ජවිපෙ ”සර්වපාක්ෂික යාන්ත්‍රනයක් සකස්කරන” ලෙස ආන්ඩුවට උපදෙස් දෙයි

කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වඩ වඩාත් පලල් වන තත්වයේදී අගමැති මහින්ද රාජපක්ෂ මාර්තු 24 කැඳවු පර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වෙනුවෙන් එහි නායකයකු වන විජිත හේරත් ද සම්බන්ධ විය. 

ආන්ඩුව එදිනෙදා පැවැත්ම සඳහා අවශ්‍ය කටයුතු ගෙනයාමට මහජනතාවට හැකිවන කිසිදු ක්‍රමවත් වැඩපිලිවෙලක් නොයොදා ම රට පුරා අගුලු දැමීම සහ අඳුරු නීතිය පැනවීමත් සමග--එය වසංගතය මැඩීම සඳහා අවශ්‍ය එක් පියවරක් වුවද--. මෙම රැස්වීම කැඳවූයේ කම්කරුවන් හා දුගීන් අතර පැතිරෙමින් පැවති විරෝධය යටපත් කිරීමට අවශේෂ පක්ෂවල සහයෝගය රැලි කර ගැනීමටයි. 

මහජන විරෝධය ගැන එවැනිම උත්සුකතා නිසා කල්තියාම ”සර්වපාක්ෂික සමුලුවක්” ඉල්ලා නිවේදන නිකුත්කල එක්සත් ජාතික පක්ෂය හා ජවිපෙ අනෙකුත් පක්ෂ ද සමග රැස්වීමට සහභාගිවී සිය සහයෝගය පලකලහ. ආන්ඩුවට විරුද්ධබවට ප්‍රකාශ නිකුත්කරන පක්ෂ තමන් වටා රැලි වී සිටීම ගැන රැස්වීම අවසානයේ අගමැති රාජපක්ෂ ට්වීට් පනිවුඩයක මෙසේ සටහන් කලේය: “කොවිඩ්-19 වසංගතයට එරෙහිව සාර්ථකව සටන් කිරීම සඳහා එකට වැඩකිරීමේ අවශ්‍යතාවය ගැන මම අවධාරනය කලෙමි. සහභාගිවූ සියලු  දෙනා එකඟත්වය පලකල අතර පූර්න සහයෝගය දීමට ප්‍රතිඥා දුන්හ....”  

කොරෝනා වෛරස් අර්බුදයට මුවාවී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ආන්ඩු  පාලනයේ මිලිටරිකරනය වේගවත් කර ඇත. වසංගතය  වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පුලුල් බලතල සහිතව පත්කර ඇත. ඔහු මෙම රැස්වීමට ද සහභාගි වූයේ ඊට පැමිනි  පක්ෂවලට කරුනු පැහැදිලි කිරීමට ය. 

ආන්ඩුවේ සහායට එක්වීම මගින් අනෙකුත් පක්ෂ මෙන්ම ජවිපෙ සහයෝගය දෙන්නේ වඩවඩාත් මිලිටරීකරනය කෙරෙන මෙම පාලනයටයි. ඔවුන්ගේ කඩතුරාව ”අපි සහයෝගය දෙන්නේ  කොරෝනා වෛරස් මැඩීමට”  යන්නයි. කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව ආන්ඩුව  විසින් වර්ධනය කෙරෙන අන්තරායකාරී සූදානම් වීම්  ශක්තිමත් කිරීමට ජවිපෙ හවුල්වී ඇත්තේ එලෙස ය. 

පැය දෙකක් පැවති රැස්වීමේදී අගමැතිවරයා සිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ  ප්‍රමුඛ නායකයකුවන බැසිල් රාජපක්ෂ ජනාධිපතිගේ විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත්කරන බව නිවේදනය කලේය. කොරෝනා වෛරස් අර්බුදයට මුහුන දීමේ නමින් විශාල රාජ්‍ය බලතල සහිතව ඔහු පත්කර ආන්ඩුවේ අත් ශක්තිමත් කරගැනීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක වෙයි. අනෙක් පක්ෂ සමග ජවිපෙ නියෝජිතයා ද ඊට සහයෝගය දුන්නේය. 

