ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ 4 වන ජාතික සම්මේලනය සඳහා වූ යෝජනාව

ජවිපෙ ආන්ඩුවට සහ ධනවාදයට එරෙහි අරගලයේ දී සසප මුලෝපාය සහ ක්‍රියාමාර්ගය

2026 අගෝස්තු 11 සිට 13 දක්වා කොලඹ දී පැවති සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) සිවු වන සම්මේලනයේ ප්‍රධාන යෝජනාවලියේ පලමු කොටස අපි මෙහි පල කරමු. මෙම යෝජනාවලිය සම්මේලනය විසින් ඒකමතික ව සම්මත කර ගන්නා ලදී. එය කොටස් තුනකින් පල කෙරෙනු ඇත. එහි පලමු කොටස මෙහි පල වේ. මෙය 2026 ඔක්තෝබර් 1 වැනි දා The strategy and program of the SEP in the fight against the JVP government and capitalism යන මැයෙන් ඉංග්‍රීසී බසින් පල විය‍.

01. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මෙම සිව්වන සම්මේලනය පැවැත්වෙන්නේ, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් තල්ලු කරනු ලබන ලෝක යුද්ධයක් සහ පාලක පන්තිය විසින් කප්පාදු හා ඒකාධිපති පාලන ක්‍රම පැනවීමට දරන උත්සාහයන් මගින් සලකුනු වන, ගෝලීය ධනවාදයේ ගැඹුරු වෙමින් පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ය. 

02. යුක්‍රේනයේ දී රුසියාවට එරෙහි ව එක්සත් ජනපදය සහ නේටෝව (NATO) ගෙන යන යුද්ධය, අධිරාජ්‍යවාදීන්ගේ සහාය ඇති ව ඊශ්‍රායලය ගාසා තීරයේ ගෙන යන ජන සංහාරක යුද්ධය සහ චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම තීව්‍ර කිරීම සමග ආබද්ධ වෙමින්, පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල සාපරාධී යුද්ධය, මෙම අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේ ය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී බලමුලු ගැන්වීම මගින් මෙම වර්ධනය වෙමින් පවතින ලෝක යුද්ධය නතර නොකලහොත්, එය සමස්ත පෘථිවිය ම ව්‍යසනයකට ඇද දමනු ඇත.

2026 අප්‍රේල් 7 වැනි දා කොලඹ සසප යුද විරෝධී රැස්වීමකට සහභාගී වූවෝ සාවධාන ව සවන් දෙමින්

03. ඉරානයට එරෙහි යුද්ධයෙන්, ඉරාන ආන්ඩුව පෙරලා දැමීම සහ එහි මිලිටරි බලය හා න්‍යෂ්ටික වැඩපිලිවෙල විනාශ කිරීම යන කිසිදු අරමුනක් සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී පෙර නොවූ විරූ පරාජයක් අත්විඳීමට සිදු ව ඇති බැවින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මුහුන දෙන අර්බුදය තව දුරටත් තීව්‍ර වී ඇත. කෙසේ වෙතත්, ඉරානයට එරෙහි යුද්ධයේ දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මුහුන පා ඇති  මෙම අර්බුදය හේතු කොට ගෙන එහි යුද ප්‍රයත්නයන් ලිහිල් නොකෙරෙයි. 

04. 2025 දී ට්‍රම්ප් පරිපාලනය බලයට පත් වීම, ධනවාදයේ ගෝලීය භූ දේශපාලනික හා ආර්ථික අර්බුදය ප්‍රගාඪ ලෙස තීව්‍ර කර ඇති අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය ඛාදනය වීමට එරෙහි ව එහි මංමුලා සහගත සහ සාහසික ප්‍රතිචාරය සනිටුහන් කරයි. ට්‍රම්ප් පරිපාලනය 2026 නව වසර ආරම්භ කලේ වෙනිසියුලාවේ හමුදා ආක්‍රමනයකින් ජාත්‍යන්තර නීතිය ප්‍රසිද්ධියේ උල්ලංඝනය කර එහි ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීමෙනි. ඉන් මාස දෙකකට පසු, මුලු මැද පෙරදිග ම -ඇත්ත වශයෙන් ම  ලෝකය ම- ගිනි තැබීමට තර්ජනය කරමින් ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සමඟ එක් ව, ඉරානයට එරෙහි ව සාපරාධී සමූල ඝාතන යුද්ධයක් දියත් කලේ ය. 

2026 මාර්තු 2 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ සසප ජාතික කමිටුවේ ප්‍රකාශයෙන් පෙන්වා දුන් පරිදි: “මේ අර්ථයෙන් ගත් කල, ඉරානයට එරෙහි යුද්ධය ගෝලීය ආධිපත්‍යය සඳහා වන යුද්ධයක් වන අතර එය ටෙහෙරානයට පමනක් නොව, බීජිං, මොස්කව් සහ මැද පෙරදිග බලශක්තිය මත යැපෙන යුරෝපීය අගනගරවලට එරෙහි ව බලහත්කාරකම් කිරීමේ මෙවලමක් වොෂින්ටනයට ලබා දේ. ට්‍රම්ප් පරිපාලනය ඉරානයට පමනක් නොව, එහි නාමික සහචරයින්ට ද තර්ජනය කර ඇත—යුරෝපීය භාන්ඩ සඳහා තීරුබදු පැනවීම, ග්‍රීන්ලන්තයට තර්ජනය කිරීම, වෙනිසියුලානු තෙල් පාලනය අත්පත් කර ගැනීම සහ මහා බලවතුන්ගේ තරඟකාරීත්වයේ නැගී එන යුගයේ දී, පෘථිවියේ මූලෝපායික ව වැදගත් වන සෑම කලාපයක් කෙරෙහි ම ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදය තම මිලිටරි ආධිපත්‍යය භාවිතා කිරීමට අරමුනු කරන බව පෙන්වා දී තිබේ.”

05. ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය විසින් අවධාරනය කෙරෙන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් දියත් කරන ලද ව්‍යාපාරයේ හදිසි භාවයයි. 2026 මාර්තු 3 වන දින ඩේවිඩ් නෝර්ත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල ලියූ පරිදි:

“කම්කරු පන්තිය සහ තරුනයින් යුද්ධයෙන් අවශ්‍ය නිගමන උකහා ගත යුතු ය. බියට පත් වීම පමනක් ප්‍රමානවත් නොවේ. භීතියට ඉඩ හලොත්, බෙලහීන කලකිරීමෙන් හෝ පුද්ගල ප්‍රතිරෝධයේ හුදකලා සිද්ධීන්ගෙන්  වෙහෙසට පත්වනු ඇත. අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් මෙහෙයවනු ලබන, අව්‍යාජ විප්ලවවාදී සදාචාරයෙන් පිරිපුන්  සහ පාලක පන්තියේ දුෂ්චරිතයට සෑම අතින් ම විරුද්ධ වන, මහජන කම්කරු පන්ති සමාජවාදී ව්‍යාපාරයක වර්ධනයයි.”

වොෂින්ටනයේ ව්‍යසනය මධ්‍යයේ ටෙහෙරානය සමඟ ඇතිකරගත් දින 60ක ‘සාම ගිවිසුමෙන්’ යුද්ධයේ අවසානය අදහස් නොකෙරෙයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය තම ස්ථානය නැවත ලබා ගැනීම සඳහා නව යුද්ධ සූදානම් කරනු ඇත. ශ්‍රී ලංකාවේ සසප, ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ සමඟ එක් ව, ශ්‍රී ලංකාවේ සහ දකුනු  ආසියාවේ කම්කරුවන්, තරුනයින් සහ පීඩිත ජනතාව අතර ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා මෙම ව්‍යාපාරය වර්ධනය කරමින් සිටී.

06. ගෝලීය පද්ධතියක් ලෙස ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතා අඛන්ඩ ව සහ අපාලිත ව වර්ධනය වීම - ගෝලීයකරනය වූ ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර සහ සමාජීයකරනය වූ නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය අතර - අධිරාජ්‍යවාදයට තම රට තුල පන්ති යුද්ධයකට යොමු වීමටත් විදේශයන්හි කොල්ලකෑමේ යුද්ධය තීව්‍ර කිරීමටත් බල කෙරෙයි.

