[මෙය Sri Lanka’s new anti-terror law grants sweeping state powers to suppress social dissent මැයෙන් 2026 ඔක්තෝබර් 12 වැනි දා ඉංග්රීසි බසින් පල විය.]
අධිකරන සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂන නානායක්කාර, 1979 දී හඳුන්වා දුන් ත්රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ආදේශ කිරීමට නියමිත “රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ” පනත් කෙටුම්පත ඔක්තෝබර් 6 වැනි දා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) , ආන්ඩුව විසින් රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ මර්දනකාරී කුප්රකට ත්රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරනයක් ලෙසයි. එහෙත්, යෝජිත නව නීතිය පැරනි පනතේ මර්දනකාරී ලක්ෂන එ ලෙසින් ම, රඳවා ගන්නා අතර, සමාජ හා දේශපාලන විරෝධතා මර්දනය කිරීම සඳහා විධායකයට සහ හමුදාවට පුලුල් බලතල පවරයි. ඇතැම් අංශවලින් මෙම බලතල දැනට පවතින නීතියෙන් ඔබ්බට ද විහිදෙයි.
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් 1979 දී හඳුන්වා දෙන ලද ත්රස්තවාදය වැලැක්වීමේ පනත මුලින් ම ඉලක්ක කලේ බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ඇතුලු දෙමල සන්නද්ධ සංවිධානයන් ය. 1983 දී වාර්ගික යුද්ධය පුපුරා යාමෙන් පසු එය දෙමල ජනතාවට එරෙහි මර්දනයේ ප්රධාන මෙවලමක් බවට පත් විය. 1988–90 කාලයේ පැවති නොසන්සුන්තාව අතරතුර ජවිපෙ සාමාජිකයන්ට සහ ගම්බද තරුනයන්ට එරෙහි ව ද, වෙනත් දේශපාලන විරුද්ධවාදීන්ට සහ කම්කරු අරගලවලට එරෙහි ව ද මෙම පනත භාවිතා කරන ලදී.
අනුප්රාප්තික ආන්ඩු ත්රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වූ නමුත්, එය දිගට ම පවත්වාගෙන ගියේ ය. 2024 මැතිවරනයේ දී ජවිපෙ/ජාජබ සිය ප්රතිපත්ති ප්රකාශනයෙන් “ත්රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු සියලු මර්දනකාරී පනත් අහෝසි කිරීම” සඳහා ප්රතිඥා දුන්නේ ය. එහෙත්, අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 23 වැනි දා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු, අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ජවිපෙ/ජාජබ ආන්ඩුව 2025 මුල් භාගයේ දී රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීම ආරම්භ කල අතර, එහි පලමු කෙටුම්පත එම වසරේ දෙසැම්බර් මාසයේ දී ප්රකාශයට පත් කලේ ය. එම කෙටුම්පතට එරෙහි ව පුලුල් විරෝධයක් මතු වීමෙන් පසු, එය සංශෝධනය කිරීම සඳහා “විශේෂඥ කමිටුවක්” පත් කරන ලදී. එහි ප්රතිඵලයක් ලෙස ඇතැම් වගන්ති ඉවත් කල ද, පනත් කෙටුම්පතේ මර්දනකාරී අන්තර්ගතය එ ලෙස ම පවතී.
