[මෙය Playing Russian Roulette with nuclear weapons මැයෙන් 2026 ඔක්තෝබර් 06 ඉංග්‍රීසි බසින් පල විය.]
ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ තීරු ලිපි රචකයෙකු වන ගිඩියන් රැක්මන්, වඩාත් බුද්ධිමත් මෙන් ම ඓතිහාසික දැනුමෙන් සන්නද්ධ ධනේශ්වර මාධ්‍යවේදියෙකු ලෙස පුලුල් ලෙස සැලකුනු කාලයක් තිබුනි. ධනේශ්වරයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන ගමන් ම, ඔහු, විසි වන සියවසේ සිදු වූ විපත් පිලිබඳ ව මනා අවබෝධයකින් ද යුතු විය. දේශපාලන නායකයින් අඥාන සහ වැරදි තීරන ගැනීමෙන් වලක්වාලීම සඳහා, රැක්මන් නිතර නිතර, ලෝක යුද්ධ දෙකෙන් උකහා ගත හැකි පාඩම් උපුටා දැක්වී ය.
රැක්මන් ගේ වඩාත් ප්‍රකට ලිපිවලින් එකක් වූ, 2013 පෙබරවාරි 4 වන දින ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ පලකල ලිපිය, “1914 වසරේ සෙවනැල්ල යලි පැසිෆික් කලාපය මත” යනුවෙන් නම් කර තිබුනි. එය ආරම්භ කර තිබුනේ මෙසේ ය:
පලමු ලෝක යුද්ධයේ දී සොල්දාදුවන් අගල්වලින් පිටතට බඩගාන අවස්ථා දැක්වෙන, එම මන්දදීප්ත කලු-සුදු චිත්‍රපට දර්ශන අද අපට පෙනෙන්නේ, ඉතා ඈත අතීතයකට අයත් දේවල් ලෙස ය. එහෙත්, 1914 දී සිදු වූවාක් මෙන්, අද දවසේ බලවත් රාජ්‍යයන්ට යලි කිසි දිනෙක නොදැනුවත් වබ ම යුද්ධයක පැටලීමට ඉඩක් නැතැයි සිතීම, ඕනෑවට වඩා දුර ගිය ස්වයං-තෘප්තියකි. චීනය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වර්ධනය වෙමින් පවතින ආතතීන් තුල, මීට සියවසකට පමන පෙර හට ගත් එම දරුනු ගැටුමේ දෝංකාරයන් ඇසේ.
වැරදි ගනන්බැලීම්වල විපාක අමතක නොකරන ලෙස අනතුරු ඇඟවූ රැක්මන්, “අප ජීවත් වන්නේ න්‍යෂ්ටික යුගයක වීම, නැවත ඇතිවන අර්බුදයක් 1914 ක නැවත පැමිනීමක් වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු කරන” බවට තම අපේක්ෂාව පල කලේ ය.
එහෙත් 2022 දී යුක්රේන යුද්ධය පුපුරා යාම රැක්මන්ගේ දෘෂ්ටිය බලගතු ලෙස වෙනස් කලේ ය. මෙම හදිසි ගැටුම අනතුරේ හෙලූ දේ අතර, ඓතිහාසික පසුබිම සැලකිල්ලට ගනිමින් විශ්ලේෂන සිදු කිරීමට ඔහු සතු ව තිබූ හැකියාව ද විය. ව්‍යසනකාරී වැරදි තක්සේරුවලින් වැලකී සිටින ලෙස මීට පෙර අනතුරු ඇඟවූ මෙම මාධ්‍යවේදියා, දැන් අදූරදර්ශී ක්‍රියාකලාපය මූලෝපායික මූලධර්මයක් දක්වා ඔසවයි.
