මෝදි ආන්ඩුව සංකේතාත්මක සහනයක් ලබා දීමෙන් පසු ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය ශිෂ්‍ය උද්ඝෝෂනය අත්හිටුවයි

[මෙය India’s Cockroach Janata Party suspends student agitation after Modi government makes token concession මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

2026 ජූලි 26 වැනි දින ඉරිදා ඉන්දියාවේ මුම්බායි හි දී කැරපොතු ජනතා පක්ෂයේ විරෝධතා ව්‍යාපාරයේ ජාතික විරෝධතාවලින් පසු ව අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස් වීම සමරන විරෝධතාකරුවෝ [AP Photo/Rafiq Maqbool]

සති ගනනාවක් තිස්සේ පැවති ශිෂ්‍ය විරෝධතාව මහජන කෝපය පුපුරා යාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබීම ගැන භීතියෙන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව, ජූලි 25දා අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම අකමැත්තෙන් වුව ද පිලිගත්තේ ය.

ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම, ජූනි 20දා අලුතින් පිහිටුවන ලද, උපහාසාත්මක ලෙස නම් කරන ලද කැරපොතු ජනතා පක්ෂය (සීජේපී) විසින් ආරම්භ කල ශිෂ්‍ය උද්ඝෝෂනයේ නායකයන් ඉදිරිපත් කල ප්‍රධාන ඉල්ලීම විය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ පාර්ලිමේන්තු  විපක්ෂය සමඟ සන්ධානගත බලවේගවල අනුබලය ඇති ව, සීජේපී නායකත්වය ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඉතා කඩිනමනින් ම උද්ඝෝෂනය අවසන් කිරීමට පියවර ගත්තේ ය. මෝදි සහ ඔහුගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව විසින් ගනු ලැබූ සීමිත උපායික පසුබැසීමක්, “ජයග්‍රහනයක” සංකේතයක් ලෙස හුවා දැක්වීමට ඔවුහු වෑයම් කලහ.

නවදිල්ලිය මධ්‍යයෙහි පිහිටි ජන්තර් මන්තර් උද්ඝෝෂන භූමියේ, අඛන්ඩ උපවාස විරෝධතාවේ 36 වැනි දිනයේ රැඳී සිටි ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් අමතමින්, සීජ‌ේපී නායක අභිජීත් දීප්කේ සෙනසුරාදා මෙසේ ප්‍රකාශ කලේ ය: “ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස් වී තිබෙනවා. මෙය, ඔබ බිය නොවන්නේ නම් ජයග්‍රහනය කල හැකි බවට සාක්ෂියක්.” ඔහු තවදුරටත් පැවසුවේ, “ප්‍රජාතන්ත්‍රවාදයක් තුල කතා කිරීමට ඔබ බිය විය යුතු නැහැ. ඔබ ඔබේ හඬ නගන්නේ නම් පමනයි ඔවුන් ජනතාවට වගකියන ලෙස හැසිරනේන‌ේ, මොකද ඔවුන් බලයේ ඉන්නේ අප නිසයි.”

