ශ්‍රම සූරාකෑම තීව්‍ර කරමින් රාජ්‍ය ආයතනවල ලාභ වැඩිකරදීමට වෘත්තීය සමිති ගෙනයන වැඩපිලිවෙල පරාජය කරනු! වරාය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නගනු!

“වරාය විකුනා ඩොලර් හොයමුද? වරාය ගොඩනගා ඩොලර් හොයමුද?” යන තේමාව යටතේ, වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය, වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය එක් ව සැප්තැම්බර් 8දා පැවත් වූ සම්මන්ත්‍රනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති රුදුරු ප්‍රහාරයන්ට කම්කරුවන් බිලි දීමේ ප්‍රතිගාමී උද්ඝෝෂනයක කොටසකි.

කොලඹ වරාය 2015 නොවැම්බර් 22 [Photo: "Ships and gantry cranes at the Colombo Harbour, Sri Lanka" by Rehman Abubakr / CC BY-SA 4.0]

සම්මන්ත්‍රනය පැවැත් වූයේ, කොලඹ වරාය තුල ඉතිරි ව පවත්නා රජය සතු පර්යන්තයන් සහ අනෙකුත් කොටස් ද, ත්‍රීකුනාමල හා ගාලු වරායයන් ද පුද්ගලීකරනය සඳහා සීඝ්‍රයෙන් වැඩ කටයුතු කෙරෙන තත්වයක් තුල ය. මෙය, ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම), ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් සේවය පෞද්ගලීකරනය කිරීමේ වැඩකටයුතුවලට සමගාමී ව සිදු කෙරෙන්නකි. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත කම්කරුවෝ රැකියා අහිමි වීමේ, වැටුප් කප්පාදු කිරීමේ හා වැඩ වේගවත් කිරීමේ අන්තරායට ක්ෂනික ව මුහුනදී සිටිති.

කොටුව සේවාමුක්ත භට සංගම් ශාලාවේදී පැවති සම්මන්ත්‍රනයේදී කතා කල සියලු වෘත්තීය සමිති නායකයෝ, “විකිනීමෙන් තොරව වරාය ඇතුලු රාජ්‍ය ආයතන සංවර්ධනය කල හැකි” ආකාරය ගැන වික්‍රමසිංහගේ ආන්ඩුවට උපදෙස් ලබා දුන්හ. වරාය කම්කරුවන් මුහුනදී සිටින දැවෙන ප්‍රශ්න ගැන වචනයකුදු කතා නොකල ඔවුහු, “සැලසුම් ගත වැඩපිලිවෙලක් යටතේ ඇමරිකානු ඩොලර් රටට ගෙන එනු ලබන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය සංවර්ධනය කල හැකි” බවට සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කරමින් තර්ක කලහ.

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම ලේකම් සහ ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා වරාය කම්කරු පොදු සේවක සමිතියේ නායක නිරෝෂන් ගොරකාන, “වරාය සංවර්ධනය කිරීමේ” වැඩපිලිවෙලෙහි ප්‍රමුඛ උපදේශකයෙකු වෙයි. ඔහු කියා සිටියේ, කොලඹ වරායට සිදු කෙරෙන නාවික සංචාරයන් මගින් “අවම වසයෙන් වසරකට ඩොලර් බිලියන 5ක් සපයා ගත හැකි නමුත් ඒ සදහා ආන්ඩුව මෙතෙක් කිසිවක් කර නැති” බව යි. සංචාරකයන් උනන්දු කරවීම පිනිස බන්ඩාරනායක පර්යන්තය වෙලඳපොලක් බවට පරිවර්තනය කලයතු බවත්, විනෝදාස්වාදය සදහා සංචාරයන් සූදානම් කල යුතු බවත් ඔහු තව දුරටත් පැවසුවේ ය.

