[මෙය The IIT Bombay suicide and the crisis facing India’s youth මැයෙන් 2026 ඔක්තෝබර් 4දා ඉංග්‍රීසි බසින් පල විය.]
බොම්බායේ ඉන්දීය තාක්ෂන ආයතනයේ (අයිඅයිටී) දෙවන වසර තාක්ෂන විද්‍යා උපාධි අපේක්ෂක (BTech) ශිෂ්‍යයෙකු වූ සහිල් වකෝඩේ සැප්තැම්බර් 18 වැනි දා සියදිවි නසා ගැනීම, ඉන්දියාවේ ප්රමුඛ තාක්ෂන ආයතන පිලිබඳ ව ගොතා ඇති ප්‍රතිරූපය පිටුපස පවතින කුරිරු යථාර්ථය හෙලිදරව් කර තිබේ. විභාගයක් අතරතුර ඔහු සිය දුරකථනය භාවිතා කරමින් සිටිය දී අල්ලාගත් බව කියන සිද්ධියෙන් පැය කිහිපයකට පසු වකෝඩේ දිවි තොර කර ගත්තේ ය. මේ වසරේ බොම්බායේ අයිඅයිටී ආයතනයේ සියදිවි නසාගත් තුන්වැනි ශිෂ්‍යයා ඔහු වූ අතර, 2026 දී සමස්ත අයිඅයිටී පද්ධතිය තුල එලෙස දිවි හානි කරගත් දස වැනියා විය.
මෙම තරුන ශිෂ්‍යයන් කෙරෙහි පැවතිය යුතු සංවේදී භාවය පසෙක තැබුවත්, වකෝඩේගේ මරනය වටා පවතින තත්ත්වයන් පෙන්වා දෙන්නේ, සාධාරන ක්‍රියා පටිපාටිය පිලිබඳ මවා පෑම පවා අත හැර දැමූ ආයතනයකි. ශාස්ත්රාලික අක්‍රමිකතා සම්බන්ධයෙන් බොම්බායේ අයිඅයිටී විසින් පල කර ඇති නීති අනුව, වරද හඳුනා ගැනීම සහ තීරනය කිරීම වෙන වෙන ම සිදු විය යුතු ය: අක්‍රමිකතාවක් හඳුනා ගන්නා විභාග පරීක්ෂකයා එම පිලිතුරු පත්‍ර අත්පත් කර ගෙන, අලුත් පිලිතුරු පොතක් ලබා දී, ශිෂ්‍යයාට ලිවීම දිගට ම කර ගෙන යාමට ඉඩ දිය යුතු ය; ඉන්පසු විනය කමිටුවකට සිද්ධිය පිලිබඳ වාර්තාවක් සකස් කල යුතු ය; එම කමිටුව එම සාක්ෂි ශිෂ්‍යයාට ලබා දී, ප්‍රතිචාර දැක්වීමට වැඩ කරන දින දෙකක් ලබා දිය යුතු වේ. පෙනෙන පරිදි මේ කිසිදු පටිපාටියක් අනුගමනය කර නැත.
ඒ වෙනුවට, මහාචාර්ය සූර්යනාරායන දූල්ලා වකෝඩේගේ පිලිතුරු පත්‍රය පැහැර ගෙන, ඔහු විභාග ශාලාවෙන් පිටතට ගෙන ගොස්, ආරක්ෂක නිලධාරීන් කැඳ වූ බව වාර්තා විය. පසු ව ආයතනය ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, වකෝඩේ ප්‍රශ්න පත්‍රය ChatGPT බුද්ධි මෘදුකාංගය වෙත උඩුගත කර තිබූ බවයි. යන්තම් දින තුනකට පසුව එම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන සමාව අයැදීමට ආයතනයට සිදු විය.
