[මෙය Sri Lanka’s 2027 budget intensifies IMF austerity against working people මැයෙන් 2026 නොවැම්බර් 17 වැනි දා ඉංග්‍රීසි බසින් පල විය.]
ශ්‍රී ලංකා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක නොවැම්බර් 12 දා සිය ආන්ඩුවේ තුන් වන කප්පාදු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. ඊට සති පහකට පෙර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) නියෝජිත කන්ඩායමක් සමග පැවති සාකච්ඡා වලින් අනතුරු ව, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු තහවුරු කලේ, රුදුරු වියදම් කප්පාදු සහ ව්‍යාපාරිකයන්ට වාසිදායක ප්‍රතිව්‍යුහගත කිරීම් පිලිබඳ අයිඑම්එෆ් අවශ්‍යතා වලට අනුකූල ව ඉදිරියට යාමට ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ /ජාජබ) ආන්ඩුව තව දුරටත් කැප වී සිටින බවයි.
පැය පහකට අධික කාලයක් පැවති සිය අයවැය කතාවේ දී, ශ්‍රී ලංකාව අතීත අභියෝග ජය ගෙන “ආර්ථික ස්ථාවරත්වය” අත් කර ගෙන ඇතැයි දිසානායක ප්‍රකාශ කලේ ය. ආන්ඩුවේ මීලඟ ඉලක්කය වන්නේ 2027 දී “අනාගතය දෙසට යොමු වූ පරිවර්තනීය යුගයක් ආරම්භ කිරීම” බව ඔහු පැවසී ය.
මෙම “ස්ථාවරත්වය” අත් කර ගෙන ඇත්තේ අයිඑම්එෆ් විසින් නියම කරන ලද රුදුරු කප්පාදු වැඩපිලිවෙල යටතේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ පීඩිත ජනතාව තවදුරටත් දරිද්‍රතාවයට ඇද දැමීමෙනි. අයවැය ඉදිරිපත් කිරීමට පෙර දින, දැනටමත් සීමිත වූ අස්වැසුම සමාජ සුබසාධන වැඩපිලිවෙල මත තව දුරටත් කප්පාදු පැනවීම ආන්ඩුව නිවේදනය කලේ ය. එ මගින් දිලිඳු ජනතාවගෙන් ලක්ෂ පහකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වනු ඇත.
රුපියල් ට්‍රිලියන 4.85ක (ඇමරිකානු ඩොලර් බිලියන 15.5ක) නියමිත පොලී සහ නය මුල් මුදල් ගෙවීම්, ආන්ඩුවේ අපේක්ෂිත ආදායම වන රුපියල් ට්‍රිලියන 6.23න් පහෙන් හතරකට ආසන්න ප්‍රමානයක් ගිලගනු ඇත. පොලී ගෙවීම් පමනක් ආදායමෙන් සියයට 43ක් පමන ඩැහැගනු ඇත. රාජ්‍ය මූල්‍ය කටයුතු මත නය බර කෙතරම් දැඩි ලෙස පවතින්නේ ද යන්න මෙයින් පැහැදිලි වේ. මෙය එක් පුරවැසියෙකු මත වාර්ෂික ව රුපියල් 220,000කට (ඩොලර් 661කට) වැඩි නය සේවාකරන බරක් පැටවීමකි.
ලංකා වානිජ මන්ඩලය (සීසීසී) සහ ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය (ජැෆ්) තම යෝජනා අයවැයට ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අයවැය ප්‍රශංසාවට ලක් කලේ ය. රුපියල් ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම සමග, ඩොලර් මිලියන 3කට වැඩි ආයෝජන සිදු කරන අපනයන නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාරවලට, සුදුසුකම් ලබන ප්‍රාග්ධන වියදම් ප්‍රමානය මෙන් දෙගුනයක් බදු අය කල හැකි ආදායමෙන් අඩු කිරීමට ආන්ඩුව ඉඩ සලසනු ඇත. දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා පෞද්ගලික ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමට විදුලි ගාස්තු සහන සහ වෙනත් දිරිගැන්වීම් ද අයවැය මගින් සපයනු ලැබේ.
2027 මුල් භාගයේ දී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (පීපීපී) පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට සැලසුම් කරන බව දිසානායක පැවසී ය. මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීමේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ආන්ඩුවේ සැලසුම් මෙ මගින් ඉදිරියට ගෙන යනු ඇත. රාජ්‍ය ව්‍යවසායන් 34ක් වසා දැමීමට සැලසුම් කර ඇති බව ආන්ඩුව මීට පෙර දැනුම් දී තිබුනි.
ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 ක් 2022 දී වාර්තා කල ඒකාබද්ධ රුපියල් බිලියන 774ක පාඩුව, 2025 දී රුපියල් බිලියන 444 ක ලාභයක් බවට පරිවර්තනය වීම “ජයග්රහනයක්” ලෙස දිසානායක ඉදිරිපත් කලේ ය. මෙය මෙහෙයවනු ලැබුවේ අයිඑම්එෆ් විසින් පනවන ලද ප්‍රතිව්‍යුහගත කිරීම මගිනි. එමගින් රාජ්‍ය සේවාවල ඉහල පිරිවැය ගාස්තු මහජනතාව මත පටවා ඇති අතර, රැකියා සහ සැබෑ වැටුප් කපා දමා වැඩ බර වැඩි කර තිබේ.
දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 2.3ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම, අයවැය හිඟය සියයට 5ක මට්ටමේ තබා ගැනීම සහ පුලුල් බදු පැනවීම් හා දැඩි බදු එකතු කිරීම් මගින් රාජ්‍ය ආදායම දදේනි යෙන් සියයට 20 දක්වා ඉහල නැංවීම ඇතුලු අයිඑම්එෆ් කප්පාදු ඉලක්කවලට ආන්ඩුව තව දුරටත් කැප වී සිටියි. සියලු ම වැඩිහිටියන් සඳහා බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (ටින් අංකය) ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම ද මෙයට ඇතුලත් වේ.
අයිඑම්එෆ් වත්මන් වැඩපිලිවෙල 2027 මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිත බැවින්, අයිඑම්එෆ් තවත් වැඩපිලිවෙලකට ඇතුලත් වීම සම්බන්ධයෙන් සලකා බැලීමට දිසානායක අමාත්‍ය මන්ඩල කමිටුවක් පත් කර ඇත. එහි අරමුන වන්නේ මහා ව්‍යාපාරිකයන්ට වාසිදායක දක්ෂිනාංශික ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්ති තව දුරටත් ඉදිරියට ගෙන යාමයි.
විදුලිය සහ ඉන්ධන සඳහා පිරිවැය පියවා ගැනීමේ අයිඑම්එෆ් ප්‍රතිපත්තිය මගින් ජාත්‍යන්තර බලශක්ති මිල ඉහල යාමේ බර කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් මත පටවනු ලැබේ.
ප්‍රවාහනය, ආහාර බෙදා හැරීම, ගොවිතැන, ධීවර කර්මාන්තය සහ නිෂ්පාදනය සඳහා වැය වන වියදම් ඉහල යන්නේ මේ හරහා ය. මැදපෙරදිග යුද්ධයේ “ඉතා අහිතකර බලපෑම” සහ වර්ධනය වෙමින් පවතින එල් නිනෝ තත්ත්වයෙන් මතු වන අවදානම් පිලිබඳ ව දිසානායක අනතුරු ඇඟවී ය.
දැනට පවතින සියයට 8.3ක උද්ධමන අනුපාතය, 2022 ආර්ථික අර්බුදය සමයේ ජනතාවට මුහුන දීමට සිදු වූ දැවැන්ත මිල ඉහල යාම්වලට ඉහලින් පවතින්නකි. එම අර්බුදය ආහාර මිල ආසන්න වශයෙන් සියයට 100 කින් ඉහල දැමූ අතර, රට පුරා දැවැන්ත මහජන නැගිටීමක් ඇති කිරීමට හේතු විය. පසු ව උද්ධමනයේ වේගය අඩු වුව ද, මිල ගනන් පෙර පැවති මට්ටම් කරා ආපසු පහත වැටුනේ නැත.
අඛන්ඩ ව සිදු වන මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම පියවා ගැනීම සඳහා රාජ්‍ය අංශයේ සේවකයන්ට සැලකිය යුතු පොදු වැටුප් වැඩි වීමක් අයවැය මගින් ලබා නොදෙයි. 2025 අයවැයෙන් නිවේදනය කල අවම මාසික මූලික වැටුප රුපියල් 15,750කින් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 330ක් වැය වූ බව දිසානායක අවධාරනය කලේ ය. එහි අවසන් අදියර 2027 දී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා තවත් රුපියල් බිලියන 110ක් වැය වනු ඇත. ඔහු මෙම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කලේ තව දුරටත් වැටුප් වැඩි කිරීම් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සාධාරනීකරනය කිරීම සඳහා ය.
