිපති ට්‍රම්ප් මෙන් ම ඩිමොක්‍රටික් ජනාධිපති බයිඩන් යන දෙදෙනා ම සවුදි පාලකයා දිගට ම ආරක්ෂා කල අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඔහුගේ තන්ත්‍රය සමග සමීප සබඳතා සහ හවුල්කාරිත්වය දිගට ම පවත්වා ගෙනයමින් එයට අනුග්‍රහය දක්වන්නේ , එය මැද පෙරදිග කලාපයේ සිය භූ-දේශපාලනික අවශ්‍යතා සදහා එ තරම් ම තීරනාත්මක වන බැවිනි. එක්සත් ජනපදය ඉරානයට එරෙහි ව ගෙන යන යුද්ධයේ දී සවුදි අරාබිය ප්‍රධාන යටිතල පහසුකම් සම්පාදකයෙකි.
රාජාන්ඩුව දශක ගනනාවක් පුරා ක්‍රියාත්මක වී ඇත්තේ අධිරාජ්‍යවාදී අනුග්‍රහය, මිලියන ගනනක් සංක්‍රමනික කම්කරුවන්ගේ අනුකම්පා විරහිත සූරා කෑම සහ පන්ති අරගලය මර්දනය කිරීම මත පදනම් ව ය. කම්කරුවන් ක්‍රියාත්මක වූ විට, පාලන තන්ත්‍රය පිලිතුරු දී ඇත්තේ පොලිසිය, අත්අඩංගුවට ගැනීම් සහ පිටුවහල් කිරීම් සහ හිස ගසා මරනයට පත් කිරීමේ රුදුරු මර්දන ක්‍රම මගිනි. සිවරාසාට මරන දඬුවම නියම කිරීම එම මර්දනයේ ම කොටසකි.
සිවරාසාට පනවා ඇති මරන දන්ඩනයට එරෙහි ව මහජන විරෝධය වැඩෙන තතු යටතේ, තමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව මවා පෑමක ජවිපෙ/ජාජබ ආන්ඩුවත් විරුද්ධ පක්ෂයත් යෙදී සිටියි. ඔවුන් කිසිවෙක් මෙම මරන දන්ඩනය ඇතුලු සවුදි රජාන්ඩුවේ ම්ලේච්ඡ මර්දනය සහ සංක්‍රමනික කම්කරුවන් එරට දී මුහුන දෙන රුදුරු කොන්දේසි පිලිබඳ කිසිදු විවේචනයක් නොකරති. ඔවුන්ගේ පිලිවෙත රජාන්ඩුවට ආයාචනා කිරීමයි.
සිවරාසාගේ දෙමවුපියන් පසුගිය දිනවල ජනාධිපති සහ විපක්ෂ නායක හමුවීමෙන් පසු සැප්තැම්බර් 21දා ජනාධිපති අනුර කුමාර දිසානායක ලින්ක්ඩින් සටහනක් තබමින් කියාසිටියේ “විශේෂයෙන් ම, ඔහුට සමාව ලබා දෙන ලෙස ඉල්ලා සෞදි අරාබියේ රජු වෙත විධිමත් ලිඛිත රාජ්‍ය තාන්ත්‍රික අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මම ප්‍රකාශ කලෙමි” යනුවෙනි. විදේශ ඇමති විජිත හේරත් පැවසුවේ, තමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සමගාමී ව සෞදි විදේශ අමාත්‍යවරයා හමුවීමට අපේක්ෂා කරන බවත්, එහි දී මරන දඬුවම ලිහිල් කරන ලෙස හෝ දඬුවම අඩු කරන ලෙස ඉල්ලා සිටින බවත් ය.
ආන්ඩුවේ සැබෑ උද්ගතය පවතින්නේ, රුපියල් බිලියන ගනනක් වන සංක්‍රමන කම්කරු ප්‍රේෂන ගැන මිස, කම්කරුවන් ආරක්ෂා කිරීම නොවේ. සංක්‍රමන කම්කරුවන් සම්බන්ධයෙන් පැවති ආන්ඩු අනුගමනය කල එම නොතැකීමේ පිලිවෙත ම ජවිපෙ/ජාජබ ආන්ඩුව ද ඉදිරියට ගෙන යයි.
