ලංකාවේ මහා ව්‍යාපාරික සංගම් මූල්‍ය සහන ලබා ගැනී‌මේ සහ ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීමේ වැඩපිලිවෙලක් යෝජනා කරති

කොරෝනා වෛරසය නිසා සිදුවන පාඩුව පියවා ගැනීම පිනිස  දැවැන්ත මූල්‍ය සහන ඉල්ලා සිටිමින් සහ කම්කරු පන්තියේ සමාජ අයිතීන් කප්පාදු කිරීමේ සහ ශ්‍රම සූරාකෑම උග්‍ර කිරීමේ නව වැඩපිලිවෙලක් යෝජනා කරමින්, ලංකාවේ ඒකාබද්ධ වානිජ මන්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මාර්තු 18 දා ලිපියක් යවා ඇත.

ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ කොරෝනා වසංගතය පැතිරීමත් සමග ගැඹුරුවන අර්බුදයෙන් ලංකාවේ ව්‍යාපාරිකයන් හා විදේශීය ආයෝජකයන් බේරා ගැනීමේ  වැඩපිලිවෙලකි.

ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ වානිජ මන්ඩලය යනු, ලංකා වානිජ මන්ඩලය, තරුන ලාංකික ව්‍යාපාරිකයන්ගේ මන්ඩලය, වානිජ ජාතික මන්ඩලය, ශ්‍රී ලංකාවේ වානිජ හා කර්මාන්ත මන්ඩල සම්මේලනය,   ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ ජාතික වානිජ මන්ඩලය ඇතුලු  මෙරට මහා ව්‍යාපාරිකයන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංවිධානවල එකතුවකි.

ආන්ඩුව දැනට ක්‍රියාවට දමා ඇති වැඩපිලිවෙල වෛරසය වේගවත්ව පැතිරීම වැලැක්වීමට වැදගත්වනු ඇතැයි වෙලඳ සංගම් තරයේම විශ්වාසකරන බව ද ලිපියේ සඳහන් වේ. වෛරසය පැතිරීම වැලැක්වීමට ආන්ඩුව තවමත් ගෙන ඇත්තේ ඉතා සීමිත සහ කිසිසේත් නොසෑහෙන පියවර කිහිපයකි. හදිසියේ ඇටවූ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක් හා ආසාදිතයන් ඉතා සුලු පිරිසකට පමනක්  හුදකලා කොට ප්‍රතිකාර කිරීමේ දෙතුන් පොලක් ඊට ඇතුලත් ය. අතිශය මූලික අවශ්‍යතාවයක් වන “පරීක්ෂාකිරීමේ” වැඩපිලිවෙල අතලොස්සකට සීමාවී තිබේ. 

තමන් වෙනුවෙන් තවත් සහන ඉල්ලන ගමන් දැනටමත් ආන්ඩුව ප්‍රකාශයට පත්කර ඇති ප්‍රකෝටි ගනන් මූල්‍ය සම්පත් පොම්ප  කිරීමේ පියවර ගැන මහ ධනපතියන් ප්‍රමෝදයට පත්ව ඇතිවාට සැක නැත. අන් සියල්ලටමත් වඩා, ජනාධිපති රට මිලිටරිකරනය වේගවත් කිරීම සඳහා ගෙන යන වැඩපිලිවෙල ගැන මෙම වෙලඳ මන්ඩල මුලුමනින්ම එකඟ ය. වසංගතයෙන් ඔද්දල් වන අර්බුදය පැටවීමට විරුද්ධව පැන නැගෙනු ඇති කම්කරුවන්ගේ හා දුගීින්ගේ අරගල තලා දැමීමට මිලිටරිය බලමුලුගැන්වීම අවශ්‍යබව ඔවුන්ගේ ගනන් බැලීමයි.    

මහජනයා ගැන යම් අනුකම්පාවක් ඇති බවක් මවා පෙන්වීමට ව්‍යාපාරිකයින් විසින් තම යෝජනා වලට යම්  අනුයෝජනා කීපයක් ද ඉදිරිපත්කොට ඇත. සෞඛ්‍ය, ඔසුසැල් හා සිල්ලර වෙලඳ ව්‍යාපාර වැනි අත්‍යවශ්‍ය  සේවාවන්හි රැකියාවල නිරත සේවකයන්ගේ ආරක්ෂාව සඳහා මුඛ ආවරන හා අත්වැසුම් සැපයීම එවන් එක් යෝජනාවකි. දරිද්‍රතාවය පිටුදැකීමේ නමින් ඉදිරිපත් කර ඇති අනාගත වැඩපිලිවෙලකට කොවිඩ් 19 බලපා ඇති අඩු ආදායම් ලාභීන්  සහ ස්වයං රැකියා නියුක්තිකයන් ඇතුලත් කිරීම තවෙකකි. 

