ඉදිරිදර්ශන

කොරෝනා වෛරසයට එරෙහි ව සටන් වැදීම සඳහා අරමුදල් යෙදවීමට ලෝබ ආන්ඩු බැංකුවලට මුදල් කරාම විවෘත කරති

මෙම ලිපිය 2020 මාර්තු 3 ඉංග්‍රීසියෙන් පල විය.

පෙබරවාරි 28දා කොටස් වෙලඳපොල වැසුනු තැන් සිට මාර්තු 2දා අවසන් වන තෙක් ගෙවුනු පැය 72 අතර කාලය මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා විනාශකාරී ලෙස පැතිර යාම දැකගත්තේ ය. යුරෝපීය රටවල් කිහිපයක වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව ඉහල ගියේ එක්සත් ජනපදයේ සිද්ධීන් ආසන්න වසයෙන් පස්ගුනයකින් වැඩෙද්දී ය.

හොංකොංහි ප්‍රාදේශීය බැංකුවකට පිටතින් කොටස් දර්ශකය පෙන්නුම් කරන විද්‍යුත් පුවරුවක් පසුකරමින් ඇවිද යන ජනයා (ඒපී ඡායාරූපය/ කින් චෙවුං)

එම කාලය තුල වෛරසය ආසාදනය වීමෙන් එක්සත් ජනපදයේ පුද්ගලයන් හය දෙනෙක් මිය ගියේ, එකිනෙකට වෙනස් ස්ථාන තුනක “ප්‍රජාවන් අතර පැතිර යාම” ගැන විශේෂඥයන් තහවුරු කිරීමෙන් අනතුරු ව ය. වොෂින්ටන් ප්‍රාන්තය තුල ජනයා අතර සති හයක් තරම් දිගු කාලයක් තිස්සේ කොරෝනා වෛරසය පැතිර යමින් තිබුනු බව ජානමය අධ්‍යයනයක් සොයාගත් අතර, එහි අර්ථය වන්නේ 150ත් දහසකට වැඩි සංඛ්‍යාවකුත් අතර පුද්ගලයන් පිරිසක් හසු කරගැනීමකින් තොර ව රෝගාතුර ව සිට ඇති බව යි.

මෙම විනාශකාරී ප්‍රවෘත්ති නො තකා මාර්තු 2දා ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය කොටස් 1,294කින් ඉහල යමින් අවසන් වූයේ එදා මෙදා තුර විශාලතම එක්දින කොටස් නැගීම වාර්තා කරමිනි.

වෙලඳපොල පොලා පැනීම ආර්ථික කොන්දේසිවල කිසිදු වර්ධනයක් මත පදනම් වූයේ ද නැත. ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිලිබඳ සංවිධානය මේ වසරේ පලමු කාර්තුව තුල ගෝලීය ආර්ථික හැකිලීමක් ගැන මාර්තු 2දා අනතුරු ඇඟවූයේ, 2009 පටන් අඩුතම මට්ටමට සමස්ත වර්ෂයේ ආර්ථික වර්ධන ප්‍රක්ෂේපනය කපාහරිමිනි.

වෙලඳපොලවල් ප්‍රතිචාරය දක්වමින් සිටියේ වෙනත් දෙයකට ය: එනම්, මූල්‍ය වෙලඳපොලවල් මතට අසීමිත ලෙස මුදල් සම්පාදනය කරමින් පොලී අනුපාත කපමින් වත්කම් මිල දී ගන්නා බවට මහ බැංකු දුන් ඉහල යන පොරොන්දුවලට ය.

 “වෙලඳපොල මෙහෙයුම් හා වත්කම් මිල දී ගැනීම් හරහා ප්‍රමානවත් ද්‍රවශිලතාවක් සම්පාදනය කරන බවට” මාර්තු 2දා එක්සත් ජනපදයේ වෙලඳපොලවල් විවෘත කිරීමට පෙර ජපාන බැංකුවේ අධිපති හරුහිකෝ කුරෝදා පොරොන්දු විය. මූල්‍ය වෙලඳපොලවල් වෙත ඩොලර් බිලියන 5කට ආසන්න මුදලක් පොම්ප කිරීමට ජපාන මහ බැංකුව වහා ම පියවර ගත්තේ ය.

ප්‍රධාන මහ බැංකු විසින් පොලී අනුපාත සම්බන්ධීකෘත ව කප්පාදු කිරීමක හැකියාව ඉහල දමමින් වසංගතයට ප්‍රතිචාර ලෙස ජී7 ආර්ථිකයන් “එක්සත් ක්‍රියාමාර්ගයක්” ගනු ඇතැයි නිවේදනය කල ප්‍රන්ස මුදල් ඇමති බෲනෝ ල මායිර් කුරෝදා සමග එක් විය. පසුව යුරෝපා මහ බැංකුව කියා සිටියේ එයට පොලී අනුපාත ශූන්‍යයෙන් පහල මට්ටම්වලට කපමින් වත්කම් මිල දී ගැනීම්වල නව වටයක් ආරම්භ කල හැකි බව යි.