07. 2026 ජුනි 7 වන දින ප්‍රකාශයට පත් කරන ලද ලෝසවෙඅ කර්තෘ මන්ඩල ප්‍රකාශයේ සඳහන් වූ පරිදි: “අධිරාජ්‍යවාදය යුද්ධයට තල්ලු කරන ප්‍රතිවිරෝධතා ම කම්කරු පන්තිය ද අරගලයට තල්ලු කරයි. පන්ති අරගලයේ වර්ධනය යුද්ධය ඇති කරන එම අර්බුදයෙන් ම පැන නගී. එය අවසන් කල හැකි එක ම සමාජ බලවේගය ද එම අර්බුදය තුලින් ම මතු වෙයි. යුද්ධය සහ සමාජ විප්ලවය එක ම ඓතිහාසික ක්‍රියාවලියක පැති දෙකකි.”

යුද්ධය, කප්පාදුව සහ ආඥාදායකත්වය සඳහා පාලක පන්තියේ පියවරයන් කම්කරු පන්තියේ  වැඩෙන විරෝධයට මුහුන දෙයි. එක්සත් ජනපදය තුල, දශක ගනනාවක් තිස්සේ බලහත්කාරයෙන් පටවන ලද අකර්මන්‍යතාවයෙන් පසු කම්කරු පන්තිය නැවත මතු වෙමින් තිබේ. සෞඛ්‍ය සේවකයින්ගේ මහ වැඩවර්ජන, ගුරුවරුන්ගේ සහ උපාධිධාරී සිසුන්ගේ පුලුල් පා ගමන, ට්‍රම්ප් පරිපාලනයේ කුරිරු සංක්‍රමන විරෝධී මර්දනය සහ මධ්‍යම රජයේ හමුදාවන් විසින් නගරය වාඩි ලා ගැනීමට එරෙහි ව මිනියාපොලිස් හි 100,000 කට අධික ප්‍රබල මහජන විරෝධතා සහ රාජ්‍ය ඝාතන සහ වාඩි ලා ගැනීමට ප්‍රතිචාර වශයෙන් මහ වැඩ වර්ජනයක් සඳහා වූ ව්‍යාපාරයක් ස්වයංසිද්ධ ව පුපුරා යාම. ඒ ආකාරයෙන් ම, යුරෝපයේ සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුලු දකුනු ආසියාවේ කම්කරු අරගල පුපුරා ගොස් ඇත. මෙම වර්ධනය වන පන්ති අරගල, ජාත්‍යන්තර කමිටුව සහ ශ්‍රී ලංකාවේ සසප ඇතුලු එහි ශාඛා විසින් ගොඩනැගීමට සටන් වදින, යුද්ධය, කප්පාදු සහ ආඥාදායකත්වයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර ව්‍යාපාරයක් සඳහා වෛෂයික පදනම සපයා තිබේ.

08. ඉන්දියානු සාගරයේ මූලෝපායික ව පිහිටා ඇති ශ්‍රී ලංකාව, දැනටමත් ගෝලීය භූ-දේශපාලනික සහ ආර්ථික අර්බුදයක සුලි කුනාටුවට ඇද දමා ඇත; එහි අර්බුදය හුදෙක් ජාතික ව පමනක් නොව, ගෝලීය පද්ධතිමය බිඳ වැටීමේ සංකේන්ද්‍රිත ප්‍රකාශනයකි. ශ්‍රී ලංකා අර්බුදයේ විප්ලවීය ඇඟවුම් සහ කම්කරු පන්තියේ මූලෝපායික  කර්තව්‍යයන් අවබෝධ කර ගත හැකි වන්නේ සහ ඒවා සඳහා සටන් කල හැකි වන්නේ - ජාතික රාජ්‍ය පද්ධතියේ බිඳ වැටීම, දිග හැරෙන ලෝක යුද්ධය සහ ජාත්‍යන්තර ව පන්ති අරගලයේ පුනර්ජීවනය - වැනි ගෝලීය ධනේශ්වර අර්බුදයේ මෙම සන්දර්භය තුල  පමනි.

09. ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකත්වයෙන් යුත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව බලයට පත්වීම, කුඩා, නය ගැති, අර්ධ යටත් විජිත රටක මට්ටමින් මෙම ගෝලීය අර්බුදයේ තියුනු ප්‍රකාශනයකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), රාජපක්ෂවරුන්ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොප), එක්සත් ජාතික පක්ෂයේ අංකුරයක් වන සමගි ජන බලවේගය (සජබ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ දෙමල  සහ මුස්ලිම් පක්ෂ  ඇතුලු පාලක ප්‍රභූවේ සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි මහජන කෝපය ගසාකමින්, 2024 අගභාගයේ දී ජවිපෙ/ජාජබ  බලයට පත් විය.

10. 2022 මහජන නැගිටීමෙන් පසු අඛන්ඩ  ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස්  ඉල්ලා අස්වීමට බල කෙරුනු  සහ ඔහුගේ ආන්ඩුව බිඳ වැටුනු තතු තුල හා සාම්ප්‍රදායික පක්ෂවල බිඳ වැටීමේ තත්වයන් යටතේ පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටසක්, ප්‍රධාන බලවතුන්ගේ සහාය ඇති ව, ශ්‍රී ලංකාවේ ධනවාදය ආරක්ෂා කිරීම සඳහා විකල්පය ලෙස කිසිදා බලයේ නොසිටි ජවිපෙ/ජාජබ තෝරා ගත්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් අනුකම්පා විරහිත ව ක්‍රියාවට දැමීමේ  නිශ්චිත කාර්යය හා වැඩ කරන ජනතාවගේ විරෝධය මර්දනය කිරීම සඳහා පාලක පන්තියේ එම කොටස් විසින් ජවිපෙ/ජාජබ බලයට ගෙන එන ලදී.

11. 1960 ගනන්වල අගභාගයේ දී මාඕවාදී-කැස්ත්‍රෝවාදී ගරිල්ලාවාදයේ සහ සිංහල ජනතාවාදයේ සාරසංග්‍රාහ මිශ්‍රනයක් මත පදනම් වූ සුලු ධනේශ්වර රැඩිකල් සංවිධානයක් ලෙස පිහිටුවන ලද ජවිපෙ, දැන් ජාමූඅ හි කප්පාදු නියෝග සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතා ක්‍රියාත්මක කරන ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ තරයේ ම අධිරාජ්‍යවාදී ගැති පක්ෂයක් බවට දශක හයක් මුලුල්ලේ පරිනාමය වී ඇත. ජවිපෙ පරිනාමය ව්‍යතිරේකයක් නොව එහි සුලු ධනේශ්වර පන්ති ස්වභාවයේ සහ දේශපාලනයේ නොවැලැක්විය හැකි ප්‍රතිඵලයකි. අවධි දෙකේ  විප්ලවය පිලිබඳ මාඕවාදී-ස්ටැලින්වාදී න්‍යායට පක්ෂපාතී වෙමින් නොනවතින විප්ලව න්‍යායට විරුද්ධ වූ ජවිපෙ, කම්කරු පන්තියට සහ විශේෂයෙන්, දෙමල වතු කම්කරුවන්ට එරෙහි ව එහි සතුරුකම පෙන්නුම් කලේ ය.  

12. 1905 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් නොනවතින  විප්ලවය ප්‍රථම වරට සූත්‍රගත  කරන ලදු ව, එය 1917 ඔක්තෝබර් විප්ලවයේ දී රුසියානු නිර්ධන පන්තිය ජයග්‍රහනය කරා සාර්ථක ව මෙහෙය වී ය. ශ්‍රී ලංකාව වැනි ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල, ජාතික ධනේශ්වරය ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් - ඉඩම් ප්‍රතිසංස්කරන, ජාතික එක්සත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් - සම්පූර්න කිරීමට ඓන්ද්‍රීය ව අසමත් බව එය ප්‍රකාශ කරයි. සමාජවාදී පියවරයන්ට සමගාමී ව  ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් ඉටු කල හැක්කේ ග්‍රාමීය ගොවි ජනතාවට සහ සෙසු  පීඩිතයින්ට නායකත්වය දෙන කම්කරු පන්තියට පමනි. විප්ලවය, ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන්ගේ සිට සමාජවාදී කර්තව්‍යයන් දක්වා සහ එහි ජාත්‍යන්තර ව්‍යාප්තිය දක්වා අඛන්ඩ ප්‍රගමනය තුල “නොනවතින” සන්තතියක් විය යුතු ය.  මෙය ස්ටැලින්වාදය විසින් පසු ව සම්මත කරන ලද  “ජාතික ප්‍රජාතන්ත්‍රවාදී” අවධිය සම්පූර්න කිරීමේ මුවාවෙන් කම්කරු පන්තිය ධනේශ්වරයට යටත් කරන හා  සමාජවාදී පියවරයන් කිසිදා සිදු නොවන ඈත අනාගතයට කල් දමන මෙන්ෂෙවික් අවධි  දෙකේ න්‍යායට සපුරා විරුද්ධ වේ.