නමුත් ඔවුන්ගේ සැබෑ යෝජනා මේවාය: 

* බරපතල බලපෑමකට ලක්වී ඇති සංචාරක සහ ගොඩනැගිලි කර්මාන්තය සඳහා බැංකු මගින් කෙටිකාලින ප්‍රාග්ධනය ලබාදීම. 

* බරපතල බලපැමකට ලක්ව ඇති කර්මාන්ත සඳහා සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට ගෙවීම් ාස තුනකට නතර කිරීම.

* පුද්ගලික සෞඛ්‍ය ආයතනවලට කොරෝනා පරීක්ෂාව හා ප්‍රතිකාර කිරීමේ ඉඩ ලබාදීම. 

* රුපියල් මිලියන 750ක පිරිවැටුම සහිත සුලු  හා මධ්‍ය පරිමාන කර්මාන්තවලට නය ගෙවීම කල්දැමීම ඇතුලුව දී ඇති සහන පිරිවැටුම ඊට වඩා ඉහල කර්මාන්ත වලටද ලබාදීම. 

* දැනට ක්‍රියාත්මක මසකට පැය 60 අතිකාල සීමාව පැය 80-90 දක්වා ඉහල දැමීමට කෙටි කලකට ඉඩදීම.

මේ යෝජනා අර්බුදයට පත් ධනපතියන්ට ලාභ ගොඩගසා ගැනීම ඉලක්ක කරගෙන ඉදිරිපත්කල වැඩපිලිවෙලකි. පඩිපත නැතිව ගොස් ඇති කම්කරුවන්, එදිනෙදා ආදායම උපයාගන්නා ස්වයං රැකියාවල යෙදෙන්නන් ඇතුලු පීඩාවට  පත් ලක්ෂ සංඛ්‍යාත ජනයාට අවශ්‍ය මූල්‍ය පහසුකම්, නොමිලේ ආහාරපාන හා වෛද්‍ය ප්‍රතිකාර දීමට කවර හෝ යෝජනාවක් ධනපතියන්ගෙන් ඉදිරිපත් නොවීම පුදුමයට කරුනක් නොවේ.      

විරැකියාව, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාවය ගැඹුරු කරන්නාවූ ද, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු මහජන සුබසාධන සේවාවන් අතුගා දමන්නාවූ ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට මෙම ධනපති හාම්පුතුන් සියල්ලෝම ධනපති ආන්ඩුවලට සහයෝගය දුන්හ. 

ජාමුඅ හි නියෝග මත පුද්ගලික අංශයේ මෙන් ම රාජ්‍ය අංශයේ අතිකාල කප්පාදුව පසුගිය වසර ගනනාවක් තුල ක්‍රියාවට දැමුනි. රාජ්‍ය අංශයේ ඒවා ක්‍රියාවට දැමුනේ රාජ්‍ය  වියදම් කප්පාදු කර අයවැය පරතරය අඩු කිරීමේ කොටසක් ලෙසය. පෞද්ගලික අංශයේ එය  ක්‍රියාවට දැමුනේ  අපනයන ආදායම සහ  ලාබ පහත වැටීමට ප්‍රතිචාරයක් ලෙස කම්කරුවන්ගේ වැටුප් කප්පාදුවට හා වැඩ වේගවත් කිරීමට සම්බන්ධිතව ය. 

සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සඳහා කරනු ලබන දායකත්වය ගැන ධනපති සේවායෝජකයෝ දිගටම මැසිවිලි නැගූහ. දැන් සථිර කම්කරුවන් ගැනීම නතරකොට තාවකාලික කම්කරුවන් බඳවා ගැනීම ඉහල දමාගෙන ඇත්තේ මෙම විශ්‍රාම අරමුදල් නොගෙවා ලාභ තරකර ගැනීමටය. 