ඔක්තෝබර් 5 වන දින, ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත “පුටින්ගේ න්‍යෂ්ටික තර්ජන තවදුරටත් ක්‍රියාත්මක නොවේ” යන මාතෘකාව යටතේ රැක්මන්ගේ තීරුවක් ප්‍රකාශයට පත් කලේය. ඊට දින කිහිපයකට පෙර, නැටෝව, කලිනින්ග්රෑඩය හුදකලා කිරීමට උත්සාහ කරන්නේ නම්, “තමන් සතුව ඇති සියලු බලවේග සහ න්‍යෂ්ටික අවි ඇතුලු සමස්ත අවි ගබඩාව ම” භාවිතා කරන බවට වූ ලේඛනයක් රුසියානු ආන්ඩුව නැටෝවට භාර දී තිබුනි. නැටෝ රටවල “අන දෙන මධ්‍යස්ථාන” වලට පහර දීමත් සමඟ ගැටුමක් ආරම්භ විය හැකි බවට සටහන අනතුරු ඇඟවී ය. ඔක්තෝබර් 1 වන දින, [මොස්කව් චින්තන පර්ෂදයක් වන] වැල්ඩයි සංවාද සමාජයේ දී, තමා සැබැවින් ම අදහස් කරන්නේ, ලේඛනයේ සඳහන් දේ ම බව ව්ලැඩිමීර් පුටින් තහවුරු කලේ ය.
ඊට රැක්මන්ගේ ප්‍රතිචාරය වූයේ තමන් කියන දේ ගැන පාඨකයන්ට යලි සහතික වීමයි. 2022 පෙබරවාරි මාසයේ සිට, පුටින්, තම තර්ජනවලට අනුව ක්‍රියා නොකර, බටහිර රටවල් බිය ගැන්වීම සඳහා පමනක් නැවත නැවතත් න්‍යෂ්ටික අවි ගබඩාව භාවිතා කරන බවට තර්ජනය කර ඇති බව ඔහු ලියයි. “මුල දී කල නොහැකි සේ පෙනුනු” යුද ටැංකි, ප්‍රහාරක ගුවන් යානා සහ දිගු දුර මිසයිල යුක්රේනයට සපයා ඇත. යුක්රේනය 2025 ජුනි මාසයේ දී රුසියාවේ උපායමාර්ගික බෝම්බ හෙලන ගුවන් යානාවලට පහර දුන් මුත්, කිසිවක් සිදු නොවීය. න්‍යෂ්ටික භාවිතයට එරෙහි තහනම, “ඉතා බලවත්” බව ඔප්පු වී ඇති අතර, රුසියාවේ න්‍යෂ්ටික ප්‍රතිරෝධක හැකියාව පිරිහීම “ප්‍රධාන වශයෙන්ම සුබ ආරංචියක්” බව ඔහු නිගමනය කරයි.
මෙම ලිපියෙන්, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය සහ බෝල්ටික් ආන්ඩු රුසියාවට එරෙහි ව යුද්ධය මෙහෙයවනු ලබන පදනම අසාමාන්‍ය අවංකභාවයකින් යුතු ව ප්‍රකාශ කෙරෙන බැවින් එයට—එනම්, රුසියාව මෙතෙක් න්‍යෂ්ටික අවි භාවිත කර නොමැති බැවින්, නැටෝව කුමක් කල ද ඔවුන් කිසිවිටෙකත් එවැනි ආකාරයකින් ප්‍රතිචාර නොදක්වනු ඇත යන්නට— පිලිතුරු දීම වටී.
මෙය වර්තමානයේ නොපවතින තත්වයන් යටතේ ලද අත්දැකීම් තුලින් එලඹි අනුමාන නිගමනයකි. යුද්ධය ඇරඹී බොහෝ කාලයක් ගතවන තෙක් ම, සටන් යුක්රේනයට පමනක් සීමා ව තිබූ අතර, රුසියාව ඒ වනවිට නැටෝ මැදිහත්වීමේ විවෘත තර්ජනවලට මුහුන දී නොතිබුනි; රුසියානු සමූහාන්ඩුවේ කිසිදු කොටසක් ප්‍රහාරයට ලක් කර වෙන් කිරීමේ තර්ජනයට ලක් නොවී ය. 2022 සරත් සෘතුවේ දී රුසියාව බරපතල මිලිටරි පසුබෑමකට ලක් වූ එක් අවස්ථාවක, රුසියානු අන දෙන නිලධාරීන් උපායාත්මක න්‍යෂ්ටික අවි භාවිතය පිලිබඳව සාකච්ඡා කර ඇති බව ඇමරිකානු නිලධාරීන් වාර්තා කල අතර, ජනාධිපති බයිඩන් “ලෝකාවසාන මහා විනාශයක” අනතුර ගැන ප්‍රසිද්ධියේ කතා කලේ ය. ඓතිහාසික වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ තවමත් එවන් සීමාවකට ලඟා වී නොමැති බව පමනයි.