13. ජවිපෙ සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක සිට ජාමූඅ කප්පාදුවේ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සෘජු මෙවලමක් බවට පරිවර්තනය වීම, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සහ එහි අනුප්‍රාප්තිකයා වූ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් දශක හයක් පුරා ගෙන ගිය දේශපාලන හා න්‍යායික අරගලයේ බලගතු සනාථ වීමකි. සියලු සුලු ධනේශ්වර ජාතිකවාදී ප්‍රවනතා, ඒවායේ වාචාලකම කෙතරම් රැඩිකල් වුවත්, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයට ඔවුන් දක්වන සතුරුකම නිසා, අනිවාර්යයෙන් ම ධනේශ්වර පාලනයේ සහ අධිරාජ්‍යවාදයේ මුක්කු බවට පත්වන බව එයින් සනාථ වේ. එබැවින්, ජවිපෙ/ජාජබ ආන්ඩුවට, ධනේශ්වර පාලනයට සහ ලෝක අධිරාජ්‍යවාදයට එරෙහි ව ගම්බද දුගීන් සහ සෙසු පීඩිත ජනතාව බලමුලු ගන්වමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ දී සහ එම අරගලය ජයග්‍රහනය කරා මෙහෙයවීමට අවශ්‍ය විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ දී, විකොස/සසප මෙම අරගලයේ මුලෝපයික සහ ක්‍රියාමාර්ගික පාඩම් අද දවසේ කම්කරුවන්ට සහ තරුනයින්ට තීරනාත්මක වැදගත්කමක් දරයි.

ට්‍රොට්ස්කිවාදය පාවාදීම සහ ජවිපෙ හි සම්භවය

1953 හර්තාලය සමයේ කොලඹ ගාලු මුවදොර පිටියේ පැවති මහජන රැලියක් අමතන ලසසප නායක එන්. එම්. පෙරේරා

14. ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) ට්‍රොට්ස්කිවාදය ඓතිහාසික පාවා දීමෙන් පසු ව, 1965 මැයි මාසයේ දී රෝහන විජේවීර සහ තරුනයින් කුඩා කන්ඩායමක් විසින් ජවිපෙ ආරම්භ කරන ලදී. ලසසප, 1964 දී සිරිමාවෝ බන්ඩාරනායක ගේ ධනපති  ශ්‍රීලනිපය සමඟ සභාග ආන්ඩුවකට  ඇතුලු වූයේ ඇගේ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි ව දැවැන්ත කම්කරු වැඩවර්ජන රැල්ලක් වර්ධනය වෙමින් තිබිය දී ය. පශ්චාත් දෙවන ලෝක යුද්ධ අධිරාජ්‍යවාදී විසඳුමක කොටසක් ලෙස, 1948 දී ඊනියා නිදහසින් පසු ව පිහිටු වන ලද ධනපති  රාජ්‍යයට අනුගත වෙමින් ජාතිකවාදී පාර්ලිමේන්තු මාවත ඔස්සේ ලසසප ඒ වන විටත් දේශපාලනික ව පල්ලම් බැසීම ආරම්භ කර තිබුනි. 

1950 ගනන්වල මුල් භාගයේ දී ට්‍රොට්ස්කිවාදී හතර වන ජාත්‍යන්තරය තුල මතු වූ, මයිකල් පැබ්ලෝ හා සම්බන්ධ සංශෝධනවාදී ධාරාවක් වූ පැබ්ලෝවාදය, ධනේශ්වර ජාතිකවාදයට යටත් වීම ප්‍රවර්ධනය කිරීම සහ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම අතහැර දැමීම මගින්, 1964 පාවා දීමේ දී කූටප්‍රාප්තියට පත් වූ ලසසපයේ ජාතිකවාදී පරිහානියට දේශපාලන පිටුබලය සහ දිරිගැන්වීම ලබා දුන්නේ ය.

15. කම්කරු පන්තිය මත පාදක වූ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම ප්‍රතික්ෂේප කරමින් ස්ටැලින්වාදී නිලධාරිවාදයට සහ පැරනි යටත් විජිත රටවල ධනේශ්වර හා සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට ප්‍රගතිශීලී භූමිකාවක් ආරෝපනය කල හා ට්‍රොට්ස්කිවාදයේ මූලික මූලධර්ම ප්‍රතික්ෂේප කල පැබ්ලෝවාදීන්ගෙන් භේද වී හතරවන ජාත්‍යන්තරයේ සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් විසින් 1953 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටු වන ලදී. සාධර්මික  ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා මෙම සංශෝධනවාදයට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලය , ශ්‍රී ලංකාව තුල  ලසසපයේ පරිහානිය හෙලිදරව් කිරීම සමඟ බැඳී තිබුනි.

16. 1964 ලසසප පාවා දීම, හතර වන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට  විවෘත ව සම්බන්ධ වූ පලමු අවස්ථාව වූ අතර, එමඟින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරය කෙරෙහි කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ පුලුල් ස්ථරයන්ගේ විශ්වාසය බිඳ වැටුනි. ඉන් නිර්මානය කරන ලද දේශපාලන රික්තය, ජවිපෙ  වැනි සුලු ධනේශ්වර ධාරාවන් ශ්‍රී ලංකාව තුල මතු වීමට මග පෑදී ය.

17. ලසසප විසින් සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම පාවා දෙනු ලැබීම, සිංහල ජනතාවාදයට එහි අනුගත වීම සමඟ ද බැඳී තිබුනි. 1964 පාවා දීමට පෙර වසරවල දී ලසසප එක්සත් වාමාංශික පෙරමුනේ හවුල්කරුවන් ලෙස පිලිප් ගුනවර්ධනගේ සිංහල ස්වෝත්තමවාදී මහජන එක්සත් පෙරමුන (මඑපෙ) සමඟ පෙල ගැසුනි. 1964 දී ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාගයට සම්බන්ධ වීමෙන් පසු ව, දෙමල කතා කරන වතු කම්කරුවන්ගෙන් කොටසක් ඉන්දියාවට පිටුවහල් කිරීම සඳහා වූ සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට ලසසපය සහාය දැක්වී ය. එපමනක් නොව, 1970 දී බලයට පත් වූ ශ්‍රීලනිප-ලසසප-කොප දෙවන සභාග ආන්ඩුවේ දී, ලසසප නායකයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා, ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා ලෙස,  සිංහල/බෞද්ධ ආධිපත්‍යය තහවුරු කරමින් සිංහල රාජ්‍ය භාෂාවට අමතර ව බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කල නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කලේ ය.  

18. ලසසප පාවා දීම ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව ප්‍රගාඪ බලපෑමක් ඇති කලේ ය. ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ විවිධ මාඕවාදී ප්‍රවනතා, ට්‍රොට්ස්කිවාදය හෙලා දැකීම සඳහා ලසසප ද්‍රෝහිත්වය ගසා කෑ අතර, ගොවීන් පාදක කරගත් ගරිල්ලාවාදය සහ සුලු ධනේශ්වර වාර්ගික දේශපාලනය ප්‍රවර්ධනය කරමින්, අව්‍යාජ මාක්ස්වාදයේ වියදමින් රැඩිකලීකරනය වූ තරුනයින් අතර බලපෑමක් දිනා ගත්තේ ය.

