දුම්රිය කම්කරුවෝ දහස් ගනනක් ආන්ඩුවේ තර්ජනය නොතකා දෙදින වැඩ වර්ජනයට සහභාගී වෙති

සැප්තැම්බර් 17-18 පැවති දුම්රිය වැඩවර්ජනයට ආන්ඩුවේ සහ දුම්රිය බලධාරීන්ගේ තර්ජනය නොතකා ස්ථානාධිපතිවරුන්, එන්ජින් රියැදුරන්, අනාරක්ෂිත ගේට්ටුකරුවන් ඇතුලු  දහස් ගනනක් කම්කරුවෝ සහභාගී වූහ. මෙම වර්ජනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට එරෙහි ව පැන නගිමින් ඇති කම්කරු පන්තියේ කාර්මික ක්‍රියාවල කොටසකි. 

ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සංධානය (ඒදුවෘස) විසින් කැඳවුම් කල මෙම වර්ජනය සීමිත ඉල්ලීම් දෙකකට සිඳවා තිබුනි: ඒවා නම්, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඉවත් කිරීම සහ දුම්රිය සේවය තුල පවතින බරපතල ගැටලු පිලිබඳ ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් මෙන් ම ඒදුවෘසසයේ සම කැඳවුම්කරු වන කසුන් චාමර ජයසේකරගෙන් නිදහසට කරුනු විමසමින් නිකුත් කල ලිපිය ඉල්ලා අස්කර ගැනීමයි.

සිය ආන්ඩුවට එරෙහි වර්ජන කෙරෙහි අතිශයින් සතුරු ජවිපෙ/ජාජබ ආන්ඩුව දුම්රිය කම්කරුවන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භයේ දී ම නවතා දැමීමට ගෙන ගිය වෑයම් අසාර්ථක වූ තැන අවසාන මොහොතේ දී එය කඩාකප්පල් කිරීම සඳහා සුපුරුදු මර්දනය දියත් කලේ ය.

වාර්තාවලට අනුව, 16දා මධ්‍යම රාත්‍රියේ  මරදාන  දුම්රිය පාලක මැදිරියට පැමිනි ප්‍රවාහන නියෝජ්‍ය ඇමති  ප්‍රසන්න  ගුනසේන සහ දුම්රිය සාමාන්‍යධිකාරීවරයා  දුම්රිය රියදුරන්ට දුරකථන ඇමතුම් දෙමින් ඔවුන්ට තර්ජනය කර සේවයට කැඳවා ගැනීමෙන් සහ ඔන්ලයින් හරහා ප්‍රවේශපත් ලබා ගැනීමට වෙබ් අඩවියක් හඳුන්වා දෙමින් වර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, ඒදුවෘසස පවසන පරිදි දෛනික ව ධාවනය කෙරෙන දුම්රිය වාර 184 න් ධාවනය කෙරී ඇත්තේ 90 ක් පමනි.

වර්ජනය ව්‍යාප්ත වීම ගැන බියෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ආසිරි කරුනාවර්ධන විසින් චාමර ජයසේකරගෙන්  නිදහසට  හේතු දක්වන ලෙස ඉල්ලා සාමාන්‍යාධිකාරි නිකුත් කල ලිපිය අත්හිටුවා ඇතත්, ප්‍රවාහන ඇමති බිමල් රත්නායක ඒදුවෘසස ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් වර්ජනය  “දේශපාලන යටි අරමුනු” සහිත එකක් බවට චෝදනා කලේ ය. “මහජනයා ඒ ගැන  බලා ගනු ඇත” යි කියමින් ඇමැති  වර්ජිත කම්කරුවන්ට එරෙහි ව ප්‍රකෝපකාරි උසි ගැන්වීමේ උත්සාහයක ද යෙදුනි.  ජනතා විමුක්ති පෙරමුන  විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමය වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා ආන්ඩුව සමග  ඍජු ව පෙල ගැසුනි.