මර්දනකාරී රාජ්‍ය යාන්ත්රනයේ කොටස් වන සන්නද්ධ හමුදා, පොලිසිය සහ අධිකරන සේවය සඳහා තෝරා ගත් දීමනා වැඩි කිරීම් ජනාධිපතිවරයා විසින් නිවේදනය කෙරුනි. වෛද්‍ය නිලධාරීන් සඳහා මාසික දීමනාව රුපියල් 25,000කින් වැඩි කිරීමක් ද, හෙද සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් සඳහා ඊට වඩා අඩු වැඩි කිරීම් ද ඔහු නිවේදනය කලේ ය. ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ද ප්‍රමානවත් නොවන සංශෝධිත දීමනා යෝජනා කර ඇත. මෙම වැඩි කිරීම්වලින් සමහරක් 2028 දක්වා අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මෙම සහන මගින් ඉහල යන ජීවන වියදමට සරිලන පොදු වැටුප් සංශෝධනයක් ලබා නොදෙයි. නිදහස් වෙලඳ කලාප, වතු, ඇඟලුම් සහ කොන්ත්‍රාත් සේවකයන් ඇතුලු පෞද්ගලික අංශයේ කම්කරුවන් ද අයවැය මගින් නොසලකා හැර ඇත.
සකස් කල කතාවෙන් බැහැර වෙමින්, දශක ගනනාවක් තිස්සේ ප්‍රමානවත් ආයෝජන නොකිරීම නිසා පිරිහී ඇති රාජ්‍ය සේවාවල තත්ත්වයට දිසානායක කම්කරුවන්ට දොස් පැවරී ය. “අයවැයෙන් වැටුප් සඳහා වෙන් කරන මුදලට සරිලන රාජ්‍ය සේවාවන් පුරවැසියන්ට ලැබෙනවා ද” යන්න සලකා බලන ලෙස ඔහු රාජ්‍ය සේවකයන්ට අභියෝග කලේ ය. මෙය සැබෑ වැටුප් තව දුරටත් කපා හැරීමට සූදානම් වන බවට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතු ය.
2027 අයවැය මගින් නව අධ්‍යාපන යෝජනා සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 8.6ක් පමනක් වන අතර, නව සෞඛ්‍ය යෝජනා සඳහා රුපියල් බිලියන 24.75ක් වෙන් කර තිබේ. මෙම වෙන් කිරීමේ නිවේදන මගින් එම මුදල් සැබවින්ම වියදම් කරනු ඇති බවට සහතිකයක් නැත. මුදල් අමාත්‍යාංශයට අනුව, 2026 අයවැයෙන් වෙන් කල අරමුදල්වලින් සැප්තැම්බර් මාසය වන විට වියදම් කර තිබුනේ සියයට 28ක් පමනි.
ජාතික ස්වෛරීභාවය සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගැන සඳහන් කරමින්, “අප ගොඩනඟන්නට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට අලුත් ආර්ථිකයක් පමනක් නොවෙයි. ලෝකය හමුවේ ශ්‍රී ලාංකිකයාට අලුත් පිලිගැනීමක්, අලුත් ගෞරවයක් සහ අලුත් අභිමානයක්” යැයි දිසානායක සඳහන් කලේ ය. යථාර්ථයේ දී, ආන්ඩුව සමස්ත ආර්ථිකය ම ජාත්‍යන්තර නය හිමියන්ගේ සහ මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවලට යටත් කරමින් සිටින අතර, යහපත් වැටුප් හෝ වැඩිදියුනු කල සමාජ තත්ත්වයන් සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සඳහා ඉඩකඩක් නොමැති බව කම්කරුවන්ට කියා සිටියි.
මෑත වසරවල දී සමාජ අසමානතාව දැවැන්ත ලෙස ඉහල ගොස් ඇත. 2019 සහ 2025 අතර සැබෑ මධ්‍යන්‍ය ගෘහස්ථ ආදායම සියයට 11.1කින් පහත වැටුනු අතර, ධනවත් ම සියයට 20ක කොටසේ ධනය සියයට 6.8කින් ඉහල ගියේ ය.
