ඉදිරිදර්ශන

රිපබ්ලිකන් මැතිවරන පරාජයෙන් පසු, ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් සමඟ “ද්විපාර්ශ්වික පොදු වැඩපිලිවලකට” ප්‍රතිඥා දෙයි

[මෙය After Republican election debacle, Democrats pledge “bipartisan common ground” with Trump මැයෙන් 2026 නොවැම්බර් 06 දින ඉංග්‍රීසි බසින් පල විය.]

2026 මැයි 21 වන බ්‍රහස්පතින්දා, වොෂින්ටනයේ කැපිටල් හීල් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර, ඩී-නිව් යෝර්ක් හි සුලුතර මන්ත්‍රී මන්ඩල නායක හකීම් ජෙෆ්‍රිස් (මැද) කතා කරද්දී, ඩී-නිව් යෝර්ක් හි සෙනෙට් සුලුතර නායක චක් ෂුමර් (වමේ) සහ ඩී-කැලිෆෝනියා හි උප සභාපති නියෝජිත පීට් අගුයිලර් (දකුනේ), සවන් දෙමින් සිටිති. [AP Photo/Mariam Zuhaib]

2026 මධ්‍යවාර මැතිවරනයේ දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස ප්‍රතික්ෂේප වීමෙන් අනතුරු ව, ඩිමොක්‍රටික් පක්ෂය, ට්‍රම්ප් පාලනය බේරා ගැනීම සඳහා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මාධ්‍ය තුල පුලුල් ලෙස පිලිගෙන ඇති පරිදි, 2026 මධ්‍යවාර මැතිවරනය, අඩ සියවසකට වැඩි කාලයක් තුල බලයේ සිටි ජනාධිපතිවරයෙකු ලද විශාල ත ම මැතිවරන ප්‍රතික්ෂේප කිරීම වූවාක් මෙන් ම, සමස්ත ඇමරිකානු ඉතිහාසයේ විශාල ත ම පරාජයන්ගෙන් එකක් ද විය. ට්‍රම්ප්ට එරෙහි මාරුව රටේ සෑම කලාපයක් ම, ජනගහනයේ සෑම කොටසක් ම හරහා පැතිර ගිය අතර, ට්‍රම්ප් තම පදනම ලෙස හඳුනා ගෙන සිටි ග්‍රාමීය ඡන්දදායකයින්, තරුනයින් සහ කම්කරුවන් අතර එය තියුනු ම ආකාරයෙන් පිලිබිඹු විය.

මෙම ඡන්දය ට්‍රම්ප් පමනක් නොව, ඔහුගේ පාලනාධිකාරියේ සමස්ත න්‍යාය පත්‍රය ම ප්‍රතික්ෂේප කිරීමක් විය. එයින් ප්‍රකාශයට පත් වූයේ, සමාජ අසමානතාවයේ වර්ධනය, යුද්ධය, සංක්‍රමනිකයන්ට එරෙහි ප්‍රහාර සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මතට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහි මහජන විරෝධයයි.

එහෙත් ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ වහා ඉදිරිපත් වී, ද්විපාර්ශ්වික සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටියහ.

ජනවාරි මාසයේ දී නියෝජිත මන්ත්‍රී මන්ඩල කථානායකවරයා ලෙස පත්වීමට අපේක්ෂිත හකීම් ජෙෆ්‍රීස්, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් “ද්විපාර්ශ්වික එකඟතාව ඇති කර ගැනීමට සූදානමින්, අපේක්ෂාවෙන් සහ ඊට හැකියාව ඇති ව” සිටින බවත්, “අප එකිනෙකා අතර කෙරෙන පලිගැනීම් ඇමරිකානු ජනතාවට අවශ්‍ය නොවන” බවත්‍ ප්‍රකාශ කලේ ය. තව ද, තම පක්ෂ කන්ඩායමේ කිසිදු සාමාජිකයෙකු දෝෂාභියෝගයක් ගෙන ඒම පිලිබඳ ව තමා සමඟ සාකච්ඡා කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

