[මෙය Sri Lankan government introduces draconian organised-crime bill යන මැයෙන් 2026 නොවැම්බර් 06 දින ඉංග්‍රීසි බසින් පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ඔක්තෝබර් 6 වන දින ඉදිරිපත් කෙරුනු ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතට (PSTA) අමතර ව, ඔක්තෝබර් 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත් කෙටුම්පත (POCB) හරහා, ශ්‍රී ලංකා ආන්ඩුව, පොලිස් සහ විධායක මර්දනය තීව්ර කරන පුලුල් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් සිටියි.
“ත්‍රස්තවාදය” සහ “අපරාධ” මර්දනය කිරීමේ මුවාවෙන් ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත් දෙක ම, වැඩ කරන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කරන බරපතල ප්‍රහාර වන අතර එමගින් ධනේශ්වර රාජ්‍යයේ මර්දනකාරී බලතල තව දුරටත් ශක්තිමත් කෙරෙයි.
සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනතෙහි (POCB) අතිශය දරුනු ස්වභාවය, දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් ව තිබේ. ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් යෝජනා කරනු ලැබූ “මර්දනකාරී නීති මාලාවක වඩාත් ම භයානක පනත” ලෙස මෙය හඳුන්වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය, නව පනත් කෙටුම්පත වහා ම ඉල්ලා අස් කර ගන්නා ලෙස ඉල්ලා සිටියි.
මෙම නීති සම්පාදනය “දන්ඩ මුක්තිය තහවුරු කරන අතර PTA [ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත] යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිනවීම සහ වෙනත් අවභාවිතාවන්ට ඉඩ සලසන කොන්දේසි නැවත පන ගැන්වීමේ අවදානමක් ඇති කරන බවට” ඇම්නෙස්ටි අනතුරු ඇඟවී ය. එය තව දුරටත් මෙසේ පැවසී ය: “එය රහසිගත නඩු විභාගවලට බෙහෙවින් සමාන වන දේට ඉඩ සලසන අතර පොලිස් බලය අනිසි ලෙස භාවිතා කිරීම වැලැක්වීම සඳහා නිර්මානය කර ඇති සියලු ම ආරක්ෂක විධිවිධාන පාහේ ඉවත් කරයි.”
සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙම පනත එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම, අපරාධ කල්ලි සහ ජාවාරම් මැඬ පැවැත්වීම සඳහා එය අවශ්‍ය බවත් ආන්ඩුව කියා සිටී. මෙය ප්‍රෝඩාවකි. එක්සත් ජාතීන්ගේ “ප්රමිතීන්” යනු පොලිස්- රාජ්‍ය නීති සාධාරනීකරනය කිරීම සඳහා ලොව පුරා භාවිතා කරන වහන්තරාවක් වන අතර ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාල ආරක්ෂා කරනු ලබන්නේ, දේශපාලනඥයින්, ව්‍යාපාරිකයන් සහ පොලිසිය විසින් ම ය. මෙහි සැබෑ ඉලක්කය කම්කරු පන්තියයි: එනම්, දරිද්‍රතාවය අපරාධකරනය කිරීම සහ කප්පාදු සහ ප්රජාතන්ත්ර විරෝධී ප්‍රහාරවලට එරෙහි ව කම්කරු පන්තියේ වැඩෙන අරගලවලට එරෙහි ව මර්දනකාරී උපකරනයක් ගොඩනැගීමයි.
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතෙ හි පුලුල් ලෙස අර්ථ දක්වා ඇති ත්‍රස්තවාදී වැරදි, විශේෂයෙන් ඒවා “සැලකිය යුතු ආර්ථික අලාභ” ඇති කරන විට, කප්පාදු, යුද්ධ සහ ජාත්‍යන්තර ගිවිසුම්වලට එරෙහි ව කම්කරුවන්ගේ වැඩවර්ජන සහ කාර්මික ක්‍රියාවන් අපරාධ ලෙස සැලකිය හැකි ය.