දුම්රිය සාමාන්‍යධිකාරී පත්මප්‍රිය ඉවත්  නොකලොත් ඉදිරියේ දී “දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග” ගන්න බවට ඒදුවෘසස  අනතුරු අඟවා ඇත. එහෙත් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ අයිඑම්එෆ් ප්‍රතිව්‍යුකරන වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාම සඳහා ආන්ඩුව පත් කර ඇති සාමන්‍යධිකාරිවරයා ඉවත් නොකරන බව ප්‍රවාහන අමාත්‍යවරයා සපථ කර ඇති තත්වයක් තුල වෘත්තීය සමිති නායකයන් ගේ තර්ජනය  හුදු පම්පෝරියක් පමනි.

වෘත්තීය සමිති නිලධරය විසින් ඉහත සඳහන් පටු ඉල්ලීම් දෙකට සහ පැය 48 ට වර්ජනය සීමා කරනු ලැබ තිබිය දී ත් කම්කරුවන්ගේ පුලුල් සහභාගීත්වය පෙන්නුම් කලේ, වැටුප් සහ සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප්‍රහාර කෙරෙහි දුම්රිය කම්කරුවන් ඇතුලු කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතින බරපතල ප්‍රතිරෝධය සහ ඊට එරෙහි ව සටන් කිරීමේ දැවෙන වුවමනාවයි.

ආන්ඩුවේ තර්ජනය සහ වර්ජනය කඩාකප්පල් කිරීමේ උත්සාහය පිටුපසින් පැවතියේ ආන්ඩුවේ ප්‍රහාරවලින් කෝපයට පත් ව සිටින සෙසු කම්කරුවන් අතරට ද  දුම්රිය කම්කරු වර්ජනය පැතිර යතැයි පැවති භීතියයි.

ආන්ඩුව මෙන් ම, සමිති නායකයෝ ද ඒ හා සමාන  භීතියකින් පෙලුනහ. ඔවුන් වර්ජනය පිලිබඳ ව නිවේදනය කලේ ම එය ආන්ඩුවට විරුද්ධ වර්ජනයක් නොවන බවට සපත  කරමිනි.  දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වෘත්තීය සමිතියක් වන දුම්රිය එන්ජින් නිලධාරීන්ගේ සංගමයේ  (දුඑනිස) ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක පුන පුනා ප්‍රකාශ කලේ, තම වැඩ වර්ජනය ආන්ඩුවට එරෙහි වන්නක් නොව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහි ව පමනක් යොමු වන්නක් බවයි. 

වර්ජනය ආන්ඩුවට විරුද්ධ එකක් නොවන බව කීමෙහි තේරුම එහි අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල යටතේ එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහි නොවන බවයි.

දුම්රිය කම්කරුවන්ගේ අරගල අනවරත ව පාවා දීමේ ඉතිහාසයක් සමිති නායකයන්ට ඇත. වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වර්ධක ලබා දෙන ලෙස ඉල්ලා 2019 සැප්තැම්බර් 25  සිට ඔක්තෝබර් 7 දක්වා පැවති දින 12 ක වැඩවර්ජනය ඉල්ලීම් දෙන බවට මෛත්‍රිපාල සිරිසේන ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු පිලිගෙන නතර කිරීම ඒ සඳහා එක් උදාහරනයක් පමනි.

දුම්රිය දෙපාර්තමේන්තුව පරිහානියට පත්වීම සහ සේවකයන් මුහුන දෙන ප්‍රශ්න උග්‍ර වීම, අනුප්‍රාප්තික ආන්ඩු විසින් මුල්‍ය ප්‍රතිපාදන කප්පාදු කිරීමේ සහ දුම්රිය ප්‍රවාහන සේවය සහනදායි මහජන සේවාවක් වෙනුවට අයිඑම්එෆ් නියමයන් යටතේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහකරනය කිරීමේ සහ ලාභදායී වානිජ ව්‍යාපාරයක්  බවට පරිවර්තනය කිරීමේ සැලසුම් වල ප්‍රතිඵලයකි. ඒ අනුව අනුප්‍රාතික ආන්ඩු විසින් දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පරිවර්තනය කිරීමට පසුගිය දසක දෙක තුල උත්සාහ කල නමුත් සේවක විරෝධය මත එය ප්‍රමාද  කිරීමට සිදු විය. එහෙත්, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාවට දැමීමට සපත කර තිබෙන ජවිපෙ/ජාජබ ආන්ඩුව ඒ සැලසුම් අප්‍රමාද ව ක්‍රියාවට දමනු ඇත.

