ඉදිරිදර්ශන

මධ්‍ය-වාර මැතිවරනයෙන් පසු යුක්‍රේන යුද්ධය තව දුරටත් උත්සන්න කිරීමට ඩිමොක්‍රටිකයෝ සැලසුම් කරති

[මෙය Democrats plot major escalation of Ukraine war after midterm election මැයෙන් 2026 ඔක්තෝබර් 15 ඉංග්‍රීසි බසින් පල විය.]

ඉහත පින්තූරයේ දැක්වෙන අති වේගවත් කාලතුවක්කු රොකට් (HIMARS) පද්ධතියක් ඇතුලු ව, වැඩි දියුනු කල මිසයිල සහ තවත් අධි-තාක්ෂනික ආයුධ ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේනය වෙත ලබා දී ඇත. [AP Photo/Roman Koksarov]

තව සති තුනකටත් අඩු කාලයකින් පැවැත්වීමට නියමිත එක්සත් ජනපදයේ මධ්‍ය කාලීන මැතිවරනයෙන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ යුදවාදී, ඒකාධිපති මෙන්ම සමාජ කප්පාදු ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනතාව අතර ට්‍රම්ප් කෙරෙහි පවතින පිලිගැනීම වාර්තාගත ලෙස පහල මට්ටමක පවතී.

ජීවන වියදම සහ සමාජ අසමානතාවය සම්බන්ධයෙන් කම්කරු පන්තිය තුල පවතින කෝපය ගසා කෑමට උත්සාහ කරන ඩිමොක්‍රටික් පක්ෂය, රුසියාවට එරෙහි යුද්ධය දැවැන්ත හා විනාශකාරී ලෙස උත්සන්න කිරීම තම ප්‍රධාන අරමුන බව පැහැදිලි ව ප්‍රකාශ කර තිබේ. සමාජ සුබසාධන වැඩසටහන් සහ කම්කරු පන්තිය ඉලක්ක කර ගනිමින් ට්‍රම්ප් දියත් කරන ප්‍රහාරයන්ට ඩිමොක්‍රටික් පක්ෂය ද එකඟ ය. ට්‍රම්ප් සමඟ ඔවුන්ට ඇති ගැටුම මූලික වශයෙන් පදනම් වී ඇත්තේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා වෙනුවෙන් ට්‍රම්ප්ගේ ක්‍රියාවන් ප්‍රමානවත් තරම් ආක්‍රමනශීලී හෝ ස්ථාවර නොවන බවට ඔවුන් කරන චෝදනාව මත ය.

ඔක්තෝබර් 13 වන දින වෝර්සෝ ආරක්ෂක සංසදයේ දී පක්ෂයේ නායකත්වය වෙනුවෙන් කතා කරමින්, කොන්ග්‍රස් බුද්ධි කමිටුවේ ඉහල තනතුරු දරන ඩිමොක්‍රටික් මන්ත්‍රී කනෙක්ටිකට් නියෝජිත ජිම් හිම්ස් ප්‍රකාශ කලේ, ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රසයක්, “[යුක්‍රේනයට] ආධාර පැකේජ මාස නවයකින් නොව, දින නවයකින් හෝ සති නවයකින් යවනු ඇති” බවයි. “කොංග්‍රසයේ පාලනය ඩිමොක්‍රටිකයින්ට ලැබෙන්නේ නම්, යුක්‍රේනට ලබාදෙන ආධාර අලුත් කිරීම ප්‍රමුඛතාවයක් වනු ඇති,” බව වානිජ ප්‍රකාශනයක් වන බ්‍රේකින් ඩිෆෙන්ස් මාධ්‍ය ජාලය ඔහුගේ ප්‍රකාශ වාර්තා කරමින් ලිවීය.