19. පැරනි ස්ටැලින්වාදී-මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී ගිය කන්ඩායමක් විසින් පිහිටුවන ලද ජවිපෙ දිවයිනේ දකුනේ රැකියා විරහිත ගම්බද සිංහල තරුනයින් අතර ව්‍යාප්ත වීමට සමත් විය. ජවිපෙ පිහිටු වීම, ලසසපයේ පාවාදීම කෙරෙහි දක්ෂිනාංශික සුලු ධනේශ්වර ප්‍රතිචාරයක් විය.  ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදීන් විසින් කරන ලද අරගලය තුල සාධනීය සියලු දේට, විශේෂයෙන් ම, 1942 ලසසප නායකයන් ගේ මූලිකත්වයෙන් ඉන්දු උප මහද්වීපයේ හතර වන ජාත්‍යන්තරයේ ශාඛාව ලෙස පිහිටුවන ලද ඉන්දියාවේ බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පිඅයි) විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සහ ඔවුන්ගේ ඒජන්තයන්ට විරුද්ධ ව සමස්ත දකුනු ආසියාව සඳහා ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලවය මත පාදක වූ දේශපාලන ඉදිරිදර්ශනයක් හා ක්‍රියාමාර්ගයක් ආරක්ෂා කර වර්ධනය කිරීමට කරන ලද අරගලයට විරුද්ධ වීමට ජවිපෙ මෙම පාවා දීම ඩැහැ ගත්තේ ය. බීඑල්පිඅයි, ඉන්දියාවේ (1947) සහ ශ්‍රී ලංකාවේ (1948) ව්‍යාජ නිදහසට සහ යටත් විජිත පාලකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කල ස්ටැලින්වාදීන්ට විරුද්ධ වූ අතර සමාජවාදී ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති මත පදනම් ව, පීඩිත ජනතාව බලමුලුගන්වා ගනිමින්, කලාපයේ කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කලේ ය. කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කල ජවිපෙ, ධනේශ්වර පාලනයට එරෙහි ව කම්කරු පන්තියේ සවිඥානික ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම වෙනුවට “සන්නද්ධ අරගලය” ආදේශ කරමින්, පීඩිත ගොවි තරුනයින් විප්ලවවාදී බලවේගය ලෙස ප්‍රවර්ධනය කලේ ය.   

20. ලසසපය, දකුනේ ගම්බද දුගීන්ට පමනක් නොව, ධනපති පන්තියේ සිංහල ස්වෝත්තමවාදී වෙනස්කම් කිරීමේ පාලනයට මුහුන දුන් පීඩිත දෙමල සුලුතරයට ද, එම පාවා දීම මගින් කම්කරු පන්තියේ නායකත්වය අහිමි කිරීම, දෙමල  ජාතිකවාදී ධනේශ්වර පක්ෂ ශක්තිමත් කල අතර පසු ව 1970 දශකයේ මැද භාගයේ දී උතුරු හා නැගෙනහිර දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊය) බඳු දෙමල බෙදුම්වාදී කන්ඩායම් මතු වීම සඳහා කොන්දේසි නිර්මානය කලේ ය. 

21. එම සුලු-ධනේශ්වර ප්‍රවනතා මතු වීමට ප්‍රතිවිරෝධී ව, ලසසපයේ පාවා දීමට විරුද්ධ වූ දීප්තිමත් තරුන කන්ඩායමක් හජාජාක හි මැදිහත්වීම ඇති ව පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි ව සැබෑ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලය වෙත යොමු වීමට සමත් වූ අතර, 1968 දී එහි ශ්‍රී ලාංකික ශාඛාව ලෙස විකොස පිහිටුවා ගත්තේ ය.

කීර්ති බාලසූරිය

22. සුලු ධනේශ්වර රැඩිකල්වාදයට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලය මත පදනම් වූ, විකොස හි ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයා, ජවිපෙ ප්‍රතිගාමී දේශපාලනයට එරෙහි ව සටන් කිරීමට මූලිකත්වය ගත්තේ ය. 1970 දී ඔහු විසින් රචිත ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන සහ පන්ති ස්වභාවය නම් කෘතිය මෙම දේශපාලන අරගලයේ තීරනාත්මක මැදිහත්වීමක් සනිටුහන් කල අතර ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම් වූ කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය සංරචකයක් විය.

23. කීර්තිගේ විශ්ලේෂනයෙන් ජවිපෙ “මාක්ස්වාදී-ලෙනින්වාදී” පක්ෂයක් බවට කරන ලද වංචනික ප්‍රකාශය හෙලිදරව් කෙරුනි. කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කිරීම සහ එහි ජාතිකවාදී, සුලු ධනේශ්වර දෘෂ්ටිය, ජවිපෙ අනිවාර්යයෙන් ම, ධනේශ්වර කඳවුරට සේන්දු වනු ඇතැයි යන අනාවැකිය පසුගිය දශකවල ජවිපෙ භාවිතයෙන් සනාථ වූ අතර 2024 අවසානයේ එය ආන්ඩු බලය අත්පත් කර ගැනීමෙන් කුලුගැන්වුනි.  

ට්‍රොට්ස්කිවාදී නායකයා විචක්ෂනශීලී ව මෙසේ පැවසී ය: “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් සාක්ෂාත් කර ගත හැක්කේ නිර්ධන පන්ති සමාජවාදී විප්ලවය හරහා පමනක් යන නිගමනය මත පදනම් නොවන ඕනෑ ම නායකත්වයක් අවසානයේ කම්කරු පන්තිය ධනේශ්වරයට යටත් කර එය විනාශකාරී පරාජයන් කරා ගෙන යයි. මෙම නිගමනය ප්‍රතික්ෂේප කරන ජනතා විමුක්ති පෙරමුන ද ධනේශ්වර පන්තියේ උපාංගයක් ලෙස අවසන් වීම නොවැලැක්විය හැකි ය.”

24. මාක්ස්වාදය මුසාකරනය කල ජවිපෙ “දේශන පහ” අතර, ස්වාධීන කම්කරු අරගල “ධනවාදී උපායන්” ලෙස හෙලා දුටු අතර ඉන්දියානු සම්භවයක් සහිත දෙමල කතා කරන වතු කම්කරුවන් වරප්‍රසාද ලත් පිටස්තරයන් සහ “ඉන්දියානු ව්‍යාප්තවාදයේ” කොටසක් ලෙස නිරූපනය කලේ ය.

මෙම ප්‍රතිගාමී දෘෂ්ටියේ ප්‍රතිවිපාක පුරෝකථනය කරමින් බාලසූරිය මෙසේ අනතුරු ඇඟවී ය. “ජනතා විමුක්ති පෙරමුනේ වතු කම්කරු විරෝධය අද නිකම් ම සිංහල ජාතිවාදය ලෙස හැඳින්වීම වැරදි ය. මන්ද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සහ ලාංකික ධනේශ්වරය තම පන්ති වුවමනාකම් මත සිට වතු කම්කරුවන් වැනසීමට යත්න දරන කාලයක ඉස්මතු වන සුලු ධනේශ්වර වතු කම්කරු විරෝධය ඒකාධිකාරී ධනවාදයේ නග්න උපකරනයක් බවට කෙලින් ම පරිවර්තනය වන බැවිනි. මේ ජාතිවාදය ෆැසිස්ට්වාදයට තුඩු දෙන එකක් වන අතර ජනතා විමුක්ති පෙරමුන ලංකාව තුල බිහිකරන්නේ අනාගත ෆැසිස්ට් ව්‍යාපාරක ට හොඳින් උපයෝගී කර ගත හැකි කම්කරු විරෝධී බලවේගයකි.” මෙම අනතුරු ඇඟවීම දශක දෙකක් ඇතුලත තහවුරු විය.

25. 1971 අප්‍රේල් මාසයේ ජවිපෙ ගරිල්ලා නැගිටීම පෙන්නුම් කලේ ට්‍රොට්ස්කිවාදීන් විසින් කල්තියා හෙලිදරව් කරන ලද කම්කරු පන්තිය මඟ හැර ගම්බද සිංහල තරුනයින් බලමුලු ගැන්වීමේ එහි රැඩිකල් සුලු ධනේශ්වර ඉගැන්වීම්වල බංකොලොත්භාවය පමනි. ඉන්දියාවේ මිලිටරි සහාය ඇති ව ශ්‍රීලනිප ප්‍රමුඛ සභාග ආන්ඩුව ජවිපෙ නැගිටීම තලා දැමූ අතර, තරුනයින් දහස් ගනනක් ඝාතනය කර විජේවීර ඇතුලු එහි නායකයින් ද  සාමාජිකයින් සහ ආධාරකරුවන් දහස් ගනනක් ද සිරගත කලේ ය.