ශ්‍රී ලංකා ඒකාබද්ධ වානිජ මන්ඩලයේ මෙම ඉල්ලීම් කෙරෙහි ජනාධිපති රාජපක්ෂ ක්ෂනිකව ප්‍රතිචාර දක්වා තිබේ. ධනපති සේවායෝජකයන් සඳහා මූල්‍ය සහන මෙන් ම, අතිකාල සහ නිවාඩු දින සඳහා ගෙවීම් ආදී කම්කරුවන්ට කරන ගෙවීම් සඳහා සහන සැලසීම  කැබිනට් මන්ඩලය අනුමත කල බව ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධන මාර්තු 20 වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කලේ ය. 

කම්කරුවන්ගේ සමාජ අයිතීන්ට පහරදීම සහ ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීම පිනිස හාම්පුතුන් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් පිලිබඳ ව සහ රාජපක්ෂ ආන්ඩුව ඒවාට අනුමැතිය දීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති මෙතෙක් දක්වා ඇත්තේ මුලුමනින් ම නිහඬ ප්‍රතිචාරයකි. එනම් නිහඬව ඒවා අනුමත කිරීමකි. 

ලෝක කොටස් වෙලඳපොලේ ඇති වූ  බිඳ වැටීම මගින් 2008 නිර්මානය කෙරුනු අර්බුදය නිසා ධනපති ආන්ඩු  සහ හාම්පුතුන් විසින්  ලෝක පරිමානව ක්‍රියාවට දැමූ කම්කරුවන්ගේ රැකියා අහිමිකිරීම සහ සමාජ අයිතීන් කප්පාදුව ලංකාවේ ද ක්‍රියාවට දැමුනි.  2009 දී  ශ්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප තුලත් ඉන් පිටතත්  ඇඟලුම් කම්හල් ඇතුලු 500 කට ආසන්න කර්මාන්ත ශාලා වසා දමා 192,000 ක් කම්කරුවන් දොට්ට දැමිනි.  

ඉන් බහුතරයකට කිසිදු වන්දියක් නොලැබුනි. ඉතිරි කම්හල් වල වැඩ දින ගනන්, වැටුප් සහ සමාජ අයිතීන් කප්පාදු කෙරුනි. අක්‍රියව පැවති ජාතික කම්කරු උපදේශක සභාව (ජාකඋස) යලි පන ගැන්වූ එවක බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව වෘත්තීය සමිති වල පූර්න සහගෝගය ඇතිව හාම්පුතුන්ගේ කප්පාදු පිලිවෙත් වලට අනුමැතිය දුන්නේ ය.

දැන් කොරෝනා වසංගතයෙන් උද්ගත කෙරී ඇති දැවැන්ත ව්‍යසනය තුල ධනපති ආන්ඩු සහ හාම්පුතුන් හැරී සිටින්නේ රැකියා අහිමි කිරීම, සමාජ අයිතීන්ට පහර දීම සහ ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීම මගින් එහි මුලු බර වැඩකරන ජනතාව මතට කඩාපාත් කිරීමටය. 

2008-2009 මූල්‍ය අර්බුදය තුල දී ගෝලීය විරැකියාව මිලියන 22 දක්වා ඉහල නැගුනු අතර කොරෝනා වසංගතයෙන් නිර්මානය කෙරී ඇති ව්‍යසනය හේතුවෙන් ගෝලීය විරැකියාව මිලියන 25 කින් ඉහල යනු  ඇති බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය දැනටමත් අනතුරු අඟවා ඇත.  

ලෝක පරිමානව ද, ශ්‍රී ලංකාවේ ද ධනපති හාම්පුතුන් සමාජ සහන  කප්පාදුවෙන් හා වැඩ පැය ගනන් ඉහල දැමීමෙන් නතර නොවනු ඇත. අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම පිනිස ඔවුන් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමට ද, තව තවත්  සමාජ අයිතීන් වැනසීමට ද පසුබට නොවනු ඇත. 

දැනටමත් තමන් මුහුනපා සිටින අර්බුදය ගැන කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කරුනු දැක්වූහ. කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා පුද්ගලික හා රාජ්‍ය ආයතන වැසීම සහ ඇදිරි නීතිය පැනවීම (එම පියවරයන් අත්‍යාවශ්‍ය නමුත්) කොන්ත්‍රාත් කම්කරුවන් සහ එදිනෙදා ආදායම් මත යැපෙන්නන් සඳහා කිසිදු මුල්‍ය සහනයක් හෝ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමක් නොවන තතු තුල ඔවුහු ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුන දී සිටිති.  