2026 මැයි 28 වන බ්‍රහස්පතින්දා, යුක්‍රේනයේ කියෙව් නගරයේ පැවති මාධ්‍ය හමුවක දී, කනෙක්ටිකට් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත ජිම් හයිම්ස් (දකුනු පස) සහ එම ප්‍රාන්තයේ ම ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික රිචඩ් බ්ලූමෙන්තල් (වම් පස) අදහස් දක්වමින්. [AP Photo/Dan Bashakov]

ධනවත් ඉහල මධ්‍යම පන්තියේ යුද උන්මාදය අවුස්සමින් ද, රුසියාව කෙරෙහි ට්‍රම්ප්ගේ ඕනෑවට වඩා මෘදු බව හෙලා දකිමින් ද ඩිමොක්‍රටික් පක්ෂය සහ මාධ්‍ය මෙම උත්සන්න කිරීම සඳහා සූදානම් වෙමින් සිටියි.

ට්‍රම්ප්ට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂනය කේන්ද්‍රගත වන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඔහුගේ තාවකාලික “බලශක්ති සටන් විරාමය” මත ය; එය රුසියාවට ඩීසල් ඉන්ධන විකුනාගැනීමට ඉඩ දීමේ දේශපාලනික වාසිය සැලසීමකි. ඩිමොක්‍රටික් පක්ෂය පැය කිහිපයක් ඇතුලත ගිවිසුම හෙලා දුටු අතර, ඔක්තෝබර් 13 වන දින සෙනෙට් සභිකයින් 12 දෙනෙකුගෙන් යුත් ද්විපාර්ශ්වික කන්ඩායමක්, “අපගේ විරුද්ධවාදියාට තුටු පඬුරක්” වන එය අවලංගු කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඩිමොක්‍රටික් පක්ෂයේ දේශීය ප්‍රකාශනයක් ලෙස ක්‍රියා කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙම ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ය. ඔක්තෝබර් පලමු භාගයේ දී පමනක් එය යුරෝපයට රුසියාවෙන් එල්ල වන තර්ජන, යුක්‍රේන යුධ පිටියේ සාර්ථකත්වයන් සහ මොස්කව් මත පීඩනය ලිහිල් කිරීමේ අනතුර වටා ගොඩනැගුනු වාර්තා, විශ්ලේෂන සහ තීරු ලිපි අවම වශයෙන් 20 ක් වත් ප්‍රකාශයට පත් කර ඇත.

ඔප්පු නොකල චෝදනා තහවුරු වූ කරුනු ලෙස ඉදිරිපත් කෙරේ. ඔක්තෝබර් 2 වන දින පුවත්පත, සත්‍යාපනය කල නොහැකි බව පිලිගනිමින් ම පල කල ලේඛනයක්, යුක්‍රේන බලශක්ති ජාලය විනාශ කිරීම සඳහා වූ රුසියානු සැලැස්මකට බාධා කිරීම අරමුනු කර තිබුනි. ඔක්තෝබර් 9 වන දින ලිපියේ, ස්ටීවන් එර්ලන්ගර්, බොහෝ සිදුවීම්වල වගකීම මොස්කව් වෙත පැටවීම දුෂ්කර බව පිලිගන්නා ගමන් ම, යුරෝපය කඩාකප්පල් කිරීමේ රුසියානු “වක්‍ර යුද්ධය” සමථයකට පත් කර ඇති බව සලකමින්, රුසියානු යටිතල ව්‍යුහයට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට යෝජනා කලේ ය.

ඉන්පසු, ඔක්තෝබර් 15 වන දින, ටයිම්ස් පුවත්පත මෙම ව්‍යාපාරය සාරාංශ කරන ලිපි දෙකක් පල කලේ ය. “ට්‍රම්ප්ගේ ‘ඩීසල් සඳහා ප්‍රජාතන්ත්‍රවාදය’ ගනුදෙනුව අප සැමටම ලැජ්ජාවකි” යන ශීර්ෂ පාඨය යටතේ තෝමස් ෆ්‍රීඩ්මන් මෙසේ ලිවී ය: “ඩොනල්ඩ් ට්‍රම්ප්, නෙවිල් චේම්බර්ලේන් හමුවීම.” මෙහි දී ඔහු ට්‍රම්ප් සංසන්දනය කලේ, 1938 දී මියුනික්හි දී හිට්ලර් සතුටු කිරීමට උත්සාහ කල බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ ය. ට්‍රම්ප් “ව්ලැඩිමීර් පුටින්ට ගැලවීමේ මාවතක් ලබා දුන්” බව ඩේවිඩ් ෆ්‍රෙන්ච් ලිවීය.