විශේෂඥ කමිටුවේ සේවය කල ශ්රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස්, ඔක්තෝබර් 7 වැනි දා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පනත් කෙටුම්පතේ අඩංගු රඳවා තබා ගැනීමේ සීමාවන් සහ මහේස්ත්රාත්වරුන්ට ඇප ලබාදීමට ඇති බලතල සම්බන්ධයෙන්, කමිටුව සමඟ ඇති කරගත් එකඟතාවලින් “බරපතල අපගමනයන්” පවතින බව හෙලි කලේ ය. විදේශ කටයුතු අමාත්ය විජිත හේරත්, කමිටුවේ වාර්තාව පසෙකට දැමූ බව පිලිගත්තේ ය. එහෙත්, එසේ කිරීමට හේතුව ඔහු පැහැදිලි කලේ නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලය, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් සහ වධ හිංසාවට එරෙහි ලෝක සංවිධානය ඇතුලු ජාත්යන්තර සංවිධාන කිහිපයක් ම පනත් කෙටුම්පත විවේචනය කර ඇත. ත්රස්තවාදය පිලිබඳ එහි අපැහැදිලි අර්ථ දැක්වීම, දිගු කාලයක් රඳවා තබා ගැනීමේ විධිවිධාන සම්පාදනය, අත්අඩංගුවට ගැනීමේ බලතල හමුදාවට පැවරීම සහ ප්රමානවත් අධිකරනමය ආරක්ෂාවන් නොමැති වීම හේතුවෙන්, ත්රස්තවාදය වැලැක්වීමේ පනත බලපැවැත් වූ යුගයේ පැවති අවභාවිතාවන් යලි සිදුවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති. එ මගින් සුලුතර ජනවර්ගවලට අයත් පුද්ගලයන්, මාධ්යවේදීන්, ක්රියාකාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට, වධ හිංසා පැමිනවීමට සහ මර්දනයට ලක් කිරීමට ඉඩ සැලසෙයි.
විරෝධතා මර්දනය කිරීම ඉලක්ක කරගත් ත්රස්තවාදය පිලිබඳ අර්ථ දැක්වීමක්
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ 3(1) වගන්තියට අනුව , “දේශපාලනික හෝ මතවාදී අරමුනක් ඉදිරියට ගෙන යාම සඳහා” ආන්ඩුවකට හෝ ජාත්යන්තර සංවිධානයකට ක්රියා කිරීමට හෝ ක්රියා කිරීමෙන් වැලකී සිටීමට “අයුතු ලෙස” බලපෑම් කිරීමේ අරමුනින් සිදුකරන ක්රියා ද ත්රස්තවාදයට ඇතුලත් වෙයි.
ඊලඟ වගන්තිය මගින්, ත්රස්තවාදී ක්රියාවලින් සිදුවන හානි පිලිබඳ පුලුල් අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරයි. මරනයට පත් කිරීම, තුවාල සිදු කිරීම සහ ප්රාන ඇපයට ගැනීම මෙන් ම, පොදු දේපල, ප්රවාහන පද්ධති, “ඕනෑ ම යටිතල පහසුකමක්”, මහජන සෞඛ්යය සහ ඉලෙක්ට්රොනික පද්ධතිවලට බරපතල හානි සිදු කිරීම ද ඊට ඇතුලත් වේ. හානි පිලිබඳ මෙම අර්ථ දැක්වීමට “සැලකිය යුතු ආර්ථික පාඩුවක්” සිදු කිරීම ද ඇතුලත් කර ඇත.
3(4) වගන්තියට අනුව, විරෝධතා දැක්වීමක්, අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමක්, විසම්මුතිය ප්රකාශ කිරීමක් හෝ කාර්මික ක්රියාමාර්ගයක් හේතුවෙන් ත්රස්තවාදී ක්රියාවක් සිදු ව ඇති බව නිගමනය කිරීමට “එය ම පමනක් ප්රමානවත් පදනමක්” නොවන නමුත් එම විධිවිධානයෙන් එවැනි ක්රියා ත්රස්තවාදය ලෙස සලකා නඩු පැවරීමේ හැකියාව බලධාරීන්ට අහිමි නොවේ.
ප්රවාහන, වරාය, බලශක්ති හෝ සෞඛ්ය සේවා අඩාල කරන වැඩවර්ජන, මාර්ග අවහිර කරමින් සිදුකරන විරෝධතා සහ කප්පාදු පිලිවෙත්වලට එරෙහි උද්ඝෝෂන, “සැලකිය යුතු ආර්ථික පාඩුවක්” ඇති කරමින් ආන්ඩුවට “අයුතු ලෙස” බලපෑම් කිරීමට” ගන්නා උත්සාහයන් ලෙස අර්ථකථනය කල හැකි ය. එ මගින්, ආන්ඩුවේ ප්රතිපත්තිවලට එරෙහි කම්කරු අරගල සහ මහජන විරෝධතා ත්රස්තවාදී ක්රියා ලෙස හංවඩු ගැසීමට මර්දනකාරී රාජ්ය යාන්ත්රනයට ඉඩ සැලසෙයි.