මෑතක් වන තුරු ම දක්ෂිනාංශික, ධනේශ්වර හිතවාදී ආම් ආද්මි (ප‌ොදු මිනිසා) පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූ දීප්කේ, අනෙකුත්  ප්‍රකාශකයන් සමඟ එක් ව, මෝදි ආන්ඩුව කෙරෙහි “සද්භාවය” පෙන්වීමක් ලෙස විරෝධතාකරුවන්ට විසිර යන ලෙස ඉල්ලා සිටියේ ය. ඉන්දියාව පුරා මහජන සහයෝගය ගොනුවීමට පටන් ගෙන තිබූ මොහොතේ ම උද්ඝෝෂනය නතර කිරීමට ගත් තීරනය සාධාරනීකරනය කරමින්, සීජේපී නායකයන් කියා සිටියේ, ඔවුන් මෝදි ආන්ඩුවෙන් තවත් වාචික පොරොන්දු ලබාගෙන ඇති බවයි. එයින් ප්‍රධාන වූයේ ශිෂ්‍ය උද්ඝෝෂනයට සම්බන්ධ වූවන්ට එරෙහි ව ගොනු කල සියලු ම පලමු තොරතුරු වාර්තා (එෆ්අයිආර්) ඉල්ලා අස් කර ගැනීම, රජයේ අධීක්ෂනය යටතේ පැවති විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්නපත්‍ර සාපරාධී ලෙස කාන්දු වීම හේතුවෙන් සිය දිවි නසාගත් සිසුන්ගේ පවුල්වලට මූල්‍ය වන්දි ලබා දීම සහ සති හතරක් ඇතුලත සීජේපී විසින් ඉදිරිපත් කල අධ්‍යාපන ප්‍රතිසංස්කරන ඉල්ලීම්වලට නිල ප්‍රතිචාරයක් ලබා දීමයි.

දැන් මෙම “එකඟතාව” බිඳ වැටෙමින් පවතින බව පෙනේ. අඟහරුවාදා වන විට  අමතර කරුනු ලිඛිත ව ලබා දෙන බවට දුන් පොරොන්දුව බලධාරීන් විසින් කඩ කර  බවට ලකුනු පෙන්නුම් කෙරුනි. එ මෙන් ම, නම් සඳහන් නොකල රජයේ නිලධාරීන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් එක් ප්‍රවෘත්ති වාර්තාවක්, ශිෂ්‍ය උද්ඝෝෂනයට සම්බන්ධ වූ “සමාජ අශිෂ්ටකම්” ලෙස හැඳින්වූ ක්‍රියාවලට සම්න්ධකම්  හෝ අතීතයේ අපරාධවලට වරදකරුවන් වූවන් සම්බන්ධයෙන් චෝදනා ඉවත් කර ගැනීමට තමන් කිසි විටෙක එකඟ නොවූ බව ද ඔවුහු අවධාරනය කරති.

තම ඒකාධිපති ක්‍රියාමාර්ගවලට අනුකූල ව, මෝදි ආන්ඩුව නැවත නැවතත් විරෝධතාකරුවන් “ජාතිද්‍රෝහීන්” සහ ප්‍රචන්ඩකාරීන් ලෙස අපකීර්තියට පත් කිරීමට උත්සාහ කර ඇත. සත්‍ය වසයෙන් නම්, ජූලි 19 සවස ජන්තර් මන්තර් විරෝධතා භූමියේ රැස් ව සිටි පිරිසට අමානුෂික ලෙස පහර දුන්නේ ආන්ඩුවේ නියෝග මත ක්‍රියා කල දිල්ලි පොලිසියයි. ඊලඟ දිනයේ පාර්ලිමේන්තු සංකීර්නය වෙත ගමන් කල, සාමකාමී නමුත් අධිෂ්ඨානශීලී 50,000ක පා ගමනකට ලති (උන බම්බු) ප්‍රහාර, කඳුලු ගෑස් සහ මාරක පෙලට් අවි භාවිත කරමින් පහර දුන්නේ ද එම පොලිසියයි.

ප්‍රාන්ත ගනනාවක බලධාරීන් ශිෂ්‍ය උද්ඝෝෂනයට සම්බන්ධ වූවන්ට එරෙහි ව නීතිමය පලිගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බවට සීජේපී ප්‍රකාශකයෝ සමාජ මාධ්‍යවල ප‌ෝස්ටු මගින් චෝදනා නැගුවෝ ය. සීජේපී ජාතික ප්‍රකාශක අශුතෝෂ් රංකා සඳුදා එක්ස් සමාජ මාධ්‍යයේ පල කල සටහනක මෙසේ සඳහන් කලේ ය: “විරෝධතාකරුවන්ට එරෙහි ව පොලිස් ක්‍රියාමාර්ග නොගන්නා බවට වූ එකඟතාව මුලුමනින් ම කඩ කර තිබෙනවා.” ඔහු පැවසුවේ බිහාර් සහ බෙංගාලයේ “ශිෂ්‍යයන් සිය ගනනක්” අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සිය ගනනක් දිල්ලි නගරයේ හිරිහැර කිරීම්වලට පාත්‍ර කරමින්  රඳවා තබා ගෙන සිටින බවයි.

