ඉදිරිදර්ශන

ස්පාඤ්ඤයේ උර්දා හි සිදුවූ දුම්රිය අනතුර: “මානව දෝෂයක්” පිලිබඳ ව්‍යාජය සහ කම්කරු බලය පිලිබඳ කාරනය

[මෙය Spanish train crash at Urda: The fraud of “human error” and the case for workers’ power මැයෙන් 2026 ඔක්තෝබර් 29 දින ඉංග්‍රීසි බසින් පල විය.]

2026 ඔක්තෝබර් 28 වැනි බදාදා, ස්පාඤ්ඤයේ උර්දා හි දී දුම්රිය දෙකක් ගැටුනු ස්ථානයේ කටයුතු කරන හදිසි සේවා කන්ඩායම්. [ඒපී ඡායාරූප/මනු ෆර්නැන්ඩස්] [AP Photo/Manu Fernandez]

බදාදා උදෑසන 8:54 ට, ස්පාඤ්ඤයේ ටොලෙඩෝ පලාතේ උර්දා අසල දී, රෙන්ෆේ ඒවීඊ (Renfe AVE) අධිවේගී දුම්රියක්, නතර කර තිබූ ඉරියෝ (Iryo) දුම්රියක ගැටුනි. මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 69 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 110 දෙනෙකු පමන තුවාල ලබා ඇත. එම මැඩ්රිඩ් - ඇන්ඩලූසියා දුම්රිය මාර්ගයේ ම, මීට මාස නවයකට පෙර ඇඩමුස් හි දී සිදු වූ මෙ වැනි ම අධිවේගී දුම්රිය ගැටීමකින් පුද්ගලයින් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අනතුරින් විනාශ වූ දුම්රියවල දර්ශන ලොව පුරා මිලියන ගනනක් ජනතාව කම්පනයට පත් කලේ ය.

මෙම ව්‍යසනය හුදෙක් අහඹු සිදුවීමක් නොවේ. ස්පාඤ්ඤයේ සමාජවාදී පක්ෂය (PSOE) සහ සුමාර් (Sumar) සන්ධාන ආන්ඩුව මෙය “මානව දෝෂයක” ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශ කරයි. නමුත්, මෙය කිසිදු අර්ථයකින් “මානව දෝෂයක” ප්‍රතිඵලයක් ද නොවේ. ඒ වෙනුවට, එය ධනේශ්වර සමාජයේ පවතින මූලික ගැටලු සුවිශද ලෙස මතු කර පෙන්වයි.

මෙය සිදුවූයේ, යුරෝපය පුරා පොදු සේවාවන් මතට එල්ල වන ප්‍රහාර, සමාජ අසමානතාවය, පොලිස් මර්දනය, අන්ත දක්ෂිනාංශික බලවේග සහ යුද්ධයට එරෙහි ව තරුනයින්ගේ සහ කම්කරුවන්ගේ දැවැන්ත ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක ය. ස්පාඤ්ඤය තුල නිවාස පහසුකම් සහ ප්‍රංශයේ සහ බෙල්ජියමේ තරුනයින්ට අධ්‍යාපනය සහ රැකියා අවස්ථා ඉල්ලා සිටිමින් ද, ඉතාලියේ සහ ජර්මනිය තුල යුද්ධයට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහි ව ද දැවැන්ත විරෝධතා පැවැත්වේ. වරායන් හමුදාකරනය කිරීමට එරෙහි ව යුරෝපීය වරාය කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් අද පැවැත්වෙන අතර, ලබන මාසයේ දී ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල එක් දින ජාතික වැඩ වර්ජන පැවැත්වීමට නියමිත ය.

උර්දා හි සිදු වූ අනතුර, වර්ධනය වෙමින් පවතින මෙම ව්‍යාපාරය මුහුන දෙන මූලික ගැටලු හෙලිදරව් කරයි. සමාජ ජීවිතයට අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා, පුද්ගලික ලාභය සහ මිලිටරිවාදය වෙනුවෙන් යටත් කර තැබීමට ධනවාදය කටයුතු කරන බව මෙයින් මනා ව පෙන්නුම් කෙරේ. දුම්රිය සේවය සහ සමස්ත ආර්ථිකය ම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරන සමාජවාදී ප්‍රතිපත්තියක අවශ්‍යතාවය, කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි ලෙස මෙයින් තහවුරු වේ.