ආයතනය ක්‍රියා කල ආකාරය පුලුල් පරිවර්තනයක ප්රකාශනයකි. වාර්තා වන පරිදි බොම්බායේ අයිඅයිටී ආයතනය මෑත අර්ධ-මධ්‍ය වාර්ෂික විභාගවල දී එහි විනය පද්ධතිය වෙනස් කර ඇති අතර, ඒ අනුව, දුරකථනය භාවිතා කල බවට සාක්ෂි නොමැති ව වුව ද විභාගයක දී දුරකථනයක් සන්තකයේ තිබීම පමනක් පදනම් කරගෙන, අසමත් ලකුනක් සහ සම්පූර්න අධ්‍යන අඩ වසරක් අත්හිටුවීමට නියම කල හැකි ය. වරදක් කරන පලමු අවස්ථාවට පවා මෙය අදාල වේ. ශිෂ්‍යයන්ට පමනක් නො ව, බොහෝ ආචාර්යවරුන්ට පවා මේ ගැන දැනුම් දී නොතිබූ බව පෙනේ. ශාස්ත්රාලීය අධීක්ෂනයේ සිට ආරක්ෂක සෝදිසි මත පදනම් වූ නිරීක්ෂනයක් දක්වා —ලෝහ ද්‍රව්‍ය සඟවාගෙන ඇත්දැයි සොයා බැලීමේ උපකරන, ආරක්ෂක නිලධාරීන්, විභාග අධීක්ෂන කටයුතු ආරක්ෂක නියාමකයන්ට පැවරීමේ අදහස— සිදු වූ මාරුව, සෑම සමාජ ප්‍රශ්නයකට ම මෝදි ආන්ඩුව දක්වන ආඥාදායක ප්රවිෂ්ටය පිලිබිඹු කරයි.
අයිඅයිටී ආයතනවල පවතින දැඩි ශාස්ත්රාලික වාතාවරනය තමන් ම අත්විඳ ඇති බොම්බායේ ශිෂ්‍යයෝ, සහෝදරත්වයෙන් හා සටන්කාමීත්වයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. වකෝඩේගේ සියදිවි නසාගැනීමෙන් පසු දිනවල පොවායිහි ආයතනයේ ප්‍රධාන දොරටුව අසල ආරම්භ කල “ජස්ටිස් කෝන’” (යුක්තියට සටන් වදින ස්ථානය) ලෙස නම් කරන ලද විරෝධතාව, පසුගිය සතිය පුරා ම පැවතුනි. ශිෂ්‍යයෝ ඉල්ලීම් 18ක ප්රඥප්තියක් ඉදිරිපත් කර ඇත. ස්වාධීන හා පාරදෘශ්‍ය පරීක්ෂනයක්, බොම්බායේ අයිඅයිටී අධ්යක්ෂ ශිරීෂ් කෙදාරේගේ ඉල්ලා අස්වීම සහ මහාචාර්ය දූල්ලාගේ වැඩ තහනම් කිරීම එම ඉල්ලීම් අතර පවතී. ආරක්ෂක නිලධාරීන් විරෝධතා ස්ථානය ඉවත් කිරීමට උත්සාහ කර, එක් විරෝධතාකරුවෙකුට තර්ජනය කල බවට ශිෂ්‍යයෝ චෝදනා කරති.
දකුනු මුම්බායිහි ෆෝර්ට් දිස්ත්‍රික්කයේ පිහිටි, අක්කර 25ක ත්‍රිකෝනාකාර ඓතිහාසික මහජන ක්‍රීඩා පිටියක් වන ආසාද් මයිදාන්හි උපවාසයක නිරත වකෝඩේගේ ශෝකයට පත් දෙමාපියෝ, මහාචාර්ය සූර්යනාරායන දූල්ලා සහ බොම්බායේ අයිඅයිටීහි අධ්යක්ෂ ශිරීෂ් කෙදාරේ වහා ම අත්අඩංගුවට ගන්නා ලෙසත්, ආයතනික කුල වෙනස්කම් පිලිබඳ චෝදනා මධ්‍යයේ මධ්‍යම විමර්ශන කාර්යාංශය(සීබීඅයි) විසින් ස්වාධීන පරීක්ෂනයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිති.
සංගත මාධ්‍ය සහ ඇතැම් “වාමාංශික” හා පහත්-කුල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කන්ඩායම් විසින්, මෙහි ප්‍රධාන ප්රශ්නය වනුයේ කුලය බව කුහක ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වකෝඩේ, “කුලහීනයන්” ලෙස සමාජයෙන් පිටමංකර තුබූ දලිත් ජන කොටසට අයත් අයෙකු විය.
