සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි සමාජවාදී මූලෝපාය සාකච්ඡා කරයි

[මෙය SEP/IYSSE public meeting in Sri Lanka discusses socialist strategy against JVP/NPP government මැයෙන් 2026 නොවැම්බර් 12 වැනි දා ඉංග්‍රීසි බසින් පල විය.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන හා ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී,  ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ පලමු වසර දෙකේ පාඩම් සාකච්ඡා කිරීම සඳහා නොවැම්බර් 10 දා  සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූවේ ය. ෆේස්බුක් ඔස්සේ සජීවී ව විකාශනය කෙරුනු මෙම රැස්වීමට පක්ෂ සාමාජිකයෝ, ආධාරකරුවෝ, කම්කරුවෝ සහ තරුනයෝ ඇතුලු සියයක පමන පිරිසක් සහභාගි වූහ.

2026 නොවැම්බර් 10 දා කොලඹ පැවැති සසප රැස්වීම

ඊට පෙර මාසයේ දී සසප සහ සසජාතශි සාමාජිකයෝ සේවා ස්ථානවල, කම්කරු පන්තික අසල්වැසි ප්‍රදේශවල සහ විශ්වවිද්‍යාලවල උද්ඝෝෂනය කරමින්, ආන්ඩුවේ වාර්තාව සහ සාමාන්‍ය ජනතාව අතර වර්ධනය වන විරෝධය පිලිබඳව සාකච්ඡාවක් ගෙන ගියහ.

රැස්වීමේ මුලසුන දැරුවේ සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන ය. ජවිපෙ/ජාජබ බලයට ගෙන ආ දේශපාලන තත්ත්වයන් ඔහු විමර්ශනය කලේ ය. 2022 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කල මහජන නැගිටීම පාර්ලිමේන්තු මාවතට හරවා යැවීමෙන්, වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ-වාම සංවිධාන එම අරගලය පාවා දුන් ආකාරය ඔහු පැහැදිලි කලේ ය. අනතුරු ව, එක්සත් ජනපදය ඇතුලු පාලක පන්තියේ සැලකිය යුතු කොටස්වල සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇති ව ජවිපෙ/ජාජබ  2024 මැතිවරන ජයග්‍රහනය කලේ ය.

ප්‍රධාන දේශනය පැවැත්වූ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, ජවිපෙ/ජාජබ ආන්ඩුවක්  ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරමින්, වැඩ කරන ජනතාවට එරෙහි ව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි සගයන් සමග පෙලගැසීමට කටයුතු කරනු ඇති බවට සසප සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) කල අනතුරු ඇඟවීම් සිහිපත් කලේ ය.

සාමාන්‍ය ජනතාව මුහුන දෙන දැවැන්ත ආර්ථික බර ලිහිල් කිරීම සඳහා දුන් මැතිවරන පොරොන්දුවලට මුලුමනින් ම ප්‍රතිවිරුද්ධ ලෙස ජවිපෙ/ජාජබ ආන්ඩුව කටයුතු කර ඇති බව ජයසේකර පැහැදිලි කලේ ය.

“මෙම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්), ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඉල්ලීම්වලට මුලුමනින් ම කැප වී සිටිනවා. ඒ සමග ම, එය ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කරමින්, ක්‍රියාවට නංවමින් සිටින රුදුරු කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව කම්කරුවන්, තරුනයන් සහ ග්‍රාමීය දුගීන් අතර වර්ධනය වන විරෝධය මැඬලීම සඳහා පොලිස් රාජ්‍ය මර්දනය දියත් කර තිබෙනවා” යැයි ජයසේකර පැවසී ය.

කප්පාදු පියවර, අහස උසට නැඟුනු මිල ගනන් සහ අත්‍යවශ්‍ය භාන්ඩ හිඟය හේතුවෙන් 2022 දී පැන නැගුනු මහජන නැගිටීම කඩාකප්පල් කිරීම සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සහ  ජවිපෙ/ජාජබ, වෘත්තීය සමිති නිලධරයන්ගේ සහ පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධානවල සහාය ඇති ව ක්‍රියා කල ආකාරය ඔහු පෙන්වා දුන්නේ ය. මෙම සංවිධාන පාර්ලිමේන්තු විසඳුමක් ප්‍රවර්ධනය කරමින්, කුප්‍රකට අයිඑම්එෆ් පිලිවෙත් ක්‍රියාවට දමන්නෙකු වන රනිල් වික්‍රමසිංහට බලයට ඒමටත්, ඉන් අනතුරු ව ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට වැඩම්මවීමටත් පාර කැපූවෝ ය.