ට්‍රම්ප් ඉතිහාසයට එක්වනු ඇත්තේ “ඒකාධිපතියෙකු සතුටු කිරීම වෙනුවෙන් තම රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පාවා දුන්” නායකයන් අතර එකෙකු ලෙස බව ෆ්‍රීඩ්මන් ලියයි. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිලිබඳව අන් අයට දේශනා කිරීමට, ෆ්‍රීඩ්මන්ට මොන යම් හෝ සුදුසුකමක් නැත. 1999 වසරේ දී නැටෝ සංවිධානය සර්බියාවට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටිය දී ඔහු මෙසේ ලියා තිබුනි: 'ඔබ කොසෝවෝ විනාශ කරන සෑම සතියක ම, අපි ඔබේ රට සම්පූර්නයෙන් ම සුනුවිසුනු කර දමමින්, ඔබ තවත් දශකයකින් ආපස්සට ඇද දමමු. ඔබට 1950 වසර අවශ්‍ය ද? අපට 1950 වසර නිර්මානය කර දිය හැකි ය. ඔබට 1389 වසර අවශ්‍ය ද? අපට 1389 වසර ද නිර්මානය කර දිය හැකි ය.”

එම වසරේ දී ම ප්‍රකාශයට පත් කල ප්‍රකාශනයක ඔහු මෙසේ සඳහන් කලේ ය: “වෙලඳපොල පාලනය කරන සැඟවුනු හස්තය, නොපෙනෙන අත් මිල මෙලවීමක් නොමැති ව කිසිදා ක්‍රියාත්මක නොවනු ඇත—එනම්, F-15 ප්‍රහාරක යානා නිෂ්පාදකයා වන මැක්ඩොනල් ඩග්ලස් නොමැති ව මැක්ඩොනල්ඩ්ස් සමාගමට දියුනු විය නොහැක.'

ෆ්‍රීඩ්මන් සහාය දක්වන යුක්‍රේනයේ එක්සත් ජනපද-නැටෝ යුද්ධය ද අභිප්‍රේරනය වී ඇත්තේ ඒ හා සමාන සලකා බැලීම් මගිනි. රුසියාව මත සම්පූර්න ආධිපත්‍යය දැරීමට මං සොයන ඇමරිකානු අධිරාජ්‍යවාදය අපේක්ෂා කරන්නේ, ඇමරිකානු ප්‍රාග්ධනයට රටේ අතිමහත් සම්පත් වෙත අසීමිත ප්‍රවේශයක් ලබා දෙන මොස්කව් පාලන තන්ත්‍රයකි.

ඩීසල් පිලිබඳ ආරවුල දෙපාර්ශවයේ ම ප්‍රතිපත්තිවල පන්ති අන්තර්ගතය හෙලි කරයි. ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ යුද්ධය නිසා ඉන්ධන මිල ඉහල ගොස් ඇත; හුදු මැතිවරන ප්‍රයෝගයක් පමනක් වන පුටින් සමඟ ඔහුගේ ගිවිසුම, එය පහත හෙලීමට එතරම් දෙයක් නොකරනු ඇත. ට්‍රම්ප් “මධ්‍ය-වාර මැතිවරනයේ දී රිපබ්ලිකානුවන් බලපෑ හැකි ඉහල ඩීසල් මිල ගනන් අඩු කිරීමට මංමුලා සහගත” බව ලියන ෆ්‍රීඩ්මන් මෙය හෙලා දකී. ඒ වෙනුවට ටයිම්ස් සහ ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලා සිටින්නේ, කම්කරු පන්තියට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරමින් ඉන්ධන මිල තවත් ඉහල නංවන දැඩි සම්බාධක පැනවිය යුතු බව ය.