පැය කිහිපයක් ඇතුලත, PSOE-සුමාර් ආන්ඩුවේ චෝදනාව එක් කම්කරුවෙකු කෙරෙහි යොමු විය. ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ පැවසුවේ උදෑසන 8:30 ට පරිගනක බිඳවැටීමක් හේතුවෙන් කිලෝමීටර් 63 ක දුරක පැරනි LZB ආරක්ෂක පද්ධතිය ක්‍රියා විරහිත වූ බවත්, එහි දුම්රිය ස්වයංක්‍රීය ව නතර වූ බවත්‍ ය. 8:36 ට, මැඩ්රිඩ් හි අටෝචා දුම්රිය ස්ථානයේ ඇඩිෆ් හි පාලන මධ්‍යස්ථානයේ ක්‍රියාකරුවෙකු, රතු සංඥා නොතකා “සාමාන්‍ය ධාවනය” නැවත ආරම්භ කරන ලෙස AVE රියදුරුට පැවසූ බව ඔහු (පුවෙන්ටේ) පැවසී ය. මෙය සිදුවී ඇත්තේ ඉරියෝ දුම්රිය තවමත් මාර්ගය මත නිශ්චලව නතර වී ඇති බවට අටෝචා පාලන මධ්‍යස්ථානයට දැනුම් දී තිබූ තත්ත්වයක් තුලය.

පුවෙන්ටේ මෙය “පැහැදිලි කල නොහැකි” දෙයක් ලෙස හැඳින්වූ අතර, ක්‍රියාකරුට එරෙහි ව තමන් එල්ල කල චෝදනා තහවුරු කිරීමට උත්සාහ කරමින්, ආන්ඩුව, පාලන මැදිරියේ පටිගත කිරීම් මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

මෙම ව්‍යසනයට හේතුව 'මානව දෝෂයක්' යැයි පැවසීම වංචාවකි; ඇත්ත වශයෙන් ම එවැනි මානව දෝෂයක් සිදු වී තිබුනත් නැතත් එය එසේ ම ය. උර්දා සහ ඇඩමුස් හි සිදුවූ ව්‍යසනයන්ට මග පෑදූ සියලු ගැටලු කල් තියා හඳුනා ගත හැකි ව තිබූ අතර, ඇත්ත වශයෙන් ම කම්කරුවන් ඒ පිලිබඳ ව අනතුරු අඟවා ද තිබුනි. එහෙත් කලමනාකාරීත්වය සහ PSOE-සුමාර් ආන්ඩුව මෙම අනතුරු ඇඟවීම් ක්‍රමානුකූල ව නොසලකා හැරියේ ය.

නූතන ආරක්ෂක ඉංජිනේරු විද්‍යාව පවතින්නේ, එක් පුද්ගලයෙකුගේ වරදක් නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වීම වැලැක්වීමට ය. මෙම අනතුර පිලිබඳ අවදානම කලින්ම දැන සිටි කරුනකි. 2024 වසරේ දී, දුම්රිය අනතුරු විමර්ශන කොමිසම (CIAF) විසින් කියුඑන්කා හි සිදුවූ සිදුවීමක් පිලිබඳ ව විමර්ශනයක් කරන ලදී. ස්වයංක්‍රීය පද්ධති වෙනුවට මිනිසුන් විසින් තහවුරු කරන ක්‍රමවේද යොදා ගැනීම “දෝෂ වලට ඉඩ තබන” බවට එහි දී අනතුරු ඇඟවුනු අතර, යල් පැන ගිය පද්ධති වෙනුවට ERTMS Level-2 නම් නවීන ආරක්ෂක පද්ධතියක් වෙත මාරු වන ලෙස නිර්දේශ කරන ලදී.

ඇටෝචා දුම්රිය ස්ථානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගත් කල, ඇඩිෆ් ආයතනයේ කාර්ය මන්ඩලය අඛන්ඩ ව රාත්‍රී පහක් පුරා, එක දිගට පැය 12 ක් දක්වා වන මුර සේවයන්හි යෙදෙන බවට CSIF වෘත්තීය සමිතිය සැප්තැම්බර් මාසයේ දී අනතුරු ඇඟවී ය. දැඩි වෙහෙස සහ කාර්ය මන්ඩල හිඟය මෙන් ම, ඒවා නිසා ඇති වන අනතුරු ද කලමනාකාරීත්වයේ මෙම තීරනවල ප්‍රතිඵල වේ.