මරනයකට තුඩු දෙන ත්රස්තවාදී ක්රියාවක් සඳහා උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමකි. අනෙකුත් ත්රස්තවාදී ක්රියා සඳහා වසර 20ක් දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් මිලියන 20ක් දක්වා දඩ නියම කල හැකි ය. 5 වැනි වගන්තිය යටතේ, කිසිදු ත්රස්තවාදී ක්රියාවක් සිදු නොවූ අවස්ථාවක පවා, එ වැනි ක්රියාවකට තැත් කිරීම, ආධාර අනුබල දීම, කුමන්ත්රනය කිරීම සහ සූදානම් වීම සඳහා වසර 15ක් දක්වා සිරදඬුවම් නියම කල හැකි ය.
6 වැනි වගන්තිය මගින්, තහනම් කරන ලද සංවිධානයකට බැඳීම, එයට සාමාජිකයන් බඳවා ගැනීම, අරමුදල් සැපයීම හෝ එහි ඕනෑ ම ක්රියාකාරකමකට සහභාගී වීම අපරාධයක් බවට පත් කරයි. “හුදෙක් අදහසක්, විශ්වාසයක් හෝ සහයෝගයක් ප්රකාශ කිරීම” මෙම තහනමෙන් නිදහස් කර තිබුන ද, තහනම් සංවිධානයක් සමඟ සම්බන්ධතා පවත්වන බවට චෝදනා එල්ල වුවහොත්, කම්කරු හා ශිෂ්ය සංවිධාන, වාමාංශික කන්ඩායම් සහ ප්රජා සංවිධානවලට එරෙහි ව මෙම පුලුල් තහනම යොදාගත හැකි ය.
චෝදනා ලැබූ ත්රස්තවාදියෙකු සිටින ස්ථානය පිලිබඳව තොරතුරු පොලිසියෙන් වසන් කරන පුද්ගලයෙකුට වසර හතක් දක්වා සිරදඬුවම් නියම කල හැකි අතර එම තොරතුරු මූලාශ්ර හෙලි කිරීමෙන් වැලකී සිටින මාධ්යවේදීන් ඉලක්ක කර ගැනීමට ද මෙම වගන්තියෙන් ඉඩ සැලසී ඇත.
9 වැනි වගන්තිය මගින්, ත්රස්තවාදය සඳහා “සෘජු ව හෝ වක්ර ව” පෙලඹවීමක් ඇති කරන ප්රකාශ, වචන හෝ සංඥා අපරාධයක් බවට පත් කෙරෙයි. අතිශය පුලුල් ලෙස අර්ථ දක්වා ඇති මෙම වරදට වසර 15ක් දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් මිලියන 15ක දඩයක් හෝ එම දඬුවම් දෙක ම නියම කල හැකි ය. ඊලඟ වගන්තිය මගින් “ත්රස්තවාදී ප්රකාශනයක්” සන්තකයේ තබා ගැනීම, බෙදා හැරීම හෝ වෙනත් අයෙකුට එයට ප්රවේශ වීමට අවස්ථාව සැලසීම අපරාධයකි. සමාජ මාධ්ය පරිපාලකයන්ට, සමාජ මාධ්ය වේදිකාවලට සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට එරෙහි ව නඩු පැවරීමට මෙම විධිවිධාන යොදා ගත හැකි ය.
පොලිසියේ හෝ සන්නද්ධ හමුදාවල “ඕනෑ ම නිල ක්රියාකාරකමක්” පිලිබඳ තොරතුරු හෙලිදරව් කිරීමෙන් වෙනත් පුද්ගලයන්ට වරදක් සිදු කිරීමට උපකාරී වනු ඇතැයි “විශ්වාස කිරීමට සාධාරන හේතු” පවතින අවස්ථාවක, එම තොරතුරු බෙදාගන්නා පුද්ගලයන් ද සිරගත කල හැකි ය. නිදසුනක් වශයෙන්, වැඩවර්ජන මර්දනය කිරීම සඳහා හමුදා භටයන් යොදවනු ලබන ආකාරය හෙලිදරව් කරමින් සමාජ මාධ්ය සටහන් පල කරන පුද්ගලයෙකුට එරෙහි ව ද මෙම පනත යටතේ නඩු පැවරීමට පිලිවන.