මෙම වැඩපිලිවෙල සඳහා පෞද්ගලික ව්‍යවසායකන් කැඳවා ගැනීමේදී තම සේවය සහතික කරමින් ගොරකාන මෙසේ අවධාරනය කලේ ය: “අපි මෙම අභියෝගය භාර ගන්නවා. එසේ කරමින්, වරාය අධිකාරිය යටතේ ආයෝජනය සඳහා පුද්ගලික ව්‍යාපාරිකයන්ද කැඳවනවා.”

වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම ලේකම් හා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ප්‍රසන්න කලුතරගේ කියා සිටියේ, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය “සංවර්ධනය කිරීමෙන්” වාර්ෂික ව ඩොලර් බිලියන 1.1ක් ලබා ගත හැකිබව යි.

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙනුවෙන් කතා කල වසන්ත සමරසිංහ, සම්මන්ත්‍රනය ජාමූඅට විරුද්ධ එකක් ලෙස පින්තාරු කිරීමට වෑයම් කරමින්, “අයිඑම්එෆ් හරහා අරම්භ කර ඇති මේ දීගය, අපි සියලු දෙනා ඒකාබද්ධ ව නවත්වන්න අවශ්‍ය යෝජනා තමයි වරාය වෘත්තීය සමිති නායකයන් යෝජනා කලේ'යැයි පැවසී ය. “වරාය විකුනනවාට විරුද්ධව ඇමරිකානු ඩොලර් රටට ගේන්න වැඩ කල කල යුතු” බව කියමින් ඔහු අනෙකුත් වෘත්තීය සමිති නායකයින්ගේ වැඩපිලිවෙල ම තොරොම්බල් කලේ ය.

ලොවපුරා පාලකයන්, ගෝලීය ව ගැඹුරුවන ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා අවශේෂ දුගී කොටස් මත පටවමින් ධනපතියන්ගේ ලාභ රැක ගැනීමේ ප්‍රහාරයක් දියත් කර ඇත. කෝවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය හේතුවෙන් සියලු රටවල අර්බුදය ගැඹුරු කෙරී පවතී. ලංකාවේ ගැඹුරුවන දේශපාලන-ආර්ථික අර්බුදය මෙන් ම, පුද්ගලීකරනය ඇතුලු කම්කරු-පීඩිත මහජනතාවන්ට එල්ල කෙරෙන රුදුරු ප්‍රහාරයන් මෙම ගෝලීය ප්‍රපංචයේ තියුනු ම ප්‍රකාශනයකි.

ගෝලීය ධනේශ්වර අර්බුදයෙන් ගලා එන මෙම ‌ප්‍රහාර පරාජය කල හැක්කේ ධනවාදයට එරෙහි ජාත්‍යන්තර දේශපාලන අරගලයකින් පමනි. එය වනාහි, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත සිදු කෙරෙන ධනපති නිෂ්පාදන ආර්ථික ක්‍රමයට එරෙහි ව, නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පංති පාලනය යටතේ ජනසතුකොට ලාභය වෙනුවට මානව අවශ්‍යතා වෙනුවෙන් ආර්ථිකය ප්‍රතිසංවිධානය කෙරන ජාත්‍යන්තර සමාජවාදය සඳහා වූ අරගලය යි. කම්කරු පංතියට ඇත්තේ එම විකල්පය පමනි.

ධනපති ක්‍රමයට සහ ධනපති ජාතික රාජ්‍යයට අත්‍යන්තයෙන් බැඳීගත් වෘත්තීය සමිති විසින් ඉහත සම්මන්ත්‍රනයේදී ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල මෙම කම්කරු පංතික විකල්පයට ඉඳුරා ප්‍රතිවිරුද්ධ වෙයි. ඔවුන් යෝජනා කරනුයේ, ධනපති ක්‍රමය තුල ම, රාජ්‍ය ආයතන ලාභ ඉපදීමේ ව්‍යවසායයන් බවට පරිවර්තනය කිරීමේ ජාතිකවාදී වැඩපිලිවෙලකි.