ආර්. කර්නන් මස්කෙලිය අප්කොට් හි ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෙකි. ඔහු තමන් සහ සෙසු වතු කම්කරුවන් මුහුන දී සිටින දුෂ්කර තත්වය මෙසේ පැහැදිලි කලේ ය: 

“කොරෝනා වසංගතය නිසා මේ මාසයේ අපට වැඩ ලැබුනේ දවස් තුනයි. ගිය මාසයේ දවස් 14 යි. මාසයේ දවස් 30 ම වැඩ කලත් ලැබෙන වැටුප් මදි කෑමට අවශ්‍ය බඩු ටිකවත් ගන්න. වැඩ කරන දින ගනන අඩු වුනොත් අපි කොහොම ද ජීවත් වෙන්නේ. අපි කඩවලින් නයට බඩු අරගෙන තියෙනව. ඒවා ගෙවාගන්නත් බැහැ. ආන්ඩුවෙන් අපිට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. වෘත්තීය සමිති කිසිම සහනයක් ලබාදීමට කටයුතු කරන්නෙත් නැහැ.පෝසත් මිනිස්සුන්ට ගෙවල් වලට වෙලා ඉන්න පුලුවන්, නමුත් අපිට බැහැ. 

“අපි ජීවත් වෙන්නේ එක කාමරයක් විතරක් තියෙන ලයින් කාමර වල. ඒ නිසා වෛරසය ආසාදනය උනොත් ඉක්මනින් ම පැතිරෙනවා. කොරෝනා වසංගතය ගැන වර්ල්ඩ් සෝෂලිස්ට් වෙබ් සයිට් එකේ පලකරන ලිපි මම කියවනවා. එම ලිපි වලින් කරන පැහැදිලි කිරීම් සමග මම අතිශයින් ම එකඟයි.”

පොල් කැඩීම හා වෙනත් කූලී වැඩ කොට ජීවිකාව ගෙන යන හලාවත මහවැව ප්‍රදේශයේ කම්කරුවෙක් ප්‍රකාශ කලේ පසුගිය සති දෙකක පමන කාලයක් කිසිම කුලී වැඩක් නො ලැබුන බවයි. ඔහුගේ මාසික  ගෙවල් කුලිය රුපියල් 3500 කි. “කරන්න කිසිම දෙයක් නැහැ. ගෙදර උයන්න දෙයකුත් නැහැ. ඒ නිසා දැන් මම ගඟේ  බිලී බාන්න යන්න ඉන්නේ. දුවයි, පුතයි, බිරිඳයි යැපෙන්නේ මම උපයා ගන්න මුදලකින්. බිරිඳ අසනීපෙන් ඉන්නේ. ඇඳිරි නීතිය නිසා සායනයට යන්න පුලුවන් වෙයි ද දන්නේ නැහැ. සමෘද්ධියෙන් අපි කලින් නය අරන් තියෙන නිසා දැන් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. තව හාල් කිලෝ එකහමාරක් විතර ගෙදර තියෙනවා. මෙහෙම ගියොත් අපිට මොනව වෙයි ද කියලා හිතා ගන්න බැහැ” 

කොරෝනා වසංගතයෙන් උද්ගත කෙරී ඇති අර්බුදයට කම්කරු පන්තිය වග කිවයුතු නැත. ස්වාභාවික උවදුරක් වුව ද එය පාලනය කිරීමට සහ මහජනතාවන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අසමත්වීම අධිරාජ්‍යවාදී සහ ධනපති ආන්ඩු විසින් දසක ගනනාවක් තුල මහජන සෞඛ්‍ය සේවාවන් හිතාමතාම කප්පාදු කිරීමේ ප්‍රතිවිපාකයකි. කොරෝනා වෛරස් වසංගතය ධනපති පාලක පන්තීන් විසින් උපයෝගී කර ගනිමින් සිටින්නේ කම්කරු පන්තියට විරුද්ධව පන්ති යුද්ධයේ මූලෝපාය ක්‍රියාවට දැමීම සඳහා ය. 

කියවන්න: කොරෝනා වෛරස් වසංගතයට කම්කරු පන්තියේ  ප්‍රතිචාරය./ 2020 මාර්තු 18

Loading