තම ශිෂ්‍ය ආධාරකරුවන් අතර වැඩි වෙමින් පවතින කෝපයට මුහුන දෙමින්, ආන්ඩුව තම “පොරොන්දු” ඉටු නොකලහොත් බදාදා තරම් ඉක්මනින් නැවතත් උද්ඝෝෂනය ආරම්භ කරන බවට සීජේපී නායකයන්ට තර්ජනය කිරීමට සිදු ව ඇත. “ආන්ඩුව තම වචනයට සහ එකඟතාවන්ට ගරු නොකරන්නේ නම්, දිල්ලියේ පමනක් නොව රට පුරා ම දැවැන්ත විරෝධතාවකට නැවතත් කැඳවීමට අපට සිදුවනු ඇත,” යැයි සීජේපී නියෝජිත සෞරව් දාස් අඟහරුවාදා ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා වෙත ප්‍රකාශ කලේ ය.

විරෝධතා ව්‍යාපාරයට ක්ෂනික ව හේතු වූයේ නීට්-යූජී (NEET-UG) වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රය කාන්දු වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යයන් ලක්ෂ 2කට ආසන්න පිරිසකට නැවත විභාගයට පෙනී සිටීමට සිදු විය. මෙය මෙවැනි අර්බුද මාලාවක නව ත ම සිදු වීම වූ අතර, ඉන්දියාවේ මධ්‍යගත විභාග පද්ධතිය තුල පැතිර පවතින  දූෂනය හෙලිදරව් කලේ ය.

එහෙත්, ශිෂ්‍ය උද්ඝෝෂනයට ජීවය ලබා දුන්නේ, ඊට වඩා පුලුල් සහ ගැඹුරින් මුල් බැසගත් කලකිරීම් විසිනි. දැඩි තරගකාරී ප්‍රවේශ විභාග ක්‍රියාවලිය, විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා ප්‍රමානයේ හිඟය, විරැකියාව, පැතිර පවත්නා දරිද්‍රතාව සහ ඉන්දියානු ධනවාදය මෙන්ම එහි රාජ්‍ය ආයතන Z පරම්පරාවේ (ජෙන් zසී)   තරුනයන්ගේ ගැටලුවලට දක්වන නොසැලකිල්ල ඒ අතුරින් ප්‍රමුඛ ය.

පසුගිය සතියේ මෝදි ආන්ඩුව මෙම උද්ඝෝෂනය අමානුෂික ලෙස මර්දනය කිරීමට උත්සාහ කිරීමත් සමඟ, එය ලැව් ගින්නක් මෙන් රට පුරා පැතිර ගියේ ය. ඉන්දියාව පුරා නගර රැසක සහයෝගීතා උද්ඝෝෂන සහ විරෝධතා සංවිධානය කෙරිනි.

කැරපොතු ජනතා පක්ෂයේ ආධාරකරුවෝ අධ්‍යාපන ඇමතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඉන්දියානු පාර්ලිමේන්තුව දෙසට පෙලපාලියෙන් යාමට තැත් කරද්දී පොලිසිය සමග ගැටෙති. 2026 ජුලි 20 සඳුදා, නව දිල්ලිය - [AP photo/Vipin] [AP Photo/Vipin]