ඉන්දියාවේ ප්රමුඛ ආයතන තුල පවා, අවම වසයෙන් සියුම් ආකාරයෙන් හෝ කුල වෙනස්කම් පවතින බව සැබෑ ය. උදාහරනයක් ලෙස, 2022 දී ශිෂ්‍යයන් 400කට ආසන්න පිරිසක් සම්බන්ධ කර ගෙන, බොම්බායේ අයිඅයිටී ම ලැයිස්තුගත කුල/ලැයිස්තුගත ගෝත්‍ර ශිෂ්‍ය එකමුතුව (ලැයිස්තුගත කුල සහ ගෝත්‍ර යනු ඉන්දීය ව්‍යවස්ථාව පීඩිත කුල සහ ගෝත්‍ර ලෙස හඳුනා ගත් ප්‍රජාවන් ය) කල සමීක්ෂනයකින් හෙලි වූයේ, කුලය දැන ගැනීම සඳහා ශිෂ්‍යයන්ගෙන් හතරෙන් පංගුවකගෙන් පමන වාසගම විමසා ඇති බවත්, කුල අනන්‍යතාව දැනගත් පසු තුනෙන් පංගුවකට වැඩි පිරිසකගෙන් ප්‍රවේශ විභාග ලකුනු ප්‍රමානය විමසා ඇති බවත් ය.
එහෙත්, කුල චෝදනාව මත ඇති කරන අවධාරනය මූලික ප්‍රශ්නයෙන් අවධානය වෙනතකට යොමු කරයි: එනම්, සියලු අධ්‍යාපන ආයතන සේවය කරන්නේ ලාභ පද්ධතියේ අවශ්‍යතාවන්ට බවයි; ධනවාදය යටතේ “කාලය යනු මුදල්” වන බැවින් කම්කරුවන් විසින් සියල්ල ඉක්මනින් කල යුතු ය. එබැවින්, අයිඅයිටී ශිෂ්‍යයන් සංකීර්න විෂයයන් වේගයෙන් ඉගෙන ගෙන උකහා ගනිමින්, තම පන්තියේ සගයන් සමග තරග කර, නිරන්තර ව අසීරු කෙරෙන විභාගවල දී හොඳින් දස්කම් දැක්විය යුතු ය.
ප්‍රභූන් සහ දුගීන්
අයිඅයිටී ආයතන සාමාන්‍යයෙන් ප්‍රභූ ආයතන ලෙසත්, ඒවායේ ශිෂ්‍යයන් වරප්‍රසාද ලත් ස්ථරයක් ලෙසත් විස්තර කෙරේ. මතු පිටින් බලන විට එහි යම් සත්‍යතාවක් ඇත. ඒවාට ඇතුලත් වීම අතිශයින් දුෂ්කර වන අතර, තරඟයට අවශ්‍ය වසර ගනනාවක පෞද්ගලික පුහුනුවේ පිරිවැය දැරිය හැකි පවුල් බොහෝ දුරට ඉහල මධ්‍යම පන්තියෙන් පැමිනේ. එහෙත් මේ චිත්රනයෙන් හෙලි කරනවාට වඩා බොහෝ දේ වහංගු කෙරේ. අයිඅයිටී වෙත ඇතුලත් වන ශිෂ්‍යයෝ පාලක පන්තියට අයත් නොවෙති. ඔවුන්ගෙන් අති බහුතරය, වැටුප් ලබන වෘත්තිකයන්ගේ, කුඩා ව්‍යාපාරිකයන්ගේ සහ අභිලාෂකාමී මධ්‍යම පන්තික පවුල්වල දරුවන් වන අතර, එම පුද්ගලයන් තම දරුවන්ගේ අනාගතය පිලිබඳ ව, එක් මංමුලා සහගත සූදුවක් වෙනුවෙන් සිය ඉතිරි කිරීම් වැය කර ඇත. ඔවුන් විඳින පීඩනය වරප්‍රසාදවලින් උපදින්නක් නොවේ; එය, එක් විභාගයකින් මුලු ජීවිතය ම තීරනය කරන පද්ධතියක පීඩනය යි.