නමුත් පුටින්ගේ කතාවෙන් පෙන්නුම් කරන පරිදි, එය තවදුරටත් එසේ විය නොහැකි ය. පෝලන්තය සහ ලිතුවේනියාව අතර බෝල්ටික් මුහුදේ පිහිටා ඇති, මිලියනයක පමන ජනගහනයක් සිටින රුසියානු භූමියකි, කලිනින්ග්රෑඩය. ෆින්ලන්තය සහ ස්වීඩනය එක්වීමත් සමග බෝල්ටික් මුහුද නැටෝවේ ජලාශයක් බවට පත්ව ඇත. ගිම්හානය පුරාම නැටෝව, එම භූමිභාගය වටා ගුවන් සහ උභයචර (amphibious) අභ්‍යාස පැවැත්වීය. සැප්තැම්බර් මාසයේ දී පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්වාෆ් සිකෝර්ස්කි සඳහන් කලේ, යුක්රේනයේ යුද්ධය සඳහා රුසියාව කලිනින්ග්‍රෑඩ් ප්‍රදේශයෙන් සිය හමුදා ඉවත් කරගෙන ඇති බවයි. එ මෙන් ම, නේටෝව සිය අභිප්‍රාය කුමක්දැයි ක්‍රෙම්ලිනයට නිශ්චිත ව දැනගත නොහැකි වන තරමට ආක්රමනශීලී යුද අභ්‍යාස පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. 2024 නොවැම්බර් මාසයේ දී සංශෝධනය කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්මය, රටේ භෞමික අඛන්ඩතාවයට තර්ජනයක් වන සාම්ප්‍රදායික ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික භාවිතයට අවසර දෙයි. එම විධිවිධානය සකස් කරනු ලැබුවේ කලිනින්ග්‍රෑඩ් සම්බන්ධයෙන් ඇති විය හැකි තත්ත්වයක් සඳහා ය.
රැක්මන් අමතක කිරීමට තෝරාගෙන ඇති ඉතිහාසය අපි සිහිපත් කරමු. 1914 ට පෙර යුරෝපීය බලවතුන් අර්බුද මාලාවක් හරහා ගමන් කල අතර—මොරොක්කෝව, බොස්නියාව, අගාදිර් සහ බෝල්කන් යුද්ධ—ඒ සෑම එකක් ම මහා යුද්ධවලින් තොර ව අවසන් විය. 1909 දී, දුර්වල වූ රුසියාව, බොස්නියාව සම්බන්ධයෙන් ජර්මනියේ අවසාන නිවේදනය නිකුත්වීමට පෙර යටත් විය. 1914 ජූලි මාසයේ දී බර්ලිනය ක්‍රියා කලේ, රුසියාව නැවත පසුබසිනු ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් එය එසේ නොවීය. දෙවන යටත් වීමක්, මහා බලවතෙකු ලෙස රුසියාවේ අවසානය සලකුනු කරනු ඇතැයි සාර්ගේ ඇමතිවරු නිගමනය කලහ. පුටින්ගේ අනතුරු ඇඟවීම්වලට වඩා, බ්‍රිතාන්‍යය තුල 'මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයේ දුක් ගැහැට විශාල ප්‍රවෘත්තියක්' බව රැක්මන් නිරීක්ෂනය කරයි. 1914 ජූලි මාසයේ අවසාන දිනවල, ඔස්ට්‍රියාව-හංගේරියාව සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කල දිනයේ, ප්‍රංශ මහජනතාවගේ සම්පූර්න අවධානය දිනාගත්තේ මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වූ මැඩම් කයිලොක්ස්ගේ නඩු විභාගය යි.