2024 මැතිවරන ව්‍යාපාරය අතරතුර දිසානායක සහ අනෙකුත් ජවිපෙ/ජාජබ නායකයෝ මුඛයේ දෙපැත්තෙන් ම කතා කලහ. අයිඑම්එෆ් වැඩසටහන් යලි සාකච්ඡා කරන බවත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ඇතුලු මර්දනකාරී නීති අහෝසි කරන බවත් ඔවුහු මහජන රැස්වීම්වල දී පොරොන්දු වූහ. එහෙත් මහව්‍යාපාරිකයන් හමුවේ දී, “අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාත්මක කරන” බවත්, ජවිපෙ/ජාජබ පාලනයක් ඔවුන්ගේ අවශ්‍යතාවලට මුලුමනින් ම සේවය කරන බවත් ඔවුහු  සහතික කලේ යැයි ජයසේකර පැවසී ය.

බලයට පත් වීමෙන් පසු ජවිපෙ/ජාජබ ආන්ඩුව වැඩ කරන ජනතාවට දුන් පොරොන්දු පසෙකට විසි කලේ ය. ආන්ඩුවේ පලමු අයවැය දෙකෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ට ලබා දුන් වැටුප් වැඩිවීම්, 2022 සිට සැබෑ වැටුප්වල සිදු වූ තියුනු පහත වැටීම පියවා ගැනීමට අසමත් වී තිබේ. වික්‍රමසිංහ ආන්ඩුව වැඩ කරන ජනතාව මත පැනවූ බදු තව දුරටත් එ ලෙස ම ක්‍රියාත්මක ය.

දීපාල් ජයසේකර

“මේක තමයි ආන්ඩුවේ ආර්ථික ‘ප්‍රකෘතිමත් වීමේ’ සැබෑ අර්ථය. එය ධනේශ්වර පන්තියට, ගෝලීය නය හිමියන්ට සහ ධනවතුන්ට ලැබෙන ප්‍රකෘතිමත් වීමක්.  ඒ අතර කම්කරුවෝ සහ දුගී ජනයා අත් විඳින්නේ,  සැබෑ වැටුප් පහත වැටීම, මිල ඉහල යාම, බදු වැඩිවීම සහ දරිද්‍රතාව තව දුරටත් ගැඹුරු වීම යනාදිය” යැයි ජයසේකර පැහැදිලි කලේ ය.

රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් අනතුරේ හෙලමින්, රාජ්‍ය සතු ව්‍යවසායන් 400කට වැඩි සංඛ්‍යාවක් පුද්ගලීකරනය කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අයිඑම්එෆ් නිය‌ෝග  ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටී. “අනවශ්‍ය වියදම්” කපා හැරීමේ මුවාවෙන් රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමේ සැලසුම් එය මෑතක දී නිවේදනය කල අතර, රාජ්‍ය යටිතල පහසුකම් සහ සේවාවන් පෞද්ගලික ආයෝජකයන්ට පැවරීමට ද කටයුතු කරමින් සිටී.

සසප පුද්ගලීකරනයට විරුද්ධ වන අතර, පෞද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබිය යුතු බවට කැඳවුම් කරයි. “මෙය කල හැකි වන්නේ සමාජවාදී වැඩපිලිවෙලකට කැප වූ කම්කරු ගොවි ආන්ඩුවක් යටතේ පමනයි. සසප සටන් වදින්නේ මෙම වැඩපිලිවෙල වෙනුවෙනි” යැයි කථිකයා පැහැදිලි කලේ ය.

විරැකියාව, ඌන රැකියා නියුක්තිය, ඉහල යන අධ්‍යාපන වියදම්, පිරිහෙන විශ්වවිද්‍යාල පහසුකම්, අනාරක්ෂිත රැකියා සහ දරිද්‍රතා මට්ටමේ වැටුප් ඇතුලු තරුනයන් මුහුන දෙන දුෂ්කරතා ගැන ජයසේකර අවධාරනය කලේ ය. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, රැකියා, නිවාස සහ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරාලීම සමාජ අයිතීන් මිස, සංගත ලාභවලට  සහ අයිඑම්එෆ් ඉල්ලීම්වලට යටත් කල යුතු වෙලෙඳ භාන්ඩ නොවන බව ඔහු අවධාරනය කලේ ය.