හමුදාවට පොලිස් බලතල පැවරීම
ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගැනීමේ, සෝදිසි කිරීමේ සහ දේපල අත්පත් කර ගැනීමේ බලතල ලබා දී තිබුනේ පොලිසියට පමනි. එහෙත්, නව පනත් කෙටුම්පතේ 19 වැනි වගන්තිය මගින් සොල්දාදුවන්ට සහ වෙරලාරක්ෂක නිලධාරීන්ට ද එම බලතල පැවරෙයි. 20 වැනි වගන්තිය මගින් “සාධාරන සැකයක්” මත පුද්ගලයන් නැවැත්වීමට සහ සෝදිසි කිරීමටත්, වරෙන්තුවක් නොමැති ව පරිශ්රවලට ඇතුලු වීමටත්, ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගනක ඇතුලු “ඕනෑ ම ලේඛනයක්, ද්රව්යයක් හෝ භාන්ඩයක්” අත්පත් කර ගැනීමටත් ඔවුන්ට අවසර ලබා දෙයි.
24 වැනි වගන්තිය මගින් හමුදාවට අත්අඩංගුවට ගැනීමේ බලතල පැවරීම “සුවිශේෂී තත්ත්වයන්ට” සීමා කරන බව කියා සිටිය ද, “මහජන සාමය පවත්වා ගෙන යාමේ අරමුනින් යම් ප්රදේශයකට හමුදාව යෙදවීම” ද එ වැනි තත්ත්වයක් ලෙස ඇතුලත් කර ඇත. ඒ අනුව, වැඩවර්ජන හෝ විරෝධතා මර්දනය කිරීම සඳහා යොදවනු ලබන හමුදා භටයන්ට වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගැනීමේ බලතල ස්වයංක්රීය ව හිමි වේ.
රඳවා ගැනීමේ විධායක නියෝග
මෙම පනත යටතේ, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට පුද්ගලයෙකු මාස දෙකක කාල සීමාවන් සඳහා රඳවා තබා ගැනීමට නියෝග කල හැකි ය. මහාධිකරනයේ අනුමැතිය ඇති ව එම කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට පිලිවන. රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකු මාස හයක් දක්වා පොලිස් පාලනය යටතේ පවතින රඳවා තැබීමේ ස්ථානයකට මාරු කිරීමට ද ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට බලය ඇත. යම් චෝදනාවක් “පදනම් සහගත බවක් පෙනී යන” බව මහාධිකරන විනිසුරුවරයෙකු විසින් පිලිගනු ලැබූ පසු, සැකකරුවෙකු “හුදකලාව” රඳවා තැබිය හැකි ය.
“ජාතික ආරක්ෂාව” හෝ “මහජන සාමය” යන පදනම් මත, “නඩු විභාගය අවසන් වන තුරු” අධිචෝදනා ලැබූ පුද්ගලයෙකු රඳවා තැබීමට ආරක්ෂක ලේකම්වරයාට පියවර ගත හැකි ය. මෙලෙස රඳවා තබන පුද්ගලයින් බන්ධනාගාර පද්ධතියෙන් බැහැර ව පොලිසිය විසින් පාලනය කරනු ලබන ස්ථානවල රඳවා තැබිය හැකි අතර, එ වැනි ස්ථාන වධහිංසා පැමිනවීමේ ස්ථාන ලෙස ශ්රී ලංකාව තුල දිගු කලක් තිස්සේ පැවතී ඇත.
රැස්වීම් සහ සාමූහික ක්රියාමාර්ග තහනම් කිරීම
51 වැනි වගන්තිය යටතේ, “හදිසි” අවස්ථාවල දී අදාල ප්රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට, රැස්වීම්, මහජන හමු, රැලි, පෙලපාලි හෝ “නිශ්චිත ව සඳහන් කරන ඕනෑම ක්රියාකාරකමක්” තහනම් කිරීමේ බලය හිමි වේ. එවැනි නියෝග පැය 72ක් දක්වා බලපැවැත්විය හැකි අතර, ඒවා ක්රියාත්මක කිරීම සඳහා සන්නද්ධ හමුදා යෙදවිය හැකි ය. එම නියෝග නොතකා කටයුතු කිරීම වසරක් දක්වා සිර දඬුවමක් පැනවිය හැකි වරදකි. වැඩවර්ජන අතරතුර පිකටිං විරෝධතා සහ වැඩවර්ජන සම්බන්ධ රැස්වීම් තහනම් කිරීමට මෙම බලතල යොදා ගැනීමට පිලිවන.