POCB පනත මර්දනය සඳහා තවත් මාර්ගයක් විවර කරයි. බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීම් මෙන් ම, රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පුද්ගලයන් රහසිගත ව හා අයුතු ලෙස සිර කර තැබීම වැනි දන්ඩ නීති සංග්‍රහය යටතේ දැනටමත් අපරාධ ලෙස නම් කර ඇති ක්‍රියාවන් , සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් සිදු කරනු ලැබුවහොත්, ඒවා සම්බන්ධයෙන් නඩු පැවරීමේ දී පවතින ක්‍රියාපටිපාටික ආරක්ෂන විධිවිධාන බෙහෙවින් අඩු මට්ටමක පැවතිය හැකි ය.
“සංවිධානාත්මක අපරාධ කන්ඩායමක් ” යන්න, “මූල්‍යමය හෝ වෙනත් ද්‍රව්‍යමය ප්‍රතිලාභයක්” අරමුනු කර ගනිමින් බරපතල අපරාධ සිදු කිරීම සඳහා කාලයක් පුරා එක් ව ක්‍රියා කරන පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ලෙස පුලුල් හා අපැහැදිලි ආකාරයෙන් නිර්වචනය කර ඇත.
යම් පුද්ගලයින් සංවිධානාත්මක අපරාධ කන්ඩායමක සාමාජිකයින් ද යන්න තීරනය කිරීම සඳහා, “එම කන්ඩායමේ සාමාජිකයින් ලෙස හඳුනාගෙන සිටින අය අනුගමනය කරන ඇඳුම් විලාසිතා, හස්ත සංඥා, ඔවුන් භාවිතා කරන භාෂාව හෝ පච්ච” වැනි පරිවේශනීය සාක්ෂි (circumstantial evidence) මෙන් ම, සංවිධානාත්මක අපරාධ කන්ඩායම් විසින් භාවිතා කරන බවට දන්නා ස්ථාන වෙත යම් පුද්ගලයෙකු පැමිනෙන්නේ ද යන්න වැනි කරුනු ද අධිකරනයට සැලකිල්ලට ගත හැකි ය.
මෙම අපැහැදිලි සහ පුලුල් සූත්රගත කිරීම් හා වචන භාවිතයන්, දේශපාලන පක්ෂ සහ විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අපරාධ ලෙස අර්ථ දැක්වීමට යොදා ගත හැකිය. “රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම” යන්න, විවිධ සංවිධාන විසින් සිදු කරනු ලබන වෘත්තීය සහ විරෝධතා සඳහා ද අදාල කර ගත හැකි වරදකි.
අධිකරනයේ පූර්ව අවසරයකින් තොර ව පනත් කෙටුම්පත මගින් ආවරනය වන අධිකරන ක්‍රියාමාර්ගවලට අදාල තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සංවිධානවලට ද සිර දඬුවම් ඇතුලු අපරාධ දඬුවම්වලට මුහුන දීමට සිදු විය හැකි ය.
3 වන වගන්තිය යටතේ, රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීම හෝ ඔවුන්ට එරෙහි ව අපරාධමය බලය යෙදවීම වැනි වරදවල් සඳහා වසර හතරක් දක්වා සිර දඬුවම් නියම කල හැකි ය. 4(1) වගන්තිය යටතේ, යම් අපරාධ කන්ඩායමක සාමාජිකයන් ලෙස හඳුනාගනු ලබන සහ බරපතල අපරාධ සිදු කිරීම සඳහා කුමත්‍රනය කරන පුද්ගලයින්ට, වසර 5 සිට 20 දක්වා සිර දඬුවම් සහ රුපියල් මිලියනයක් දක්වා දඩ මුදල් නියම කල හැකි ය.