26. ජවිපෙ ට එරෙහි රාජ්‍ය දඩයමට සහ 1971 ලේ වැකි මර්දනයට විරුද්ධ වූ විකොස, දේශපාලන සිරකරුවන්ගේ නිදහස උදෙසා බලගතු උද්ඝෝෂනයක නිරත විය. 

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සහ ගම්බද තරුනයින් ආරක්ෂා කිරීමට පෙරමුන ගන්නා ලෙස ඉල්ලා කම්කරුවන් අතර විකොස කල උද්ඝෝෂනය, ගම්බද ජනතාව කම්කරු පන්තිය වටා බලමුලු ගැන්වීමේ  එහි අරගලයේ කොටසක් විය. මෙම ඉල්ලීම 1976 දී ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවට එරෙහි මහ වැඩ වර්ජනයේ දී ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වීම  විකොස උද්ඝෝෂනයේ දේශපාලන බලපෑම පෙන්නුම් කලේ ය.

27. 1977 දී බලයට පත් වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුවට, මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බල කෙරුන අතර ඉන් ජවිපෙට යලි විවෘත දේශපාලනයේ  නිරත වීමට ඉඩ සැලසුනි. ජයවර්ධනගේ ආන්ඩුව රට මුහුන දී සිටි බරපතල ආර්ථික අර්බුදයකට ප්‍රතිචාර වශයෙන් ගෝලීයකරනය වූ ධනේශ්වර පද්ධතියට ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් “විවෘත වෙලඳපොල” ආර්ථික ප්‍රතිපත්ති කරා යොමු වූ අතර, ජවිපෙ හි කම්කරු පන්තියට ඇති සතුරුකම සහ එහි වාර්ගික දේශපාලනය සැලකිල්ලට ගනිමින් ජයවර්ධනගේ අපේක්ෂාව වූයේ ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි කම්කරු පන්තියේ විරෝධය මැඬ පැවැත්වීම සඳහා එය වැදගත් මෙවලමක් ලෙස භාවිතා කිරීමයි. ජවිපෙ හි පසුකාලීන දේශපාලන ගමන් පථය ජයවර්ධනගේ අපේක්ෂාවන් ඉටු කලේ ය.

28. ජයවර්ධන ආන්ඩුව 1980 රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මහ වැඩ වර්ජනය මර්දනය කල අතර, සේවකයින් 100,000 ක් පමන සේවයෙන් පහ කලේ ය.  ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි ව අඛන්ඩ මහජන ප්‍රතිරෝධයක් වර්ධනය වනු ඇතැයි පූර්වාපේක්ෂනය කරමින්, 1983 දී එල්ටීටීඊයට එරෙහි ව වසර 26 ක වාර්ගික යුද්ධයක් ආරම්භ කිරීමට තුඩු දුන් දෙමල විරෝධී වාර්ගික ප්‍රචන්ඩත්වය තීව්‍ර කලේ ය. පාලක ප්‍රභූවේ මෙම මාරුවීම් අනුගමනය කල ජවිපෙ, 1980 වැඩ වර්ජනයට විරුද්ධ වූයේ එය එජාප පාලනය ශක්තිමත් කරන බව ව්‍යාජ ලෙස පවසමිනි. ජවිපෙ හි මෙම හොරිකඩ භූමිකාව සහ එජාප ආන්ඩුවට එරෙහි දේශපාලන ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ප්‍රතික්ෂේප කල ලසසප, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප), නව සම සමාජ පක්ෂය (නසසප) සහ වෘත්තීය සමිති නිලධරය විසින් ඉටු කරන ලද ද්‍රෝහී භූමිකාව, කම්කරු පන්තියට ඓතිහාසික පරාජයක් ඇති කිරීමට ජයවර්ධන ආන්ඩුවට හැකියාව ලබා දුන්නේ ය.

29. 1980 වැඩ වර්ජනය අතරතුර, ජවිපෙ හි හොරිකඩ භූමිකාවට සහ “වාම” පක්ෂවල සහ වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහීත්වයට එරෙහි ව, එජාප ආන්ඩුවට  එරෙහි ව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුල  කම්කරුවන් බලමුලු  ගැන්වීම සඳහා විකොස ධෛර්ය සම්පන්න උද්ඝෝෂනයක්  දියත් කලේ ය.

1983 අගෝස්තු 1 වැනි දින ශ්‍රී ලංකා වේ කොලඹ නගරයේ පිටකොටුව ප්‍රදේශයේ ගිනිබත් කරන ලද දෙමල ව්‍යාපාරික ස්ථාන. වාර්ගික කෝලාහලවලින් දෙමල ජනයා ගේ ව්‍යාපාරික ස්ථා න සහ නිවා ස 1,000 කට වැඩි ප්‍රමානයක් විනාශ විය.[ඒපී ඡා යා රූ ප/ජේ එල්ආර්] [AP Photo/JLR]

30. 1983 දී ජයවර්ධනගේ එජාප ආන්ඩුව විසින් ආරම්භ කරන ලද එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය, 1948 ඊනියා නිදහසේ සිට කොලඹ අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් පුරා සිදු කරන ලද දෙමල විරෝධී වෙනස්කම් කිරීමේ කූටප්‍රාප්තිය විය. ආරම්භයේ සිට ම, සියලු ආන්ඩු, විරුද්ධ පක්ෂවල සහාය ඇති ව, දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය භාවිතා කලේ  කම්කරුවන්ගේ, තරුනයින්ගේ සහ ගම්බද දුගීන්ගේ අරගල මර්දනය කිරීමට සහ කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට ය. වාර්ගික යුද්ධයට සහ එල්ටීටීඊයේ බෙදුම්වාදී වැඩපිලිවෙලට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් ව, කම්කරු පන්තිය වාර්ගික බෙදීම් ඉක්මවා එක්සත් කිරීමට විකොස/සසප වසර 26ක යුද්ධය පුරා, තනි ව සටන් වැදුනි. 

31. “මව්බිම” ආරක්ෂා කිරීමේ ධජය යටතේ ජවිපෙ එල්ටීටීඊයට එරෙහි වාර්ගික යුද්ධයට මුලුමනින් ම සහාය දුන්නේ ය. 1985 දී, ජවිපෙ නායක විජේවීර, පක්ෂයේ මධ්‍යම කාරක සභාව අමතමින් කල කතාවක දී, එල්ටීටීඊය, ශ්‍රී ලංකාවට එරෙහි ව ඉන්දියාව විසින් සිදු කරන ලද යුග පැරනි චෝල ආක්‍රමනයේ කොටසක් ලෙස හංවඩු ගැසී ය. පසු ව, විජේවීරගේ මෙම කතාව, දෙමල ඊලාම් අරගලයට විසඳුම කුමක් ද? මැයෙන් පොතක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනි.  

1987 ජූලි මාසයේ දී, එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන විසින් අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුම හරහා ඉන්දියාව මැදිහත් වූ විට, ජවිපෙ “මව්බිම ආරක්ෂා කිරීමේ” ව්‍යාපාරය ඊටත් වඩා අශෝභන හැරීමක් ගත්තේ ය. ගිවිසුමේ  අරමුන වූයේ  ඉන්දියාවේ දකුනු  ප්‍රාන්තයක් වන තමිල්නාඩුවට යුද්ධයේ බලපෑම සීමා කිරීම, එහි දේශපාලන අස්ථාවරත්වයක් නිර්මානය වීම වැලැක්වීම සහ දිවයිනේ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා දෙමල ප්‍රභූවට යම් යම් සහන ලබා දෙන අතරතුර, එල්ටීටීඊය නිරායුධ කිරීමෙන් යුද්ධය අවසන් කිරීමයි. 