ඇමරිකානුවන්ට “ජනතාව බෙදනවා වෙනුවට, ඔවුන් එක් කරන දේශපාලනයක් අවශ්‍ය” බව බැරැක් ඔබාමා ප්‍රකාශ කලේ ය. අලුතින් තේරී පත් වූ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් එම වාක්‍ය ඛන්ඩය විවිධ ආකාරවලින් පුනරුච්චාරනය කරන ලදී: “වොෂින්ටනයේ විනීතභාවය සහ ද්විපාර්ශ්විකත්වය පිලිබඳ හැඟීම යථා තත්වයට පත් කිරීම” සඳහා වන කැඳවුමක් (කැන්සාස් සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත් වූ ඇඩම් හැමිල්ටන්); “ජනවාරි පැමිනෙන විට, අපට එකට වැඩ කිරීමට බල කෙරෙනු ඇති” බවට සහතිකයක් (අයෝවා ආන්ඩුකාරවරයා ලෙස තේරී පත් වූ රොබ් සැන්ඩ්); “මිනසෝටාව වමට හෝ දකුනට ගෙන යාමට” ඇති ඕනෑ ම උත්සුකයක් ප්‍රතික්ෂේප කිරීම (මිනසෝටා ආන්ඩුකාරවරයා ලෙස තේරී පත් වූ ඒමි ක්ලෝබුචාර්).

ටෙක්සාස් ප්‍රාන්තයෙන් සෙනෙට් සභාවට තේරී පත් වූ ජේම්ස් තලරිකෝ පැවසුවේ, තමා තේරී පත්වූයේ “පලිගැනීම සඳහා” නොවන බවයි. සංක්‍රමනිකයින් වැටලීම, රැඳවුම් කඳවුරු සහ පිටුවහල් කිරීමේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, “ජනාධිපතිවරයාට ගෞරවය ලබා දිය යුතු තැන එය ලබා දිය යුතු” බව ඔහු පැවසී ය.

මෙම ප්‍රතිචාරය මගින් මැතිවරනවල වංචනික ස්වභාවයත්, ජනතාවගේ අභිලාෂයන් හමුවේ පාලක ප්‍රභූ පැලැන්තිය දක්වන දැඩි උදාසීනත්වයත් (එසේත් නැති නම්, ඔවුන් ඊට කිසි සේත් ම අවනත නොවන බවත්) මනාව පිලිබිඹු කෙරේ. ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කරන්නේ, ආන්ඩුව පරාජයට පත් කල විපක්ෂ දේශපාලන පක්ෂයක් ලෙස නොවේ. ඔවුන්ට රිපබ්ලිකන් පක්ෂයේ සහාය සැබැවින් ම අවශ්‍ය නැත. නියෝජිත මන්ත්‍රී මන්ඩලය සහ සෙනෙට් සභාව යන ආයතන දෙකෙහි ම ඔවුන් සතු ව ප්‍රබල බහුතර බලයක් පවතිනු ඇත. එසේ නම්, ඔවුන් ද්විපාර්ශ්වික සහයෝගීතාවක් ගැන කතා කරන්නේ කුමකට ද?

ඔවුන් පරාජිත පක්ෂය ජයග්‍රහනය කලාක් මෙන් සලකන අතර, වෛරයට පාත්‍ර වූ ජනාධිපතිවරයෙකු, තමන් සිත් දිනා ගැනීමට පතන විවාහ බස් ඉල්ලන්නෙකු ලෙස සලකයි. මෙය හරියට ම, 1864 නොවැම්බර් මාසයේ දී යුද්ධය ජයග්‍රහනය කරා ගෙන යාම සහ වහල්භාවය අහෝසි කිරීමේ වැඩපිලිවෙලක් මත නැවත තේරී පත්වූ ඒබ්‍රහම් ලින්කන්, ඒ වෙනුවට කොන්ෆෙඩරේට් පාර්ශ්වය සමඟ “පොදු එකඟතාවකට” පැමිනීමට ඉදිරිපත් වූවාක් මෙනි.

ඩිමොක්‍රටිකයින්ට ඇත්තෙන් ම අවශ්‍ය කුමක් ද? ඔවුන් සොයන්නේ යම් ආදේශකයකි; ඒ ප්‍රධාන වශයෙන් ම, රුසියාවට එරෙහි යුද්ධයට අදාල ව ය. ඩිමොක්‍රටිකයින් හමුදා සහ බුද්ධි අංශ යාන්ත්‍රනය නියෝජනය කරන පක්ෂයකි; එහි සැලකිය යුතු පිරිසක් සෘජු ව ම පැමින ඇත්තේ සීඅයිඒ සහ වෙනත් බුද්ධි අංශවලිනි. පසුගිය වසර තුල ට්‍රම්ප්ට එරෙහි ව ඔවුන් එල්ල කල තියුනු ත ම ප්‍රහාරයන්ට හේතු වූයේ, මොස්කව් සම්බන්ධයෙන් ට්‍රම්ප් දක්වන ආක්‍රමනශීලීත්වය ප්‍රමානවත් නොවන බව ඔවුන්ට හැඟී යාමයි. කොංග්‍රසයේ මන්ත්‍රී මන්ඩල දෙකෙහි ම පාලනය තමන් සතු ව පවතින බැවින්, වඩාත් ආක්‍රමනශීලී යුද්ධයක් වෙනුවෙන් බලපෑම් කිරීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තම තත්වය (නව ජයග්‍රහනය - පරිවර්තක) යොදා ගනු ඇත.