2025 අගෝස්තු මාසයේ දී, SEMAF දුම්රිය රියදුරු සංගමය Adif ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කලේ, දුම්රිය මාර්ගවල “දැඩි ගෙවී යාම් සහ පැලුම්” දක්නට ලැබෙන බවයි. පසු ව ඇඩමුස්හි දී දුම්රියක් පීලි පැනීමට ලක් වූ ස්ථානය ද ඊට ඇතුලත් විය. ඇඩමුස් සිදුවීමෙන් අනතුරුව, පෙබරවාරි 9 වන දින දුම්රිය සේවකයෝ රට පුරා වැඩ වර්ජනයක නිරත වූහ. එහෙත්, තවත් සේවකයින් බඳවා ගැනීම, නඩත්තු කටයුතු සඳහා අරමුදල් සැපයීම සහ ආරක්ෂක ක්‍රියා පටිපාටි වැඩිදියුනු කිරීම සම්බන්ධයෙන් ආන්ඩුව ලබා දුන් පොරොන්දු මත, එම දිනයේ ම SEMAF සංගමය සිය වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීය. එහෙත් ඒවා හුදෙක් බොරු පොරොන්දු විය.

“දුම්රිය ආරක්ෂාව, හදිසි කාලගුනික තත්වයන් සඳහා වන ක්‍රියා පටිපාටි, නව රියදුරන් බඳවා ගැනීම සහ දුම්රිය රථවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් අත්සන් තබා තිබූ ගිවිසුම් පරිපාලනමය වශයෙන් අවහිර කරනු ලැබීම හේතුවෙන්,” ඔක්තෝබර් 16 වැනි දා, SEMAF සංගමයට ඔක්තෝබර් 29 වැනි දා නව එක් දින වැඩ වර්ජනයක් කැඳවීමට සිදු විය. ... මේ වන විට, මැයි මාසයේදී මෙන්, සියල්ල අඩපන වී ඇත.” මෙම වැඩ වර්ජනය ඊයේ ක්‍රියාත්මක වූ අතර, ඒ හේතුවෙන් මැඩ්රිඩ් අවට දේශීය දුම්රිය සේවාවලින් සියයට 48 ක් අඩාල විය. එහෙත්, PSOE-සුමාර් ආන්ඩුව මෙම SEMAF වැඩ වර්ජනය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර, නව බඳවා ගැනීම් සිදු කිරීමට හෝ ආරක්ෂක තත්වයන් වැඩිදියුනු කිරීමට ද පොරොන්දු නොවීය.

ස්පාඤ්ඤයේ 2013 වසරේ ඇන්ග්‍රොයිස් සහ 2016 වසරේ ඇඩමුස් යන ස්ථානවල සිදු වූ අනතුරු සම්බන්ධයෙන්, වින්දිතයන්ගේ සංගම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ නිගමනය කලේ ය: “මෙය නැවත සිදු විය; එසේ ම මෙය නැවත නැවතත් සිදුවනු ඇත.”

පොදු යටිතල පහසුකම් අතුගා දමමින් පවතී. ස්පාඤ්ඤ දුම්රිය පෞද්ගලීකරනය හේතුවෙන් ඉතාලි සහ ප්‍රංශ පුද්ගලික ක්‍රියාකරුවන් වන ඔයිගෝ සහ ඉරියෝ 2021 සහ 2022 දී, වත්මන් ආන්ඩුවේ පූර්වගාමියා වූ PSOE-Podemos ආන්ඩුව යටතේ ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය ජාලය ගොඩනැගූහ. එය ගමනාගමනය බෙහෙවින් ගුනනය කල මුත් බඳවා ගැනීම් සහ නඩත්තු කිරීම් නිසි ලෙස සිදු නොවීය. ඇන්ඩලූසියානු ප්‍රාදේශීය ආන්ඩුවේ ගනනය කිරීම්වලට අනුව, 2024 වන විට දුම්රිය කිලෝමීටරයකට නඩත්තු වියදම් සියයට 26 කින් පහත වැටී තිබුනි.

