දැනට වරාය අධිකාරිය යටතේ පවතින කොලඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ඊසීටී) කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිනීමට තම ආන්ඩුව තීන්දු කර ඇති බවට, ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය මාසයේ දී සිදු කල ප්‍රකාශයත් සමග වරාය කම්කරුවන් අතර විරෝධය අවුලුවා තිබේ.
2026 ඔක්තොබර් 12දා ශ්‍රී ලංකා වානිජ මන්ඩලය විසින් සංවිධානය කර තිබූ “ශ්‍රී ලංකා- ආර්ථික හා ආයෝජන සම්මේලනය 2026” සමාරම්භක සැසියේ දී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් දිසානායක මෙම කාරනය ප්‍රකාශයට පත් කලේ ය.
දිසානායක මෙම කාරනය සඳහන් කලේ, ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) වැඩපිලිවෙල “යලි සාකච්ඡා” කරන බවට මැතිවරනයට පෙරාතු ව ලබා දුන් පොරොන්දු එක රැයින් ම බැහැර කරමින් කොලඹ වරාය ඇතුලු රාජ්‍ය ආයතන සිය ගනනක් පුද්ගලීකරනය කිරීම ඇතුලු අනෙකුත් රුදුරු කප්පාදු අඛන්ඩ ව සිදු කරමින් සිටින තත්වයක් තුල ය.
වරාය සම්බන්ධ ආන්ඩුවේ වැඩපිලිවෙල සම්බන්ධ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් කොලඹ වරායේ නැගෙනහිර ජැටියේ “අයිතිය ආන්ඩුවේ තබා ගෙන,” එහි කලමනාකරනය පිලිබඳ අපේ සමාගමක් පිහිටුවා, “ඒ සමාගමේ කොටස් පෞද්ගලික ආයෝජකයන්ට විකිනීම සඳහා” ආන්ඩුව තීරනයක් ගෙන තිබෙන බව දිසානායක කීවේ ය. කොලඹ වරායේ තදබලය අවම කිරීම සඳහා කෙලවරපිටිය කන්ටේනර් අංගනයක් ඉදිකිරීමේ කටයුතු ද පෞද්ගලික අංශයට දීමට ඔහු පොරොන්දු විය.
නොවැම්බර් 12 ඉදිරිපත් කල ආන්ඩුවේ තුන්වැනි කප්පාදු අයවැය තුල දී, දිසානායක පොරොන්දු වූ පරිදි ම, ජාත්‍යන්තර නාවික ප්‍රවාහන කටයුතුවල නිරත නැව්වලට සපයන බංකර් ඉන්ධන සමාජ ආරක්ෂන දායකත්ව බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කලේ ය. පෝට් සිටි වරාය නගරය තුල ව්‍යාපාර සම්බන්ධයෙන් වැට් (VAT) ආදාන බදු විධිවිධාන පැහැදිලි කරන වෙන ම සංශෝධනයක් ද අයවැයට ඇතුලත් වේ. මීට අමතර ව, වරාය සැපයුම් සේවා සහ ඉන්ධන ගබඩා කිරීමේ යටිතල පහසුකම් සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය පුලුල් කිරීමේ යෝජනා ද වේ.
මැතිවරනයට පෙරාතු ව දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනත් (ජවිපෙ), විශේෂයෙන්ම එයට අනුබද්ධ සමස්ත ලංකා වරාය පොදුසේවක සංගමයේ (සලංවපොසේස) මූලිකත්වයෙන් ගොඩනගා ඇති වරාය වෘත්තීය සමිති එකමුතුවත්(වවෘසඑ), නැගෙනහිර පර්යන්තය විකිනීමේ සැලසුම්වලට එරෙහි ව ඝෝෂා කලේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම සැලසුම් ගෙන ආවේ අයිඑම්එෆ් නියෝග ප්‍රකාර ව ක්‍රියාවට දැමූ පුද්ගලීකරන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ය.
බලයට ඒම සඳහා ජවිපෙ/ජාජබ කැසපොට ගසමින් සිටින දිනවල, 2024 ජූනි 12, සලංවපොසේස එයට එරෙහි ව කොලඹ වරාය ඉදිරිපිට වරාය කම්කරුවන්ගේ උද්ඝෝෂනයක් සංවිධානය කොට තිබූ අතර, එහිදී “මිනිස්බල කම්කරුවන් එපා!” සහ “නැගෙනහිර පර්යන්තය (ඊසීටී) රැක ගනිමු!” යන ප්‍රධාන සටන්පාඨ හඬ නැගුනි.