ක්‍රෙම්ලිනය සහ රුසියානු මහා මන්ඩල මූලස්ථානය දෙස බලන විට, රැක්මන් උපුටා දක්වන වාර්තාව අප ප්‍රතිවිරුද්ධ නිගමනයක් කරා යොමු කරයි. නැටෝවේ උත්සන්නිය නැවැත්වීමේ න්‍යෂ්ටික නොවන සෑම උපායමාර්ගයක් ම අසාර්ථක වී ඇත. රැක්මන් විසින් ම සඳහන් කරන පරිදි, “යුක්රේනයේ යුද්ධය පිලිබඳ නැටෝවේ ස්ථාවරය නොවෙනස් ය.” සාම්ප්‍රදායික බලවේගයන්ගේ සන්ධානයට වඩා රුසියාව බෙහෙවින් දුර්වල වන අතර, කලිනින්ග්‍රෑඩ් සාම්ප්‍රදායික ක්‍රම මගින් ආරක්ෂා කල නොහැක. ප්‍රසිද්ධියේ න්‍යෂ්ටික සහතිකයක් ලැබුනු මුත්, එහි පලමු පරීක්ෂනයේ දී ම එය අතහැර දමන ලද අනෙක් සෑම පෙරමුනක් ම එහි වටිනාකම නැති කර ගනී. යුරෝපීය ආන්ඩු ප්‍රකාශ කරන්නේ, 2029 හෝ 2030 වන විට ඔවුන්ගේ නැවත සන්නද්ධ කිරීම සම්පූර්න කල යුතු බවයි; එය රුසියානු සැලසුම්කරුවෙකුට, බල තුලනය තමන්ට එරෙහි ව ක්‍රමයෙන් මාරු වනු ඇති බව පවසයි.
ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ වඩා හොඳ වන්නේ යුද්ධය බවට 1914 දී ජර්මානු මහා මන්ඩල මූලස්ථානයට ඒත්තු ගැන්වූ තර්කය එයයි. නැටෝව සමඟ යුද්ධයක් ආරම්භ වන්නේ, අවි අහිමි වීමට පෙර භාවිතා කල යුතු වීමේ පීඩනය මත රුසියාවේ න්‍යෂ්ටික බලවේගවල අන දෙන ව්‍යුහයන්ට එල්ල වන ප්‍රහාර සමග ය. රුසියාවේ ආරක්ෂක කවුන්සිලයට අනුබද්ධ විද්‍යාත්මක කවුන්සිලයක අසුන්ගෙන සිටින සර්ජි කරගනොව්, රුසියානු ප්‍රහාර වැලැක්වීම පිලිබඳ විශ්වසනීයත්වය යථා තත්වයට පත් කිරීම සඳහා යුරෝපයට එල්ල කරන න්‍යෂ්ටික ප්‍රහාරයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. රැක්මන්, එවැන්නන් “ගර්ජනා කරන සහ දවල් හීන දකින” පන්ඩිතයන් ලෙස බැහැර කරයි.
පැවති සෝවියට් සංගමය තුල ධනවාදය ප්‍රතිෂ්ඨාපනය වීමෙන් පැන නැගුනු කතිපයාධිකාරීන් නියෝජනය කරන පුටින්ගේ ආන්ඩුවට, යුරෝපයේ හෝ ඇමරිකාවේ කම්කරුවන්ට ඔවුන්ගේම ආන්ඩුවලට එරෙහි ව පෙලගැසීමට ආයාචනා කල නොහැක. පුටින් ආන්ඩුවට ඇති එක ම මෙවලම හමුදා බලය වන අතර, නැටෝව සමඟ ඇතිවන යුද්ධයක දී සිදුවන පරාජය එහි අවසානය සනිටුහන් කරනු ඇත. කෙසේ වෙතත්, මේ කිසිදු කරුනක්, රුසියාව න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇති බවට සහතින නොකරයි. එහෙත්, නැටෝව ගන්නා සෑම පියවරක් ම, තම ඉවසීමේ සීමාවන්ගෙන් එකක් හෝ සැබෑ බව පෙන්වා දීමට මොස්කව් වෙත එල්ල වන පීඩනය වැඩි කරයි.