තම ලිපිය තුල, ෆ්‍රෙන්ච්, යුද්ධයේ අරමුනු වඩාත් පැහැදිලිව සහ සෘජු ව ප්‍රකාශ කරයි. “රුසියාවේ අභ්‍යන්තර භූමියේ ගැඹුරට පහර දීම” සම්බන්ධයෙන් යුක්‍රේනය ලබා ඇති සාර්ථකත්වය ඔහු අගය කරන අතර, යුක්‍රේනය විසින් “ක්‍රිමියාවට ඉන්ධන සැපයුම අහිමි කරමින් එය දැඩි හිඟයකට ඇද දමා ඇති” බවට හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ඩේවිඩ් පෙට්‍රියස් දොඩන පුරසාරම් උපුටා දක්වයි. රුසියාව හමුදාමය වශයෙන් පරාජය කිරීම හැර අන් කිසිදු අරමුනක් නොමැති බව, මෙම ලිපිය මගින් ඉතා පැහැදිලි ව පෙන්නුම් කෙරේ.

ටයිම්ස් පුවත්පත වසර ගනනාවක් තිස්සේ ප්‍රතික්ෂේප කරමින් සිටි කරුනක් ෆ්‍රෙන්ච් ද පිලිගනී. යුක්‍රේනය රඳා පවතින්නේ “ඇමරිකානු බුද්ධි තොරතුරු මත සහ යුරෝපීය අරමුදල් යොදා ගනිමින් මිල දී ගත හැකි ඇමරිකානු ආයුධ මත” බව ඔහු ලියයි. යුක්‍රේනය තම මෙවලම ලෙස යොදා ගනිමින්, එක්සත් ජනපදය සහ නැටෝව මෙම යුද්ධය මෙහෙයවමින් සිටී.

මාධ්‍ය තුල පවතින උමතු ස්වභාවය මනාව පෙන්නුම් කරන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුන දී සිටින වඩ වඩාත් ඉහල යන අසරන තත්වය යි. “එම [මාධ්‍ය] සහාය ඉවත් කලහොත්, රුසියාවට යුද්ධය ජයග්‍රහනය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත,” යැයි ෆ්‍රෙන්ච් ලියයි. යුක්‍රේනය තුල තමන් ගොඩනඟා ගත් යුද පෙරමුන බිඳ වැටිය හැකි යැයි පාලක පන්තිය බියට පත් ව සිටී.

සටන් පිලිබඳ ෆ්‍රෙන්ච්ගේ වාර්තාව, එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදය විසින් යුක්‍රේන සහ රුසියානු ජනතාව ඇද ගෙන ගොස් ඇති යුද්ධය පිලිබඳ චෝදනා පත්‍රයකි. ඔහු විස්තර කරන්නේ “පලමු ලෝක යුද්ධයේ වර්ඩන් සටනේ ඩ්‍රෝන් යුද අනුවාදයකට සමාන [චෙස් ක්‍රීඩාවේ දී සතුරු රජු පමනක් පෙතේ ඉතුරු ව සිටිය දී ඔහුගේ ඇදීම් වාරයේ දී ඔහුට යාමට කොටුවක් තවත් නැති විටක ජය පරාජයෙන් තොර ව තරගය නිම වන අවස්ථාව වන] ස්ටේල්මේට් වූ ලේ වැකි සටනක්” ලෙසයි; “එහි දී බලඇනි යන්තමින් චලනය වන අතර දෙපාර්ශ්වයට ම තමන් අත්පත් කර ගන්නා සෑම බිම් අඟලක් සඳහා ම ලේ වැගිරවීමට සිදු වේ.” ඔහුගේ සංසන්දනය, සංහාරය දිගට ම කරගෙන යාම ගැන කෙරෙන අධිකරන චෝදනාවක් ලෙස ඉදිරිපත් කෙරේ.

රුසියාව “නැටෝ සංවිධානය සමඟ සෘජු ගැටුමකට යාමෙන් වලකින බවත්, එවැන්නක් සිදුවුවහොත් රුසියාව පරාජය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්” ෆ්‍රෙන්ච් ලියා දක්වයි. වචන 2,000 කට අධික එම ලිපිය තුල, රුසියාව යනු ලොව විශාල ත ම න්‍යෂ්ටික අවි බලවතා බව ඔහු කොතැනකවත් සඳහන් නොකරයි. “නැටෝ රටවල් විසින් කලිනින්ග්‍රාඩ් කලාපය රුසියාවේ සෙසු ප්‍රදේශවලින් හුදකලා කිරීමට උත්සාහ කලහොත්, තම භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා න්‍යෂ්ටික අවි ඇතුලු තමන් සතු සියලු ම අවි භාවිතා කිරීමට රුසියාව පසුබට නොවන” බව අයර්ලන්තයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය පසුගිය මාසයේ දී ප්‍රකාශ කලේ ය.