මෑතක දී ප්‍රකාශයට පත් කල සමාගම් ලාභ සංඛ්‍යාලේඛනවලින් මෙම ප්රවනතාව අඛන්ඩ ව පවතින බව තහවුරු වේ. කොමර්ෂල් බැංකුව 2026 වසරේ පලමු මාස හය තුල රුපියල් බිලියන 35කට ආසන්න ලාභයක් වාර්තා කලේ ය. එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂ ව සියයට 13ක වැඩි වීමකි. ශ්‍රී ලංකාවේ විශාල ත ම විවිධාංගීකෘත සමාගම් අතරින් එකක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 5.17ක ලාභයක් වාර්තා කල අතර, එය සියයට 213ක වැඩිවීමකි.
ප්රශ්නය හුදෙක් මැතිවරන පොරොන්දු කඩ කිරීම හෝ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ වැරදි ප්‍රතිපත්ති පිලිබඳ කාරනයක් නොවේ. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියා සිටින්නේ එය එසේ බවයි. මෙම ප්‍රතිපත්ති පැන නගින්නේ ධනපති පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ආන්ඩුව දක්වන කැපවීමෙනි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැහැදිලි කර ඇති පරිදි, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇති ව ශ්‍රී ලංකාවේ ධනේශ්වරය ජවිපෙ/ජාජබ බලයට ගෙන ආවේ, අයිඑම්එෆ් නියෝග අකුරට ම ක්‍රියාත්මක කරන බවට එය ලබා දුන් සහතිකය මත ය.
ගැඹුරු ආර්ථික කඩා වැටීමක් විසින් අවුලුවන ලද 2022 මහජන නැගිටීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනි. ඉක්බිති ව රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව 2023 මාර්තු මාසයේ දී ඩොලර් බිලියන 2.9 ක සිවු අවුරුදු අයිඑම්එෆ් නය පහසුකමක් ලබා ගනිමින්, කම්කරුවන්ට සහ දුප්පතුන්ට දරුනු කප්පාදු පැනවීමට ප්‍රතිඥා දුන්නේ ය. 2024 මැතිවරන ව්‍යාපාරය අතරතුර, කප්පාදු පිලිබඳ පුලුල් මහජන විරෝධය ගසා කෑ ජවිපෙ/ජාජබ, අයිඑම්එෆ් වැඩපිලිවෙල යලි සාකච්ඡා කර දුප්පතුන් මත පැටවී ඇති බර ලිහිල් කරන බවට පොරොන්දු විය. බලයට පත් වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක වහා ම එම පොරොන්දුව අත් හැර දමා, වික්‍රමසිංහගේ කප්පාදු ප්‍රතිපත්ති අඛන්ඩ ව පවත්වා ගෙන යමින් තීව්ර කලේ ය.
වෘත්තීය සමිති නිලධරය විරුද්ධත්වය මැඬ පැවැත්වීමට අනවරත ව උත්සාහ දැරුව ද, කම්කරුවන්, ගොවීන් සහ තරුනයන් මුහුන දෙන දරා ගත නොහැකි තත්ත්වයන් ඔවුන් අරගලවලට තල්ලු කරමින් පවතී. 2027 අයවැය නිවේදනය කිරීමෙන් අනතුරු ව ම කම්කරුවෝ සහ අනෙකුත් පීඩිත ජනතාව ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව වීදි විරෝධතාවලට එක් වූහ.
සෑම වැඩබිමක ම , කම්හලක ම, වතුකරයක ම සහ අසල්වැසි ප්‍රදේශයක ම වෘත්තීය සමිති නිලධරයෙන් සහ සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ව, ප්රජාතන්ත්රවාදී ව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. මෙම කමිටු විසින් කප්පාදු, පෞද්ගලීකරනය, අඩු වැටුප් සහ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව රට පුරා අරගලයක් සම්බන්ධීකරනය කල යුතු ය. ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් යුරෝපයේ, එක්සත් ජනපදයේ සහ දකුනු ආසියාවේ වැඩ කරන ජනතාවගේ අරගල සමග තම අරගල ඒකාබද්ධ කල යුතු ය.
වැඩිදුර කියවන්න
- සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි සමාජවාදී මූලෝපාය සාකච්ඡා කරයි
- පාලක ජවිපෙ තම අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි විරෝධය තලා දැමීමට වෘත්තීය සමිති සූදානම් කරයි
- ශ්‍රී ලංකාවේ ජනාධිපති රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමේ සැලසුම් නිවේදනය කරයි
- 2027 වසර සඳහා කප්පාදු සහිත අයවැයක් ඉදිරිපත් කරන බවට ශ්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වෙයි