මෙම පනත් කෙටුම්පත මඟින්, දේශපාලන පක්ෂ, විරෝධතා කන්ඩායම් සහ අනෙකුත් නීත්‍යානුකූල සංවිධානවලට එරෙහි ව භාවිතා කල හැකි පුලුල් පරාසයක පොලිස්- රාජ්‍ය බලතල සපයයි. පහත සඳහන් බලතල ඊට ඇතුලත් වේ:
වරෙන්තුවක් නොමැති ව යම් ස්ථානයකට ඇතුලු වීම සහ සෝදිසි කිරීම මෙන් ම ඊට අදාල ලේඛන සහ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම.
මහේස්ත්‍රාත්වරයෙකුට, (අපරාධ සැකකරුවෙකු ලෙස සැලකෙන අයෙකුගේ ) සංචාරය කිරීම, සන්නිවේදනය සහ ඇසුරු කිරීම සීමා කල හැකි ය.
සැකකරුවන් අධිකරනය හමුවට ඉදිරිපත් කිරීමට පෙර, පොලිසියට ඔවුන් පැය 72ක කාලයක් රඳවා තබා ගත හැකි අතර, එම කාලය තවත් පැය 24 කින් දීර්ඝ කිරීමට ද අවසර ඇත.
සැකකරුවන්, අධිචෝදනා ගොනු කිරීමකින් තොර ව, මූලික වශයෙන් මාස දෙකක කාලයක් සඳහා විධායක නියෝගයක් මත රඳවා තබා ගත හැකි අතර මහාධිකරනය මගින් එම කාලය වසරක් දක්වා දීර්ඝ කල හැකි ය.
බරපතල චෝදනා සම්බන්ධ නඩු වල දී ඇප ලබා දිය හැක්කේ “සුවිශේෂී තත්වයන් යටතේ” පමනක් වන අතර, එය සිදු කල හැක්කේ මහාධිකරනය මගින් පමනි.
පොලිසිය විසින් ලබා ගන්නා පාපොච්චාරන අධිකරනයේ දී සාක්ෂි ලෙස පිලිගනු ලැබෙන අතර එ මගින් බලහත්කාරයෙන් ලබා ගත් සාක්ෂි ඉදිරිපත් වීමේ අවදානමක් පවතී.
යම් ආකාරයක තොරතුරු හෙලිදරවු කිරීම මෙන් ම, සැකකටයුතු වැරදිකරුවන් පිලිබඳ ව වාර්තා කිරීමට අපොහොසත් වීම ද අපරාධයක් බවට පත් කෙරෙනු ඇත.
මෙම පනත් කෙටුම්පතේ ඇතැම් අංගයන්ට විපක්ෂ දේශපාලන පක්ෂ විරෝධය පල කර ඇති අතර එය සංශෝධනය කරන ලෙස රජයට බලපෑම් කිරීමට උත්සාහ දරමින් සිටී. සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස, ත්රස්තවාදයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහි නීතිවල අවශ්‍යතාවය පිලිගන්නා අතර ම, ඒ සඳහා අධිකරන අධීක්ෂනයක් සහ විධායක බලය අනිසි ලෙස භාවිතා කිරීම වැලැක්වීමට ආරක්ෂක විධිවිධාන තිබිය යුතු බව පවසා ඇත. එසේ ම, මෙම තත්වය හේතුවෙන් යුරෝපා සංගමයේ GSP+ බදු සහන අහිමි වීමේ අවදානමක් ඇති බවට ද ඔහු අනතුරු ඇඟවී ය. සජබ විවිධ රාජ්‍ය තාන්ත්‍රික දූත මන්ඩල හමු වී, මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.