සර්වපාක්ෂික යාන්ත්‍රනයක් යන්නෙහි තේරුම කුමක්ද?

රැස්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ ජවිප නියෝජිත විජිත හේරත් සියලු පක්ෂ වලින් සැදුම් ලත් “සර්වපාක්ෂික යාන්ත්‍රනයක් සකස්කරන”ලෙස ඉල්ලා සිටි බව කිවේය. “මෙම ආපදා තත්වයට එරෙහිව සටන් කොට රට බේරා ගැනීම සඳහා සියලු දෙනා ජාති, ආගම්, කුල භේදයකින් තොරව රටක් හා ජාතියක් ලෙස එක්සත් විය යුතුය.”

මෙහි තේරුම කුමක් ද? ජවිපෙට අනුව ධනපති පන්තියත්  කම්කරු පන්තියත් අතර පන්ති භේදය නොතැකිය යුතු දෙයකි; ධනපති පන්තිය හා අති මහත් බහුතර දුගී ජනතාව අතර වෙනසක්  නැත. දශක තුනකට පමන පෙර සිට පාර්ලිමේන්තුවාදයට මුලුමනින්ම අනුගතවී සීග්‍රයෙන් ධනපති සංස්තාපිතයේ පක්ෂයක් බවට පත්ව තිබෙන ජවිපෙ පන්ති භේදය නොතැකීම පුදුමයක් නොවේ. මෑත අතීතයේ ශ්‍රීලනිපය හා එජාපය සමග සන්ධානවලට ඇතුලුවූ ජවිපෙ හවුල් ආන්ඩුවකට ද සම්බන්ධවී තිබේ.  

2015 දී ජවිපෙ නායක දිසානායක, ජනාධිපති සිරිසේනගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ”විධායක මන්ඩලයේ” නියෝජිතයෙකු විය. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිරිසේන කැඳවූ සර්වපාක්ෂික සමුලුවට උනන්දුවෙන් සම්බන්ධ වූ ජවිපෙ නායකයා, හමුදාව රටපුරා මුදා හැරීමට, හදිසි නීතිය පැනවීමට හා මුස්ලිම් විරෝධය උසිගැන්වීමට සහාය දුන්නේ ය. 

ධනපති පන්තිය සමග මෙම භජනය හැමවිටම අවසන් වූයේ  පාලක ආන්ඩු හා රාජ්‍ය යන්ත්‍රය වඩවඩාත් ශක්තිමත් කිරීමෙනි.  

දැන්, ජවිපෙ ”ජාතික ආපදාව” කඩතුරාව කරගෙන ”ජාතික එකමුතුව” යෝජනා කරති.  අර්බුදයට පත්වූ කල්හි කොයි රටේත් ධනපති ආන්ඩුවල, පාලක පන්තියේ පක්ෂවල  හා අවස්ථාවාදී සංවිධානවලත් ශික්ෂා පදය එයයි. 

එහෙත් ආපදාවලදී ද ධනේශ්වර ආන්ඩු හා ධනපතියන් කම්කරුවන්ට හා දුගීන්ට සලකන්නේ එක විදියකට බවත් තම පන්තියට සලකන්නේ එක විදියකට බවත් නොදකින්නේ හිතාමතා දේශපාලන අන්ධකම  ප්‍රගුන කරන ජවිපෙ නායකයින් වැන්නන් ය. 

එක්සත් ජනපදය ඇතුලු  ලෝකය පුරා ධනපති පන්තීන්, මූල්‍ය කතිපයාධිකාරයේ ධනය ආරක්ෂා කිරීමේ උවමනාවෙන් වැඩට බැස ඇත. ලංකාවේ ආන්ඩුවේ අසීමිත නය ලබා දීමම, නයවාරික ගෙවීම කල් දැමීම හා හා බදු සහන ඇතුලු දොල පිදේනි සංගත හා සමාගම් වෙනුවෙනි. 