 “අපගේ උපකරන භාවිතා කරමින් ආර්ථිකයට සහයෝගය දීම සඳහා සුදුසු පරිදි ක්‍රියාකිරීමට” පොරොන්දු වෙමින් පෙබරවාරි 28දා සවස් වරුවේ ෆෙඩරල් රිසර්ව් සභාපති ජෙරෝමි පවල් කල ප්‍රකාශයෙන් පසු මෙම නිවේදන පැමිනියේ ය. මෙය වනාහි, මාර්තු 17-18 පැවැත්වීමට නියමිත ෆෙඩරල් රිසර්ව් බැංකුවේ රැස්වීමටත් පෙර පොලී අනුපාත කැපීමේ හැකියාව පවතින බවටත් අනෙකුත් මහ බැංකු සමග හවුලේ එසේ කරන බවටත් දුන් පැහැදිලි සංඥාවකි.

මිලියන ගනන් ජනයා මරා දැමීමට තර්ජනය කරන කොරෝනා වෛරස වසංගතයේ පැතිර යාම මන්දනය කිරීමට සොච්චමක් පමනක් සම්පාදනය කරනු ලැබුන ද මූල්‍ය ප්‍රභූවට ඇපදී බේරාගැනීම සඳහා අසීමිත අරමුදල් සම්පාදනය කරනු ලැබේ. ඩොලර් ට්‍රිලියන ගනන් වෝල් වීදියට පොම්ප කිරීමට ෆෙඩරල් රිසර්ව් බැංකුව සූදානමින් සිටිය දී, කොරෝනා වෛසරයේ පැතිර යාම වැලැක්වීමට යන්තම් ඩොලර් බිලියන 2.5ක් පමනක් ට්‍රම්ප් පරිපාලනය විසින් ඉල්ලා ඇති අතර, එයින් අඩක් අනෙකුත් වැඩසටහන්වලින් මාරු කරනු ඇත.

කොරෝනා වෛරස වසංගතයට ආන්ඩු ප්‍රතිචාර දක්වමින් සිටින්නේ ඔවුන් 2008 මූල්‍ය අර්බුදය සමග ගනුදෙනු කල ආකාරයට ම ය; එනම්, මූල්‍ය කතිපයාධිකාරයට ඩොලර් ට්‍රිලියන ගනන් සම්පාදනය කරන අතර ජනගහනයේ අතිමහත් බහුතරය වෙනුවෙන් කිසිවක් නො කරමිනි.

එක්සත් ජනපදය තුල රෝගයේ පැතිර යාමට දක්වන ප්‍රතිචාරයේ වඩාත් ම සිත් කාවදිනසුලු ලක්ෂනය වන්නේ විස්මය ජනක ලෙස සූදානමක් නැති කමයි. සති ගනනාවකට පෙර පූර්ව අනතුරු ඇඟවීම් කර තිබුන ද විශාල පරිමානයෙන් වෛරසය පරීක්ෂා කිරීමට රෝග පාලන මධ්‍යස්ථානය මුලුමනින් ම නුසූදානම් ව සිටියේ, ගිනිය නො හැකි ජීවිත ගනනක් බිලිගැනීමේ විභවය ගෙන එමින් පෘථුල ව පැතිර යාමට වෛරසයට ඉඩ ලබා දෙමිනි.

අර්බුදයට දක්වන විනාශකාරී ප්‍රතිචාරයට කොන්දේසි සකසනු ලැබ තිබෙන්නේ, දශක ගනනාවක් තිස්සේ නිර්දය ලෙස ධනය ඉහලට ගලා යාම සමග සම්බන්ධිත සමාජීය යටිතල පහසුකම් අහිමි කිරීමේ කොටසක් වන එක්සත් ජනපදය තුල රාජ්‍ය සෞඛ්‍යාරක්ෂන යටිතල පහසුකම්වලට ක්‍රමානුකූල ව අරමුදල් කැපීම විසිනි.

2008 මූල්‍ය අර්බුදයේ දී මෙන් ම පාලක පන්තිය ගෝලීය කොරෝනා වෛරසයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ එහි ම අවශ්‍යතා ආරක්ෂා කරමින් හා ප්‍රසාරනය කරමිනි. දශකයකට පෙර පවුල් කෝටි ගනනකට ඔවුන්ගේ නිවාස අහිමි වූ අතර, ධනවතුන් හා සුපිරි ධනවතුන් තවත් ධනවත් කරමින් ඔවුන්ට ඇප තබන ලදී.