නඩු විභාගයකින් තොර ව දඬුවම් කිරීම
සැකකරුවෙකු විසින් ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබා දෙන පාපොච්චාරන සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩ සලසන, ත්රස්තවාදය වැලැක්වීමේ පනතේ කුප්රකට විධිවිධානයක් මෙම පනත් කෙටුම්පතෙන් ඉවත් කර ඇත. එහෙත්, මහේස්ත්රාත්වරුන් විසින් සටහන් කරගනු ලබන ප්රකාශ සාක්ෂි ලෙස පිලිගැනීමට නව පනත මගින් ඉඩ සලසයි. පොලිසිය විසින් පාලනය කරනු ලබන රඳවා තැබීමේ ස්ථානයක මාස ගනනක් රඳවා සිටින සැකකරුවෙකු විසින් සිදු කරනු ලබන එවැනි ප්රකාශ ස්වේච්ඡාවෙන් ලබා දෙන ඒවා වනු ඇතැයි යෝජනා කිරීම හාස්යජනක ය.
59 වැනි වගන්තිය අනුව, යම් සංවිධානයක් මෙම පනත යටතේ වැරදි ක්රියාවන්ට සම්බන්ධ වී ඇතැයි විශ්වාස කිරීමට “සාධාරන හේතු” පවතින බව ජනාධිපතිවරයා ප්රකාශ කරන්නේ නම්, එම සංවිධානය තහනම් කිරීමට ඔහුට බලය ඇත. එ වැනි තහනමක් පැනවීමට පෙර අධිකරන අනුමැතිය ලබා ගැනීම අවශ්ය නොවේ. එම තහනම ඉවත් කරන තෙක් එය බලපැවැත්වෙන බව පනතේ සඳහන් වන අතර, ඒ සඳහා කාල සීමාවක් හෝ වරින් වර සමාලෝචනය කිරීමේ විධිවිධානයක් ද නැත. එවැනි තහනමක් අභියෝගයට ලක් කල හැක්කේ ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් හෝ අභියාචනාධිකරනයෙන් අධිකරන සමාලෝචනයක් ඉල්ලා සිටීමෙන් පමනි.
ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දැනටමත් තහනම් කර ඇති සංවිධාන සම්බන්ධ සියලු ම තහනම් කිරීම් එ ලෙස ම පවත්වා ගෙන යනු ඇත. ඊට එල්ටීටීඊ සංවිධානය, දෙමල පුනරුත්ථාපන සංවිධානය සහ 2019 හා 2021 වසරවල දී තහනම් කරන ලද මුස්ලිම් සංවිධාන ද ඇතුලත් වේ.
ජවිපෙ/ජාජබ ආන්ඩුව, මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ රාජ්ය ආයතන පුද්ගලීකරනය, ප්රතිව්යුහගත කිරීම සහ සමාජ වියදම් කපා හැරීම ඇතුලු ජාත්යන්තර මූල්ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව කම්කරුවන් සහ ග්රාමීය ජනතාව අතර වැඩෙන කෝපය මධ්යයේ ය.
ජීවන වියදම් ශීඝ්රයෙන් ඉහල යද්දී, 2022 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට බල කල මහජන නැගිටීමේ දී සිදු වූ පරිදි, මහා වැඩවර්ජන සහ විරෝධතා පුපුරා යනු ඇතැයි පාලක ප්රභූව බියට පත් ව සිටී. ජනාධිපති දිසානායකගේ ආන්ඩුව ධනේශ්වර රාජ්යයේ ප්රජාතන්ත්ර විරෝධී බලතල ශක්තිමත් කරමින් එ වැනි තත්ත්වයකට සූදානම් වෙමින් සිටී.