පසුගියදා සිය විශේෂ කාර්ය බලකායේ රැස්විමකදී කොරෝනා ව්‍යසනයෙන් රටේ ආර්ථිකය වැටීමට ඉඩ දීමට බෑ යයි බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. මොන ව්‍යසනය මහජනතාව මත කඩා පාත් වුවත්, රාජපක්ෂ ආන්ඩුව වැඩ කරන්නේ ධනපතියන්ගේ ලාබ පද්ධතිය ආරක්ෂා කර දීමට ය. රජයේ සේවකයන්ට නිවාඩු ලබාදීමේදී අපනයන හා වතු කම්කරුවන් අනාරක්ෂිත ලෙස සේවයේ යෙදවීමට පාලකයන්ට නීතියෙන් අවසර ලබා දුන්නේය. අගුලු දැමීමෙන් හා අඳුරු නීතියෙන් පීඩාවිඳින ලක්ෂ සංඛ්‍යාත ජනයාට වගාවට උපදෙස් දෙතත් ඔවුන්ගේ කෑමබීම, බේත්හේත්, අනෙකුත් ජීවන අවශ්‍යතා ගැන  කෙරන්නේ මවාපෑම් බව අඩුමිලට ”සහන බඩු පොදි” මහජනයාට නොලැබෙන අවස්ථා එමට  බවට පලවන පුවත්පත් වාර්තාවලින් හෙලිවේ.   

කම්කරුවන් හා දුගීන් ධනපති ආන්ඩුවේ අතයට ගාල් කිරීම

මාර්තු 25 දා පුවත්පත් සඳහා ප්‍රකාශයක් කරමින් ජවිපෙ නායක අනුර දිසානායක රාජ්‍ය යාන්ත්‍රනය සමග සියලු ජනතාවද එක්විය යුතු බව අවධාරනය කරමින් මෙසේ පැවසීය: “මෙවැනි ව්‍යසනයකට මුහුනදීම රාජ්‍ය යාන්ත්‍රනයකට පමනක් තනිව කල හැකි දෙයක් නොවෙයි. ...දේශපාලන ව්‍යාපාර, ස්වේච්ඡා සංවිධානවලට තනි තනි පුද්ගලයන්ට පොදුවේ මහ ජනතාවට සාමූහික ප්‍රයත්නයක් කල යුතුව තිබෙනවා.” ඔහු ආන්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන මෙසේ කීවේය: “පමාවී හෝ අද රාජ්‍ය යාන්ත්‍රනයත් ප්‍රශස්ත මට්ටමකින් තීන්දු තීරන ගනිමින් සිටිනවා.” 

ජවිප තවත් නායකයෙකුවන නලින්ද ජයතිස්ස මෙසේ ද තර්කයක් කලේය: ”විවේචකයන් සහ ප්‍රශංසාකරුවන් කියලා කොටස් දෙකක් ඉන්නවා වෙනුවට සියලු දෙනාම වසංගතය මර්දනය කරන මෙහෙයුමේ සම කොටස්කරුවන් බවට පත්කර ගත්තොත් රටක් ලෙස අපිට ජය ගන්න පුලුවන්.”

ජවිපෙ නිශ්චිතවම ”ජාතික එකමුතුවෙන්” යෝජනා කරන්නේ කම්කරුවන් හා දුගීන් ධනපති ආන්ඩුවේ අතයට ගාල්විය යුතු බවය. ඔවුන් යෝජනා කරන ”සර්වපාක්ෂික යාන්ත්‍රනය” වනාහි තමන්ට ද ජනාධිපති රාජපක්ෂ වැඩිවැඩියෙන් තරකරන ආඥාදායක පාලන ක්‍රමය සමග මාට්ටුවීමේ යාන්ත්‍රනයක් වනු ඇත. 

මෙලෙස, ජවිපෙ නායකයින්ගෙන් ප්‍රකාශයට පත්වන්නේ ජාතිකවාදී න්‍යායන් හා වැඩපිලිවෙලවල් ය. ඒවා අතිශයින්ම ප්‍රතිගාමී ය. 