ෆෙඩරල් රිසර්ව් බැංකුව හා එක්සත් ජනපද භාන්ඩාගාරය මූල්‍ය පද්ධතියට ඩොලර් ට්‍රිලියන 7ක පමන නයක් දුන් අතර, එය යොදා ගනු ලැබුවේ ඩොලර් ට්‍රිලියන 30කට අධික ව වටිනා මූල්‍ය වත්කම්වලට මුක්කු ගැසීමට ය. මානව ඉතිහාසය තුල විශාලතම මූල්‍ය බුබුලට එය මග පෑදුවේ 2009 සිට කොටස් වෙලඳපොල වටිනාකම් හතරගුනයකින් ඉහල දමමිනි.

ශතවර්ෂයක් තුල වඩාත් ම අනතුරුදායක ආසාදිත රෝගයේ පැතිර යාම වන නව අර්බුදයකට පාලක පන්තීන් යලි වතාවක් ප්‍රතිචාර දක්වමින් සිටින්නේ මුලුමනින් ම පන්ති පදනමකිනි.

රෝගයේ අතිමහත් පීඩනය දරා ගනු ඇත්තේ කම්කරු පන්තිය හා දුගීන් බව මහ බැංකු හා ආන්ඩු දනිති. ධනවත්තු නිවසේ සිට වැඩකිරීමේ හෝ වැඩ නො කර ම සිටිය හැකි වීමේ සුඛෝපභෝගිය භුක්ති විඳිද්දී, රස්සාවෙන් දොට්ට දැමීමේ තර්ජනය හෝ වැටුප් කැපීයාමේ විනාශකාරී බලපෑම නිසා ආසාදනයට නිරාවරනය වෙමින් කම්හල්, ගබඩා, වෛද්‍ය කාර්යාල හා සිල්ලර වෙලඳ ස්ථානවල දිගට ම වැඩකිරීමට කම්කරුවන්ට බලකෙරෙනු ඇත.

තදබදයෙන් යුත් පහසුකම් අඩු රෝහල්වල කම්කරුවන් දිරිය බල සිඳ ගනිද්දී පාලක ප්‍රභූව තමන්ට හොඳ ම වර්ගයේ වෛද්‍යාරක්ෂනය වෙත ප්‍රවේශය තිබෙන බව තහවුරු කරගනු ඇත. රක්ෂනයක් නැති හෝ ඌනරක්ෂිත ඇමරිකානුවන් මිලියන 87 දෙනා අතරට අයත් වන්නන්ට සිදුවනු ඇත්තේ රැකවරනය අත්හැර දැමීමට හෝ ආර්ථිකව බංකොලොත් වීම යන දෙකෙන් එකක් වේදනාකාරී ව තෝරාගැනිමටයි.

පාලක පන්තියේ අධිෂ්ටානයට නො අඩු ව තමන්ගේ ම පන්ති අවශ්‍යතාවල පදනම මත කම්කරුවෝ මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්විය යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පෙබරවාරි 28 දිනැති [ලින්ක්] ප්‍රකාශය පැහැදිලි කල පරිදි:

රෝගය පැතිරීම වැලක්වීම, ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීම සඳහා අවශ්‍ය සම්පත් ලබා දිය යුතු ලෙසත්, ආර්ථික බිඳවැටීමෙන් පීඩාවට පත්වන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කරන ලෙසත් කම්කරු පන්තිය ආන්ඩුවලින් ඉල්ලා සිටිය යුතු ය.

ප්‍රකාශය තවදුරටත් මෙසේ කීවේ ය:

ධනේශ්වර ආන්ඩු මෙම හදිසි පියවර ක්‍රියාත්මක කල යුතු යැයි ඉල්ලා සිටීමේ දී,  ජාත්‍යන්තර කම්කරු පන්තිය තම මූලික අරමුන වන ධනේශ්වර පද්ධතිය අවසන් කිරීම අත් නො හරියි. ඊට වෙනස් ව, හදිසි ක්‍රියාමාර්ග සඳහා වන අරගලය කම්කරු පන්තියේ  සවිඥානකත්වය ඉහල නංවමින් හා ජාත්‍යන්තර පන්ති සහයෝගීතාවේ අවශ්‍යතාව පිලිබඳ අවබෝධය වර්ධනය කරමින් එහි දේශපාලන ආත්ම විශ්වාසය වැඩි කරනු ඇත.

මෙම ප්‍රකාශය පලකල තැන් පටන් ගත වී ඇති දින කිහිපය අවධාරනය කර ඇත්තේ රෝගය විසින් ඉදිරියට දමන අන්තරායන් සහ පාලක ප්‍රභූන් ඔවුන්ගේ ධනය හා වරප්‍රසාද සමාජයේ වියදමෙන් ආරක්ෂා කරගැනීමට යනු ඇති දුර යි.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි: 

කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!

කොරෝනා වෛරස වසංගතය සහ ගෝලීය සමාජීකෘත වෛද්‍ය සැපයුමක් සඳහා අවශ්‍යතාව

Loading