32. 1987-89 කාලය තුල, කම්කරු පන්තියට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව යොමු වූ ෆැසිස්ට් ව්‍යාපාරයක් බවට ජවිපෙ පරිනාමය විය. ඉන්දු-ලංකා ගිවිසුමට සහ ඉන්දියානු හමුදා මැදිහත් වීමට දකුනෙන් විරුද්ධ වූ ජවිපෙ, එය “මව්බිම බෙදන” බවට චෝදනා කරමින්, තම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා ධනේශ්වර රාජ්‍යය නොව; කම්කරුවන්, වාමාංශිකයන් සහ වෘත්තීය සමිති සටන්කාමීන් ඉලක්ක කර ගත් ඝාතක කල්ලි ජාලයක් ලෙස ක්‍රියාත්මක වූ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් දියත් කලේ ය. ජවිපෙ හි මිනීමරු ෆැසිස්ට්වාදී ව්‍යාපාරය එජාප ආන්ඩුව සහ එහි හමුදාව සමඟ සමීප ව ක්‍රියාත්මක වූ අතර, විශේෂයෙන්, එවකට අගමැති වූ සහ පසු ව ජනාධිපති වූ එජාප  නායක ආර්. ප්‍රේමදාස සමඟ ජවිපෙ සමීප සහයෝගයෙන් කටයුතු කලේ ය.

33. ජවිපෙ ස්වෝත්තමවාදී-ෆැසිස්ට්වාදී ව්‍යාපාරයට ද, ගිවිසුමට සහාය දීම සඳහා ජයවර්ධන සමග පෙල ගැසුනු ලසසප, ස්ටැලින්වාදී කොප සහ පැබ්ලෝවාදී නසසප ඇතුලු කඳවුරට ද එරෙහි ව කම්කරු පන්ති ජාත්‍යන්තරවාදයේ පදනම මත ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වීමේ දී විකොස, අන් සියල්ලන්ට ම වෙනස් වූ ස්ථාවරයක් ගත්තේ ය. ගිවිසුමට සහ ඉන්දියානු මිලිටරි මැදිහත් වීමට එරෙහි ව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරු පන්තිය එක්සත් කිරීමට විකොස සටන් වැදුනි. 

1987 නොවැම්බර් මාසයේ දී “ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කර්තව්‍යයන්” යන මැයෙන් නිකුත් කරන ලද හජාජාක ප්‍රකාශය, නොනවතින විප්ලවයේ න්‍යාය මත තිරසර ව  පදනම් වූ අතර, දිවයිනේ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සාක්ෂාත් කර ගත හැක්කේ, වාර්ගික රේඛා කපා ගෙන, සමාජවාදය සඳහා සිංහල සහ දෙමල කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් හරහා පමනක් බව අවධාරනය  කලේ  ය. එය ප්‍රථම වරට ශ්‍රී ලංකා සහ ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා ඉල්ලීම මතු කලේ ය.

ඉන්දු-ලංකා ගිවිසුම ජාතික ධනේශ්වරයේ දුෂ්ට ස්වභාවය හෙලිදරව් කරන ආකාරය එම ප්‍රකාශයෙන් පෙන්වා දෙන ලදී:

“මෙම සියවසේ අසංඛ්‍ය ඛේදජනක අත්දැකීම් මගින් පසුගාමී රටවල ජාතික ධනේශ්වරයේ ද්‍රෝහී සහ ප්‍රතිගාමී ස්වභාවය දැනටමත් ප්‍රමානවත් ලෙස පෙන්නුම් කර නොමැති නම් - සැබැවින්ම මෙය විය නොහැකි දෙයකි - ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීම සහ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත් ඉන්දියාව ආක්‍රමනය කිරීම පීඩිත වැඩ කරන ජනතාවට තවත් කටුක පාඩමක් සපයයි. … ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ධනේශ්වරයට තම රටවල් දෙකේ අනාගතයේ දී කිසියම් ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බවට වූ මිථ්‍යාවේ ඉතිරි ව ඇති සියල්ල ජයවර්ධන සහ ගාන්ධිගේ ප්‍රතිපත්ති මගින් බිඳ දමා ඇත.” 

එල්ටීටීඊය ඉන්දියානු ධනේශ්වරයට යටත් වීම හරහා සුලු ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත්භාවය හෙලිදරව් වූ ආකාරය පැහැදිලි කරමින් ප්‍රකාශයේ මෙසේ සඳහන් විය:

“මෙම නව ත ම ඓතිහාසික අත්දැකීම, ජාතික ස්වයං නිර්නය සාක්ෂාත් කිරීමේ ලා ඔවුනගේ නොහැකියාව තුල, සුලු ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කර ඇත. ඓතිහාසික අර්බුදකාරී කාලයන්හි දී, සමස්ත ජනතාවගේ ඉරනම අනතුරේ පවත්නා මොහොතක, හැඟීම්බරභාවයට ඉඩක් නොමැත. එල්ටීටීඊයේ ඉරනම කෙරෙහි සානුකම්පීභාවය සහ එහි සටන්කරුවන්ගේ ඉරනම පිලිබඳ කනස්සල්ල, කිව යුතු දේ නොකියා සිටීම සඳහා නිදහසට කරුනක් නොවේ: 1987 ජූලි 29 වන දින සිට ජාතික අරගලය අත්විඳ ඇති බරපතල පසුබෑම් සඳහා විමුක්ති කොටින්ගේ ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් වගකිව යුතුය.”  

ජාතික ධනේශ්වරයේ ප්‍රතිගාමී ස්වභාවයෙන් සහ සුලු ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත්භාවයෙන් දේශපාලන නිගමන උකහා ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් කම්කරු පන්තිය මත පැවරෙන බව ජාත්‍යන්තර කමිටුව පෙන්වා දුන්නේ ය. “නිර්ධන පන්තිය විසින් මෙහෙයවනු ලබන සහ එම පංතියේ ඒකාධිපතිත්වය ස්ථාපිත කෙරෙන, සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙස, සියලු පීඩිත ජනයාට ඔවුන්ගේ යුක්තියුක්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කිරීම සාක්ෂාත් කෙරෙනු ලැබේ” යනුවෙන් ප්‍රකාශය එය පැහැදිලි කර ඇත. ජාතීන්ගේ සැබෑ සමානාත්මතාවය සඳහා රාමුවක් ලෙස, එය ස්වේච්ඡාවෙන් එක්සත් සමාජවාදී සමුහාන්ඩුවක් නිර්මානය කිරීමට යෝජනා කරයි.”

34. ජවිපෙ ෆැසිස්ට් ව්‍යාපාරයේ කොටසක් ලෙස, විකොස සාමාජිකයින් තිදෙනෙක් - 1988 නොවැම්බර් මාසයේ දී ගුරුවරයෙකු වූ ආර්.ඒ. පිටවෙල; එම වසරෙහි ම දෙසැම්බර් මාසයේ දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේවකයෙකු වූ පී.එච්. ගුනපාල; සහ 1989 ජුනි මාසයේ දී හලාවත තරුනයෙකු වූ ග්‍රේෂන් ගීකියනගේ - ඝාතනය කරන ලදහ. වාර්ගික රේඛා කපා ගෙන කම්කරු පන්තිය එක්සත් කිරීමේ පදනම මත ඉන්දීය හමුදා යෙදවීම සහ ශ්‍රී ලංකා යුද්ධය යන දෙකට ම විරුද්ධ ව දකුනු  ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා සටන් කල බැවින්, ජවිපෙ, විකොස ඉලක්ක කලේ ය.

35. විකොස, හජාජාක හි සහාය ඇති ව, එජාපය විසින් මුදා හරින ලද රාජ්‍ය භීෂනයට මෙන් ම, ජවිපෙ හි ෆැසිස්ට් ප්‍රහාරවලට එරෙහි ව කම්කරු සංවිධානවල එක්සත් පෙරමුනක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර උද්ඝෝෂනයක් ද දියත් කලේ ය. මෙය කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමේ සහ ලසසප, ස්ටැලින්වාදී කොප, අවස්ථාවාදී නසසප සහ වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහී ක්‍රියා හෙලිදරව් කිරීමේ අරගලයේ  කොටසක් විය. එක්සත් පෙරමුනක් සඳහා වූ විකොස ඉල්ලීම ප්‍රතික්ෂේප කල ඔවුහු, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු  ගැන්වීමට විරුද්ධ වෙමින්, ජවිපෙ ෆැසිස්ට් භීෂනයට මුහුන දීම සඳහා එජාප ආන්ඩුව විසින් සපයන ලද ආයුධ පිලිගනිමින් ධනේශ්වර රාජ්‍යය දිසාවට හැරී ගත්හ. මෙයින් හෙලිදරව් වූයේ මෙම පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන් ධනේශ්වර රාජ්‍යයට දේශපාලනික ව යටත් වීමයි. 