මෙය යුරෝපීය ප්‍රපංචයකි. ග්‍රීසියේ දී, කප්පාදු පියවර අනුගමනය කල සිරිසා (“රැඩිකල් වාමාංශික සන්ධානය”) ආන්ඩුව විසින් දුම්රිය සේවය පුද්ගලීකරනය කිරීමෙන් අනතුරු ව, 2023 වසරේ සිදු වූ ටෙම්පි දුම්රිය අනතුරින් පුද්ගලයින් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිසුන් වූහ. සර්බියාවේ දී, 2024 වසරේ නොවි සාද් දුම්රිය ස්ථානයේ වහල කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙක් මිය ගියහ.

යුරෝපීය බලවතුන් සියල්ලෝ ම අඛන්ඩ ව සමාජ සම්පත් ධනවතුන්ගේ සාක්කුවටත්, හමුදා ශක්තිමත් කිරීම්වලටත් යොමු කරන අතරතුර මූලික ආරක්ෂක ක්‍රියාමාර්ග නොසලකා හැරීම නිසා, වලක්වා ගත හැකි ව තිබූ ව්‍යසනවලින් සිදු වන ජීවිත අහිමි වීම් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී.

2020 මාර්තු මාසයේ දී යුරෝ ට්‍රිලියන 1.44 සිට 2025 නොවැම්බර් මාසයේ දී යුරෝ ට්‍රිලියන 2.4 දක්වා යුරෝපා සංගමයේ බිලියනපතියන් තම ධනය සියයට 70 කින් පමන වැඩි කර ගෙන තිබේ. මැක්‍රොන් බලයේ සිටි දශකය තුල ප්‍රංශ බිලියනපතියන් තම ධනය යුරෝ බිලියන 440 දක්වා දෙගුන කරගෙන ඇති අතර ජනගහනයෙන් අඩකට වඩා වැඩි ධනයක් ඔවුන් සතු ව ඇත. ස්පාඤ්ඤයේ බිලියනපතියන් 33 දෙනා 2025 දී යුරෝ බිලියන 197.5 ක් හිමි කර ගෙන සිටි අතර එය ස්පාඤ්ඤයේ ජනගහනයෙන් සියයට 39 කට වඩා වැඩි ය; එහි ධනවත් ම මිනිසා වන ආර්මන්සියෝ ඔර්ටෙගාගේ ධනය, PSOE-පොදෙමෝස් සහ PSOE-සුමාර් ආන්ඩු යටතේ යුරෝ බිලියන 70 සිට යුරෝ බිලියන 110 දක්වා ඉහල ගියේ ය.

යුරෝපා සංගමය, හමුදාව සඳහා අරමුදල් සැපයීම වෙනුවෙන් සමාජ සුබසාධන වැඩසටහන් සඳහා වෙන් කර ඇති සම්පත් කොල්ලකමින් සිටී; විශේෂයෙන්ම යුක්‍රේනයේ දී රුසියාවට එරෙහි ව නැටෝ යුද්ධය තීව්‍ර වෙමින් පවතින පසුබිමක මෙය වඩ වඩාත් සිදු වේ. යුරෝපීය ආරක්ෂක ඒජන්සියට අනුව, 2021 වසරේ සිට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 හි හමුදා වියදම් යුරෝ බිලියන 218 සිට යුරෝ බිලියන 454 දක්වා, එනම් දෙගුනයකටත් වඩා වැඩි වී තිබේ. SIPRI ආයතනයට අනුව, ස්පාඤ්ඤයේ ආරක්ෂක වියදම් පසුගිය දශකය තුල සියයට 121 කින් ඉහල ගොස් ඇති අතර, එය යුරෝ බිලියන 34.3 ක් දක්වා ලඟා වී ඇත.

උර්දා ව්‍යසනය මගින් පෙන්නුම් කරන්නේ, යුරෝ බිලියන ගනනින් දැවැන්ත මුදල් සම්භාරයක් කතිපයාධිකාරිය පොහොසත් කිරීමටත්, මහා පරිමාන ඝාතන හා මර්දන යාන්ත්‍රනයක් ගොඩනැගීමටත් යොදවන විට, සමාජය කඩා වැටීමකට තල්ලු වන ආකාරයයි.