වවෘසඑ හි සහ සලංවපොසේස හි නායක ජවිපෙ සාමාජික නිරෝෂන් ගොරකාන, එම උද්ඝෝෂනය කැඳවමින් නිකුත් කල ප්‍රකාශයක, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබුනි: “රනිල්ට සහ සිරිපාල දෙන්නට ම කියන්නෙ එක දෙයයි. පව් නොදී දැන් ඔයාල බැහැල යන්න කියල විතරයි. කොහොමත් ඔයාලට තියෙන්නෙ තව මාස හතරයි. අපි නීතියට අනුකූල ව ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක් ම එතැන් සිට අනිවාර්යයෙන් ම ගන්නවා.”
ගොරකාන, වික්‍රමසිංහ ආන්ඩුවට ඉතිරි ව ඇත්තේ මාස හතරක් යැයි කීවේ, වසර අග දී පැවැති මැතිවරනයෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට ඒම ගැන ඇඟවුම් කරමිනි. එ මෙන් ම, තම ආන්ඩුවකින් පුද්ගලීකරනය නතර කරනු ඇති ය යන මිථ්‍යාව වගා කරමින් ජවිපෙ බලයට ගෙන ඒමට වරාය කම්කරුවන් ද මූලිකත්වය ගත යුතු බව අවධාරනය කිරීමට ය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප), 2024 ජූනි 21දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පල කල ලිපියකින් මෙම කාරනය අවධාරනය කලේ ය: “ජවිපෙ යලි යලිත් පිලින දෙන්නේ අයිඑම්එෆ් වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සිදු වන බවට ය. මෙම තතු තුල, බලයට පත් වූ පසු පුද්ගලීකරනය නතර කරන බවට දෙන ප්‍රකාශ අමු ප්‍රෝඩාවන් ය”.
අනුප්‍රාප්තික ආන්ඩු යටතේ, දශක දෙකකට අධික කාලයක් පුරා, ශ්‍රී ලංකාවේ වරාය පුද්ගලීකරනය සිදු කෙරෙමින් පවතින්නේ, ගොරකාන ද ඇතුලු සමිති නිලධරයේ පූර්න පිටුබලය සහිත ව ය. 1998 වසරේ දී කොලඹ වරායේ රැජින පාලම “සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්” නමින් විදේශ සමාගම් සමූහයකට විකිනීම, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදි කර පවත්වා ගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්”සමාගමට පැවරීම මේ අතර ප්‍රධාන වේ.
ඊසීටී පර්යන්තය සම්බන්ධයෙන්, 2019 දී ඉන්දියාව සහ ජපානය සමඟ සහයෝගීතා ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කල අතර, මෙයට එරෙහි ව 2021 පෙබරවාරි මාසයේ දී වරාය කම්කරුවන්ගේ වැඩවර්ජන හා බලගතු විරොධතා පැන නැගුනි.
2021 ජනවාරි මාසයේ කොලඹ වරායේ වෘත්තීය සමිති, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ, ජවිපෙ, සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන ද එක් ව ‘කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය’ නමින් අන්ත දක්ෂිනාංශික සංවිධානයක් ගොඩනගමින්, පුද්ගලීකරනයට එරෙහි ව කම්කරුවන් අතර වැඩුනු විරෝධය පාවා දුනි. ඒ, 2021 මැයි මාසයේ දී ඊසීටී වෙනුවට බටහිර පර්යන්තය පුද්ගලීකරනට එකඟ වෙමිනි. මෙම ද්‍රෝහී වෘත්තීය සමිති, කොලඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ (ඩබ්ලිව්සීටී) කොටස් වලින්, සියයට 51ක් ඉන්දියානු අදානි සමාගමට, සියයට 34ක් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (ජේකේඑච්) පීඑල්සී සමාගමට හිමි වන ගිවිසුමකට අත්සන් තැබීමට එකඟ වූයේ ය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය (ශ්රීලංවඅ)ට හිමි වූයේ සියයට 15ක් පමනි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව එලිපිට ම වරාය පෞද්ගලීකරන වැඩපිලිවෙල වේගයෙන් ක්‍රියාවට දමන විට, දැන් සලංවපොසේස නායකත්වය වැඩට බැස ගෙන ඇත්තේ එම තීන්දුව කම්කරුවන්ට ගිල්ලවීමට ය. ඇත්ත වසයෙන් ම, ජවිපයට මෙන් ම වෙනත් ධනපති දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිතිවල මේ දක්වා කටයුත්ත වූයේ, කම්කරුවන් අතර පැතිර පවත්නා විරෝධය පවතින ආන්ඩුවලට නිරර්ථක පීඩනය දැමීමේ කටයුත්තක් බවට සිඳවා, ධනපති ආන්ඩුවට ම එරෙහි කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් දැනුවත් ව ම වැලක්වීමයි.