36. විශේෂයෙන් ජනාධිපති ප්‍රේමදාස යටතේ එජාප ආන්ඩුව, ධනේශ්වර පාලනය ස්ථාවර කිරීම හා වර්ධනය වන ගම්බද නොසන්සුන්තාව මැඬ පැවැත්වීම සඳහා ජවිපෙ භාවිතා කිරීමේ අරමුන ඇති ව එය සමඟ ගිවිසුමකට එලඹීමට උත්සාහ කලේ ය. එහෙත්, ජවිපෙට එම කාර්යය කල නොහැකි බව වටහා ගත් ප්‍රේමදාස ආන්ඩුව 1989 නොවැම්බර් මාසයේ දී ගම්බද තරුනයින්ට එරෙහි ව ලේ වැකි මර්දනයක් සමඟින් ජවිපෙට එරෙහි ව හැරීමට  තීරනය කලේ ය. ගම්බද  තරුන නොසන්සුන්තාව මැඬ පැවැත්වීම සඳහා එජාප ආන්ඩුව අනුකම්පා විරහිත ව රාජ්‍ය භීෂනය මුදා හැරිය අතර, එය අවසන් කෙරුනේ විශේෂයෙන්, ගම්බද ප්‍රදේශවල තරුනයින් 60,000 ක් ඝාතනය කිරීමෙන් සහ ජවිපෙ සමූල ඝාතනය කිරීමෙනි. 1990 නොවැම්බර් මාසයේ දී විකොස ගම්බද ඝාතන නතර කරනු! යනුවෙන් කැඳවුමක්  නිකුත් කල අතර, ජාත්‍යන්තර කමිටුවේ සහයෝගය ඇති ව, ගම්බද තරුනයින්ට එරෙහි මෙම ලේවැකි මර්දනයට විරුද්ධ ව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ උද්ඝෝෂනයක් සංවිධානය කලේ ය.

37. ප්‍රතිසංවිධානය කරන ලද ජවිපෙ 1994 දී නැවත දේශපාලනයට පිවිසීම තවත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කෙරුනි. ගැඹුරු දේශපාලන අර්බුදයක් සහ එජාපයේ  17 වසරක පාලනය බිඳ වැටීම මධ්‍යයේ, පාලක ප්‍රභූව ආරක්ෂක කපාටයක් ලෙස ජවිපෙ පුනරුත්ථාපනය කිරීමට තීරනය කලේ ය. පාලක පන්තිය එය නැවත ප්‍රධාන දේශපාලන ධාරාවට ගෙන ඒමට ගත් තීරනයට මූලික වූයේ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට එහි ඝෝෂාකාරී  සහයෝගයෙන් සහ කම්කරු පන්තියට එරෙහි එහි ෆැසිස්ට් මිනීමරු ප්‍රහාරවලින් ප්‍රකාශිත වූ කම්කරු පන්ති විරෝධී ස්වභාවයෙන් පැහැදිලි ව පෙන්නුම් කල පරිදි, ධනේශ්වර ඒකීය රාජ්‍යයේ දැඩි ආරක්ෂකයෙකු ලෙස ජවිපෙ ඉටු කල අතීත භූමිකාවයි. “සමාජවාදී” සහ “මාක්ස්වාදී” වාක්‍යාංශ භාවිතා කිරීම දිගට ම කර ගෙන යන අතර ම, ජවිපෙ නායකත්වය පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසෙමින්  කොලඹ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ විය.

38. මෙම දක්ෂිනාංශික හැරීම පිලිබිඹු කලේ 1980 ගනන්වල ආරම්භ වූ ගෝලීයකරන ක්‍රියාවලියට සහ විශේෂයෙන්, 1991 දී සෝවියට් සංගමය සහ එම කාලය තුල ම නැගෙනහිර යුරෝපයේ එහි අනුචර ස්ටැලින්වාදී නිලධාරිවාදී පාලන තන්ත්‍රයන් විසිරුවා හැරීමට ජවිපෙ හි අනුගත වීමයි. මෙම අනුගත වීම, තම ගරිල්ලා ඇඳුම් සහ AK-47 රයිෆල් පාර්ලිමේන්තු ඇඳුම් වලට හුවමාරු කර ගත් නිකරගුවාවේ සැන්දිනිස්තා ව්‍යාපාරය සහ දකුනු අප්‍රිකානු ඒඑන්සීය තුල ද දක්නට ලැබුනු ජාත්‍යන්තර වර්ධනයන්ගේ කොටසකි. 

39. මහජනතාව රැවටීම සඳහා මාක්ස්වාදී හෝ සමාජවාදී වාචාල කතා දිගට ම ප්‍රචාරය කරන අතරතුර, ජවිපෙ යල් පැන ගිය “වාදයන්” අතහැර දමන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ආයෝජකයින්ට සහ මහ ව්‍යාපාරිකයන්ට හිතකර ආර්ථික ප්‍රතිපත්තිවලට අනුගත විය. 1990 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේ දී, එය ශ්‍රීලනිප ආන්ඩුවලට සහාය දුන් අතර 2004 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ශ්‍රීලනිප සභාග ආන්ඩුවට නිල වශයෙන් සම්බන්ධ විය. දිසානායක ඇතුලු ජවිපෙ  ප්‍රමුඛ නායකයෝ සිවු දෙනෙක් වසරක පමන  කාලයක් එහි අමාත්‍ය ධුර දැරූහ. 

40. සිංහල, දෙමල සහ මුස්ලිම් ප්‍රභූන් අතර සීමිත බලය බෙදා ගැනීමේ සාකච්ඡාමය විසඳුමක් සඳහා වන ඕනෑ ම උත්සාහයකට සිංහල ස්වෝත්තමවාදයේ දෘෂ්ටි කෝනයෙන් දැඩි ලෙස විරුද්ධ වූ ජවිපෙ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට සිය දැඩි සහයෝගය දිගට ම ලබා දුනි. ජවිපෙ විසින් ම නැවත නැවතත් පුරසාරම් දොඩන පරිදි, 2005 දී බලයට පත් වූ ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) ජනාධිපති මහින්ද රාජපක්ෂ 2006 දී යුද්ධය නැවත ආරම්භ කිරීමට පොලඹවන ලැබුවේ ඔවුන් විසිනි.

41. ජවිපෙ ධනේශ්වර සංස්ථාපිතයට ඒකාබද්ධ වීමත් සමඟ, ජෝර්ජ් බුෂ්ගේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සඳහා  ප්‍රසිද්ධියේ සහයෝගය දීම සහ ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපදයේ සහාය ඉල්ලා සිටීම ඇතුලු ව, අධිරාජ්‍යවාදී බලවතුන්, විශේෂයෙන් එක්සත් ජනපදය දෙසට වේගවත් හැරීමක් සිදු විය. 2002 ජනවාරි 31 වන දින “ශ්‍රී ලාංකික පක්ෂ ඇෆ්ගනිස්ථානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයට සහාය දක්වයි” යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කල ලිපියක, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ ජවිපෙ පෙල ගැසී ඇති ආකාරය හෙලිදරව් කරමින් මෙසේ සඳහන් කලේ ය: “ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයට සිය සහාය පල කිරීමේ දී, ජවිපෙ ප්‍රකාශයට පත් කලේ, එල්ටීටීඊයට එරෙහි ව එක්සත් ජනපද මිලිටරි සහාය බලාපොරොත්තු වන මිලටිරියේ, රාජ්‍ය නිලධරයේ හා ව්‍යාපාරික කොටස්වල අදහස් ය'. පක්ෂ නිවේදනය සඳහන් කරන පරිදි: 'රටේ ඒකීය භාවය රැකගැනීම හා බෙදුම්වාදය පරාජය කිරීම පිනිස වත්මන් ලෝක තත්වය යොදා ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික විචක්ෂනභාවයක් අපට අවශ්‍ය ය.'