ධනවාදී දේශපාලනයේ සීමාවන් තුල සිටිමින් කම්කරුවන්ට මෙයට එරෙහි විය නොහැක. ස්පාඤ්ඤය මගින් ඉතා පැහැදිලි ව පෙන්නුම් කරන්නේ, දක්ෂිනාංශය පමනක් නොව, ධනපති මාධ්‍ය විසින් වැරදි ලෙස “වාමාංශික” යැයි ප්‍රවර්ධනය කරනු ලබන ධනපති පද්ධතියේ ඇතැම් කොටස් ද මේ සම්බන්ධයෙන් දේශපාලන වගකීම දරන බවයි.

ග්‍රීසියේ සිරිසා මෙන් ම, අනුප්‍රාප්තික PSOE-පෙදමොස් සහ PSOE-සුමාර් ආන්ඩු ද කතිපයාධිකාරීන් දැවැන්ත ලෙස පොහොසත් කරමින් ද, හමුදා ගොඩනංවමින් ද මූලික සමාජ අවශ්‍යතා සහ කම්කරුවන්ගේ අවශ්‍යතා පාගා දමා ඇත. ඔවුන් බලයට පත් වූයේ, සමාජ තත්වයන් වැඩිදියුනු කිරීමට සහ යුරෝපා සංගමයේ නරක ම කප්පාදු පියවර අවසන් කිරීමට පොරොන්දු වෙමිනි. ඒ වෙනුවට ඔවුන් කලේ, බැංකු නය දීම්, දුම්රිය ලිබරල්කරනය, මිලිටරිකරනය සහ කම්කරු පන්තියට එරෙහි ව වැඩෙන ප්‍රහාර අධීක්ෂනය කිරීම යි.

යහපත් නිවාස ඉල්ලා පැවැත්වුනු මහජන විරෝධතා මාලාවෙන් අනතුරු ව, අගමැති පේද්‍රෝ සැන්චෙස් ආන්ඩුව විසුරුවා හැර නොවැම්බර් 29 වැනිදා කඩිනම් මැතිවරනයක් කැඳවී ය. මෙහි දී ඉතා පැහැදිලි ව කිව යුතු කරුනක් නම්, නොවැම්බර් 29 වැනි දා පැවැත්වෙන ඡන්ද විමසීම මගින් ඇඩමුස්  සහ උර්දා වැනි ව්‍යසනයන්ට මුල් වන කිසිදු ප්‍රතිපත්තියක් වෙනස් නොවනු ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම ව්‍යසනයන් දුම්රිය සේවකයින්ට පමනක් නොව, යුරෝපය පුරා ධනේශ්වර ආන්ඩුවලට එරෙහි අරගලයක නිරත වන කම්කරුවන්ට සහ තරුනයින්ට ද ඉදිරි මාවත පෙන්වා දෙයි. ඊට සම්බන්ධ සමාගම් අත්පත් කර ගෙන, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහ අධීක්ෂනයට යටත් වන යුරෝපීය පොදු සේවා ආයතන බවට ඒවා පරිවර්තනය කල යුතු ය. මෙය, අධිරාජ්‍යවාදී යුද්ධ නැවැත්වීම සහ ධනේශ්වර කතිපයාධිකාරීන් විසින් අයුතු ලෙස උපයා ගත් ධනය රාජසන්තක කිරීම අරමුනු කර ගත්, ස්පාඤ්ඤය සහ සමස්ත යුරෝපය පුරා ක්‍රියාත්මක වන කම්කරු පන්තික දේශපාලන ව්‍යාපාරයක් සමඟ අනිවාර්යයෙන් ම බැඳී පැවතිය යුතු ය.

ජාතික සීමා කපා ගෙන තම අරගල එක්සත් කර ගැනීම සඳහා, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ව, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් කටයුතු කල යුතු ය. දුම්රිය ක්ෂේත්‍රය තුල, අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග සහ නවීකරන කටයුතු අධීක්ෂනය කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමට මෙන් ම අවශ්‍ය කාර්ය මන්ඩලය බඳවා ගැනීමට හා පුහුනු කිරීමටත් මෙම කමිටුවලට බලය හිමි වනු ඇත. යුරෝපය පුරා මතු වෙමින් පවතින මහජන ව්‍යාපාරය එක්සත් කිරීමටත්, ආර්ථික හා දේශපාලන බලය කම්කරු පන්තිය වෙත මාරු කිරීමට සූදානම් වීමටත්, යුරෝපා සංගමය වෙනුවට යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීමටත්, මෙවැනි සංවිධාන ගොඩනැගීම සඳහා වන අරගලය අත්‍යවශ්‍ය වේ.

Loading