මේ පිලිබඳ ව වරාය කම්කරුවන් අතර පැතිර පවතින දැඩි කලකිරීම හා කෝපය ප්‍රකාශයට පත් කරමින් කොලඹ වරාය ජය බහාලුම් අංශයේ කම්කරුවෙක් ලෝසවෙඅට මෙසේ කීවේ ය: “මේ සූදානම් වන්නේ වරායේ ඉතිරි කොටසුත් පුද්ගලීකරනය කිරීමටයි. මෙයින් කම්කරුවන්ගේ රැකියා වලට බරපතල තර්ජනයක් වගේ ම ඔවුන්ගේ අයිතීන්ට පහර එල්ල කෙරෙනවා. තමන් ගත යුතු පියවර කුමක්දැයි කම්කරුවන්ට නොපෙනෙන තත්වයේ දී ප්‍රධාන වෘත්තීය සමිති කරන්නේ තැන තැන නිරර්ථක සාකච්ඡා කිරීමයි.”
සසප කම්කරුවන්ට අනතුරු අඟවන්නේ, දිසානායක සහ ඇමති ලාල් කාන්ත මෑතක දී ජවිපෙ විසින් මෙහෙයවනු ලබන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමුලුවේ දී සලංවපොසේස ඇතුලු තම වෘත්තීය සමිතිවලට දුන් නියෝගවලට අනුව, ගොරකානගේ වෘත්තීය සමිති කිසිවක් නොකර සිටීමට පමනක් සීමා නොවනු ඇත යන්නයි. පෞද්ගලීකරනයට එරෙහි ව වරාය කම්කරුවන් අතර අනිවාර්යයෙන් ම පැන නගින අරගල මර්දනය කිරීම සඳහා සටන්කාමී කම්කරුවන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක ද ඒවා ක්‍රියාකාරී ව නිරත වනු ඇත. වරාය කම්කරුවන් මෙම පොලිස්කාර ක්‍රියාකලාපයට එරෙහි ව සටන් කල යුතු ය.
දිසානායක අන්ඩුව වඩාත් ඇමරිකානු අධිරජ්‍යවාදීන් හා සමීප ව වැඩ කරන තත්වයේ දී 2023 සිට ගිවිසුම් ගත ව සිටි ඇමරිකානු ඩොලර් මිලියන 392 ක “දකුනු ආසියානු වානිජ හා සැපයුම් කේන්ද්‍රය” ව්‍යාපෘතියෙන් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් ඔක්තෝබර් මාසයේ දී ඉවත් විය. චීන සමාගමේ මෙම තීරනයට, කොලඹ වරාය ඇතුලු ව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද සහ ඉන්දියානු ආයෝජන පුලුල් වීම සහ ශ්‍රී ලංකාවේ චීනයේ පැවැත්මට ඔවුන්ගේ විරෝධය බලගතු සාධක ලෙස පැවැතුනි.
ඉන්පසු ව කොලඹ වරාය නවීකරනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 17ක ප්‍රදානයක් ලබා දීමට එක්සත් ජනපදය මෑතක දී කල නිවේදනයේ ඉදිරි පියවරක් ලෙස, “සමුද්‍රීය වෙලඳාමේ අනාගතය පිලිබඳ ව කලාපීය වැඩමුලුවක්”සංවිධානය කල බව ඔක්තෝබර් 27 ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වාර්තා කලේ ය.
මෙම වැඩමුලුවේ සමාරම්භක අවස්ථාවට ලංකාව සඳහා ඇමරිකානු තානාපති එරික් මයර් සමඟ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු ඇතුලු ශ්රීලංවඅ අනෙකුත් නිලධාරීන් සම්බන්ධ වී තිබේ. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල වරාය ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් ද සමුලුවට සම්බන්ධ වී ඇත.
“වඩාත් නවීන, සුරක්ෂිත හා අන්තර්සම්බන්ධිත වරායන් සඳහා ඇමරිකානු තාක්ෂනය ප්‍රදර්ශනය කිරීම” අරමුනු කරගත් සමුලුවට “කලාපීය වරාය ක්ෂේත්රයේ තීරන ගන්නා නිලධාරීන් සහ ඇමෙරිකානු තාක්ෂන සමාගම් 11ක්” සම්බන්ධ වූ බව සඳහන් ය. එක්සත් ජනපදය සඳහා වඩාත් වාසි සහගත වෙලඳ කොන්දේසි නිර්මානය කරගන්නා අතර ම, මෙම වැඩසටහන් ඇමෙරිකානු ගෝලීය ආධිපත්‍ය රැක ගැනීම වෙනුවෙන් චීනයට එරෙහි එක්සත් ජනපද සැලසුම්වලට සමීප ව සම්බන්ධ ය.