පාර්ලිමේන්තු විපක්ෂයේ පක්ෂ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සීමිත විවේචන මුලුමනින් ම කුහක ය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) බිඳී පිහිටුවා ඇති සමගි ජන බලවේගය (සජබ), ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන මගින් පුරවැසියන්ට “කෲර ලෙස” සලකනු ඇති බව ප්රකාශ කලේ ය. එහෙත්, ත්රස්තවාදය වැලැක්වීමේ පනත හඳුන්වා දුන්නේ එජාප ආන්ඩුවක් විසිනි. වර්තමාන සජබ නායකයෝ දශක ගනනාවක් පුරා මෙම මර්දනකාරී නීතිය ආරක්ෂා කලහ.
ඔක්තෝබර් 7 වැනි දා, ව්යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), දේශපාලන ක්රියාකාරකම් මර්දනය කිරීම සඳහා ආන්ඩුව මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවට චෝදනා කලේ ය. එහෙත්, ධනේශ්වර රාජ්යයට සහ එහි මර්දනකාරී පිලිවෙත්වලට පෙසප ප්රතිපත්තිමය විරෝධයක් දක්වන්නේ නැත.
සැප්තැම්බර් 30 වැනිදා, පෙසප අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම වැලැක්වීමට විරුද්ධ වන ලෙස ජවිපෙ/ජාජබ මන්ත්රීවරුන්ගෙන්, වෘත්තීය සමිතිවලින් සහ වෙනත් කන්ඩායම්වලින් ඉල්ලා සිටියේ ය. දන්ඩ නීති සංග්රහය සහ මහජන ආරක්ෂක ආඥා පනත ඇතුලු දැනට පවතින නීති ඒ සඳහා ප්රමානවත් බවට ඔහු තර්ක කලේ ය. හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමට සහ “සාමය” පවත්වා ගෙන යාම සඳහා හමුදාව යෙදවීමට ජනාධිපතිවරයාට බලය ලබා දෙන්නේ ද මහජන ආරක්ෂක ආඥා පනතයි.
නව පනත් කෙටුම්පත, ඊට පෙර පැවති ත්රස්තවාදය වැලැක්වීමේ පනත මෙන් ම, ධනපති පන්ති පාලනය පවත්වා ගෙන යාමේ මෙවලමකි. එයින් අවධාරනය කෙරෙන්නේ සමාජ අසමානතාව අතිශය පිලිකුල් සහගත මට්ටම් කරා වර්ධනය වී ඇති ධනේශ්වර ක්රමයක් සමග ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් අතිමූලික වශයෙන් ම නොගැලපෙන බවයි.
සියලු ම රටවල පාලක ප්රභූන් තම පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා ආඥාදායක සහ ෆැසිස්ට්වාදී විධික්රම වෙත යොමු වෙමින් සිටින අතර, වැඩ කරන ජනතාව වමට හැරෙමින්, කප්පාදු පිලිවෙත්වලට සහ අධිරාජ්යවාදී යුද්ධයට එරෙහි අරගලවලට අවතීර්න වෙමින් සිටියි. ඔවුන්ට අවශ්ය වන්නේ සමාජවාදී සහ ජාත්යන්තරවාදී ඉදිරිදර්ශනයක් සහ නායකත්වයකි.
විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සහ එහි අනුප්රාප්තික සමාජවාදී සමානතා පක්ෂය (සසප), ත්රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා සහ සමාජවාදය සඳහා වන පොදු අරගලයක් තුල සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට ද අඛන්ඩ ව සටන් කර ඇත.
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීම ඇතුලු සියලු මර්දනකාරී නීති සහ විධායක ජනාධිපති ක්රමය අහෝසි කල යුතු බව සසප කියා සිටී. ධනේශ්වරයේ කිසිදු කන්ඩායමකට ආයාචනා කිරීමෙන් මෙය සාක්ෂාත් කරගත නොහැකි ය. ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා වන සටන, ධනවාදය අහෝසි කර සමාජය සමාජවාදී පිලිවෙතක් මත ප්රතිසංවිධානය කිරීම සඳහා ශ්රී ලංකාව තුල මෙන් ම ජාත්යන්තර ව ද කම්කරුවන්ගේ ආන්ඩු පිහිටුවීමේ අරගලයට, ට්රොට්ස්කිවාදී ව්යාපාරයේ ක්රියාමාර්ගය මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ සටනෙන් වෙන් කල නොහැකි ය.