මර්දනකාරී නීති අහෝසි කරන බවට පොරොන්දු වුව ද, ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරුවන්ට, තරුනයන්ට, ශිෂ්‍යයන්ට සහ දුගීන්ට එරෙහි ව පීටීඒ සහ අනෙකුත් විෂකුරු නීති දිගට ම යොදා ගනිමින් සිටියි. පීටීඒ හි බොහෝ මර්දනකාරී විධිවිධාන එ ලෙස ම පවත්වාගෙන යන අතර, ඇතැම් අංශවලින් ඒවාමත්  ඉක්මවා යන තවත් මර්දනකාරී පියවර දෙකක් වන රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත (පීඑස්ටීඒ) සහ සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත් කෙටුම්පත (පීඔ්සීබී) හඳුන්වා දීමට දැන් ආන්ඩුව කැස කවමින් සිටී. ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි විරුද්ධත්වය සාපරාධීකරනයක්  ලෙස හංවඩු ගැසීම, වැඩ වර්ජන සහ අනෙකුත් කම්කරු පන්තික ක්‍රියාමාර්ග ත්‍රස්ත ගැන්වීම සහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි විරෝධය මර්දනය කිරීම මෙම පියවරවල අරමුන බව ජයසේකර අනතුරු ඇඟවී ය.

අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි කම්කරු පන්තික විරෝධය මැඬලීමේ දී ජවිපෙ විසින් පාලනය කරනු ලබන සමිති ද  ඇතුලු වෘත්තීය සමිති නිලධරයන්ගේ භූමිකාව කථිකයා හෙලිදරව් කලේ ය. 2025 මුල දී සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති, දීමනා කප්පාදුවලට එරෙහි සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධය එක් දින වැඩ වර්ජනයකට සීමා කල ආකාරයත්, ආන්ඩුව හමුදාව සහ පොලීසිය යොදවා තිබිය දී වෘත්තීය සමිති නායකයන් සතියක් පුරා පැවති තැපැල් සේවක වැඩ වර්ජනය අවසන් කල ආකාරයත් ඔහු උදාහරන ලෙස ගෙනහැර දැක්වී ය. “ධනේශ්වර රාජ්‍යය, පාලක පන්තික පක්ෂ සහ අයිඑම්එෆ් වැඩපිලිවෙල ආරක්ෂා කිරීමට අත්වැල් බැඳගෙන සිටින” වෘත්තීය සමිති යාන්ත්‍රනය මත කම්කරුවන්ට විශ්වාසය තැබිය නොහැකි බව ඔහු අවධාරනය කලේ ය.

සජබ ඇතුලු විපක්ෂ පක්ෂ ද පාලක පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් එම අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ම ආරක්ෂා කරන බවට ජයසේකර අනතුරු ඇඟවී ය. ජවිපෙ/ජාජබ ආන්ඩුව දේශපාලනික ව ආරක්ෂා කිරීමේ දී පෙසප ඉටු කරන භූමිකාව ද ඔහු හෙලිදරව් කලේ ය. මුල දී ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීම “මහජන අපේක්ෂාවන්ගේ ප්‍රකාශනයක්” ලෙස පෙසප විසින් හුවා දැක්වී ය. පසු ව එය වික්‍රමසිංහගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආන්ඩුව විවේචනය කලේ ය. එහෙත්, සාම්ප්‍රදායික පක්ෂවලට එරෙහි “ප්‍රගතිශීලී විකල්පයක්” ලෙස ජවිපෙ/ජාජබ තව දුරටත් ආරක්ෂා කරන පෙසප, පීඩනය දමා එහි “ගමන් මාවත නිවැරදි කරවීමට” හැකි බව ද කියා සිටී.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ නව මර්දනකාරී නීති පිලිබඳ පෙසප විවේචනයේ වංචනික ස්වභාවය හෙලිදරව් කරමින්, දැනට පවතින නීති වන අත්‍යවශ්‍ය සේවා නියෝග, හදිසි නීති රෙගුලාසි සහ අනෙකුත් මර්දනකාරී නීති “ත්‍රස්තවාදය” සහ “අපරාධ” මැඬලීමට ප්‍රමානවත් බව පෙසප නායකයන් තර්ක කල බව ජයසේකර පෙන්වා දුන්නේ ය. “මෙයින් හෙලිදරව් වන්නේ කම්කරුවන්ට සහ දුගීන්ට එරෙහි ව පවතින රාජ්‍ය යාන්ත්‍රනය පෙසප විසින් ආරක්ෂා කිරීමයි” යැයි ඔහු පැවසී ය.