නොවම්බර් 11දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකෙරුන ලිපිය තුල මෙසේ පෙන්වා දුන්නේ ය: “පෙබරවාරි 28 දා ආරම්භ වූ ඉරානයට එරෙහි එක්සත් ජනපදය මෙහෙයවන සාපරාධී යුද්ධයෙන් වරාය ආයෝජනය ඉවත් කර ගැනීම (චීන සමාගම) වෙන් කල නොහැකි ය. මැද පෙරදිග ආධිපත්‍යය දැරීම, ඉරාන තෙල් සඳහා චීනයේ ප්‍රවේශය අවහිර කිරීම සහ බීජිනයේ උපායමාර්ගික ස්ථානය දුර්වල කිරීම සඳහා පුලුල් උපාය මාර්ගයක කොටසක් ලෙස වොෂින්ටනය සහ ඊශ්‍රායලය ඉරානයට තව දුරටත් විනාශකාරී ප්‍රහාර සූදානම් කරමින් සිටී. අතරමං වූ ඉරාන තෙල් නැව්වලට මානුෂීය ආධාර සැපයීම මෑතක දී ප්‍රතික්ෂේප කිරීම ඇතුලු ව යුද්ධය අතරතුර ශ්‍රී ලංකාවේ හැසිරීම, මධ්‍යස්ථ බවට ආන්ඩුව කරන ප්‍රකාශයේ හිස් බව හෙලි කර තිබේ.”
මෙම අධිරාජ්‍ය ගැති වැඩපිලිවෙල පරාජය කිරීම තබා එයට අභියෝග කිරීමට වත් එකදු ධනපති පක්ෂයකට හෝ ඒවා වටා එල්ලී සිටින පෙසප වැනි ව්‍යාජ වාම පක්ෂ, වෘත්තීය සමිති නිලධරයට පුලුවන්කමක් ඇත්තේ නැත. එම කර්තව්‍යයට සමත් එක ම බලවේගය වන්නේ කම්කරු පන්තියයි. ධනේශ්වර ක්රමයේ පරස්පරතාවලින් අනිවාර්යෙන් හට ගෙන, වැඩෙන බිහිසුනු තුන් වන ලෝක යුද්ධය වැලක්විය හැකි එක ම බලවේගය වන්නේ ද මෙම වැඩකරන පන්තියේ නායකත්වය මත ගොඩනගන ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයකට පමනි. යුද්ධයට අත්‍යවශ්‍ය යුද සැපයුම් අඩාල කිරීමට දායක වෙමින් ආර්ථික මර්මස්ථානයන් වන වරායවල් තුල සේවය කරන කම්කරුවන්ට මෙහි ලා තීරනාත්මක කාර්යභාරයක් පැවැරේ.
ලෝක යුද්ධයට හා ඊට තුඩු දී අති ධනේශ්වර ක්‍රමයට ද, පුද්ගලීකරනයට එරෙහි ව ද වරාය කම්කරුවන් ඒකාබද්ධ ව සටන් වැදිය යුතු ය.එම සටන ඉදිරියට ගෙන යාමට ධනපති පක්ෂ හා ඒවායේ අන්ඩවල් වන ද්‍රෝහී වෘත්තීය සමිතිවලින් පිටත තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු තැනීම තීරනාත්මක ය. වරාය ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම තුලින් වරාය කම්කරුවන් කන්ඩායමක් දැනටමත් එවන් ආරම්භකත්වයක් ගෙන ඇති අතර, වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රහාර පෙන්නුම් කරන්නේ මෙම කමිටුව තීරනාත්මකව ගොඩනැංවීමේ අවශ්‍යතාවයි. සසප වරාය සියලු අංශවල කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, එයට සම්බන්ධ වෙමින් එය ගොඩනැගීමට එක්වන ලෙසයි.
ධනේශ්වර ප්‍රහාරවලට එරෙහි ව ජාත්‍යන්තර පරිමාන ව ඉදිරියට එලැඹෙමින් සිටින කම්කරුවන් සමග මෙම සටන ඒකාබද්ධ කිරීම තීරනාත්මක ය. එම ජාත්‍යන්තර ඒකාබද්ධතාව සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මගපෙන්වීම යටතේ ගොඩනගා ඇති ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටුවල සන්ධානය (අයිඩබ්ලියුඒ-ආර්එෆ්සී) සමග මෙම ක්‍රියාකාරී කමිටු ඒකාබද්ධ කල යුතු ය.
වැඩිදුර කියවන්න
- ශ්‍රම සූරාකෑම තීව්ර කරමින් රාජ්‍ය ආයතනවල ලාභ වැඩිකරදීමට වෘත්තීය සමිති ගෙනයන වැඩපිලිවෙල පරාජය කරනු! වරාය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නගනු!
- වරාය වෘත්තීය සමිති, කම්කරුවන් ස්වාධීනව සංවිධානයවීම වැලැක්වීමේ තවත් උත්සාහයක
- වරායේ ජවිපෙ වෘත්තීය සමිතියේ සම්මේලනය ආන්ඩුවේ අයිඑම්එෆ් ප්රහාරයන්ට කම්කරුවන් යටත් කිරීමේ වෑයමක්