කොරෝනා වසංගතය “ජාතික ව්‍යසනකාරී තත්වයක්” නොව ජාත්‍යන්තර පරිමාන ව්‍යසනයකි. මේ වන විට ලොව පුරා මිලියන භාගයකට කොවිඩ් -19 වෛරසය අසාදනය වී තිබේ. අප්‍රේල් 01 දා පස්වරු 4.30  පමන වන විට ලෝකයේ රටවල් 179 ක  පුද්ගලයන් අට ලක්ෂ හැත්තෑදෙදහස් නවසිය හැත්තෑහතකට ( 872,977) වෛරසය අසාදනය වී තිබු අතර මියගිය සංඛ්‍යාව හතලිස් තුන්දහස් දෙසිය හැත්තෑපහක් ( 43,275 ) ඉක්මවා තිබිනි.

ඉන්දියාවේ හා ලංකාවේ හා තවත් රටවල අඩු සංඛ්‍යාවන් වාර්තාවුවද ඒවා අයිස් කන්දක තුඩක් බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.  

ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් 

මෙම ගෝලීය ව්‍යසනයට එරෙහිව සටන් කිරීම ජාතිකව, ලංකාවේ පවතින සම්පත්වලට කොටුවී කල නොහැකිය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පෙන්වා දුන් පරිදි ”කිසිදු ජාතියකට කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමින් සම්බන්ධීකරනය කල නො හැක. වෛරසය දේශසීමා හෝ වීසා හා සංක්‍රමන සීමාවන්ට ගරු නො කරයි. ගෝලීය ප්‍රවාහන හා ආර්ථික ඒකාබද්ධතා ජාලය වෛරසය ගෝලීය ගැටලුවක් බවට පත් කර තිබේ.

“විසඳුම ගෝලීය විය යුතු ය. වෛරසය මැඩ පැවත්වීම, සුව කිරීම  හා අවසානයේ දී එය අතු ගා දැමීමට අත්‍යවශ්‍ය ඵලදායි ප්‍රතිපියවරයන්ගේ වර්ධනය ප්‍රමාද කිරීමට පමනක් සේවය කරන, “ජාතික අවශ්‍යතා” හා භූදේශපාලනික ගැටුම්වල බාධාවන්ගෙන් තොර ව, ලොව පුරා සිටින විද්‍යාඥයින්ට ඔවුන්ගේ පර්යේෂන හා තාක්ෂනය බෙදාහදා ගැනීමට ඉඩ දිය යුතු ය. බලන්න: කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!  

එවැනි ඒකාබද්ධතාවයක් ඇති කර ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්තීන් යටතේ පමනි. ජවිපෙ ජාතිකවාදී වැඩ පිලිවෙල පාර කපන්නේ ව්‍යසනය වඩාත් තීව්‍ර කිරීමට පමනි. 

කම්කරු පන්තියට හා දුගීන්ට ධනපති රාජ්‍ය යාන්ත්‍රනය අතර සම්මුතියක් නැත. ධනපති පන්ති පාලනය සමග ගැටෙන අරගලයන්ට ගිය කල්හි කම්කරුවන් ද තරුනයන් ද පාලක ආන්ඩු  විසින් මෙහෙයවුනු රාජ්‍ය බලඇනිවල ඝාතනයට ලක්වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ජවිපෙ ද සම්මාදන් වූ, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී මරා දැමුනු සිවිල් වැසියන් දසදහස් සංඛ්‍යාත ය. 

ආන්ඩුව මෙම වසංගතය මැඩීමට “ප්‍රශස්ත මට්ටමක තීන්දු ” ගෙන ඇති බව දිසානායක තව දුරටත් කියා සිටියේ ය. ආන්ඩුවේ “ප්‍රශස්ත මට්ටම” කෙසේ වෙතත් කම්කරුවෝ බරපතල ප්‍රශ්නවලට මුහුන දෙති. අපනයන කලාපයන්හි කම්කරුවන් සේවයේ යෙදවීමට පලමුව ඉඩ දුන් ආන්ඩුව අඳුරු නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කිසිදු සහනයක් ඔවුනට ලබානොදීමෙන්, කටුනායක පමනක් 20,000ක් පමන කම්කරුවෝ ආහාර නොමැතිව බරපතල කොන්දේසි යටතේ නේවාසිකාගර තුල කොටු වී සිටියහ. දුසිම් ගනන් එකට නේවාසිකාගාරයන්හි රැඳී සිටිය අතර එක් පුද්ගලයෙකුට හෝ වෛරසය ඇතුලුවී ඇත්නම් සිදුවනු ඇත්තේ මහත් විනාශයකි. කම්කරුවන් අතර නොසන්සුන්තාව පැතිරෙද්දී ඔවුන් ගම්වලට යවා ඇතත් පසුගිය මාසයේ වැටුප් ගෙවා නැත. ඔවුනට ඉදිරි වැඩපිලිවෙලක් ද මෙම සමාගම් විසින් සම්පාදනය කෙරී නැත.  