“සාර්ථක වී” රටේ වඩාත් ම කීර්තිමත් ආයතනවලට ඇතුලත් වූවන්ගේ ඉරනම මෙය නම්, ඇතුලත් වීමට නො හැකි වූ මිලියන ගනනකගේ ඉරනම කුමක් ද? අයිඅයිටී ආයතනයකට ඇතුලත් කර ගැනෙන එක් ශිෂ්යයෙතු වෙනුවෙන්, 80කට වැඩි පිරිසක් විභාගයට පෙනී සිටිති. අති බහුතරය ප්‍රතික්ෂේප වෙති; විභාගයට සූදානම් වීමට ගත කල වසර ගනනාව නිෂ්ඵල වන අතර, පසු ව ඔවුන්ගෙන් බොහෝ උපාධිධාරීන්ට තාවකාලික අවිධිමත් රැකියා, විරැකියාව හෝ තම සුදුසුකම් වලට නොසරිලන රැකියා පමනක් සපයන ශ්‍රම වෙලඳපොලකට තල්ලු කරනු ලැබේ. ඉන්දියානු ආන්ඩුවේ ම ශ්‍රම බලකා සමීක්ෂනයට අනුව, විරැකියාව වසර 45ක් තුල ඉහල ම මට්ටමේ පවතී. සෑම වසරක ම ශ්‍රම වෙලඳපොලට පිවිසෙන තරුනයින් මිලියන 10කට වැඩි පිරිසෙන් විධිමත් රැකියා ලබාගන්නේ අතිශය සුලු පිරිසක් පමනි.
මෙම සමාජ ව්‍යසනය ක්‍රියාත්මක කරන පෙරහන වන්නේ කුරිරු ප්‍රවේශ විභාග ක්‍රමයයි. 2026 දී ජේඊඊ (ප්‍රධාන) හෙවත් සාමාන්‍ය ඉංජිනේරු ප්‍රවේශ විභාගයට ශිෂ්‍යයන් මිලියන 1.5කට වැඩි පිරිසක් පෙනී සිටි අතර, ඔවුන්ගෙන් 250,000ක් පමන උසස් ජේඊඊ පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබුවේ, තාක්ෂන විද්‍යා උපාධි ආසන 18,000කට යන්තම් අඩු සංඛ්‍යාවක් වෙනුවෙන් තරඟ කරමිනි. මේ සංඛ්‍යා පිටුපස ප්‍රවේශ විභාගවලට පුහුනු කිරීමේ දැවැන්ත කර්මාන්තයක් හෙවත් “කෝටා කම්හල්” (ඉන්දියාවේ රාජස්ථානයේ නගරයක් වන කෝටා හි කේන්ද්‍රගත වූ දැවැන්ත ටියුෂන් කර්මාන්තය) පවතී. එහි දී වයස අවුරුදු 14 තරම් කුඩා කාලයේ දරුවන් පවුල්වලින් වෙන් කර, වසර ගනනාවක් පුරා කෙරෙන පුහුනුවකට, කටපාඩම් කිරීමට හා ආදර්ශ විභාගවලට යටත් කරනු ලැබෙති. මෑත එන්ඊඊටී හෙවත් රැකියා වියුක්තියන් පුහුනු කිරීමට තෝරා ගැනෙන විභාගයේ වංචාවෙන් පෙන්නුම් කෙරුනු පරිදි, දේශපාලන සම්බන්ධතා ඇති පුහුනු ව්‍යාපාර විසින් විභාග ප්‍රශ්න කාන්දු කරනු ලැබ ඇති අතර, විභාගය අවලංගු කිරීමෙන් පසු අවම වශයෙන් තරුනයින් 12 දෙනෙකු සියදිවි නසා ගැනීමට පෙලඹ වූ මෙම ක්‍රමය දූෂනයෙන් කුනු වී ගොස් තිබේ.
අයිඅයිටී ආයතන පීඩන උදුනක් ලෙස
මෑතක දී උපාධිය ලැබූ අයෙකු පැවසූ පරිදි, අයිඅයිටී ආයතන ම පීඩන උදුන් ය. ශාස්ත්රාලීය පරිසරය අතිශයින් දැඩි, තරඟකාරී හා මානසික ව වෙහෙසකර බව ප්‍රකට ය. අනෙක් අය පෙන්වන දස්කම් මත පදනම් ව මහාචාර්යවරු ලකුනු ලබා දෙන බැවින්, සෑම විභාගයක් ම දැඩි තරඟයක් බවට පත් වේ. තම පාසල්වල වසර ගනනාවක් “පලමු තැන” ගත් ශිෂ්‍යයෝ හදිසියේ ම තරගකාරී සම වයසේ මිතුරන්ගෙන් වට කෙරී, එකිනෙකා සමග සැසඳීම නියත දෙයක් බවට පත් වේ. බොහෝ විට පලමු වරට අත්විඳින අසමත් වීම විනාශකාරී හැඟීමක් ජනනය කරයි.