ඔවුන්ගේ මෙම යෝජනාවේ අන්ත ප්‍රතිගාමී අරමුනු දෙකක් පවතී:

ඉහත දැක් වූ දේශපාලන ප්‍රතිප්‍රහාරය සඳහා කම්කරු පංතියේ ඒකාබද්ධ සහ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වලකා කම්කරු පංතිය දේශපාලනික ව අවමංගත කිරීම එහි එක් අරමුනකි.

මෙකී ආයතනයන්හි ලාභ ඉහල නැංවීම සඳහා පරිපාලනයට ඝෘජු ව සම්බන්ධ වෙමින් එම ලාභ භුක්ති විඳින පරපෝෂිත ස්ථරයක් බවට පත්වීම අනෙක් අරමුනයි.

වෘත්තීය සමිති නායකයන් කියන මෙම “ලාභ ඉහල දැමීම”, කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා දීමනා කප්පාදු කිරීමෙන් ද, වැඩ වේගවත් කිරීමෙන් ද තොරව සාක්ෂාත් කිරීමේ හැකියාවක් නොමැත. ඔවුන් මේ සැරසෙන්නේ, ශ්‍රම සූරාකෑම ගැඹුරු කිරීම ඇතුලු ප්‍රහාර හරහා ධනේශ්වර අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමේ අන්ත ප්‍රතිගාමී කාර්යයට යි.

වෘත්තීය සමිති නායකයන්ගේ පාවාදීම් මත කොලඹ වරායේ වැඩි කොටසක් දැනටමත් පුද්ගලීකරනය කෙරී පවතී. 1999 වසරේ දී, කම්කරුවන්ගේ බරපතල විරෝධතා මධ්‍යයේ, ක්වීන් එලිසබෙත් බහාලුම් පර්යන්තය හෙවත් රැජින පාලම, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් සමාගමට පවරන ලදී. මෙම සමාගම, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ඒපී මොලර් යනාදී සමාගම් එක් ව සංවිධානය කල සමායතනයකි.

1999 වසරේදී සිදු කෙරුනු මෙම පුද්ගලීකරනයේ දී වරාය අධිකාරියට අයත් සේවකයන් දහස් ගනනක් ඉවත් කෙරුනු අතර, මිනිස් බල සමාගම් මගින් අඩු වැටුපකට සම්පාදනය කෙරෙන කම්කරුවන් ඒ සඳහා බඳවා ගැනුනි. ඔවුන්ගේ රැකියා ස්ථිර නොමැති අතර කම්කරු අයිතිවාසිකම් කිසිවක් ඔවුන්ට හිමි නැත.

2013 වසරේ දී කොලඹ දකුනු වරාය, සංවර්ධන වැඩ කටයුතු නිල වශයෙන් චීන සමාගමකට පවරා දුන්නේ, එය වසර 35ක් තුල ගොඩනගා යලි භාර දීමේ (BOT) කොන්දේසි යටතේ ය. ගිවිසුමේ කොන්දේසි ප්‍රාකාර ව, එම කොටසට වරාය අධිකාරියේ සේවකයන් ඇතුලත් නොවී ය.

පුද්ගලීකරනය වේගවත් කිරීමේ එල්ලය සහිත ව වසර කීපයක සිට කොලඹ වරායේ විශ්‍රාම ගන්නා කම්කරුවන් වෙනුවට පුරප්පාඩු පිරවීමක් සිදු නොවේ. අවශ්‍ය වූ විටක දී කොන්ත්‍රාත් ක්‍රමයට විශ්‍රාමිකයන් කැදවා ගනී. කම්කරුවන් පුහුනු කිරීමේ වැඩ කටයුතු නතර කෙරී ඇත. නිල නිවාස අයත් ඉඩම් ආයෝජකයන්ට විකිනීමේ එල්ලය ඇති ව ඒවායින් කම්කරුවන් ඉවත් කිරීමේ වැඩකටයුතු දිගටම සිදු වෙමින් පවතී.