රුසියාව සමඟ යුද්ධයක් සාම්ප්‍රදායික මට්ටමක පවතිනු ඇතැයි රැක්මන් ද විශ්වාස කරයි. පෙබරවාරි මාසයේ එක් රාත්‍රියක රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියට මිසයිල 70 කට වැඩි ප්‍රමානයක් සහ ඩ්‍රෝන යානා 450 ක් පමන එල්ල කලේ ය. එවැනි ප්‍රහාර නැවැත්වීමට සමත් ගුවන් ආරක්ෂක පද්ධති බටහිර යුරෝපයේ නොමැත. රුසියානු සටහනේ නම් කර ඇති ඉලක්කවලට, ඇමරිකානු අතිරේක බලකායන් ගමන් කල යුතු වරායන්, දුම්රිය මංසන්ධි, බලාගාර, පිරිපහදු සහ රසායනික කම්හල් එකතු කල යුතු ය. යුක්රේනය වසර හතරක් තිස්සේ විඳදරාගන්නා දේ යුරෝපය සති කිහිපයකින් අත්විඳිනු ඇත.
නැටෝ ආන්ඩු, තමන් සතු ව ඇති ආයුධ භාවිතා නොකර එවැනි “සාම්ප්‍රදායික” විනාශයකට යටත් වනු ඇතැයි රැක්මන් විශ්වාස කරන්නේ ද? න්‍යෂ්ටික අවි පලමු ව භාවිතා කිරීමේ වාසි ගැනීම නැටෝව කිසි විටෙකත් අත්හැර නැත. ප්‍රංශ මූලධර්මය, “අවසන් අනතුරු ඇඟවීමක්” ලෙස, අධිෂ්ඨානය පෙන්වීම සඳහා සීමිත න්‍යෂ්ටික ප්‍රහාරයක් යෝජනා කරන අතර මාර්තු මාසයේ දී ජනාධිපති මැක්රොන්, චාන්සලර් මර්ස්ගේ අනුමැතිය මත යුරෝපය කෙරෙහි ම බලපාන පරිදි ප්‍රංශයේ ප්‍රතිපත්තිය විස්තාරනය කලේ ය. යුද්ධය උත්සන්න කල ආන්ඩුවලට එහි සෑම අදියරක දී ම පරාජය හෝ න්‍යෂ්ටික විකල්පය අතර තේරීමකට මුහුන දීමට සිදුවනු ඇත. න්‍යෂ්ටික ප්‍රහාරයකට පිලිතුර පිලිබඳ ව රුසියානු මූලධර්මය කිසිදු සැකයක් ඉතිරි නොකරයි. සීමාව ඉක්මවා ගිය පසු, සීමිත ප්‍රහාර හුවමාරු න්‍යාය එයට සහාය වීමට නොපැමිනෙනු ඇත. අනතුරු ඇඟවීමේ රුසියානු තනි වෙඩිල්ලකින් ආරම්භ වන ලෙස සැලසුම් කල 2019 ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල සිමියුලේෂන් අත්හදා බැලීම, පැය කිහිපයක් ඇතුලත මිලියන 90 කට වඩා මරා දමා, තුවාල කිරීම් දක්වා දිග්ගැස්සෙන බව පෙන්වා දුන්නේ ය.
රැක්මන් සිය ලිපිය අවසන් කරන්නේ, ඔහුගේ සමස්ත ආත්ම-තෘප්තිකර තර්කයම බිඳ හෙලන ප්‍රකාශයක් කරමිනි: “යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට, න්‍යෂ්ටික අනතුරක් වැලැක්වීමේ ක්‍රියාදාමය පිලිබඳ තම අදහස් වෙනස් කර ගැනීමට රුසියාවට මෙන් ම නැටෝවට ද සිදු ව තිබේ. න්‍යෂ්ටික අවි භාවිතයට එරෙහි ව පවතින තහනම ඉතා ප්‍රබල බව පැහැදිලි ය. එහෙත් එය නිරපේක්ෂ එකක් ද? ඒ පිලිබඳ ව කිසිවෙකුටත් නිශ්චිත ව කිව නොහැකි ය. එවැනි අවිනිශ්චිතතාවක් අතිශය බිහිසුනු ය.”