විශ්ව විද්‍යාල මන්ඩප විශාල හා හුදකලා ය; නේවාසිකාගාර සංස්කෘතීන් විසුනු වී ඇත; මානසික පීඩාවට ආයතනික ප්‍රතිචාරය මෙතෙකුදු නිලධාරිවාදී ය. උපදේශන මධ්‍යස්ථාන කඩදාසි මත තිබුන ද ශිෂ්‍යයෝ ඒවා පරිපාලනයේ ම දිගුවක් ලෙස දකින අතර විශ්වාස නොකරති. ග්ලෝබල් අයිඅයිටී ආදි ශිෂ්‍ය සහායක කන්ඩායමට අනුව, 2021 සැප්තැම්බර් සිට 2026 අගෝස්තු දක්වා අයිඅයිටී ශිෂ්‍යයන් 73 දෙනෙකු සියදිවි නසා ගැනීමකින් හෝ අස්වාභාවික මරනයකින් මිය ගොස් ඇත. ඒ අතරින්, අයිඅයිටී කාරග්පූර්හි 13 දෙනෙකු, අයිඅයිටී කාන්පූර් සහ අයිඅයිටී දිල්ලි ආයතන දෙකේ නව දෙනා බැගින් දිවි තොර කර ගෙන තිබේ. 2021 සිට 2025 දක්වා අයිඅයිටී පද්ධතිය පුරා ශිෂ්‍ය සියදිවි නසා ගැනීම් 65ක් වාර්තා වී ඇත. අයිඅයිටී කාන්පූර්හි තක්සේරුගත සියදිවි නසාගැනීම් මරන අනුපාතය වන ශිෂ්‍යයන් 100,000කට 19.8, එය ලෝකයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ඉහල ම අනුපාතය වාර්තා කරන ජපානයටත් වඩා ඉහල අගයක් ගනී.
මෙම මරන තනි පුද්ගල මානසික ගැටලුවක් නො වේ. ඒවා සමස්ත පරම්පරාවක ජීවිත ඉවත ලන දෑ බවට පත් කල සමාජ පද්ධතියක නිෂ්පාදිතයයි. අයිඅයිටී ආයතනවල සියදිවි නසා ගැනීම්, ඉන්දියාව පුරා තරුනයින් අතර පැතිරෙන විශාල අපේක්ෂා භංගත්ව සංසිද්ධියක කොටසකි. ජාතික අපරාධ වාර්තා කාර්යාංශයට (එන්සීආර්බී) අනුව, ශිෂ්‍ය දිවි නසා ගැනීම් සමස්ත ජාතික දිවි නසා ගැනීම් අනුපාතයට වඩා වේගයෙන් ඉහල ගොස්, 2023 දී 13,892 සිට 2024 දී 14,488 දක්වා වැඩි වී තිබේ. 2018 දී, රාජස්ථානයේ වයස අවුරුදු 17ත් 24ත් අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ තරුනයින් සිව් දෙනෙක් රැකියා හිඟයෙන් හා දුප්පත්කමින් ගැලවීමක් නොදැක දුම්රියක් ඉදිරියට පැන දිවි තොර කර ගත්හ.