සියයට 90ක් වූ ආහාර මිල උද්ධමනය, දැවැන්ත ප්‍රවාහන ගාස්තු, විදුලි බිල හා ජල ගාස්තු එකතු වූ විට කම්කරුවන්ගේ වැටුප වාෂ්ප වී යයි. පහල ශ්‍රේනිවල කම්කරුවෙකුගේ මූලික වැටුප රු 35,000ක් පමන සොච්චමකි. මෙම තතු යටතේ, කම්කරුවන් ජීවිතය ගැට ගසා ගන්නේ අතිකාල සේවා කිරීමෙන් ලැබෙන යමක් ද එකතු කර ගෙන ය. එය ද අහෝසි කිරීමේ තර්ජනයට කම්කරුවෝ මුහුන දී සිටිති.

ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ වරාය වෘත්තීය සමිති එක් ව, නැගෙනහිර පර්යන්තය (ඊසීටී) පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ අරගලය 2021 දී පාවාදීමෙන් පසු, බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පැවරූ ආන්ඩුව, වරාය පුද්ගලීකරන වැඩපිලිවෙල තවත් ඉදිරියට ගෙන යමින් සිටී. වෘත්තීය සමිති නායකයන් නිර්ලජ්ජිත ව කියා සිටින්නේ, නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය පවරා දීම “ජයග්‍රහනයක්” බව ය.

ප්‍රශ්න මෙසේ තිබිය දී,වරාය වෘත්තීය සමිති 37 ක නායකයෝ, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන්, වරාය අධිකාරිය තුල සිදුවූ බව කියන “දූෂනය, නාස්තිය සහ මුදල් අවභාවිතය පිලිබඳව නිසි පරීක්ෂනයක්” පවත්වා එම කටයුතු වලට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදෙන ලෙස අගෝස්තු 22දා ඉල්ලා සිටියහ. දූෂනය නොමැති පිරිසිදු ධනපති ක්‍රමයක් පිලිබඳව මිථ්‍යාව වපුරා ධනපති ක්‍රමයට එරෙහි අරගලයකින් කම්කරු පංතිය පීලි පැන්නවීම සඳහා ජවිපෙ, පෙසප සහ වෘත්තීය සමිති ගෙනයන ඊනියා දූෂන විරෝධී උද්ඝෝෂනය ප්‍රවර්ධනය කිරීම මෙහි එල්ලය යි.

කම්කරු පන්තියට තමාගේ ම ස්වාධීන දේශපාලන අරගලයක් ඉදිරියට ගෙන යා හැකිවන්නේ, ධනපති ක්‍රමයට ගැට ගැසුනු, මෙම ද්‍රෝහී වෘත්තීය සමිතිවලින් බිඳී වෙන් වී ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙනි. දැනටමත් ලංකාව ද ඇතුලු ලෝකය පුරා ම විවිධ රටවල කම්කරුවන්, වෘත්තීය සමිතිවලට පිටින් අරගලයට පිවිසීමට පටන් ගෙන තිබීම පෙන්නුම් කරන්නේ, කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා බලගතු වෛෂයික කොන්දේසි නිර්මානය වී ඇති බවයි.

ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා වෙනුවෙන් පෙනී සිටිමින්, කම්කරුවන්ට ඉහලින් තීන්දු ගන්නා සමිති නිලධරයට විපරීත ව, කම්කරුවන්ට තමන්ගේ ම තීන්දු තීරන ගැනීමට මෙම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ක්‍රියාත්මක වනු ඇත. කම්කරුවන්ට සිය අවශ්‍යතා ආරක්ෂා කරන දේශපාලන ක්‍රියා මාර්ගයක් ඉදිරියට ගැනීමටත්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පදනම දැමීමටත්, ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කර ඇත.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් වැදීම පිනිස සසපට බැඳෙන ලෙසත්, වරාය තුල ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට පෙරට එන ලෙසත් සසප වරාය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

Loading