මෙම ක්ෂනික විරෝධතා රැල්ලට මුහුන දීමට සිදු වූ මෝදි සහ ඔහුගේ ආන්ඩුව උපායික වෙනස්කම් මාලාවක් ක්‍රියාත්මක කලේය. හින්දු බලකාධිපතියෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරන මෝදි, සති පහක් පුරා පැවති සිය නිහඬතාව බිඳ දමමින්, සමාජ මාධ්‍ය සටහනක් හරහා ශිෂ්‍යයන් පිලිබඳ කනස්සල්ලක් මවා පෑවේ ය. ජූලි 27 සඳුදා පාර්ලිමේන්තුව නැවත රැස් වූ විට, විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු කරන පුද්ගලයන්ට එරෙහි ව ඉක්මන් නඩු විභාග පැවැත්වීම සඳහා “කඩිනම් අධිකරන” පිහිටුවන නීති සම්පාදනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ ආන්ඩුව නිවේදනය කලේ ය. ඉන් අනතුරුව, නීට් ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකු සේවයෙන් පහ කල අතර, සීජේපී නායකයන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කලේ ය. අවසානයේ දී, එ තෙක් මුලුමනින් ම ආරක්ෂා කරමින් සිටි ප්‍රධාන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නේ ය.

ආන්ඩුව මූලික වසයෙන් ම භීතියට පත්වූයේ, ශිෂ්‍ය විරෝධතා, කම්කරු පන්තියේ විරුද්ධත්වය පුපුරා යාමට උත්ප්‍රේරකයක් බවට පත්වනු ඇත යන්න ගැනයි. ශිෂ්‍ය උද්ඝෝෂනය ඇරඹුනේ, දිල්ලියේ තදාසන්නයේ පිහිටි නොයිඩා සහ මනේසර් කාර්මික නගරවල අමානුෂික ලෙස සූරා කෑමට ලක්වන කම්කරුවන් දස දහස් ගනනක් නැගී සිටි අරගලයකට සති කිහිපයකට පසු ව ය. එම නගර පිහිටා ඇත්තේ  ජන්තර් මන්තර් විරෝධතා භූමියේ සිට කිලෝමීටර් දොලහක් පමන ආසන්න දුරිනි. එම විරෝධතා අතිශය කෲර ලෙස මර්දනය කෙරුනු අතර, කම්කරුවන් සිය ගනනක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තවමත් සිරගත ව සිටිති.

2026 වසරේ පලමු භාගය තුල, බීජේපී ආන්ඩුව තම පන්ති යුද ප්‍රහාරය සැලකිය යුතු ලෙස තීව්‍ර කල බව ද සඳහන් කල යුතු ය. එය වැඩවර්ජනය කිරීමේ නීතිමය අයිතිය තව දුරටත් සීමා කිරීමට සහ අනාරක්ෂිත කොන්ත්‍රාත් ශ්‍රමය ප්‍රවර්ධනය කිරීමට, කම්කරු නීතිවලට කම්කරු-විරෝධී සංශෝධන සම්මත කලේ ය. එ මෙන් ම, රුදුරු ලෙස සූරා කෑමට ලක්වන කෘෂිකාර්මික  කම්කරුවන්ගේ වැටුප් පහත දැමීමේ පැහැදිලි අරමුනින් ඉන්දියාවේ “ග්‍රාමීය රැකියා සහතික කිරීමේ” වැඩසටහන ද අහෝසි කලේ ය.

ආන්ඩුවට ඇති තවත් කනස්සල්ලක් වන්නේ, ශිෂ්‍ය විරෝධතාකරුවන්ගෙන් බොහෝ දෙනෙකු මෝදි සහ ඔහුගේ බීජේපීයට මීට පෙර ප්‍රමුඛ ඡන්ද පදනමක් සැපයූ මධ්‍යම පන්තියේ සමාජ ස්ථර නියෝජනය කරන අය වීමයි. එහෙත්, ඉන්දියාවේ ඊනියා ධනවාදී නැගීමේ ප්‍රතිලාභ ධනවතුන් සහ සුපිරි ධනවතුන් විසින් පමනක් පාහේ ඒකාධිකාරී ලෙස අත්පත් කර ගැනීම හේතුවෙන්, මෙම ස්ථර වඩ වඩාත්  කලකිරීමට පත්වෙමින් සිටී.

විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා පවතින දැඩි තරගය ද මෙම විෂම සමාජ ක්‍රමයේ ම නිෂ්පාදනයකි. රාජ්‍ය මූල්‍ය යොදවා පවත්වා ගෙන යන සමාජ ආරක්ෂන ජාලයක් නොමැති රටක, නිරන්තර මූල්‍ය පීඩනයෙන් හා අවිනිශ්චිතතාවෙන් පිරුනු ජීවිතයකින් තම දරුවන් ගලවා ගත හැකි වේ යැයි බලාපොරොත්තුවෙන්, ඔවුන්ට පෞද්ගලික උපකාරක පන්ති ලබාදීම සඳහා පවුල්වලට විශාල මූල්‍ය කැපකිරීම් කිරීමට සිදුවේ.

එසේ වුව ද, විශ්වවිද්‍යාල උපාධියක්, හොඳ වැටුප් සහිත රැකියාවක් සඳහා කිසිදු සහතිකයක් ලබා දෙන්නේ නැත. අසීම් ප්‍රේම්ජි විශ්වවිද්‍යාලයේ තිරසාර රැකියා සඳහා වූ මධ්‍යස්ථානය මාර්තු මාසයේ නිකුත් කල ඉන්දීය වැඩකරන්නන්ගේ තත්වය නම් වාර්තාවට අනුව, වයස අවුරුදු 25ට අඩු විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන උපාධිධාරීන් අතර විරැකියා අනුපාතය දැනට සියයට 40කට ආසන්න ය. එ මෙන් ම, වයස අවුරුදු 20ත් 29ත් අතර සිටින ඉන්දියාවේ උපාධිධාරීන් මිලියන 63න් මිලියන 11ක් ම රැකියා විරහිතයන් ය.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රධාන් දිගට ම තබා ගැනීමට මෝදි  දැඩි ලෙස අධිෂ්ඨානවත් ව  සිටියේ, ශිෂ්‍ය විරෝධතාකරුවන්ට ලබාදෙන ඕනෑ ම, කෙතරම් සංකේතාත්මක වුව ද සහනයක් පුලුල් විරෝධතාවලට ධෛර්යයක් සපයනු ඇතැයි යන භීතිය නිසා පමනක් ම නොවේ. මෝදි මෙන් ම ප්‍රධාන් ද බීජේපී යේ දේශපාලන උපදේශකයා ලෙස ක්‍රියා කරන සහ අමාත්‍ය මන්ඩල පත්කිරීම් හා ආන්ඩු ප්‍රතිපත්ති පිලිබඳව නිරන්තරයෙන් උපදෙස් ලබාගන්නා, හින්දු අධිපතිවාදී “සංස්කෘතික” සංවිධානයක් ලෙස තිරය පිටුපස ක්‍රියාත්මක වන සහ මිලීෂියාවක් ද වන ආර්එස්එස් හි යාව ජීව සාමාජිකයෙකි.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කල වසර පහ තුල, ප්‍රධාන් අධ්‍යාපනයට එරෙහි ව හාත්පසින් ම කෙරෙන ප්‍රහාරයකට මූලිකත්වය දුන්නේ ය. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සහ ආර්එස්එස් මතවාදයන් ඔබ්බ වූ විෂයමාලා වෙනස්කම් පැනවීම එහි ප්‍රධාන අංගයන් විය.

මෙම ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයේ වැදගත් ලක්ෂනයක් වන්නේ, බීජේපී සහ සමස්ත ඉන්දීය පාලක පන්තිය විසින් අවුලුවා ඇති ආගමික-වාර්ගික බෙදීම් ඉක්මවා, ශිෂ්‍යයන් එක්සත් කිරීමට එය සමත් වීමයි.