නිශ්චිත ව ම, පවතින අවිනිශ්චිතතාවයේ මට්ටම කුමක් ද? න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ වාරිත්‍රය බිඳ වැටීමේ සියයට 10, 20 හෝ 50 ක සම්භාවිතාවක් තිබේ ද? රුසියාව සමඟ පවතින ගැටුම, න්‍යෂ්ටික ශීර්ෂ සහිත උන්ඩවලින් පිරවූ කුටීර හතරක් සහිත “රෂියන් රූලේ” මාරක සෙල්ලම (එක් කානුවකට පමනක් උන්ඩ යෙදූ රිවොල්වරයක පතරොම් බැරලය අහඹු ලෙස කරකවා එය තම හිසට හෝ ප්‍රතිවාදියාගේ හිසට එල්ල කර ගෙන කොකා ගැස්සීම. පතරොම යම් හෙයකින් කානුවට වැටුනොත් එම තැනැත්තා මරනයට පත් වෙයි.) බවට පත්වන්නේ කුමන අවස්ථාවේදී ද? වැරදි තීරනයක් ගැනීමේ ප්‍රතිඵලය යුරෝපා මහාද්වීපය විනාශ වීම විය හැකි විට, රැක්මන් සූදානම් වන්නේ කුමන මට්ටමේ අවදානමක් භාර ගැනීමට ද?
ඔහු ඒ ගැන කිසිවක් නොපවසයි. සාකච්ඡා සඳහා හෝ කලිනින්ග්‍රාඩ් වෙතින් නැටෝ හමුදා ඉවත් කර ගැනීම සඳහා හෝ ඔහු කිසිදු ඉල්ලීමක් කරන්නේ ද නැත. ඔහු තම පාඨකයන්ට ලබා දෙන එකම පාඩම නම්, මොස්කව්හි අනතුරු ඇඟවීම් නොසලකා හැරිය හැකි බව පමනි.
රැක්මන් කතා කරන්නේ, රුසියාව හුදු හිස් තර්ජන පමනක් කරමින් සිටින බව විශ්වාස කිරීමට අවශ්‍ය පාලක පන්තිය වෙනුවෙනි. දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් දක්වා නැවත සන්නද්ධ කිරීම ඉහල නැංවීම, ජර්මානු හමුදා බලය යලි ගොඩනැගීම, රුසියාව යටත් කර ගැනීම සහ එහි සම්පත් අත්පත් කර ගැනීම යන ප්‍රතිපත්ති, එබඳු උපකල්පනයකින් තොර ව ක්‍රියාත්මක කල නොහැක. සමාජ සුභසාධන වැඩසටහන් අහෝසි කිරීම මගින් මෙම ක්‍රියාවලියේ පිරිවැය ජනතාව මත පැටවෙන අතර, එය වර්ධනය වන විරෝධයක් ද අවුස්සමින් තිබේ. 1914 දී මෙන් ම, අභ්‍යන්තර සමාජ කැලඹීම්වලට මුහුන දෙන ආන්ඩු, යුද්ධයේ අවදානම් පිලිබඳ ව සන්සුන්, තාර්කානුකූල තක්සේරුවක නොයෙදෙයි.
තමන්ගේ නාමයෙන් සිදු කෙරෙන මෙම අවදානම් සහගත ක්‍රියාමාර්ගය පිලිගන්නේ ද යන්න පිලිබඳව යුරෝපයේ ජනතාවගෙන් කිසිවෙකු විමසා නැත. යුරෝපය, රුසියාව, යුක්රේනය සහ එක්සත් ජනපදය යන රටවල කම්කරු පන්තිය ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ, යුද්ධය නිර්මානය කරන ධනවාදී ක්‍රමයට එරෙහි ව ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම තුලිනි.