42. ප්‍රධාන දෙමල බෙදුම්වාදී සංවිධානය වූ එල්ටීටීඊය, බොහෝ ආකාරවලින් ජවිපෙට සමාන පරිනාමයකට භාජනය විය. එය සන්නද්ධ අරගලය ප්‍රවර්ධනය කල අතර, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු  ගැන්වීම සහ එකමුතුව ප්‍රතික්ෂේප කල  අතර, දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ මාධ්‍යයක් ලෙස වෙන ම දෙමල රාජ්‍යයක් පිහිටුවීම ඉදිරිපත් කලේ ය. කෙසේ වෙතත්, සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් ලෙස, අධිරාජ්‍යවාදයෙන් හෝ ඉන්දියානු ධනේශ්වරයෙන් දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගැනීමට එයට නොහැකි විය. මෙය මුල දී ඉන්දු-ලංකා ගිවිසුම පිලිගැනීමෙන් සහ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ව, කොලඹ පාලනයේ වර්ගවාදී  යුද්ධයට එම බලවතුන් සහාය දුන් විට පවා, තම බෙදුම්වාදී න්‍යාය පත්‍රයට සහාය දෙන ලෙස අධිරාජ්‍යවාදී බලවතුන්ට  වඩ  වඩා ආයාචනා කිරීමෙන් පෙන්නුම් කෙරිනි. 2009 මැයි මාසයේ දී එල්ටීටීඊයේ මිලිටරි පරාජය හුදෙක් යුද පිටියේ පසුබෑමක් නොව එහි ඓතිහාසික ව බංකොලොත් ධනේශ්වර ජාතිකවාදී සහ බෙදුම්වාදී ඉදිරිදර්ශනයේ තාර්කික ප්‍රතිඵලයකි. වර්ගවාදී යුද්ධයේ වසර විසි පහකට වැඩි කාලයක් පැවති කටුක අත්දැකීම, එහි ලේ වැකි අවසානයෙන් කුලුගැන් වී, විකොස/සසප සටන් වැදුනු  නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය  බලගතු ලෙස සනාථ කෙරුනි. දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කල  හැක්කේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමුහාන්ඩු සංගමයක  කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා වන අරගලය තුල ගම්බද දුගීන් රැලි කර ගත් කම්කරු පන්තියේ-සිංහල, දෙමල සහ මුස්ලිම්- එක්සත් හා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක්  බලමුලු  ගැන්වීමෙන් පමනි. 

43. 2015 දී, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කර මෛත්‍රීපාල සිරිසේන “යහපාලනය” යන ධජය යටතේ බලයට පත් කිරීමේ උද්ඝෝෂනයේ දී  ජවිපෙ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කල අතර, එය සැබවින් ම  චීනයට එරෙහි ව එක්සත් ජනපදයට පක්ෂ ව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ දිශානතිය වෙනස් කිරීම අරමුනු  කර ගත් වොෂින්ටනයේ අනුග්‍රහය ලත් පාලන තන්ත්‍ර මාරු කිරීමේ  මෙහෙයුමකි. එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති කුමාරතුංග මෙම මෙහෙයුමට මූලික වූහ. ඊලඟ  වසර හතර තුල ජවිපෙ නායකත්වය මෙම ඇමරිකානු ගැති ප්‍රභූ පැලැන්තිය සහ “සිවිල් සමාජය” ලෙස වෙස් වලාගත් ශාස්ත්‍රාලිකයන් ඇතුලු වරප්‍රසාද ලත් මධ්‍යම පන්තික ස්ථර සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කලේ ය.

44. ජවිපෙ ජාතික ජන බලවේගය ලෙස නැවත නම් කිරීම සංවිධානයේ දශක හයක ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේ ය. 2019 නොවැම්බර් මාසයේ දී ප්‍රසිද්ධියේ දියත් කරන ලද මෙම නව පෙරමුන, දිසානායකගේ නායකත්වයෙන් යුත් ජවිපෙ නායකත්වය විසින් ඉහල මධ්‍යම පන්තික ස්ථර, ප්‍රභූ කොටස් සහ මහ ව්‍යාපාරිකයන් සමඟ එක් ව ප්‍රවේශමෙන් සකස් කරන ලද ආරම්භකත්වයක් විය. සාම්ප්‍රදායික පක්ෂ වන එජාප සහ ශ්‍රීලනිප කෑලි වලට බිඳී ගොස් ජනතාව විසින් පුලුල් ලෙස හෙලා දකින ලද බැවින්, ජාතික විද්වත් සභාව ආරම්භ කරමින්, බලය ලබා ගැනීම සඳහා නැවත සන්නාමගත කරන ලද පක්ෂයක් සූදානම් කිරීමේ උත්සාහයට විද්වතුන්, වෘත්තිකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ඇතුලත් කර ගැනීමට ජවිපෙ කටයුතු කලේ ය. 

45. මේ අවස්ථාවේ දී, පාලක ප්‍රභූවේ කොටස්, දේශපාලනික ව සවිඥානික ඉහල මධ්‍යම පන්තියේ ස්ථර සමඟ, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම ඵලදායී ලෙස අවහිර කල හැකි විකල්පයක් සොයමින් සිටියහ. පැහැදිලි ව ම පෙනෙන පරිදි සම්ප්‍රදායික පක්ෂ කප්පාදු පියවර සහ වඩ වඩාත් ඒකාධිපති පාලනය කෙරෙහි වැඩෙන මහජන කෝපය පාලනය කිරීමට අසමත් වූහ. 

2024 ඔක්තෝබර් 20 වන දින සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන තීරුවකින් 2019 මුල් භාගයේ දී ජවිපෙ නායක දිසානායක සමඟ කෙරුන පෞද්ගලික සංවාදයක් හෙලිදරව් කරන ලදී. එහි මෙසේ සඳහන් විය: “එජාප ප්‍රබලයෙකු ... යෝජනාවක් ඉදිරිපත් කලේ ය. ... ජවිපෙ අනන්‍යතාවය රඳවා ගනිමින් පක්ෂය නැවත සන්නාමගත කිරීමට ... ඔහු පැවසුවේ නව මුහුනුවරක්  දේශීය ව සහ බාහිර ලෝකයට ආකර්ශනීය වනු ඇති බවයි.” එය “ප්‍රචන්ඩකාරී සිදුවීම්  සම්බන්ධ ජවිපෙ පෙර වාර්තාව පිලිබඳ විවේචන පසෙකට දමනු ඇත.”

46. ධනේශ්වර පාලනයට පෙර නොවූ විරූ දේශපාලන අර්බුදයක් නිර්මානය කල 2022 මහජන නැගිටීම පීලි පැන්නවීම සහ යටපත් කිරීම සඳහා ජවිපෙ/ජාජබ නායකත්වය ඉටු කල කේන්ද්‍රීය දේශපාලන භූමිකාව එය ශ්‍රී ලංකාවේ ධනවාදයේ සුදුසු ආරක්ෂකයෙකු ලෙස ප්‍රභූ පැලැන්තිය, මහ ව්‍යාපාරිකය සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් පිලිගැනීමට ප්‍රධාන සාධකයක් විය. ධනේශ්වර මාධ්‍ය සහ බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම නැවත සන්නාමකරනය සැලකුවේ ජවිපෙ එහි පෙර අධිරාජ්‍ය විරෝධී වාචාලකම අතහැර දමා ඇති බවට සාක්ෂියක් ලෙස ය. “ත්‍රිවිධ හමුදා සාමූහිකය” පිහිටුවීම වැනි මුලපිරීම් හරහා, හිටපු  හමුදා  සාමාජිකයින් විනයගරුක සමාජ බලවේගයක් ලෙස ඉදිරිපත් කරමින්, පක්ෂ නායකත්වය, ඒකාධිපති ක්‍රමවේදයන් මත සංස්ථාපිතයේ වර්ධනය වන විශ්වාසයට සපුරා අනුකූල වූ හමුදා සහාය වර්ධනය කිරීම දෙසට හැරීමක් සංඥා කලේ ය.

මතු සම්බන්ධයි...

Loading