මෙම බලාපොරොත්තු සුන්වීම ආරම්භක දේශපාලන ප්රකාශනයක් සොයා ගැනීමට පටන් ගෙන තිබේ. ජූලි මාසයේ දී ශිෂ්‍යයන්, රැකියා විරහිත තරුනයින් හා තරුන වෘත්තිකයන් දස දහස් ගනනක් දිල්ලියේ වීදිවලට එක් රැස් කෙරුනු විරෝධතා ව්‍යාපාරයක් මෝදි ආන්ඩුව සොලවා දැමී ය. ප්‍රවේශ විභාග වටා පැවති දූෂනය එහි ක්ෂනික හේතුව වූවත්, එම ප්රශ්නය වෙනුවෙන් ම අටවා ගත් කැරපොතු ජනතා පක්ෂය ආරම්භ කල ව්‍යාපාරය රැකියා හිඟය, පලල් දුගී භාවය හා ජනගහනයේ අති බහුතරය හා කුඩා බිලියනපති ස්ථරය අතර පරතරය පිලිබඳ වඩා පුලුල්, කෝපයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ආන්ඩුව කඳුලු ගෑස්, බැටන් ප්‍රහාර, සමූහ රඳවා තබා ගැනීම් හා පැරා මිලිටරි බලකා යොදවමින් ප්‍රතිචාර දැක් වූ අතර, විරෝධතාකරුවන්ට එරෙහි ව විෂඝෝර ජාතික ආරක්ෂක පනත ක්‍රියාත්මක කලේ ය. අගවිනිසුරු සූර්ය කාන්ත් රැකියා විරහිත තරුනයින් “පරපෝෂිතයන්” හා “කැරපොත්තන්” ලෙස හෙලා දැක තිබීම සම්පින්ඩනය කලේ පාලක පන්තියට ඔවුන් කෙරෙහි ඇති අවඥාවයි.
ඉන්දියාවේ තරුනයින් මුහුන දෙන්නේ තීරනාත්මක තෝරා ගැනීමකට ය. භාරතීය ජනතා පක්ෂය (බීජේපී) හා කොංග්රස් පක්ෂය යන ධනේශ්වර පක්ෂ දෙක ම, මෙම ව්‍යසනය නිර්මානය කල ලාභ පද්ධතිය දිගට ම පවත්වා ගෙන යාමත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඉන්දියානු ධනේශ්වරයේ ප්රතිගාමී චීන-විරෝධී සන්ධානය තව දුරටත් ගැඹුරු කිරීම පමනක් ඉදිරිපත් කරයි. ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) විසින් මෙහෙයවන ස්ටැලින්වාදී “වාමාංශය” හා එහි ජාතික වෘත්තීය සමිති, බීජේපීයට විරුද්ධ වීමේ නාමයෙන් පන්ති අරගලය දශක ගනනාවක් යටපත් කරමින්, කම්කරුවන් කොංග්රස් පක්ෂය හා වෙනත් දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂ පිටුපසට යොමු කර ඇත. මූල්‍ය කතිපයාධිකාරය විසින් තව තවත් ධනය සමුච්ඡය කර ගැනීමට සමාජය යටත් කිරීම ප්‍රශ්න කරන කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් නොකරන, දේශපාලන සංස්ථාපිතයට බලපෑම් කිරීමට පමනක් මුලුමනින් ම නැඹුරු ඊනියා කැරපොතු ජනතා පක්ෂයේ නායකයන් උත්කර්ෂයට නැංවීමට ස්ටැලින්වාදීහු යුහුසුලු වී සිටිති.
අයිඅයිටී ආයතනවල සියදිවි නසා ගැනීම්, විභාග ක්රමයේ දූෂනය හා මහා පරිමාන විරැකියාව යන මේ සියල්ල ධනවාදයේ අර්බුදය තුල මුල් බැස ඇති අතර, ඒ කිසිවක් ධනවාදයේ රාමුව තුල විසඳිය නොහැකි ය. ධනවාදයට හා වර්ගවාදී ප්රතිගාමීත්වයට අභියෝග කිරීමේ බලය ඇති සමාජ බලවේගය වන කම්කරු පන්තිය වෙත හැරිය යුතු ශිෂ්‍යයන්, ඒ සඳහා මුල පුරමින් ජීවත් වීමට සරිලන වැටුපක් ඉල්ලීම නිසා, සාපරාධීකරනය කොට අප්‍රේල් මාසයේ දී සිරගත කරනු ලැබූ නොයිඩා සහ ගුර්ගාඕන්-මනේසාර් කාර්මික කලාපයේ කම්කරුවන් වෙත යොමු විය යුතු ය. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය දේශපාලනික ව බලමුලු ගැන්වීම තුලින් පමනක්, සමස්ත පරම්පරාවක් අපේක්ෂා භංගත්වයට තල්ලු කරන සමාජ කොන්දේසි අහෝසි කල හැකි ය.