වෘත්තීය සමිති නිලධරයේ පුර්න සහයෝගය ඇති ව සේවකයන්ගේ බරපතල විරෝධය නොතකා ලංකා විදුලි බල මන්ඩලය කොටස් හයකට කඩා පුද්ගලික සමාගම් වලට පැවරී ය. දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු  සෙසු රාජ්‍ය ව්‍යවසායන් ද ඒ අයුරින් ම ප්‍රතිව්‍යූහකරනය හෝ පුද්ගලීකරනය කරනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග සාකච්ඡා කල දුම්රිය සේවිකාවක් සහ දුම්රිය ස්ථානාධිපතිවරයෙක් දුම්රිය සේවකයන් මුහුන දී සිටින දුෂ්කර ජිවන කොන්දේසි පිලිබඳ ව සහ වෘත්තීය සමිති සහ ජවිපෙ/ජාජබ ආන්ඩුව කෙරෙහි අප්‍රසාදය ප්‍රකාශ කලහ.

දෙ දරු මවක ද වන  දුම්රිය සේවිකාව මෙසේ ප්‍රකාශ කලා ය: “මම දුම්රිය සේවයට ඇවිල්ලා අවුරුදු 7ක් 8ක් විතර වෙනවා. මුල දී ලැබුනු වැටුප යම් තරමකට කලමනාකරනය කර ගත හැකි තත්ත්වයක පැවතුනත්, දැන් දවස් දෙකක් වත් මාසික වැටුප අතේ තියෙන්නේ නැහැ. මගේ මහත්තය කරන්නෙත්  රජයේ රැකියාවක්. දරුවන්ගෙ අවශ්‍යතාවලට යන වියදම් හැම දෙයක් ම ඉහල ගිහිල්ලා. මහත්තයා කොලඹ එන දවස්වල දී සවසට ත්‍රීවීල් එකක් දුවනවා. එයා වැඩ කරන්නෙ දුර බැහැර පලාතක. දරුවො දෙන්නත් එක්ක ගත කරන වෙලාවත් දැන් අඩු වෙලා.  අපි දෙන්නගේ ම වැටුප් එකතු කලත් සාමාන්‍ය පරිදි ජීවත් වීමට වත් ප්‍රමානවත් නැහැ. හැම දේ ම ගන්න වෙලා තියෙන්නෙ මුදලට. කොස්, පොල්, දෙල් හා එලවලු ටිකක් දෙමව්පියෝ එවන හින්ද යන්තම් ජීවිතේ ගැටගහ ගන්නවා. එහෙම, වුනත් ජිවන  වියදම උහුලන්න බැහැ.”