වෘත්තීය සමිති නිලධරයන් සහ ව්‍යාජ-වාම සංවිධාන ප්‍රතික්ෂේප කරමින් ද වෘත්තීය සමිති නිලධරයන් සහ ධනේශ්වර පක්ෂ බැහැර කරමින් ද සේවා ස්ථානවල, කර්මාන්තශාලාවල, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශවල තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස ජයසේකර කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. ග්‍රාමීය දුගීන් සහ ගොවීන් ද ස්වාධීන කමිටු පිහිටුවිය යුතු බව ඔහු ඉල්ලා සිටියේ ය. මෙම කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් නියෝජිතයන් මත පදනම් ව, අවශ්‍ය සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප යෝජනා කරයි.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරුවන් මුහුන දෙන තත්ත්වයන්ට ම මුහුන දී සිටින බව අවධාරනය කල ඔහු මෙසේ කීවේ ය: “අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදු ප්‍රතිපත්තිවලට, ආඥාදායක සැලසුම්වලට සහ ධනේශ්වර සූරා කෑමට එරෙහි අරගලවල නිරත ව සිටින අනෙකුත් රටවල කම්කරුවන් සමඟ මෙරට කම්කරුවන් එක්සත් විය යුතුයි. ඒ වගේ ම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය (අයිඩබ්ලියුඒ-ආර්එෆ්සී) හරහා කම්කරුවන් තම අරගල, ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ගේ අරගල සමඟ සම්බන්ධීකරනය කල යුතුයි. කම්කරුවන් වාර්ගික, ආගමික සහ අනෙකුත් බෙදීම් මෙන් ම ජාතික දේශසීමා ද අභිබවා  සංවිධානය විය යුතු ය. ශ්‍රී ලංකාවේ සසප  සහ හජජාක හි එහි සහෝදර පක්ෂ සටන් වදින්නේ මෙම වැඩපිලිවෙල වෙනුවෙන්.” 

“මෙම වැඩපිලිවෙල සඳහා වන සටනට එක් වන ලෙසත්, මෙම අරගලයට නායකත්වය දීමට අත්‍යවශ්‍ය දැවැන්ත කම්කරු පන්තික සමාජවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක් වන ලෙසත් සසප සහ සසජාතශි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් සහ ග්‍රාමීය දුගීන්ගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් පවසමින් ඔහු සිය දේශනය අවසන් කලේ ය.

පානි විජේසිරිවර්ධන

ජයසේකරගේ දේශනයෙන් අනතුරු ව, වසර 15ක සිර දඬුවමකට යටත් කරනු ලැබූ යුක්‍රේනියානු සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරෝටියුක් නිදහස් කර ගැනීම සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරයට සහාය පල කරමින් සසප හි සිව්වන ජාතික සම්මේලනයේ දී සම්මත කරන ලද යෝජනාව ඉදිරිපත් කලේය. බොග්ඩාන් නිදහස් කර ගැනීම සඳහා සසජාතශි ගෙන යන ජාත්‍යන්තර ව්‍යාපාරය පිලිබඳ ව ජයසේකර කතා කල අතර, ඊට උපරි ම සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

රැස්වීමෙන් අනතුරු ව පැවති සාකච්ඡාවේ දී සහභාගිවූවෝ ඉදිරිපත් කල මාක්ස්වාදී විශ්ලේෂනය අගය කල අතර- ඒ ඇතැම් සම්මුඛ සාකච්ඡා වෙන ම ලිපියක් ලෙස පලකර ඇත- සසප  වැඩපිලිවෙල වඩාත් පුලුල් ජනතාවක් අතරට ගෙන යාමේ අවශ්‍යතාව අවධාරනය කලහ. 

Loading