සජබ විරෝධතා සම්පූර්නයෙන් ම කුහක ය. එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) කැඩී බිහි වූ මෙම පක්ෂය, රටේ පැවති ලේ වැකි වාර්ගික යුද්ධය සමයේ දී හදිසි නීතිය, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ වැඩ වර්ජන මර්දන ක්‍රියාමාර්ග යොදා ගනිමින් එජාපය සිදු කල ප්රජාතන්ත්ර -විරෝධී අපයෝජනයන් පිලිබඳ දීර්ඝ ඉතිහාසය කිසි දිනෙක ප්‍රතික්ෂේප කර නොමැත. රජයේ මර්දනකාරී න්‍යාය පත්‍රයට එරෙහි ව ඔවුන්ට කිසිදු ප්‍රතිපත්තිමය විරෝධයක් නොමැති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ හුදෙක් මතුපිටින් පෙනෙන සුලු සංශෝධන පමනි.
ව්‍යාජ -වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), මෙම නීති සම්පාදනයට විරුද්ධ බව හඟවමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වී ය. ඔවුන් විසින් “මහජන ව්‍යාපාරයක්” ගොඩනැගීමට කරන ඉල්ලීමේ දී ඇත්ත වශයෙන් ම අදහස් කරන්නේ, විපක්ෂ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන් සමඟ සන්ධානයක් ඇති කර ගැනීමට ආයාචනා කිරීමයි. කෙසේ වෙතත්, ඔවුන් තර්ක කරන ආකාරයට, ත්‍රස්තවාදය සහ වෙනත් අපරාධ මැඬ පැවැත්වීම සඳහා දැනට පවතින නීති—එනම් කුරිරු හදිසි නීති රෙගුලාසි, දන්ඩ නීති සංග්‍රහය සහ වෙනත් මර්දනකාරී නීති— ප්‍රමානවත් වේ. වෙනත් වචනවලින් කිවහොත්, කම්කරුවන්ට සහ පීඩිත ජනතාවට එරෙහි ව යොමු වී ඇති වර්තමාන මර්දනකාරී රාජ්‍ය යාන්ත්රනයට ඔවුහු සහාය පල කරති.
තම කප්පාදු න්‍යාය පත්‍රය වැඩ කරන ජනතාව මත ප්රජාතන්ත්රවාදී ව පැටවිය නොහැකි බව හොඳින් දන්නා ජවිපෙ/ජාජබ ආන්ඩුව, මෙම නීති සම්පාදනය කඩිනමින් පාර්ලිමේන්තුව හරහා ගෙන ඒමට අදහස් කරයි. පිරිහෙන ජීවන තත්වයන් සහ IMF විසින් නියම කරන රැකියා විනාශ කිරීම සම්බන්ධයෙන් පවතින කෝපය සහ විරෝධය දැනටමත් උත්සන්න වෙමින් පවතී. එ පමනක් නොව, විරෝධතා සහ වැඩ වර්ජන මැඬ පැවැත්වූ පෙසප වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ලබන වෘත්තීය සමිති වඩ වඩාත් අපකීර්තියට පත්වෙමින් තිබේ.
POCB සහ PSTA යන පනත්වලට අවිවාදිත ව විරුද්ධ වනවා පමනක් නොව, හදිසි නීති රෙගුලාසි සහ වැඩ වර්ජන විරෝධී නීති ඇතුලු ප්රජාතන්ත්රවාදයට එරෙහි සියලු නීති අහෝසි කරන ලෙස ඉල්ලා සිටින එක ම පක්ෂය වන්නේ ද සමාජවාදී සමානතා පක්ෂයයි.
මූලික සමාජීය හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන අරගලයක් දියත් කිරීමේ පදනම ලෙස, වෘත්තීය සමිතිවලින් සහ සියලු ම ධනපති පක්ෂවලින් ස්වාධීන ව, සෑම සේවා ස්ථානයක ම සහ ආයතනයක ම තමන් විසින් ම ප්රජාතන්ත්රවාදී ව තෝරා පත් කරගන්නා ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.
ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා වන අරගලය, සුපිරි ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් නොව, සමාජයේ අතිමහත් බහුතරයකගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැප වන්නා වූ කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා අරගලය සමඟ බැඳී පවතී.