අවශේෂ කම්කරුවන්ගේ තත්වයත් මීට නොදෙවෙනි බවත්, එවන් තත්වයක් තුල සේවකයන්  වැඩ වර්ජනයට පෙලඹෙන එක සාධාරන බවත් ඇය සඳහන් කලා ය. වෘත්තීය සමිතිවල වඳ පිලිවෙත් ගැන විවේචනාත්මක ව කතා කරමින්, තමන් වර්ජනයට සහෝයෝගය දුන්නත්,  වෘත්තීය සමිති වර්ජනය නිසි ලෙස සංවිධානය නොකිරීම නිසා වැඩට  එන්න සිදු වූ බවත් ඇය පැවසුවා ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 110ක් පමන තිබෙන නමුත් සමිති විසින් වර්ජනය ගැන සාමාජිකයන් දැනුවත් නොකල බව දුම්රිය ස්ථානාධිපතිවරයෙක් පැවසී ය. දිත්වා සුලිකුනාටුවෙන් උඩරට දුම්රිය මාර්ගය දරුනු ලෙස විනාශ වූ අතර විශේෂයෙන් ම නුවර සිට කොලඹ දක්වා දෛනික ව කොලඹ යාම් ඊම් කිරීමේ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය භාවිතා කල ලක්ෂ ගනනකට දැඩි අපහසුතා මැද කටයුතු කිරීමට සිදු ව ඇත. මේ ආකාරයෙන් දුම්රිය ධාවනය නොවන නිසා, ආන්ඩුව මෙන් ම වෘත්තීය සමිතිත් තමන් නොතකා හැර ඇති ආකාරයත්, දුම්රිය කම්කරුවන් මුහුන දී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී කිසි ම කෙනෙකුට ඇහුම් කන් නොදෙන ආකාරයත් ඔහු පැහැදිලි කලේ ය. තව ද දිට්වා සුලිකුනාටුවෙන් අවුරුද්දක් ඇතුලත දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කරන බවට ආන්ඩුව සිදුකල කියාපෑම්වල පල්ල ගොස් ඇති ආකාරයත් ඔහු අවධාරනය කලේ ය.

දුම්රිය කම්කරුවන්ගේ වර්ජනය ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව සහ ඉහල වැටුප් සහ යහපත් සේවා කොන්දේසි සඳහා කම්කරු පන්තිය තුල වර්ධනය වන  පන්ති අරගල රැල්ලක කොටසකි. සෙවනගල සීනි කම්හලේ සේවකයින් 1,000 කට වැඩි පිරිසක්, වැටුප් වැඩිවීම් ඉල්ලා, අගෝස්තු 25 සිට සතියක් අඛන්ඩ වර්ජනයක යෙදුන අතර.අගෝස්තු 31 සංවර්ධන නිලධාරින් දහස් ගනනක් වැටුප් ඉල්ලීම් මත උද්ඝෝෂනයක නිරත වූහ.  වැටුප් වැඩි කිරීම සහ පහසුකම් වැඩි දියුනු කිරීම ඉල්ලා විශ්ව විද්‍යාල ආචාර්යවරු සැප්තැම්බර් 2 දා සිට උද්ඝෝෂනයක  නිරත ව සිටිති.

එහෙත්, ජවිපෙ/ජාජබ ආන්ඩුවට ආයාචනා හෝ බලපෑම් කිරීමෙන් කම්කරු පන්තියේ කවර කොටසකට වත් තම අයිතීන් දිනා ගත න‍ෙහැකි ය. එ මෙන් ම,  ආන්ඩුවේ සහ ධනපති හාම්පුතුන්ගේ හා අයිඑම්එෆ් හි මෙවලම් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති කම්කරු පන්තියේ අයිතීන් සඳහා අව්‍යාජ සහ ඒකාබද්ධ අරගලයක් සංවිධානයකිරීමට  සතුරු ය.

තම අයිතීන් සඳහා අරගලය කම්කරුවන් සියතට ගත යුතු ය. ඒ සඳහා සියලු ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති වලින්  ස්වාධීන ව සිය ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත් කර ගත් නියෝජිතයන් ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටු සියලු වැඩපොලවල්, ආයතන, වතු සහ කම්කරු නිවහන් ප්‍රදේශවල පිහිටුවා ගනිමින් ශ්‍රේනිවාදී, වාර්ගික හා  ආගමික රේඛාවන් කපා ගෙන සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි පොදු අරගලයක් සඳහා සංවිධානය කිරීමට පියවර ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් මුහුන දී සිටින්නේ ද ජාත්‍යන්තර ව කම්කරුවන් මුහුන දෙන රැකියා, වැටුප් සහ සමාජ සේවා මත එල්ල වන ගෝලීය ප්‍රහාරයට ය. යුද්ධය, කප්පාදු සහ ආඥාදායකත්වයට එරෙහි ව බලගතු ජාත්‍යන්තර අරගලයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ  කම්කරු ක්‍රියාකාරී කමිටු, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමඟ සම්බන්ධීකරනය කල යුතු ය.

Loading