මීට අමතරව, ආර්ථික අර්බුදයෙන් ආරම්භ වන සමස්ත ගැටලු මාලාවක් සම්බන්ධයෙන් පක්ෂ දෙක එක්ව කටයුතු කිරීම පාලක පන්තියේ අවශ්‍යතාව වී තිබේ. අතිශය මූල්‍ය අස්ථාවරත්වයක් මධ්‍යයේ මෙම මැතිවරනය පැවැත්විනි. කෘත්‍රිම බුද්ධි (AI) කොටස් සම්බන්ධ දැවැන්ත සමපේක්ෂන බුබුලක් මත වෝල් වීදියේ මූල්‍ය වෙලඳපොල රඳා පවතින තත්ත්වයක් තුල මෙම මැතිවරනය පැවැත්විනි. බ්‍රහස්පතින්දා, නස්ඩැක් දර්ශකය සියයට 5.5 කින් පහත වැටී වෙලඳපොල නිවැරදි වීමේ (correction) අවධියකට පිවිසි අතර, ඩව් ජෝන්ස් දර්ශකය දර්ශක අගයන් 1,833 කින් පහත වැටුනි. රොයිටර්ස් පුවත් සේවයේ වචනවලින් කිවහොත්, ඩිමොක්‍රටික් පක්ෂයේ අතිවිශිෂ්ට මැතිවරන ජයග්‍රහන හේතුවෙන් AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාප්තියට ඇති වන බලපෑම් පිලිබඳව ආයෝජකයෝ “නැවත තක්සේරු කලහ.”

යුද්ධයෙන් සහ ධනවතුන්ගේ නිමක් නැති ඇප නයවලින් තීව්‍ර කරන ලද ජාතික නය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවන විට, පාලක පන්තිය සමාජ වැඩසටහන් වලට ප්‍රහාර ඉල්ලා සිටී. එ වැනි කප්පාදුවලට ද්විපාර්ශ්වික ගිවිසුමක ආවරනය අවශ්‍ය වන අතර, ඩිමොක්‍රටිකයින් එය ලබා දීමට සූදානම් වෙමින් සිටී.

එසේ ම, ඉරානයට එරෙහි යුද්ධය තවමත් සිදුවෙමින් පවතී. ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ට්‍රම්ප් සතු ව පුලුල් සැලසුම් පවතින පසුබිමක සිටිය ද, ඩිමොක්‍රටිකයින් මෙම යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා නැත. ලෝකය පුරා, විශේෂයෙන් ම මැද පෙරදිග කලාපය තුල ආධිපත්‍යය පැතිරවීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන උත්සාහයට, මැතිවරනය හේතුවෙන් කිසිදු බාධාවක් ඇති නොවන බව තහවුරු කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය ව තිබේ.

සියල්ලටත් වඩා, ඩිමොක්‍රටිකයින්, පහල සිට මතුවන ව්‍යාපාරයක් දිරිමත් කරන සහ දැනටමත් දැඩි ලෙස බිඳ වැටී ඇති රාජ්‍ය යාන්ත්‍රනයේ අධිකාරිය තව දුරටත් අස්ථාවර කරන ඕනෑ ම දෙයකට සතුරු ය. ඩිමොක්‍රටික් පක්ෂයේ කාර්යය වන්නේ, ට්‍රම්ප් පාලනයට එරෙහි විරෝධය, පක්ෂ දෙක ම පාලනය කරන කතිපයාධිකාරයට එරෙහි ව්‍යාපාරයක් බවට වර්ධනය වීමට පෙර එය පාලනය කර තබා ගැනීමයි.

මේ සියල්ල තුල, ඩිමොක්‍රටිකයින් ආවේශය ලබන්නේ, ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා (DSA) සංවිධානයේ සාමාජිකයෙකු සහ නිව් යෝර්ක් නගරයේ ඩිමොක්‍රටික් නගරාධිපතිවරයෙකු වන සොහ්රාන් මම්දානිගෙනි. පසුගිය වසර තුල ට්‍රම්ප් තුන් වතාවක් මුනගැසී ඇති ඔහු, ට්‍රම්ප් සමඟ දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර තිබේ.

