ශ්රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජවාදී සමානතාව සඳහා ජාත්යන්තර තරුන හා ශිෂ්යයෝ (සසජාතශි), “ජවිපෙ/ජාජබ පාලනයේ දෙවසරක්: මහා ව්යාපාරිකයන්ගේ සහ IMF කප්පාදුව පාලනයක්” යන මැයෙන් මහජන රැස්වීමක් නොවැම්බර් 10 වැනි දා අඟහරුවාදා පස්වරු 4.00ට කොලඹ මහජන පුස්තකාල ශ්රවනාගාරයේ දී පවත්වනු ඇත.
ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය පාලනයේ දෙ වසර තක්සේරු කිරීම සහ කම්කරු පන්තිය ඉදිරියේ ඇති මාවත පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීමට සහභාගී වන ලෙස සසප සහ සසජාතශි කම්කරුවන්ට, තරුනයන්ට සහ සමාජයේ අනෙකුත් පීඩිත කොටස්වලට ආරාධනා කරයි.
මීට දෙ වසරකට පෙර ජවිපෙ බලයට පැමිනියේ අපකීර්තියට පත් සාම්ප්රදායික සංස්ථාපිත පක්ෂවලට එරෙහි ව පැවති මහජන විරෝධය ගසාකමිනි. එය දෙපැත්තකින් යුත් මැතිවරන ව්යාපාරයක් ගෙන ගියේ ය: එක් පැත්තකින්, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුනු කරන බවත් ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කරන බවත් පවසමින් ඔවුන්ට ව්යාජ පොරොන්දු ලබා දුන්නේ ය; ඒ අතර ම, මහා ව්යාපාරිකයන්ට සහ විදේශීය ප්රාග්ධනයට ඔවුන්ගේ අවශ්යතා ආරක්ෂා කරන බවට ද එය සහතික විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දරන ව්යාජ වාමාංශිකයන් මැතිවරන ජයග්රහනය උත්කර්ෂයට නංවා, ජාජබය “ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමක්” ලෙස ඉදිරිපත් කලේ ය. අද කම්කරුවන් අරගලයට පිවිසෙද්දී, එම බලවේග ම පන්ති අරගලය ආන්ඩුවට “නිවැරදි මාවතට” යොමුවන ලෙස බලපෑම් කිරීමට යොමු විය යුතු බවට දේශනා පවත්වයි.
ජාතික ජන බලවේගය ලෙස නැවත ලේබලය අලවා ගත් ජවිපෙ, සිංහල ස්වෝත්තමවාදයෙන් ගැඹුරට ගිලී ගිය, රනිල් වික්රමසිංහ ආන්ඩුව යටතේ සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල වූ ප්රහාරවලට එරෙහි ව සටන් කරමින් සිටි කම්කරුවන්ට එය උගුලක් බවට පත්වනු ඇති තවත් ධනපති පක්ෂයක් බව අනතුරු ඇඟවූයේ, සසප සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පමනි.
බලයට පැමිනි වහා ම ජවිපෙ/ජාජබ ආන්ඩුව ජීවන තත්ත්වයන් සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් සම්බන්ධයෙන් ලබා දුන් මැතිවරන පොරොන්දු අත්හැර දැමූ අතර, ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) කුරිරු කප්පාදු වැඩපිලිවෙල වේගවත් කලේ ය. මේ අතර, ජවිපෙ/ විසින් පොරොන්දු වූ “පොහොසත් රට” මහා ව්යාපාරිකයන් සඳහා යථාර්ථයක් වෙමින් පවතින්නේ, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ වියදමෙනි.
චීනයට එරෙහි ව වොෂින්ටනය ගෙන යන මිලිටරි මූලෝපාය සමඟ ශ්රී ලංකාව වඩාත් සමීප ව ඒකාබද්ධ කර ඇති ආන්ඩුව, ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන ඊශ්රායලය සමඟ සබඳතා ද ශක්තිමත් කර ඇත.
කම්කරුවන්, ගම්බද දුප්පතුන් සහ තරුනයන් අතර වර්ධනය වන විරෝධය මැඬ පැවැත්වීම සඳහා ආන්ඩුව ප්රජාතන්ත්රවාදී අයිතීන් තව දුරටත් යටපත් කරමින්, දැඩි මර්දනකාරී නීති ශක්තිමත් කරමින් සිටී.
ආන්ඩුවේ ප්රතිපත්ති පිලිබඳ ව්යාජ විවේචන ඉදිරිපත් කරන අතර ම, සියලු විපක්ෂ පක්ෂ IMF කප්පාදු වැඩපිලිවෙලට තම කැපවීම සපථ කර තිබේ. ජවිපෙ ම වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය සමිති නිලධාරි තන්ත්ර, කම්කරු පන්තියේ පුලුල් බලමුලු ගැන්වීමක් වලක්වමින් ආන්ඩුව ආරක්ෂා කරන අතරම, කාර්මික පොලිසියක් ලෙස ක්රියා කර ඇත.
2022 මහජන නැගිටීම කම්කරු පන්තිය සතු දැවැන්ත සමාජ බලය පෙන්නුම් කලේය. කෙසේ වෙතත්, එහි පසුබෑමෙන් උකහා ගත යුතු පාඩම වන්නේ, මහජන ව්යාපාරය ජයග්රහනය කරා ගෙන යාම සඳහා සමාජවාදී ජාත්යන්තරවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ විප්ලවවාදී නායකත්වයක ඇති හදිසි අවශ්යතාවයි.
කම්කරු පන්තිය ධනපති පක්ෂවලින්, ඔවුන්ට සේවය කරන ව්යාජ වාමාංශික ක්ෂමාලාපකයන්ගෙන් සහ වෘත්තීය සමිති නිලධාරි තන්ත්රවලින් ස්වාධීන ව සංවිධානය විය යුතු ය. ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට සහ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කරන ප්රහාරවලට එරෙහි ව සටන් කිරීම සඳහා එය ගම්බද දුප්පතුන් සහ සමාජයේ අනෙකුත් පීඩිත ස්ථර තමන් වටා රැස් කරගත යුතු ය.
කප්පාදු වැඩපිලිවෙලට සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් මර්දනය කිරීමට විරුද්ධ කම්කරුවන්, බුද්ධිමතුන්, තරුනයන් සහ සියලු දෙනාට මෙම රැස්වීමට සහභාගී වී, කම්කරු පන්තිය සහ මහජනතාව ඉදිරියේ ඇති මාවත පිලිබඳ සාකච්ඡාවට එක්වන ලෙස අපි උනුසුම් ලෙස ආරාධනා කරමු.
ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ්රවනාගාරය
දිනය සහ වේලාව: නොවැම්බර් 10 අඟහරුවාදා, පස්වරු 4.00ට