සෞඛ්‍ය සේවයේ කප්පාදුව

වසංගතය පැතිරී යාම හා එහි ප්‍රතිවිපාක තේරුම් ගත හැක්කේ පසුගිය දශක හතර තුල ගෝලීය ධනවාදයේ වර්ධනයේ සන්දර්භය තුල පමනි. නිෂ්පාදනයේ ගෝලීයකරනය සමග ජාත්‍යන්තර ප්‍රාග්ධනය ලාභ මිරිකා ගැනීම සඳහා ඇරඹු ප්‍රහාරයේදී සෞඛ්‍ය ඇතුලු සමාජ  ක්‍රියාමාර්ග කපාහැර ධනය ඉහලට බෙදා හැරීම සිදුවිය. ලංකාව වැනි රටවල අඩු මට්ටමකින් පැවති  සෞඛ්‍ය වියදම් කපා හැරුනි. 

ධනපති ක්‍රමය තුල නිෂ්පාදනය පවතිනේ අතලොස්සකගේ ලාභ අරමුනු කර ගෙනය. ලංකාව තුල ධනපති ආන්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත මහජනතාවගේ සමාජ අයිතීන් කප්පාදු කරමින් කම්කරු පීඩිත මහජනයා බරපතල පීඩනයකට ලක් කලේය. සෞඛ්‍ය අංශයේ සිදුකල කප්පාදුව මෙම වසංගතයේ දී  ඉමහත් බලපෑමක් සිදුකරමින් තිබේ. බලන්න: ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පාදුවේ රුදුරු ප්‍රතිවිපාක කොරෝනා වසංගතයත් සමග මතුවේ,  

පසුගිය වසරේ සිට ධනපති ආන්ඩුවල සමාජ කප්පාදු වඩපිලිවලට එරෙහිව පැන නැගුන ලෝක කම්කරු අරගලවල කොටසක් ලෙස ලංකාවේද අරගල පුපුරා ගියේ ය. සමාජ අයිතීන් කප්පාදු කිරීමේ      ප්‍රතිපලයක් ලෙස ආන්ඩු කල පක්ෂ පුලුල් ලෙස අපකීර්තියට පත්ව උග්‍ර දේශපාලන අර්බුදයක සිටින කොන්දේසි යටතේ, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ නැගී එන විරෝධය කොරෝනා වසංගතය මැද්දේ පුපුරායාමේ කොන්දේසි පිලිබඳව  භීතිය පවතී.  

ගැඹුරු වන ආර්ථික අර්බුදයට හා කම්කරු-පන්ති අරගලවල පුනර්ජීවනය මැද දී ලෝකය පුරා  පාලක ප්‍රභූන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වයන් දෙසට ගමන් කිරීම ලෙස ය. එලඹීමට නියමිත මැතිවරනයේදී තුනෙන් දෙකක බලයක් ලබාගනිමින්  අඥාදායක පාලනයක් ස්ථාපිතකර ගැනීමට රාජපක්ෂ මාන බලයි. ජවිපෙ දැන් මහජනයා ආන්ඩුවේ අතයටට ගාල්කිරීමට  ක්‍රියා කරමින් එම සැලසුම් ශක්තිමත් කරයි. 