එතැන් පටන්, නැටෝ බලවතුන් රුසියානු දේශසීමා ආශ්‍රිත ව තම හමුදා යෙදවීම පුලුල් කර ඇත. ඔක්තෝබර් 12 වන දින පැවති වෝර්සෝ ආරක්ෂක සංසදයේ දී, යුරෝපයේ නැටෝ හමුදා ප්‍රධානී, එක්සත් ජනපද ගුවන් හමුදා ජෙනරාල් ඇලෙක්සස් ග්‍රින්කෙවිච් රුසියාවට එරෙහි ව සැඟවුනු තර්ජනයක් එල්ල කරමින් ප්‍රකාශ කලේ, යුද්ධයක් ඇති වුවහොත් තම සන්ධානය විසින් “ප්‍රහාරක බලකාය පමනක් නොව, එම බලකායට සහාය වන, එය පවත්වා ගෙන යන හෝ එය පාලනය කරන සෑම දෙයක් ම” ඉලක්ක කරනු ඇති බවයි.

මෙම තීරු ලිපි දෙක ම, යුක්‍රේන පාලන තන්ත්‍රය ප්‍රජාතන්ත්‍රවාදී එකක් ලෙස ව්‍යාජ ලෙස ඉදිරිපත් කරයි. ඇත්ත වශයෙන් ම, යුක්‍රේනය පාලනය වන්නේ යුද නීතිය යටතේ ය. අගෝස්තු මාසයේ දී, යුක්‍රේන අධිකරනයක් විසින් 27 හැවිරිදි සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට ‘රාජ්‍ය ද්‍රෝහීත්වය’ සම්බන්ධයෙන් වසර 15 ක සිර දඬුවමක් නියම කරන ලදී. ඔහු මෙ ලෙස වරදකරු කරනු ලැබුවේ, යුද්ධයට විරුද්ධ වීම සහ එම යුද්ධයට එරෙහි ව එක්සත් වන ලෙස යුක්‍රේන සහ රුසියානු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටීම හේතුවෙනි.

මෙම මාධ්‍ය ව්‍යාපාරය ඉලක්ක කර ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ සමාජ පදනම වන ඉහල-මධ්‍යම පන්තියයි. ට්‍රම්ප්ට එරෙහි ව පවතින මහජන විරෝධය ඩිමොක්‍රටික් පක්ෂයේ යුද ගැති න්‍යාය පත්‍රය දෙසට හරවා ගැනීම එහි අරමුන වේ. එමගින්, රිපබ්ලිකන් පක්ෂයට එරෙහි ව දෙන සෑම ඡන්දයක් ම පුලුල් යුද්ධයකට ලබා දුන් අනුමැතියක් ලෙස ප්‍රකාශ කිරීමට දේශපාලන සංස්ථාපිතයට හැකි වනු ඇත. ට්‍රම්ප්ගේ යුද්ධ සහ ඔහුගේ ඒකාධිපතිවාදී ගමන පිලිබඳව මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුන තරුනියන් තුල පවතින විරෝධය, රුසියාවට එරෙහි යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමට සූදානම් වන පක්ෂයක් හරහා ප්‍රකාශයට පත් විය නොහැක.

මැතිවරනයෙන් පසු සූදානම් කෙරෙන යුද්ධයේ උත්සන්න වීමක බර පැටවෙන්නේ කම්කරු පන්තිය මත ය. ෆෙඩරල් නය බර ඉහල යමින් පවතින තත්වය හමුවේ, යුද්ධය සඳහා වැය කෙරෙන සෑම ඩොලරයක් ම ලබා ගනු ලබන්නේ මෙඩිකේඩ්, මෙඩිකෙයාර් සමාජ ආරක්ෂන සහ රාජ්‍ය අධ්‍යාපන අංශවලට කෙරෙන ක්පපාදු වලිනි.

යුද්ධයට, කප්පාදුවට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහි සටන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කිසිදු පක්ෂයක් හරහා දියත් කල නොහැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ, සමාජවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමකි. .

Loading