දිල්ලියේ වීදිවල දී මෝදි ආන්ඩුවට අභියෝග කිරීමෙන් පසු ශිෂ්‍ය උද්ඝෝෂනයට හදිසියේ ම ලැබුනු පුලුල් ජන සහයෝගයට සීජේපී නායකයන් දැක් වූ ප්‍රතිචාරය, අවම වශයෙන් කිව හොත්, පුදුමයට කරුනක් නොවේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) කලින් පැහැදිලි කල පරිදි, ආරම්භයේ සිට ම ඔවුන් උත්සාහ කලේ විරෝධතාව හැකි තරම් පටු ඉල්ලීම්වලට සීමා කිරීමට ය: එනම්, ප්‍රතිගාමී බීජේපී ඇමතිවරයෙකු ඉවත් කිරීම, එය කෙතරම් සාධාරන වුව ද, කිසිවක් මූලික වශයෙන් වෙනස් නොකරන්නේ ය යන කාරනය නොසලකා හරිමිනි. සීජේපී, සියලු ම අධ්‍යාපන මට්ටම් සඳහා රාජ්‍ය ප්‍රතිපාදන දැවැන්ත ලෙස වැඩි කරන ලෙස හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ජීවන වියදම සපුරාලිය හැකි දීමනාවක් ගෙවන ලෙසවත් ඉල්ලන්නේ නැත; ඉන්දියාවේ ධනේශ්වර ප්‍රභූව විසින්, සමාජ-ආර්ථික  ජීවිතය පාලනය කිරීම අභියෝගයට ලක් කරන හෝ ඉන්දියාවේ යුද හමුදාව සඳහා වැය කරන දැවැන්ත මුදල් ප්‍රමානයට අත තබන ඉල්ලීම් මතු කිරීම තබා, එවැනි මූලික ඉල්ලීම්වත් ඔවුන් ඉදිරිපත් කර නැත.

සඳුදා පැවති මාධ්‍ය හමුවක දී සීජේපී නායකත්වය හෙලි කලේ, කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන රාජ්‍ය සභා මන්ත්‍රී කපිල් සිබල්ගෙන් තමන් උපදෙස් ලබා ගනිමින් සිටින බවයි.

බීජේපීය මෙන් ම,  කොංග්‍රසය ද ශිෂ්‍ය විරෝධතාව සංස්ථාපිත දේශපාලනයේ මුඩු රාමුව තුල සීමා කර තබා ගැනීමටත්, එය පන්ති අරගලයකට උත්තේජනයක් වීම වැලැක්වීමටත් උනන්දු වෙයි. මෝදිගේ නිල නිවස ඉදිරිපිට දී කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි කෙටි වේලාවකට අත්අඩංගුවට ගැනීම සහ පොලිස් ප්‍රචන්ඩත්වය හෙලා දැකීම ඇතුලු කොංග්‍රසයේ “විරෝධතා” නාට්‍යමය ක්‍රියාකාරකම්වල අරමුන වන්නේ, මෝදි සහ බීජේපීය මෙන් ම, තමන් ද “ආයෝජක හිතවාදී” ප්‍රතිපත්තිවලට සහ චීනයට එරෙහි ඉන්දු-ඇමරිකා ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයට කැප වී සිටිනවා ය යන කාරනය  ජනතාවගේ අවධානයෙන්  ඉවතට හැරවීම යි.

වඩාත් ම හානිකර භූමිකාව ඉටු කරන්නේ, හින්දු අධිපතිවාදී බීජේපීයට විරුද්ධ වන බව පවසමින්, පන්ති අරගලය ක්‍රමානුකූල ව මර්දනය කරන සහ කොංග්‍රස් නායකත්වයෙන් යුත් INDIA මැතිවරන සන්ධානයේ පදනම් කනු ලෙස ක්‍රියා කරන විවිධාකාර ස්ටැලින්වාදී පක්ෂයන්‍ ය.

ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයක් ඇතුලත, සාම්ප්‍රදායික ස්ටැලින්වාදී පාර්ලිමේන්තු  පක්ෂ දෙක වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) (සීපීඑම්) සහ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) මෙන් ම, මාඕවාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී-ලෙනින්වාදී) සහ එහි ශිෂ්‍ය සංවිධානය වන සමස්ත ඉන්දීය ශිෂ්‍ය සංගමය (ඒඅයිඑස්ඒ) ද මේ සියල්ල “ඓතිහාසික ජයග්‍රහනයක්” ලෙස ප්‍රකාශ කිරීමට කඩිමුඩියේ පැනගත්තේ ය. ශිෂ්‍යයන්ගේ නොසැලෙන කැපවීම අගය කරන බව පෙන්වමින්, ඔවුන් සියලු දෙනා ම ප්‍රවර්ධනය කලේ, දේශපාලනික වශයෙන් විනාශකාරී මිථ්‍යාවකි. එනම්, ඉන්දියාවේත් ගෝලීය වශයෙනුත් ඒකාධිපතිවාදය සහ යුද්ධය දෙසට වේගයෙන් ගමන් කරන ධනේශ්වර සංස්ථාපිතය වෙත ආයාචනා කිරීම මගින් ශිෂ්‍යයන්ටත්, පුලුල් වශයෙන් ඉන්දියාවේ කම්කරුවන්ට හා ග්‍රාමීය පීඩිත ජනතාවටත් තමන්ගේ අයිතිවාසිකම් දිනාගත හැකි බවයි. ඒ අනුව සීපීඑම් දේශපාලන මන්ඩලය ප්‍රකාශ කලේ, “මෙම තරුනයන් පෙන්නුම් කල ධෛර්යය සහ අධිෂ්ඨානය ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයට සුබ ලකුනක්” බවයි.

මෙම “කොමියුනිස්ට්” යැයි කියා ගන්නා කිසිදු සංවිධානයක්, ශිෂ්‍යයන්ට —විශේෂයෙන් නොයිඩා සහ මනේසර් කම්කරුවන්ගෙන් පටන් ගෙන—කම්කරු පන්තිය වෙත හැරෙන ලෙස ආරාධනා කලේ නැත. එ මෙන් ම බීජේපී ආන්ඩුවට, ඉන්දියාවේ දූෂිත ධනේශ්වර ප්‍රභූවට එරෙහි ව සහ ග්‍රාමීය ජනතාවගේ සහයෝගය මත පදනම් වූ කම්කරු ආන්ඩුවක් පිහිටුවා, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු පන්තියේ  සමාජ බලය සංවිධානය කිරීමට සහාය වන ලෙස ද කිසිදු කැඳවීමක් ඔවුන් සිදු කලේ නැත.

තත්ත්වය තවමත් පවතින්නේ පුපුරා යා හැකි ස්වභාවයක ය. සීජේපී නායකයන් සහ විපක්ෂ පක්ෂ ගන්නා සියලු ප්‍රයත්න තිබියදීත්, ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය නැවතත් පුපුරා යා හැකි ය. සමාජවාදී අදහස් දරන ශිෂ්‍යයන් තේරුම් ගත යුත්තේ, තමන්ගේ සම වසයේ පසුවන්නන්ගේ ජීවිත විනාශ කරන ප්‍රධාන ගැටලු කිසිවක්—විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම්වල හිඟයේ සිට  ආර්ථික අවස්ථා නොමැතිකම දක්වාත්, ආගමික-වාර්ගික ප්‍රතිගාමීත්වය, රාජ්‍ය මර්දනය සහ යුද්ධය දක්වාත්—ජාත්‍යන්තර සමාජවාදය සඳහා කම්කරු පන්තිය නායකත්වය දෙන අරගලයකින් තොර ව විසඳිය නොහැකි බවයි.

Loading