බ්‍රහස්පතින්දා දින MSNBC නාලිකාවේ “මෝනිං ජෝ” (Morning Joe) වැඩසටහනේ දී, “ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට දිය හැකි උපදෙස්” මොනවාදැයි විමසූ විට, ඊට පිලිතුරු දෙමින් මම්දානි පැවසුවේ, “ට්‍රම්ප් සමඟ පොදු අරමුනක් ඇති කරගත හැකි තැනක් සොයා ගැනීමෙන්, ඔබට එය කල හැකි යැයි මම සිතනවා” යනුවෙනි. තව දුරටත් අදහස් දැක්වූ මම්දානි මෙසේ පැවසී ය: “මම හිතන්නේ සෑම විට ම ඒ සඳහා අවකාශයක් තිබෙනවා. ඒ වගේ ම, සැම විට ම ඔබ ඒ සඳහා ඉල්ලීමක් කල යුතුයි... නිව් යෝර්ක් වැසියන්ට යම් ආකාරයකින් උපකාරී විය හැකි වෙනත් යමක් තිබේ නම්, මම තව දුරටත් ජනාධිපතිවරයා අමතන්නට පසුබට වෙන්නේ නැහැ.”

ඩිමොක්‍රටික් පක්ෂය සඳහා ආදර්ශයක් ලෙස පැහැදිලි ව ම ඉදිරිපත් කරන ලද මෙම ප්‍රකාශය‍, එ ලෙස ම පිලිගනු ද ලැබිනි. මිසූරි ප්‍රාන්තයේ හිටපු ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්ලෙයාර් මැක්කාස්කිල්, මම්දානිගේ ප්‍රවේශය පිලිබඳ ව අදහස් දක්වමින් මෙසේ පැවසුවා ය: “ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ලෙස අප දැන් කල යුත්තේ ද එයයි.”

මේ සියල්ල මගින්, තමන්ගේ ම අපේක්ෂකයින්ගේ ජයග්‍රහන ද ඇතුලු ව, මැතිවරන හරහා ඩිමොක්‍රටික් පක්ෂය වාමාංශික දිශාවකට තල්ලු වනු ඇතැයි DSA සංවිධානය ප්‍රවර්ධනය කල මතය මුලුමනින් ම බිඳ වැටේ. ඩිමොක්‍රටික් පක්ෂය වාමාංශික දිශාවකට තල්ලු කරනවා වෙනුවට, ට්‍රම්ප් සමඟ එකඟතාවකට එලඹීමේ ක්‍රියාවලියේ දී DSA සංවිධානය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

මම්දානි සඳහන් කරන “පොදු අරමුන” යනු, ධනවාදී ක්‍රමය සහ මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමයි. ඔහු මෙහි දී පුනරුච්චාරනය කරන්නේ ඔබාමාගේ ප්‍රකාශයකි; එහි දී, 2016 වසරේ ට්‍රම්ප් පලමු වරට මැතිවරනයෙන් ජයග්‍රහනය කල දාට පසු දා, එම මැතිවරන තරඟය “එක ම කන්ඩායමක් තුල සිදු වූ ගැටුමක්” ලෙස හැඳින්වූ ඔබාමා, “ඇත්ත වශයෙන් ම අප සියලු දෙනා සිටින්නේ එක ම කන්ඩායමක” යැයි ප්‍රකාශ කලේ ය. එම කන්ඩායම මූල්‍ය කතිපයාධිකාරයයි; එහි ප්‍රතිවාදියා වන්නේ කම්කරු පන්තියයි.

අඟහරුවාදා පැවති ඡන්දයෙන් ප්‍රකාශයට පත් වූයේ, යුද්ධයට, කතිපයාධිකාරයට සහ ආඥාදායකත්වයට එරෙහි ව මිලියන සංඛ්‍යාත වැඩ කරන ජනතාවගේ විරෝධයයි. මෙම විරුද්ධත්වය මැතිවරනයෙන් නතර නොවනු ඇත. එය වෝල් වීදියේ පක්ෂය පිටුපසට නැවත යොමු කිරීමේ කාර්ය  බාර ගෙන ඇති ඩිමොක්‍රටික් පක්ෂය සහ ඔවුන්ගේ “ප්‍රගතිශීලී” සහ DSA සහායකයින් සමඟ ගැටුමකට වේගයෙන් එලඹෙනු ඇත.

Loading