“සර්වපාක්ෂික යාන්ත්‍රනයකට” හවුල්වන ජවිපෙ කොරෝනා වෛරස් අර්බුදය සමග පැන නගින කම්කරු වන්ගේ හා දුගින්ගේ අරගල ආපදාවෙන් ජාතිය බේරා ගැනීමට එරෙහිව යන බවට හඬ තලමින් ඒවා තලා දැමීමේ අත් ගෙඩියක් වනු ඇත. ජවිපෙ වැඩපිලිවෙල හා දේශ පාලනය ධනපති පන්ති පාලනය රැකීමට කැපවූ එකකි.  

ජවිපෙ හි මෙම වඩවඩාත් දකුනට යාම එහි ජාතිකවාදී දේශපාලනයේ තර්කානුකුල ගමන පෙන්නුම් කරයි. මාඕවාදය හා  කස්ත්‍රෝවාදය සිංහල දේශප්‍රේමය සමග කලතා ගත්  විසකුරු දෘෂ්ටියෙන් එය වැඩ ඇරඹීය. නිෂ්පාදනයේ ගෝලීකරනය හේතුවෙන් ජාතිකවාදී ක්‍රියාමාර්ග බිඳවැටීමේ කොන්දේසි තුල දකුනට  පැදීම වේගයෙන් ඇරඹු ජවිපෙ වර්ගවාදී යුද්ධයේ කස කරුවෙකු විය. එහි   ප්‍රතිපල ලෙස 1988-89 කාලයේදී වර්ගවාදී උද්ඝෝෂන දියත්කල මෙම සංවිධානය දේශපාලන විරුද්ධවාදීන් ට ද කම්කරුවන් ට ද ෆැසිස්ට්  ප්‍රහාර එල්ල කොට සිය ගනනක් ඝාතනය කලේය. 

ජාත්‍යන්තර සමාජවාදී විසඳුම

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කල හැක්කේ ද, කම්කරු පීඩිත මහජන්තාව මුහුනදෙන අනෙකුත් ප්‍රශ්න විසඳිය හැක්කේ ද, කම්කරු පන්තිය ධනපති පන්තියේ සෑම කොටසකින් ම බිඳී ජාත්‍යන්තර ඉදිරිදර්ශනයකින් සන්නද්ධ වීමෙන් පමනි. කම්කරුවන් කල යුත්තේ තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගැනීමයි.  

එලඹීමට නියමිතව ඇති මහා මැතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂයේ වැඩපිලිවල පැහැදිලි කරමින් එහි ප්‍රධාන ලේකම් විජේ ඩයස් අන්තර්ජාලය හරහා පැවැත්වූ රැස්වීමකදී මෙසේ ප්‍රකාශ කලේය:

“සිය මැතිවරන ව්‍යාපාරයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරසය මැඩීම සඳහා වෛද්‍ය පරීක්ෂන පුලුල් වසයෙන් වහාම දියත් කිරීම හා සෞඛ්‍ය සේවය නංවනුවස්,  නව, හොඳින් සන්නද්ධ රෝහල් පිහිටුවීම සඳහා දැවැන්ත ගොඩනැගිලි වැඩසටහනක් ආරම්භ කරන ලෙස ය. නොමිලේ සෞඛ්‍ය සේවා සඳහා විශාල මුදලක් වෙන් කල යුතුය. සියලු විදේශ නය ගෙවීම් වහාම නතර කල යුතුය, සියලු වැඩකරන ජනතාවට සහ දුප්පතුන්ට යහපත් ජීවන තත්වයන් සඳහා අවශ්‍ය  ආදායම සහතික කල යුතුය.

 “සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ධනවාදය පෙරලා දමා කම්කරුවන් හා ගොවින්ගේ ආන්ඩුවක් ස්ථාපිත කල යුතු අතර” සසපයේ ඉදිරි දර්ශනය වන්නේ, “දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයට කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම්  සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීමය.” 

කම්කරු පීඩිත මහජනතාවට ඇති එකම විසදුම් මාවත වෙන්නේ එම වැඩපිලිවෙල වටා ඒකාබද්ධවීම ය.  අප ඉල්ලා සිටින්නේ මෙම අරගලය ගෙනයාමට සසප සමග එක්වන ලෙසයි.

Loading